පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, February 4, 2015

ගැහැනුන්ට වද දුන් සුළං - Women and Wind Troubles



සුළඟ යනු පුදුමාකාර දෙයකි. සුළඟ එනු පිණිස අපට කළ හැකි කිසිවක් නැති අතර සුළඟ නේනු පිණිස ද කළ හැකි කිසිවක් නැත. එය ඉබේම පැමිණෙන්නේය. වෙලාවකට මද වශයෙන් ද වෙලාවකට සැඩ වශයෙන් ද පැමිණෙන්නේය. සැඩ වශයෙන් පැමිණෙන විට චිත්‍රපට හදන්නට සිතෙන අතර පණහ දශකයේදී සැඩ සුළංචිත්‍රපයට අපට දකින්නට හැකි වූයේ ඒ නිසා විය යුතුය. දහඩිය දමන වෙලාවට අපි සුළංවලට කැමතිය. සීතල වෙලාවට කැමති නැතිය. අපේ රටට නම් සුළඟ ඕනෑම කරන දෙයක්ය. සුළඟ නැත්නම් අපේ රටත් අප්‍රිකාව තරම් රස්නයක් ඇති රටක් වන්නේ යැයි ඉස්කෝලේදී කියා දුන්නා මතකය. රට වටේ මුහුදක් ඇති නිසා අපට ඇති තරම් සුළං ලැබෙන්නේය. ඒ නිසා අපේ රට රත්වන්නේ නැතිය. හිටිගමන් එන යෝධ සුළං ලෝකයට හොඳ නැත. හොඳ නැත්තේ ඒවා ලෝකය විනාශ කරනා නිසාය. ඒ වාගේ සුළං නිසා අපට සුළඟත් එක්ක තරහා එන්නේය. සරුංගල් කාලයට සුළං ආවේ නැත්නම් ඒත් අපට තරහා එන්නේය. වෙළෙඳාමේ යන අය ඉස්සර ආසාවෙන් බලා සිටියේ වෙළෙඳ සුළං එනතුරුය. සුළඟට ගසාගෙන ආ ලොරෙන්සෝ ද අල්මේදා නිසා පරංගි අපේ රටට ආවේය. එයින් පසුව අප හැමෝටම හුළංය කියා හිතෙන තරමට දේවල් සිද්ද වුණේය. සුළං මෝල් තිබෙන නිසා විදුලිය නිපදවන අයට සුළං ඕනෑම දෙයක්ය. විදුලිය තිබුණත් නැතත් සිංදු ලියන අයට ද සුළං තියෙන්නම ඕනෑ දෙයක්ය. සුළඟේ පාවී ඈ වෙත යාවී, සුළං රැල්ළ ලෙස හමා එමී, සුළං කපොල්ලේ, සුළඟ ලෙසින් ඉගිල්ලිලා, සුළි සුළං හමාලා, සුළඟ නුඹ වගෙයි, සිහිල් සුළං රැල්ලේ වාගේ සිංදු අපට ඇහෙන්නේ ඒ නිසාය. සුළඟ ගැන තව කියන්නට එක එක දේවල් ඇතත් දැන් කියන්න යන්නේ වෙන දෙයක් ගැනය. මේ කතාව සුළඟ සහ ගැහැණු අතර ඇති සම්බන්ධයක් වාගේ දෙයක් ගැනය. සුළඟ සමග ගැහැණු සම්බන්ධද කියා දන්නේ නැති වුණත් මේ පිංතූරවලින් කියන්නේ ඒ වාගේ සම්බන්ධයක් තියෙනවා වාගේ කියාය. ඒත් මේ ගැහැණුන්ගෙන් සුළඟ ගැන මේ වෙලාවේ ඇහුවේ නම් සුළඟට වාගේම අපට ද ලුණු ඇඹුල් ඇතිව යමක් අසාගන්නට ලැබෙන බව විශ්වාසය.



බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන කැරොලයින් ෆ්ලැක්ට සුළඟට විතරක් නොව බලා සිටිය අයගේ කැමරාවට ද අසුවුණාය.




අගේ ඇති කුමරියක් සිටි චාල්ස් කැමිලා පාකර්ට අසු වූ අතර මේ අවස්ථාවේදී කැමිලා පාකර් සුළඟට අසුවුණාය

කොයිතරම් මෝස්තර ඉදිරිපත් කළත් මේ වගේ ඒවා ඉදිරිපත් කරන්නට බ්‍රිතාන්‍ය මෝස්තර නිරූපණ ශිල්පිනී කෙලින් බෘෘක්ට පුලුවන් වන්නේ සුළඟට අසුවූ විටය.


සුළඟ කියන්නේ කොයිතරම් නිර්භීත දෙයක් ද කියා සිතෙන්නේ රැජින අස්සේ මේ විදිහට සුළඟ යනවා දකින විටය.


මිචෙල්ට වදදෙන සුළඟ ගැන ඔබාමාට ගාණක්වත් නැති හැටි



මේ හෙලන් මිරන්ය. ජාතිය බ්‍රිතාන්‍යය. හොඳම නිළිය සඳහා ඇකඩමි සම්මානය ද දිනාගත්තාය.  ඉන්නේ එංගලන්තයේය. ‘ඉතිං මට මොකද?‘ සුළඟ ඇසුවේය.  සුළඇවිත් ඇගේ තොප්පිය ගැළවූ විට ඇගේ කට මෙසේ ඇරුනේය.


චීන අගමැති නම් ඉන්නේ අහක බලාගෙන වාගේය. ඒත් ජර්මන් චාන්සලර් ඇන්ජෙලාේ  මර්කෙල්ට ලැජ්ජා සිතුනාය. ඒ අගමැති  ඉන්නකොටම මෙහෙම සුළඟ ආ හින්දාය. 

මේ ඉන්නේ මිස්කා බර්ටන්ය. රූපවාහිනි හා ටෙලිනාට්‍ය නිළියක්ය. ඇමරිකාවේ හා මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ද තිබෙන්නේය. ඒත් නිගමනය කළ හැක්කේ සුළඟට ඒවා වැඩක් නැති බවය.

සමුදුර පුවත්පත එක්ක අතීත ආවර්ජනයක් - Retrospecting with Samudura Newspaper


පාසල් යන කාලේ පත්තරවලට ලියන එක විනෝදාංශයක් වෙලා තිබුණු මට රස්සාවක් විදිහට පත්තරවලට ලියන්න අවස්ථාවක් ලැබුණේ සුමති ප්‍රකාශන ආයතනයෙන් ‛සමුදුර’ පුවත්පතේ කර්තෘ මණ්ඩලය සඳහා පිරිස බදවාගැනීමත් එක්කයි. පුවත්පත් කලාව ගැන මෙලෝ හසරක් දැනගෙන නොහිටියත් (ඇත්තම කිව්වොත් මම ඒ ගැන තවම දන්නේ නැහැ) කුමක් හෝ හේතුවකට ඒ කාලයේ සුමති ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන කර්තෘත්වය දරපු බන්දුල පද්මතුමාර මහත්තයා මා ත්, තව දෙන්නෙකු ත් මේ වැඩේට තෝරාගත්තා. මාත් එක්ක තෝරාගත්තා අනෙක් දෙන්නා තමයි දැන් ස්වර්ණවාහිනියේ ‛ලෝක සිතියම’ සම්බන්ධව (මම හිතන්නේ තවම ඒක තමයි කරන්නේ) සියලු කටයුතු කරන භාරතී වීරසිංහ සහ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යව්දියෙකු වන (මම දන්න තරමින් එතැන තමයි ඉන්නේ) මනෝජ් ප්‍රසාන් රත්නායක. 

මුළින්ම පිටු 20ක් සහිත පුවත්පතක් නිර්මාණය කරලා මුද්‍රණය කළා. එය බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කුමක් හෝ ප්‍රදර්ශනයක නොමිලේ බෙදුවා. හැමෝම ඇහුවේ “මේ පත්තරේ කවදද එන්නේ?” කියලයි. මේ බෙදපු පත්තරේ පිටු 20ක් තිබුණා. නමුත් වෙළෙඳපොළට නිකුත් කරන්න සැළසුම් කළ පත්තරේ පිටු සංඛ්‍යාව 16 දක්වා අඩු කළා. අර මුල් පත්තරේ ඇතැම් පිටු අද දක්වාත් ප්‍රකාශයට පත්කරලා නැහැ. 

මේ කියන කාලේ, ඒ කියන්නේ 1992 දී අන්තර්ජාලය කියන්නේ අපේ රටේ කොහොමත් ජනප්‍රිය දෙයක් නෙවෙයි. හැමෝම අතේ පරිගණක තිබුණෙත් නැහැ. අන්තර්ජාලය වැඩි හරියක් විද්‍යා සඟරා හා පුවත්පත්වල ලිපිවලට පමණක් සීමාවෙලා තමයි තිබුණේ. අනෙක අද වගේ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා තිබුණෙත් නැහැ නේ. ඉතිං ලෝකය වටා සිදුවන සිදුවීම්, ඉංග්‍රීසි බසින් පළවන වැදලත් ලිපි ලේඛන ගැන තොරතුරු දැනගන්න තිබුණු ඉඩකඩ සීමාවෙලා තිබුණේ. ‛ඩයිජස්ට්’වර්ගයේ සඟරා වෙළෙඳපලේ තිබුණත් සතියකට වරක් එවැනි දැනුම නැවුම්ව රැගෙන එන මුද්‍රිත මාධ්‍යයක් තිබුණේ නැහැ. 

සමුදුර පුවත්පත ප්‍රකාශයට පත්කරන්න සතියකට කලින් මේ ගැන කොහෙන් හෝ ආරංචියක් ගිහින් ‛ලෝකය’ කියලා පත්තරයක් වෙළෙඳපොළට ආවා. අපි ප්‍රකාශයට පත්කරන්න සූදානම්වෙලා හිටි ලිපිත් ඒ අතරේ තිබුණා. නමුත් අපි එයට වඩා හොඳින් පුවත්පත සැළසුම් කරලා තිබුණු නිසා ඒ ගැන නොසළකා 1992 දෙසැම්බර් 2 වැනි බදාදා මුල්ම සමුදුර වෙළෙඳපොළට නිකුත් කළා. හිතුවෙවත් නැති විදිහට මෙය මිනිස්සු අතර පුදුම විදිහට ජනප්‍රිය වෙලා ගියා. 

‛සත් සමුදුරෙන් එහා විසල් ලොවකට ඔබ කැඳවාගෙන යන සාර සංග්‍රහය’ කියන තේමාව යටතේ තමයි සමුදුර සකස් කෙරුණේ. බන්දුල පද්මකුමාර මහත්තයා මෙය නිර්මාණය කරලා තිබුණේ ‛එක් පින්තූරයක් වචන දහසකටත් වඩා වටී’ කියන සංකල්පය ඔස්සේ. ඒ කියන්නේ සමුදුර පත්තරේ පින්තූර වැඩිපුර තියෙන ලිපිවලට වැඩි තැනක් දුන්නා. ඇතැම් පින්තූර සාමාන්‍යයෙන් ඒ කාලේ හොයාගන්න අමාරු ඒවා. පැරණි LIFE සඟරා, National Geographic, Eye Witness, Time, Newsweek, Frontline, India Today, Hello වැනි පුවත්පත් ඡායාරූප එකතු සහිත පොත් ආදියෙන් මේ සඳහා තොරතුරු අරගත්තා. 

ඉතිං මේ විදිහට පටන්ගත්තු සමුදුර එයින් වසර 22කට පස්සේ අදත් තියෙනවා. සංකල්පවල, පිටු සංඛ්‍යාවේ ආදියේ වෙනස්කම් තිබුණත් අදටත් බොහෝ දෙනෙක් අතර මෙය ජනප්‍රිය බව පේනවා. අද කාලේ අන්තර්ජාල පහසුකම් ඕනෑ තරම් තිබුණත් මේ පත්තරේ කියවලා දැනුම ලබාගන්න අය සෑහෙන්න ඉන්නවා. ඉතිං මමත් අදටත් ඉඳළා හිටලා හරි සමුදුරට ලියනවා. ඉදිරියටත් සමුදුර පවතීවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
මේ දාලා තියෙනනේ වෙළෙඳපොළට නිකුත් කළ මුල්ම සමුදුර පුවත්පතේ පිටු. කියවන්න පහසුවන ආකාරයට විශාල ප්‍රමාණයෙන් දාලා තියෙනවා. 


පසුව ලියමි

මා මේ ලියූ සටහන 2019 ජූනි මාසයේ නැවත කියවන සමය වන විට සමුදුර පුවත්පත මුද්‍රණය කිරීම නවතා දමා තිබුණා. මේ ප්‍රකාශන ආයතනයේ ඉරිදා ලක්බිම සහ රැජින යන පුවත්පත් ද ප්‍රකාශයට පත්කිරීම නවතා දමන්නට එහි පාලනාධිකාරය තීරණය කොට ඇති බවත් දැනන්නට ලැබී තිබුණා.
















Tuesday, February 3, 2015

නවග්‍රහයන්ගෙන් ආරක්ෂාව ලබාගත හැකි නවරත්න මුද්දෙහි කතාව - Story of Navarathna Ring



මැණික් කියන්නේ සෞභාග්‍යයේ සංකේතයක්. මැණික් පැළඳීම හෝ තමන් සන්තකයේ තබාගැනීම නිසා වාසනාව, සෞභාග්‍යය උදාවන බවට දුරාතීතයේ පටන්ම විශ්වාසයක් පවතිනවා. ආසියානු කලාපයට අයත් වන අපේ රටවල පමණක් නොව බටහිර රටවල ද රජවරු තමන්ගේ රජ කිරුළ මුදුනේ වටිනා මැණිකක් සවිකරගන්නට උනන්දු වූයේ ඒ නිසයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්නේ මැණික් වර්ග බොහෝ ගණනක් ඇති බව කෞතුකාගාරයට ගිය අයෙකුට දකින්නට පුලුවන්. ඒ වගේම ඉන්දියාවෙන් සොයා ගත් කොහිනූර් දියමන්තිය එංගලන්ත මහ රැජිනගේ ඔටුන්නේ සවිකොට තිබෙනවා. මැණික් සෞභාග්‍යයේ සංකේතයක් වගේම මුදල් ඒකකයක් විදිහට ද පිළිගැනෙනවා. වර්තමානයට වඩා එය අතීතයේ සුලභව දකින්නට ලැබුණා. අපේ රටේ වටිනා මැණික්වලට විදෙස් රටවලින් වෙනත් භාණ්ඩ හුවමාරු කරගත් බව ඉතිහාස කතාවල දැක්වෙනවා. 

ජ්‍යොතිෂයේ කියැවෙන පරිදි ග්‍රහයන්ගේ සහ මැණික් වර්ග අතර සම්බන්ධතාවයක් පවතිනවා. එක් එක් ග්‍රහයාට ආවේණික වූ මැණික් වර්ගයක් පවතින අතර පෘථිවියට බැලුම් හෙළන ග්‍රහයන්ගේ ආකර්ෂණය ලබාගන්නට මේ මැණික්වලට හැකියාවක් පවතින බව අතීතයේ පටන්ම විශ්වාසයක් පවතිනවා. මිනිසුන් මැණික් වර්ග පැළඳීමේ පුරුද්ද ඇතිවන්නට ඇත්තේ මේ විශ්වාසය පදනම් කරගෙන විය යුතුයි. මේ මැණික් වර්ග සිරුරේ කුමන තැනක පැළඳගෙන සිටියත් ආකර්ෂණයේ නොවෙනස්ව ලැබෙන බවයි පැවසනේනේ. ජ්‍යොතිෂයේ දැක්වෙන පරිදි නව ග්‍රහයන් සඳහා මේ අනුව මැණික් වර්ග නවයක් පවතිනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල නවරත්න පළඳනා බොහෝ ජනප්‍රියව පවතින්නේ මේ නිසා විය හැකියි. ජ්‍යොතිෂයේ දැක්වෙන පරිදි මේ මැණික්වලින් සුබපල ලැබීමට නම් ඒවා සිරුරේ ස්පර්ශ වන පරිදි තිබිය යුතු වෙනවා. අපේ රටේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට නවරත්න මුදු. නමුත් ඉන්දියාව, තායිලන්තය වගේ රටවල නවරත්නවලින් නිර්මාණය කළ මාල හා අත්පළඳනා ද ඇති බව පේනවා. මෙසේ මැණික් පැළඳීමෙන් මේ ග්‍රහයන්ගේ ආරක්ෂාව ලැබෙන බවයි ජ්‍යොතිෂයේ පැවසෙන්නේ. 

නවරත්න අත් පළඳනා

නවරත්න මාල


විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් මැණික් පැළඳීමෙන් විශේෂ යහපතක් අත්වන බව තවමත් තහවුරු වී නැහැ. නමුත් යම්කිසි පුද්ගලයකුගේ මානසිකත්වය නගා සිටුවීම සඳහා මැණික් පැළඳීමෙන් යම් බලපෑමක් ලැබෙන බව මනෝ විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. යම්කිසි මැණික් වර්ගයක් පැළැඳ සිටින බවට ඇතිවන හැඟීම ඔස්සේ යම්කිසි පුද්ගලයකුගේ ආත්ම ශක්තිය වර්ධනය කරගැනීම වැනි බලපෑමක් ඇති කළ හැකියි. 

ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ග්‍රහයන් නව දෙනෙක් ගැන කියැවෙන බව අපි කතා කළා.  මේ ග්‍රහයන් නව දෙනා වෙනුවෙන් වෙන්කොට ඇති මැණික් වර්ග තමයි නවරත්න කියා හඳුන්වන්නේ. මේවා ගැන වේද ජ්‍යොතිෂයේ පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා.  අපි මුළින්ම ඒ ඒ මැණික් වර්ග සහ ඒවා අයත්වන ග්‍රහයන් ගැන සොයා බලමු. 

1. පද්මරාග - රවි හෙවත් සූර්යයා
2. මුතු - සඳු
3. රතු කොරල් - කුජ හෙවත් අඟහරු
4. පච්ච/මරකත - බුධ
5. පුෂ්පරාග - ගුරු හෙවත් බ්‍රහස්පති
6. දියමන්ති - සිකුරු
7. නිල් - ශනි හෙවත් සෙනසුරු
8. ගෝමේද - රාහු
9. වෛරෝඩි - කේතු 

එක් මැණික් වර්ගයක් පළඳිනවාට වඩා නවරත්න පැළඳිමේ විශේෂ වාසියක් තිබෙනවා. එක් මැණික් වර්ගයක් පැළඳීමෙන් සිදුවන්නේ ඒ මැණිකට අදාළ ග්‍රහයාගේ බලපෑම් අඩුවැඩි කරගැනීමයි. නමුත් ඒ සියලු ග්‍රහයන්ගෙන් ලැබෙන පල සමබර කරගන්නට නවරත්න මුද්දෙන් උදව් ලැබෙන බව ජ්‍යොතිෂයේදී විශ්වාස කෙරෙනවා. අනෙක නවරත්න මුදු පැළඳීම සඳහා ජ්‍යොතීර්වේදියෙකුගේ විශේෂ නිර්දේශයක් අවශ්‍ය නොවන බවත් කියැවෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් නවරත්න මුදු පමණක් පැළඳීම සිදුකරන අතර මෙම ආභරණ තැනිය යුත්තේ රන්වලින් හෝ රිදීවලින්. 

නවරත්න යනු මණික් වර්ග නවයක් වුවත් මෙම පළඳනා සදහා, විශේෂයෙන් නවරත්න මුදු සඳහා යොදා ගැනෙන්නේ බොහෝ විට මැණික් කැපීමේදී ඉවත දමන කොටස්වලින් කුඩා ප්‍රමාණයෙන් සකස් කරගන්නා මැණික්. මේ නිසා මේවාට විශාල මුදලක් වැයවන්නේ නැහැ. අපේ රටේ බොහෝ ස්වර්ණාභරණ අළෙවි සැල්වල විවිධ ප්‍රමාණයේ නවරත්න මුදු අළෙවිකරන්නට තබා ඇති ආකාරය දකින්නට පුලුවන්. මැණික්වලට ප්‍රසිද්ධ ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර වැනි පළාත්වල මේවා විශේෂයෙන් දැකිය හැකියි. නමුත් නවරත්න මුද්දක් මිලදී ගැනීමේදී පරෙස්සම් විය යුතුයි. එයට හේතුව ව්‍යාපාරික වශයෙන් මේවා කරගෙන යන ඇතැම් පුද්ගලයන් මැණික් නොවන ගල්, වීදුරු හා සෙලෝලොයිඩ් මෙම මුදු සඳහා භාවිත කරන නිසයි. අනෙක මේ සඳහා භාවිත කරන මැණික්වල කිසිදු පලුද්දක් නොතිබිය යුතුයි. ඒවගේම නවරත්න මන්ත්‍ර මගින් ජීවම් කිරීමෙන් පසු මේවා පළඳින්නේ නම් එයින් ලැබිය හැකි සුබඵල අපමණ බවයි ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ. 

සාමාන්‍යයෙන් නවරත්න මුද්දක් සකස්කරගන්නා ජනප්‍රිය ආකාරය

බොහෝ දෙනෙක් නවරත්න මුදු නිර්මාණය කරන්නේ පැත්තකට ගල් තුන බැගින් පිහිටන අයුරින්. නමුත් ඉන්දියානු වේද ග්‍රන්ථවල දැක්වෙන්නේ වෙනත් ආකාරයකටයි. එයට අනුව රවි හෙවත් සූර්යයාට හිමි පද්මරාග මාණික්‍යය මැදින් තබා අනෙක් ඒවා එය වටා සිටින සේ පිළියෙල කළ යුතු බවයි. එයින් සංකේතවත් වන්නේ සූර්යයා ප්‍රමුඛ සෞරග්‍රහ මණ්ඩලයයි. අනෙක් මැණික් පිහිටුවන්නේ ද නිශ්චිත දිශාවකට අනූකුළවයි. මෙහි ඉහළින්ම ඇති රූප සටහනේ දැක්වෙන්නේ නිවැරදි ආකාරයට නවරත්න පිහිටුවා මුද්දක් සකස් කරගන්නා ආකාරයයි. කලින් තැනක සඳහන් කළා සේ  මේ මැණික් මුද්දට සවිකළ යුත්තේ මුද්ද පැළඳි පසු සමේ සප්ර්ශවන ආකාරයටයි. එසේ ස්පර්ශවන්නේ නැත්නම් මෙයින් බලාපොරොත්තුවන ප්‍රතිඵල ලබාගැනීමට හැකියාවක් නැති බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ.

Monday, February 2, 2015

මදුරුතලා ගැන කතා කරමු - Ocimum sanctum/ Hortonia floribunda/Holy basil/Sacred basil


අද අප අවට පරිසරයේ සිටින මදුරුවන් තරමටම මදුරු දඟර වර්ග තිබුණ ද දැනට කලකට පෙර මදුරු දඟර කියා දෙයක් තිබුණේ නැත. අද තරමට මදුරුවන් ද නොසිටි එම කාලයේ මදුරු උවදුරින් ගැලවෙන්නට විවිධ ස්වභාවික දේ යොදා ගැනුණි. මෙසේ යොදා ගත් එක් දෙයක් වූයේ ‘මදුරුතලාය’. මදුරුතලා යනු කුඩා ගස් වර්ගයකි. වල් පැළෑටියක් ලෙස වැවෙන මේවා ගලවා ගෙනැවිත් හොඳින් තලා දුම් අල්ලනු ලැබිණි. මේවා එකල මෙම කාර්යය හැරුණුවිට බොහෝ දෙනෙක් මදුරු තලා අන් කිසිවක් සඳහා ප්‍රයෝජනයට නොගැනුණි. එහෙත් එය ඖෂධ පැළෑටියක් වග නම් වැඩිහිටියෝ දැන සිටියහ. 

Ocimum sanctum/ Hortonia floribunda යන විද්‍යාත්මක නම්වලින් හඳුන්වනු ලබන මෙම පැළෑටිය පිළිබඳ මෙසේ කතා කරන්නට හේතු වූයේ ප්‍රංශය වැනි යුරෝපයේ මිල අධික රූපලාවන්‍ය ද්‍රව්‍ය නිපදවන රටවලින් මේවා සඳහා ලොකු ඉල්ලුමක් පැවැතීම නිසාය. විශේෂයෙන් මදුරුතලා අමුද්‍රව්‍යයක් වශයෙන් නිපද වන ඖෂධ මගින් සමෙහි රැලි වැටීම් සහ වියපත් දුරු කරන බව ඒ සම්බන්ධ පරීක්ෂණ මගින් සනාථ වී තිබේ. අලංකාර සමක් ලබාගැනීම සඳහා නිපදවන විවිධ රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා එම රටවල් මදුරුතලා ඉතා විශාල වශයෙන් ආනයනය කරයි. නමුත් රූපලාවන්‍ය කටයුතු සඳහා අමුද්‍රව්‍යයක් ලෙස මදුරුතලා යොදා ගන්නා බවක් අප රටේ බොහෝ දෙනෙක් නොදනිති.

ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් මදුරුතලා දක්නට ලැබේ. මදුරුතලා වර්ග ගණනාවකි. අප රටෙහි මෙය දේශීය ඖෂධයක් පමණක් වුවද ඉන්දියාවේ තත්ත්වය එයට වඩා වෙනස්ය. ඉන්දියාවේ මෙය වන්දනීය පැළෑටියකි. තුල්සි හෝ බැසිල් යන නම්වලින් හඳුන්වන මෙම පැළෑටිය ඔවුනට ශුද්ධ වස්තුවකි. මෙය ශරීරයේ ස්පර්ශ වීමෙන් පමණක් වුවද පව් සේදී යන බැව් ඔවුහු විශ්වාස කරති. ඔවුහු මෙය දිනපතා වන්දනාමාන කරනා පැළෑටියකි. මරණයේ දෙවියා වූ ‘යම’ මුලා කරන්නට මෙම පැළෑටියට හැකියාව ඇතැයි විශ්වාස කරනා ඔවුහු සිය ගෙවත්තේ මේවා සිටුවා ගැනීමට විශේෂ උනන්දුක් දක්වති. 


ක්‍රිෂ්ණා දෙවියන් මෙම පැළෑටිය වගා කළ බවට මතයක් පවතින නිසා එම දෙවියන් වන්දනාමාන කිරීම සඳහා මදුරුතලා විශේෂයෙන් යොදා ගැනෙයි. මේවා ආගමික විශ්වාස පමණක් වුව ද සැබැවින්ම මදුරුතලාවල ඇති ඖෂධීය වටිනාකම අතිමහත්ය.

රූපලාවන්‍ය නිෂ්පාදනයන්ට ප්‍රසිද්ධියට පත්ව ඇති යුරෝපීය රටවලින් ද මෙම ශාකයට සෑහෙන ඉල්ලුමක් තිබේ. මෙයින් තෙල් වර්ගයක් නිපදවා ගන්නා අතර එය සමෙහි නිරෝගී බව රැක ගන්නට අනාදිමත් කාලයක සිටම ඉන්දියානුවෝ හුරුපුරුදුව සිටිති. මෙය සමෙහි ඇති අහිතකර බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන බැව් පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත.

එමෙන්ම සමෙහි අලංකාර වර්ණවත් බවක් ඇතිකිරීම සඳහා ද මෙම පැළෑටියෙන් නිපදවා ගන්නා ඖෂධ භාවිතා කෙරේ. මේවා වෙළෙඳ‍පොළේ දක්නට ලැබෙන්නේ ද ‘හෝලි බැසිල්’ යන ඉන්දියාවේ මේවා හඳුන්වනු ලබන නමිනි. මිලි ග්‍රෑම් 500 පෙති වශයෙන් ඇති මෙම
ඖෂධ නිසි පරිදි භාවිත කිරීමෙන් සම අලංකාරවීම හා නිය ශක්තිමත්වීම සිදුවන බැව් පැවැසේ. එමෙන්ම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පහසු කරවීම, සිරුරේ ග්ලූකෝස් මට්ටම සමබර කිරීම ආදියටද හේතුවන බැව් සොයාගෙන තිබේ.

මීට අමතරව මදුරුතලා පැළෑටියේ තවත් බොහෝ ඖෂධීය ගුණාංග දක්නට ලැබේ. මේවායේ කොළ වියළා තනා ගන්නා කුඩු පානය කිරීමෙන් සුළඟින් බෝවන රෝගවලින්, පාරිසරික වෙනස්කම් නිසා ඇතිවන බැක්ටීරියා ආසාදන, කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ආදියෙන් ආරක්ෂාව ලබාදෙයි.

මීට අමතරව ස්වසන පද්ධතිය ශක්තිමත් කිරීමට, ගැස්ට්‍රයිටිස් වැනි විවිධ උදරාබාධවලින් සහනය ලැබිමට, මුත්‍රා පද්ධතියේ නිරෝගී බව රැක ගැනිමට ද මදුරුතලා පැළෑටියේ ඖෂධීය ගුණය හේතුවේ. එමෙන්ම සමෙහි පිළිකා නසන්නට ද මෙහි අපූරු හැකියාවක් ඇති බැව් පෙනෙන්ට තිබේ.

මදුරුතලා පිළිබඳ නිරන්තර පර්යේෂණවල යෙදී සිටින ඉන්දියාවේ රාජස්ථාන් සරසවිය මෑතකදී මෙයින් ගත හැකි තවත් අපූරු ප්‍රයෝජනයක් පිළිබඳ ලොවට හෙළි කළේය.

ඒ ජලයේ ඇති ෆ්ලෝරයිඩ් ඉවත් කිරීමට මෙහි අපූරු හැකියාවක් තිබෙන බවය. අප රටෙහි ද උතුරු මැද පළාතේ ජීවත් වන බොහෝ දෙනෙක් එහි පවතින අධික ෆ්ලොරයිඩ් නිසා විවිධ දත් රෝගවලින් පීඩා විඳිති. එබැවින් මෙම ප්‍රයෝජනය අප රටට ද ‍පොදුය. මෙම පැළෑටිය යොදාගනිමින් ජලයේ ඇති ෆ්ලෝරයිඩ් ඉවත් කිරීමට වැය වන්නේ ද අඩු මුදලකි.

දැනට පවතින තාක්ෂණයට අනුව ජලයේ ඇති වැඩි ෆ්ලෝරයිඩ් ඉවත් කිරීම සඳහා අධික මුදලක් වැය වේ. අනෙක් එම තාක්ෂණය පරිසර හිතකාමී ද නොවේ. මදුරුතලා පත්‍ර ජලයේ ‍පොඟවා තැබිමෙන් අධික ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් ඉවත් කරන්නට හැකි බැව් රාජස්ථාන් සරසවිය කළ පර්යේෂණයෙන් තහවුරු වී තිබේ. අනෙක මෙම අඩුවන මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජලයේ තිබිය යුතුයැයි නිර්දේශ කොට ඇති ප්‍රමාණයටද ඉතා ආසන්නය.

අප රටෙහි ඉතා අඩු සැලකිල්ලකට ලක්ව, බොහෝ විට වල් පැළෑටියක් යැයි සිතමින් උදුරා විසි කරනා මදුරුතලා පැළෑටියේ ඖෂධීය ගුණ සැබැවින්ම තවත් බොහෝය. නමුත් අප රටෙහි ඇති අනෙකුත් ඖෂධ පැළෑටි සේම මෙයින්ද කිසිවකු එතරම් වටිනා ප්‍රයෝජනයක් ගන්නා බව නම් පෙනෙන්නට නැත.

Sunday, February 1, 2015

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ




කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ
කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ 

මේක ජන කවියක්. මේ ගැන කියන්න හොඳම කාලය තමයි මේ. 

රජයක් අවසන් වෙලා අලුත් රජයක් පත්වෙලා තව වැඩි දවසක් නැහැ. රජයක් වෙනස් වෙනවා කියන්නේ බලයේ වෙනස්වීමක් ද සිදුවෙනවා කියන එකයි. පසුගිය රජය කාලේ හිටපු ජනපතිවරයාගේ සිට ඇමතිලා සහ මන්ත්‍රීවරයා දක්වා සියලු දෙනාගේම බලය පහළ ගිහින් තියෙනවා. ජනපතිවරයාගේ බලය පහළ යනකොට ඔහු වටා සිටි ඇමතිවරුන්ගේ බලය පහළ යනවා. ඒ ඇමති වටේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ බලය පහළ යනවා. ඒ මන්ත්‍රීවරුන්ගේ හෙංචයියලාගේ බලයත් පහළ යනවා. 

ඒ වගේම අලුත් ජනපතිවරයා සහ අගමැතිවරයාගේ බලය ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා අලුත් ඇමතිවරු පත්වෙලා ඉන්නවා. ඔවුන්ගේ බලය දැන් වැඩියි. දැනට මාසෙකට විතර කලින් ඔවුන්ට ලොකු බලයක් තිබුණේ නැහැ. දැන් ඔවුන් වටා ඉන්න අයගේ බලය ද ඉහළ ගිහින් තියෙනවා. 

මේක තමයි ලෝකයේ හැමදාම, හැමතැනම සිද්ද වුණේ. ඉදිරියේදී සිද්ද වෙන්නෙත් ඒකම තමයි. 

මේ ජනකවිය අපට මතක් කර දෙන්නෙත් ඒ ධර්මතාවයම තමයි. අපි බලමු දැන් ඒ කවියෙන් කියැවෙන්නේ මොකකද් කියලා. 

කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ 

ඒ කියන්නේ කැලණි ගඟ ගංවතුර වැනි තත්වයන් නිසා නිතරම වතුර පිටාර මට්ටමේ තියෙන්නේ. ඇතැම් වෙලාවට පිටාර යනවා. 

කෙටල පටානෝ නිතර උඩයට යානෝ 

ගංගාවල කෙටල ගස් තියෙනවා. කැලණි ගඟෙත් තියෙනවා. ‛කෙටල පටානෝ’ කියන්නේ කෙටල කොලවලට. කැලණි ගඟේ වතුර මට්ටම ඉහළ යනකොට කෙටල කොල ඉහළ යනවා. වතුර පහළ යන කාලෙට කෙටල කොල පහළ යනවා. 

ප්‍රබලයා (කැලණි ගඟ) ඉහළ යනකොට ඒ අවට සිටින දුබලයාගේ (කෙටල) බලය ද ඉහළ යනවා. 

ප්‍රබලයාගේ බලය පහළ යනකොට දුබලයාගේ බලයත් පහළ යනවා.
අපි හැමදාම දකින්නේ මේ ධර්මතාවය තමයි. 


මේ ගැන තවත් අදහසක්