පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 20, 2016

අයිසිස් ත්‍රස්ත ග්‍රහණයෙන් ජීවිතය ගළවා ගත් නාදියාගේ කතාව - A Yezidi Woman Who Escaped ISIS Slavery


අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහළියක ලෙස දස වද විඳි කාන්තාවක ඔවුන්ගෙන් පළා විත් සිය ජීවිතය ගළවාගන්නට සමත් වූ පුවත ලෝකය පුරාම කතාබහට ලක්විය. ඇය හමුවූ ලෝක ප්‍රකට ටයිම් සඟරාවේ ලේඛිකාවක වන චාර්ලට් ඇල්ටර් ඇය පිළිබඳව ටයිම් සඟරාවෙන් මෙසේ පවසයි. 

විසි එක් හැවිරිදි නාදියා මුරාද් බාසී ටහා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේ උතුරු ඉරාකයේ වෙසෙන තමා ද අයත්වන යෙසිදි ජනවර්ගය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ වද හිංසාවන්ට නිතර ලක්වන බවය. 230,000ක් පමණ ජනගහනයක් වෙසෙන යෙසිදි ජනවර්ගය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ඉළක්කයක් බවට පත්වන්නට හේතු වූයේ ඔවුන් කිසිවකු ඉස්ලාම් ආගම අදහන්නේ නැති බැවින් ඔවුන් ‛කෆීර්’ හෙවත් ‛විශ්වාස නොකරන්නන්’ බවට පත්ව ඇති බැවිනි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට අවශ්‍ය මෙම ජනවර්ගය සමුල ඝාතනය කිරීමය.  2014 වසරේදී  යෙසිදි කාන්තාවන් 5,200ක් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලැබිණි. එයින් 3,400ක් පමණ තවමත් ඔවුන්ගේ ග්‍රහණයේ පසුවන්නේ යැයි විශ්වාස කෙරේ. මෙම ජන වර්ගයට අයත් ප්‍රජා නායකයන් පවසන්නේ මෙසේ සිරගතව සිටින බහුතරයක් කාන්තාවන් වන අතර පිරිමින් සටන් කරන්නට යොදාගනු ලබන බවත් එය ප්‍රතික්ෂේප කරන්නන්ට මරණ දඬුවම ලැබෙන බවත්ය.  මේ ආකාරයට දහස් ගණනක් ඝාතනයට ලක්ව තිබේ. යෙසිදිවරුන් ලක්ෂ හතරකට වැඩි සංඛ්‍යාවකට සිය නිවෙස් අතහැර යන ලෙස අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් බලකරනු ලැබ ඇත. 

ඉස්ලාම් දහමේ ඉගැන්වන පරිදි  වහළියන් ලෙස මුස්ලිම් නොවන කාන්තාවන් තබාගැනීම නිතරම පාහේ සිදුවන්නකි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විශ්වාස කරන්නේ එක් කාන්තවක මුස්ලිමුන් 10 දෙනෙක් අතින්  දූෂණය වූ විට ඇය ඉබේම මුස්ලිම් කාන්තාවක බවට පත්වන බවය. ඉස්ලාම් ආගමේ දැක්වෙන පරිදි එවැනි කාන්තාවන් මිලට ගැනීම, අළෙවිය සටන්කරුවන් අතර හුවමාරු කරගැනීම සිදු කළ හැකි වේ. 

නිව්යෝර්ක් නුවර සිටින නාදියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනුයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව පවතින යෙසිදි ජන වර්ග ඔවුන්ගෙන් ගළවා ගන්නා ලෙසය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මිදී පළා ආ කාන්තාවන්ට සරණ වීමේ සඳහා ඇමරිකා එක්සත් ජනපදය තුළ පිහිටුවා ගත් ලාබ නොලන ආයතනයක් වන ‛යසාදා’ හි සහායෙන් ඇය සිය කතාව ලෝකය හමුවේ තබන්නීය. 

නාදියා සිය මව, සොහොයුරන් සහ සොයුරියන් සමඟ ජීවත් වූයේ උතුරු ඉරාකයට සමීප කොචා නගරයේය. ඒ 2014 පසුගිය ජූලි මාසයේය. ඇය සිසුවියක වූ අතර ඇයගේ ජනප්‍රියතම විෂයය වූයේ ඉතිහාසයය. ඇයට අවශ්‍ය කළේ ගුරුවරියක වීමටය. “මම ගත කළේ සාමකාමී ළමා කාලයක්. මම අයි.එස්.අයි.එස්. එක ගැනවත්, ඔවුන් කරන්න යන්නේ මොනවාද කියාවත් දැන සිටියේ නැහැ.” නාදියා පවසන්නීය. 

නමුත් වැඩි දිනක් යන්නට පෙර රූපවාහිනියෙන් ඇය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තරම දුටුවාය. 2014  අගෝස්තු මාසයේ එක් දිනක ඇය සිය සොයුරිය සමඟ යමින් සිටියදී ඇය ඉදිරියේ යම් පිරිසක් සිටිනු ඇය දුටුවාය. ඔවුන් රූපවාහිනියෙන් තමා දුටු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ පෙනුමට සෑම අතින්ම සමාන බැව් ඇයට දැනුණි. ඔවුන් වැඩි කලක් නොගොස් තමා කරා පැමිණෙන බැව් ඇය මොහොතකට හෝ සිතුවේ නැත. 

2014 අගොස්තු 15 වැනිදා අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පැවසූයේ නගරයේ කෙළවරේ ඇති පාසලකට සියලු දෙනාටම යන ලෙසය. එය දිවා ආහාර වේලාව විය. පාසල කරා ගමන් කරන අතරේ අතර මග සෑම අතම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සිටිනු ඇය දුටුවාය. ඇතැමුන් මුහුණ වසාගෙන සිටි අතර ඇතැමුන් එසේ සිටියේ නැත. ඔවුහු එකිනෙකට වෙනස් භාෂාවන් කතා කළහ. 

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු පැමිණ කාන්තාවන් හා පිරිමින්ව වෙන් කළහ. නාදියා සමග තවත් කන්තාවන් පිරිසක් එම ගොඩනැගිල්ලේ දෙවැනි මහළට රැගෙන යනු ලැබිණි. පසුව අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු පැයක් ඇතුළත නාදියාගේ සොයුරන් ඇතුළුව පිරිමි 312 දෙනෙක් ඝාතනය කළහ. නාදියා මේ සියලල්  සිය දෑසින්ම දුටුවාය. ලිංගික වහළියන් ලෙස අළෙවි කරන්නට නොහැකි තරම් වයසක සිටි මහළු කාන්තාවන් ද ඔවුහු මෙසේ ඝාතනය කළහ. 

නාදියා වැනි තරුණියන් ඝාතනයට ලක් නොවූ අතර ඔවුන්ව මොසුල් නගරයට රැගෙන යනු ලැබිණි. ඔවුහු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ අතවරවලට ලක්වන්නට පෙර එහි දින තුනක් ගත කළහ. “අපව එහිදී  අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට දුන්නා.” නාදියා පැවසූවාය. ඇය තමා කෙරෙහි ඇති අාකර්ෂණීය බව නැති කරගැනීම සඳහා කොණ්ඩය ද කපා දැමුවාය. එසේ කිරීමෙන් ඔවුන්ගෙන් ගැළවී යා හැකැයි ඇය සිතුවාය. තවත් අය සිය මුහුණට බැටරි ඇසිඩ් වත්කර ගත්හ. නමුත් මේ කිසිවක් සාර්ථක වූ බවක් පෙනුනේ නැත. 

පැහැර ගැනීමට ලක්වූ නාදියාගේ සොයුරිය එක් කාන්තාවක් සිය මැණික්කටුව අසළින් අත කපා ගන්නා ආකාරය දැක තිබුණු බව නාදියා පැවසූවාය. ඇතැම් කාන්තාවෝ පාළම්වලින් පැන සිය ජීවිතය නසා ගත්හ. ඔවුන් සිටි ගොඩනැගිලේ සෑම තැනම තිබුණේ ලේ පැල්ලම්ය. කාන්තාවන් දෙදෙනෙකු එතැනදීම සිය දිවි නසාගත් ගත්හ. 

නාදියා කිසි විටෙක සිය ජීවිතය නසාගන්නට සිතුවේ නැත. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ඇයට එසේ කරනු ඇතැයි ඇය සිතුවාය. මොසුල්වලදී සෑම කාන්තාවක්ම උදෑසන ඇඟ සේදිය යුතු විය. පසුව ඔවුන්ව ෂාරියා අධිකරණයකට රැගෙන ගොස් ඡායාරූප ගත කරන බව නාදියා පැවසූවාය. පසුව ඔවුන්ගේ ඡායාරූප අධිකරණයේ බිත්තියේ ප්‍රදර්ශණය කරනු ලබන අතර එයට යටින් එම කාන්තාවන් අයත් හමුදා නිලධාරියාගේ දුරකන අංකය ද සඳහන් කරනු ලබයි. එවිට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට තමන් කැමැති කාන්තාව ඉල්ලා සිටින්නට හැකිය. 

මෙසේ කාලය ගත වෙද්දී නාදියාගේ වාරය ද පැමිණියේය. ඇය අනෙකුත් කාන්තාවන් සමග ඔවුන්ගේ කාමරයට වී බිම බලාගෙන සිටියාය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියකු පැමිණියේය. 

රෝසපාට හැට්ටය ඇඳල ඉන්න ගෑනි මට හොඳයි’ 

යනුවෙන් පැවසූ බව නාදියා පවසන්නීය. 

මම ඔළුව උස්සලා බලන කොට දැක්කේ යෝධ හැඩි දැඩි පිරිමියෙක්. මම යටිගිරියෙන් කෑ ගැහුවා.” 

දිගු කොණ්ඩයක් සහ රැවුළක් තිබූ ඔහු හැඩි දැඩි යෝධයෙක් බැව් නාදියා මෙනෙහි කරන්නීය. ඇය සිය ඥාති සොයුරියන් සමඟ එකිනෙකාගේ දෑත් අල්ලාගෙන  සිටියාය. ඔහුගෙන් ඇය ගළවා ගන්නට ඔවහු හැකි සෑම උත්සාහයක්ම කළහ. 

අප  එකිනෙකා අල්ලාගෙන සිට අතරේ  ඔවුන් අපට පොලුවලින් පහර දුන්නා. ඔහු මාව ඇදගෙන පහළ මාළයට ගියා. මේ විදිහට අරන් යන හැම දෙනාගේම නම් ඔවුන් එතැන ලියා ගන්නවා.” 

ඇය පවසයි. 

මේ යෝධ මිනිසා සමඟ පොර බදද්දී ඇය කුඩා සිරුරක් ඇති වෙනත් පුද්ගලයකු දුටුවාය. ඔහු ද අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියකු වූ අතර ඔහු පැමිණ සිටියේ ද යෙසිදි කාන්තාවක් රැගෙන යාමටය. ඔහු සිරුරින් කුඩා අයකු වූ බැවින් ඔහු සමග යාමට කැමති වීම යම් සහනයක් වනු ඇතැයි නාදියාට සිතිණි. 

මම එකපාරටම ඔහුගේ කකුල් දෙක ළඟ වැටිලා කිව්වා, “මාව මේ යෝධයාගෙන් බේරගෙන ඔබ ළඟට ගන්න. මම ඔබ කියන ඕනෑම දෙයක් කරන්නම්කියලා. පස්සේ ඔහු මාව තෝරා ගත්තා.” 

නාදියා පවසයි. 

නාදියාගේ නව හිමිකරු උස් සිහින් සිරුරැත්තකු විය. විරූපී මුහුණක් තිබූ ඔහුගේ දත් මුවින් පිටතට පැමිණ තිබූ බැව් නාදිය පවසන්නීය. ඔහුගේ මුහුණේ පැවැතියේ සිනහවක් හෝ වේදනාවක්දැයි තමන් නොදැන සිටි බව ද ඇය පැවසූවාය. 

ඔහු නාදියාව ඔහුගේ පෞද්ගලික නවාතැනකට රැගෙන ගියේය. එය දොරවල් දෙකකින් යුක්ත කාමරයක් විය. ඔහු පිටතට යන සෑම අවස්ථාවකම එම දොරවල් දෙක අගුලු ලෑමට අමතක කළේ නැත. ඔහු දිනකට පස් වතාවක් යාඥා කළ බව නාදියා පවසන්නීය.  ඔහුට බිරිඳක් සහ සාරා නමින් දියණියක් ද සිටි මුත් නාදියා කිසි දිනෙක ඔවුන් හමු වී නැත. දිනක් ඔහු මොසුල් නගරයේ සිටි සිය දෙමාපියන් හමුවට ඇය රැගෙන ගියේය.  

ඔවුන් එදා මට ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න කියලා බල කළා. හේතුවක් නොදන්නවා වුණත් මම එහෙම කළා. ඒ අඳුරු රාත්‍රියේ ඔහු ගැහැනියකට කළ හැකි සියලු දෙයම මට සිදු කළා.” 

ඇය සක්ෂි දෙමින් පවසා සිටියාය. 

එයින් පසුව මේ මිනිසාගෙන් ඇයට විඳින්නට සිදුවූ දූෂණ වද හිංසා නිමක් නොමැති විය. ඇය මේ සියල්ල ඉවසා දරා සිටින්නට නොහැකි තැන එතැනින් පළා යාමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. 

එදා රෑ ඔහු මට හොඳටම පහර දුන්නා. මා නිරුවත් කරලා ඒ කාමරයට තවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් හය දෙනෙක් අරන් ආවා. මට සිහිසුන්වන තුරුම ඔවුන් මගේ සිරුරින් තෘප්තිමත් වුණා.” 

නාදියා එසේ පවසන්නීය. 

ඔවුන් කළ අපරාධය පිළිබඳ අංශු මාත්‍රයක තරම් හෝ පසුතැවීමක් වනු තමන් නොදුටු බව නාදියා පවසයි. ඒ සිටින්නේ තමාගේ බිරිඳදැයි අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ අසනු විට ඔවුන් පවසා තිබුණේ, 

මේ මගේ ගෑනි නෙවෙයි. මේ මගේ ලිංගික වහළියයි” 

යනුවෙනි. ඔවුන් එසේ කියා සිය සතුට පළකරනු වස් අහසට වෙඩි තැබූහ. 

ඇයව අල්ලා ගත් එක් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියකුට සිය කාමරයේ දොර අගුළුලන්නට අමතක වූ අවස්ථාවක් බලා 2014 නොවැම්බර් මාසයේදි ඇය එතැනින් පළා යන්නට සමත් වූවාය. ඇයට සරණාගත කඳවුරක් කරා යාමට හැකියාව ලැබිණි. සරණාගතයන් ජර්මනියට රැගෙන යන වැඩසටහනකට ඇය තෝරා ගැනුණි. ඇය දැනට සිටිනුයේ ස්ටගාර්ට් නගරයේය. නමුත් එය ඇගේ නිවහන නොවේ. ඇගේ පවුලේ බොහෝ දෙනෙක් තවමත් අයි.එස්අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ වද කඳවුරුවල දුක් විඳින බැව් ඇය දනී. 

මම සියලු දෙනා දාලා ආවා. මගේ පවුලේ හැමෝම තවම ඔවුන්ගේ කඳවුරේ ඇත්තේ.” 

ඇය පවසන්නීය. 

ඇගේ පැතුම කෙදිනකක හෝ සිය පවුලේ පිරිස සමග යළි එක්වන්නට වුවත් ඒ සිහිනය සැබෑ වේදැයි කිසිවකුට හෝ අනාවැකි පැවසිය නොහැකිය. 




Tuesday, July 19, 2016

ඇන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණය - නුගා (Android N - Nougat)



ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් කරළියට එන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට බව අප කවුරුත් දන්නා දෙයක්. ඉංග්‍රීසි A සහ B සඳහා නම් නැති වුණත් එතැන් පටන් සියලු සංස්කරණයන් සඳහා නම් තිබෙනවා. ේවා විශේෂත්වය වන්නේ සියල්ලම රසකැවිලිවල නම්වලින් යුක්ත වීමයි. 

C - කප්කේක් - Cupcake (1.5)

D - ඩෝනට් - Donut (1.6)
 
E - එක්ලෙයාර් - Éclair (2.0 – 2.1)
F - ෆ්‍රයෝ - Froyo (2.2 – 2.2.3)
G - ජින්ජර්බ්‍රෙඩ් - Gingerbread (2.3 – 2.3.7)
H - හනිකොම්බ් - Honeycomb (3.0 – 3.2.6)
I - අයිස්ක්‍රීම් සැන්ඩ්විච් - Ice-cream Sandwich (4.0 – 4.0.4)
J - ජෙලිබීන් - Jellybean (4.1 – 4.3.1)
K - කිට්කැට් - Kitkat (4.4 – 4.4.4)
L - ලොලි පොප් - Lollipop (5.0 – 5.1.1)
M  - මාර්ෂ්මෙලෝ - Marshmallow (6.0 – 6.0.1)


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අලුත්මථ එසේත් නැත්නම් 7 වැනි සංස්කරණය ඉංග්‍රීසි හෝඩියේ N අක්ෂරයෙන් පටන් ගන්නා රසවත් කෑමක් වන නුගා’ (Nougat) ලෙස නම් කොට තිබෙනවා.  



මේ සංස්කරණයේදී අලුත් අංග බොහොමයක් ද එකතු වන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඔවුන් ඇලෝ’ (Allo) නමින් පණිවිඩ යැවීමේ යෙදුමක් ද ඩුවෝ’ (Duo) නමින් වීඩියෝ ඇමතුම් ගැනීමේ යෙදුමක් ද ඉදිරිපත් කරන්නට අදහස් කර තිබෙනවා. ගැලැක්සි නෝට් 6, ගැලැක්සි එස් 7 සහ ගැලැක්සි එක 7 එජ් යන දුරකතන සඳහා මෙහි යාවත්කාලීනයන් මුළින්ම ලබාගන්නට හැකිවනු ඇති බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ.  ඒ වගේම ගැලැක්සි 8 සහ ගැලැක්ස් 8 එජ් යන දුරකතන නුගා සංස්කරණය ඇතුළත් කොටම වෙළෙඳපලට නිකුත් කරන බව දැනගන්නට ලැබී තිබෙනවා. එමෙන්ම එල්.ජී. මෝටරෝලා, හුවාවේ, සෝනි සහ එච්.ටී.සී. යන දුරකතන සඳහා ද මෙම සංස්කරණය භාවිත කරන්නට සූදානමින් සිටින බව පැවසිය යුතුයි. මේ සියල්ල සඳහා ලබන වසරේ මුල් කාර්තුව වන තෙක් බලා සිටින්නට සිදු වෙනවා.

වැඩිදුර කියැවීම් - ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කතාව


Sunday, July 17, 2016

බ්‍රිතාන්‍ය නව අගමැතිනිය මාරි යකඩියක් වෙයිද? - Wll New British Prime Minister become an iron Lady?


මහා බ්‍රිතාන්‍යය නව නායකත්වයක් යටත්ට පත් ව තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ වර්තමාන අගමැති තනතුරට පත්ව සිටින්නේ කාන්තාවක වීමය. අවසන් වරට මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරියක සිටියේ අදින් වසර විසි හයකට පෙරය. ඒ 1979 - 1990 අතර සමයේ මහා බ්‍රිතාන්‍යය පාලනය කළ. යකඩ ගැහැනියනමින් විරුදාවලි ලත් මාග්‍රට් තැචර්ය. ඉන් පසු නැවත අගමැතිවරියක මහා බ්‍රිතාන්‍යයට හිමි වන්නේ මේ 2016 වසරේදීය. ඒ  කෘතහස්ත දේශපාලඥවරියක වන තෙරේසා මාරි මේ’ (Theresa Mary May) ය. ඇය පත්වන්නේ ද හිටපු අග්‍රමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ දේශපාලන පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයෙනි. බැංකු ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ තෙරේසා දේශාපාලනයට සම්බන්ධ වී විවිධ තනතුරුවලට පත් වූවාය. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් ස්වදේශ කටයුතු ලේකම්වරියක ලෙස සේවය කොට ඇත්තේ ද ඇය ය. මෙසේ වගකිව යුතු තනතුරු දරමින් කෙමෙන් අග්‍රාමාත්‍ය තනතුර දක්වා වූ දිගු ගමන දැන් සම්පූර්ණ වී තිබේ. මාග්‍රට් තැචර්ගෙන් අනතුරුව කොන්සර්වේටිව් පක්ෂයෙන් බිහිවුණු ප්‍රබලතම කාන්තාව ද තේරේසා මේ ය. 

1956 වසරේ ඔක්තෝබර් 1 වැනිදා සසෙක්ස් ප්‍රාන්තයේ ඊස්ට්බෝර්න් හි උපත ලද තෙරේසා සිය මව්පියන්ගේ එකම දරුවාය. ඇගේ පියා එංගලන්ත සභාවේ පූජකවරයෙකි. ඔක්ස්ෆර්ඩ්ෂයර් ප්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කළ තෙරේසා ඔක්ස්ෆර්ඩ් සරසවියේ භූගෝල විද්‍යාව පිළිබඳ දෙවැනි පංතියේ සාමාර්ථයක් සහිත ශාස්ත්‍රවේදී උපාධිධාරිනියකි. බැංකුකරුවකු වූ පිලිප් මේ සමග විවාහ වී වසර 36ක් ගතවී ඇති අතර ඔවුනට දරුවන් නොමැත. 
 
විවාහ වූ අලුත
 
වර්තමානයේදී සිය සැමියා සමග

තෙරේසා මේ මහ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය බවට පත් වන්නේ මහජනයා විසින් ඡන්දය ලබාදෙන මැතිවරණයකින් නොවේ. කොන්සර්වේටිව් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පවත්වනු ලැබූ ඡන්ද විමසීමක ප්‍රතිඵලයක් ලෙසය. යුරෝපීය සංගමයෙන් මහා බ්‍රිතාන්‍යය ඉවත් විය යුතුද නැද්ද යන්න සඳහා පැවැත්වූ ජනමත විචාරණයේදී බහුතරයක් පවසා සිටියේ ඉවත් විය යුතු බවය. හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පවසා සිටියේ යුරෝපීය සංගමයෙන් ඉවත්වන්නට වැඩි දෙනෙක කැමැති වුවහොත් තමා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වන බවය. අවසානයේ ජනමත විචාරණයෙන් ලැබුණේ් මහා බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත් විය යුතුය  යන ප්‍රතිඵලයය. නීත්‍යානුකූලව කොන්සර්වේටිව් පක්ෂයට මහා බ්‍රිතාන්‍යයේ බලයේ රැදී සිටීමට තව කාලය ඉතිරිව ඇති බැවින් හිටපු කැබිනට් මණ්ඩයේ ඇමැතිවරුන් අතර පැවැත්වූ ඡන්ද විමසීමකින් තෙරේසා මේ ජයග්‍රහණය කළාය. ඇය මහා බ්‍රිතාන්‍යයේ අග්‍රමාත්‍ය තනතුරට පත්වන්නේ එපරිද්දෙනි. 

කෙසේ වෙතත් මහා බ්‍රිතානයේ අගමැති තනතුරට තෙරේසා මේ පත්වීම ගැන පොදු ජනතාවගේ එතරම් සතුටක් නොමැති බැව් පෙනෙන්නට තිබේ. ඒ ඇය මුල් කාලයේ සිට දැක්වූ විවිධ අදහස් හේතු කොට කොගෙනය. 

ඇය යම් අයුරකින් අග්‍රමාත්‍ය තනතරට පත්වුවහොත් මහා බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අමාරුවේ වැටෙනතත්වයක් උද්ගත වන ඇතැමන්ගේ අදහස විය. එසේ වන්නට හේතුව වූයේ ඇය පෙර අවස්ථා කිහිපයකස්ම කාන්තා අයිතීන් කෙරෙහි යම් යම් විවේචනාත්මක අදහස් පළ කළ බැවිනි 


මහා බ්‍රිතාන්‍යය තුළ මුස්ලිම් අනත්වාදය හිස ඔසවමින් පවතින බව මෑතක සිය එරට ජනතාව පවසයි. මේ නිසාම එහ සිටින මුසුලිම් ජාතිකයන් පිළිබඳ බහුතර බ්‍රිතාන්‍ය වැසියන්ගේ පැහැදීමක් නැත. අනෙක යුරෝපයේ බොහෝ රටවලටද මුස්ලිම් අන්තවාදී තර්ජන දැඩිව පවතී. නමුත් තෙරේසා මේ පවසන්නේ මෙතෙක් කල් එරට පැවති එක නීතියක්යන සම්ප්‍රදාය අතහැර ෂාරියා නීතිය මහා බ්‍රිතාන්‍යය තුළ පිහිටුවීම පිළිබඳ සළකා බලන බවය. 

එරට සාංක්‍රමණික නීතිය සංශෝධනය කරන්නට ද ඇය අදහස් කොටගෙන සිටින අතර එයින් පහර වදින්නේ එරට විවිධ කටයුතු සඳහා ජීවත්වන විදෙස් පුද්ගලයන්ටය. විශේෂයෙන් යුරෝපීයයන් නොවන්නවුන්ට එය්න් දැඩි බලපෑමක් එල්ල විය හැකිය. ඇය පවසන්නේ විදසේ රටවලින් පැමිණ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන පිරිස් නිසා එරටට අධික විදේශ විනිමයක් ලැබුණ ද ඔවුන් මහා බ්‍රිතාන්‍යයේම නතර වී රැකියාකරන්නට පටන් ගැනීම තම රටට විශාල බරක් බවය. 

විදේශිකයන් හා විවාහ වී සිටින බ්‍රිතාන්‍ය වැසියන්ට ද තෙරේසි මේ අනතුරු හඟවයි. ඇය පවසන්නේ යුරෝපීය නොවන පුද්ගලයෙක් සමග යම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විවාහ වී සිටින්නේ නම් එම විදෙස් සැමියාට හෝ බිරිඳට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා නොදෙන බවය. මෙය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුවත් ඇය එය ක්‍රියාත්මක කරන්නට සැරසනෙ බව පෙනෙන්නට තිබේ. එමෙන්ම බ්‍රිතාන්‍යයේ ජීවත්වන්නට කැමැත්ත පළ කරන විදේශිකයන්ට ද පුරවැසිභාවය ලබාගැනීම ඉදිරියේදී දුෂ්කර කටයුත්තක් වනු ඇත. මෙහිදී සිදුවන්නේ දහස් ගණන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට එරටින් පිටව යන්නට සිදුවීමය. ඒ තෙරේසා මේ ගේ නීතය හමුවේ සිය පවුල් කඩා බිඳ දමා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නැති බැවිනි. 

තෙරේසා මේ ගේ අභිප්‍රාය වනවා ඇත්තේ මහා බ්‍රිතාන්‍යය තුළ තවත් මාග්‍රට් තැචර් කෙනෙකු බවට පත්වීම විය හැකිය. කෙසේ නමුත් මාග්‍රට් තැචර්ටට හිමි වූ තරම් ජනප්‍රසාදයක් තෙරේසා මේ ට හිමිව නැති බැව් පෙනෙන්නට තිබේ. දේශපාලන විචාරකයක් පවසන්නේ ඇය මාග්‍රට් තැචර් කෙනෙකු නොව ජර්මන් චාන්සල්ර් ඇන්ජෙලා මර්කෙල් කෙනෙක් බවට පත්වන්නට වැඩි හැකියාවක් ඇති බවය. කෙසේ නමුත් තෙරේසා තවම මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වූවා පමණකි. සියල්ලටම තව කාලය තිබේ.

Tuesday, July 5, 2016

මුලතිව්වල ඇති කන්නගී අම්මාන් දේවාලය ගැන දන්නවාද? - Kannaki Amman Kovil at Mullativu


ප්‍රධාන ජාතීන් වර්ග තුනක් වෙසෙන අප රටේ බොහෝ දෙනෙක් වන්දනා ගමන් බිමන් යද්දී ආගමික භේද නොසළකන බව පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. සිරිපා වන්දනාව, කතරගම දෙවොළ, හින්දු කෝවිල් ආදිය ආගම් භේදයකින් තොරව වන්දනා මාන කොට දෙවිවරුන්ගේ ආශීර්වාද ලබා ගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. දකුණේ ජනතාව උතුරට ද උතුරේ ජනතාව දකුණට ද මෙසේ වන්දනාමාන සඳහා පැමිණෙති. දශක තුනක පමණ කාලයක් තිස්සේ අප රට පැවැති යුද්ධය හේතු කොට ගෙන උතුර දකුණ අතර මෙසේ සම්බන්ධයක් ඇතිවීමට බාධා තිබුණ ද දැන් එවැනි තත්වයක් නැත. මහනුවර දළදා පෙරහර නරඹන්නට උතුරෙන් ජනතාව පැමිණෙති. එම පෙරහර ආරම්භයේදී හින්දු දෙවිරුන් පැසසීම සිදු කෙරේ. ඔවුන් අතර කන්නගී, විෂ්ණු. කතරගම ආදී දෙවිවරු සිටිති. මේ සියලු දෙවිවරු බෞද්ධයන්ගේ වැඳුම් පිදුම්වලට ලබයි. මෙහි සඳහන් කළ දෙවිවරු අතරින් කන්නගීයන නාමය ඇතැම් විට බෞද්ධයන්ට තරමක් නුහුරු වන්නට ඉඩ ඇති මුත් මෙනමින් පෙනී සිටින දෙවඟන කිසිවකුට නුහුරු නැත. මෙනමින් පෙනී සිටින්නේ පත්තිනි මාතාදෙවඟනය. පත්තිනි ඇදහීම අප රටෙහි අනාදිමත් කාලයක සිට පැවැතුනි. 


පත්තිනි දෙවඟන කතා බහ කිරීමේදී සිංහල ජනතාව වැඩි වශයෙන් කතා බහ කරනුයේ නවගමුවේ පිහිටා ඇති පත්තිනි දෙවොල පිළිබඳවය. නමුත් අප රට වෙසෙන දෙමළ ජනතාව අතර පමණක් නොව දකුණු ඉන්දියානු දෙමළ ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති තවත් පත්තිනි දෙවොලක් පවතින අතර වර්තමාන සිංහලයන් බොහොමයක් ඇතැම් විට එය නොදන්නා අතර දන්නා අය සිටිය ද එය මතකයෙන් බොහෝ දුරස්ව ඇතැයි සිතිය හැකිය. මේ පිළිබඳ නොදැනීමට හා මතකයෙන් දුරස්වන්නට හේතුවූ ප්‍රධානතම කාරණය වන්නේ අප රටේ දශක තුනක් පුරා පැවැති කුරිරු යුද්ධයයි. 




දකුණේ ජනතාව ද මුලතිව් දිස්ත්‍රීක්කයේ නන්දිකඩාල් කලපුවේ බටහිර දෙසට වන්නට ඇති වට්ටපලයි හි පිහිටි කන්නගී අම්මාන් දෙවොල කරා වන්දනා ගමන් යන්නට යුද තත්වය දරුණු වන්නට පෙර සමයේ පුරුදුව සිටිය ද යුද්ධයත් සමඟ එම පුරුද්ද ඔවුන්ගෙ ඈත් විය. නමුත් දැන් යළිත් එහි වාර්ෂික උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බැවින් දකුණේ ජනතාවට එය වන්දනා මාන කොට ආශීර්වාද ලබාගැනීමේ කිසිදු බාධාවක් නැති බව එම දෙවොලේ භාරකාර මණ්ඩලය පවසයි. සෑම වර්ෂයකය මැයි - ජූනි අතර එහි වාර්ෂික උත්සවය පවත්වනු ලබයි. 


අප රටෙහි සංස්කෘතිය පිළිබඳ පුළුල් හැදෑරීමක් සිදු කළ, යටත් විජිත යුගයේ  අප රට විසූ බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකකයකු වූ හියු නෙවිල් (Hugh Nevill) විසින් රචනා කරන ලද Ethnology නම් කෘතියෙහි පළමු වෙලුමේ 124 වැන පිටුවෙහි මේ දෙවොළ පිළිබඳ සටහනක් තිබේ. එහි දැක්වෙනුයේ මුලතිව් අසල පිහිටි වට්ටාපල්ලි’ (වට්ටප්පලෛ) නම් ප්‍රදේශයේ කන්නගී අම්මාන්දෙවඟන වෙනුවෙන් ඉදිවුණු දෙවොලක් පවතින බවය. වට්ටපලෛ යනු නන්දිකඩාල කලපුවේ බටහිර වෙරළ තීරයයි. කන්නගී අම්මාන් යනු පත්තනි දෙවියන් දෙමළ බසින් හඳුන්වනු ලබන නාමය වේ. කෙසේ නමුත් නවගමුවේ ඇති පත්තිනි දෙවොලේ වැඩ සිටින පත්තිනි දෙවඟන පිළිබඳ කතාබහ කිරීමේදී සඳහන් කළ යුතු විශේෂ කාරණයක් තිබේ. ඒ  ඇය මතු බුදුවන්නට පෙරුම් පුරන්නියක බව බෞද්ධයන් විසින් විශ්වාස කරන බවය. එයට හේතුව වන්නට ඇත්තේ එහි සිරිත් විරිත් බෞද්ධ සංකල්පවලට අනුව හැඩගැසී ඇති බැවින් විය හැකිය. කෙසේ නමුත් වට්ප්පලෛ හි පිහිටි සුප්‍රකට කන්නගී අම්මාන් දෙවොලේ වැඩ වෙසෙන කන්නගී අම්මාන් දෙවිවඟන සමබන්ධයෙන් එවැනි කතා නොමැත. 


පැරණි ජනප්‍රවාදයවලට අනුව ශිව දෙවියන්ගේ භාර්යාවක් ලෙස මදුරාසියේ සිට පැමිණි කන්නගී ස්ථාන දහයක විවේක ගෙන තිබේ. ගූගල් සිතියමේ කන්නගී අම්මාන්යනුවෙන් සටහන් කළ විට නැගෙනහිර වෙරෙළ තීරය පුරා කන්නගී අම්මාන වෙනුවෙන් ඉදිකරන ලද දෙවොල ගණනාවක් දක්නට ලැබේ. මේ ඇය එසේ විවේක ගත් ස්ථාන වන්නට පුළුවන. මේ ස්ථාන අතරින් දසවැනි ස්ථානය පත්තම් - පලෛයනුවෙන් නම් කෙරිණි. පත්තම්යනු දහය වන අතර පලෛයනු නවාතැන වේ. කාලයත් සමඟ මෙම වදන වට්ටප්පලෛයනුවෙන් කටවහරට පැමිණි බව දෙමළ ජනතාව විශ්ාවස කරති. කෙසේ නමුත් කන්නගී අම්මාන් සහ පත්තිනි අතර පුරාවෘතය එකමය. විකිපීඩියාවේ  කන්නගි අම්මාන් යන්න සිංහලයෙන් සඳහන් කොට ඇත්තේ පත්තිනි  නමිනි. 



වසර තිහක පමණ කාලයක් පැවැති යද්ධය නිසා මෙම දෙවොලේ සංස්කෘති අංග යටපත්ව පැවැතිය ද යුද්ධය නිමාවීමත් සමඟ එය යළි වර්ධණය යවන්නට පටන් ගෙන තිබේ. අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන එම උත්සවය පිළිබඳ පුවත් දකුණු ඉන්දියානු මාධ්‍යවල පවා පලවීමෙන් දෙමළ ජනතාව අතර ඒ පිළිබඳ ඇති උනන්දුව හා ප්‍රසිද්ධ බව අමුතුවෙන පැවසිය යුතු නැත. යුද්ධය පැවැති සමයේ දෙමළ ජනතාව යම් මට්ටමකින් මෙහි උත්සව පැවැත්වුව ද සිංහල ජනතාවට ඒවාට සහභාගී වී  ආශීර්වාද ලබාගන්නට අවස්ථාවක් ලැබුණේ නැත. නමුත් වර්මානයේ පැවැත්වෙන් මෙම අති උත්කර්ෂවත් උත්සවයට සහභාගී වන්නට සියලු ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබී තිබේ. 


කන්නගී දේව ඇදහිල්ල තමිල්නාඩුවේ හා කේරළයේ ඉතා ප්‍රචලිත වන අතර අප රටේ ද දෙමළ ජනතාව අතර එය ප්‍රචලිතව පැවතිය ද එහි ඇත්තේ සහමුළුන්ම ශ්‍රී ලාංකික සම්ප්‍රදායක් බව පෙනේ. පත්තිනි දෙවියන් පිළිබද සුප්‍රකට සීලප්පදිකාරම්කෘතියෙහි සඳහන් වන නමුත් අප රටේ සිංහලයන් අතර අදහනු ලබන පත්තිනි දෙවඟනගේ කතාව යම් යම් ස්ථානවල වෙනස් කම් සහිත දකින්නට ලැබේ. මෙහි කලින් තැනෙක සදහන් කළා සේ සිංහලුන් අතර පත්තිනි දෙවඟන ප්‍රචලිතව ඇත්තේ මත බුදුවන බෝධිසත්ව චරිතයක් ලෙසිනි. ඇතැම් ස්ථානවල සඳහන්ව ඇත්තේ බුදුන් වහන්සේ විසින් ශ්‍රී ලංකාව ආරක්ෂා කරන දෙවඟනක් ලෙස පත්තිනි දෙවඟන පත්කළ බවය. 



කන්නගී අම්මාන් දෙවොලේ භාරකාර මණ්ඩලය පවසන්නේ දැන් වසර කිහිපයක සිටම මෙහි වාර්ෂික උත්සවය පවතින කාලයට මෙන්ම වෙනත් කාලවලට ද මෙය කරා දකුණේ ජනතාව වන්දනා නඩ වශයෙන් පැමිණෙන බවය. මෙහි වාර්ෂික උත්සවය වයිකාසි විසාකම්යනුවෙන් හඳුන්වනු ලබන අතර එම සමයේ පැමිණෙන බැතිමත්හු සක්කාරි පොංගල්පිස කන්නගි අම්මාන් මාතාවට පුද කරති. එම භූමියේම සිට පොංගල් පිළියෙල කොට අනුභව කොට තාවකාලික කූඩාරම්වල නිදා ගනිමින් කාලය ගෙවති. ඔවුන් පිටත්ව යන්නේ පසුවදාය. බැතිමත්හු කාවඩි, තූක්කු කාවඩි, පාල් කුඩම් සහ කටුපූරා චට්ටි යන වතාවත් මගින් කන්නගී අම්මාන් මාතාවට සිය භක්තිය පළකරති. උතුරේ ජනතාව පමණක් නොව දකුණින් සහ නැගෙනහිරින් යන ජනතාව ද තූක්කු කාවඩිවලට සහභාගී වෙති. පරවා කාවඩි යන නමින්ද හැඳින්වෙන මෙහිදී බැතිමතුන්  සිදු කරන්නේ කොකුවල එල්ලී සිය භක්තිය පුදකිරීමය. විශේෂම සිදුවීම වන්නේ කන්නගී අම්මාන් දෙවොලේ දී කාන්තාවන් ද තූක්කු කාවඩිවලට සභාගී වීමය. සිරිපා වන්දනාව, කතරගම දෙවොළ වැනි ජාතී ආගම් භේදයකින් තොරව වන්දනා කළ හැකි, වන්දනාවේ යන සෑම ශ්‍රී ලාංකික බැතිමතකු විසින් නරඹා ආශීර්වාද ලබාගත යුතු ස්ථානයක් ලෙස කන්නගී අම්මාන් පුද බිම සඳහන් කළ හැකිය.