පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, May 3, 2016

හිස් හොරි මානසික වදයක්ද?


අප සමඟ ජීවත්වන සියලු දෙනාගෙන් හරි අඩක්ම වාගේ ජීවිතයේ කුමන හෝ අවසථාවකදි හිස්හොරිවලින් පීඩා විඳින බව දැනට සිදු කොට ඇති පර්යේෂණ බොහොමයකින්ම හෙළවී තිබෙනවා. එයින් කියැවෙන්නේ හිස්හොරි ඒ තරමටම පොදු රෝගයක් බවට පත්වී ඇති බවයි. ඇත්තටම හිස්හොරි කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඒ ගැන අපට ඉතා කෙටියෙන් මේ විදිහට කියන්න පුළුවන්.

හිස්හොරි කියන්නේ හිස් කබලේ ඇතිවන නිදන්ගත රෝගයක්. එහිදී සිදුවන්නේ හිස් කබලේ ඇති මතුපිට සම කැබලි විදිහට ගැළවී යාමයි. සමේ ඇති සෛල මිය ගිය පසු ඒවා හිස් කබලේ මතුපිටින් ඉවත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඇතැම් අයගේ මෙය අධික ලෙස සිදුවෙනවා. එවනි අවස්ථාවක් හිස්හොරි විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

මේ සඳහා හේතු කීපයක් බලපාන්න පුළුවන්. වියළි සම තමයි මෙයට ඇති ප්‍රධානතම හේතුව. වියළි සමක් ඇති අයගේ සිරුරේ විවිධ ස්ථානවල පැල්ලම් ඇති වන්නට පුළුවන්. අප අවට පරිසරය උණුසුම් වෙද්දී මේ තත්වය තවත් වැඩි වෙනවා. සිරුරේ ඇතිවන වෙනත් චර්ම රෝග සහ වෙනත් ආබාධ  නිසා ද හිස්හොරි ඇති විය හැකියි. ආසාත්මිකතාවයන් සහ ඇතැම් ෂැම්පු වර්ග ද මේ කෙරෙහි බලපෑ හැකියි. සිරුරේ සම මත ඇතිවන ඇතැම් දිලීර තත්වයන් ද මේ සඳහා බලපාන අවස්ථා තිබෙනවා.

හිස්හොරි සම්බන්ධව විවිධ පුද්ගලයන් පැවසූ අදහස් පිළිබඳව බ්‍රිතාන්‍ය චර්ම පදනම (British Skin Foundation ) මෑතකදී සමීක්ෂණයක් පවත්වා තිබුණා. මේ එයට අනුව විවිධ පුද්ගලයන් හිස්හොරි සම්බන්ධව දැක්වූ පොදු අදහස් පහත දැක්වෙනවා.


  • ඇතැමුන් පවසන්නේ හිස්හොරි නිසා තමන්ගේ ආකර්ෂණීය             තත්වය අඩුවී ඇති බවයි.
  • තවත් පිරිසක් පවසා සිටියේ තමන් අන් අය ඉදිරියේ අපහසුවට         සහ ඇතැම් අයගේ අපහාසකිරීමවලට ලක්වූ බවයි.

  • තවත් පිරිසක් මේ තත්වය තම හිත මිතුරන්ගෙන් පමණක්           නොව තම සහකාරුගෙන් පවා වසන්කරගනෙ සිටීමට උත්සාහ     කරන බව ද පවසා සිටියා.
  • මෙයට සහභාගී වූ 350 දෙනෙක් අතරින් තුනෙන් පංගුවක්ම              පවසා සිටියේ හිස්හොරි නිසා තමා සමාජශීලී වන අවස්ථාවන්          හැකිතාක් මගහරින්නට උත්සාහ කරන බවයි.

මෙයින් පෙනේනනේ හිස්හොරි හුදෙක් චර්ම රෝගයක් පමණක් නොව යම් පුද්ගලයකුට සමාජය ඉදිරියේ සාමාන්‍ය පුද්ගලයකු ලෙස ජීවත්වන්නට  බාධාවක් ද එල්ල කරවන ගැටලුවක් බවයි. සැබවින්ම පුද්ගලයකුගේ පෞර්ෂය යම් මට්ටමකින් පහත හෙළන්නට මේ රෝග තත්වය බලපා ඇති බව මෙයට පෙර ද විවිධ සමීක්ෂණ මගින් හෙළවී තිබෙනවා. තමන් අපිරිසිදු තැනැත්තෙකැයි අන් අය ඉදිරියේ අපහාසයට ලක් වේ යැයි මෙම තත්වයට ගොදුරු වූවන් නිතර සිතනවා. හිස් කබල නිතර කසන්නට පටන් ගත් විගසින් ඔවුන් තුළ කාංසා තත්වය, නින්ද මඳ බව සහ අවධානය අඩුවීම යන ගැටලු පැන නගින බව ද හෙළිවී තිබෙනවා. තමා පිළිබඳ අන්‍යයන් තුළ වැරදි ප්‍රතිරූපයක් මැවේය යන ආකල්පය නිසා මෙම රෝගීන් සාමාන්‍ය සමාජ කටයුතුවලින් මගහැර සිටින්නට ද පෙළඹෙනවා. මේ කරුණුවලින් අපට පෙනෙන්නේ හිස්හොරි යනු ශාරීරක රෝගයක් පමණක් නොව බොහෝ මානසික ආබාධයන් සඳහා ද හේතුවන රෝගී තත්වයක් බවයි.

මානසිකව ද ආබාධ ඇතිකරන මෙම හිස්හොරි තත්වයෙන් මිදෙන්නේ කෙසේද?

සාමාන්‍ය මට්ටමේ හිස්හොරි තත්වයක් නම් ෂැම්පූවලින් පාලනය කරගත හැකි වුවත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී මේ තත්වය සමහන් කරගන්නට සාමාන්‍යයෙන් සිතනවාට වඩා කාලයක් ගතවෙනවා. ඒ වගේම සම ගැන දක්වන්නා වූ සැළකිල්ල ද ඉතා වැදගත්. හිස්හොරි හොඳින් ඉවත්වන්නට නම් අඩුම තරමේ මිනිත්තු 5ක් වත් හිස මත ෂැම්පූ තැවරී තිබිය යුතුයි. ඒවා සොදා හැරිය යුත්තේ ඉන් පසුවයි.

සාමාන්‍යයෙන් ෂැම්පූවල අඩංගු  පිරිසිදුකාරක පහත පරිදියි.

  • සින්ක් පයිරිතියොන් (zinc pyrithione) - මෙය බැක්ටීරියා හා         දිලීර නාශක පිරිසිදුකරකයක්.
  • ගල් අඟුරු තාර - ඇතැම් ෂැම්පූවල මේවා අඩංගුයි. මේවා මගින්       හිස් කබල මත සෛල මියයාම මන්දගාමී බවට පත්කරනවා.
  • සේලිසයික්ලික් අම්ලය (salicylic acid) - හිස් කබලේ මත ඇති       මිය ගිය සෛල විශාල කැබලි ලෙස ගැළවී යාම අඩු කරනවා.
  • සෙලීනියම් සල්ෆයිඩ් (selenium sulphide) - සෛල මිය යාම         අඩු කරනවා. නමුත් මේ නිසා හිසකේ වර්ණය අවපැහැ විය             හැකියි. රසායනික ලෙස වර්ණ ගැන්වූ හිසකෙස් ඇති අයට           මේවා සුදුසු නැහැ.
  • කෙටොකොනසෝල් (Ketoconazole) - හිස මත දිලීර ඇතිවීම       අවම කරනවා

දද වැනි රෝගී තත්වයන් නිසා හිසහොරි ඇතිවනවා නම් වෛද්‍යවරු මේ සඳහා විටමින් සහ හෝමෝන අඩංගු ස්ටෙරොයිඩ් ලෝෂන් එකක් නිර්දේශ කරනු දැකිය හැකියි.

හිස්හොරි ඇත්නම් නිතරම හිස සෝදා, මිය යන සෛල කොටස් ඉවත් කළ යුතු වෙනවා. මේ සඳහා හිස්හොරි නාශක ෂැම්පූ වර්ගයක් භාවිත කළ යුතුයි. ඇතැම් පුද්ගලයන්ට මෙය දිනපතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මෙය කළ යුත්තේ කොපමණ කාල පරාශයක් තුළ ද යන්න දැනගත හැකි වන්නේ තමාටමයි.

ඇතැම් පුද්ගලයන් seborrheic dermatitis  නම් චර්ම ප්‍රදාහ රෝග තත්වයෙන් පීඩා විඳිනවා. මෙහිදී හිස් කබල ඇතුළුව සිරුරේ විවිධ ස්ථානවල රතු පැහැ ලප ඇති විය හැකියි. බොහෝ විට මේවා ඇතිවන්නේ සිරුරේ තෙල් ස්වභාවය අධික ස්ථානවලයි. මෙය ද හිස්හොරි ඇතිවන්නට ප්‍රබල ලෙස බලපෑ හැකි එක් හේතුවක් වෙනවා. තමන්ගේ මෙවැනි ලක්ෂණ ඇත්නම් කළ යුතු සුදුසුතම දෙය වන්නේ චර්ම රෝග විශේෂඥයකු හමුවී මේ බව පෙන්වා එයට ප්‍රතිකර ගැනීමයි. එවැනි රෝගී තත්වයක් ඇති අයට ෂැම්පූවලට පමණක් සීමාවී ඉන්නට හැකියාවක් නැහැ.

හිස්හොරි නිසා මානසිකව ඇද වැටී සිටින අයට ද දිය යුතු පණිවිඩයක් තිබෙනවා. ඔබත් එවැනි අයෙක් නම් තවදුරටත් එසේ මානසිකව වැටී සිටිය යුතු නැහැ. ඔබ මුළින්ම සාමාන්‍ය වෛද්‍යවරයකු හෝ චර්ම රෝග විශේෂඥයකු හමුවී ඔබේ තත්වය පැහැදිලි කොට එයට ප්‍රතිකාර ලබා ගත යුතුයි. එය පමණක් නොසෑහෙන බව දැනෙන්නේ නම් ඔබේ වෛද්‍යවරයා ද දැනුවත්ොට මානසික වෛද්‍ය උපදෙස් ද ලබාගත යුතුයි. මෙය බොහෝ විට අවශ්‍ය වන්නේ මෙම රෝග තත්වය නිසා බොහෝ කාලයක් දැඩි ලෙස මානසිකව පීඩා විඳි අයටයි.

මේ අනුව හිස්හොරි කියන්නේ නොසළකා හැරිය  තත්වයක් ොවන බව ඔබට පැහැදිලි වන්නට ඇති. ඒ වගේම අනවශ්‍ය පරිදි ඒ පිළිබඳ සිතමින් කල්ගත කළ යුතු රෝගී තත්වයක් ද නොවෙයි. මෙය වෛද්‍ය ප්‍රතිකර ලබාගත යුතු නැති රෝග තත්වයක් බව බොහෝ දෙනෙක් සිතනවා. නමුත් එය වැරදි අදහසක්. ඔබ මේ සඳහා නිසි වෛද්‍ය උපදෙස් ගෙන හිස කබල පිළිබඳ දැක්විය යුතු අවධානය නිසි පරිදි පවත්වාගෙන යනවා නම් හිස්හොරි ගැටලුවෙන් පීඩා විඳින්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මානසිකව වැටෙන්නට සිදුවන්නේ ද නැහැ.

7 comments:

  1. හොඳ දැනුවත් කිරීමක් යම් අයකුට"හිස්සොරි"තිබේ නම් ඒනිසා සමහර අතුරු අබාධ ඇති වෙන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. විශාල අතුරු අබාධ නම් නැහැ. නමුත් හිස කැසීම, හිසකේ වැටීම ආදිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිස් හොරි අධික නම් සහ ඒවා මුහුණට නිතර වැටෙනවා නම් එයින් යම්කිසි කරදරකාරී මානසිකත්වයක් ඇතිකරන්නට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම මුහණට ඒවා වැටීම නිසා මුහුණේ යම් යම් තැන්වල වියළි තත්වයක් ඇති විය හැකියි.

      Delete
  2. හොඳ ලිපියක්!!!! ඇන්ටි ඩැන්ඩ්‍රෆ් කියා විකුනන ශැම්පු වර්ගවල ඉහත සඳහන් රසායනයන්ගෙන් එකක් හෝ අඩ්ංගුවීම අනිවාර්යද?

    මේ අවසන් ඡේදයේ පලවෙනි වාක්‍ය නිවැරදි විය යුතු යැයි සිතමි. අකුරක එහා මෙහා වීමක් පේනවා. මම හරිද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් මේ රසායනික ද්‍රව්‍යවලින් එකක් තියෙනවා.

      ඔබ හරි අවසන් ඡේදයේ පළමු වාක්‍ය ගැළපීමේ වරදක් තිබුණා. පෙන්වා දීම ගැන ස්තූතියි. මම එය නිවරදි කළා.

      Delete
  3. වැදගත් ලිපියක්..
    ඔබ පල කර ඇති ජාත්‍යන්තර දින පෝස්ටුව මට ඉතාමත් වැදගත් උනා.. ඒ පිළිබඳව මගේ ස්තුුතිය ඔබට..
    මට එය විභාග කටයුත්තකට අවශ්‍ය උනා. මෙතනින් ගොඩක් විස්තර ගත්තා..
    ස්තුතී..

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතියි. ඇත්තටම මම මේ බ්ලොග් එකට හැකි තාක් යොමුකරන්නේ වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේ යැයි සිතෙන ලිපි. ඉතිං ඒවායෙන් ප්‍රයෝජනයක් ලබාගත් බව දැනගැනීමත් සතුටක්.

      Delete
  4. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න