පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 18, 2014

අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි - Aththatu Na Ath Ey Igilei - Carnation, the Japanese Tele Drama


විදෙස් රටවල නිෂ්පාදය කෙරෙන ටෙලි නාට්‍ය සිංහල උප සිරැසි සහිතව හෝ සිංහල බසින් හඬකවා විකාශනය කිරීම අපේ රටේ බොහෝ රූපවාහිනි නාළිකවන් විසින් කාලයක පටන් සිදුකරනු ලබන්නකි. මේ සඳහා බොහෝ නාළිකවන් විසින් තෝරාගනු ලැබූයේ ඉන්දීය, ජපන්, චීන හෝ කොරියන් ටෙලිනාට්‍යයන්ය. මෙසේ හඬකවා විකාශනය කළ විදෙස් ටෙලි නාට්‍ය අතුරින් ඔෂීන්, සුජාත දියණි, අභීත දියණි, අසලියා මල, දිරිය දියණි, ඉසිවර වෙදැදුරු ආදිය බොහෝ දෙනෙකුට මතකයේ තිබෙන්නට පුලුවන. මේ බොහෝ නාට්‍යවලින් කියැවෙන්නේ ජීවිතයේ පහළම අඩියක සිට අධිෂ්ඨානයෙන් යුක්තව ඉදිරියට යමින් දිවි සටන ජයගත් කාන්තාවන් පිළිබඳ සැබෑ වෘතාන්තයන්ය. කෙසේ නමුත් ජීවිතය ජයගත් කාන්තාවන් අතුරින්  අප බෙහෝ දෙනෙකුට තවමත් මතකයේ රැඳුණු චරිතයක් බවට පත්ව ඇත්තේ ඔෂීන්ය. එය ජපන් ටෙලි නාට්‍යයකි. ජපානයේ මෙවැනි දිරිය දියණියෝ බොහෝ වෙති. ඉතිහාසයෙන් හමුවන එවැනි තවත් ජපන් ජාතික දිරිය දියණියක් වන්නේ ඉතෝකෝ ඔහාරාහෙවත් පසුකාලීනව කවුරුත් දැන හඳුනාගත් පරිදි අයාකෝ කොෂිනෝය. ජීවිතය ජයගන්නට වෙහෙසවන සුවහසක් ජනතාවට ආදර්ශයක් වන බැවින් ඇගේ කතාව ටෙලි නාට්‍යයක් බවට පත් කරන්නට ජපානයේ එන්. එච්. කේ සමාගම තීරණය කළේය. ඒ අනුව ඔවුහු කානේෂන්නමින් ටෙලි නාට්‍යයක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කළහ.  ජපානයේ අතිශය ජනප්‍රියත්වය පත් වූ මෙය දැන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට නැරඹීමේ අවස්ථාව ජාතික රූපවාහිනි සංස්ථාව විසින් උදාකොට තිබේ. ඒ අත්තටු නෑ - ඒත් එයා ඉගිළෙයිටෙලි නාට්‍යයි.

සිලි සිලි හිම වැස්සේ
සල සල කටකාරකම්
සර සර මැහුමක මේ පුංචි දූ
සක්විති වේදෝ මගේ පුංචි දියණී

අත්නොහරින දිරිය ඔබයි
අත් දිගු කළ දෑත ඔබයි
අත්හුරුවෙන් ලොවම දිනයි
අත්තටු නෑ - ඒත් එයා ඉගිළෙයි

සිසිලස ගින්න දවයි
තුටු පොද එගිනි නිවයි
සරු සිත ඉවුරු තලයි
අත්තටු නෑ - ඒත් එයා ඉගිළෙයි

ඉහත තේමා ගීතයත් සමග ඔබ හමුවේ දිගහැරෙන මෙය 2014 මාර්තු 31 වැනිදා අපේ රටේ විකාශනය ආරම්භ කළ අතර සතියේ දිනවල සවස 6.30 ට නැරඹිය හැකිය. මෙහි හඬ කැවීම සඳහා ප්‍රවීන මෙන්ම ආධුනික ශිලපීන් රැසකගේ දායකත්ව ලබාගෙන තිබේ.

කානේෂන්ටෙලි නාට්‍යය 2011 ඔක්තෝබර් 3 වැනිදා සිට 2012 මාර්තු 31 වැනිදා දක්වා ජපානයේ විකාශන විය. මෙහි සැබෑ දිරිය දියණිය වූ අයාකෝ කුෂිනෝ යනු ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ජපන් ජාතික මෝස්තර සැළසුම් ශිල්පිනියන් වූ හිරෝකෝ කුෂිනෝ, ජුන්කෝ කුෂිනෝ සහ මිචිකෝ කුෂිනෝ යන සොයුරියන් තිදෙනාගේ මවය.
සැබෑ කතවේ සාරාංශය මෙසේ වේ.

කතාව ආරම්භ වන්නේ 1924 වසරෙනි. ඉතෝකෝ ඔහාරා හෙවත් අයාකෝ කුෂිනෝ නිදහස්ව සිතන 11 හැවිරිදි දැරියකි. ඇය කුඩා කිමෝනෝ මැහුම් සළක් පවත්වාගෙන යන සෙන්සාකුගේ සහ ධනවත් පවුලක තරුණියක වන චියෝ ගේ වැඩිමහල් දියණියයි. ඇය ඇඳුම් මසන්නට කැමැත්තක් දැක්වූවත්, ඒවාට සමබන්ධ වන්නට ඇයට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඇය කොබේ නුවර සිය සීයා සහ ආච්චි හමුවන්නට ගිය අවස්ථාවේ දී බටහිර ඇඳුම් විලාසිතාවන් දකින්නට ලැබෙයි. ඇය පාසලේ ඉගෙන ගන්නා අතරේදීම මැහුම් යන්ත්‍රයක් පරිහරණය කරන්නට අවස්ථාව හිමිවෙයි. ඇයට ඒ පිළිබඳව හැඟෙන්නේ ඉමහත් සතුටකි. බටහිර ඇඳුම් කෙරෙහි කැමැත්තක් නොදක්වන දරදඬු ගතිපැවතුම් ඇති සිය පියාට තම සිතෙහි නළියමින් ඇති කැමැත්ත ගැන කෙසේ හෝ අවබෝධ කරවන්නට ඇයට හැකියාව ලැබෙයි. ඇය ඇඳුම් මැසීමට ඇති සිය සිහිනය සැබෑ කරගන්නට පාසල අධ්‍යාපනයට සමුදෙයි. නමුත් ඇය ඉදිරියේ ඇති බාධක බොහොමය. ඇයට වැරදුන තැන් බොහෝය. ඇසූ අවලාද අපමණය. කෙසේ මුත් සේ සියලු බාධක මැඩගනිමින් ඇය 1934 දී සිය ප්‍රථම බටහිර ඇඳුම් සළ විවෘත කරයි. අයාකෝගේ ඇඳුම් සළෙහි සිය සහායකයා ලෙස සිටි මසාරු කවමෝතෝ ඇයට විවාහ යෝජනාවක් ගෙන එයි. එයට කැමැත්ත පළ කරන ඇය ඔහු සමඟ විවාහ වෙයි. ඔවුන් දෙදෙනාට දියණියෝ තිදෙනෙකු ඉපදෙති. පිරිමි සහ කාන්තා යන දෙපිරිසටම ඔවුන් බටහිර පන්නයේ ඇඳුම් මසාදීම සිදු කරන ඔවුහු කෙමෙන් සාර්ථකත්වය කරා පිය මනිති. නමුත් දෙවැනි ලෝක මහා යුද්ධය සියල්ල වෙනස් කරයි.

කානේෂන්’, එසෙත් නැත්නම් ඔබ හොඳින් දන්නා පරිදි අත්තටු නෑ - ඒත් එයා ඉගිළෙයිනාට්‍යය ඔබ හමුවේ දිගහැරෙන්නේ මේ ආකාරයටය. මෙහි කතා නායිකාව වන ඉතෝකෝ ඔහාරා ජපානයේ ජනප්‍රියත්වය පත් වූයේ අයාකෝ කුෂිනෝ නමිනි. ඇය ලෙස මෙහි පෙනී සිටින්නේ මචිකෝ ඔනෝ ය. ඉතෝකෝගේ ළමා විය අකාරි නිනොමියා ද ඇගේ මහලු විය මාරි නට්සුකි  විසින් ද නිරූපණය කරනු ලබයි. මේ සැබෑ කතා නායිකාව වන ඉතෝකෝ හෙවත් අයාකෝ කුෂිනෝ 2006 වසරේදී මිය යන විට වයස අවුරුදු 92ක්විය.

අයාකෝගේ ළමා විය නිරූපණය කරන අකාරි නිනොමියා



2002 වසරේ ජපානයේ ඔසාකා හි ඉපදී ඇති ඇය පිළිබඳව වැඩි තොරතුරක් අන්තර්ජාලයේ සඳහන් වන්නේ නැත. Juho 2405: Watashi ga Shinu Wake නමින් 2014 වසරේදී එක් චිත්‍රපටයක රංගනයෙහි යෙදී ඇති ඇය කානේෂන්ඇතුළුව තවත් ටෙලි නාට්‍ය තුනකට දායක වී තිබේ.

අයාකෝගේ තරුණ විය නිරූපණය කරන මචිකෝ ඔනෝ


1981 නොවැම්බර් 4 වැනිදා උපන් මචිකෝ සිය රංගන හැකියාව ළමා වියේදීම ප්‍රකට කළාය. චිත්‍රපට අධ්‍යක්වරියක වන නයෝමි කවාසේ ඇගේ දක්ෂතා හඳුනාගෙන සිය නිර්මාණයක ප්‍රධාන චරිතය ඇයට ලබා දෙනු ලැබිණි. ඒ සුසාකුචිත්‍රපට සඳහාය. එහි ඇගේ රංගනය වෙනුවෙන් මෙම සිනමා නිර්මාණයට 1997 කෑන්ස් සම්මාන උළෙලේදී Camera d'Or සම්මානය හිමි විය. ඇගේ මෙම චරිතය වෙනුවෙන් ඇයට සිංගප්පූරු සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සමිමානය හිමි විය. පසුව තවත් විවිධ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුගේම නිර්මාණවලට දායක වූ අතර පසුව නැවත රංගනයෙන් දායක වූ කවාසෝගේම මෝර්නිංන්ග් ෆොරෙස්ට්සඳහා 2007 වසරේ කෑන්ස් සම්මාන උළෙලේදී ග්‍රූන්ඩ් ප්‍රික්ස්සම්මානය ඇයට හිමි විය. ඇය මේ වන විට චිත්‍රපට 7කට හා ටෙලි නාට්‍ය 12කට රංගනයෙන් දායක වී තිබේ.

අයාකෝගේ මහළු විය නිරූපණය කරන මාරි නට්සුකි


අයාකෝගේ මහළු විය නිරූපණය කරන  ශිල්පිනියගේ නම මාරි නට්සුකි වුව ද ඇගේ සැබෑ නම ජුන්කෝ නකජිමා ය. 1952 මැයි 2 වැනිදා උපන් ඇය නිළියක් සේම නර්තන ශිලිපිනයක හා ගායිකාවක ද වන්නීය. ටෝකියෝ හි උපන් ඇය ඉතා කුඩා වියෙහිදීම ගී ගායනය යොමු වූවාය. 2006 වසරේදී ඇය නෝබු සයිටෝ සමඟ යුග දිවියට එළැඹුණාය. සිනමා නිර්මාණ 14කට හා ටෙලි නාට්‍ය එකකට පමණක් ඇය රංගනයෙන් දායක වී ඇති ඇගේ නම ජපන් ඇකඩමි සම්මානය සඳහා දෙවරක් යෝජනා වී තිබේ.


2011 දී සිදුවූ තොහොකු භූචලනය හොතුවෙන් මෙහි රූපගතකිරීම් ප්‍රමාද වූ අතර කතාවේ කොටස් ද අඩුකිරීමට සිදුවිය. ජපානයේ මෙය කොටස් 151කින් යුක්තව විකාශනය විය. කෙන්ජි තනාකාගේ අධ්‍යක්ෂණයෙන් හා අයා වටනාබේගේ තිර රචනයෙන් යුක්තව නිර්මාණය වුණු මෙය ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ඉතා ඉහළ මට්ටමකින් දිනාගත් ටෙලි නාට්‍යයක් ලෙස ප්‍රකට වී තිබේ. 2011 වසරේ පැවැත්වුණු 49 වැනි ගැලැක්සි සම්මාන උළෙලේදී මෙම ටෙලි නාට්‍යයට හොඳම රූපවාහිනි වැඩසටහනට හිමි ග්‍රෑන්ඩ් ප්‍රික්ස්සම්මානය හිමි විය.


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න