පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, March 24, 2014

අහසින් අතුරුදහන් වුවද ඉතිහාසයෙන් අතුරුදහන් නොවුණු ගුවන් යානා - Stories of the Missing Flights

මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්.370 මගී ගුවන් යානය හිටිහැටියේ අතුරුදහන්විය. මේ ලිපිය ලියන මොහොතවනවිට හෝ ඒ පිළිබඳව විශ්වාසකටයුතු කිසිදු තොරතුරක් හෙළිකරගැනීමට නොහැකි වී තිබේ. ඇතැම් මගීන්ගේ ජංගම දුරකතන නාදවන බවට ද පුවත් ලැබේ. වියට්නාම නාවික හමුදාව විසින් සැතපුම් 12ක් පමණ දිගට පැතිරී ගිය තෙල් පැල්ලමක් මුහුදේ දුටු බව වාර්තා කරයි. නමුත් අදාළ ප්‍රදේශයේ ගුවන් යානය කඩාවැටී ඇත බවට සාධක නැත. එය ආපසු හරවා ඇති බවට ද කරුණු හෙළි වෙයි. තව නොබෝ දිනකින් අපට මේ පිළිබඳ සැබෑ තොරතුරු දැනගන්නට ලැබෙනු ඇත. මැලේසියානු ගුවන් යානය අතුරුදහන්වීමේ සිදුවීමත් සමග සිහියට නැගෙන්නේ ලෝකයේ මෙසේ හිටිහැටියේ අතුරුදහන් වූ වෙනත් ගුවන් යානා පිළිබඳ තොරතුරුය. එවැනි බොහෝ ඒවා ඇති අතර අපි ඔබ වෙනුවෙන් ප්‍රධන පෙළේ සිදුවීම් දහයක් තෝරාගත්තෙමු. මැලේසියානු යානය හමුවනතුරු අපට මේ තොරතුරු කියවන්නට පුළුවන.

ප.ලි.
2014-03-25
මෙම ගුවන් යානය අනතුරට ලක්වී සියලු මගීන් මියගොස් ඇති බැව් මේ වන විට තහවුරු කොට තිබේ. ඒ ගැන තොරතුරු පහත සබැඳිවලින් ඔබට දැනගත හැකිය.

1. අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සොයා ගනී (Video)

2. Missing Malaysia Airlines flight MH370: Relatives told by TEXT that the plane was lost 23,000ft under the sea


1.ලොව වටා සරද්දී අතුරුදහන් වූ ඇමෙලියා ඉයර්හාර්ට්


ඇමෙලියා ඉයර්හාර්ට්


ඇමෙලියා ඉයර්හාර්ට්යනු ඇමරිකානු කාන්තා ගුවන් නියමුවරියකි. ඇය ගුවන් යානයකින් ලොව වටා සැරිසරද්දී එය හිටිහැටියේ අතුරුදහන් වූයේ වර්ෂ 1937 ජූලි 2 වැනිදාය. අත්ලාන්තික් සාගරය හරහා තනිව ගුවන් යානයක් ප්‍රථමවරට පදවාගෙන ගිය කාන්තාව වන්නේ ද ඇය ය. පැසිෆික් සාගරය මධ්‍යයේ හෝල්න්ඩ් දූපත් ප්‍රදේශයේදී මෙම යානය හැටිහැටියේ අතුරුදහන් විය. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මෙහි ඉන්ධන අවසන් වී මුහුදට කඩාවැටෙන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ ඇමෙලියා ඇමරිකානු ජනපතිවරයකු වූ ෆ්‍රූන්ක්ලින් ඩී රූස්වෙල්ට් වෙනුවෙන් ඔත්තුබැලීමෙහි නිරත වූ බැවින් ජපනුන් විසින් අල්ලාගන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ යානය ජපාන දූපතකට කඩා වැටී ඇමෙලියා එහිදී මිය යන්නට ඇති බවය. ඇය මෙම අනතුරින් ජීවිතය ගළවාගත් බවත් පසුව නිව්ජර්සියට ගොස් නම වෙනස්කොට රහසේ ජීවත් වූ බවට අදහසක් ද ඇති අතර පිටසක්වලයන් විසින් පැහැරගත් බවටත් ඇතැමෙක් අදහස් දක්වති.



2. ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී අතුරුදහන් වූ ග්ලෙන් මිලර්ගේ යානය


 ග්ලෙන් මිලර්

ග්ලෙන් මිලර් යනු දෙවැනි ලෝක යුද සමයේ මිත්‍ර හමුදා වෙනුවෙන් සටන් වැදුණු අත්දක්ෂ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් හමුදාවට අයත් නියමුවෙකි. ඔහු මෙලොව ජීවත්ව සිටි අවසන් රාත්‍රිය ලෙස සටහන් වන්නේ 1944 දෙසැම්බර් 14 වැනිදාය. ඒ බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆෝර්ඩ්වලට අයත් මිල්ටන් අර්නස්ට් හිදීය. පසුදා ඔහුට ප්‍රංශය බලා පියාසර කරන්නට නියමිතව තිබිණි. ඔහු ඇතුළු පිරිස රැගත් යානය ආර්.ඒ.එෆ්. ටින්වුඩ් ගොවිපළ භූමියෙන් පිටත්ව ගිය අතර ඉංග්‍රීසි ඕඩයට ඉහළ අයසේදී එය අතුරුදහන් විය. අතුරුදහන්වීම පිළිබඳ ඉදිරිපත් වූ එක් මතයක් වූයේ තනි එංජිමක් සහිත මෙම යානයේ ඇති වූ ගින්නක් නිසා කඩා වැටෙන්නට ඇතිබවය. ජර්මනියට අයත් පුවත්පතකින් පැවසුනේ ඔහු ප්‍රංශයට ගිය බවත් එහි ගණිකා නිවාසයකදී හෘදයාබාධයකින් මියගිය බැවින් එම සිදුවීම බ්‍රිතාන්‍යය වසන්කරන බවත්ය.




3. බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස උපත ලබමින් අතුරුදහන් වූ ගුවන් යානා


පුහුණු සැරියට සහභාගී වූ ගුවන් නියමුවෝ

1945 දෙසැම්බර් 5 වැනිදා වර්තමාන බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් වූ අහසේ දී ගුවන්යානා හයක් හිටිහැටියේ අතුරුදහන් විය. බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස් කතන්තර ද ඒ සමගම උපත ලැබුවේය. දක්ෂ පළපුරුදු ගුවන් නියමුවකු වූ චාර්ල්ස් ටේලර්ගේ මූලිකත්වයෙන් පුහුණුවීමේ ගුවන් සැරියක් සඳහා මෙම යානා හය ෆ්ලොරිඩාවේ ෆෝර්ට් ලෝර්ඩඩේල් වෙතින් අහසට නැගුණි.  පැය එකහමාරකට පමණ පසු නියමුවන් වාර්තාකළේ තම ගමන් මාර්ගය හිටිහැටියේ වෙනස්වූ බවත් පහළින් ඇති කිසිදු භුමි ලක්ෂණයක් හඳුනාගන්නට හැකියාවක් නොමැති බවත්ය.  ටේලර් වැඩිදුරටත් පවසා තිබුණේ තම මාළිමා යන්ත්‍ර නිවැරදිව ක්‍රියානොකරන බවය. ගුවන් යානා මෙහෙයුම් කුටියේ කාර්ය මණ්ඩලය කොතෙක් උත්සාහ ගත්ත ද මෙම යානා පිහිටි ඛණ්ඩාංකයන් සොයාගන්නට හැකියාවක් ලැබුණේ නැත. කාලගුණය ද අයහපත් වූ අතර යානා සියල්ලම මුහුදට කඩාවැටෙන්නට ඇතැයි අනුමාන කෙරිණි.
තවත් කණගාටුදායක සිදුවීමක් වන්නේ මෙම යානා අතුරුදහන්වීම පිළිබඳ සොයාබලන්නට පිටත්ව ගිය යානය ද අතුරුදහන්වීමය. එම යානය රාත්‍රී 7.30ට පිටත්ව ගොස් තිබූ අතර නැවත එයින් කිසිදු පණිවුඩයක් ලැබුණේ නැත. එහි සිටි 13 දෙනෙකුගෙන් යුකත් කාර්ය මණ්ඩලය ද මියගිය බවට සැක කෙරේ.



4. ස්ටාර් ඩස්ට් යානය සහ අභිරහස් මෝර්ස් කේත


අන්දීස් කඳු


ලැන්කැස්ටර් වර්ගයේ බෝම්බ හෙළීමේ යානා මාදිලයට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයක් වූ බී.එස්.ඒ.ඒ. ස්ටාර් ඩස්ට්ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් සිට චිලියේ සන්තියාගෝ බලා පියාසර කරමින් තිබියදී අතුරුදහන් විය. එම අතුරුදහන්වීමත් සමග අභිරහස් රැසක්ව ලොව හමුවේ ඉතිරි විය.

මෙම ගුවන්යානය අයත්ව තිබුණේ බ්‍රිටිෂ් සවුත් ඇමරිකා එයාර්වේස් සමාගමට වූ අතර එහි පැදවූයේ පළපුරුදු ගුවන්හමුදා නියමුවකු වූ රෙජිනෝල්ඩ් කුක් ය. ඔහු 1947 අගෝස්තු 2 වැනිදා ප.ව. 1.46ට බුවනෝර්ස් අයර්ස් කෙරෙන් පිටත්ව අන්දීස් කඳු මතින් යානය ධාවනය කොට ඇත. යානය ගමනාන්තයට ළඟා නොවූ මුත් එය අතුරුදහන් වන්නට පෙර එහි සිටි ගුවන් විදුලි සංඥා මෙහෙයවන්නා මෝර්ස් කේතයකින් පණිවුඩයක් එවා තිබිණි. එහි STENDEC ලෙස සටහන්විය.

ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න සහ මෙම මෝර්ස් සංඥාවෙහි අරුත පිළිබඳ වසර ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයෝ විවිධ මත ඉදිරිපත් කළහ. ඇතැමෙකු පැවසූයේ එය පිටසක්වල යානයක ප්‍රහාරයකට ලක්වූ බවය. එහි ගමන්ගත් මගියකු සතුව තිබූ රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි විනාශ කිරීමේ අරමුණින් යමෙකු විසින් මෙය පුපුරුවා හැරි බවට ද මතයක් ද පළ විය.

වඩාත් පිළිගත හැකි මතයක් වූයේ මෙම යානය අත්වැරදීමකින් සිරස් හිම ක්ෂේත්‍රයක් අසළින් ගමන් කරද්දී ඇතිවූ හිම නායයාමකට අසුව කඩාවැටී මුළු යානයම හිමෙන් වැසී යන්නට ඇති බවය.

වසර 50ක් ගතවුන තුරු ද ස්ටාර් ඩස්ට් යානය සොයාගත නොහැකි විය. අවසානයේ එය සොයාගනු ලැබූයේ කඳුතරණය කළ ආර්ජන්ටිනානුවන් දෙදෙනකු විසිනි. ඔවුනට මෙහි ඇංජිමේ කොටස් සහ රෙදි කැබලි කිහිපයක් සොයාගන්නට හැකි විය.




5. බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වූ ස්ටාර් ටයිගර්



ඇසෝරස් හි සැන්ටා මාරියාවල සිට බර්මියුඩාව දක්වා ගමන් ගත් බ්‍රිටිෂ් සවුත් ඇමරිකා එයාර්වේස් සමාගමට අයත් ස්ටාර් ටයිගර්යානය 1948 ජනවාරි 30 වැනිදා හදිසියේම අතුරුදහන් විය.

මෙම යානය ගුවනට නංවන ලද්දේ අධික සුළං සහිත අවස්ථාවක වන අතර එහි මගීහු 25 දෙනෙකු සිටියහ. ඔවුන් අතර දෙවැනි ලෝක යුද සමයේ යුධ වීරයකු වූ එයාර් මාර්ෂල් ශ්‍රීමත් ආතර් කොනින්ග්හැම් ද සිටියේය. අධික සුළඟ හේතුවෙන් යානය ගමන් කළේ බොහෝ පහළිනි. අයහපත් කාලගුණය නිසා මෙම මගී යානය සඳහා මගපෙන්වීමට ලැන්කැස්ට්‍රියානු යානයක් ද ඉදිරියෙන් ගමන් කළේය.

යානය හදිසියේම මාර්ගයෙන් ඉවතට ගිය අතර බර්මියුඩාව අසළදී කුණාටුවකට මැදිවිය. එහි යහමින් ඉන්ධන ද තිබිණි. අලුයම 4න් පසු මගපෙන්වන යානය සුරක්ෂිතව ගමනාන්තයට පැමිණිය ද ස්ටාර් ටයිගර් යානය පැමිණියේ නැත.

මෙහිදී පළවූ අදහසක් වූයේ මෙය බොහෝ පහළින් ගමන් කළ බැවින් ප්‍රබල කුණාටුවකට හසුව මෙය මුහුදට ගසාගෙන යන්නට ඇති බවය. එසේත් නැත්නම් උන්නතාංශමානයේ වැරදි සටහන් හේතුවෙන් මෙය සාගරය මතට ධාවනය කරන්නට ඇති බවය.

6. ෆ්ලයිට් 191 යානාවල අභිරහස

එක්තරා අංකයක් නිසා යම් අනතුරක් වූයේ යැයි පැවසුවහොත් එය අතැම් විට යමෙකු විහිළුවකට ගනු ඇත. නමුත් ඒ අංකය නිසා අනතුරු කිහිපයක්ම සිදුවූයේ නම් එහි යම්කිසි දෙයක් තිබිය හැකිය. මේ එවැනි කතාවකි.

ඇමරිකානු ගුවන් ගමන් ඉතිහාසයේ බිහිසුණුතම අනතුර වාර්තාවන්නේ 1979 වසරෙනි. ඒ ෆ්ලයිට් 191 යානයේ අනතුරයි. එය චිකාගෝ හි ඕහෙයාර් ගුවන් තොටුපළෙන් අහසට නංවා මිනිත්තු කිහිපයක් ඇතුළත එහි සිටි මගීන් 258 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනාගේ ජීවිත බිළිගනිමින් අනතුරට ලක්විය.

ෆ්ලයිට් 191 වර්ගයේ තවත් ගුවන් යානයක අනතුරක් වාර්තා වන්නේ 1967 වසරෙනි. එක්ස් - 15 ලෙස නම්කොට තිබූ එය අත්හදාබැලීමේ ධාවනයකදී අනතුරකට ලක්විය. එහිදී ගුවන් නියමුවා මිය ගියේය. අනතුරුව 2012 වසරේදී ජෙට් බ්ලූ එයාර්වේස් සේවයට අයත් ෆ්ලයිට් 191ක යානයක නියමුවෙක් ගුවන් ගමන අතරතුර උමතුවෙන් මෙන් හැසිරී මගියකුගේ පහර කෑමට ලක්වූ බැවින් යානයේ ගමන අතරමගදී නවතන්නට සිදුවී හදිසි ගොඩබෑමකට ලක්විය.

ෆ්ලයිට් 191 යානා සම්බන්ධව මෙබඳු අභිරහස් බොහෝ පවතී.

7. ස්ටාර් ඒරියල් යානය අතුරුදන්වීමේ අභිරහස


අතුරුදහන් වූයේ මෙයට සමාන යානයකි


බ්‍රිටිෂ් සවුත් ඇමරිකා එයාර්වේස් සමාගමට අයත් ස්ටාර් ඒරියල්යානය බර්මියුඩාවේ සිට ජැමෙයිකාව කරා ගමන් කරමින් තිබියදී 1949 ජනවාරි 17 වැනිදා අතුරුදහන් විය.

මෙය ද කලින් සඳහන් කළ ස්ටාර් ටයිගර්යානය මෙන් ගුවන්ගත වූයේ පැහැදිලි අහස්තලයක් පවතින විටය. නමුත් ගමන්ගත් මොහොතේ සිට සන්නිවේදන ගැටලුවලට ලක්විය.

මෙය ගමනාන්තයට ළඟා නොවූ අතර එහි සිටි මගීන් 25 දෙනා සහ කාර්ය මණ්ඩලය සෙවීමේ මෙහෙයුමක් දියත් කළ අතර ජනවාරි 25 වැනිදා එම මෙහෙයුම අතහැර දමනු ලැබිණි.
මෙම විමර්ශනයේ නිගමනය වූයේ අනතුරට හේතුව නොදන්නා බවත්, එසේ වුව ද බ්‍රිටිෂ් සවුත් ඇමරිකා එයාර්වේස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ ඩොන් බෙනට් පැවසූයේ ස්ටාර් ටයිගර්සහ ස්ටාර් ඒරියල්යානා දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ කඩාකප්පල්කරුවකුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල ලෙස විනාශ වූ බවය.
ඔහු තවදුරටත් පවසා සිටියේ එවකට සිටි අගමැති ක්ලෙමන්ට් ඇට්ලී මෙම යානා පිළිබඳ විමර්ශන නවතා දමන ලෙස පෞද්ලිකවම විධාන දුන් බවය.




8. ෆ්ලියිට් 571 - අන්දීස් අනතුර


ගුවන් අනතුරින් දිවි ගළාවගත් පිරිස අතර රග්බි කණ්ඩායමේ කිහිප දෙනෙකු ද විය


උරුගුවේ රාජ්‍යයට අයත් ගුවන් හමුදා යානයකින් 45 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් ප්‍රවාහනය කරමින් තිබිණි. මෙම පිරිස අතර මොන්ටිවීඩියෝවට අයත් රග්බි කණ්ඩයෙමක් ද සිටියහ. මෙම යානය අයහපත් කාලගුණය නිසා අන්දීස් කඳු අතර අනතුරට ලක්විය.

මෙහිදී යානයේ ගමන්ගත් මගීන් 45 දෙනොගෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඉන්පසුව ගතවූ දිනකිහිපයේදී තවත් 6 දෙනෙකු මිය ගියේය. තවත් දින කිහිපයක් ඇතුළත සිදුවූ හිම නායයාමක් නිසා යානයේ සුන්බුන් අතර රැකවරණයෙහි සිටි 8 දෙනෙකු මරුමුවයට පත්විය. ඉතිරි 16 දෙනා කුසගිනි නිවාගනිමින් ජීවිත ආරක්ෂාකරගනු වස් මියගිය මගීන්ගේ මාංශ අනුභවය කළහ.

අනතුරින් දින 72ක් ගෙවීයන තුරු මොවුන්ම සොයාගත නොහැකි විය. මගීන් දෙනෙකු දින දහයක් තිස්සේ කඳු ශිඛර මැදින් උදව් සොයා ගමන් කළහ. අවසානයේ ඔවුනට චිලී ජාතික වෙළෙන්දකු හමුවිය. ඔහු මොවුනට ආහාර දී බලධාරීන්ට මේ බව දන්වා යැවීය.

මෙම සිදුවීම අනුස්මරණය කරමින් 1993 දී එලයිව්’ (Alive) නමින් චිත්‍රපටයක් ද නිර්මාණය කෙරිණි.




9. ඊජිප්තු එයාර් ෆ්ලයිට් 990 අනතුර


අනතුරට පත් යානයේ කොටස්

ඊජිප්තුවට අයත් එයාර් ෆ්ලයිට් 990’ අනතුර වටා අභිරහස් සිදුවීම් කිහිපයක්ම පවතී. එය 1999 ඔක්තෝබර් 31 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ගුවන්තෙටුපළින් කයිරෝ බලා ගමන් ඇරඹීය.

බෝයිං 767 යානයක් වූ මෙය මැසචුසෙට්ස් ප්‍රාන්තයට දකුණින් අත්ලාන්තික් සාගරයේදී මගීන් 217 දෙනො සහ කාර්ය මණ්ඩලය සමඟ අනතුරට ලක්විය.

මෙහි සහාය නියමුවා වූ ගැමියෙල් එල්-බටොවුටි එම යානයේම ගුවන් සේවිකාවක සමග ලිංගික ඇසුරක් පැවැත්වීම නිසා දැඩි අවවාදයකට ලක්වීමක් මෙම ගමන ආරම්භයට ආසන්න අවස්ථාවක සිදුවිය.
ගුවන්සේවයේ නියමු කණ්ඩායමේ ප්‍රධානී හාතෙම් රුෂ්ඩි, එල්-බටොවුටි ට පැවසූයේ, මේක ඔහේගේ අන්තිම ගුවන් ගමන කියාය. එයට පිළිතුරු ලෙස එල්-බටොවුටි පැවසූයේ, “ඔහේගේ අන්තිම ගුවන් ගමනත් මේක තමයියනුවෙනි.

පසුව ප්‍රධාන නියමුවා නාන කාමරයට යාම පිණිස සිය අසුනින් ඉවත්වුණු අතර එල්-බටොවුටි සෙමින් මට දෙවියන් ගැන විශ්වාසය තබමියනුවෙන්  පවසනු පටිගතකිරීමේ යන්ත්‍රයේ සටහන් වී තිබිණි. ඔහු එසේ පවසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලියෙහි පැවැති යානය ඉන් මුදා එය සයුර දෙසට ධාවනයවන්නට සළස්වා ඇත.

ගුවන් යානය පහළට ගමන් කරන අතරේ කිහිප වතාවක්ම ඔහු මෙය පවසා  ඇත. ප්‍රධාන නියමුවා යළි නියමු කුටියට පැමිණිය ද යානය මහ සයුරට ඇදවැටීමෙන් වළක්වාගන්නට ඔහුය හැකියාවක් ලැබී නැත.
එක්සත් ජනපද ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය නිගමනය කළේ මෙම අනතුර එල්-බටොවුටිගේ ක්‍රියාව නිසා සිදුවූවක් බවය.



10. ප්‍රංශයට අයත් ෆ්ලයිට් 447 අනතුර


අනතුරට පත් යානයේ කොටස් 


2009 වර්ෂයේදී බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ සිට පැරීසිය දක්වා මගීන් 288ක් ද රැගෙන ගමන්කරමින් තිබූ මෙම ගුවන් බස්රිය අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී අතුරුදහන් විය.

මේ අතුරුදහන්වීම පිළිබඳ කළ විමර්ශනයේ අවසන් වාර්තාවේ සඳහන් වූයේ යානයේ නල තුළ අයිස් කැට සිරවීම නිසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලිය බිඳවැටී මෙය අනතුරට ලක්වූ බවය.

මෙහි කාර්ය මණ්ඩලය වරද නිවරද කරගන්නට උත්සාහ දරා ඇති අතර එය ව්‍යර්ථවීමේ ප්‍රතිඵලයක් ලෙස යානය මුහුදට කඩාවැටී තිබේ. අනතුරින් පසුව ගෙවුණු මාසා කිහිපයේදී මළ සිරුරු 50ක් සොයාගන්නට හැකිවිය.

තවත් මළ සිරුරු 104 ක් සමඟ මෙම යානයට අයත් කලු පෙට්ටිය 2011 මැයි මාසයේදී සොයාගන්නට හැකිවිය. මගීන් 74 දෙනෙකුගේ මළ සිරුරු මෙතෙක් හමුවී නැත.



2 comments:

  1. මම නම් හිතන්නෙ අර යානය සිතියමේ පහලට ගිහින් ලෝකෙන් එලියට විසික් වෙන්න ඇති කියලා..සිතියමේ පහල තියෙන නිසාද කොහෙද නේ හොයන්න අමාරුයි කියල කියන්නෙත්..

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද තර්කයක් තමයි. හා! හා! හා!

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න