පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, May 10, 2016

ෆේස්බුක් ගිණුමක් ඔබේ මරණින් පසු අනුස්මරණීය වන හැටි - Remembering Facebook Accounts


පසුගිය දවසක් දෙහිවලදී දුම්රිය අනතුරකින් මිය ගිය ඉමේෂි යසාරා පෙරේා සහ ෂෙරින් ස්වෙලීන් යන තරුණියන් දෙදෙනාගේ දුක්බර කතාව ඔබේ මතකයේ තවමත් ඇති. මේ අනතුර සිදුවී කිහිප දෙනෙක් ගතවන විට ඒ එක් තරුණියක් වන ඉමේෂි යසාරාගේ ෆෙස්බුක් ගිණුම යම් වෙනස්කමක් සිදුවුණා. ඒ නිසාම කවුරුත් ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම ඇගේ ෆේස්බුක් ගිණුමේ සිදුව තිබුණු වෙනස්කම තමයි එහි ඇගේ නමට ඉහළින් Remembering කියා වචනයක් සඳහන් වීම. එසේ සඳහන් වනවාට අමතරව ඇගේ ෆේස්බුක් පිටුවට අලුතින් යම් යම් දේවල්  එකතු වන බවත් පෙනෙන්නට තිබුණා. ඒ සියල්ල ඇගේ ජීවිතය ස්මරණය වන දේවල්. මරණයෙන් පසු යම් කිසිවකු ඇගේ ෆේස්බුක් ගිණුම පාලනය කරන බව තමයි මෙයින් පෙනෙන්නේ. ඇත්තටම මේ ආකාරයට  Remembering ලෙස වෙනස් කොට ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධව ඇති කතාව මොකක්ද කියලා ඕන කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැනයි මේ කියන්න යන්නේ.

Remembering කියන්නේ යමෙක් ගැන සිහිපත්කිරීම, ස්මරණය කිරීම, ආවර්ජනය කිරීම වැනි අදහසක් දෙන ඉංග්‍රීසි වදනක්. ඉමේෂි යසාරාගේ ෆෙස්බුක් ගිණුමේ ඇති තොරතුරුවලින් අපට දැනෙන්නේ ද එවැනි දෙයක්. ඇත්තටම යම් කිසිවෙක් මිය ගියාට පසු ඒ පුද්ගලයාට අයිතිව තිබූ ෆේස්බුක් ගිණුම අනුස්මරණීය ගිණුමක්’ (Remembering Account) බවට හැරවීමේ පහසුකම ෆේස්බුක් ආයතනය විසින් ලබා දී ලබා දී තිබෙනවා. ඔවුන් මේ පහසුකම ආරම්භ කළේ 2015 පෙබරවාරි 12 වැනිදා බවයි දැනගන්නට තිබෙන්නේ. ඒ දිනය වනතුරු ඔවුන් ලබා දී තිබුණු පහසුකම වූයේ යම් පුද්ගලයෙක් මිය ගියත්, එය සාමාන්‍ය ගිණුමක් සේ තිබෙන්නට හැරීම පමණයි. නමුත් මේ පහසුකමත් සමඟ බොහෝ දේවල් වෙනස් වුණා.

ෆේස්බුක් වෙබ් අඩවියේ Help Center යටතේ මේ බව සඳහන්ව තිබෙනවා. එහි මේ පිළිබඳව ඇත්තේ What will happen to my account if I pass away?  නමිනුයි. මා මිය ගියහොත් මගේ ෆේස්බුක් ගිණුමට සිදුවන්නේ කුමක්ද?’ කියා ඔවුන් අපට පවසනවා.


මෙම පහසුකම ලබාදීමට පෙර දී යම් කිසි පුද්ගලයෙක් මිය ගිය හොත් ඒ මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයකුට ඒ බව ෆේස්බුක් ආයතනයට දන්වා සිටින්නට පුළුවන්. නමුත් ඒ තැනැත්තා පවුලේ සාමාජිකයෙක් බව සත්‍යාපනය වී (vetyfied) තිබිය යුතුයි. එනම් ජීවත්ව සිටින පවුලේ සාමාජිකයාට ෆේස්බුක් ගිණුමක් තිබිය යුතු අතර එම ගිණුමට අදාළ ජීවත්ව සිටින තැනැත්තා තමාගේ පවුලේ සාමාජිකයෙන් බව මිය ගිය තැනැත්තාගේ ෆේස්බුක් ගිණුමේ නිල වශයෙන් සඳහන්ව තිබිය යුතුයි. එසේ නොමැතිව දන්වා සිටින කිසිවක් ෆේස්බුක් ආයතනය පිළිගන්නේ නැහැ. මෙසේ දැන්වීමෙන් පසු අවශ්‍ය නම් එම ගිණුම ඉවත්කිරීම සිදු කළ හැකියි. එසේත් නැත්නම් සාමාන්‍ය ගිණුමක් ලෙස ප්‍රදර්ශනය වන සේ තැබිය හැකියි. නමුත් ජීවත්ව සිටිනසත්‍යාපනය වුණු පවුලේ සාමාජිකයෙකුට පවා එම ගිණුමට ප්‍රවේශවන්නට පහසුකම ලබාදෙන්නේ නැහැ. එසේ ප්‍රවේශවන්නට හැක්කේ ඔවුන් පෞද්ගලිකව එම ප්‍රවේශවීමේ තොරතුරු දැන සිටිනවා නම් පමණයි.

කෙසේ නමුත් මේ පහසුකම ලබාදීමෙන් පසු යම් කිසි පුද්ගලයකුගේ මරණයෙන් පසු එම ගිණුමේ භාරකාරීත්වය පැවරෙන්නේ කාටද කියා අදාළ ගිණුම හිමි පුද්ගලයාට කලින්ම නම් කොට තබන්නට පුළුවන්. එසේ නම් කළේ නැත්නම් අනුස්මරණීය ගිණුමක් පවත්වාගෙන යන්නට හැකියාවක් නැහැ. ගිණුමේ භාරකාරීත්වය පැවරීමේදී එම භාරකාරීත්ව උරුමය ඇති පුද්ගලයා (Legacy Contact) මේ ආකාරයට නම් කළ හැකියි. ඔබේ ෆේස්බුක් ගිණුමේ පහළට දිගහැරෙන මෙනුවේ ඇති settings යන්න තෝරන්න. ඉන්පසු security තෝරන්න. ඒ යටතේ Legacy Contact යනුවෙන් සඳහන් තිබෙනවා. එතැනදී දැනට ෆේස්බුක් ගිණුමක් හිමි ඔබට වඩාත් විශ්වාසවන්තම පුද්ගලයකු ඔබගේ Legacy Contact ලෙස නම් කළ හැකියි. එසේ සැකසීම් කරන ලද ගිණුමක් හිමි පුද්ගලයෙක් මිය ගිය බවට නිල වශයෙන් ෆේස්බුක් ආයතනට දන්වා සිටිය යුතුයි. එය මෙහි භාරකාරත්වය පවරන ලද පුද්ගලයාට හෝ සත්‍යාපනය කරන ලද පවුලේ සාමාජිකයෙකුට හෝ සිදු කළ හැකියි. එවිට මිය ගිය පුද්ගලයාගේ නමට ඉළින් Remembering ලෙස සඳහන් කෙරෙමින් එය අනුස්මරණීය ෆේස්බුක් ගිණුමක් බවට පත් වෙනවා. ඉන් පසුව එහි පාලනය පැවරෙන්නේ එහි භාරකාරත්වය පැවරුණු (Legacy Contact) පුද්ගලයාටයි.

කෙසේ නමුත් මේ භාරකාත්වය පැවැණු පුද්ගලයාට මේ ගිණුමට ප්‍රවේශ වී එහි ඇති පණිවිඩ කියවීම හෝ වෙනත් සැකසීම් වෙනස් කරන්නට, ඒ ගිණුම භාවිත කරමින් වෙනත් පුද්ගලයන් සමග ගනුදෙනු කරන්නට හැකියාවක් ලබාදෙන්නේ නැති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අදාළ පුද්ගලයා මිය යන්නට පෙර සිදුකළ පෞද්ගලිකත්ව සකස්කිරීම්’ (privacy settings) සීමාව ඇතුළත භාරකාරීත්වය පැවරෙන පුද්ගලයාට යම් යම් දේ කළ හැකියි. මේ අනුව ඡායාරූප පළකිරීම, යම් යම් සටහන් තැබීම ආදිය සිදු කළ හැකියි. ඒ වාගේම අනුස්මරණීය ෆේස්බුක් ගිණුමක් කිසිම අවස්ථාවකදී පුද්ගලයන් අතර මිතුරු යෝජනා සඳහා පෙන්නුම් කෙරෙන People You May Know, දැන්වීම්, උපන් දින මතක් කිරීම් (Birthday Reminders) ආදිය සඳහා පෙන්නුම් කෙරෙන්නේ නැහැ.

මේ භාරකාරීත්වය හිමි පුද්ගලයාට අවශ්‍ය නම් මිය ගිය පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම බාගත කළ හැකියි. නමුත් එසේ බාගත කරන ලද පිටපතේ අදාළ ගිණුමට අයත් පෞද්ගලික තොරතුරු ඇතුළත් වන්නේ නැහැ.


අනුස්මරණීය ෆේස්බුක් ගිණුමක් (Remembering Facebook Account) පිළිබඳව මූලික කරුණු මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ අනියත ජීවිතයේ මිය ගිය පුද්ගලයෙක් ගැන අනුස්මරණය කරන්නට, ඔවුන් පිළිබඳ අත්දැකීම් බෙදා හදා ගන්නට ජීවත් වන්නවුන්ට හට ලබා දී ඇති මේ පහසුකම් පිළිබඳ ලොව පුරා බොහෝ දෙනෙක් සුබවාදීව කතා කරන බවත් සඳහන් කළ යුතුයි.

5 comments:

  1. මේක නියම වැඩක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. තමන් කවදාවත් මැරෙන්නේ නෑ වගේ හිතලා ෆේස්බුක් එකේ පෝස්ට් දාන අයට, තමා ද යම් දවසක් මිය යන බවට මතක් කර දෙන්නත් මේක හොද අවස්ථාවක්.

      Delete
  2. අන්තෝ ජටා...බහී ජටා
    සකර්බර්ග් සරණං ගච්චාමි....

    මැරුනත් ෆේස්බුක් එකෙන් නම් ගැලවිල්ලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. සකර්බර්ග් කියන්නේ ඉතිං නිකංද මං අහන්නේ?

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න