පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, April 24, 2014

පිය රජකුගේ හා පුත් කුමරකුගේ ආදරයට සිරවී මරණය වැළඳගත් නගරශෝභිනිය - අනර්කලී

අනර්කලී හා සලීම් කුමරුගේ ආදර කතාව පිළිබිඹු වන සිතුවමක්

මේ කතාවේ කතා නායිකාව අනර්කලී කියලා කරුණියක්. අනර්කලී නිතර සැරසී සිටියේ අද මේතරම් ජනප්‍රයත්වයට පත්ව ඇති ‛අනර්කලී’ වර්ගයේ ගවුමකින්. 

ඇය නගරශෝභිනියක්. ඒත් ඉතිහාසයේ මේ තරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නට හේතු වුණේ ඇය ඉන්දියායේ හිටි ශ්‍රේෂ්ඨ මෝගල් අධිරාජයකු වූ අක්බර් ගේ පුතු වූ සලිම් කුමරා (ඔහු පසු කාලයේ ජයන්ගිර් අධිරාජයා බවට පත්වෙනවා) සමඟ ආදරයෙන් වෙලී සිටීම නිසයි. 

අක්බාර් රජු

සලිම් කියන්නේ මුරණ්ඩු දරුවෙක්. ඒ හින්දම ඔහුට හොඳ හික්මීමක් ලබාදෙන්නට අක්බාර් රජතුමා ඔහුව හමුදාවට යවනවා. අවුරුදු 14කට පසුව ලාහෝර්වල ඇති තම පියාගේ අධිරාජය භාරගැනීමට හොඳ විනයක් සහිත සොල්දාදුවෙකු විදියට සලීම් කුමරු පැමිණෙනවා. ඒ වෙනුවෙන් නැටුම් ගැයුම්වලින් පිරුණු ලොකු උත්සවයක් පවත්වන්න අක්බාර් රජතුමා තීරණය කරනවා. මේ නැටුම වෙනුවෙන් නදීරා කියන අතිශය රූමත් තරුණියක් පැමිණෙනවා. ඇයගේ රූමත්බවට වශී වුණු අක්බාර් රජු ඇයව තමන්ගේ මාලිගාවට කැඳවාගෙන යනවා. ඔහු ඇයයව තමන්ගේ අන්තඃපුර බිසවක් බවට පත්කරගන්නවා. ඇයට ‛අන්ර්කලී’ කියන නම පටබැඳෙන්නේ ඉන් පසුවයි. 

සලීම් කුමරු

ඇයගේ රූමත්බවට වශීවුණු සලීම් කුමාරායාත් අනර්කලීට ආදරය කරන්න පටන් ගන්නවා. ඇයත් පෙරළා ඔහුට ආදරය කරනවා. ඔවුන් මේ විදියට රහසේ ආදරය කරන්න පටන්ගන්නවා. පසුව ඔහු තම පියා, ඒ කියන්නේ අක්බාර් රජතුමාට කියනවා තමන් අනර්කලීව විවාහකරගෙන තමන්ගේ බිසව බවට පත් කරගන්න කැමති බව. නමුත් අන්රකලී කියන්නේ කිසිම රාජකීය පරපුරකට අයත් තරුණියක් නෙවෙයි. ඇය නගරශෝභිනියක් විතරයි. මේ නිසා අනර්කලීව මුණගැසීම සලීම් කුමාරයාට තහනම් කරන්න අක්බාර් රජතුමා තීරණය කරනවා. අක්බාර් රජතුමා සහ සලීම් කුමාරායා අතර ගැටුමක් ඇතිවන්නේ මේ අවස්ථාවේදීයී. තත්වය තරමක් දරුණු අතට හැරෙන්න පටන් ගත් නිසා අනර්කලීව අත්අඩංගුවට අරගෙන අක්බාර් රජතුමාගේ සිරගෙයක රඳවා තබන්නට තීරණය කෙරෙනවා. 

තමන්ගේ මිතුරන්ගේ උදව්වෙන් කිහිපවරක් උත්සාහ කිරීමෙන් පසුව අනර්කලීව ඒ සිරමැඳුරෙන් ගළවාගෙන වෙනත් තැනක රඳවන්නට සලීම් කුමාරායාට හැකිවෙනවා. ඉන්පස්සේ තමන්ට පක්ෂපාතී හමුදා පිරිසක් එකතුකරගන්නා සලීම් කුමරු අක්බාර් රජුගේ නගරයට පහරදෙන්නට තීරණය කරනවා. නමුත් අක්බාර් රජුගේ හමුදාව සලීම් කුමරුගේ හමුදාවට වඩා විශාලයි. ඒ නිසා සලීම් කුමරු මේ යුද්ධයෙන් පරාජයට පත්වෙනවා. සලීම් කුමාරයාට අක්බාර් පිය රජතුමා මෙහිදී වර දෙකක් ලබාදෙනවා. එකක් තමයි අනර්කලීව තමන්ට භාර දෙන එක. එයට කැමති නැත්නම්  මරණ දඬුවමට යටත් වෙන එක. අනර්කලීට ඇති ආදරය නිසාම සලීම් කුමාරයා තෝරාගන්නේ මරණ දඬුවමයි. ඒත් තමන්ගේ ආදරවන්තයාගේ මරණය දකින්නට අකමැති අනර්කලී සැඟවී සිටි තැනින් ඇවිත් අක්බාර් රජුට බාරවෙනවා. සලීම් කුමාරායා වෙනුවට තමන්ට මරණ දඬුවම දෙන ලෙස ඇය එතැනදී ඉල්ලා සිටිනවා. අක්බාර් රජු මේ ඉල්ලීමට කැමති වෙනවා. එතැනදී අනර්කලී තවත් ඉල්ලීමක් කරනවා. ඒ එක් රැයක් පමණක් සලීම් කුමරු සමඟ ගතකරන්නට අවස්ථාවක් ලබාදෙන ලෙසයි. 

ඒ රාත්‍රිය ගතකිරීමෙන් පසුව දෙළුම් මල්වලින් පිළියෙල කළ මත්ද්‍රව්‍යයක් සලීම් කුමරායාට පානය කරන්න දෙන අනර්කලී, කුමාරයා මත්වී සිහිසුන් වුණු පසු සෙබළු සමඟ රජ මාලිගාවෙන් පිටවෙනවා. ඇයව ඉන්පසු රැගෙන යන්නේ වර්තමාන ලාහෝර් නගරයේ ‛අනර්කලී බසාර්’ නම් ප්‍රදේශයටයි. එහි යෝධ අගලක් කපන අක්බාර් රජුගේ හමුදාව ඇයව ලෑල්ලකට තබා බැඳ මේ අගලට දමනවා. ඉන් පසු අගලේ විවරය ගඩොල්වලින් බැඳ ඇයව පණපිටින් වළලා දමනවා. 

අනර්කලී ගැන කියැවෙන් එක් කතාවක් තමයි මේ. තව් කතාවක කියැවෙන්නේ ඇයට මෙම අගලෙන් මිදී පළායන්නට සලීම් කුමරු උදව් කළ බවයි. 

අනර්කලී හින්දි චිත්‍රපටය

සලීම් - අනර්කලී ප්‍රේම වෘතාන්නතය පසුබිම්කොට ගනිමින් 1953 දී ‛අනර්කලී’ නමින් හින්දි චිත්‍රපටක් නිර්මාණය වුණා. 

අනර්කලී මලයාලම් චිත්‍රපටය

පසුව 1963 දී ‛අනර්කලී’ නමින් මලයාලම් චිත්‍රපටයක් ද නිර්මාණය වුණා. 



Wednesday, April 23, 2014

අනාගත ලෝකයේ බිහිවන නැමිය හැකි ජංගම දුරකථන - Flexible Mobile Phones



ජංගම දුරකථන පිළිබඳ සලකා බැලීමේදී වර්තමානයේ වැඩි වශයෙන්ම කතාබහ කෙරෙන්නේ “ස්මාර්ට් ෆෝන්” නමින් හඳුන්වන්නා වූ දුරකථන මාදිලිය පිළිබඳවය. ඇන්ඩේ‍රායිඩ්, ඇපල් හෝ වින්ඩොස් යන මෙහෙයුම් පද්ධති ඔස්සේ ක්‍රියාත්මක වන මේවා ස්පර්ශක තිර සමගින් පැමිණෙන අතර, ඉහළ තාක්ෂණයෙන් යුක්තය. එමෙන්ම මිල ද සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමට පවතී.

තාක්ෂණයෙන් ඉහළ මට්ටමක පැවැතියද ශක්තිමත් බව පිළිබඳ සලකා බැලීමේදී මිලෙන් අඩු දුරකථනයකට වඩා වෙනසක් නැති තරම්ය. ඇතැම් ඒවායේ ස්පර්ශක තිරය යම් ශක්ති සම්පන්න තත්ත්වයකින් නිෂ්පාදනය කෙරුණද යම් හෙයකින් බිමපතිත වුවහොත් මෙවැනි දුරකථන පවා කැඩී බිඳී යන්නට පුළුවන. මේ පිළිබඳව කල්පනා කළ ජංගම දුරකථන සමාගම් කැඩී බිඳී නොයන ආකාරයේ ජංගම දුරකථන නිපදවන්නට කල්පනා කළහ.

කැඩී බිඳී නොයන සුළු, රබර් වැනි ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන බිහිකරන්නට ඕස්ට්‍රේලියාවේ සමාගමක් පර්යේෂණ පවත්වමින් සිටිනා අතර, නුදුරු අනාගතයේ එම සිහිනය සැබෑවන ලකුණු පහළ වී තිබේ. රාජකීය මෙල්බෝන් තාක්ෂණික ආයතනය  දෘඩ සිලිකන් පරිපථ නම්‍යශීලී මතුපිටකට ගැනීම සම්බන්ධව කළ පර්යේෂණ සාර්ථක වී තිබේ.
සාමාන්‍යයෙන් කුඩාවට තැනූ ඉලෙක්ටේ‍රානික උපාංගවල සංවේදනය, ශක්තිය, නිපදවීම ආදිය පාලනය කෙරෙන්නේ ඉතා කුඩාවට තැනූ විනිවිද පෙනෙන සුළු ඔක්සයිඩ් පථ ඔස්සේය. මේවා කෙතරම් කුඩාවට තනා ඇතිදැයි කිවහොත් ඒවා මිනිස් කෙස් ගසකින් සියයකින් පංගුවක් තරම් වේ. එතරම් කුඩා බැවින් ඒවා හඳුන්වනු ලබන්නේ “නැනෝ ස්ථර” යනුවෙනි.

මෙවැනි කුඩා ඉලෙක්ටේ‍රානික පථ ඒවායෙන් නිපදවන උෂ්ණත්වය නිසා ඉතා ඉක්මණින් බිඳීයන ස්වභාවයකට පත්වේ. මෙම උෂ්ණත්වය
ඇතැම් අවස්ථාවලදී සෙල්සියස් අංශක 300ක් පමණ වන අවස්ථාද තිබේ. එබැවින් ඒවා නම්‍යශීලී මතුපිටකට ගැනීමේ හැකියාවක් තිබුණේ නැත.
මෙම පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ෆිලිප් පවසන්නේ මෙවැනි පරිපථ නම්‍යශීලී මතුපිටක් මතට ගැනීමේ තාක්ෂණයක් නිපදවන්නට හැකි වූ බවය.

“මෙම තාක්ෂණය හඳුන්වන්නේ ක්ෂුද්‍ර භූකාරක ඵලය නමින්. මෙහිදී සිදුවන්නේ පෘථිවියේ භූතැටි පිහිටා ඇති ආකාරයට ඔක්සයිඩ් පරිපථ සහිත ස්ථර එක පිට එක තැබිමයි. එවිට ඒවා මත ඇතිවන පීඩනය දරාගන්නට හැකිවන අතර, සන්නයනතාවයද පවත්වාගත හැකියි. ෆිලිෆ් පවසයි.
මෙම ක්‍රමය නිසා නැවෙන සුළු මතුපිටක් ඔක්සයිඩ් පරිපථ තැන්පත් කරන්නට මතෛක් තිබූ බාධකය ඉවත්ව ගොස් තිබේ. එබැවින් අනාගතයේදී නවන්නට හැකි විවිධ ඉලෙක්ටේ‍රානික උපාංග ලොවට ඉදිරිපත් කරන්නට නිෂ්පාදකයන්ට අවස්ථාව සැලසෙනු ඇත.


මෙම පර්යේෂණ කණ්ඩායමේ සිටින ඉන්දීය ජාතික පර්යේෂිකාවක වන ආචාර්ය මධු භාෂ්කරන් පවසන්නේ මෙම කටයුත්ත සඳහා නව ද්‍රව්‍යයන් දෙකක් යොදාගත් බවය. ඒවා නම් විනිවිද පෙනෙන සුළු සන්නායක ද්‍රව්‍යයක් වන ඉන්ඩියම් ටින් ඔක්සයිඩ් සහ රබර් වැනි සිලිකන් වර්ගයකි.

Thursday, April 17, 2014

බ්‍රිතාන්‍ය රාජකීය බිළිඳුගේ මුල්ම එතෙර සංචාරය - First Overseas Tour of British Royal Baby



රජවරු, රාජ කුමාරවරු කියන්නේ නිතරම මිනිසුන්ගේ කතා බහට ලක්වන විදියේ පිරිසක්. සාමාන්‍ය අයෙකුට එක දිගට කිවිසුම් පහක් ගියොත් ඒක කාටවත් පෙනෙන්නේ නැති වුණාට රජෙකුට, රාජ කුමාරයකුට එක් කිවිසුමක්  යනවා කියන්නේ පත්තරේ දාන්න තරම් අමුතු දෙයක්. ඒ හින්දා තමයි අපි මේ කතාව කියන්න යන්නෙත්. මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ ප්‍රිය බිරිඳ වන කේට් ගේ කුළුඳුල් දරුවා වන මාස අටක් වයසැති කේම්බ්‍රිජ් හි ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී කුමරුගේ මුල්ම නිල විදේශ සංචාරය මේ දිනවල සිදුවෙනවා. ඒ නවසීලන්කයට සහ ඕස්ට්‍රේලියාවටයි. ඔවුන් දින 19ක් මේ රටවල් දෙකේ ගතකරන්නට නියමිතයි. මේ රටවල් දෙකම තවමත් පවතින්නේ බ්‍රිතාන්‍ය කිරුළ යටතේ නිසා එම රටවලට මම රාජකීයයන්ගේ පැමිණීම සැළකෙන්නේ සුවිශේෂී දෙයක් හැටියටයි. හේතුව විලියම් කුමරු වගේම ඔහුගේ පුතු ජෝර්ජ් කුමරුත් ඔටුන්න හිමි දාමයේ ඉහළම පුරුක්වල සිටින නිසයි. ඒ වගේම පසුගිය වසරේ ජූලි 22 වැනිදා රාජකීය කුමරුගේ ඉපදීමෙන් පසුව ප්‍රසිද්ධියේ මහජනතාව අතරට යන ප්‍රථම වතාවත් මෙයයි.

බීබීසී ආයතනය විසින් පළකොට තිබූ ආන්දෝලනාත්මක ඡායාරූපය

බිළිඳු කුමරු, විලියම් කුමරුත්, කේට් කුමරියත් පසුගිය 7 වැනිදා නවසීලන්තයේ වෙලිංටන් නුවරට පැමිණියා. කේට් කුමරියගේ ඇඳුම ගැන මාධ්‍ය විශේෂයෙන් කතා කළ බව පෙනෙන්නට තිබුණා. ඇය රතුපැහැ කබායකින් සැරසී සිටියා. විශේෂයෙන් ඈ සිය ඇඳුමේ පැළැඳ සිටි රිදී කටුව වැඩිදෙනෙකුගේ අවධානය යොමුවුණා. හේතුව එය බ්‍රිතාන්‍ය මහ රැජිනට අයිත් එකක් වීමයි. රැජිනගේ පෞද්ගලික ආභරණ එකතුවේ බොහෝ දේ කේට් කුමරියට දෙන්නට මහ රැජින වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. කේට් කුමරිය ගුවන් යානයෙන් බසින විට පැවති අධික සුළඟ නිසා ඇගේ ඇඳුම බොහෝ ඉහළට එසැවුණු ඡායාරූපයක් බීබීසී ආයතනය සිය නිල ෆේස්බුක් පිටුවේ පළකොට තිබුණා. බීබීසී වැනි ආයතනයක් එවැනි ඡායාරූපයක් ප්‍රසිද්ධ මාධ්‍යයක මෙසේ පළකිරීම පහත් ක්‍රියාවක් බවත්, මිනිසුන්ගේ ගෞරව පිළිබඳ මෙයට වඩා සිතිය යුතුබවත් බොහෝ දෙනෙකුගේ අදහස වුණා.

1983 වසරේ චාර්ල්ස් කුමරු සහ ඩයනා කුමරිය විලියම් කුමරු සමඟ කළ නවසීලන්ත සංචාරය


මේ රාජකීය සංචාරය අතීත සිදුවීමක් මතක් කරදෙන බව බොහෝ මාධ්‍යවලින් පවසා තිබුණා. චාර්ල්ස් කුමරු සහ ඩයනා කුමරිය  බිළිඳු විලියම් කුමරු සමඟ 1983 දී මේ ආකාරයෙන්ම නවසීලන්තයේ සංචරයකට පැමිණ තිබුණා. මේ රටවල් වැසියන්ගේ තමන්ගේ අනාගත රජ දැකගන්නට සහජයෙන්ම කැමැත්තකින් පසුවෙනවා. ඒ නිසා විලියම් කුමරු දැකගන්නටත් බොහෝ පිරිසක් පෙළගැසී සිටිනු ඇතැයි මාධ්‍යවලින් කලින්ම පවසා තිබුණා. ඒත් පසුව පැවසුනේ ඔවුනට ලැබුණේ ඇල්මැරුණ පිළිගැනීමක් බවයි. නවසීලන්තයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා බොහෝ පිරිස් බිළිඳු කුමරා පිළිගැනීමේ උත්සවයට පැමිණ තිබුණේ නැහැ.


2011 වසරේ මේ රාජකීය යුවල කැනඩාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔවුනට උදේ රාත්‍රිය දක්වා විවිධ උත්සවවලට සහභාගීවන්නට කලින්ම සැලසුම්කොට තිබුණත් මේ නවසීලන්ත හා ඕස්ට්‍රේලියා සංචාරයේ එවැනි විශේෂ උත්සව දකින්නට නැහැ. විශේෂයෙන් දිවාකාලයෙන් පසුව ඔවුන් කිසිදු උත්සවයකට සහභාගී නොවන්නට තීරණය කොට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. බිළිඳු කුමරුගේ දෙමාපියන් පවසන්නේ ඔවුනට සිය පුත්කුමරා සමඟ වැඩිකාලයක් ගතකරන්නට ඕනෑ බවයි.   කෙසේ නමුත් බිළිඳු රාකීය කුමරු සිය දෙමාපියන් සමඟ ප්‍රසිද්ධියේ බලන්නට හැකි ස්ථාන පිළිබඳව මේවන විටත් නවසීලන්ත රජය සැලසුම් සකස්කොට මහජනතාව ද දැනුවත් කොට හමාරයි. ඒ වෙනුවෙන් විශේෂ මහාමාර්ග සැලසුම් පවා සකස්කොට තිබෙනවා.

රාජකීය පවුල නවසීලන්තයට සැපැත්වීමත් සමඟ ඔවුනට ආණ්ඩුකාර මැඳුරේදී සාම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. ඔවුන් සිය ගමන් බිමන් ආරම්භ කරන්නට පෙර එක් දිනක් විවේකීව ගතකරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඔවුන් සිය ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කරන්නට බලාපොරොත්තුවන්නේ අප්‍රේල් 16 වැනිදායි.


නවසීලන්තයේ වගේම ඕස්ට්‍රේලියාවෙත් බ්‍රිතාන්‍ය රජපවුල තමන්ගේ රටේ ප්‍රධානීන් ලෙස කටයුතු කරනවාට අකැමැති පිරිස් දිනෙන් දින වැඩිවෙමින් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ. මෑතකදී ඕස්ට්‍රේලියාවේ මේ ගැන ජනමත විචාරණයකුත් පැවැත්වුණා. එහිදී බහුතරය පවසා සිටියේ ඔවුන් තවමත් තමන්ගේ රාජ්‍යයේ ප්‍රධානියා හැටියට එලිසබෙත් මහරැජින පිළිගන්නට කැමති බවයි. නමුත් නුදුරු අනාගතයේදී මෙම තත්වය වෙනස්වන්නට ඉඩ ඇති බව පෙනෙනවා. නවසීලන්ත වැසියන්ගෙන් 41%කුත්, ඕස්ට්‍රේලියානුවන්ගේ 30%කුත් රජපවුල ප්‍රතික්ෂේප කරන බව ජනමත විචාරණවලින් හෙළිවී තිබෙනවා. ඒ නිසාම බිළිඳු ජෝර්ජ් කුමරුගේ සංචාරය ඇතුළත නවසීලනත්යේ වගේම ඕස්ටේලියාවෙත් උද්ඝෝෂණ ඇතිවන්නට ඇති ඉඩකඩ ගැන දැනටමත් අනතුරු හඟවා තිබෙනවා. විශේෂයෙන් මේ සංචාර ඇතුළත දී නවසීලන්තයේ ආදීවාසීන් වන ‛මඔරි’වරුන්ගේ රජු විලියම් කුමරු හමුවීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. එයට හේතුව තමන්ගේ ගැටලු ගැන කතාකරන්නට ඔහුට ලබාදී ඇති මිනිත්තු 90 ක කාලය ප්‍රමාණවත් නැතැයි පැවසීමයි.

මෙය බිළිඳු කුමරුගේ මුල්ම නිල සංචාරය සේම රජපවුලේ කීර්තිය නංවාගැනීමේ උපක්‍රමයක් ලෙසත් ඇතැමුන් හඳුන්වා තිබෙනවා. රජපවුල සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් යැපෙන, රටට බරක් හැටියට පවසන් බ්‍රිතාන්‍ය වැසියන් බොහෝ දෙනෙක් සිටිනවා. නවසීලන්තයේ මේ පිරිස් මෙයට වඩා වැඩිවනවා මිස අඩුවන්නට ඉඩක් නැහැ. එවැන් රැල්ළක් පැවතීමේ රජපවුලේ කීර්තිමත් අතීතයට කැළලක් සේම අනාගතයට තර්ජනයක්. මේ සියල්ල සමනය කරගැනීමේ සංචාරයක් හැටියටත් බොහෝ දෙනෙක් මෙය හඳුන්වන්නේ ඒ නිසයි.

අපේ අවුරුද්ද ඉන්දියාවේ දෙමළ ජනතාව සමරණ හැටි - How Indian Tamils Celebrate the New Year



වසරේ මාස දොළහ අතුරින් අප්‍රේල් මාසය ඉතා සුවිශේෂීය. අප රටේ පැහැදිලි සෘතු භේදයක් නැතිමුත්, තුරු ලතා මලින් පලින් බරවී, වසන්ත කාලය උදාවන්නේ මේ මාසයේය. අස්වනු නෙළා නිවෙස් අටුකොටුවලින් පුරවන්නේ මේ මාසයේය. එබැවින් එය ‛භාග්‍යවත් මාසය’ නම් අරුතැති ‛බක් මාසය’ නමින් ද හඳුන්වනු ලබයි. එමෙන්ම අප රටේ සිංහල සහ දෙමළ ජනතාව  සිය නව වසර සමරන්නේ ද මේ මාසයේ නිසා එයට ඇති වැදගත්බව තවත් වැඩි වේ. සිය ජීවිත පුනර්ජීවයකට ලක්කරමින් නව ආරම්භයක් ලබන්නට මෙම මාසය උදාකරදෙන්නේ සුවිශේෂී අවස්ථාවකි. කෘෂිකාර්මික දිවිපැවැත්මකට හුරුපුරුදුව සිටි  පෙරදිග ජනතාව සුර්යයා කෙරෙහි දැඩි ගෞරවයකින් කටයුතු කළහ. අලුත් අවුරුද්ද සැමරීමේදී ‛සුර්ය දෙවියන්’ වෙනුවෙන් එය කැපකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයකි. එබැවින් එය ‛සූර්ය මංගල්‍යය’ ලෙසින් ද හඳුන්වනු ලබයි.

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද හින්දු චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් පිළිබඳ සළකා බැලීමේදී පෙනී යන්නේ අප රටින් බැහැර සමස්ථ ලෝකය පුරා විසිරී සිටින දෙමළ ජනතාව මෙය සැමරීමේදී යම් යම් වෙනස්කම් ඇති බවය. ඒ වෙනස්කම් නම් අප රටේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ නැකැත් කමිටුව වුව ද තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින දෙමළ ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පැවතීමය. ඔවුන් එය සමරන්නේ අප්‍රේල් 14 වැනිදාය.

නිරායන ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දිනදර්ශනයේ අප්‍රේල් 14 වැනිදාය. ජාත්‍යන්තර දෙමළ දිනදර්ශනයේ හා තමිල්නාඩු දිනදර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය කරනු ලබයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීමය.

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල් ය. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‛සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේදීය. මෙම මාසය දෙමළ බසින් ‛පුත්තන්ඩු’, ‛වරුද පයිරප්පු’  හෝ ‛චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ‛පුත්තන්ඩු වාස්තුකල්’හෝ ‛ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී එකිනෙකාට සුබ පතති. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපුර්, මිතිලා, ඔඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවලද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ. සිංහල ජනතාව අලුත් අවුරුද්ද සැමරීමේදී ජ්‍යෝතිෂ සිද්ධාන්ත අකුරටම පිළිපදිති. එබැවින් මෙය ‛නැකැත් කෙළිය’ නමින් ද හඳුන්වනු ලැබේ. දෙමළ ජනතාව අතර ද මෙහි වෙනසක් නැත. දෙමළ ජනතාව අතර අතීතයේ සිට පැවති සිරිතක් වන්නේ අලුත් අවුරුදු දිනයේදී පවුගේ වැඩිහිටියකු හෝ නැකැත්කරුවකු විසින් ඉදිරි මාස 12 සඳහා සිය පවුලට අයත් පලාපල කථනයක් සිදුකිරීමය.

අලුත් අවුරුදු දිනයේ අලුයමින් අවදිවන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ  දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාම සිදුකරනු ලබයි. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප්‍රතිමාවන් වේ. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද පෙන්වනු ලබයි. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.


මේ දිනයේදී දෙමළ නිවෙස්වලට ඇතුළුවන දොරටුව අසළ කාන්තාවන් විසින් ‛කෝලම්’ හෝ ‛රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙම කෝලම් රටාවලට මැදින් ‛කුට්ටු විළක්කු’ නම් පහනක් තබනු ලබයි. ‛කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‛කන්නි’ යන්නෙහි අරුත් වන්නේ ‛සුබ දසුන’ වැන්නකි. ඔවුන් මේ අවස්ථාවේදී රන් ආභරණ, පලතුරු, එළවලු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්වා තැබේ. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේදී ඒ අසළින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමග මුසුකරගැනීම මගින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් ද දෙමළ ජනතාව අපේක්ෂා කරති. දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී ලක්ෂ්මී දෙවඟනට සහ ගන දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‛කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදුකෙරෙන්න්ෙ අවිවාහක තරුණ තරුණයින්, විශේෂයෙන් කුඩා දරුවන් සමග වන අතර එයින් බලාපොරොත්තුවන්නේ වාසනාවන්ත බවයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‛ආර්පුඩු’ නමින් හැඳින්වේ. සිංහල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‛පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ්‍ර ‛මරුති - නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදුකරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ.


ලොව පුරා දෙමළ ජනතාව අප්‍රේල් 14 වැනිදා මෙසේ අලුත් අවුරුද්ද සැමරුවද තමිල්නාඩුවේ මෙයට පෙර බලයේ සිටි ඩී.එම්.කේ පක්ෂය පවසා සිටියේ සැබෑ දෙමළ අවුරුද්ද විය යුත්තේ තෛපොන්ගල් උත්සවය පවත්වන්නා වූ ජනවාරි මාසය බවයි. එය තමිල්නාඩු දෙමළ ජනතාවගේ අස්වනු නෙලීමේ උත්සවයයි. ඔවුහු මෙය සම්මත කරගැනීම සඳහා පණතක් ද ඉදිරිපත් කළහ. නමුත් ජයලලිතා එහි මහඇමතිනිය වූ පසු පවසා සිටියේ සැබෑ දෙමළ අලුත් අවුරුද්ද විය යුත්තේ අප්‍රේල් 14 වැනිද බවයි. එබැවින් ලොවපුරා වෙනසක් නොමැතිව දෙමළ ජනතාවද අප්‍රේල් මාසයේ සිය අලුත් අවුරුද්ද සමරති.

කොන්දේ අමාරුව නොවැළ‍‍‍ඳන සේ පරිගණකය ඉදිරියේ වාඩිවෙන හැටි - Correct Sitting Postures with Computer

පරිගණක භාවිත කරන අය ඉඳගන්න ගියාම එක එක විදියට ඉඳගන්නවා. සමහරු පුටුවේ දිගඇදිලා ඉන්නවා. තවත් අය පුටුවෙන් ඉස්සරහට නැවිලා පරිගණකය ඇතුළට රිංගන්න වගේ ඉන්නවා. ලැප්ටොප් තියෙන අය ඇඳේ නිදියගෙන  වැඩ කරනවා. මෙහෙම බලනකොට පරිගණකය භාවිත කරන කොට කවුරුවත් එකම විදියේ ඉරියව්වක් අනුගමනය කරන්නේ නැහැ. දැන් පරිගණකය අපේ ජීවිතවල කොටසක් වෙලා අවුරුදු ගණනාවක් වෙනවා. මේ වගේ පිළිවෙළක් නැති ඉරියව් නිසා අපේ බොහෝ දෙනෙක්ට මේ අවුරුදු ගණන තරමටම ලෙඩරෝගත් වැළඳිලා තියෙනවා. කොන්ද අමාරුව කියන්නේ මේ අතරින් එකක්. නිවැරදි විදියට ආසනයක වාඩිවෙලා පරිගණකයක් භාවිත නොකරන කොට වගේ වගේ ලෙඩරෝග හඅදෙන එක වළක්වාගන්න බැහැ. මේ නිසි අපි අද කල්පනා කළා පරිගණකය භාවිතයේදී නිවැරදිව වාඩිවෙන විදියත්, ඒ සමඟ බැඳුණු අනෙක් ඉරියව් පවත්වාගන්නේත් කොහොමද කියන එක ගැන කතා කරන්න. අපි මේ ගැන පියවරෙන් පියවර කතා කරමු.

1. හිස කෙලින් තබා ඉඳගන්න




ආසනයේ හැකිතරම් පසුපසට වන්නට හිඳගන්න. මෙහිදී ඔබේ පතුල් සමබරව පොලෙවේ ස්පර්ශවන ආකාරයට,  දණහිස උකුලට සමාන්තරව හෝ උකුලට වඩා මදක් පහළින් සිටින සේ තබාගත හැකිවන සේ ආසනයේ උස සීරුමාරු කරගන්න. කොන්ද අංශක 100 -110ක් පමණ කෝණයකින් ආසනයේ ඇන්දෙහි හේත්තුවන සේ තබාගන්න. ඔබේ කොන්දේ ඉහළ  සහ පහළ කොටස් ඇන්දේ සහ ආසනයේ හේත්තු වී තිබිය යුතුයි. අවශ්‍ය නම් මේ ඉරියව්ව ඇතිකරගන්න එබෙන්නේ නැති කොට්ට යොදාගන්නත් පුලුවන්. ඇතැම් පරිගණක ආසනවල කොන්දේ ඉරියව් වෙනස්කරගත හැකි ආකාරයට සකස්කොට තිබෙනවා. එවැන්නක් ඇත්නම් ඔබේ කාර්යය තවත් පහසු වේවි. උරහිස් ඉහිල්වන අකාරයට ආසනයේ දෙපැත්තේ ඇඳි සකස් කරගන්න. ඔබට අවශ්‍ය ආකාරයට නැත්නම්,  එම ඇඳි ඉවත්කරන්න.

2. යතුරුපුවරුවට ආසන්න වන සේ හිඳගන්න




යතුරුපුවරුව ඔබේ සිරුර ඉදිරිපිට ආසන්නයෙන්ම සිටින සේ හිඳගන්න. මෙහිදී එහි යතුරු පුවරුව ඔබේ සිරුර සමඟ මධ්‍යගතවී තිබීම වැදගත්.

3. යතුරු පුවරුවේ උස සීරුමාරු කරගන්න




ඔබේ උරහිස් ඉහිල්ව තිබෙනා ආකාරයෙනුත්, වැලමිටි තරමක් විවීත පිහිටන ආකාරයෙනුත්, මැණික් කටු සහ අත් සෘජුව තිබෙන ආකාරයටත් සරිලන පරිදි යතුරු පුවරුවේ උස සකස් කරගන්න.




4. යතුරු පුවරුවේ ඇලය ඔබගේ හිඳගැනීමේ ඉරියව්වට ගැළපෙන පරිදි සකස්කරගන්න



නවීන යතුරු පුවරුවල ඇලය අපට කැමති පරිදි සකස්කරගන්නට හැකි ආකාරයෙන් පවතිනවා. ඔබ තරමක් ඉදිරියට බරවුණු හෝ සෘජු ඉරියව්වකින් හිඳගන්නේ නම් යතුරුපුවරුවේ ඇලය ඔබෙන් ඉවතට බරවන සේ සකස් කරගන්න. හෙත් ඔබ පසුපසට මඳක් හේත්තු වී සිටිනවා නම් යතුරුපුවරුව ඉදිරියට ඇලවන සේ තැබීමෙන් ඔබේ සිරුර සෘජු ස්වභාවයකින් පවත්වාගන්නට හැකියි. මවුසය යතුරු පවුරුව අසලින්ම තබාගන්න.

5. පරිගණක තිරය නිවැරදිව ස්ථානගත කරන්න


ඔබේ ගෙල විඩාවට පත්නොවන ආකාරයෙන් පරිගණක තිරය සහ අවශ්‍ය ලියකියවිලි නිවැරදිව ස්ථානගත කරන්න. පරිගණකය ඔබ ඉදිරියෙන් කේන්ද්‍රගතවන සේ ලබාගන්න. ඔබ හිඳගෙන සිටින මට්ටමේ ඇස් මට්ටමට වඩා අඟල් 2 - 3ක් පමණ ඉහළට වන්නට පරිගණක තිරය තබාගන්න. පරිගණක තිරය ඔබේ අතේ දුරින් තබාගන්න. තිරයෙන් අනවශ්‍ය දිලිසීමක් ඇස්වලට නොවැටෙන ආකාරයට එය සකස්කරගන්න.

6. ලියකියවිලි ඔබ ඉදිරියෙන්ම පෙනෙන ආධාරකයක් මත තබාගන්න


මේ සඳහා ඔබට ඉඩකඩක් නොමැති නම් එය පරිගණක තිරයට හැකි තරම් ආසන්නයෙන්ම තබාගන්න. දුරකතනයක් භාවිත කරන්නේ නම් එය අතේ දුරින් තබාගන්න.
  


7. මාංශ පේශීවල විඩාව සංසිඳුවීම පිණිස වැඩකරන අතරතුර විවේකයක් ගන්න.



නොකඩවා හිඳගෙන සිටීම සෞඛ්‍යයට හිතකරනැති බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. මිනිත්තු දෙකක් හෝ ඇවිදින්න, සිටගන්න, අතපයවල හිරිගතිය තුරන්තරගන්න හෝ වෙනත් කුමක් හෝ කටයුත්තක් සඳහා යොදාගැනීම සුදුසුයි.

සෑම මිනිත්තු 20කම වරක් මිනිත්තු 2 - 3ක් විවේකයක් ගන්න. සෑම පැයකටම වරක් මිනිත්තු පහක් පමණ වෙනත් වැඩක නිරතවන්න. හැකි අවස්ථාවලදී පරිගණකයෙන් ඈත්ව සිටිීමත් වැදගත්.
ඇස්වල විඩාව තුරන්කරගැනීම සඳහා විටින් විට වෙනත් දෙයක් වෙත දෑස් යොමුකරන්න. තත්පර 10 - 15ක් පමණ දෑත්වලින් ඇස් ආවරණයකරගනිමින් ඇස්වලට විවේකයක් දෙන්න. වැඩකිරීමේදී නිවැරදි ඉරියව් අනුගමනය කරන්න.

8. අත්වලට ව්‍යායාමක් ලබාදෙන්න



දිනකට සයවතාවක් පමණ දෑත්වලට ව්‍යායාමයක් ලබාදෙන්න. ඔගේ මැණික් කටුව පරිගණක භාවිතයේදී වෙහෙසට පත්වන නිසා ඒවා සඳහා විශේෂයෙන් ව්‍යයාම ලබාදිය යුතුයි. අනගාගතයේදී ඇඟිලිවල ඇතිවිය හැකි ආබාධ මේ නිසා වළක්වාගන්නට පුලුවන්.

Tuesday, April 15, 2014

රාහුල් ගාන්ධි සමග දේශපාලන පොරයට ආ මහගෙදර තුල්සි - Mahagedara Tulsi Compete against Rahul Gandhi



පිරිමියා හා සහ ගැහැනිය අතරින් ශාරීරික වශයෙන් ශක්තිවන්තයා යැයි සැළකෙන්නේ පිරිමියාය. නමුත් යම් යම් වැඩකටයුතු කරගැනීමේදී පිරිමියාට වඩා ගැහැනිය ඉදිරියෙන් සිටින බැව් පෙනෙන්නට තිබේ. රෝම අධිරාජ්‍යය දමනය කරගැනීමට හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට ක්ලියෝපැට්‍රා බිසව තමාම සළුවක එතී ජුලියස් සීසර්ට තිළිණයක් ලෙස ගිය කතාව අපට අතීතයෙන් ඇසෙන්නේ ඒ නිසාය. යුද කටයුතුවලදී රහස් ඔත්තුකරුවන්ට වඩා ඔත්තුකාරියන් සිය අරමුණු ඉටුකරගැනීමට වඩාත් දක්ෂ වූ බැව් තහවුරු කරන්නට ඕනෑ තරම් සාධක ඉතිහාසයෙන් හමු වේ. මේ පුරුද්ද දේශපාලනය සඳහා ද වෙනසක් නැත. විශේෂයෙන් අප ජීවත්වන ආසියානු කලාපයේ මෙය වඩාත් ජනප්‍රිය මට්ටමින් පවතී. සැමියා හෝ පියා දේශපාලන නායකයකුව සිට කුමක් හෝ හේතුවකින් මිය ගිය අවස්ථාවක ඔහුගේ බිරිඳ, දියණිය හෝ සොයුරිය ඔහු වෙනුවෙන් ඉදිරිපත්කිරීම තුළින් මහා පෙරළියක් කළහැකි බැව් කාලයක සිට දක්නට ලැබුණකි. එපමණක් නොව ජනප්‍රිය නිළියන් ඡන්දය සදහා ඉදිරිපත්කිරීම තුළින් ද මෙයට සමාන ප්‍රතිඵලයක්ම අත්කරගතහැකි බව අපේ කලාපයේ දේශපාලඥයින් හොඳින් දන්නා කරුණකි.  කලක් සුරූපී නිළියකව සිටි ජයලලිතා අද ඉන්දීය පාලන පක්ෂය අල්ලේ නටවන්නට තරම් ප්‍රබලවී සිටින්නේ සිය රූපයට කෝටි ගණනක ඡන්දදායකන් වසඟයට ගැනීමට හැකි වූ බැවිනි. අප රටේ ද එය එසේමය. පසුගිය පළාත් සභා මැතිවරණයේදී අප රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් නිළියන් කොපමණ සංඛ්‍යාවක් ඉදිරිපත් කළේ දැයි විශේෂයෙන් පැහැදිලි කළයුතු දෙයක් නොවේ. දේශපාලන පක්ෂ මෙවැනි උපක්‍රම යොදන්නේ බොහෝ විට ඔවුන් ජයග්‍රහණය කරනවාට වඩා ඔවුන් ලවා ප්‍රතිපක්ෂවලට ඇදී යන ඡන්ද කඩාදැමීම සඳහාය. මෙවැනි තත්වයක් අපට යළි අසන්නට ලැබෙන්නේ ඉන්දියාවෙනි. 

 
රාහුල් ගාන්ධි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි අමෙති ඡන්ද කොට්ඨාශය සඳහා මහ මැතිවරණයේදී තරගවැදීමට භාරතීය ජනතා පක්ෂය මෙවර තෝරාගෙන ඇත්තේ එරට අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක වන ‛ස්ම්‍රිති සුබින් ඉරානි’ ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ඡන්ද කොට්ඨාශය සඳහා ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයෙන් තරගවදින්නේ රාහුල් ගාන්ධිවීමය. පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා මෙම ඡන්ද විමසීම අප්‍රේල් 7 වැනිදා සිට මැයි 12 වැනිදා දක්වා පැවැත්වෙන් අතර ඡන්ද ගණනය කරනු ලබන්නේ මැයි 16 වැනිදාය. මිලියන 814ක් ඡන්දදායකයෝ මේ ඡන්දයදීම සඳහා පෙළගැසී සිටිති. 


සැබැවින්ම ඉරානි යනු කවුද? 1976 මාර්තු 23 වැනිදා පන්ජාබ් - බෙංගාලි සම්භවයක් සහිතව දිල්ලියේදී උපත ලැබුවාය. 2001 වසරේදී ඇය සිය ළමා කාලයේ සිට මිතුරකු වූ සුබින් ඉරානි සමඟ විවාහ වූවාය. ඔහු ඇයට වඩා වසර 10කින් වැඩිමහලු අයෙකි. ඔහු ඒ වනවිට එක් විවාහයකින් පසුව නීතියෙන් වෙන් වූ අයෙක් වූ අතර, ඔහුගේ දරුවාගේ භාරකාරත්වය දරන්නට වූයේ ද ඉරානිටමය. ඇයට මෙම විවාහයෙන් පුතකු හා දියණියක සිටී. ඇය දේශපාලනයට පිවිසීමට පෙර මෝස්තර නිරූපණ ශිල්පිනියක, රූපවාහිනි නිළියක සේම නිෂ්පාදිකාවක ද වූවාය. ඇය භාරතීය ජනතා පක්ෂයේ අතිශය ජනප්‍රිය නායිකාවක බවට ද පත්ව හමාරය. ඉන්දියාවේ ජනප්‍රිය සඟරාවක් වන ‛ෆෙමිනා’ මගින් 1997 වසරේදී පවත්වන ලද රූ රුජින තරගයකදී ජයග්‍රහණය කළේ ඇයයි. ඇය බොහෝ ටෙලි නාට්‍ය සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති අතර වඩාත් ජනප්‍රිය වූයේ ‛ක්‍යුන්කි සාස් භි කභී බාහු ති’ (නැන්දම්මා කෙනෙක් කියන්නේ එක් අවස්ථාවක ලේලියකව සිටි තැනැත්තියක් බැවිනි) හි ඇය කළ තුල්සි විරානි ගේ චරිතයෙනි. ඇය ලේලියක ලෙසින් එහි ප්‍රධාන චරිතය සඳහා දායක වූ අතර  2000 - 2008 වසර අතර කාලයේ මෙහි කොටස් 1,800කට වඩා විකාශනය විය. ‛මහ ගෙදර’ නමින් අප රටේ ජනප්‍රිය වූ ටෙලි නාට්‍යය වන්නේ ද මෙයයි. ටෙලි නාට්‍යවලට අමතරව ඇය හින්දි සිනමාපට දෙකකට ද, එක් තෙළිගු සිනමාපටයකට ද, එක් බෙංගාලි සිනමාපටයකට ද රංගනයෙන් දායක වී තිබේ. 


ඉරානි භාරතීය ජනතා පක්ෂයට ඇය සම්බන්ධ වූයේ 2003 වසරේදීය. 2004 වසරේ ලෝක් සභා මැතිවරණයේදී ඇයට සාර්ථකවන්නට නොහැකි විය. 2004 වසරේදී ඇය මහරාෂ්ට්‍ර යොවුන් සේනාංකයේ උප සභාපතිනිය වූවාය. ඇය භාරතීය ජනතා පක්ෂයේ මධ්‍යම කමිටුවේ විධායක සාමාජිකාවක බවට ද පත්වූවාය. ඇය ඉන්දීය කාන්තාවට මුහුණපාන්නට සිදුව ඇති බොහෝ අකටයුතුකම්වලට එරෙහිව හඬක් නැගූ දේශපාලන නායිකාවක ලෙස ද ප්‍රකටය. ඇය 2011 වසරේදී ගුජ්රාත් ප්‍රාන්තයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූ ඇය ඉන්දියාවේ දිළිඳු පළාත්වලට ජලය සපයන ‛වෙනස සඳහා ජනතාව’ ( ඡැදචකැ දෙර ක්‍ය්බටැ ) යන සංවිධානයක් ද පවත්වාගෙන යන්නීය. ඇය රාහුල් ගාන්ධිට එරෙහිවතරග වදින්නේ මෙවැනි වටපිටාවක් සහිතවය. 


ඉරානි රාහුල් ගාන්ධිට එරෙහිව සටන් වදින අමෙති ඡන්ද කොට්ඨාශය පිහිටි උත්තර් ප්‍රදේශ් යනු ඉන්දියාවේ ‛සංග්‍රාම භූමිය’ ලෙස ප්‍රකට ප්‍රාන්තයකි. බලයට පත්වන්නට අපේක්ෂාකරන ඕනෑම පක්ෂයක් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් 80 දෙනෙකුට වඩා තෝරාපත්කරගන්නේ මෙම ප්‍රාන්තයෙනි. අනෙක අමෙති යනු ගාන්ධි පවුල දීර්ඝ කාලයක් තිස්සේ බලය රැකගෙන සිටිනා කොට්ඨාශයක්වීම ද විශේෂ කරුණකි. රාහුල් ගාන්ධිගේ පියාවන රාජීව් ගාන්ධි 1991 මියයන විට ද මෙහි බලය රැකගෙන සිටියේය. 2009 වසරේ පවත්වනු ලැබූ මහමැතිවරණයේදී ගාන්ධි පවුල 70%කටත් වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මෙම කොට්ඨාශය ජයග්‍රහණය කළේය. භාරතීය ජනතා පක්ෂයට ලැබුණේ ඡන්ද 10%කටත් අඩු ප්‍රතිශතයකි. 


ඉරානිට මෙහිදී ජයග්‍රහණයක් අපේක්ෂා කළ නොහැකි වුව ද ඇය සෑහෙන තරගයක් ලබාදෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
“අමෙති ඡන්ද කොට්ඨාශයේ ජනතාව පවුල් වාදයට යටවෙලා. ඔවුනට සෑහෙන කාලයක සිට සංවර්ධනයේ නියම ප්‍රතිඵල නෙලාගන්නට නෙැහැකි වී තිබෙනවා. මම හිතන්නේ මේක ලජ්ජාවට කාරණයක්’
ඉරානි එසේ පවසන්නීය. 


පවුල්වාදයට යටවූ සෑම රටකටම මෙය අදාළදැයි මෙහිදී අපට අපෙන්ම ප්‍රශ්න කරන්නට සිතේ.