‛කුමාරි’ යනු අපේ රටේ සාමාන්‍ය නමක් වුව ද නේපාලයේ නම් එසේ නොවේ. එහි කුමාරි යනු දෙවඟනකි. ඇය ප්‍රතිමාවකට සීමා වූ දෙවඟනක නොව ජීවමාන දෙවඟනකි. ඔබ අප බොහෝ දෙනෙක් ටිබෙටයේ ජීවමාන බුදුන් වූ දලයි ලාමා තුමා පිළිබඳ අසා තිබෙනවා වුව ද නේපාලයේ ජීවමාන දෙවඟන පිළිබඳ අසා නැතිවාට සැක නැත. ඇය පිළිබඳ අප කතා කරන්නට සිතුවේ එබැවිනි.
‛කුමාරි’ හෝ ‛කුමාරි දේවි’ යනු නේපාලයේ ජීවමාන දෙවඟන හඳුන්වන නමයි. වැඩිවියට පත්වන්නට පෙර කාලයේ දේවත්වය සඳහා තෝරා ගනු ලබන දැරියකට මෙසේ වැඳුම් පිදුම් කරනු ලබයි. ‛කුමාරි’ යනු සංස්කෘත බසින් ‛කන්‍යාව’ යන අරුත දෙන නේපාල වදනකි. ඉන්දියාවේ ඇතැම් භාෂාවලට අනුව ‛කුමාරි’ යනු දුර්ගා දෙවඟනගේ ළමා කාලයයි.
නේපාලයේ ‛නෙවාරි’ නම් ජන කණ්ඩායමට අයත් ‛ශාක්‍ය’ කුලයට අයත් වැඩිවියට පත් නොවුණු දැරියක මෙම ජීවමාන දෙවඟන ලෙස තෝරාගනු ලබයි. නේපාලයේ හින්දුවරු මෙන්ම බෞද්ධයෝ ද කුමාරි දෙවඟනට වැදුම් පිදුම් කරති. නේපාලයේ විවිධ නගරවල කුමාරි දෙවඟනන් කිහිප දෙනෙකුම සිටින මුත් මේ අතුරින් සුවිශේෂී වන්නේ කත්මන්දු හි වෙසෙන ‛කුමාරි දෙවඟනය’. ඇය ජීවත්වන්නේ නගරය මධ්‍යයේ ඇති ‛කුමාරි ඝාර්’ නම් මන්දිරයේය. වර්තමානයේ සිටින ජීවමාන කුමාරි දෙවඟන වන්නේ ‛මතීනා ශාක්‍යා’ ය. 2008 වසරේ ඔක්තෝබර් මාසයේදී දේවත්වයට පත්වන විට ඇයට වයස අවුරුදු හතරක් විය.
‛කුමාරි ඝාර්’ නම් මන්දිරය |
‛ඥානර්නවා රුද්‍රයමාලා තන්ත්‍ර’ නම් හින්දු ආගමික ග්‍රන්ථයට අනුව වයස අනුව කුමාරි දෙවඟන විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. ඒ අනුව වසරක් වයසැති දැරියක ‛සන්ධ්‍යා’ ද, දෙහැවිරිදි දැරියක ‛සරස්වතී’ ද, තෙහැවිරිදි දැරියක ‛ත්‍රිදමූර්ති’ ද, සිව්හැවිරිදි දැරියක ‛කාලිකා’ ද, පස් හැවිරිදි දැරියක ‛සුභාගා ද, හය හැවිරිදි දැරියක ‛උමා’ ද වශයෙන් විවිධ නම් භාවිත කෙරේ.
මෙම ජීවමාන දෙවඟන වැඳුම් පිදුම්කිරීමේ සිරිතට ඉතා දීර්ඝ ඉතිහාසයක් නැත. මෙය ආරම්භ වී ඇතැයි සැළකෙන්නේ 17 වැනි සියවසේදී ය. නමුත් ‛කුමාරි පූජා නමින් හැඳින්වෙන කන්‍යාවන් වැඳුම් පිදුම් කිරීමේ සිරිත වසර 2,300කටත් වඩා පැරණිය. එය 6 වැනි සියවසෙ දී පමණ නතරකොට තිබේ. වර්තමාන කුමාරි වන්දනා චාරිත්‍රය ඇති වූ ආකාරය පිළිබඳ පුරාවෘතයන් කිහිපයක්ම තිබේ. කෙසේ නමුත් බොහෝ කතාවල මේ සම්බන්ධව නේපාලයේ අවසන් මල්ල රජු වූ ජයප්‍රකාශ් මල්ල රජු ( ක්‍රිව.ව. 12 - 17) පිළිබඳව කියැවේ. ඒ අතුරින් වඩාත් ප්‍රචලිතම කතාව මෙසේය. මේ රජු හා දාදු කෙළියේ යෙදීමට ‛තලෙජු’ නම් දෙවඟනක් රාත්‍රියේ දී රජුගේ කුටියට පැමිණෙන්නට පුරුදුව සිටියාය. ඇය පැමිණියේ රතු පැහැ සර්පයකු ද සමගිනි. ඇය රජු හමුවන්නට පැමිණීම කිසිවකු හා නොපවසන ලෙස ඇය රජුගෙන් පොරොන්දුවක් ගෙන තිබිණි. නමුත් එක් රාත්‍රියක රජු පසුපසින් ගිය අග බිසව තලෙජු දෙවඟන දුටු අතර එයින් දෙවඟන කෝපයට පත් වූවාය. රජුට යළි තමා දකින්නට අවශ්‍ය නම් ශාක්‍ය කුළයේ කුඩා දැරියන් අතරින් තමා සොයාගන්නැයි කියා ඇය නික්ම ගියාය. එයින් අදහස් කළේ ඇය දැරියකට අවේශ වී මිනිසුන් ඉදිරියට පැමිණෙන බවය. ඉන්පසු මෙම දැරියන් අතරින් දෙවඟනක් තෝරාගැනීමේ චාරිත්‍රය ආරම්භ වූ බව පැවසේ. අද පවා මෙසේ දෙවඟන වරම් ලබන දැරියන්ගේ මව්වරුන් රතු සර්පයකු සිහිනෙන් දකින බව සඳහන්ය. සෑම වසරකම ‛ඉන්ද්‍ර ජාත්‍රා’ උත්සවයේදී නේපාල රජු රාජකීය කුමාරි දෙවඟනගෙන් ආශීර්වාදය ලබාගැනීමට පැමිණෙන අතර නේපාලය ජනරජයක් වීමෙන් පසු එහ ජනාධිපතිවරයා මේ වෙනුවෙන් පැමිණෙන්නට විය.
ජීවමාන දෙවඟන සඳහා දැරියක් තෝරාගන්නා ආකාරයේ ඇත්තේ ද අපූරු වූ සම්ප්‍රදායකි. මේ සඳහා පස් දෙනෙකුගෙන් යුක්ත තේරීම් කණ්ඩායමක් සිටින අතර, එයට බෞද්ධ භික්ෂූණ් වහන්සේ නමක් සහ රාජකීය දෛවඥයා ද ඇතුළත් වේ. මේ සඳහා තෝරා ගත් දැරියන් පිළිබඳව රජුට සහ ආගමික නායකයන් කලින් දැනුවත් කොට තිබේ. මේ සඳහා දැරියන් තෝරාගනු ලබන්නේ බුදුන් වහන්සේ අයත් වූ ශාක්‍ය කුළයෙනි. ඇය අතිශය නිරෝගී විය යුතුය. කිසිදා ලේ වැගිරීමක් සිදු නොවී තිබිය යුතුය. කිසිදු රෝගයකට ලක්වී නොතිබිය යුතුය. සමේ කැළැල් නොතිබිය යුතු අතර කිසිදු දතක් වැටී නොතිබිය යුතුය. මේ මූලික සුදුසුකම් සපුරලාන දැරියන් දෙවැනි වටය සඳහා තෝරා ගැනේ. එහිදී පහත සඳහන් සුදුසුකම් ඇතිදැයි සොයා බැලේ.
ඇගේ ගෙල ශංඛයක් බඳු විය යුතුය. සිරුර නුග ගසක් සේ විය යුතුය. ඇහි බැම එළදෙනකගේ මෙන් විය යුතුය. කලව මුවකුගේ මෙන් විය යුතුය. ලැම සිංහයකුගේ මෙන් විය යුතුය. හඬ තාරාවකුගේ මෙන් මෘදු හා පැහැදිලි විය යුතුය.
මීට අමතරව හිස කෙස් තද කලු පැහැයෙන් යුක්ත විය යුතුය. අත පය හුරු බුහුටි විය යුතුය. ලිංගික අවයව මනා සේ පිහිටිය යුතු අතර විස්සකින් යුක්ත දත් දෙපෙළක් හිමිව තිබිය යුතුය. ඉන් පසු දැරියගේ හා රජුගේ හඳහන ගැළපීමක් සිදු කෙරේ. මෙය ගැළපීම අනිවාර්ය සාධකයකි. දැරිය හා ඇගේ පවුලේ සාමාජිකයන් රජුට පක්ෂපාතීව සිටිය යුතුය.
මෙයින් පසුව ඇත්තේ වඩාත් බියකරු පරීක්ෂණයකි. එයින් බලන්නේ දැරිය නිර්භීත යන්නය. දුර්ගා දෙවඟනගේ ජීවමාන සංකේතය වන්නට නම් නිර්භීතබව අත්‍යවශ්‍යය. මෙය සිදුවන්නේ ‛දෂේන්’ නම් හින්දු උත්සවයක් දිනයේදීය. මෙය ‛කාලරාත්‍රී’ හෙවත් ‛කලු රාත්‍රිය’ නමින් හඳුන්වනු ලැබේ. මෙහිදී ගවයන් සහ එළුවන් 108 දෙනෙකු කාලි දෙවඟන වෙනුවෙන් බිලි දෙයි. ඉන්පසු තලෙජු කෝවිල වෙත දැරිය රැගෙන යන අතර එහි අංගනයේ ඇයව තනි කරයි. එහි සතුන් කිහිප දෙනෙකුගේ හිස් ඉටිපන්දම් ආලෝකයෙන් පමණක් පෙනෙන සේ තබා තිබේ. වෙස් මුහුණු දාගත් කිහිප දෙනෙකු දෙනෙකු රංගනයේ යෙදී සිටිති. දැරිය සතුව තලෙජු දෙවඟනගේ සැබෑ ගති ලක්ෂණ ඇත්නම් මෙහිදී ඇය බියට පත්නොවන්නේ යැයි විශ්වාසයක් පවතී. කෙසේ මුත් මෙම පරීක්ෂණයෙන් ඇය අසමත් වුවහොත් සුදුසුකම් ඇති වෙනත් දැරියක් මේ පරීක්ෂනණ සඳහා යොදා ගැනේ.
අවසාන පරීක්ෂණය සාමාන්‍ය කුඩා දැරියකට අතිශය බියකරු ස්වභාවයකින් පවතී. බිලි පූජාවේදී මරා දැමූ එළුවන් හා ගවයන්ගේ හිස් දැමූ කුටියක ඇයට තනිවම රැයක් පහන් කරන්නට සිදු වේ. ඇගෙන් බිය මුසු ස්වභාවයක් දිස් නොවිය යුතුය. එය ද සමත් වුවහොත් සැබෑ දෙවඟන ඇය තුළ ජීවත්වන්නේ යැයි විශ්වාස කරනු ලැබේ. ඉන් පසු ඇය ඉදිරිපිට විවිධ ඇඳුම් ආයිත්තම් රැසක් තබනු ලබයි. මේවා අතර ජීවමාන දෙවඟනට අයත් සියලු දෑ පවතින අතර ඇයට ඒ සියල්ල එකක් නෑර නිවැරදිව හඳුනාගන්නට හැකි විය යුතුය. එම පරීක්ෂණය ද සමත් වූයේ නම් ජීවමාන දෙවඟන බවට පත්වන්නේ ඇය ය.
ඉන්පසු තවත් චාරිත්‍ර වාර්ත්‍ර ගණනාවක්ම සිදු කෙරේ. ඉන්පසු ඇය ‛කුමාරි’ බවට පත් වේ. ඇය ‛කුමාරි ඝාර්’ මන්දිරයේ වාසය සඳහා යා යතුය. ඇය සුදු ඇඳුමින් සැරසී ‛පටාන් දුර්බාර්’ චතුරශ්‍රය හරහා සිය මන්දිරය කරා ඇවිද යා යුතුය. ඒ කුමාරි දෙවඟන ලෙස ඇගේ දෙපා අවසන් වරට පොලොවේ ගැටෙනා අවස්ථාව වේ. ඉන්පසු ඇයට දේවත්වයෙන් බැහැරවන තුරු දෙපා බිම තැබමීමට අවසර නැත. ඇය යම් තැනකට යන්නේ යම්කිසිවකු ඇය වඩාගෙන යා යුතුය. නොඑසේනම් ඇය ගමන් කළ යුත්තේ ස්වර්ණාලේපිත දෝලාවකිනි.
දැන් ඇය සහමුළින්ම අලුත් තැනැත්තියකි. ඇයට සිය මන්දිරයෙන් බැහැරට යා හැක්කේ උත්සව අවස්ථාවකදී පමණි. පවුලේ පිරිසට නිතර ඇය හමුවන්නට අවසර නැත. ඒ හමුවන්නේ ද චාර්ත්‍ර වාරිත්‍රවලට අනුකූලවය. ඇයට ඇසුරු කළ හැක්කේ ඇගේම කුළයෙන් තෝරා ගන්නා සීමිත කිහිප දෙනෙකු පමණි. ඇගේ ඇඳුම රක්ත පැහැයෙන් යුක්ත අතර හිසට උඩින් ගැටයක් ගසා තිබේ. ‛අග්නි චක්කු’ හෙවත් ‛ගිනි ඇස්වලින්’ ඇගේ දෑස් සරසනු ලබයි. ඇයගේ වැඩකටයුතු කිරීම සඳහා සේවිකාවෝ කිහිප දෙනෙකුම වෙති. ඇය බැහැදැකීමට පැමිණෙන බැතිමත්තු ආශීර්වාද ලබාගනු පිණිස ඇගේ දෙපා සිපගනිති. රජු ද ආශීර්වාද ලබාගැනීම පිණිස සෑම වසරකම පැමිණ ඇගේ දෙපා සිපගැනීම සිරිතකි. ඇය සඳහා ස්වර්ණාලේපිත සිහසුනක් ද තිබේ.
ඇගේ බැල්ම පවා වාසනාව ගෙන එන්නක් බැව් විශ්වාස කරන බැතිමත්තු ඇය සිය මන්දිර කවුළුවෙන් පිටත බලන අවස්ථාවක් උදාවනතුරු රැස්ව සිටිති. කුමාරි දෙවඟනගේ සිත රිදවීම මහා විනාශයන්ට මුල්වල බැව් විශ්වාස කෙරේ. 1955 වසරේ තිභුවාන් රජුගේ මරණය, 1971 වසරේ මහේන්ද්‍ර රජුගේ මරණය, 1990 වසරේ බිරේන්ද්‍ර රජුගේ බලයෙන් පහවීම, 2001 වසරේ රජ පවුල ඝාතනයට ලක්වීම ආදිය සිදුවූයේ දෙවඟනගේ සිත් රිදීම්වලට රජ පවුල සම්බන්ධ වූ නිසා බැව් පැවසේ.
කුමාරි දෙවඟන ‛සර්වඥ’ හෙවත් ‛සියල්ල දන්නේ’ යැයි විශවාස කරන බැවින් අතීතයේදී ඇයට අධ්‍යාපයක් ලබාදුන්නේ නැත නමුත් ඇය මල්වරවීමෙන් අනතුරුව දේවත්වයෙන් ඉවත් කරනු ලබන බැවින් ඇයට ඉන්පසුව ගත කරන්නට සිදුවන්නේ සාමාන්‍ය ජීවිතයකි. එවිට ඇය කිසිත් නොදත් අඥාන තැනැත්තියක බවට පත් වේ. එබැවින් වර්තමානයේ එම දැඩි නීති රීති ඉවත් කොට ඇයට පෞද්ගලික ගුරුවරුන් ලවා අධ්‍යාපනය ලබාදෙන්නට කටයුතු යොදා තිබේ.
කුමාරි දෙවඟන මල්වරවීමෙන් පසුව ඇයට දේවත්වය අහිමිව යයි. එවැන්නියක හා විවාහ වීම ස්වාමි පුරුෂයාගේ අකල් මරණයට හේතුවන්නක් බැව් විශ්වාසයේ පවතින මුත් පසුගිය කාලයේ සිටි සියලුම දෙවඟනන් දේවත්වයෙන් බැහැර වූ පසු විවාහ වී සාර්ථක ජීවිත ගත කරනා බැව් පෙනෙන්නට තිබේ. ළමා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන පවසන්නේ මෙය ද ළමා අපයෝජනයක් බවය. දේවත්වයට පත්වන දැරියගේ ළමා කාලය ඇයට අහිමිව යන අතර සෙසු දැරියන් සේ නිදහසේ අධ්‍යාපනය හදාරන්නට ඇයට අවසරයක් නැත. ඇයට මේ කාලය මුළුල්ලේම මන්දිරයක් තුළ සිරගත ජීවිතයක් ගතකිරීමට සිදුවේ. කැමති ආහාරයක් ගත නොහැකි අතර බැතිමතුන් පූජා වට්ටිවල තබා ගෙනෙන දේ ආහාර ලෙස ගැනීමට සිදු වේ. අනෙක පය බිම තබා ඇවිදින්නට අවසර නැති හෙයින් දේවත්වයෙන් බැහැර වූ විට ඇවිදීමේ ගැටලු මතුවූ අවස්ථා බොහෝය. මේ සම්බන්ධව එක් අවස්ථාවක අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවකදී සම්ප්‍රදායට එරෙහිව යාමට අධිකරණයට පවා හැකියාවක් තිබුණේ නැත. අනෙක් අතට ශාක්‍ය වංශිකයෝ සිය දියණිය ‛කුමාරියක්’ බවට පත්කිරීමට සිහින මවති. එවැනි පසුබිමක් තුළ ළමා අයිතිවාසිකම් පිළිබඳ කතා කරන්වුන්ගේ හඬ නිතැතින්ම යටපත් වී යයි.
GOOD ARTICLE.
ReplyDeleteA very informative article!
ReplyDeleteThanx for the comment
Delete