පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, July 23, 2015

රත්තරන්, සුදු රත්තරන් හා ප්ලැටිනම් - Gold, White Gold and Platinum


පසුගිය දිනෙක අප පෘථිවිය ආසන්නයෙන් ග්‍රහකයක් ගමන් කළ බව ඔබ බොහෝ දෙනෙක් නොදන්නවා වන්නටත් පුළුවන්. මීටර් 600 ක පමණ් විෂ්කම්භයකින් යුක්ත මෙය අපට ආසන්නතම ග්‍රහ වස්තුව වන චන්ද්‍රයාටත් වඩා පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බවයි දැනගන්නට ලැබෙන්නේ. විටින් විට මෙවැනි ග්‍රහක අපගේ පෘථිවයට ආසන්නයෙන් ගමන් කරන මුත් මේ ග්‍රහකයෙහි ඒ සියල්ලටම වඩා සුවිශේෂී වෙනස්කමක් දකින්නට ලැබුණා. මේ පිළිබඳ අධ්‍යයනය කළ විද්‍යාඥයන් සොයාගත් දෙයක් වූයේ මෙහි ප්ලැටිනම් ලෝහය අධික ලෙස අඩංගු බවයි. සාමාන්‍ය ජීවිතයේදී  “රත්තරන් මේ හැටි ගණන් ඇයි?” කියා ඇසුවත් ලොව මිලෙන් වැඩිම ලෝහය ලෙස සැළකෙන්නේ ප්ලැටිනම්. විද්‍යාඥයන් විසින් ගණන් බලා ඇති ආකාරයට මෙම ග්‍රහකයේ අඩංගුවන ප්ලැටිනම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5ක් ද ඉක්මවනවා. රුපියල්වලින් නම් මෙහි වටිනාකම ලියා දක්වන්නටත් දුෂ්කරයි. එමෙන්ම තවත් ඩොලර් බිලියන ගණනක් වටිනා වෙනත් ලෝහ වර්ග ද මෙහි අඩංගුයි. 

මෙම ග්‍රහකය පෘථිවිය ආසන්නයෙන් ගමන් කළාටත් වඩා විද්‍යාඥයන්ගේ සහ කෝටිපති ව්‍යාපාරිකයන් සිය අවධානය යොමු කළේ මෙහි ඇති ප්ලැටිනම් නිධිය ලබාගැනීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳවයි. අභ්‍යවකාශයේ ඇති මෙවැනි වටිනා ලෝහ නිධි පිළිබඳ විද්‍යාඥයන් සහ ව්‍යාපාරිකයන් වසර ගණනාවක් තිස්සේ සිහින මවන්නේ ද මේ හේතුව නිසයි. 

ප්ලැටිනම් මේ හැටි ගණන් ඇයි? 

ප්ලැටිනම් කියන්නේ ලෝහයක් බව අපි දන්නවා. මෙය ඉතා ඝනත්වයකින් යුක්ත, කැමති ආකාරයකට පහසුවෙන් හැඩගැන්විය හැකි තරමට මෘදු, කිසිදු ආකාරයක් ප්‍රතික්‍රියාවක් නොදක්වන, අලු - සුදු පැහැයට හුරු ලෝහයක්. මෙයට ප්ලැටිනම් යන නම ලැබී ඇත්තේ ‛පුංචි රිදී’ යන තේරුම ඇති ‛ප්ලැටිනා’ කියන ස්පාඤ්ඤ වචනයෙන්. ප්ලැටිනම් සොයාගැනීම අතිශය දුෂ්කර දෙයක් නිසා මෙය නිපදවිය හැක්කේ වසරකට ටොන් සිය ගණනක් පමණයි. නමුත් රත්රන් වසරකට මෙට්‍රික් ටොන් 2500ක් පමණ නිපදවනවා. ප්ලැටිනම් ලෝහයේ ඉහත සඳහන් කළ ලක්ෂණවලට අමතරව මෙහි මළ නොබැඳීමේ ගුණයත් පවතිනවා. මෙවැනි හේතූන් නිසා වටිනා ලෝහ ව්‍යාපාරිකයන් අතර මෙය සැළකෙන්නේ රත්රන්වලටත් වඩා ‛උතුම්’ ලෝහයක් ලෙසයි. 

ප්ලැටිනම් ආභරණ 

ප්ලැටිනම්වලින් ගන්නා විවිධ ප්‍රයෝජන අතර කැපී පෙනෙන දෙයක් වන්නේ  ආභරණ නිපදවීම සඳහා ද මෙය ප්‍රයෝජනයට ගැනීමයි. මෙහි ඇති දුර්ලභභාවය මෙන්ම ඝනත්වයත් නිසා අබරණ ලෝලීන් අතර ප්ලැටිනම් සඳහා ඇති ඉල්ලුම මේ වන විටත් ඉහළ තත්වයක පවතිනවා. වසර ගණනාවක් තිස්සේ දකින රත්තරන් පැහැයට වඩා සුවිශේෂී සිත් ගන්නා පැහැයක් ප්ලැටිනම්වල පැවතීමත් මෙයට ඇති ඉල්ලුම ඉහළ යාමට තවත් එක් හේතුවක්. 

පිරිසිදු ප්ලැටිනම් 

තනි රත්තරනින් ආභරණ නිපදවන්නට නොහැකි බව කවුරුත් දන්නා දෙයක්. එසේ නිපදවුවහොත් ආභරණවල ශක්තිමත් බව අඩුවෙනවා. අනෙක රත්රන් කියන්නේ ඝනත්වයෙන් වැඩි ලෝහයක් ද නෙවෙයි. නමුත් ප්ලැටිනම් මේ සියලු දුර්වලතාවයන් ජයගත හැකි ලෝහයක්. ඉතා සුළු ප්‍රතිශතයකින් වෙනත් ලෝහයක් මිශ්‍ර කිරීමෙන් පමණක් ප්ලැටිනම්වලින් ආභරණ නිපදවීමේ හැකියාව පවතිනවා. කෙසේ නමුත් මේ ආකාරයේ ‛පිරිසිදු ප්ලැටිනම්’ ආභරණ අධික මිලෙන් යුක්ත වන නිසා මේ වන විට ‛ප්ලැටිනම් 585’ නමින් ලෝහයක් හඳුන්වා දී තිබෙනවා. එහි ප්ලැටිනම් අඩංගු වන්නේ 58.5%ක් පමණයි. ඉතිරි 41.5% තඹ සහ කොබෝල්ට්ලින් සමන්විත වෙනවා.  එය කැරට් 14 රත්රන්වල ඇති රත්රන් ප්‍රතිශතයට සමාන ප්‍රමාණයක්.

ප්ලැටිනම් සහ වයිට් ගෝල්ඩ් 

බොහෝ දෙනෙක් මෙම ‛ප්ලැටිනම් 585’ ‛වයිට් ගෝල්ඩ්’ (White Gold) හෙවත් ‛සුදු රත්රන්’ යැයි වරදවා වටහා ගන්නා බව පෙනෙන්නට තිබෙනවා. නමුත් මේ ප්ලැටිනම් 585 වුවත්, ශක්තිමත් බවින් පමණක් නොව පැහැයෙන් ද සුදු රත්රන්වලට වඩා වෙනස්. සුදු රත්රන් නිපදවන්නේ කහ රත්රන්වලින්. නමුත් ප්ලැටිනම් ලෝහයේ පවතින්නේ අව්‍යාජ, එම ලෝහයට ආවේණික සුදු පැහැයක්. එබැවින් ප්ලැටිනම්, සුදු රත්තරන්වලටත් වඩා පිරිසිදු සුදු පැහැයකින් යුක්තයි. අනෙක සුදු රත්රන් ආභරණ නිපදවීමේදී සුදු පැහැය ලබාගැනීම සදහා ආලේප කරන ‛රෝඩියම්’ ලෝහය කාලයත් සමඟ වියැකී යනවා. එවිට කාලයක ඇවෑමෙන් මෙම ආභරණවලින් දිස්වන්නේ කහ පැහැයයි. නමුත් ප්ලැටිනම් ආභරණවල මෙම දුර්වලතාවය ඇතිවන්නේ නැහැ. 

ප්ලැටිනම් ආභරණ සඳහා 95%ක් පමණම පිරිසිදු ප්ලැටිනම් භාවිත වන නිසාත්, රත්රන් සඳහා එසේ භාවිත නොවන නිසාත් ප්ලැටිනම් ආභරණ අධික මිලෙන් යුක්තයි. ප්ලැටිනම් 585 හඳුන්වා දී ඇත්තේ මේ බාධකය ජයගැනීම සඳහායි. 

මිල අධික වුවත් ප්ලැටිනම්වලින් නිපදවන ලද ආභරණ අපේ රටේ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. රුපියල් 6,600 සිට ලක්ෂ 13 දක්වා වූ මිල පරාශයක් යටතේ මේවා මිලදී ගත හැකියි. එයට අමතරව අන්තර්ජාලය ඔස්සේ ප්ලැටිනම් ආභරණ මිලට ගැනීමේ හැකියාව ද පවතිනවා. ඒවායේ මිල රුපියල් 22,000 සිට 133,000 අතර පවතිනවා. ඒවායේ ප්‍රමාණය හා සැසඳීමේදී මෙම මිල ගණන් අධික යැයි ඇතැම් විට පෙනුනද, රත්රන් හා ප්ලැටිනම් අතර පවතින වෙනස් කම් පිළිබඳ සිතා බැලීමේදී මේවා මිලදී ගැනීමේ වරදක් නැති බව ඔබට වැටහේවී. 

විදෙස් රටවල කාන්තාවන් මේ වන විටත් රත්රන් අතහැර ප්ලැටිනම්වලට මාරු වෙමින් සිටිනවා. බොහෝ දෙනෙක් ප්ලැටිනම් ආභරණවලට කැමැත්ත දක්වන්නේ එහි ඇති සුවිශේෂී පැහැය නිසයි. ඔවුන් මිලට වඩා පැහැයට උනන්දුවක් දක්වනවා. කෙසේ නමුත් ප්ලැටිනම් අධික වටිනාකමින් යුක්ත ලෝහයක් වුවත්, අප රටේ බහුතරයක් දෙනා තවමත් කැමැත්ත දක්වන්නේ රත්රන්වලට නිසා ප්ලැටිනම් ආභරණ ජනප්‍රියවන්නට තවත් කාලයක් යා හැකි බවත් ඇතැම් අය පවසනවා. 


Tuesday, July 21, 2015

පෙතන්ගොඩ උයනේ කටු උණ පඳුරු - Thorny Bamboo Trees at Pethangoda Historical Park

මියැදුණු උණ අත්තකින් ගළවා ගත් උණ කටුව

දැනට වසර ගණනකට පෙර එක් සඟරාවක් වෙනුවෙන් සීතාවක රාජධානිය පිළිබඳ ලිපියක් සකස් කිරීම සඳහා අවිස්සාවේල්ලේ බලා යාමට සිදුවිය. එයට හේතුව සීතාවක රාජධානිය පිහිටියේ එම ප්‍රදේශය අවට වීම නිසාය. මේ සඳහා කොළඹ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතෙකුද මගපෙන්වීම සඳහා සහය පළ කළේය. මෙයට පෙර ද සීතාවක රාජධානයේ යම් යම් ස්ථානවලට ගොස් තිබුණ ද යාමට අවස්ථාවක් නොලැබුණු එක් ස්ථානයක් විය. ඒ පෙතන්ගොඩ උයනයි.



සීතාවක රාජසිංහ රජුගේ මරණය සිදුවූයේ ද පෙතන්ගොඩ උයනේ තිබුණු කටු සහිත උණ ගසක කටුවක් ඇනීමෙන් බව ‛මන්දාරම් පුවත’ නම් ඓතිහාසික කෘතියේ සඳහන් වේ. එයට අනුව සීතාවක රාජසිංහ රජු කන්ද උඩරට රජ වූ කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය රජු සමඟ සටන් කොට, එම සටනින් පැරදී යළි සීතාවක රාජධානිය කරා පැමිණෙමින් සිටියේය. මෙසේ පැමිණෙමින් සිටින අතරතුර පෙතන්ගොඩ උයන අසළ දී අසු පිටින් වැටී උණ කටුවක් පාදයේ ඇනී තිබේ. මේ සිදුවීම ගැන පැරණි ජන කවියක මෙසේ විස්තර කෙරේ.

‛රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණකටුව පතුලේ ඇනුණාය
එක්‌ව සිටි සැවොම වටකොට මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය’ 

‘සංදේශය’ චිත්‍රපටය වෙනුවෙන් අරිසෙන් අහුබුදු සූරීන් ලියන ලද ගීයකට ද මෙම ජන කවිය පදනම් වී තිබේ. ධර්මදාස වල්පොල විසින් ගායනා කරනු ලැබූ, බොහෝ දෙනෙක් අසා හුරු පුරුදු එම පද කිහිපය මෙසේය.


‛රුදුරු පෙතන්ගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව පතුළේ ඇනී වන වුණා
එක්වැ සිටි සැවොම මතුරා විස ද වැඩි වුණා
රාජසිංහ දෙවි නාමේත් ගියා නැති වුණා.’

එම ගීත කොටස මෙතැනින් අසන්න.


මෙසේ උණ කටුව ඇනී ඇති වූ තුවාලය සුව කරගත නොහැකි වීම රජුගේ මරණයට හේතුවී යැයි සඳහන් වේ. සීතාවක රාජසිංහ රජු විමලධර්මසූරි රජු සමග මෙතරම් වෛරයකින් පසුවන්නට ඇත්තේ ඔහු සිංහලයන්ගේ පක්ෂයට හැරෙන්නට පෙර පෘතුගීසීන් සමඟ එක්ව සිටි නිසා විය යුතුය. එමෙන්ම සීතාවක රාජසිංහ රජු කොළඹ කොටුවට පහර දෙන අවස්ථාවේ කොටු පවුර ශක්තිමත් කොට ආරක්ෂාකරීමේ කටයුතු සිදු කළේ ද එවක කොනප්පු බණ්ඩරයන්ය. කෙසේ නමුත් අවසානයේ සීතාවක රජු කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය රජු හමුවේ පරාජයට පත් විය. 




කෙසේ හෝ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතාගේ මග පෙන්වීමෙන් පෙතන්ගොඩ උයනට යාමට අවස්ථාව ලැබිණි. 

එහි කටු උණ පඳුරු දෙකක් තිබේ. වර්තමාන තත්වය පිළිබඳව නම් කිසිවක් කිව නොහැකිය. අප එහි යන විට එක් පඳුරක මියැදුණු උණ අත්තක් ඉවත් කරමින් පැවති නිසා පුරා විද්‍යා නිලධාරී මහතාව ද දැනුවත් කොට එම මියැදුණු උණ අත්තේ තිබී උණ කටුවක් ගළවා ගතිමි. මුලින්ම දක්වා ඇති පින්තූරයේ දැක්වෙන්නේ එයයි. එය එදා සිට සුරක්ෂිතව තබා ගනිමින් ඉතිහාසයට ආදරය කරන සහෘදයන්ට පෙන්වමින් තවමත් මා සමගම සිටී. තිබේ. මෑත දිනක එය දැකීමෙන් ඇති වූ අතීත ස්මරණය මෙසේ බ්ලොග් සටහනකට ගොනු කොට එම උණ කටුව ‛බ්ලොග් ගත කරන්නට’ සිත් විය. 



Sunday, July 12, 2015

ලේන් පැටවුන්ගේ කතාව - Story of Baby Squirrels


අද, ඒ කියන්නේ ඉරිදා උදේ අැහැරුනේ ලේනෙක් කන් බීරි වෙන කල් කෑගහන සද්දේ ඇහිලා. මේ මොකක්ද කියල බැලුවා. ගේ පිටිපස්ස පැත්තෙන් තමයි සද්දේ ආවේ. ඒ පැත්තට යන කොට ලේනෙක් ගේ පිටිපස්සේ පරණ ටොයිලට් එකේ වහලේ දුව දුව කෑ කහනවා. තව ටිකක් හොයලා බලද්දි ලේන් පැටියෙකුගේ සද්දයකුත් ආවා. ටොයිලට් එක ඇතුළට ගිහින් බලද්දි ඒකේ පෝච්චියට ලේන් පැටියෙක් වැටිලා. ඔළුව විතරයි උඩ. දෙපාරක් හිත හිතා හිටියේ නෑ පෝච්චියට අත දාලා පැටියාව ගත්තා. රෙදි කෑල්ලක් අරන් හොඳට පිහ දැම්මා. බලද්දි ටොයිලට් එක ඇතුළේ ලේන් කූඩුවක් හදලා. කවුරුවත් දන්නෙත් නැහැ. මම හෙමින් කූඩුවෙන් ලේන් පැටියාව තිබ්බා. ඌ හෙමින් ඒක ඇතුළට රිංගුවා'


ටික වෙලාවකින් මහ ලේනා හෝ මහ ලේනි කෑ ගහන සද්දෙත් නැවතුණා. 

අපේ වත්තේ සෑහෙන්න ලේන් කූඩු තියෙනවා. මේ වගේම දවසක් ලේන් පැටියෙක් වැටිලා ඉඳළා පැටියාගේ අම්මටයි තාත්තටයි දෙන්න බැලුවත් හරි ගියේ නෑ. ඒ නිසා ටික දවසක් හදලා ඌව නිදහස් කරලා ඇරියා. 

ඌට දුවයි පුතයි එකතු වෙලා ‛මිමී’ කියලා නමකුත් දැම්මා. දවාලට ගෙදර කවුරුවත් නැති නිසා කිරි පොවන්න මට ඌව පොඩි පෙට්ටියක දාගෙන ඔෆිස් අරන් යන්නත් වුණා. කොහොම වුණත් ඌට කරදරයක් නොවී ආයෙමත් ලේන් සමාජයට එකතු කළා. 



මිමියාගේ නම් ෆොටෝ සෑහෙන්න ගත්තා. ඒ ෆොටෝ සහ මිමියා වෙනුවෙන් හදපු වීඩියෝ එකක් තමයි මේ එක්ක දාලා තියෙන්නේ. 

අද බේරා ගත්ත ලේන් පැටියාගේ ෆොටෝ ගන්න වෙලාවක් තිබුණේ නැහැ. මට ඕන වුණේ ඉක්මණට පැටියාව අම්මටයි තාත්තටයි භාර දෙන්න. 

කොහොම වුණත් සතෙකුගේ ජීවිතයක් බේරාගත්තා කියලා අමුතු සතුටකින් තමයි අද දවස පටන් ගත්තේ. 









Saturday, July 11, 2015

අනේ ජනාධිපතිතුමා පව්

ඡායාරූප අනුග්‍රහය - http://www.365gossiplanka.com/gossipdata/gossip_images/16-rajapaksa-rejiment-bankrupted-grand-scale-mud-attack-to-maithree.png

‛කලකදි මස කලකදි වස වෙනවාලු’ කියා කියමනක් සිංහලයාගේ තිබේ. මේ දිනවල එවැන්නක් පෙනෙන්නට තිබේ. 

මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් වැඩ කටයුතු කළ බොහෝ කණ්ඩායම්, වෙබ් අඩවි, බ්ලොග් අඩවි ජනපතිවරණය පැවැත්වෙන දිනවලදී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපමණ ගුණ වැයූහ. නමුත් මේ ‛ගුණ ගී වරුසා සහ පැසසුම් ඝෝෂා’ වැඩිකලක් යන්නට මත්තෙන් කණපිට ගැසුවේය. ඒ මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදෙන්නට මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැති වීමත් සමගය. මේ පිළිබඳව තවමත් මතභේද පවතින්නේ යැයි පෙනුනද බැලූ බැල්මට නම් ඔහු සිය කැමැත්ත ලබා දී තිබේ. ඔහු නාමයෝජනා ලබා දෙන්නට මෙසේ කැමැත්ත පළ කොට ඇත්තේ යම් හෙයකින් දිනුවේ නම් තමා සිරගෙට යැවීමට හෝ පොලොව යට අඩි හයක් ගැඹුරින් වළලා දමන්නට ක්‍රියා කරන්නෙකු යැයි වරින් වර සඳහන් කළ තැනැත්තෙකුටය. මේ නිසා දැන් ඔහු වටා සිටි පිරිස දැන් ඔහුට එරෙහිව අවි ඔසවමින් හිඳිති. සැබැවින්ම ඔහුට මේ අපකීර්තියෙන් ගැළවෙන්නට ඕනෑ තරම් ඉඩකඩ තිබුණද මේ ‛පරිප්පුව’ ඉල්ලාගෙන කෑවේ ඔහුමය. 

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ මහතාව ගෙදර යැව්වේ ඒකාධිපතිවාදය අවසන් කිරීමේ අපේක්ෂාවෙනි. ඔහු පැවසූයේ බලය පිළිබඳ තමාට තණ්හාවක් නැති බවය. නමුත් ජනපති බවට පත්වීමත් සමඟ ඔහු තුළ බල තණ්හාවක් නැති බවට ඉදිරිපත් කළ අදහසට පයින් දමා ගැසුවේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගැනීමත් සමගිනි. ඇතැම් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු නායකයින් සිරිසේන මහතාව හිතා මතාම මේ උගුළට හසු කළා වෙන්නටත් බැරි නැත. ඔහු අද මේ නාමයෝජනා උගුලක හසු වී කීර්තිනාමය විනාශ කරගත්තේ මේ තනතුරු භාරගැනීමත් සමගය. ඔහුට බල තණ්හාවක් නොමැති නම් මේ කිසිදු තනතුරක් භාර නොගෙන හුදෙක් පොදු අපේක්ෂකයා වශයෙන් නිර්පාක්ෂිකව සිටින්නට හැකියාව තිබිණි. එසේ නම් ඔහුට විශේෂයෙන් දිනවිය යුතු පක්ෂයක් නැත. කිසිවකු වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍යතාවයක් ද නැත. ඔහුට එසේ නම් නිර්භීතව තමා බලයට කැමැත්තක් නැති යහපාලනයක් අපේක්ෂා කරන නායකයකු ලෙස රැඳෙන්නට අවකාශ තිබිණි. නමුත් දැන් සිදුවිය යුතු දේ සිදුවී හමාරය. අපට දැන් කිව හැක්කේ එකම දෙයක් පමණි. ඒ, 

’අනේ ජනාධිපතිතුමා පව්’

කියා පමණකි. 

ඇස් යට එල්ලා වැටීම හා එයට පිළියම් - Eye Bags and Treatments for that




වයස්ගත වන විට  බොහෝ දෙනෙකුගේ මුහුණේ දිස්වෙන කැපී පෙනෙන ලක්ෂණයක් විදිහට ඇස් යට සිදුවන  එල්ලා වැටීම  සඳහන් කළ හැකියි. වයසට යාමත් සමග ඔබගේ ඇසි පියෙහි ක්‍රියාකාරීත්වයට උදව් කරන මාංශ පේශීන් ඇතුළුව ඇස් අවට ඇති පටක දුර්වල බවට පත් වෙනවා. ඇස්වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන මේද කොටස් එවිට පහළ ඇසි පිය කරා ගමන් කරනවා. ඇස් යට එල්ලා වැටුණු ස්වභාවයක් දිස්වන්නේ එවිටයි. ශරීරයේ ඇති දියරයන්ද මේ සමග එකතු වීම නිසා මේ එල්ලා වැටීම තවත් වැඩි වී පෙනෙන්නට පටන් ගන්නවා.

සාමාන්‍යයෙන් ඇස් යට එල්ලා වැටීමේ තත්වය වෛද්‍ය උපදෙස් ගත යුතු බරපතල තත්වයක් නොවෙයි. වෛද්‍ය උපදසේ ලබාගන්නට තරම් දෙයක් බවට පත්වන්නේ ඉතා කලාතුරකින්. මෙය හුදෙක් පෙනුම පිළිබඳ ගැටලුවක් පමණයි. ඒ නිසා මේ සඳහා බහුලව ඇත්තේ ද රූපලාවන්‍ය ප්‍රතිකාර පමණයි. යම් හෙයකින් මෙම පෙනුම සමග ඇස් අවට දැවිල්ලක් හෝ වේදනාවක්, ඇස් රතුවීමක්, ඇස කැසීමක්, වේදනාවක් ආදිය ඇත්නම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි. 

ඇස් යට මේදය තැන්පත්වීමට අමතරව සිදුවන ශාරීරික දියර තැන්පත් වීම, කාලගුණ තත්වයන්, හෝර්මෝන මට්ටම සහ ලවණ සහිත ආහාර පරිභෝජනය ද මේ සඳහා හේතු විය හැකියි. එමෙන්ම නිතර නිදි වැරීම, අසාත්මිකතාවයන්, චර්ම රෝග, ආදිය ද මේ සඳහා බලපාන බව සොයාගෙන තිබෙනවා. මෙය පරම්පරාවෙන් උරුම වන ලක්ෂණයක් බව ද පැවසිය යුතුයි. 

කෙසේ නමුත් මෙය නිවසේදීම පහසුවෙන් සිදු කළ හැකි ප්‍රතිකාර ක්‍රම මගින් සෑහෙන දුරට සමනය කරගත හැකියි. ඇස් යට ප්‍රදේශයේ ඇති අධික ලවණතාවය හේතුවෙන් එම කොටසේ ඇති ජලය අඩුවී යන බැවින් පුරුද්දක් ලෙස ඔබ පානය කරන ජලය ප්‍රමාණය වැඩි කිරීම පහසුවෙන්ම කළ හැකි දෙයක්. ඒ වගේම ලුණු රස ඇති ආහාර පානවලින් හැකිතාක් දුරට වැළකී සිටීම  තූලින් ද මේ තත්වය පාලනය කරගත හැකියි. කෝපි සහ මද්‍යසාර භාවිතයෙන් ද ඈත්වන්න. 


බොහෝ දෙනෙක් ඇස් යට කලුවීමෙන් සහ මෙසේ එල්ලා වැටීමෙන් වළක්වාගැනීම සඳහා පිපිඤ්ඤා පෙති තැබීමට පුරුදුව සිටිනවා. සැබවින්ම මෙහිදී සිදුවන්නේ පිපිඤ්ඤාවල ඇති ඖෂධීය ගුණයක් නිසා මෙම තත්වයන් පාලනය වීමක් නොවේ. මෙහිදී සිදුවන්නේ ඇස් යට ප්‍රදේශය සිසිල්වීමයි. එම ප්‍රදේශය හැකි සෑම අවස්ථාවකම යම් කිසි ආකාරයකින් සිසිල්ව තබා ගැනීමට උත්සුක වනවා නම් මෙම තත්වය බොහෝ දුරට පාලනය කරගත හැකියි. මේ සඳහා කළ හැකි පහසුම දෙය නම් පිපිඤ්ඤා පෙති තැබීමයි. එය ද අපහසු නම් තේ කුඩු බෑග් කිහිපයක් තෙත් කොට ශීතකරණයේ තබන්න. ඒවා සිසිල් වූ විට ඇස් යට ප්‍රදේශයේ තබා එම පෙදෙස සිසිල් කරන්න. 








සාමාන්‍යයෙන් වයසත් සමග ඇස් යට එල්ලා වැටීම පාලනය කරගැනීමට මෙවැනි ක්‍රම අනුගමනය කළත් අසාත්මිකතාවයන් නිසා මෙය සිදුවනවා නම් ඔබ වහාම ඒ සඳහා මුළින්ම ප්‍රතිකාර ගත යුතුයි. ඒ වාගේම ආසාත්මිකතාවයන් ඇති කරන ස්ථානයන් සහ ද්‍රව්‍යවලින් ඈත්ව සිටීමට නිතර වගබලා ගත යුතුයි. 

අක්‍රමවත් නින්ද ද මෙයට හේතුවන නිසා නිදාගැනීමේ පුරුද්ද වෙනස් කිරීම ද තවත් එක් ප්‍රතිකාරයක්. බඩ යටට සිටින සේ හෝ පැත්තට හැරී හෝ නිදාගැනීමට පුරුදුව සිටින පුද්ගලයන්ගේ ඇස් යට එල්ලා වැටීම වැඩි වශයෙන් සිදුවන බව සොයාගෙන එයට හේතුව මෙම ඉරියව්වලදී ඇස් යට ප්‍රදේශයේ දියර එකතුවීම සඳහා වැඩි ඉඩක් පැවතීමයි. එම නිසා උඩුබැලි අතට හැරී නිදාගන්නට පුරුදුවීම තුළින් මෙම තත්වය සෑහෙන දුරකට සමනය කරගන්නට පුළුවන්. 


මුහුණේ සම සිරුරේ අනෙක් ස්ථානවලට වඩා සියුම්. එයට ඉක්මණින් හානි සිදුවිය හැකියි. එම නිසා මුහුණ සේදීමේදී මුහුණ රළු ලෙස පිසදැමීමෙන් වැළකෙන්න. විවිධ ආලේපන වර්ග සමග නින්දට යාමෙන් වැළකෙන්න. සෑම රාත්‍රියකම මුහුණේ මොයිස්චරයිසර් වර්ගයක් ගල්වන්න. දිවා කාලයේදී සන්ස්ක්‍රීන් එකක් ආලේපකරන්න. 

මෙවැනි ක්‍රම සහ යහපත් සෞඛ්‍ය පුරුදු වර්ධනය කරගැනීම තුළින් ඇස් එල්ලා වැටීම සෑහෙන දුරකට පාලනය කරගත හැකියි.

Wednesday, July 8, 2015

බොලිවුඩ් නිළියගේ රියට දැරියක් බිලි වෙයි - A 4 Year Old Died In Hema Malini's Car Accident


වර්තමාන ශ්‍රී ලාංකික හින්දි සිනමා රසිකයන් අතර වැඩි දෙනෙක් නොදන්නා චරිතයක් වූ හේමමාලිනී ගැන නරක ආරංචියක් පසුගිය ජූලි දෙවැනි බ්‍රහස්පතින්දා ආරංචි වුණා. ඒ ඇයගේ මෝටර් රථය රාජස්ථාන් ප්‍රාන්තයේදී අනතුරට පත් වීම නිසා දෙහැවිදිරි දැරියක්  මිය යාමයි. මෙය එදින රාත්‍රී 9ට පමණ ඉන්දියාවේ 11 වැනි ජාතික අධිවේගී මාර්ගයේදී සිදුවුණු බවයි දැනගන්නට ලැබෙන්නේ. හේමමාලිනී අතීතයේදී හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම සුරූපී නිළියක වුවත් වර්තමානයේ අය පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරන්නේ දේශපාලනයේ යෙදෙන කාන්තාවක් ලෙසයි. 66 හැවිරිදි ඇය  ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක්. 


හේමමාලිනී ගමන් ගත් මර්සිඩීස් බෙන්ස් රථයේ වේගය වැඩි කරත්ම අධිවේගී මාර්ගය බෙදා දක්වා ඇති සීමවෙන් ඉවතට පැන අනෙක් පැත්තෙන් ගමන් ගත් ඇල්ටෝ රථයක ගැටී තිබෙනවා. එහිදී මිය ගිය සිව් හැවිරිදි දැරියගේ පියා සහ දැරියගේ සොයුරියක් දරුණු ලෙස තුවාල ලබා තිබෙනවා. දැරියගේ පියාගේ පාද සහ අකු ඇටය හානි වී තිබුණු අතර වහා දැඩි සත්කාර එ්කකයට ඇතුළත් කොට තිබෙනවා. මිය දැරියගේ සොයුරියගේ පාද දෙකම බිඳී ගොස් තිබුණු බවයි කියැවෙන්නේ. ඇගේ මව ද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබුණු අතර සිය දියණියක් මිය ගිය බව හෝ ඇය දැන සිට නැහැ. අනතුරින් දැඩි ආපදාවට ලක් වූ රථයේ මිය ගිය දැරිය හැරුණු විට තවත් පස් දෙනෙකු ගමන් කොට තිබෙනවා. කෙසේ නමුත් ඇසට ඉහළින් ඇති සුළු තුවාල හැරුණු විට හේමමාලිනීට වෙනත් අපාදාවක් සිදුව නැහැ. 


මෙම අනතුරින් පසුව ඇගේ දියණිය සේම ජනප්‍රිය නිළියක ද වන ඊෂා ඩියොල් මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ අනතුරින් ආපදාවන්ට පත් පවුලේ පිරිසට උදව් කරන්නට තම මව තීරණය කොට ඇති බවයි. එසේ කරන්නේ ඇය දේශපාලඥයකු නිසා නොව මිනිස් ගුණය දන්නා කාන්තාවක් ලෙසට යැයි ද ඊෂා ඩියොල් පවසා තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේදී හේමාලිනීගේ මෝටර් රථය පැදවූ මහේෂ් චාන්ද් ටකූර් අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසෙනවා. 

මිය ගිය දැරියගේ පියා පවසන්නේ හේමමාලිනී රැගෙන ගිය රෝහලෙන්ම සිය දියණියට ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලැබුණේ නම් ඇයගේ ජීවිතය ගළවාගැනීමට හැකියාවක් තිබුණු බවයි. ඒ වෙනුවෙන් වියදම් කිරීමට තමා සතුව මුදල් තිබූ බව පවසන ඔවුන්ගේ සෙසු ඥාතීහු සඳහන් කරන්නේ මාධ්‍ය ද හේමාලිනීගේ තුවාල ගැන සෙව්වා මිස දැඩි ලෙස අනතුරට පත් තම පිරිස ගැන සොයන්නට උත්සුක නොවූ බවයි. 

1948 ඔක්තෝබර් 16 වැනිදා උපන් හේමමාලිනී වර්තමාන හින්දි සිනමා රසිකයන් අතර එතරම් ජනප්‍රියව නැතත් ඇය එහි ජයකෙහෙළි නැංවූ නිළියක් ලෙස සඳහන් කළ හැකියි. ඇය නිළියක් පමණක් නොව අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදකවරියක්, නර්ථන නිර්මාණ ශිල්පිනියක් ලෙස ද ප්‍රසිද්ධයි. ඇය ‛භරත’ නැටුම් සඳහා අති දක්ෂතාවයක් දක්වනවා. කෙසේ නමුත් ඇය පිළිබඳ වර්තමානයේ හඳුන්වන බොහෝ දෙනෙක් ඇයව දකින්නේ දේශපාලඥයකු ලෙස පමණයි. අැය සිය සිනමා ජීවිතයේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සඳහා චරිත නිරූපණය කොට ඇත්තේ සිය සැමියා වන ධර්මේන්ද්‍ර හා තවත් සුප්‍රකට නළුවකු වූ රාජේෂ් ඛන්නා සමගයි. ඇය හින්දි සිනමාවේ තවත් සුපිරි තරු දෙකක් වන සනී හා බොබී ඩියොල්ගේ මෑණියන් ද වනවා. හින්දි සිනමාවේ සිටි වඩාත් සාර්ථකත්වයට පත් වූ එක් නිළියක්  ලෙස ද ඇය ප්‍රකටයි. 

2003 - 2009 අතර සමයේ එවකට සිටි ඉන්දීය ජනපතිවරයා වූ අබ්දුල් කලාම් විසින් ඇයව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය නියෝජනය කරමින් රාජ්‍ය සභාවේ මන්ත්‍රී තනතුරක් ප්‍රදානය කොට තිබෙනවා. ඇගේ දේශපාලන ජීවිතයේ ආරම්භය එතැනයි. 



කෙසේ වෙතත් මේ අනතුර පෙන්වා දෙන්නේ අප අතර සියලු විටම සිදුවන සත්‍යයයි. එනම් මාධ්‍ය මෙන්ම සෙසු ජනතාව ද මෙවැනි අවස්ථාවකදී වැඩි වශයෙන් කතා කරන්නේ එතැන යම් ප්‍රසිද්ධ පුද්ගලයෙක්, බලවතෙක් ආදින් සිටිනවා ඔවුන් ගැන පමණක්ය යන්නයි. මේ බලවතුන් අතින් වෙනත් පිරිසකට කෙතරම් හානියක්, අයුක්තියක් සිදුවුවත් ඔවුන් ගැන කතා කරන්නට මාධ්‍ය පවා පමාවක් දක්වනවා. එක්කෝ අඩුවෙන් කතා කරනවා. එසේත් නැත්නම් කතා කරන්නේම නැහැ. අවසානයේ ජනතාව ද බලවත් පුද්ගයලයා ගැන පමණක් කතා බහ කොට වැඩි හානියක් සිදුවූ අය ගැන කතාකිරීම අමතක කොට දමනවා. සෑම විටම, සෑම තැනම සිදුවන්නේනේ මෙයයි. 

Monday, July 6, 2015

නූඩ්ල්ස් පරීක්ෂණ වාර්තාව


‛ඉන්දියාවේ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර බව හෙළිවීම නිසා ටොන් ගණනින් විනාශ කෙරේ’ 
- පුවතක් 

‛ශ්‍රී ලංකාවේ ද ඒ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර ද යන්න පරීක්ෂා කෙරේ’ 
- පුවතක් 

‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේ දැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කෙරේ’ 
- පුවතක් 

‛අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේදැයි සිදුකළ පරීක්ෂණ වාර්තාව හෙට’ 
-පුවතක් 

‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය කිසිත් අඩංගු නැති බව පරීක්ෂණ වාර්තාව පවසයි’ 
- පුවතක් 

‛රඳවාගෙන සිටි අහවල් නූඩ්ල්ස් යළි වෙළෙඳ පළට’ 
- පුවතක් 

‛පාරිභෝගිකයන්ට අහිතකර දේ කිසිවක් දෙන්නේ නැති බව අහවල් නූඩ්ල්ස් සමාගම පවසයි’ 
- පුවතක් 

‛ආහාර විෂවීමක් නිසා පාසල් දරුවන් රැසක් රෝහල් ගත කරයි’ 
- පුවතක්