පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, December 20, 2015

අලුත් ලෝකයට අලුත් ගැජට් 2 කොටස - New Gadgets for New World Part 2

හිරු එළියෙන් සිංදු අහමු




සංගීතය ලෝකය තුළ සෝනි ආයතනයට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. එයට හේතුව ඔවුන් සංගීතය සඳහා නව තාක්ෂණය එකතු කරන්න නිතරම අත්හදාබැලීම් කරන නිසයි. ඔවුන් මේ විදිහට අත්හදා බැලීම් සිදුකරන අතරතුරේ අලුත් නිෂ්පාදනයක් කළා. ඒ තමයි හිරු එළියෙන් ක්‍රියාත්මක කරන් සංගීත වාදකයක් නිර්මාණය කිරීම. මේ සඳහා සංකල්පය ඉදිරිපත් කොට තිබෙන්නේ හොවෑන්ග් එම් ගුයෙන්. ඒ නිසා එය නම් කොට තිබෙන්නේ ආන් ගුයෙන් සංගීත වාදකයකියන නමින්. මෙය එල්ලා තැබිය හැකි සේ සකස් කොට තිබෙන අතර එහි පිටුපස සූර්ය කෝෂ සවිකොට තිබෙනවා. එහි ඇති බැටරිය ආරෝපණය කරගන්නට මේ සූර්ය කෝෂවලින් ලැබෙන බලය ප්‍රමාණවත්. ඔවුන් පවසන්නේ ජංගම දුරකතනවල මෙන් බැටරි බලය අඩු බවට නිකුත් කරන පණිවිඩ මෙයින් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවයි.


විද්‍යුත් ගිනි උඳුනක් 




මේ උපකණය නම් ඇත්තටම අපේ වගේ රටවල භාවිතවීම අඩුයි. එසේ වෙනවා නම් නුවරඑළිය වැනි සීත දේශගුණයක් ඇති පළාත්වල පමණයි. නමුත් ලෝකයේ බොහෝ රටවල පැහැදිලි සීත කාලයක් පවතින නිසා ඒ රටවල මෙය ජනප්‍රිය වෙමින් පවතිනවා. නිවසේ සාලයේ උණුසුම ඇති කිරීම සඳහා ඉදිකොට ඇති දර උඳුන් ඔබ බටහිර සිනමා පටවල දැක ඇති. පසු කාලයේ මේවා වෙනුවට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උණුසුම්කිරීමේ උපකරණ නිෂ්පාදනය වුණා. මේ උපරණය තමයි එම පරම්පරාවේ අලුත්ම සාමාජිකයා. මෙය නිෂ්පාදනය කොට තිබෙන්නේ මෑතකදී සොයා ගත් විශේෂ සෙරමික් මැට්ටකින්. උපකරණය ක්‍රියාත්මක කිරීමට පෙර මෙය දිස්වන්නේ සෙරමික් මැට්ටකින් අවාරණය වී ඇති ආකාරයෙන් වුණත් එය ක්‍රියාත්මක කළ සැනින් සෙරමික් මැට්ට නොපෙනී ගොස් ගිනි දළු පෙනෙන්නනට පටන් ගන්නවා. ඒ සමඟම අවට උණුසුම් වෙන්නත් පටන් ගන්නවා. මෙය අක්‍රිය කළ විට කෙමෙන් සිසිල් වෙද්දී එය යළිත් සෙරමික් මැටි පෙනුමට පත් වෙනවා. 


පරිසර හිතකාමී පිරිසිදුකරනය 





මුළුතැන්ගෙයි ඇති පිඟන්, දීසි, කෝප්ප ආදිය පිරිසිදු කරන්නට අප පුරුදු වෙලා ඉන්නේ ඩිටර්ජන්ට්නමින් හඳුන්වනු ලබන විවිධ සේදුම් ද්‍රව්‍ය මගින්. නමුත් මේ නව පිරිසිදුකරනය මගින් මේ ක්‍රියාව කරන්නේ වෙනත් ආකාරයකින්. මෙය මගින් ශබ්දයේ වේගය ඉක්මවා යන තරංග හෙවත් අතිශ්වනික තරංගනිකුත් කරනවා. එවිට භාජන මත ඉතිරිව ඇති සියලු අපද්‍රව්‍ය කොටස් නැවත භාවිත කළ හැකි කොම්පෝස්ට් ද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒවා ගස්වලට පොහොරක් ලෙස යොදන්න පුළුවන්. මේ නිසා ඉවත දමන ආහාර කොටස් සෑහෙන දුරට අඩුකරගන්නත් පුළුවන්. ගස්වලට නිරායාසයෙන්ම පොහොරකුත් ලැබෙනවා. අනාගත ලෝකයේ පස සාරවත් කරන්නට මෙය ඉමහත් උපකාරයක්  ද වේවි.  අනෙක ඔබේ කුඩා ගෙවත්තේ විවිධ පැළෑටිවලට පහසුවෙන් පොහොර සකස් කරගන්නටත් හැකියාව ලැබේවි. 


උණුසුම රකින කෝප්පයක් 




වැඩක් කරමින් සිටින විට තේ කෝප්පය ගෙනැත් මේසය උඩින් තිබ්බත් සමහර වෙලාවට බොන්න මතක් වෙන්නේ ටිකක් වෙලා ගිහින්. තේ වත්කරලා විනාඩි කිහිපයක් ගියාට පස්සේ උණුසුම ගතිය නැතිවෙනවා. ඊට පස්සේ බොන්න වෙන්නේ කූල් තේඑකක්. නමුත් තේ එකක් බොනවා නම් දුම් දාන තරම් උණුසුමට බොන කොට තමයි ප්‍රාණවත් බවක් දැනෙන්නේ. මේ නිසා තේ හෝ වෙනත් උණුසුම් පානයක් වත් කරලා බොහෝ වෙලාවක් ගියත් උණුසුම අඩු නොවෙන කෝප්පයක් හදන්න රුවන් චෙන්ග්සුකියන නිර්මාණ ශිල්පියා සමත් වෙලා තියෙනවා. මෙමගින් යම් කිසි උණුසුම් පානයක් ඒ තත්වයෙන්ම බොහෝ වේලාවක් තබාගන්නට පුළුවන්. මෙහිදී පානයේ ඇති උණුසුම් බව මෙම කෝප්පයට අවශෝෂණය කොට ගෙන එයින් නිපදවෙන විද්‍යුතයෙන් කෝප්පයේ උණුසුම වැඩි වේලාවක් රඳවා ගන්නට හැකියාවක් ලබාගන්න බව තමයි පැවසෙන්නේ. 


කැමති හැටියට බිත්තියේ වෙනස් කරමු 




ගෙදරක බිත්තියකට අපි කැමති පාටක් ගානවා. ටික දවසක් ගිහින් අලුත් පුටු කට්ටලයක් ගෙනාවාම හිතෙනවා, “අයියෝ මේ පුටු සෙට් එකේ පාටට බිත්තිය ගැළපෙන්නේ නැහැ නේකියලා. වෙන වෙන හේතු නිසාත් මේ බිත්තිවල පාට ගැන යම් යම් ගැටළු ඇතිවෙන්න පුළුවන්. නමුත් ඇඳුමක් අඳිනවා වගේ පහුසවෙන් බිත්තිවල පාට වෙනස් කරගන්න බැහැ. ඒ නිසා කැමති හැටියට බිත්තියක පාට වෙනස් කරන්න දැන් අලුත් තාක්ෂණයක් ඇවිත් තිබෙනවා. මෙහි පාට වෙනස් කරන්නට ඇත්තේ එල්.ඊ.ඩී. හෝ වෙනත් ඩිජිටල් තාක්ෂණයක් නම් නොවෙයි. මෙහි ඇත්තේ අපට නොපෙනන ආකාරයෙන් සකස් කළ විවිධ වර්ණ ගැන්වූ ත්‍රිකෝණයි. දැනට ඇත්තේ කලු, සුදු සහ දේදුනු වර්ණයෙන් පමණයි. අපට කලු බිත්තියක් අවශ්‍ය නම් මෙහිදී සිදුවන්නේ ත්‍රිකෝණයේ කලු පැහැති පැති සියල්ල මතුපිටට හැරවීමයි. එවිට බිත්තිය කලු පැහැයෙන් දිස්වෙනවා. අනෙක් වර්ණ ලබාගන්නේත් ඒ ආකාරයෙන්. ඉදිරියේදී මෙයට තවත් වැඩි වර්ණ සංඛ්‍යාවක් සහ හැඩතල, රූ සටහන් ද ඇතුළත් කරන්නට අපේක්ෂා කරන බව පැවසෙනවා.


පෙර ලිපිය







6 comments:

  1. ගැජට් ලිපි දෙකම මරු!

    ReplyDelete
  2. ඔබ ලියන ලිපි හරිම වටිනවා ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන බොහෝ ස්තූතියි.

      Delete
  3. මේවා දැනට වෙළද පලට ඇවිත් තෙයනවද? මිලගණන් දාන්ඩ පුලුවන්නම් හොදයි.

    ReplyDelete
    Replies
    1. මේ හැම එකක්ම ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. බොහෝ ඒවා ඊබේ, ඇමසන් වගේ ඒවායෙන් ගන්න පුළුවන්. ඒ වගේම මෙ නිෂ්පාදිත සමාගම්වල වෙබ් අඩවි ඔස්සේ ගන්න පුළුවන්. අපේ දේශීය වෙළෙඳපලට නම් ඇවිත් නැහැ දන්න තරමට.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න