පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 5, 2016

මළ මිනියටත් මේක් අප්! - Make up for Dead People!


මේ ඡායාරූප දෙස බලන්න. මේ සියල්ල මිය ගිය පුද්ගලයන්ගේ මෘත දේහ බව නම් බැලූ බැල්මටම ඔබට තේරුම් ගන්නට පුළුවන්. නමුත් වෙනස වන්නේ මේ මෘත දේහ හැඩගන්වා ඇති අන්දමයි. සාමාන්‍යයෙන් අප රටේ නම් බොහෝ විට යම් කිසි පුද්ගලයකු මිය ගිය විට සාමාන්‍ය පරිදි එම්බාම් කොට තබනවා මිසක් මෙසේ හැඩගන්වනු දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් විදෙස් රටවල නම් මෘත දේහ මේ ආකාරයට හැඩගන්වා තිබෙනු දකින්නට පුළුවන්. අපේ රටෙත් ඉඳහිට එවැනි අවස්ථා දකින්නට නැතිවාමත් නෙවෙයි. මේ කතා කරන්න සැරසෙන්නේ මෘත දේහ මේ ආකාරයට හැඩ ගැන්වීම ගැනයි.



ලෝකයේ රූපලාවන්‍ය ශිල්පය දියුණු වීමත් සමඟම මෘත ශරීරවලට ද හැඩගැන්වීමේ විවිධ ශිල්ප විධි දියුණුවට පත් වී තිබෙනවා. අප රටේ දක්නට නොලැබුණත් ලෝකයේ ඇතැම් දියුණු රටවල්, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මෘත ශරීරාගාර විද්‍යාව’ (Mortuary Science) නම් විෂයයක් ඉගැන්වෙනවා. එරට අවමංගල අධ්‍යක්ෂවරයකු බවට පත්වන්නට නම් මෘත ශරීරාගාර විද්‍යාව අනිවාර්යයෙන්ම හදාරා තිබිය යුතුයි. ඔවුන්ගේ විෂයධාරාව තුළ ශව රක්ෂණයඑසේත් නැත්නම් එම්බාම්කිරීම’ (Embalming) එක් අංගයක්. මෘත ශරීරයක් නරක් නොවී කිහිප දිනක් තබාගැනීමට අවශ්‍ය නම් එම්බාම් කරන බව ඔබ අප කවුරුත් දන්නවා. නමුත් මෘත ශරීරයක ජීවමානබව රැකගෙන එය දීර්ඝ කාලයක් සුරක්ෂිතව තබා ගත හැකි අන්දමින් එම්බාම්කිරීමේ අති නවීන ශිල්පීය ක්‍රම දැන් පවතිනවා. මේ පින්තූර දෙස බැලුවහොත් ඔබට ඒ බව හොඳින් වැටහේවි. මෙය හඳුන්වනු ලබන්නේ ශව රක්ෂණ රූපලාවන්‍ය ශිල්පයඑසේත් නම් එම්බාම් රූපලාවන්‍ය ශිල්පය’ (Embalming Makeup) නමින්. මෙම ශිල්පය ආශ්‍රිතව  මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පීන්’ (Mortuary Beauticians) නමින් වෘත්තිකයන් පිරිසක් ද බිහි වී සිටිනවා.



මෙහි ඇතැම් කාන්තාවන් පෙනෙන්නේ මිය ගොස් ඇති ආකාරයකට වඩා නින්ද ගොස් ඇති ආකාරයටයි. ඇතැම් මෘත ශරීර නිදා සිටින ඉරියව්ව පමණක් නොව යමකට හේත්තු වී සිටින ආකාරයෙන් ද සකසා ඇති බව පෙනෙනවා ඇති. ඇතැම් සිරුරුවල ඉරියව් සකස් කොට ඇත්තේ සාම්ප්‍රදායිකව මෘත ශරීරවල ඉරියව් සකස් කරන ආකාරයට නොවේ.  ඇතැම් මෘත ශරීරවල දෑත් බැඳ තබාගෙන සිටිනා ආකාරය ද යම් කලාත්මක ආකාරයකින්  ගොඩනගන්නට මෙම ශිල්පීන් උත්සුක වී ඇති ආකාරයක් දකින්නට ලැබෙනවා.

මෘත ශරීරයක් සාමාන්‍ය පරිදි එම්බාම් කළොත් වැඩි දිනක් යන්නට පෙර එය නරක් වන තත්වයට පත්වෙනවා. එපමණක් නොවෙයි එහි පෙනුම ද දුර්වර්ණ වෙනවා. නමුත් මෙහි ඇති පින්තූරවල ඇති මෘත ශරීරවල එසේ පෙනුම දුර්වර්ණ වීම වැළැක්වීම සඳහා විවිධ විද්‍යාත්මක ප්‍රයෝග භාවිත කොට තිබෙනවා. මේ සඳහා භාවිත කරන එක් ප්‍රධාන ක්‍රමයක් වන්නේ සිරුර පුරා එක්තරා විශේෂ ඉටි වර්ගයක් ආලේපකිරීමයි. මේවා සමේ පැහැයට ගැළපෙන පරිදි ඇති අතර අධික මිලෙන් ද යුක්තයි. මේවා යොදා සිරුර එම්බාම් කළ පසු මෘත ශරීරයේ පෙනුම වෙනස් නොවී වැඩි කාලයක් තබාගන්නට පුළුවන්. මිය ගිය තැනැත්ත ජීවත්ව සිටි කාලයේ පෙනුම, ඇතැම් අවස්ථාවලදී එයටත් වඩා සුන්දර පෙනුමක් ඇතිකරන්නත් පුළුවන්. අනෙක මෙසේ සුන්දර ලෙස මෘත ශරීරයක් හැඩගැන්වීම සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ සඳහා අධික මුදලක් ද වැය වෙනවා.




නමුත්  අනිත්‍ය බවට එරෙහි වන්නට නොහැකි ලෝකයේ අධික මුදලක් වියදම් කරමින් මෙසේ මෘත ශරීර හැඩගන්වා තබාගැනීමේ අරුත කුමක්දැයි මැදිහත් සිතින් මේ දිස බලන්නකුට පසක් නොවෙනවා නම් එතැන ඇත්තේ පුදුමයක්. අප රටේ තවමත් මෙවැනි කටයුතු සිදු නොවෙන මුත් මෙම ශිල්පය ප්‍රගුණ කළ ශිල්පීන් අප රටේ නැතිවා නොවෙයි. සැබවින්ම ඔවුන් සිය වෘත්තිය රැකගන්නට මෙවැනි ක්‍රම හඳුන්වා දෙනු විනා එයින් ජීවත්ව සිටින්නට සැබෑ ලෙස කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ජීවත්ව සිටිනවුන්ට යම් සැනසිල්ලක් ලැබුණ ද එය තාවකාලික දෙයක් පමණයි. තම හිතවතා හෝ හිතවතී මිය ගිය පසු ද ජීවමාන අයුරින් දැකීමෙන් එක්වර සතුටක් ඇති වුවත් එහි යට සැඟවී ඇත්තේ සැබවින්ම දුකක් පමණයි. වෙන්වීමක් පමණයි.


11 comments:

  1. පිස්සු නේ..
    මළ කෙනාට පාඩුවේ ඉන්න දුන්න නං වඩා හොඳයි.
    ලංකාවට ඕ සිස්ටම් එක හඳුන්වල දුන්නොත් නං තෝං ආදායම වැඩි වෙයි නේ

    ReplyDelete
    Replies
    1. ළගදිම පටන් ගනී. අපෙත් ඉන්නවානේ මේවට කැමති කට්ටිය.

      Delete
  2. ෆොටෝස් වල ඉන්නෙ මොඩ්ල්ස් ලා වගෙයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ මේ හැම එකක්ම මළ සිරුරු.

      Delete
  3. හෙටානිද්දට මැරෙන්න ඉන්න පොලිටීෂියන්ස්ලා ට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත.

      Delete
  4. පිස්සුනේ.....ශුවර් බලන්න අපේ අයත් ලඟදිම වැඩේට බහිනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්. පැකේජ් ක්‍රමයකුත් අදුන්වලා දෙයි.

      Delete
  5. මැරුණම තියන සැලකිල්ල

    ReplyDelete
    Replies
    1. මිනිසුස් ඉස්සරහ පේන්න ඉන්න අන්තිම දවස් ටිකනේ. ඒ නිසා ටිකක් ලස්සනට පේන්න තිබ්බට කමක් නෑ කියලා හිතන්න ඇති. අපේ අයත් ඒ විදිහටම හිතන්න පටන් ගනියි.

      Delete
  6. සෝමා එදිරිසිංහගේ මරණ ගෙදර තමයි ආදර්ශමත්ම මරණ ගෙදර.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න