පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, June 1, 2015

හෙනා ගැන බොරු කතා - Untruth about Henna


ඉන්දියාව තරම් අපේ රටේ සංස්කෘතියට බලපෑම් කළ වෙනත් රටක් නැති තරම්. අපටම කියා විශේෂ වූ සංස්කෘතියක් තිබුණත්, එය තුළ බොහෝ ඉන්දියානු ලක්ෂණ තිබෙනවා. විශේෂයෙන් ඉන්දියානු සිනමාව මෙන්ම ඉන්දියානු ටෙලිනාට්‍ය අපේ රටේ ජනප්‍රියවීමත් එක්ක මේ තත්වය තවත් වැඩි වුණා. රූපලාවන්‍ය කටයුතුවලදී මේ තත්වය වඩාත් හොඳින් කැපී පෙනෙනවා. ඉන්දියානු රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම පොදුවේ ලෝකය පුරාම ව්‍යාප්ත වුණත්, අපේ රටේ ඒ තත්වය වැඩිපුර තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. මේ විදිහට අපේ රටට ආපු එක් රූපලාවන්‍ය ක්‍රමයක් තමයි ‛හෙනා’ භාවිතය. දැනට කලකට පෙර තිබුණු තත්වයට වඩා වැඩි නැඹුරුතාවයකින් දැන් හෙනා භාවිත කරනවා. 

හෙනා අපට ඉන්දියාවෙන් ආවත් දැනට වසර 9000 කට පමණ පෙර ඊජිප්තුවේ මේවා භාවිත වෙලා තියෙනවා. මෙයින් පෙනෙන්නේ වසර දහස් ගණනක් තිස්සේ එකම තරම් ජනප්‍රියතාවයක් ලබාගන්නට හෙනා සමත්ව තිබෙනව බවයි. ඒ වගේම ඉන්දියානුවන් හෙනාවලින් සිරුරේ මවන රටා ද ලෝකයේ අතිශය ජනප්‍රියත්වයකට පත්ව තිබෙනවා. ලෝකයේ වෙනත් සංස්කෘතීන්වල ජනතාව ද මෙම රටා සිරුරේ මවාගන්නට ඇති කැමැත්තත් හෙනා තව තවත් ප්‍රචලිත වෙන්නට හේතු වී තිබෙනවා. ඉන්දියාවේ මෙය භාවිතය සුබ කටයුත්තක් සේම පිවිතුරු බව, වාසනාව ආදී ගුණාංග ඇති කරන බව ද විශ්වාස කෙරෙනවා. 

ඉන්දියාවේ උණුසුම් පළාත්වල ජීවත්වන මිනිසුන් හෙනා කොල පොඩිකර තැනූ තලපයක් වැනි මිශ්‍රණයක දෑත් සහ දෙපා ඔබාගෙන් සිටීමට පුරුදුව සිටිනවා. එවිට පරිසරයේ ඇති අධික උණුසම් බව සෑහෙන දුරට අඩුවෙන බව පැවසෙනවා. මේ තලපය පිසදා දැමුවත්, එහි වර්ණය සම මත ඇති තාක් උණුසම දැනෙන්නේ අඩුවෙන් බව ද පැවසනෙවා. ඔවුන් හෙනාවලින් සිරුරේ රටා මවන්නට හුරුවන්නට ඇත්තේ මේ නිසා විය හැකියි. 

වර්තමානයේ බොහෝ දෙනා අතර හෙනා ප්‍රචලිතව ඇත්තේ හිසකේ වර්ණ කරවන, නැත්නම් ‛ඩයි’ කරවන වර්ණ කාරකයක් ලෙසයි. හෙනාවල ‛ලෝසොනියා ඉනර්මිස්’ ( Lawsonia Inermis) කියන වර්ණ අණුවක් තිබෙනවා. එහි ඇති එකම වර්ණ අණුවත් මෙයයි. එය රතු - තැඹිලි පැහැයට හුරුයි. ඒ හැර මෙයින් ස්වභාවිකව නිපදවිය හැකි වෙනත් වර්ණයක් නැහැ. නමුත් ඇතැම් සමාගම් පවසන්නේ ඔවුන් හෙනා මුල්, කඳ හෝ හෙනා ශාකයේ වෙනත් කොටස්වලින්  වර්ණ ගණනාවක් නිපදවන බවයි. නමුත් ඇත්තටම එම කියමනෙහි ඇත්තක් නැහැ. හිසකේ වර්ණ ගැන්වීම සඳහා යොදාගත හැකි එකම දෙය වන්නේ හෙනා පත්‍ර පමණයි. මෙම ශාකයේ අනෙක් කිසිදු කොටසක වර්ණ ඇතිකිරීමේ හැකියාව නැහැ. රතු හැරුණු විට වෙනත් වර්ණයක් හෙනාවලින් නිපදවනවා නම් ඒ සඳහා රසායනික ද්‍රව්‍ය, ‛මෙටලික් සෝල්ට්’ (metallic salts) නමින් හඳුන්වන වර්ණ නිපදවන රසායනික ද්‍රව්‍ය සහ වෙනත් ශාකවල කොටස් යොදාගන්නට සිදුවෙනවා. 

හෙනාවලින් විවිධ වර්ණ නිපදවා අළෙවි කරන සමාගම් සිය ඇසුරුම්වල සඳහන් කොට ඇති විශේෂ යෙදුමක් වන්නේ Compound Henna Dye  යන්නයි. මේ ආකාරයෙන් වර්ණ නිපදවීමේදී ඉහත කී වෙනත් සංයෝග යොදා ගැනෙනවා. නමුත් කිව හැක්කේ මේ නමින් ඇති හෙනාවලින් ඔබගේ හිසකේවලට හානි ඇතිවිය හැකි බවයි. නමුත් ස්වභාවික හෙනාවලින් සිරුරට හෝ හිසකේවලට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. 

විවිධ නිෂ්පාදකයන් blonde henna, brown henna  හෝ black henna  ආදී දේ සිය නිෂ්පාදන ඇසුරුම්වල සඳහන් කොට ඇති බව ඔබ දැක ඇති. නමුත් සැබවින්ම එවැනි ස්වභාවික වර්ණ සහිත හෙනා වර්ග ලෝකයේ කිසිම තැනක ඇත්තේ නැහැ. එහි ඇති එකම වර්ණ අණුව වන්නේ කලින් මෙහි සඳහන් කළ ‛ලෝසෝනියා ඉන්ර්මිස්’ පමණයි. එය රතු - තැඹිලි වර්ණ අණුවක්. 

මේ ආකාරයේ විවිධ වර්ණ සහිත හෙනා නිපදවන්නේ ඉහත තැනක සඳහන් කළා සේ රසායනික ද්‍රව්‍ය සහ වෙනත් ශාක කොටස් මිශ්‍රකිරීමෙන්. Compound Henna  යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසයි. 

මෙම Compound Henna  නිෂ්පාදයේදී භාවිත වන ‛මෙටලික් සෝල්ට්’ සඳහා ‛ලෙඩ් ඇසිටේට’ ( lead acetate) නම් වර්ණ කාරකය බහුලව භාවිත වන අතර ඊට අමතරව  සිල්වර් නයිට්‍රේට්, තඹ, නිකල්, කෝබෝල්ඩ්,  බිස්මත් සහ යකඩ මිශ්‍ර ලවණ වර්ග ද  යොදා ගැනෙනවා. ඒවා ද ලෙඩ් ඇසිටේට් ගණයට අයත් රසායනික ද්‍රව්‍ය. හිසකේ සඳහා මේවා මිශ්‍ර කළ හෙනා  නිතර භාවිත කිරීමෙන් ඒවා හිසකේ පාමුළ තැන්පත් වෙනවා. මෙය හිසකේවලට හිතකර තත්වයක් නොවෙයි. හිසකේවල වර්ණය වෙනස් වනවා පමණක් නොව හිසකේ කැඩෙන තත්වයට පත්වන්නටත් පුළුවන්. වෙළෙඳපළේ අළෙවියට ඇති බොහෝ හෙනා නිෂ්පාදනවල සැබවින්ම ඇත්තේ ඉතා ස්වල්ප හෙනා ප්‍රමාණයක් බවත් සඳහන් කළ යුතුයි. ඒවායේ බහුල වශයෙන් ඇත්තේ විවිධ රසායනික ද්‍රව්‍යයයි. 

ඇතැම් හෙනා වර්ගවල ඒවායේ අඩංගු ද්‍රව්‍ය සඳහන් නැති අතර එවිට ඒවායේ අහිතකර රසායනික ද්‍රව්‍ය තිබේදැයි සොයාගන්නට ඉඩක් නැහැ. යම් නිෂ්පාදනයක අඩංගු ද්‍රව්‍ය සඳහන් කළ යුතු යැයි නීති පනවා නොමැති රටවල නිෂ්පාදකයන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඇතුළත් කරන්නට පුළුවන්. මේ නිසයි ඇතැම් සමාගම් විවිධ වර්ණයෙන් යුක්ත හෙනා වර්ග නිපදවන්නේ. යම් නිෂ්පාදනයක රතු හෙනා හැරුණු විට වෙනත් වර්ණයක හෙනා යැයි සඳහන්ව ඇත්නම් එය සැබවින්ම සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් නොවේ. ‛හර්බල් හෙනා’ යනුවෙන් සඳහන්ව ඇති බොහෝ නිෂ්පාදනවල අඩුංගව පවතින්නේ ‛පැරා - ෆෙනිලෙනිඩියමයින්’ (para-phenylenediamine) කියන රසායනික ද්‍රව්‍යයයි. මෙහි අසාත්මිකතා ලක්ෂණ තිබෙන බව සඳහන් කළ යුතුයි. යම් නිෂ්පාදනයක ඇමෝනියා, පෙරොක්සයිඩ් අඩංගු නැති බවට හෝ ‛සම්පූර්ණයෙන්ම ස්වභාවික’ යන අරුත ඇති වාක්‍ය සඳහන් වූ පමණින් ද එය සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක බව කියැවෙන්නේ නැහැ. 

එබැවින් හෙනා නිෂ්පාදන මිලදී ගැනීමේදී ඔබ බොහෝ සැළකිලිමත් විය යුතු බවයි කිවයුතු වන්නේ. වඩාත් හොඳම දේ වන්නේ සිරුරේ ආලේප කරන්නට ඇති හෙනා වර්ගවලින් ඔබ නිවසේදීම හිසකේ වර්ණ කිරීම සඳහා මිශ්‍රණ පිළියෙල කරගත යුතු බවයි. මේ සඳහා වට්ටෝරු අන්තර්ජාලයේද ඕනෑ තරම් සොයාගන්නට පුළුවන්. සිරුරේ ආලේප කරන්නට ඇති හෙනා වර්ග වල කිසිදු රසායනික් ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඔබට විශ්වාසයෙන් යුක්තව ඒවා භාවිත කළ හැකියි. 

2 comments:

  1. මුහුණු ආලේපන, දන්තාලේප, වැනි මෙවැනි ආලේපන ඇතුළත් බහාලුම් වල, වර්ණ පටියකින් සලකුණු කල යුතු නේද, මෙය සම්පූර්ණයන් ස්වාභාවිකද, නැතහොත් ස්වාභාවික ද්‍රව්‍ය සහ කෘත්‍රිම ද්‍රව්‍ය මිශ්‍රණයක් ද, එසේත් නැතහොත් සම්පූර්ණයෙන්ම කෘත්‍රිම ද්‍රව්‍ය යොදා කල නිෂ්පාදනයක්ද කියා?

    නමුත් පාරිභෝගිකයන් ඒ පිළිබඳව දැනුවත්වී ඇද්ද යන්න ගැන සැකයි.

    http://929thelake.com/beware-of-toothpaste-tubes-with-black-stripe-on-bottom/

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන කතාව ඇත්ත. පාරිභෝගිකයන්ට ඒ ගැන දැනගන්නට ක්‍රමයක් තිබිය යුතුයි. නමුත් ඔබ මෙහි දක්වා ඇති සබැදියේ ඇති කතාව නම් මිත්‍යාවක්. වර්ණ තීරුවලින් කියැවෙන මේ කතාව ගැන සමාජ ජාල වෙබ් අඩවිවල පවා වැරදි තොරතුරක් සංසරණය වෙනවා. මේ තීරුවලින් දැක්වෙන්නේ එම ටියුබ් මුද්‍රණය කිරීමේදී මුද්‍රණකරුවන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් යොදාගත් සළකුණක් මිසක් මෙහි අඩංගු ද්‍රව්‍ය ස්වභාවිකද, කෘත්‍රිම ද හෝ වෙනත් දෙයක් ගැන දැනුවත්කිරීමට නොවේ.

      http://www.healthyfoodhouse.com/true-or-false-the-hidden-secret-behind-toothpaste-bottom-color/

      http://wzozfm.com/will-we-really-be-surprised-what-those-color-codes-mean-on-your-toothpaste/

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න