පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, September 24, 2014

ලොව දෙවැනි බලවතාගේ ගෙදර බවලතා - පෙන්ග් ලියුවාන්’ - Peng Liyuan, the Wife of Chinese President



First Lady යන්න මලලසේකර ශබ්දකෝෂයේ දක්වා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නායකයාගේ බිරිඳ සහ රටක රාජ්‍ය නායකයාගේ බිරිඳයනුවෙනි. විකිපීඩියාවේ දැක්වෙන්නේ  ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරයාගේ බිරිඳ සඳහා යොදනු ලබන නිල නොලත් ගෞරව නාමයයන්නයි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දැක්වෙන්නේ The wife of the President of the US or other head of state යන්නයි. මලලසේකරයේ ඇත්තතේ ද එම අර්ථයමය. මේ වචනය පිළිබඳ මෙතරම් හාරා අවුස්සා බලන්නට සිත් වූයේ මේ මාසයේ (2014  සැප්තැම්බර්) චීන ජනපති සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නිසා පුවත්පතක් සඳහා එම ජනපති ආර්යාව පිළිබඳ කෙටි විස්තරයක් ලියන්නට සිදුවූ බැවිනි. බොහෝ පුවත්පත්වල First Lady යන්න බොහෝ දෙනෙක් සිංහලයට පරිවර්තනය කරනුයේ ප්‍රථම කාන්තාවවශයෙනි. නමුත් එවැනි අදහසක් කිසිදු ශබ්දකෝෂයක නැත. මේවාට කියන්නේ ගෙඩි පිටින් කරන පරිවර්තනයනුවෙනි. ඔබ ලේඛකයෙක් නම් එවැනි පරිවර්තනවලින් වැළකී සිටින්න යැයි කියමින් මෙසේ ලිපිය පටන් ගන්නෙමි.

ජනාධිපතිවරයකුගේ ආර්යාවක් වීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එයට පෙර පින් තිබිය යුතුය. එසේ නම් ලෝක බලවතකුගේ ආර්යාවක් බවට පත්වීමට කෙතරම් නම් පිනක් තිබිය යුතු දැයි සිතේ. ඔබ කාන්තාවක නම් එවන් කාන්තාවක් පිළිබඳ ඔබ දැන සිටිය යුතුමය. මන්ද ඔවුන් අතර සිටින ශ්‍රේෂඨ කාන්තාවන් කාන්තා ලෝකයටම පූර්වාදර්ශ සපයන්නියන් වන බැවිනි.


ලෝකයේ දෙවැනි බලවතා ලෙස ප්‍රකටව සිටින චීනයේ ජනාධිපති ෂි ජින්ග්පින්ග්පසුගිය දිනෙක (2014 සැප්තැම්බර්) ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. ඔහු සමඟ ඔහුගේ ආර්යාව වන පෙන්ග් ලියුවාන්ද පැමිණියාය. ලෝක නායක ජනාධිපතිවරුන් අප රටෙහි සංචාරය කළ ද ඔවුනගේ ආර්යාවන් ගැන එතරම් කතා කරන්නට දේවල් තිබුණේ නැත. නමුත් චීන ජනපතිවරයාගේ ආර්යාව එසේ නොවේ. ඇය ගැන කතා කරන්නට බොහෝ දේවල් තිබේ.

1962 නොවැම්බර් 20 වැනිදා උපන් පෙන්ග් ලියුවාන් චීනයේ අතිදක්ෂ ජන ගී ශිල්පිනියක සේම ප්‍රසිද්ධ වේදිකාවේ ද සුප්‍රකට ගායන ශිල්පිනියක් ද වන්නීය. චීනයේ දේශපාලනමය වශයෙන් ව්‍යවස්ථාවෙන් බලය ලැබී ඇත්තේ අගමැතිවරයාට වුව ද චීන හා ඇමරිකානු මාධ්‍ය, ‛චීනයේ ජනපති ආර්යාව’ (Chinese First Lady) වශයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධිය ලබාදෙන්නේ ලියුවාන්ටය. ෆෝර්බස් වර්ගීකරණයට අනුව ලෝකයේ 57 වැනි ප්‍රබල කාන්තාව වන්නේ ද ඇයයි.



චීනයේ මහජන විමුක්ති කලා ඇකඩමියේ පීඨාධිපති ධුරය උසුලන්නේ ද ලියුවාන්ය. චීනයේ අතිශය ඉහළ ස්වරවලින් ගායනා කිරීමේ හැකියාවෙන් යුක්ත ශිල්පිනියන් (soprano singer) අතුරින් ප්‍රමුඛස්ථානයේ වැජඹෙන්නීද ඇයමය. ගායනා හැකියාවෙන් ඇය දිනා ඇති සම්මාන ගණන මෙතෙකැයි ගණනය කළ නොහැකි තරම්ය. ඇයගේ ගී නිර්මාණ බොහොමයකට පදනම වී ඇත්තේ ගොවි ජනතාව, ගොවි සමාජය, ගොවි සංස්කෘතිය වැනි දෑ ය. ලියුවාන් චීන මහජන විමුක්ති හමුදාවේ සිවිල් සාමාජිකාවකි. එය හමුදාව තුළ මේජර් ජනරාල් පදවියක් හා සමාන යැයි පැවසේ. සාම්ප්‍රදායික චීන ජන සංගීතය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගත් ප්‍රථම කාන්තාව ද ඇය යි.


ඇය චීන මහජන විමුක්ති හමුදාව සමග එක්වූයේ 18 හැවිරිදි වියෙහිදීය. චීන - වියට්නාම් දේශසීමා යුද්ධයේදී ඇය යුද පෙරමුණට ගොස් සොල්දාදුවන් ධෛර්යමත්කිරීමේ වැඩකටයුතුවල ක්‍රියාකාරීව නිරත වූවාය.


ඇය චීන ජනාධිපති ෂි ජන්ග්පින්ග් සමග විවාහ වී වසර 25ක් පමණ වන අතර ඔවුනට ෂි මින්ග්සේ නමින් දියණියක් සිටී. ෂි ජින්ග්පින්ග් ට ලියුවාන්ගේ දෙමාපියන් මුළින්ම අකමැති වුව ද තමා ද සාමාන්‍ය ගොවියකුගේ දරුවකු බව ඔප්පු කිරීමෙන් පසුව ඔහුට ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීමට හැකිවිය. දේශපාලකයකුට තම දියණියගේ ආරක්ෂාව සළසන්නට තරම් විවේකයක් තිබේ යැයි ඔවුන් තුළ සහතිකයක් නොතිබීම එයට හේතුව විය.

බොහෝ ජනාධිපති ආර්යාවන් මහජනතාව අතර ගෞරවාදරයට පාත්‍රවන්නේ හෝ එවැනි ගෞරවාදරයක් ලබාගන්නේ සිය සැමියන්ගේ දේශපාලන බලමහිමය නිසාය. සිය සැමියන් නොයැති නම් එවැන්නියන්ට වඩා ගමේ පලා විකුණන ගැහැනු ශ්‍රේෂ්ඨය. නමුත් ලියුවාන්ගේ තත්වය එසේ නොවේ. ඇය සිය දේශපාලක සැමියාටය වඩා වැඩි ගෞරවයක් මහජනතාව අතර හිමිකොට ගෙන සිටී.



චීන ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ එහි මාධ්‍ය ලියුවාන් හඳුන්වා දී තිබුණේ බීජිං හි රහස් ආයුධය හෙවත් චීන ජනපතිගේ රූමත් ආර්යාවවශයෙනි. ඇය මේ වන විට 52 හැවිරිදි වියෙහි පසු වුවද, ඇමරිකානු ජනපති බිරිඳ මිචෙල් ඔබාමා, එක්සත් රාජධානියේ ඔටුන්න හිමි කුමරුගේ බිරිඳ කේට් ආදී සුවිශේෂ කාන්තාවන් අතරදී ජාත්‍යන්තර මාධ්‍යන්හි අවධානය මා වෙතට ආකර්ෂණය කරගැනමය තරම් ප්‍රබල පෙනුමකින් යුක්ත වූ බැව් සඳහන් කළ යුතුය.

ලියුවාන් කාන්තා අයිතීන් වෙනුවෙන් නිරතුරුව සටන් කරන්නියක ලෙස ද ප්‍රකටව සිටින අතර සිය දේශීය නිෂ්පාදන සඳහා, විශේෂයෙන් චීනයේ නිපදවන රූපලාවන්‍ය ද්‍රව්‍ය විදේශ වෙළෙඳපලට හඳුන්වාදීම සඳහා නිලනොලත් වෙළෙඳ නාම තානාපතිනියක ලෙසින් ද ක්‍රියාකරනු දක්නට ලැබේ.

චීන ජනාධිපතිවරයා ලෝකයේ දෙවැනි බලවත් රාජ්‍යයේ ජනාධිපතිවරයා වශයෙන් සිය විදෙස් සංචාර සියල්ලටම සිය බිරිඳ එක්කරගැනීමට අමතක නොකරයි. ඒ ඇයට ලෙව පුරා ඇති ආකර්ෂණය නිසාය. ඇතැම් අවස්ථාවල මාධ්‍ය හඹා යන්නේ ජනපතිවරයා පසුපස නොව ලියුවාන් පසුපසය.


බැරක් ඔබාමාගේ බිරිඳ වන මිචෙල් ද ඔහුගේ වාසගම වන ඔබාමා යන්න සිය නමට ඈඳාගත්ත ද ලියුවාන්ට එසේ කරන්නට අවශ්‍යතාවයක් ඇතිවූයේ නැත. ඇයට සිය සැමියාගේ උදව් උපකාර නොමැතිව වුව ජනතාව අතරට යාමට හැකිය. සැබවින්ම ඇය සිය සැමියා වූ චීන ජනාධිපතිවරයාගේ ආලෝකයෙන් බැබලෙනවාට වඩා සිදුව ඇත්තේ ඇගේ ආලෝකයෙන් චීන ජනාධිපතිවරයා බැබලීමයි. එයට හොඳම උදාහරණයක් වන්නේ එක් අවස්ථාවක චීන ජනාධිපතිවරයා පිළිබඳ සාමාන්‍ය පුරවැසියෙක් පළකළ අදහසකි.

මම ෂි ජින්ග්පින්ග් ගැන දැනගෙන හිටියේ ලියුවාන්ගේ සැමියා හැටියට විතරයි. පස්සේ තමයි දැනගත්තේ ඔහු තමයි චීන ජනාධිපති කියලා.


ක්ෂය රෝගය පිළිබඳ ලෝක ජනතාව දැනුවත් කිරීම සඳහා ලියුවාන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තානාපතිනියක් ලෙස ද කටයුතු කරයි. ඇය මේ සියල්ල මැද මහජනතාව වෙනුවෙන් ගී ගැයීමට ද අමතක කොට නැත.  යම් දිනෙක චීන ජනාධිපතිවරයාට සිය ධුරය අහිමි වුව ද ලියුවාන් නිසැක ලෙසම ජනතාව අතර මියෙන තුරුම ආර්යාවක්ලෙස වැජඹෙනු ඇති බව බොහෝ චීන වැසියන්ගේ අදහස හා පැතුම වී තිබේ.


4 comments:

  1. මිශේල්ට ඔබාමා යන්න ඈඳාගන්න අවශ්‍ය නැහැනේ. බටහිර ක්‍රමය අනුව සැමියාගේ නම ඒ විදිහට යොදන්න පුළුවන් බව ඔහේ දන්නේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. මහත්මයාට මම මෙතැනින් කියන්න හදන දේ තේරිලා නැති පාටයි. මිචෙල් ඔබාමාගේ මුල් නම Michelle LaVaughn Robinson. මේ නමින් කවුරු හරි ඇහුවොත් මේ කවුද කියලා දන්න අය අඩුයි. ඇමරිකාවෙත් දන්න අය වැඩිය නැතිව ඇති. නමුත් මිචෙල් ඔබාමා කිව්වාම කවුරුත් දන්නවා. තමන්ගේ සැමියාගේ නම ඒ විදියට යොදාගන්න පුලුවන් කම එක වෙනම කතාවක්. නමුත් පරණ නමින් හිටියොත් මින්ස්සු අතර ප්‍රසිද්ධ නැති එක වෙනම කතාවක්. චීනයේ සාම්ප්‍රදායිකව කාන්තාවන් විවාහයෙන් පසු සැමියාගේ වාසගම භාවිත කිරීම සිදුවන්නේ අඩුවෙන්. නමුත් හොංකොංවල එසේ සිදුවෙනවා. ආසියාව සමස්ථයක් විදිහට ගත්තොත් කාන්තාවන් තමන්ගේ සැමියාගේ වාසගම විවාහයෙන් පසු යොදාගන්නවා. සැමියා ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම් ඒක කොහොමත් සිදුවෙනවා. මෙතන මා කියන්නට අදහස් ක‍‍ළේ මේ චීන ජනපතිගේ බිරිදට අවශ්‍ය නම් තමන්ගේ සැමියාගේ වාසගම ගන්න හැකියාව තිබුණත්, ඇගේ ඇති හැකියාවන් සහ ප්‍රසිද්ධිය නිසා එවැන්නක් අවශ්‍ය නොවන බවයි. නමුත් මිචෙල් ඔබාමාට Michelle LaVaughn Robinson ලෙසින් ඉන්න ඕන නම් පුලුවන් කම තිබුණත්, එසේ සිටීමට වඩා සැමියාගේ වාසගම ගැනීම හැම අතින්ම වාසිදායකයි. මන්ද බැරක් ඔබාමාගේ බිරිද වීම හැරුණාම ඇයට වෙනත් වාසිදායක තත්වයක් ජීවිතයේ නැහැ.

      Delete
  2. කොහොමද අපේ ආර්යාව, සේරෝ වලටත් පහලයි නේද?

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න