පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, July 23, 2015

රත්තරන්, සුදු රත්තරන් හා ප්ලැටිනම් - Gold, White Gold and Platinum


පසුගිය දිනෙක අප පෘථිවිය ආසන්නයෙන් ග්‍රහකයක් ගමන් කළ බව ඔබ බොහෝ දෙනෙක් නොදන්නවා වන්නටත් පුළුවන්. මීටර් 600 ක පමණ් විෂ්කම්භයකින් යුක්ත මෙය අපට ආසන්නතම ග්‍රහ වස්තුව වන චන්ද්‍රයාටත් වඩා පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බවයි දැනගන්නට ලැබෙන්නේ. විටින් විට මෙවැනි ග්‍රහක අපගේ පෘථිවයට ආසන්නයෙන් ගමන් කරන මුත් මේ ග්‍රහකයෙහි ඒ සියල්ලටම වඩා සුවිශේෂී වෙනස්කමක් දකින්නට ලැබුණා. මේ පිළිබඳ අධ්‍යයනය කළ විද්‍යාඥයන් සොයාගත් දෙයක් වූයේ මෙහි ප්ලැටිනම් ලෝහය අධික ලෙස අඩංගු බවයි. සාමාන්‍ය ජීවිතයේදී  “රත්තරන් මේ හැටි ගණන් ඇයි?” කියා ඇසුවත් ලොව මිලෙන් වැඩිම ලෝහය ලෙස සැළකෙන්නේ ප්ලැටිනම්. විද්‍යාඥයන් විසින් ගණන් බලා ඇති ආකාරයට මෙම ග්‍රහකයේ අඩංගුවන ප්ලැටිනම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5ක් ද ඉක්මවනවා. රුපියල්වලින් නම් මෙහි වටිනාකම ලියා දක්වන්නටත් දුෂ්කරයි. එමෙන්ම තවත් ඩොලර් බිලියන ගණනක් වටිනා වෙනත් ලෝහ වර්ග ද මෙහි අඩංගුයි. 

මෙම ග්‍රහකය පෘථිවිය ආසන්නයෙන් ගමන් කළාටත් වඩා විද්‍යාඥයන්ගේ සහ කෝටිපති ව්‍යාපාරිකයන් සිය අවධානය යොමු කළේ මෙහි ඇති ප්ලැටිනම් නිධිය ලබාගැනීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳවයි. අභ්‍යවකාශයේ ඇති මෙවැනි වටිනා ලෝහ නිධි පිළිබඳ විද්‍යාඥයන් සහ ව්‍යාපාරිකයන් වසර ගණනාවක් තිස්සේ සිහින මවන්නේ ද මේ හේතුව නිසයි. 

ප්ලැටිනම් මේ හැටි ගණන් ඇයි? 

ප්ලැටිනම් කියන්නේ ලෝහයක් බව අපි දන්නවා. මෙය ඉතා ඝනත්වයකින් යුක්ත, කැමති ආකාරයකට පහසුවෙන් හැඩගැන්විය හැකි තරමට මෘදු, කිසිදු ආකාරයක් ප්‍රතික්‍රියාවක් නොදක්වන, අලු - සුදු පැහැයට හුරු ලෝහයක්. මෙයට ප්ලැටිනම් යන නම ලැබී ඇත්තේ ‛පුංචි රිදී’ යන තේරුම ඇති ‛ප්ලැටිනා’ කියන ස්පාඤ්ඤ වචනයෙන්. ප්ලැටිනම් සොයාගැනීම අතිශය දුෂ්කර දෙයක් නිසා මෙය නිපදවිය හැක්කේ වසරකට ටොන් සිය ගණනක් පමණයි. නමුත් රත්රන් වසරකට මෙට්‍රික් ටොන් 2500ක් පමණ නිපදවනවා. ප්ලැටිනම් ලෝහයේ ඉහත සඳහන් කළ ලක්ෂණවලට අමතරව මෙහි මළ නොබැඳීමේ ගුණයත් පවතිනවා. මෙවැනි හේතූන් නිසා වටිනා ලෝහ ව්‍යාපාරිකයන් අතර මෙය සැළකෙන්නේ රත්රන්වලටත් වඩා ‛උතුම්’ ලෝහයක් ලෙසයි. 

ප්ලැටිනම් ආභරණ 

ප්ලැටිනම්වලින් ගන්නා විවිධ ප්‍රයෝජන අතර කැපී පෙනෙන දෙයක් වන්නේ  ආභරණ නිපදවීම සඳහා ද මෙය ප්‍රයෝජනයට ගැනීමයි. මෙහි ඇති දුර්ලභභාවය මෙන්ම ඝනත්වයත් නිසා අබරණ ලෝලීන් අතර ප්ලැටිනම් සඳහා ඇති ඉල්ලුම මේ වන විටත් ඉහළ තත්වයක පවතිනවා. වසර ගණනාවක් තිස්සේ දකින රත්තරන් පැහැයට වඩා සුවිශේෂී සිත් ගන්නා පැහැයක් ප්ලැටිනම්වල පැවතීමත් මෙයට ඇති ඉල්ලුම ඉහළ යාමට තවත් එක් හේතුවක්. 

පිරිසිදු ප්ලැටිනම් 

තනි රත්තරනින් ආභරණ නිපදවන්නට නොහැකි බව කවුරුත් දන්නා දෙයක්. එසේ නිපදවුවහොත් ආභරණවල ශක්තිමත් බව අඩුවෙනවා. අනෙක රත්රන් කියන්නේ ඝනත්වයෙන් වැඩි ලෝහයක් ද නෙවෙයි. නමුත් ප්ලැටිනම් මේ සියලු දුර්වලතාවයන් ජයගත හැකි ලෝහයක්. ඉතා සුළු ප්‍රතිශතයකින් වෙනත් ලෝහයක් මිශ්‍ර කිරීමෙන් පමණක් ප්ලැටිනම්වලින් ආභරණ නිපදවීමේ හැකියාව පවතිනවා. කෙසේ නමුත් මේ ආකාරයේ ‛පිරිසිදු ප්ලැටිනම්’ ආභරණ අධික මිලෙන් යුක්ත වන නිසා මේ වන විට ‛ප්ලැටිනම් 585’ නමින් ලෝහයක් හඳුන්වා දී තිබෙනවා. එහි ප්ලැටිනම් අඩංගු වන්නේ 58.5%ක් පමණයි. ඉතිරි 41.5% තඹ සහ කොබෝල්ට්ලින් සමන්විත වෙනවා.  එය කැරට් 14 රත්රන්වල ඇති රත්රන් ප්‍රතිශතයට සමාන ප්‍රමාණයක්.

ප්ලැටිනම් සහ වයිට් ගෝල්ඩ් 

බොහෝ දෙනෙක් මෙම ‛ප්ලැටිනම් 585’ ‛වයිට් ගෝල්ඩ්’ (White Gold) හෙවත් ‛සුදු රත්රන්’ යැයි වරදවා වටහා ගන්නා බව පෙනෙන්නට තිබෙනවා. නමුත් මේ ප්ලැටිනම් 585 වුවත්, ශක්තිමත් බවින් පමණක් නොව පැහැයෙන් ද සුදු රත්රන්වලට වඩා වෙනස්. සුදු රත්රන් නිපදවන්නේ කහ රත්රන්වලින්. නමුත් ප්ලැටිනම් ලෝහයේ පවතින්නේ අව්‍යාජ, එම ලෝහයට ආවේණික සුදු පැහැයක්. එබැවින් ප්ලැටිනම්, සුදු රත්තරන්වලටත් වඩා පිරිසිදු සුදු පැහැයකින් යුක්තයි. අනෙක සුදු රත්රන් ආභරණ නිපදවීමේදී සුදු පැහැය ලබාගැනීම සදහා ආලේප කරන ‛රෝඩියම්’ ලෝහය කාලයත් සමඟ වියැකී යනවා. එවිට කාලයක ඇවෑමෙන් මෙම ආභරණවලින් දිස්වන්නේ කහ පැහැයයි. නමුත් ප්ලැටිනම් ආභරණවල මෙම දුර්වලතාවය ඇතිවන්නේ නැහැ. 

ප්ලැටිනම් ආභරණ සඳහා 95%ක් පමණම පිරිසිදු ප්ලැටිනම් භාවිත වන නිසාත්, රත්රන් සඳහා එසේ භාවිත නොවන නිසාත් ප්ලැටිනම් ආභරණ අධික මිලෙන් යුක්තයි. ප්ලැටිනම් 585 හඳුන්වා දී ඇත්තේ මේ බාධකය ජයගැනීම සඳහායි. 

මිල අධික වුවත් ප්ලැටිනම්වලින් නිපදවන ලද ආභරණ අපේ රටේ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. රුපියල් 6,600 සිට ලක්ෂ 13 දක්වා වූ මිල පරාශයක් යටතේ මේවා මිලදී ගත හැකියි. එයට අමතරව අන්තර්ජාලය ඔස්සේ ප්ලැටිනම් ආභරණ මිලට ගැනීමේ හැකියාව ද පවතිනවා. ඒවායේ මිල රුපියල් 22,000 සිට 133,000 අතර පවතිනවා. ඒවායේ ප්‍රමාණය හා සැසඳීමේදී මෙම මිල ගණන් අධික යැයි ඇතැම් විට පෙනුනද, රත්රන් හා ප්ලැටිනම් අතර පවතින වෙනස් කම් පිළිබඳ සිතා බැලීමේදී මේවා මිලදී ගැනීමේ වරදක් නැති බව ඔබට වැටහේවී. 

විදෙස් රටවල කාන්තාවන් මේ වන විටත් රත්රන් අතහැර ප්ලැටිනම්වලට මාරු වෙමින් සිටිනවා. බොහෝ දෙනෙක් ප්ලැටිනම් ආභරණවලට කැමැත්ත දක්වන්නේ එහි ඇති සුවිශේෂී පැහැය නිසයි. ඔවුන් මිලට වඩා පැහැයට උනන්දුවක් දක්වනවා. කෙසේ නමුත් ප්ලැටිනම් අධික වටිනාකමින් යුක්ත ලෝහයක් වුවත්, අප රටේ බහුතරයක් දෙනා තවමත් කැමැත්ත දක්වන්නේ රත්රන්වලට නිසා ප්ලැටිනම් ආභරණ ජනප්‍රියවන්නට තවත් කාලයක් යා හැකි බවත් ඇතැම් අය පවසනවා. 


6 comments:

  1. මාත් හිතුවෙ සුදු රත්තරන් ප්ලැටිනම් කියල.
    අපරාදෙ අර ග්‍රාහකය කුඩුකරගත්ත නං හරිනෙ.

    ReplyDelete
    Replies
    1. මමත් කලින් හිතුවේ ඒ විදිහයටම තමයි. විස්තර දැනගත්විටයි ඇත්ත තේරුනේ. ඇත්තටම ග්‍රහකය කුඩු කරගත්තා නම් හරි. දැන්වීමක් දාන්නත් පුළුවවන්, ඔබේ සියලු ආභරණ අභ්‍යවකාශයෙන්ම ගෙන්වූ ප්ලැටිනම්වලින් සාදාගන්න අහවල් සාප්පුවට යන්න කියලා.

      Delete
  2. රත්තරන් ලිපියක්.
    ඇත්තට ඔය වෙනත් ග්‍රහලෝක වලින් වටිනා ලෝහ අරන් එන්න පුළුවන් තාක්‍ෂණයක් ආවත් ටික කාලයක් යන කොට ඒ ලෝහ වල වටිනාකම අඩු වෙන්නත් බැරි නැහැ නේද ඒ ලෝහ සුලබ වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තාක්ෂණයක් හොයා ගත්තොත් මිල අඩුවෙන්න පුළුවන්. අර Avatar චිත්‍රපටයේ තියෙන්නෙත් වටිනා ලෝහයක් හොයන්න යන කතාවක් නේ.

      Delete
  3. ප්ලැටිනම් කියන්නෙ ලෝකෙ තියන මිළ අධිකම ලෝහය නෙවී ඊට වඩා මිළ අධික ග්‍රෑමයක් ඇගඩො බිලියනයක් විතර වෙන ලෝහ තියෙනව...
    මං සේවි කරන් හිටිය ඒ ලිපිය මං අතිං අස්තානගත වෙලා නැත්තං මෙතන කොපියක් දාන්න තිබ්බ
    නිරංජන් අය්ය ටිකක් හොයල බලන්න හොයාගන්න බැරිවෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔබ හරි වෙන්න පුළුවන්. මොකද ඇතැම් තැන්වල කැලිෆෝනියම් කියල ලෝහයක් ගැන කියවෙනවා. තවත් තැන්වල ඉන්ඩියම් කියලා ලෝහයක් ගැනත් කියවෙනවා. බලමු විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න