පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, May 14, 2016

සීනි පමණ දැන පැණි බීම බොන්න - Drinks and Sugar Level



වෙළෙඳ පලේ අළෙවි කරන්නට ඇති සියලු පැණි බීමවල ඇති සීනි මට්ටම කොතෙක් ද යන්න සඳහන් කොට ඇති ලේබල් එම බීම ඇසුරුම්වල අලවා ප්‍රදර්ශනය කළ යුතුය යනුවෙන් නීතිමය විධි විධානයක් ලබන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත.  මෙම නීතිය බලගැන්වෙන්නේ  1980 අංක 26 දරණ ආහාර පනතේ 32 වැනි වගන්තිය ප්‍රකාරය. මෙය රජය විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ඉතාමත් ප්‍රශංසනීය කටයුත්තක් බව ප්‍රකාශ කළ යුතුය. කෙසේ වෙතත් ලබන අගෝස්තු වන විට මෙයට එරෙහිව හෝ මෙහි විධි විධානවලට එරෙහිව පැණි බීම නිපදවන බහුජාතික සමාගම් ඇතැම් විට විවිධ ක්‍රියා මාර්ගය ගැනීමට ද ඉඩ තිබේ. කෙසේ නමුත් මෙම නීතියට අනුව මිලිලීටර 100ක පානයක අඩංගු සීනි ප්‍රමාණය ග්‍රෑම් 11ට වඩා වැඩි නම් රතු පැහැයෙන් ද, සීනි ග්‍රෑම් 2 - 11 අතර ප්‍රමාණයක් අඩංගු නම් කහ වර්ණයෙන් ද, ග්‍රෑම් 2 ට වඩා අඩු නම් කොළ පැහැයෙන් ද ලේබල් සකස් කොට ඇළවිය යුතු බවට ද ඒවා භාෂා තුනෙන්ම තිබිය යුතු බවට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා නිවේදනයකින් දන්වා සිටියි. මෙම නීතිය කාබනේට් අඩංගු ක්ෂණික පානයන්,  නෙක්ටා වර්ග, පලතුරු යුෂ ආදී පාන සියල්ලක් සඳහාම අදාළ වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කොට සිටියේය. යම් කිසි ස්ථානයක අළෙවිය ඇති පැණි බීම වල මෙවැනි ලේබල් අලවා නොමැති නම් ඒ බව වහාම 0112368813 දුරකතන ඇමතුමකින් දන්වා සිටින ලෙසත් ඔහු වැඩි දුරටත් සිය නිවේදනයෙන් දන්වා තිබේ. 

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙවැනි පියවරක් ගැනීමට තීරණය කරන්නට ඇත්තේ මෑතක සිට අප රටේ දියවැඩියා රෝගී තත්වය ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණවලින් හෙලිවීමත් සමගය. එම සමීක්ෂණ මගින් පෙනවා දී ඇති තවත් කාරණයක් වන්නේ අප රටෙහි සීනි සහ ලුණු පරිභෝජනය ඉතා අධික මට්ටමක පවතින බවය. ශ්‍රී ලංකා දියවැඩියා සංගමය විසින් දැනුම් දෙන පරිදි අප රටෙහි දැනට සිටි සමස්ත දියවැඩි රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 4කටත් වඩා අධිකය. 

දියවැඩියා රෝගීන්ට පැණි බීම කෙසේවත් හිතකර වන්නේ නැත. නීරෝගී පුද්ගලයන්ට ද  පැණි බීම එතරම් හිතකර පානයක් නොවේ. ඇතැමුන් ඇතැම් වර්ගයේ බීම සඳහා ඇබ්බැහි වී සිටී. මේවා නිෂ්පාදනය කරන සමාගම් සිය වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් මගින් පොළඹවනු ලබන්නේ මේවා නිතර පානය කරන ලෙසය. ‛අහවල් බීම වර්ගය නැතිව කෑම එපා’ වැනි දැන්වීම් නිතර අසන්නට ලැබේ. මේවා සිතට ගෙන පැණි බීමට ඇබ්බැහි වීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ දියවැඩියා රෝගියෙක් බවට පත්වීමය. දියවැඩියා රෝගය වැළඳෙන්නට පෙර වළක්වා ගත හැකි වුව ද වැළදීමෙන් පසු වෙනත් බොහෝ ලෙඩරෝග මෙන් එය සහමුළින්ම සුවකිරීමට හැකියාවක් නැත. එවිට අදාළ පුද්ගලයාට සිදුවන්නේ සිය ජීවිත කාලය පුරාම බොහෝ ආහාර පානවලින්, විශේෂයෙන් කටට රස ආහාර පානවලින් අත්මිදී, බෙහෙත් පානය කරමින් ‛නීරස’ ජීවිතයක් ගත කරන්නටය. 

මෙම නීතිය  දියවැඩියාව ඇති නැති සියලු දොටම ප්‍රයේජනවත්ය. කෙසේ වෙතත් මැදිවිය පසු කොට ඇති බොහෝ දෙනෙක් පැණි රස සහ බීම වර්ග පරිභෝජනයට ගැනීමේදී දෙතුන් වරක් සිතති. දියවැඩියාව නැති මැදිවියේ පුද්ගලයකුට ඉඳහිට පැණි බීමක් පානය කළ ද එයින් වරදක් සිදුවන්නේ නැත. වරද වන්නේ මෙයට ඇබ්බැහි වීමය. කෙසේ නමුත් වෙළෙඳ පළේ අළෙවියට තබා ඇති පැණි බීම වර්ගවල කෙතරම් සීනී ප්‍රමාණයක් අඩංගු වන්නේ දැයි සොයා ගන්නට මගක් මෙතෙක් තිබුණේ නැත. නමුත් මේ නව පනත මගින් සියලු දෙනාටම එම තොරතුරු ලබා ගන්නට ප්‍රතිපාදන සැලසී තිබේ.  මේ අනුව අධික සීනි ප්‍රමාණයක් ඇති පැණි බීම වර්ග හඳුනාගෙන ඒවා පරිභෝනය කිරීම නවතා දැමිය හැකිය. මෙම දැනුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීම පාරිභෝගික ජනතාව අත පවතින්නක් වන අතර එයින්  නිවැරදිව ප්‍රයෝජනයට ගතහොත් දියවැඩියා රෝගී තත්වය යම් මට්ටමකට හෝ පහත දමා ගත හැකි බව ප්‍රායෝගික සත්‍යයකි. 

යම් පානයක කෙතරම් සීනි ප්‍රමාණයක් අඩංගු වේ දැයි  දන්නේ නම් නොදැන යම් පැණි බීමක් පානය කරන අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවකදීම පමණ දැන ඒවා පරිභෝජනය කිරීමට හැකියාව ලැබේ. නෑ හිත මිතුරකුගේ නිවසකට යන අවස්ථාවකදී ඇතැම් විට යම් පැණි බීමකින් සංග්‍රහයක් ලැබිය හැකිය. ඔබ එම බීම පිළිබඳ නොදන්නේ නම් එහි අඩංගු සීනි ප්‍රමාණය පිළිබඳ වැටහීමක් ලබාගත නොහැකිය. නමුත් පහත වගුව පිළිබඳ අවධානය යොමු කළ හොත් බොහෝ පානයන්වල අඩංගු සීනී සංයුතිය පිළිබඳ ඔබට යම් වැටහීමක් ලබාගත හැකි වනු ඇත.


 

2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න