පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 4, 2014

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලිනාට්‍යයේ සුද්දෝදන රජු වූ සමීර් ධර්මාධිකාරි - Sameer Dharmadhikari, the King Suddhodana of Sri Gauthama Sambuddha


ගෞතම සම්බුද්ධ කියන්නේ මේ දවස්වල ජනප්‍රියම ටෙලි නාට්‍ය අතුරින් එකක් කියන එක කවුරුත් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය ගැන කියැවුණත් බෞද්ධ අබෞද්ධ භේදයක් නැතිවම මේ ටෙලි නාට්‍යය නරඹන බව තමයි අපට අසන්න ලැබෙන්නේ.  අපි පසුගිය සති කිහිපයේ මෙහි ප්‍රධාන පෙළේ රංගන ශිල්පීන් කීප දෙනෙක් ගැනම කතා කළා. අදත් අපි කතා කරන්න යන්නේ ඒ වගේ කෙනෙක් ගැන තමයි. ඔහු නමින් සමීර් ධර්මාධිකාරි. ඔහු මේ නාට්‍යයෙන් අපි දකින්නේ සුද්ධෝදන මහරජතුමාගේ චරිතය තුළිනුයි. 


ජනප්‍රිය රූපවාහිනි සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පියකු ද වන සමීර් 1975 වසරේදී ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලැබුවා. මුළින්ම හයිඩ්‍රොලික් යන්ත්‍ර සැසුම් ශිල්පියකු ලෙස සේවය කළ ඔහු පසුව පූනේ හිඳී රංගනය හා වේදිකාව ගැන පාඨමාළාවක් හැදෑරුවා. මුම්බායි කරා පැමිණි ඔහු විවිධ ආයතන වෙනුවෙන් මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස වැඩකටයුතු කළා. මේ අතරතුරේදී තමයි ඔහුට රංගනය සදහා අවස්ථාවක් හිමු වුණේ. 

ඔහු වැඩි වශයෙන් ජනප්‍රිය පුංචි තිරයේ වුවත් 2007 වසරේ තිරගත වූ ඔහු ප්‍රධාන චරිත රංගනයෙන් දායක වුණු ‛නිරොප්’ කියන මරාති චිත්‍රපටය හොඳම මරාති සිනමා නිර්මාණය ලෙස ජාතික සිනමා සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර වුණා. 

ඔහු තමන්ගේ රංගන චාරිකාව ආරම්භ කළේ ද මරාති සිනමා නිර්මාණයකින්. සුළු චරිතයක් සඳහා දායක වුණු එය එතරම් ජනප්‍රියත්වයට පත් වූයේ නැහැ. ඔහු ‛ක්වික්සෑන්ඩ්’ කියන ඉංග්‍රීසි චිත්‍රපටයේද සුළු චරිතයකට දායක වුණා. ඔහු ගැන් වැඩි දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ ‛බුද්ධ’ එහෙමත් නැත්නම් අපි දන්න විදියට ‛ශ්‍රී ගෞතම සම්බුද්ධ’ නට්‍යයේ හා ‛මහාභාරත්’ කියන ඓතිහාසික නට්‍යවලට රංගනයෙන් දායකවීමෙන් පසුවයි. 

පවුලේ කට්ටිය

‛බුද්ධ’ නාට්‍යයට රංගනයෙන් දායකවීමන් ඔහුට ලැබුණු ජනප්‍රියතාවය කොයි තරම් ද කීවොත් ඔහු ඉදිරියේ පැමිණෙන්ට නියමිත ‛සිංහම් 2’ චිත්‍රපටය සඳහා ද තෝරා ගැනුණා. අනෙක ඔහු එහි පෙනී සිටින්නේ ද කැපී පෙනෙන චරිතයක් සඳහා බවයි දැනගන්නට ලැබෙන්නේ. සමීර් ද ඒ චරිතය ගැන තවමත් විශේෂ යමක් සඳහන් කොට නැහැ. 

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපන් ඔහු හින්දු ජාතිකයෙක් වුවත්, මව්බස වූයේ මරාති බසයි. ඔහු මරාති සිනමා නිර්මාණවල වැඩි වශයෙන්ම පෙනී සිටින්නට හේතුවත් එයයි. නමුත් ඔහුගේ හැකියාවන් නිසා හින්දි සිනමා හා ටෙලි නාට්‍ය නිර්මාණ සඳහා ආරාධන ලැබුණු අවස්ථාවේදී ඔහුට සෑහෙන ගැටලුවකට මහුණ දෙන්නට සිදු වුණා.  ඒ ඔහුගේ හින්දි භාෂා දැනුම බොහෝ පහළ මට්ටමක පැවතීම නිසයි. මේ නිසා ඔහු හින්දි භාෂාව පළිබඳ පාඩම් මාලාවක් ද හැදෑරූ බව ද දැනගන්නට ලැබෙනවා. 

මට ඒ චරිතවලට අදාළ දෙබස් මගේ භාෂාවෙන් ලියාගෙන කියවන්නත් තිබුණා. ඒත් මම හිතුවේ මොන චරිතයක් වුණත් සාර්ථකව කරන්න නම් තමන් කියන දෙබස් ගැන තමන්ට වැටහෙන්න ඕන කියන එකයි. ඒ නිසයි මම හින්දි භාෂාව ගැන මගේ තියෙන දැනුම තවත් වර්ධණය කරගන්නට ඕනෑ කියලා හිතුවේ.“ 

සමීර් තමාගේ හින්දි පාඩම් ගැන එසේ පවසනවා. 

සමීර් මේ වන විට සිනමා නිර්මාණ 19කටත්, ටෙලි නාට්‍ය 6කට දායක වී තිබෙනවා. ඒවා අතුරින් බහුතරයක් හින්දි බසින්ද අනෙක්වා මරාති බසින් ද නිෂ්පාදනය වී තිබෙනවා. 

සාමාන්‍යයෙන් රංගන ශිල්පීන් තමන්ගේ පෞද්ගලික ජීවිතය අවුල් කරගන්නට ඇති අවස්ථාව වැඩියි. නමුත් සමීර් ගැන කවුරුත් කතා කරන්නේ එහි අනෙක් පැත්ත. ඒ කියන්නේ ඔහු සාර්ථක විවාහ ජීවිතයක් ගතකරනවා කියන එක. ඔහුගේ බිරිඳ අපර්ණා ඉතා රූමත් කාන්තාවක් බව මාධ්‍යවලින් කිහිප අවස්ථාවකදීම පැවසුණා. ඔවුනගේ කැදැල්ලට අවුරුදු නවයක් පුංචි දියණියක් ද සිටිනවා. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න