පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 1, 2016

සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය - Kotthu Story


කලකට පෙර තුන් වේලටම බත් කෑ අපි කාර්ය බහුලත්වය සමඟ නොයෙක් ආහාර රටාවන්නට හුරුවන්නට පටන් ගතිමු. මේ අනුව උදේ ආහාරය රජකු සේ ගත යුතු බව පැවසුන ද බොහෝ දෙනෙක් ඒ සඳහා පාන්, බනිස්, ෂෝර්ට් ඊට්ස් (කෙටි කෑම) වැනි දේ ආදේශ කරන්න පටන් ගත්හ. රාත්‍රී කෑමට ද බත් අතහැර පාන්වලට හුරුවිය. වැඩි කලක් යන්නට පෙර රාත්‍රී ආහාරය සඳහා පාන් පමණක් නොව තවත් කෑමක් අප අතරට පැමිණියේය. අසූව දශකයේදී පමණ අප අතරට පැමිණියේ යැයි සැළකිය හැකි මෙම කෑම වර්ගය අද වන විට අතිශය ජනප්‍රිය්තවයට පත්ව තිබේ. නම් කියූ පමණින් බාල මහළු භේදයක් නොමැතිව හඳුනන මෙය ‛කොත්තු රොටී’ නම් වේ. 

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී උපත ලබා ඇතැයි සැළකිය හැකි කොත්තු රොටිය එහි හඳුන්වනු ලබන්නේ ‛කොත්තු පරොට්ටා’ නමිනි. මෙහි අරුත වන්නේ ‛කැබලි කරන ලද පරොට්ටා’ නම් වේ. ‛පරොට්ටා’ යනුවෙන් හඳුන්වන්නේ අප අතර ද ජනප්‍රිය දෙමළ කෑමක් වන ‛පරාටා’ ය. කෙසේ නමුත් අප රටේ ද මේවා ‛පරෝටා’ යනුවෙන් හඳුන්වනු දැකිය හැකිය. මේවා ද රොටී විශේෂයක් වන අතර තැටියක පුළුස්සා පිළියෙළ කර ගනු ලබයි. සයිවර් කඩවලදී මේවා මිරිස් හොදි හෝ සාම්බාරු සමඟ ඉතා රසවත්ය. කොත්තු රොටී පිළියෙල කරගැනීම සඳහා යොදා ගන්නේ ද මෙම පරාටා ය. ඒවා සිහින්ව කපා කලින් සකස් කොට තබා ගනී. කොත්තුවක් ඇණවුම් කළ පසු උණු තැටිය මතට තෙල්, බිත්තර ආදිය දමා තරමක් පිළිස්සෙන්නට හැර එය මතට සිහින්ව ලියා ගත් ලීක්ස්, කැරට්, ගෝවා වැනි එළවළු දමයි. ඉන්පසු එයට සොයා සෝස්, ලුණු, මිරිස්, ඉඟුරු, සුදු ළූණු සහ වෙනත් රසකාරක දමා කළවම් කොට පසුව එම මිශ්‍රණය මතට සිහින්ව ලියා ගත් පරාටා දමා කොත්තු ගසන තහඩු දෙකකින් ‛ටකට ටකට ටකට ටකට’ යන රිද්මයට ගසනු ලබයි. කොත්තුව රසවත් වුවත් මේ හඬ අසා සිටින්නට බොහෝ දෙනෙකු කැමැති නැත. කෙසේ නමුත් කොත්තු කෑමට නම් අකැමත්තෙන් වුව ද මේ හඬ අසා සිටිය යුතුය. ඇතැම් කොත්තු බාස්ලා ගීතවල රිද්මයට ද කොත්තු ගසනු දකින්නට ලැබේ. අප රටේ එළවළු, මාළු, බිත්තර, කුකුල් මස්, හරක් මස්, ඉඳි ආප්ප, නූඩ්ල්ස් හා බත් කොත්තු ජනප්‍රිය බව පෙනේ. මෙයට අමතරව මිරිස් කොත්තු හා කොස් කොත්තු ද ඇතැම් ස්ථානවල පිළියෙල කරන බව දක්නට ලැබේ. මෙයට අධික ලෙස ලුණු එක කරනා බැවින් කොත්තු කෑමෙන් පසු ජය ගැලුමක් පමණ පානය කරන්නට සිදු වේ. ඇතැමුන් පවසන්නේ කොත්තුවක් කෑ පසු බඩට ‛කොන්ක්‍රීට් දැම්මා වාගේය’ කියාය. එනම් සෑහෙන වෙලාවකින් යළිත් කුසගින්නක් නොදැනෙන බවය. 

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට කොත්තු කෙළින්ම පැමිණියේ යැයි සැළකෙන්නේ අප රටේ නැගෙනහිර පළාතේ ඇති දෙමළ සහ මුස්ලිම් හෝටල්වලටය. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ද කොත්තු යනු ජනප්‍රිය කෑමකි. 

කොත්තු අප රටේ ආහාර සංස්කෘතියට කෙතරම් බලපෑ ඇතැදැයි කිවහොත් මෑත කාලයේදී කොත්තු ගැන ගීත ද බිහි විය. මේ අතරින් ‛ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය - සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය‛, ‛මට කොත්තුත් ඕන - මට ලයිමුත් ඕන’ වැනි ගීත තරුණ පරපුර අතර ජනප්‍රියය. මේවාට අමතරව තවත් ‛කොත්තු ගීත’ තිබිය හැකිය. එමෙන්ම කොත්තු රිද්මයට සකස් කළ ගීත ද අසන්නට ලැබේ. මේවායෙන් ගීත කෙසේ වෙතත් ‛ටකට ටකට’ යන හඬ නම් හොඳින් ඇසේ. 

කොත්තු කෙතරම් ජනප්‍රිය ආහාරයක් වුව ද අපගේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ කල්පානා කිරීමේදී මෙවැනි ආහාර නිතර පරිභෝජනය එතරම් හිතකර නැති බව පෙනේ. අධික ලුණු, මිරිස්, පිටි ආදි අඩංගු ආහාර වර්ග නිතර පරිභෝජනය මගින් විවිධ සෞඛ්‍ය ගැටලු පැණ නගී. තරබාරු බව, අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ, රුධිරයේ කොලෙස්ටරෝල් ඇතිවීම මේවා අතරින් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. මේදය, රසකාරක, ලුණු අධික ආහාර ගන්නා පුද්ගලයන්ගේ ශරීරයේ රුධිරගත ලිපිඩ සංයුතියේ පැහැදිලි වෙනසක් සිදුවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. දිනපතාම පාහේ කඩවලින් කෙත්තු වැනි ආහාර කෑමට ගන්නා පුද්ගලයන්ගේ මෙම තත්වය දක්නට ලැබෙන බව බොහෝ අවස්ථාවලදී සොයා ගෙන ඇත. අපගේ ශරීරයේ ලිපිඩ සංයුතිය වෙනස්වීම මගින් රුධිර නාල ඝන තත්වයට පත් වන අතර එහි ප්‍රතිපලය වන්නේ හෘදය වස්තුව වෙත රුධිරය ගෙන යන රුධිර නාල අවහිර වීමය. එහි අවසන් ප්‍රතිඵල වන්නේ අනිවාර්යයෙන්ම හෘදයාබාධ වැළඳීමය. කොත්තු රොටීවල අධික ලෙස ලුණු අඩංගු බැවින් ඒවා නිතර පරිභෝජනය නිසා රුධිර පීඩනය වැඩිවීමට සහ හෘදයාබාධ ඇතිවීමට හේතුවක් වේ. කොත්තු මෙන්ම ආහාර වෙළෙඳ සැල්වල ඇති සියලුම කෑම වර්ග රසවත් කිරීමට යොදාගන්නා ජනප්‍රිය රසකාරකයක් වන ‛මොනෝසෝඩියම් ග්ලූටාමේට්’ (අජිනොමොටෝ) අපගේ ස්නායු පද්ධතිය අකර්මන්‍ය කිරීමට ද හේතුවක් වෙයි. 

පසුගිය දෙසැම්බරයේ එක්තරා පුවත්පතක පළවී තිබුණු ප්‍රවෘත්තියක් වූයේ කොත්තු රොටියක් ආහාරයට ගත් සිසුවකු එදින රාත්‍රියේම මිය ගිය බවකි. මේ සිසුවාගේ මරණය සම්බන්ධව මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරු පවසා සිටියේ එම කොත්තු රොටියේ අධික රසකාරක සහ යීස්ට් නිසා අමාශයේ අධික යුෂ ප්‍රමාණයක් තැන්පත්ව තිබුණු බවත්, එම යුෂ පෙනහළුවල රැඳීමේ ප්‍රතිඵලයක් ලෙස සිසුවා මරණයට පත් වී ඇති බවත්ය. 

කොත්තු බොහෝ දෙනෙකු ඉතා ප්‍රිය මනාපයෙන් කෑමට ගන්නා බව නොරහසකි. මුළින්ම මහාමාර්ග අයිනේ වූ කුඩා ආහාර කඩවල තිබුණු මෙය මේ වන විට තරු පංතියේ මෙන්ම වැදගතුන් හා ධනවතුන් පමණක් යනෙන හෝටල්වලට ද පැතිර ගොස් ඇති දක්නට ලැබේ. කෙසේ නමුත් කොත්තු නිතර කෑමට ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව පැහැදිලිව සඳහන් කළ හැකිය. ඇතැම් අවස්ථවලදී මේ සඳහා යොදාගන්නා පරාටා රොටී දින ගණන් පමණක් නොව සති ගණන් පරණ ඒවා බව ද සොයා ගත් අවස්ථා තිබේ. ඒවා ශීතකරණවල තබා ප්‍රයෝජනයට ගන්නා අතර ඇතැම් ඒවා නරක් වී තිබුණු අවස්ථාවන් ද ප්‍රවෘත්තිවලින් දැක තිබේ. මේවා නිතර ආහාරයට ගැනීමෙන් ලෙඩා රෝග බොහොමයක් බලෙන් ගෙන්වා ගන්නා බව පැහැදිලිවම පැවසිය හැකිය. එබැවින් කුමන දෙයක් හෝ පමණට වඩා අහිතකරය යන්න සිතේ තබාගෙන කොත්තු කෑමට ගන්නට හැකි නම් එය වඩා සුබදායක බව පැවසිය හැකිය. 




Friday, May 27, 2016

ජීවිතය කෙටි කරගන්න ‛කෙටි කෑම’ කන්න


ක්ෂණික ආහාරඑසේත් නැත්නම් ෆාස්ට් ෆුඩ්’ (Fast food) පිළිබඳ ඔබ අසා ඇතිවාට සැකයක් නැත. අප රටේ ද ආහාර වර්ග අළෙවි කරන වෙළෙඳ සල්වල ෆාස්ට් ෆුඩ්යනුවෙන් සඳහන්කොට තිබෙනු දැකිය හැකිය. පිළියෙල කිරීමේ වේලාව ඉතාමත් අඩු ඕනෑම ආහාරයක් ෆාස්ට් ෆුඩ්හෙවත් ක්ෂණික ආහාරලෙස හඳුන්වනු ලබයි. මේවා 50 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවී ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ බව පෙනෙන්නට තිබේ. අනෙක් ආහාර සමඟ සැසඳීමේදී මේවා පෝෂ්‍ය ගුණයෙන් අඩුය. කළින් පිසගත් හෝ කලින් රත්කර ගත් අමුද්‍රව්‍ය සහිත, පාර්සල් කොට රැගෙන යා හැකි පරිදි සකස් කොට අළෙවි සල්වල ඇති ආහාර ද මෙනමින් හැඳින්වේ. Fast food යන්න නිල වශයෙන් පිළිගත් වදනක් බවට පත් වූයේ 1951 වසරේදී එය මෙරියම් - වෙබ්ස්ටර්’ (Merriam–Webster ) ශබ්දකෝෂයේ ඇතුළත්වීමත් සමඟය. කෙටි කෑමයන අරුත් ඇතිව අප රටේ ජනප්‍රියව පවතින ෂෝර්ට් ඊට්ස්’ (Short eats) අයත් වන්නේ ද මේ ආහාර කාණ්ඩයටමය.

ඉතා ඉක්මණින් පිළියෙලකිරීම, ඒ සඳහා විවිධ රසකාරක ආදිය අධික ලෙස භාවිතය වැනි ක්‍රියාවන් හේතුවෙන් ක්ෂණික ආහාර යනු සෞඛ්‍යයට එතිරම් හිතකර නොවන්නක් බව පෝෂණවේදීහු නිතර පවසති. කෙසේ නමුත් මිනිසුන්ගේ පවතින කාර්ය බහුලත්වය නිසාම බොහෝ දෙනෙක් මෙහි අහිතකර බව දැන දැනම ඒවා පරිභෝජනය කරති. කෙසේ නමුත් ක්ෂණික ආහාර අහිතකර බව දන්නා මුත් අහිතකර වන්නේ කුමන හේතූන් නිසාදයි බොහෝ දෙනෙක් දන්නේ නැත. එබැවින් ක්ෂණික් ආහාරවල ගොදුරු බවට පත්ව සිටින අප සියලු දෙනා ඒ පිළිබඳ තොරතුරු දැන ඒවා සීමා කිරීම හෝ නවතා දැමීම සෞඛ්‍යය අතින් ගත් කල ඉතා හිතකර දෙයක් බව සඳහන් කළ හැකිය. ක්ෂණික ආහාර සෞඛ්‍යයට අහිතකර වන්නේ මන්ද යන කරුණු පිළිබඳ අපි මෙසේ කෙටියෙන් වමසා බලමු.

තරබාරු බව
ක්ෂණික ආහාරවල කැලරි සහ සීනි ඉතා අධික ලෙස අඩංගු වේ. කුඩා ප්‍රමාණයක් ආහාරයට ගත්ත ද එයින් ලැබෙන කැලරි ප්‍රමාණය ඉතා අධිකය. මෙය ඉක්මන් තරබාරුවට මග පාදන්නකි. අනෙක ක්ෂණික ආහාර නිසා අපගේ ආහාර චර්යාවන් ද වෙනස් වන බැව් සොයාගෙන තිබේ. මේවාට තදින් අබ්බැහි වූවන් අපගේ සෞඛ්‍යයට හිතකර එළවලු, පලතුරු, කිරි ආදියට කෙමෙන් අකැමති වන බව සොයා ගෙන තිබේ.

හෘද රෝග
සතියකට සිව් වතාවක් පමණ ක්ෂණික ආහාර ගන්නා පුද්ගලයන් හෘද රෝගවලින් මිය යෑමේ හැකියාව 80% ක් පමණ බව පර්යේෂණවලින් හෙලීවී. තිබේ. එයට හේතුව මේවායේ අධික ලෙස සංතෘප්ත මේදය අඩංගු බැවිනි. මේ මේදය නිසා රුධිර නාල අවහිර වී කාලයත් සමග හෘද රෝග ඇතිවිය හැකිය.

දියවැඩියාව
නිවසේ අහාර පිසගැන්මට කාලවේලාව නොමැති නිසා බොහෝ දෙනෙක් ක්ෂණික ආහාරවලට ඇබැබහි වී සිටිති. මෙහිදී දියවැඩිය තත්වය ඇතිවන්නට හේතුව කායික වෙහෙසවීමක් තොරව අධි කොලෙස්ටරෝල් සහ සීනි අඩංගු ආහාරවලට ඇති වැඩි නැඹුරුතාවයයි. ආහාර පිසීම සදහා හෝ කායික ශක්තියක් වැය නොකර සිටීම නිසා කාලයත් සමඟ දියවැඩියා තත්වයක් වර්ධනය විය හැකිය.

පවුලේ එකමුතුව දෙදරා යාම
ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වීම නිසා පවුලේ සාමාජිකයන් සියලු දෙනා එකතුවී ආහාර ගැනීමේ පුරුද්ද කෙමෙන් අහිමි වී යයි. පවුලේ සියලු දෙනාට එකවර හමුවී කතා බහ කරන්නට ලැබෙන්නේ කෑම ගන්නා අවස්ථාව පමණි. ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වූවන් මේවා අනුභව කරන්නේ එක්කෝ වාහනයක යන අතරමගය. නැත්නම් මහ මගය. නැත්නම් කාර්යාලයේදීය.


ක්ෂණික ආහාර එතරම් හිතකර නොවන්නට තවත් බොහෝ කාරණා තිබේ. නමුත් ඒවායේ අහිතකර තත්වය අවබෝධ කොට ගන්නට මේ කෙටි තොරතුරු ප්‍රමාණවත් වේ යැයි සිතේ. එබැවින් මේ පිළිබඳ අවබෝධයෙන් කෙටි කෑම වර්ග පරිභෝජනය කරන්නේ නම් මැනවි.

Monday, May 23, 2016

එලිසබෙත් රැජිනගේ 90 වැනි ජන්ම දිනය - Queen Elizabeth and her 90th Birthday


බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින පසුගිය අප්‍රේල් 21 වැනිදා සිය 90 වැනි ජන්ම දිනය සැමරුවා. ලෝකයේ වැඩිම කාලයක් රැජිනක් විදිහට ජීවත් වුණු කාන්තාව ලෙස පසුගිය වසරේදී ඇයව නම් කරනු ලැබුවා. බ්‍රිතාන්‍යය ලෝකයේ සුවිශේෂී රටක් බවට පත්කරන්නට එලිසබෙත් මහ රැජින ඇතුළු රජ පවුල හේතුවක් වී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මිනිසුන් රජුන්ගේ හෝ රැජිනියන්ගේ හෝ පාලනයට යටත්ව සිටීමට තවදුරටත් කැමැති නැති බවට අදහස් දැක්වූවත්, බ්‍රිතාන්‍යට යම් යම් ආකාරවලින් යටත්ව හෝ සම්බන්ධව සිටින, මහ රැජින නායිකාව ලෙස සිටින රටවල් සියල්ල තවමත් සිය ඓතිහාසික නායිකාව ලෙස එලිසබෙත් මහ රැජිනට ගෞරව කරනවා. ඔවුන් සළකන්නේ රැජිනක් යටතේ ජීවත්වීම දීනකමක් ලෙස නොවේ ආඩම්බරයට හේතුවක් බවයි. අනෙක රැජිනක් ලෙසත් සාමාන්‍ය පුද්ගලයකු ලෙසත් ඇය සිය චරිතයෙන් බොහෝ ආදර්ශයන් ලොවට දායාද කොට තිබෙනවා. මේ සියලු කාරණා පසුපස්සේ සිටින්නේ පසුගිය දා 90 වැනි ජන්ම දිනය සැමරූ බ්‍රිතාන්‍ය මහ රැජිනයි. මේ නිසා ඇය ගැන යමක් කතා කිරීම ඉතා වැදගත් දෙයක්.


දෙවැනි එලිසබෙත් මහ රැජින බිළිඳියක ලෙස මෙලොව එළිය දකින්නේ ලන්ඩන් නුවරදී 1926 අප්‍රේල් 21 වැනිදායි. ඇය උපදින විට ඇගේ දෙමාපියන් යෝර්ක් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වශයෙන් සිටියත්, පසුව ඇගේ පියා හයවැනි ජෝර්ජ් ලෙස බ්‍රිතාන්‍යයේ රජු බවට පත් වුණා. ඇගේ මව එලිසබෙත් බිසව බවට පත් වුණා.

අප ඇගේ නම එලිසබෙත් කියා පමණක් දැන සිටියත් සම්පූර්ණ නම වන්නේ එලිසබෙත් අලෙක්සනඩ්‍රා මේරි. 1952 වසරේදී ඇය රැජිනක ලෙස කිරුළු පැළඳුවා. ඒ බ්‍රිතාන්‍යයට පමණක් නොවේ. කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේත් රැජින වන්නේ ඇයයි. එම රටවල වැසියන් ඒ ගැන ඉතා ආඩම්බරයෙන් කතා කරනවා. ඒ වගේම එදා සිටම පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේත් ඇයයි.


1947 වර්ෂයේදී ඇය එඩින්බර්ග් හි ආදිපාද පිලිප් කුමරු සමඟ විවාහ වුණා. ඒ විවාහයෙන් ඇයට චාර්ල්ස්, ඇන්ඩෘ සහ එඩ්ව්ඩ් කියා පුතුන් තිදෙනෙක් ද ඈන් කියා දියණියක් ද සිටිනවා.

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ ජන්ම දිනය පසුගිය අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබුණත් ඔවුන්ගේ රාජ වංශයේ සිරිත් විරිත්වලට අනුව එය ඉතා උත්සවාකාරයෙන් සමරන්නක් නොවෙයි. කෙසේ නමුත් රජකු හෝ රැජිනක සඳහා නිල ජන්ම දින උත්සවයක් චාරිත්‍රානුකූලව පැවැත්විය යුතුයි. මේ අනුව ඇගේ නිල ජන්ම දින උත්සවය එලැඹෙන ජූනි මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට තිබෙනවා. ඇගේ මේ නිල ජන්ම දින උත්සවය සඳහා ආරාධිතයන් 10,000ක් සහභාගී කරවාගැනීමට සැලසුම්කොට ඇති බවයි පැවසෙන්නේ. මේ අනුව ඇය උපන් දින දෙකක් සහිත නායිකාවක ලෙස ප්‍රකට තිබෙනවා.


කුමරියක් ලෙස සිටි එලිසබෙත් කිසිදා රැජිනක් වන්නට අපේක්ෂා කළ තැනැත්තියක නෙවෙයි. ඇය සිටියේ රාජ්‍යත්වය ලැබෙන අනුපිළිවෙල අනුව තෙවැනි ස්ථානයේ. ඇගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගෙන් පසුව රාජ්‍යත්වය හිමිවූයේ අටවැනි එඩ්ව්ර්ඩ් රජුටයි. කෙසේ නමුත් ඔහු රජ පවුල්ට අයත් නොවන කාන්තාවක හා විවාහ වූ නිසා ඔහුට රාජ්‍යත්වය අහිමි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස එලිසබෙත් කුමරිය රාජ්‍යත්ව පිළිවෙලේ පළමුවැනියා බවට පත් වුණා.

එලිසබෙත් මහ රැජිනගේ තවත් විශේෂත්වයක් වන්නේ ඇයගේ නමට එන සියලුම ලිපිවලට පිළිතුරු යැවීමේ පුරුද්දක් තිබීමයි.ලැබී ඇති තොරතුරුවලට අනුව ඇය මේ වන විට මිලියන තුන හමාරක් ලිපි සඳහා පිළිතුරු යවා තිබෙනවා. ඒ වගේම ඇය විසින්ම නත්තල් සුබ පැතුම් පත් 45,000ක් ලියා තිබෙනවා. ඒ වගේම තමන්ගේ කාර්ය මණ්ඩලය සඳහා මේ වන විට නත්තල් පුඩිං 90,000 කට වැඩිය ලබා දී තිබෙනවා. මෙවැනි කරුණුවලින් පෙනෙන්නට තියෙන්නේ ඇය රැජිනක් වුවත් තමන්ගේ හිතවතුන් සමඟ පෞද්ගලිකවම සම්බන්ධ වෙමින් හොඳ හිත පවත්වාගෙන යන්නට කටයුතු කර ඇති බවයි.



බ්‍රිතාන්‍ය මහ රැජින කතා කරද්දී සඳහන් කළ යුතු තවත් සුවිශේෂීතම දෙයක් වන්නේ ඇයට ලැබුණු අසාමාන්‍ය අන්දමේ තෑගි ගැනයි. ඇයට අසාමාන්‍ය අන්දමේ තෑගී බොහොමයක් ලැබී තිබෙනවා. මේ ඇතැම් තෑගිවලට පණ තියෙන සතුන් ද ඇතුළත් වෙනවා.

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ වෙබ් අඩවියට අනුව ඇය 1972 සීෂෙල්ස් කරා කළ සංචාරයේදී ඉබ්බන් දෙදෙනෙකු තෑගි ලෙස ලැබී තිබෙනවා. 1972 වසරේදී ඇය කැමරූන් රාජ්‍යයට ගිය අවස්ථාවේදී ඇගේ රජත විවාහ සංවත්සරය නිමිත්තේන් ඇයට එහි ජනාධිපතිවරයා විසින් ජම්බෝ නම් අලි පැටවකු තෑගි කළා. කැනඩාවට කළ රාජකීය සංචාරයේදී කලු බීවරයන් දෙදෙනකු තෑගි කරනු ලැබුවා. මේ සතුන් සියලු දෙනා ලන්ඩන් සත්වොද්‍යානයේ තබා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයට කළ සංචාරයේදී ගොපල්ලක් පළඳින බූට් පාවහන් යුගලක්, අව් කන්නාඩි කුට්ටමක්, අන්නාසි සහ ඉස්සන් කිලෝ ග්‍රෑම් 7ක් තෑගි ලෙස හිමි වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය මහ රැජින ගැන කතා කරද්දී අසන්නට ලැබෙන තවත් විශේෂ දෙයක් වන්නේ ඇයට ගමන් බලපත්‍රයක් නොතිබීමයි. ඇය සිය රාජ්‍ය කාලය ඇතුළත රටවල් 116කට වැඩි සංඛ්‍යාවකට සංචාරය කොට තිබුණත් කිසිදු අවස්ථාවක ගමන් බලපත්‍රයක් ලබාගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි ඇය රට පුරා වාහන පදවාගෙන යන්නට තරුණ කාලයේ පුරුදුව සිටියත්, ඒ කාලයේ හෝ අද හෝ අයට කිසිම රියැදුරු බලපත්‍රයක් ද තිබී නැහැ.

ඒ වගේම ඇය සෑම අවස්ථාවකදීම බොහෝ විට පළඳින්නේ එකම කරාබු කුට්ටමක්. මුතු ඇට දෙකකින් සමන්විත මේ කරාබු කුට්ටම මෙයට පෙර මේරි රැජින පැළඳූ ඒවා බව දැනගන්නට තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ඇය දියමන්ති කරාබු කුට්ටමක් පළදින අවස්ථා ද තිබෙනවා.

බ්‍රිතාන්‍යය පුරා සිටින සියලුම හංසයන්ගේ අයිතිකාරිය වන්නේ ද ඇයයි.

ලෝකයේ මුල්ම වරට ඊමේල් යැවූ නායිකාව ලෙස ද ඇය ප්‍රකටයි. ඒ 1976 මාර්තු 26 වැනිදා. ඒ වන විට අන්තර්ජාලය පැවතියේ ප්‍රාථමික අවස්ථාවේ.

Thursday, May 19, 2016

ලිංගික එක්වීමකට හොඳම වෙලාව මොකක්ද? - Best Time to Have Sex




ආදරයත් (Love) අනුරාගයත් (Sex) මාර්ග දෙකක යන හැඟීම් දෙකක් විදිහට යම් යම් තැන්වල ලියැවිලා තිබෙනවා. අනුරාගය ඇති තැන ආදරය නැතැයි වැනි දේවල් ද අසන්නට ලැබෙනවා. නමුත් අපි ඇත්තටම, ප්‍රායෝගික ලෙස  සිතා බැලුවොත් ආදරයත් අනුරාගයත් කියන්නේ එකට අත්වැල් බැඳගෙන ඉන්න හැඟීම් දෙකක්. නීරෝගී සිරුරක් සහ මනසක් ඇති පුද්ගලයකුට ආදර හැඟීම් සහ අනුරාගී හැඟීම් එක සමානවම වාගේ පහළ විය යුතුයි. විශේෂයෙන් විවාහක යුවලක් අතර ආදර බැඳීමත් වඩාත් ශක්තිමත් වන්නට නම් ආදරය වගේම අනුරාගයත් ඔවුන් අතර අඩු වැඩි වශයෙන් සහ ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව මනාව පැවතිය යුතුයි. මේ හැඟීම් දෙකේ විවිධ අඩුපාඩු පැන නැගීමත් සමඟම යුග දිවියේ ගැටලු මතු වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ සූදානම් වෙන්නේ ආදරය සහ අනුරාගය මනාව පවත්වාගෙන යාමක් ගැන කතා කරන්න නෙවෙයි. ඒ සඳහා ද ඉවහල් වන වෙනත් කරුණක් ගැන කතා කරන්නයි. මෙය බොහෝ විට අලුත් විවාහ වුණු යුවලවලට වඩා වැදගත් වෙන්නත් පුළුවන්. ඒ තමයි අනුරාගී හැඟීමේවලින් සිත මනමත් කරගන්නට වඩාත්ම සුදුසු වන්නේ දවසේ කුමන කාලයක් ද කියන එක ගැන. බොහෝ දෙනෙක්ගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත්, “රෑ තමයි මේකට හොඳමකියලා උත්තර දෙයි. මොකද බොහෝ විට දවසේ වැඩ කටයුතු අවසන් කරලා හැම දෙයකින්ම නිදහස් වෙන්නේ ඒ වෙලාව නිසයි. ඒ වගේම එක් එක් අයගේ රුචි අරුචිකම් අනුව මේ වෙලාව වෙනස් වෙන්නත් පුළුවන්. සමහරෙක් උදේ පාන්දර හොඳයිවැනි පිළිතුරක් දෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ සම්බන්ධව පර්යේෂණ පවත්වපු විශේෂඥයන් මේ ගැන පවසන කාරණා ගැනත් අවධානය යොමු කළොත් ඔබට ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ ආදරයෙන් වෙලුණු අනුරාගී මොහොතක් ගත කරන්න පුළුවන් හොඳම වෙලාවක් තෝරාගන්න පුළුවන් වෙයි. 


සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික අදහස තමයි මේ සඳහා හොඳම වෙලාව නින්දට යාමට පෙර රාත්‍රියේදී කියන එක. කෙසේ නමුත් මිනිස් හෝර්මෝන පිළිබඳ විශේෂඥවරියක සහ WomanCode  නම් කෘතියේ කර්තෘ ඇලිස්සා විටී පවසන්නේ ඊට වඩා වෙනස් කතාවක්. මහා බ්‍රිතාන්‍යයේ ඩේලි මේල්පුවත් පතට මේ මාතෘකාව සම්බන්ධව අදහසක් දක්වමින් ඈ පවසා සිටියේ මෙයට වඩාත් සුදුසුම වෙලාව සවස 3.00 බවයි. මේ වෙලාව ගැන ඇහුවාම නම් වැඩි දෙනෙක්ගේ ඇස් උඩ යන්න පුළුවන්. සවස 3.00 කියන්නේ සියලු දෙනාම පාහේ රැකියාව කරන කාලසීමාව. කොහොම වුණත් ඇය මෙහෙම කියන්නේ ඇයි කියලත් බලමු. 


මේ කියන කාල සීමාවේ අනුරාගී සමීප වීමකදි දවසේ වෙනත් වෙලාවකට වඩා දෙදෙනාම තෘප්තිමත් වෙන්න ඇති ඉඩකඩ වැඩි බවයි ඇය පවසන්නේ. ඇය මේ සඳහා හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ අපගේ සිරුරේ ඇති කායික තත්වයක්. දහවල් දොළහෙන් පසුව පිරිමින්ගේ ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම වැඩි වන බව ඇය පවසනවා. එහි ප්‍රතිඵලය තමයි ඔවුන් මානසික වශයෙන් අනුරාගී සිතිවිලිවලින් වැඩි වැඩියෙන් යුක්ත වීම. ඒ වගේම කාන්තාවන් තුළ කෝර්ටිසොල් කියන හෝර්මෝනයේ ඉහළ යාමක් මේ කියන කාල සීමාවේදී  දක්නට ලැබෙනවා. මේ හෝර්මෝනය කාන්තාවන්ගේ දැඟලිලි ගතියවැඩි කරන්න හේතු වෙන්නක් බවයි හෝර්මෝන විශේෂඥවරියක වන විටී පවසන්නේ. මේ අනුව බලන විට පිරිමියාගේ සහ ගැහැනියගේ හෝර්මෝනවල ක්‍රියාකාරීත්වයේ එකවර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ මේ කියපු වෙලාවෙයි. වෙලාව අවුලක් වුණත් මේ සඳහා වෙලාවක් වෙන් කරගෙන අත්හදා බැලුවත් පාඩුවක් නෑ කියලා නම් කියන්න පුළුවන්. 


අප සාමාන්‍යයෙන් හිතන්නේ අනුරාගී එක්වීමක් සඳහා වඩාත් වැදගත් වෙන්නේ ටෙස්ටස්ටෙරෝන් හෝමෝනය කියලයි. නමුත් විටී ඒ ගැන දක්වන්නේ මේ වගේ අදහසක්.  ඇය පවසන්නේ ටෙස්ටස්ටෙරෝන් අපේ අනුරාගී හැඟීම් අවදිකරන්න හේතුවක් වන බව ඇත්ත නමුත් එය කාන්තාව බලාපොරොත්තු වන මානසික කුලුපගබව ඇතිකරන්න අවස්ථාවක් සළසන්නේ නැති බවයි.  නමුත් ඊස්ට්‍රජන් සහ කෝර්ටිසෝල් කියන හෝර්මෝන එකතුව මේ සඳහා වඩා හොඳ අවස්ථාවක් උදා කරනවා. එහිදී කාන්තාවගේ අවශ්‍යතාවයන් ගැන වැඩි වැඩියෙන් සිතන්න පිරිමියා පෙලඹෙන බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ. 


මේ සම්බන්ධයෙන් කළ තවත් පර්යේෂණයකින් පැවසෙන්නේ අනුරාගී හැගීම්වලින් සිත පුරවාගන්නට හොඳම වෙලාව උදේ බවයි. 


ලිංගික චිකිත්සාව පිළිබඳ දර්ශනපති උපාධිධාරී වෛද්‍යවරියකු වන ආර්ලීන් ගෝල්ඩ්මන් බ්‍රිතාන්‍යයේ කොස්මොපොලිටන් පුවත්පතට අදහස් දක්වමින් පවසා සිටියේ පිරිමින්ගේ ටෙස්ටස්ටෙරෝන් හෝර්මෝනය ඉහළ මට්ටමක පවතිද්දී අනුරාගී එක්වීමක් සිදුවෙනවා නම් ඔහුට එහිදී වැඩි ශක්තියක් හිමිවන බවයි. මේ ශක්තිය නිසා ඔහුට මේ කාර්යයේ වැඩි කාලයක් නිරතවන්නට හැකි බවත් ඇය පවසනවා. 


බ්‍රිතාන්‍ය වෛද්‍ය වාර සඟරාව’ (British Medical Journal) මේ අතරේ එක් පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පළකොට තිබුණේ හිරු එළිය නිසා අපගේ මොලයේ හයිපොතැලමස නම් නිර්නාල ග්‍රන්ථියේ ටෙස්ටෙස්ටෙරෝන් හෝර්මෝන නිෂ්පාදනය වේගවත් කරන බවයි. මෙය අනුරාගී හැඟීම් වැඩි වශයෙන් ඇති කරන්නට හේතුවක් වන නිසා ඒ සඳහා හොඳම වෙලාව උදෑසන බව ඔවුන් දක්වා සිටිනවා. එමෙන්ම කාන්තාවන්ගේ එන්ඩෝර්පින් නම් හෝර්මෝනය උදේ 8.00 - 10.00 අතර ඉහළම මට්ටමකට පැමිණෙන බව ද එම පර්යේෂණයෙන් පෙන්වා දී තිබෙනවා. මෙය අනුරාගී හැඟීම් වඩාත් කැමැත්තෙන් විඳගන්නට මානසිකත්වයක් ඇති කරන හෝර්මෝනයක් බව ද පැවසෙනවා. 


ලිංගක චිකිත්සකවරියක වන සුසී හේමන් පවසන්නේ දෙදෙනාම යහපත් විවේකයකින් පසුවන්නේ උදෑසන නිසා ඔවුන්ගේ හැඟීම් නිදහසේ ප්‍රබෝධමත් වන්නට එය හේතුවක් බැවින් අනුරාගී එක්වීමක් සඳහා වඩාත් සුදුසු උදෑසන කාලය බවයි. කාන්තාවන් වැඩි සංඛ්‍යාවකට අනුරාගයේ ඉහළම සතුට හෙවත් සුරතාන්තයවැඩි වශයෙන් ලැබී ඇත්තේ ද උදෑසන කාලයේ බව පැවසෙනවා. 


පර්යේෂණවලින් පැවසෙන කාලසීමාවන් බොහෝ විට බොහෝ දෙනෙකුට අපහසු කාලසීමාවන් වන්නට පුළුවන්. කෙසේ නමුත් අනුරාගී සහ ආදර හැඟීම් විවිධ අයට ඇතිවන්නේ ඔවුනොවුන්ගේ කැමැත්ත, මානසිකත්වය, මානසික ඉහිල්භාවය ආදිය මතයි. එය වෙනත් බොහෝ කරුණු මත ද රඳාපවතින්නට පුළුවන්. මේ පර්යේෂණ මගින් පැවසෙන් කරුණු අත්හදා බලමින් පෞද්ගලිකව ඔබට වඩාත් සුදුසු යැයි හැඟෙන වේලාවක් මේ වෙනුවෙන් සොයාගැනීම රඳා පවතින්නේ ඔබ මතයි.


Saturday, May 14, 2016

සීනි පමණ දැන පැණි බීම බොන්න - Drinks and Sugar Level



වෙළෙඳ පලේ අළෙවි කරන්නට ඇති සියලු පැණි බීමවල ඇති සීනි මට්ටම කොතෙක් ද යන්න සඳහන් කොට ඇති ලේබල් එම බීම ඇසුරුම්වල අලවා ප්‍රදර්ශනය කළ යුතුය යනුවෙන් නීතිමය විධි විධානයක් ලබන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත.  මෙම නීතිය බලගැන්වෙන්නේ  1980 අංක 26 දරණ ආහාර පනතේ 32 වැනි වගන්තිය ප්‍රකාරය. මෙය රජය විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ඉතාමත් ප්‍රශංසනීය කටයුත්තක් බව ප්‍රකාශ කළ යුතුය. කෙසේ වෙතත් ලබන අගෝස්තු වන විට මෙයට එරෙහිව හෝ මෙහි විධි විධානවලට එරෙහිව පැණි බීම නිපදවන බහුජාතික සමාගම් ඇතැම් විට විවිධ ක්‍රියා මාර්ගය ගැනීමට ද ඉඩ තිබේ. කෙසේ නමුත් මෙම නීතියට අනුව මිලිලීටර 100ක පානයක අඩංගු සීනි ප්‍රමාණය ග්‍රෑම් 11ට වඩා වැඩි නම් රතු පැහැයෙන් ද, සීනි ග්‍රෑම් 2 - 11 අතර ප්‍රමාණයක් අඩංගු නම් කහ වර්ණයෙන් ද, ග්‍රෑම් 2 ට වඩා අඩු නම් කොළ පැහැයෙන් ද ලේබල් සකස් කොට ඇළවිය යුතු බවට ද ඒවා භාෂා තුනෙන්ම තිබිය යුතු බවට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා නිවේදනයකින් දන්වා සිටියි. මෙම නීතිය කාබනේට් අඩංගු ක්ෂණික පානයන්,  නෙක්ටා වර්ග, පලතුරු යුෂ ආදී පාන සියල්ලක් සඳහාම අදාළ වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කොට සිටියේය. යම් කිසි ස්ථානයක අළෙවිය ඇති පැණි බීම වල මෙවැනි ලේබල් අලවා නොමැති නම් ඒ බව වහාම 0112368813 දුරකතන ඇමතුමකින් දන්වා සිටින ලෙසත් ඔහු වැඩි දුරටත් සිය නිවේදනයෙන් දන්වා තිබේ. 

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙවැනි පියවරක් ගැනීමට තීරණය කරන්නට ඇත්තේ මෑතක සිට අප රටේ දියවැඩියා රෝගී තත්වය ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණවලින් හෙලිවීමත් සමගය. එම සමීක්ෂණ මගින් පෙනවා දී ඇති තවත් කාරණයක් වන්නේ අප රටෙහි සීනි සහ ලුණු පරිභෝජනය ඉතා අධික මට්ටමක පවතින බවය. ශ්‍රී ලංකා දියවැඩියා සංගමය විසින් දැනුම් දෙන පරිදි අප රටෙහි දැනට සිටි සමස්ත දියවැඩි රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 4කටත් වඩා අධිකය. 

දියවැඩියා රෝගීන්ට පැණි බීම කෙසේවත් හිතකර වන්නේ නැත. නීරෝගී පුද්ගලයන්ට ද  පැණි බීම එතරම් හිතකර පානයක් නොවේ. ඇතැමුන් ඇතැම් වර්ගයේ බීම සඳහා ඇබ්බැහි වී සිටී. මේවා නිෂ්පාදනය කරන සමාගම් සිය වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් මගින් පොළඹවනු ලබන්නේ මේවා නිතර පානය කරන ලෙසය. ‛අහවල් බීම වර්ගය නැතිව කෑම එපා’ වැනි දැන්වීම් නිතර අසන්නට ලැබේ. මේවා සිතට ගෙන පැණි බීමට ඇබ්බැහි වීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ දියවැඩියා රෝගියෙක් බවට පත්වීමය. දියවැඩියා රෝගය වැළඳෙන්නට පෙර වළක්වා ගත හැකි වුව ද වැළදීමෙන් පසු වෙනත් බොහෝ ලෙඩරෝග මෙන් එය සහමුළින්ම සුවකිරීමට හැකියාවක් නැත. එවිට අදාළ පුද්ගලයාට සිදුවන්නේ සිය ජීවිත කාලය පුරාම බොහෝ ආහාර පානවලින්, විශේෂයෙන් කටට රස ආහාර පානවලින් අත්මිදී, බෙහෙත් පානය කරමින් ‛නීරස’ ජීවිතයක් ගත කරන්නටය. 

මෙම නීතිය  දියවැඩියාව ඇති නැති සියලු දොටම ප්‍රයේජනවත්ය. කෙසේ වෙතත් මැදිවිය පසු කොට ඇති බොහෝ දෙනෙක් පැණි රස සහ බීම වර්ග පරිභෝජනයට ගැනීමේදී දෙතුන් වරක් සිතති. දියවැඩියාව නැති මැදිවියේ පුද්ගලයකුට ඉඳහිට පැණි බීමක් පානය කළ ද එයින් වරදක් සිදුවන්නේ නැත. වරද වන්නේ මෙයට ඇබ්බැහි වීමය. කෙසේ නමුත් වෙළෙඳ පළේ අළෙවියට තබා ඇති පැණි බීම වර්ගවල කෙතරම් සීනී ප්‍රමාණයක් අඩංගු වන්නේ දැයි සොයා ගන්නට මගක් මෙතෙක් තිබුණේ නැත. නමුත් මේ නව පනත මගින් සියලු දෙනාටම එම තොරතුරු ලබා ගන්නට ප්‍රතිපාදන සැලසී තිබේ.  මේ අනුව අධික සීනි ප්‍රමාණයක් ඇති පැණි බීම වර්ග හඳුනාගෙන ඒවා පරිභෝනය කිරීම නවතා දැමිය හැකිය. මෙම දැනුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීම පාරිභෝගික ජනතාව අත පවතින්නක් වන අතර එයින්  නිවැරදිව ප්‍රයෝජනයට ගතහොත් දියවැඩියා රෝගී තත්වය යම් මට්ටමකට හෝ පහත දමා ගත හැකි බව ප්‍රායෝගික සත්‍යයකි. 

යම් පානයක කෙතරම් සීනි ප්‍රමාණයක් අඩංගු වේ දැයි  දන්නේ නම් නොදැන යම් පැණි බීමක් පානය කරන අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවකදීම පමණ දැන ඒවා පරිභෝජනය කිරීමට හැකියාව ලැබේ. නෑ හිත මිතුරකුගේ නිවසකට යන අවස්ථාවකදී ඇතැම් විට යම් පැණි බීමකින් සංග්‍රහයක් ලැබිය හැකිය. ඔබ එම බීම පිළිබඳ නොදන්නේ නම් එහි අඩංගු සීනි ප්‍රමාණය පිළිබඳ වැටහීමක් ලබාගත නොහැකිය. නමුත් පහත වගුව පිළිබඳ අවධානය යොමු කළ හොත් බොහෝ පානයන්වල අඩංගු සීනී සංයුතිය පිළිබඳ ඔබට යම් වැටහීමක් ලබාගත හැකි වනු ඇත.


 

Tuesday, May 10, 2016

ෆේස්බුක් ගිණුමක් ඔබේ මරණින් පසු අනුස්මරණීය වන හැටි - Remembering Facebook Accounts


පසුගිය දවසක් දෙහිවලදී දුම්රිය අනතුරකින් මිය ගිය ඉමේෂි යසාරා පෙරේා සහ ෂෙරින් ස්වෙලීන් යන තරුණියන් දෙදෙනාගේ දුක්බර කතාව ඔබේ මතකයේ තවමත් ඇති. මේ අනතුර සිදුවී කිහිප දෙනෙක් ගතවන විට ඒ එක් තරුණියක් වන ඉමේෂි යසාරාගේ ෆෙස්බුක් ගිණුම යම් වෙනස්කමක් සිදුවුණා. ඒ නිසාම කවුරුත් ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම ඇගේ ෆේස්බුක් ගිණුමේ සිදුව තිබුණු වෙනස්කම තමයි එහි ඇගේ නමට ඉහළින් Remembering කියා වචනයක් සඳහන් වීම. එසේ සඳහන් වනවාට අමතරව ඇගේ ෆේස්බුක් පිටුවට අලුතින් යම් යම් දේවල්  එකතු වන බවත් පෙනෙන්නට තිබුණා. ඒ සියල්ල ඇගේ ජීවිතය ස්මරණය වන දේවල්. මරණයෙන් පසු යම් කිසිවකු ඇගේ ෆේස්බුක් ගිණුම පාලනය කරන බව තමයි මෙයින් පෙනෙන්නේ. ඇත්තටම මේ ආකාරයට  Remembering ලෙස වෙනස් කොට ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධව ඇති කතාව මොකක්ද කියලා ඕන කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැනයි මේ කියන්න යන්නේ.

Remembering කියන්නේ යමෙක් ගැන සිහිපත්කිරීම, ස්මරණය කිරීම, ආවර්ජනය කිරීම වැනි අදහසක් දෙන ඉංග්‍රීසි වදනක්. ඉමේෂි යසාරාගේ ෆෙස්බුක් ගිණුමේ ඇති තොරතුරුවලින් අපට දැනෙන්නේ ද එවැනි දෙයක්. ඇත්තටම යම් කිසිවෙක් මිය ගියාට පසු ඒ පුද්ගලයාට අයිතිව තිබූ ෆේස්බුක් ගිණුම අනුස්මරණීය ගිණුමක්’ (Remembering Account) බවට හැරවීමේ පහසුකම ෆේස්බුක් ආයතනය විසින් ලබා දී ලබා දී තිබෙනවා. ඔවුන් මේ පහසුකම ආරම්භ කළේ 2015 පෙබරවාරි 12 වැනිදා බවයි දැනගන්නට තිබෙන්නේ. ඒ දිනය වනතුරු ඔවුන් ලබා දී තිබුණු පහසුකම වූයේ යම් පුද්ගලයෙක් මිය ගියත්, එය සාමාන්‍ය ගිණුමක් සේ තිබෙන්නට හැරීම පමණයි. නමුත් මේ පහසුකමත් සමඟ බොහෝ දේවල් වෙනස් වුණා.

ෆේස්බුක් වෙබ් අඩවියේ Help Center යටතේ මේ බව සඳහන්ව තිබෙනවා. එහි මේ පිළිබඳව ඇත්තේ What will happen to my account if I pass away?  නමිනුයි. මා මිය ගියහොත් මගේ ෆේස්බුක් ගිණුමට සිදුවන්නේ කුමක්ද?’ කියා ඔවුන් අපට පවසනවා.


මෙම පහසුකම ලබාදීමට පෙර දී යම් කිසි පුද්ගලයෙක් මිය ගිය හොත් ඒ මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයකුට ඒ බව ෆේස්බුක් ආයතනයට දන්වා සිටින්නට පුළුවන්. නමුත් ඒ තැනැත්තා පවුලේ සාමාජිකයෙක් බව සත්‍යාපනය වී (vetyfied) තිබිය යුතුයි. එනම් ජීවත්ව සිටින පවුලේ සාමාජිකයාට ෆේස්බුක් ගිණුමක් තිබිය යුතු අතර එම ගිණුමට අදාළ ජීවත්ව සිටින තැනැත්තා තමාගේ පවුලේ සාමාජිකයෙන් බව මිය ගිය තැනැත්තාගේ ෆේස්බුක් ගිණුමේ නිල වශයෙන් සඳහන්ව තිබිය යුතුයි. එසේ නොමැතිව දන්වා සිටින කිසිවක් ෆේස්බුක් ආයතනය පිළිගන්නේ නැහැ. මෙසේ දැන්වීමෙන් පසු අවශ්‍ය නම් එම ගිණුම ඉවත්කිරීම සිදු කළ හැකියි. එසේත් නැත්නම් සාමාන්‍ය ගිණුමක් ලෙස ප්‍රදර්ශනය වන සේ තැබිය හැකියි. නමුත් ජීවත්ව සිටිනසත්‍යාපනය වුණු පවුලේ සාමාජිකයෙකුට පවා එම ගිණුමට ප්‍රවේශවන්නට පහසුකම ලබාදෙන්නේ නැහැ. එසේ ප්‍රවේශවන්නට හැක්කේ ඔවුන් පෞද්ගලිකව එම ප්‍රවේශවීමේ තොරතුරු දැන සිටිනවා නම් පමණයි.

කෙසේ නමුත් මේ පහසුකම ලබාදීමෙන් පසු යම් කිසි පුද්ගලයකුගේ මරණයෙන් පසු එම ගිණුමේ භාරකාරීත්වය පැවරෙන්නේ කාටද කියා අදාළ ගිණුම හිමි පුද්ගලයාට කලින්ම නම් කොට තබන්නට පුළුවන්. එසේ නම් කළේ නැත්නම් අනුස්මරණීය ගිණුමක් පවත්වාගෙන යන්නට හැකියාවක් නැහැ. ගිණුමේ භාරකාරීත්වය පැවරීමේදී එම භාරකාරීත්ව උරුමය ඇති පුද්ගලයා (Legacy Contact) මේ ආකාරයට නම් කළ හැකියි. ඔබේ ෆේස්බුක් ගිණුමේ පහළට දිගහැරෙන මෙනුවේ ඇති settings යන්න තෝරන්න. ඉන්පසු security තෝරන්න. ඒ යටතේ Legacy Contact යනුවෙන් සඳහන් තිබෙනවා. එතැනදී දැනට ෆේස්බුක් ගිණුමක් හිමි ඔබට වඩාත් විශ්වාසවන්තම පුද්ගලයකු ඔබගේ Legacy Contact ලෙස නම් කළ හැකියි. එසේ සැකසීම් කරන ලද ගිණුමක් හිමි පුද්ගලයෙක් මිය ගිය බවට නිල වශයෙන් ෆේස්බුක් ආයතනට දන්වා සිටිය යුතුයි. එය මෙහි භාරකාරත්වය පවරන ලද පුද්ගලයාට හෝ සත්‍යාපනය කරන ලද පවුලේ සාමාජිකයෙකුට හෝ සිදු කළ හැකියි. එවිට මිය ගිය පුද්ගලයාගේ නමට ඉළින් Remembering ලෙස සඳහන් කෙරෙමින් එය අනුස්මරණීය ෆේස්බුක් ගිණුමක් බවට පත් වෙනවා. ඉන් පසුව එහි පාලනය පැවරෙන්නේ එහි භාරකාරත්වය පැවරුණු (Legacy Contact) පුද්ගලයාටයි.

කෙසේ නමුත් මේ භාරකාත්වය පැවැණු පුද්ගලයාට මේ ගිණුමට ප්‍රවේශ වී එහි ඇති පණිවිඩ කියවීම හෝ වෙනත් සැකසීම් වෙනස් කරන්නට, ඒ ගිණුම භාවිත කරමින් වෙනත් පුද්ගලයන් සමග ගනුදෙනු කරන්නට හැකියාවක් ලබාදෙන්නේ නැති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අදාළ පුද්ගලයා මිය යන්නට පෙර සිදුකළ පෞද්ගලිකත්ව සකස්කිරීම්’ (privacy settings) සීමාව ඇතුළත භාරකාරීත්වය පැවරෙන පුද්ගලයාට යම් යම් දේ කළ හැකියි. මේ අනුව ඡායාරූප පළකිරීම, යම් යම් සටහන් තැබීම ආදිය සිදු කළ හැකියි. ඒ වාගේම අනුස්මරණීය ෆේස්බුක් ගිණුමක් කිසිම අවස්ථාවකදී පුද්ගලයන් අතර මිතුරු යෝජනා සඳහා පෙන්නුම් කෙරෙන People You May Know, දැන්වීම්, උපන් දින මතක් කිරීම් (Birthday Reminders) ආදිය සඳහා පෙන්නුම් කෙරෙන්නේ නැහැ.

මේ භාරකාරීත්වය හිමි පුද්ගලයාට අවශ්‍ය නම් මිය ගිය පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම බාගත කළ හැකියි. නමුත් එසේ බාගත කරන ලද පිටපතේ අදාළ ගිණුමට අයත් පෞද්ගලික තොරතුරු ඇතුළත් වන්නේ නැහැ.


අනුස්මරණීය ෆේස්බුක් ගිණුමක් (Remembering Facebook Account) පිළිබඳව මූලික කරුණු මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ අනියත ජීවිතයේ මිය ගිය පුද්ගලයෙක් ගැන අනුස්මරණය කරන්නට, ඔවුන් පිළිබඳ අත්දැකීම් බෙදා හදා ගන්නට ජීවත් වන්නවුන්ට හට ලබා දී ඇති මේ පහසුකම් පිළිබඳ ලොව පුරා බොහෝ දෙනෙක් සුබවාදීව කතා කරන බවත් සඳහන් කළ යුතුයි.