පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 11, 2015

ඇස් යට එල්ලා වැටීම හා එයට පිළියම් - Eye Bags and Treatments for that




වයස්ගත වන විට  බොහෝ දෙනෙකුගේ මුහුණේ දිස්වෙන කැපී පෙනෙන ලක්ෂණයක් විදිහට ඇස් යට සිදුවන  එල්ලා වැටීම  සඳහන් කළ හැකියි. වයසට යාමත් සමග ඔබගේ ඇසි පියෙහි ක්‍රියාකාරීත්වයට උදව් කරන මාංශ පේශීන් ඇතුළුව ඇස් අවට ඇති පටක දුර්වල බවට පත් වෙනවා. ඇස්වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන මේද කොටස් එවිට පහළ ඇසි පිය කරා ගමන් කරනවා. ඇස් යට එල්ලා වැටුණු ස්වභාවයක් දිස්වන්නේ එවිටයි. ශරීරයේ ඇති දියරයන්ද මේ සමග එකතු වීම නිසා මේ එල්ලා වැටීම තවත් වැඩි වී පෙනෙන්නට පටන් ගන්නවා.

සාමාන්‍යයෙන් ඇස් යට එල්ලා වැටීමේ තත්වය වෛද්‍ය උපදෙස් ගත යුතු බරපතල තත්වයක් නොවෙයි. වෛද්‍ය උපදසේ ලබාගන්නට තරම් දෙයක් බවට පත්වන්නේ ඉතා කලාතුරකින්. මෙය හුදෙක් පෙනුම පිළිබඳ ගැටලුවක් පමණයි. ඒ නිසා මේ සඳහා බහුලව ඇත්තේ ද රූපලාවන්‍ය ප්‍රතිකාර පමණයි. යම් හෙයකින් මෙම පෙනුම සමග ඇස් අවට දැවිල්ලක් හෝ වේදනාවක්, ඇස් රතුවීමක්, ඇස කැසීමක්, වේදනාවක් ආදිය ඇත්නම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි. 

ඇස් යට මේදය තැන්පත්වීමට අමතරව සිදුවන ශාරීරික දියර තැන්පත් වීම, කාලගුණ තත්වයන්, හෝර්මෝන මට්ටම සහ ලවණ සහිත ආහාර පරිභෝජනය ද මේ සඳහා හේතු විය හැකියි. එමෙන්ම නිතර නිදි වැරීම, අසාත්මිකතාවයන්, චර්ම රෝග, ආදිය ද මේ සඳහා බලපාන බව සොයාගෙන තිබෙනවා. මෙය පරම්පරාවෙන් උරුම වන ලක්ෂණයක් බව ද පැවසිය යුතුයි. 

කෙසේ නමුත් මෙය නිවසේදීම පහසුවෙන් සිදු කළ හැකි ප්‍රතිකාර ක්‍රම මගින් සෑහෙන දුරට සමනය කරගත හැකියි. ඇස් යට ප්‍රදේශයේ ඇති අධික ලවණතාවය හේතුවෙන් එම කොටසේ ඇති ජලය අඩුවී යන බැවින් පුරුද්දක් ලෙස ඔබ පානය කරන ජලය ප්‍රමාණය වැඩි කිරීම පහසුවෙන්ම කළ හැකි දෙයක්. ඒ වගේම ලුණු රස ඇති ආහාර පානවලින් හැකිතාක් දුරට වැළකී සිටීම  තූලින් ද මේ තත්වය පාලනය කරගත හැකියි. කෝපි සහ මද්‍යසාර භාවිතයෙන් ද ඈත්වන්න. 


බොහෝ දෙනෙක් ඇස් යට කලුවීමෙන් සහ මෙසේ එල්ලා වැටීමෙන් වළක්වාගැනීම සඳහා පිපිඤ්ඤා පෙති තැබීමට පුරුදුව සිටිනවා. සැබවින්ම මෙහිදී සිදුවන්නේ පිපිඤ්ඤාවල ඇති ඖෂධීය ගුණයක් නිසා මෙම තත්වයන් පාලනය වීමක් නොවේ. මෙහිදී සිදුවන්නේ ඇස් යට ප්‍රදේශය සිසිල්වීමයි. එම ප්‍රදේශය හැකි සෑම අවස්ථාවකම යම් කිසි ආකාරයකින් සිසිල්ව තබා ගැනීමට උත්සුක වනවා නම් මෙම තත්වය බොහෝ දුරට පාලනය කරගත හැකියි. මේ සඳහා කළ හැකි පහසුම දෙය නම් පිපිඤ්ඤා පෙති තැබීමයි. එය ද අපහසු නම් තේ කුඩු බෑග් කිහිපයක් තෙත් කොට ශීතකරණයේ තබන්න. ඒවා සිසිල් වූ විට ඇස් යට ප්‍රදේශයේ තබා එම පෙදෙස සිසිල් කරන්න. 








සාමාන්‍යයෙන් වයසත් සමග ඇස් යට එල්ලා වැටීම පාලනය කරගැනීමට මෙවැනි ක්‍රම අනුගමනය කළත් අසාත්මිකතාවයන් නිසා මෙය සිදුවනවා නම් ඔබ වහාම ඒ සඳහා මුළින්ම ප්‍රතිකාර ගත යුතුයි. ඒ වාගේම ආසාත්මිකතාවයන් ඇති කරන ස්ථානයන් සහ ද්‍රව්‍යවලින් ඈත්ව සිටීමට නිතර වගබලා ගත යුතුයි. 

අක්‍රමවත් නින්ද ද මෙයට හේතුවන නිසා නිදාගැනීමේ පුරුද්ද වෙනස් කිරීම ද තවත් එක් ප්‍රතිකාරයක්. බඩ යටට සිටින සේ හෝ පැත්තට හැරී හෝ නිදාගැනීමට පුරුදුව සිටින පුද්ගලයන්ගේ ඇස් යට එල්ලා වැටීම වැඩි වශයෙන් සිදුවන බව සොයාගෙන එයට හේතුව මෙම ඉරියව්වලදී ඇස් යට ප්‍රදේශයේ දියර එකතුවීම සඳහා වැඩි ඉඩක් පැවතීමයි. එම නිසා උඩුබැලි අතට හැරී නිදාගන්නට පුරුදුවීම තුළින් මෙම තත්වය සෑහෙන දුරකට සමනය කරගන්නට පුළුවන්. 


මුහුණේ සම සිරුරේ අනෙක් ස්ථානවලට වඩා සියුම්. එයට ඉක්මණින් හානි සිදුවිය හැකියි. එම නිසා මුහුණ සේදීමේදී මුහුණ රළු ලෙස පිසදැමීමෙන් වැළකෙන්න. විවිධ ආලේපන වර්ග සමග නින්දට යාමෙන් වැළකෙන්න. සෑම රාත්‍රියකම මුහුණේ මොයිස්චරයිසර් වර්ගයක් ගල්වන්න. දිවා කාලයේදී සන්ස්ක්‍රීන් එකක් ආලේපකරන්න. 

මෙවැනි ක්‍රම සහ යහපත් සෞඛ්‍ය පුරුදු වර්ධනය කරගැනීම තුළින් ඇස් එල්ලා වැටීම සෑහෙන දුරකට පාලනය කරගත හැකියි.

2 comments:

  1. ස්තූතියි පෝස්ටුවට...
    වතුර කියන්නෙ කෝමත් හුගක් දේ වලට හොද බේතක් නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. උදේ අවදි වුණු ගමන් හොද වතුර වීදුරුවක් බොනවා නම් ලෙඩ රෝග සෑහෙන ගණනක් පාලනය කරගන්න පුළුවන් කියලා කියනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න