පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 18, 2014

වැසිකිලි ගැටලුව නිසා ජීවිතයෙන් වන්දි ගෙවන ඉන්දියානු ගැහැනු - Toilet shortage fueling India rape scourge as women easy prey


අප අසල්වැසි ඉන්දියාවෙන් අසන්නට ලැබෙන පුවත් අතර ස්ත්‍රී දූෂණවලට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. ලැබී ඇති දත්තවලට අනුව 2011 වසරේදී ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ 24,206ක් ද, 2012 වසරේදී 24,923ක් ද, සිදුවී තිබේ. මේ වාර්තාවන්නේ ස්ත්‍රී දූෂණ සිදුවීම් පිළිබඳ පොලීසියට ලැබෙන පැමිණිලි පමණි. එසේ නොවන ඒවා මෙයට ඇතුළත් වී නැත. ජාත්‍යන්තර මාධ්‍ය යාමට තරම් ප්‍රබල කාන්තා හිංසන හා ස්ත්‍රී දූෂණ සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලය පුරා ඉන්දියාව තුළ සිදුවිය. දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙවැනිම සිදුවීමක් පිළිබඳ නැවතත් පසුගිය මැයි මාසයේ වාර්තා විය. දැනගන්නට ලැබෙන පරිදි සිදුවීම මෙසේය.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි ලක්නව් යනු මුඩුක්කුවලට ප්‍රකට නගරයකි. එහි ගම්බද ප්‍රදේශයකට වන්නට ජීවත් වූ පැල්පත් වාසී 14 හා 15 හැවිරිදි වියෙහි පසුවූ ඥාති දැරියෝ දෙදෙනකු රාත්‍රී කාලයේදී වැසිකිලි යාම පිණිස අසල පිහිටි උණ ගස් වැවුණු කැලෑ බද ප්‍රදේශයකට ගියහ. ඔවුන්ගේ නිවාසවල සිට මේ කැලෑ බද ප්‍රදේශයට ඇත්තේ මිනිත්තු 10 - 15 පමණ දුරකි. අනෙක මෙය ඔවුනට නුහුරු ගමනක් ද නොවේ. ඔවුන් වැසිකිලි යාම පිණිස කැලෑ බද ප්‍රදේශ තෝරාගන්නේ අන්කිසිවක් නිසා නොව ඔවුනට වැසැතිලි පහසුකම් නොමැති බැවිනි.

ඔවුනට මෙය නුහුරු ගමනක් නොවුන ද එදා රාත්‍රිය වෙනදාට වඩා වෙනස් විය. ඔවුන් පැමිණෙන තුරු යම් පිරිසක් එම උණ කැලෑවේ සැඟවී සිටියහ. මේ දැරියන් දෙදෙනාට තමා ආ කාරිය සිදුකරගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. එහි සිටි පිරිස මේ දැරියන් දෙදෙනාට පහර දී ඔවුනව දූෂණය කළහ. එතකිනිදු නොනැවතී දැරියන් දෙදෙනා මරා දමා ඔවුනගේ සිරුර අසළ තිබූ අඹ ගසක එල්ලූහ.

දැරියන් දෙදෙනාගේ සිරුරු එල්ලා තිබුණේ මේ අඹ ගසෙහිය 

දැරියන් මරා දමා එල්ලා තිබූ ආකාරය

දැරියන් මරා දමා එල්ලා තිබූ ආකාරය

මෙම සිදුවීමත් සමඟ ඉන්දියාව පුරා ස්ත්‍රී දූෂණවලට එරෙහිව නැවතත් උද්ඝෝෂණ ඇතිවන්නට පටන් ගත්තේය. මෙහිදී මතුවූ ප්‍රධානතම කරුණ වූයේ ඉන්දියාවේ බහුතරයකට වැසිකිලි පහසුකම් නොමැති වීම සහ ඒ නිසාම පැන නැගුණු  කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවයි. බිලියන 1.2ක් වන ඉන්දීය ජනගහනයෙන් මිලියන 665කට ම වැසිකිලි පහසුකම් නැත. ශ්‍රී ලංකාවේ ජනගහනය සිටින්නේ මිලියන 20 කට මදක් වැඩි ප්‍රමාණයකි. එවිට වැසිකිලි පහසුකම් රහිත කෙතරම් ප්‍රමාණයක් සිටින්නේ යැයි සිතාගත හැකිය. ගම්බද පළාත්වල බොහෝ දෙනෙකුට පෞද්ගලික වැසිකිලි පහසුකම් දක්නට නැත. ඇතැම් විට පොදු වැසිකිල පැවතිය ද ඒවා කාන්තාවන්ට භාවිත කිරීමට තරම් සුදුසු මට්ටමක නැත. අනෙක මෙවැනි පොදු වැසිකිලි අවට පිරිමින් නිතර ගැවසීම හා කාන්තාවන්ට විවිධ අඩන්තේට්ටම් කිරීම නිසා මේවාට යාමට කාන්තාවෝ අදිමදි කරති. එබැවින් ඔවුනට ඉතිරිවන එකම විකල්පය කැලෑ බද ප්‍රදේශ පමණි. නමුත් දැන් එය ද ගැටලුවක් බවට පත්ව ඇත.

ඉන්දියාවේ ඇති මෙම වැසිකිලි පහසුකම් නොමැති ගැටලුව දේශපාලනය කෙරෙහි ද තදින් බලපෑ කරුණක් බවට පත්ව ඇත. ඉන්දියාවේ නව අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි සිය මැතිවරණ පොරොන්දු අතර ප්‍රමුඛස්ථානයක් මෙම වැසිකිලි ගැටලුවට ලබාදී තිබිණි. ඔහු අවස්ථා කිහිපයකදීව පවසා සිටියේ කෝවිල් හා දේවස්ථාන ගොඩනැගීම පසුවට කල් දසා රට පුරා වැසිකිලි පහසුකම් නැංවිය යුතු බවය. වැසිකිලි නොමැති වීම නිසා කාන්තාවනට තම ගරුත්වය පිළිබඳව පමණක් නොව සිය ජීවිත ආරක්ෂාව පිළිබඳව ද දැන් ගැටලු මතුව තිබෙනවායනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ ඉන්දීය නියෝජිත ලුවී-ජෝර්ජ් ආර්සනෝල්ට් පවසයි.

ඉන්දියාවේ ක්‍රියාත්මක වන සනීපාරක්ෂක ප්‍රතිශෝධන ව්‍යාපාරයක ආරම්භකයා වන බින්දෙෂ්වාර් පථාක් පවසන්නේ අඩුම තරමින් වැසිකිලි මිලියන 120ක් ගොඩනැගිය හැකි නම් මෙම ගැටලුව සෑහෙන දුරකට නිරාකරණය කරගත හැකි බවය.

මෙම සිදුවීමේදී දූෂණයට ලක් වූ දැරියන් දෙදෙනා අයත් වූයේ ඉන්දියාවේ පහත්ම කුළයකටය. මෙවැනි  පහත් කුලවලට අයත් දැරියන් ස්ත්‍රී දූෂණයට ලක්වීම ඉන්දියාවේ බහුලව සිදුවන්නකි. විශේෂයෙන් මෙවැනි ස්ත්‍රී දූෂණවලට සම්බන්ධවන්නන් අතර පහත් කුළවල ජනතාවට දිය පොදක් දීමට පවා මැළිවන උසස් කුළවල පිරිමි සිටීම ද කැපී පෙනෙන සිදුවීමකි.

සාමාන්‍යයෙන් මුඩුක්කු ආශ්‍රිතව දිවි ගෙවන කාන්තාවන් කිසිවිටෙක තනිව මෙවැනි කැලෑ බද ප්‍රදේශවලට යන්නේ නැත බොහෝ විට කණ්ඩායමක් ලෙස යනු දක්නට ලැබේ. පිරිමින්ගේ විවිධ අඩන්තේට්ටම්වලින් වැළකෙනු වස් බොහෝ විට ඔවුන් මේ සඳහා තෝරාගන්නේ අලුයම් කාලය හා රාත්‍රි කාලයයි. කාන්තාවන් සමූහ වශයෙන් සිටින බැවින් මෙමැනි අවස්ථාවක ආරක්ෂාව පිණිස හෝ වැඩිහිටි පිරිමි මේ සඳහා පැමිණෙන්නේ ද නැත.

මෙම දැරියන් මෙම කැලෑ බද ප්‍රදේශයට යාමෙන් තරමක වේලාවකට පසු ඔවුනගේ මාමා කෙනෙකු සිය හරකුන් සෙවීම පිණිස මේ සමීපයට ගොස් තිබේ. ඔහුට කෑ ගැසීමක් ඇසී ඇත්තේ එවිටය. ඒ ප්‍රදේශයට ඔහු ගිය විට එහි සිටි කිහිප දෙනෙකු තුවක්කුවක් පෙන්වා ඔහුට තර්ජනය කොට ඇත.
මම තුවක්කුව දැකලා හොඳටම බය වුණා. මම පැනලා දිව්වා.ඔහු පවසයි.

ඉන්දියාවේ උසස් නිලධාරීන් පවා වැසිකිලි පහසුකම් රහිත වීම හා ස්ත්‍රී දූෂණ අතර සෘජු සම්බන්ධයක් ඇති බැව් අවබෝධකොට ගෙන සිටී. නමුත් මෙවැනි ස්ථානවලට පොලිස් ආරක්ෂාව සැපයීම සම්බන්ධව ප්‍රයෝගික ගැටලු ද තිබේ. වැසිකිලි පහසුකම් අඩු කාරණය නාගරික මුඩුක්කුවලට ගැටලුවක් වුව ද එය ස්ත්‍රී දූෂණ සිදුවන්නට තරම් හේතුවක් බවට පත්වන්නේ ගම්බද ප්‍රදේශවල පමණකි. එයට හේතුව වැසිකිලි පහසුකම් සපුරාගනු පිණිස කාන්තාවන් කැලෑවන් තෝරාගන්නේ ගම්බද ප්‍රදේශවල වීම නිසාය.

හවසට වැසිකිලි යනවා කියන්නේ හරිම භයානක දෙයක්. අරක්කු බීපු පිරිමි ඒ වගේ තැන්වල නිතර ඉන්නවා. අපට කරන්න කියලා කිසිම දෙයක් නැහැ. මටත් පිරිමියෙක් මේ වගේ කරදරයක් කළා. මම ඒක මගේ නැන්දම්මාට කිව්වා. ඒත් නැන්දම්මා කිව්වා සද්ද නැතිව ඉන්න කියලා. මේකද ඒ පිරිමියා මේ පැත්තේ බලවතකුගේ ඥාතියෙක්.මෙසේ පැවසූයේ දැනට 50 හැවිරිදි වියෙහි පසුවන සරීති කුෂ්වහා ය. උත්තර් ප්‍රදේශ්හි මිල්කිපූර් ගමෙහි වෙසෙන ඇය ද වැසිකිලි ගැටලුව නිසා එක් අවස්ථාවක දූෂණයට ලක් වූ තැනැත්තියකි.


පසුගිය අප්‍රේල් මාසයේදී හර්යානා ප්‍රාන්තයේදී කාන්තාවෝ දෙනෙකු හා තරුණියෝ දෙදෙනකු වැසිකිලි ගැටලුව නිසා දූෂණයට ලක් වූහ. නරේන්ද්‍ර මෝදි සිය මැතිවරණ පොරොන්දුවේ වැසිකිලි ගොඩනගන්නට පොරොන්දු වුව ද සියලු විටම සිදුවන්නේ දූෂණ හා මුදල් වංචා නිසා මෙවැනි ව්‍යාපෘති ලත් තැනම ලොප්වීම බව බොහෝ දෙනෙකු පවසති. අනෙක ජයග්‍රහණය කිරීමෙන් පසුව දේශපාලඥයින්ට මෙවැනි ගැටලු අමතක වන බව ද ඔවුහු චෝදනා කරති. ඇතැමෙක් පවසන්නේ මෙතරම් ස්ත්‍රී දූෂණ ප්‍රමාණයක් සිදුවනන්නේ වුවත්, කාන්තාවක් වශයෙන් තමිල්නාඩු මහ ඇමතිනිය මෙම ගැටලුව සම්බන්ධව අවධානයක් යොමුකරන්නට පවා උනන්දු නොවන බවය. ඔවුන් පවසන පරිදි ඇය වැඩි අවධානය යොමුකොට ඇත්තේ සිය රටේ වැසිකිලි පහසුකම් නංවන්නට නොව ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යය ගොඩනංවන්නටය. 

4 comments:

  1. හින්දි චිත්‍රපටවලින් පෙන්නන්නේ මොන තරම් බොරුවක්ද? ඉන්දියාව සුරපුරයක් කියලානේ අපි දකින්නේ. ඒත් ඉන්දියාව මිහිපිට අපායක්.

    ReplyDelete
  2. හප්පා..ඉන්දියාවනම් ඕනිම නෑ. මහ ජරා රටක්. කිසිම පිරිසිදු කමක් ගෑවිලාවත් නැති ජාතියක්. මේ ළඟදි ඊමේල් එකකින් ආව ෆොටෝ වගයක් බැලුවා. ඒ මිනිස්සු කොහොම ලෙඩ නොවී ඉන්නවද මංද.

    පළමු වතාවට මේ පැත්තට ආවේ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. අපේ කට්ටිය හිංදි චිත්‍රපටිවලට රැවටිලා හිතාගන ඉන්නේ ඉන්දියාව කියන්නේ සුරපුරයක් කියලා.

      Delete
    2. මේ පැත්තට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න