පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, August 6, 2016

ගැහැනු පිරිමින්ට වඩා ජීවත් වෙනවාද? Life Expectancy Man Vs. Woman



පාසල් ගිය කාලය කාලයේ ආර්ථික විද්‍යාව හෝ භූගෝලය හැදැරූ අයෙක් සිටිනවා නම් ඔබට ‛ආයු අපේක්ෂාව’ ( Life Expectancy) යන්න අමුතු දෙයක් නොවනු ඇත. යම්කිසි පුද්ගලයෙක් උපන් අවස්ථාවේදී ඔහු හෝ ඇය ජීවත් වේ යැයි සළකනු ලබන උපරිම ආයු කාලය සාමාන්‍යයෙන් මේ නමින් හඳුන්වයි. අපේ රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ආයු අපේක්ෂා සංඛ්‍යාලේඛණ පිළිබඳ මඳක් අවධානය යොමු කළ හොත් පැහැදිලිව පෙනී යන එක් කරුණක් තිබේ. ඒ සෑම රටකම ගැහැනු පිරිමින්ට වඩා වැඩි ආයු අපේක්ෂාවකින් යුක්ත බවය. අපි පහත ඇති උදාහරණ දෙස බලමු. මේ සංඛ්‍යාලේඛනය උපුටා ගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බව ද සැළකිය යුතුය. 

ශ්‍රී ලංකාව - ගැහැනු අවු. 77, පිරිමි අවු. 73
ඉන්දියාව - ගැහැනු අවු 72, පිරිමි 67
ඇමරිකා එක්සත් ජනපදය - ගැහැනු අවු. 80, පිරිමි අවු. 75
මහා බ්‍රිතාන්‍යය - ගැහැනු අවු. 82, පිරිමි අවු. 79
සෝමාලියාව - ගැහැනු අවු. 56, පිරිමි අවු. 53 

මේ ලැයිස්තුව තව කෙතරම් ලියාගෙන ගිය ද තත්වය මෙසේය. අප සාමාන්‍යයෙන් අප අවට සිදුවන ස්වභාවික මරණ පිළිබඳ සළකා බැලුව ද මේ තත්වය මෙසේ බව අවබෝධ වේ. සැබැවින්ම මෙය පසුපස පවතින කාරණය කුමක්ද කියා සිතා බැලීමේ වරදක් නැත. මේ පිළිබඳව සොයා බලන්නට සිතී ඇත්තේ අපට පමණක් නොවේ. ලෝකයේ විවිධ රටවල වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු ද මේ පිළිබඳව පර්යේෂණ පවත්වා තිබේ. ඇතැමෙක් සිතන්නේ ගැහැනුන්ගේ හෝර්මෝන මගින් ඔවුන්ට පිරිමින්ට වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙන බවය. මේ නිසා ගැහැනු, පිළිකා වැනි දරුණු රෝග තත්වයන්ට බඳුන් වන්නේ පිරිමිනට වඩා පසු කාලයේදීය. 

එමෙන්ම ඇතැම් පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ ගැහැනුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිරිමින්ට වඩා ශක්තිමත් බවය. අපගේ සිරුරේ ‛තයිමස’ නම් ග්‍රන්ථියක් තිබේ. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය කරන ‛ටී’ සෛල නිපදවනු ලබන්නේ මෙහිය. ගැහැනු හා පිරිමි වයස්ගතවත්ම මෙම ග්‍රන්ථිය මගින් ටී සෛල නිපදවීම අඩුවන නමුත් ගැහැනුන්ගේ එම තත්වය පිරිමින්ගේ තරම් අඩුවන්නේ නැති බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. වයස්ගත වද්දී පැරණි ‛ටී’ සෛලවලින් ප්‍රයෝජනයක් ඇත්තේ නැත. අලුත් ඒවා නිපදවෙන්නේ නම් එය සිරුරේ ආරක්ෂාව පැත්තෙන් ගතහොත් ඉතා වාසිදායකය. නමුත් පිරිමින්ගේ එම තත්වය ඉතාමත් පහත් අඩියකට පත්ව ඇති බැවින් ඔවුන්ට ගැහැනුන් හා සමාන ආයු අපේක්ෂාවක් භුක්ති විඳින්නට වාසනා මහිමයක් නැති බව කිව හැකිය. 

ඇතැම් පර්යේෂණවලින් සොයා ගෙන ඇත්තේ අනාගත පරපුර පෝෂණය කිරීමේ හැකියාව ඇත්තේ ගැහැනුන්ට නිසා ඔවුන් ස්වභාවිකම පරිණාමය වී ඇත්තේ වැඩි කාලයක් ජීවත්වන්නටය බවය. දරුවකු පිළිසිඳ ගැනීමේදී ඒ දරුවාට පියාගෙන් සහ මවගෙන් එක සමාන වර්ණ දේහ ලැබුණත්, ගැහැනු දරුවකුට ලැබෙන වර්ණ දේහවල ගුණත්වයේ යම් වෙනසක් ඇති බව එම පර්යේෂණය සිදු කළ අය පවසති. මේ නිසා ගැහැනුන්ගේ ශාරීරික කොටස් පිරිමින්ගේ තරම් ඉක්මණින් ක්ෂය වන්නේ නැත. මේ නිසා ගැහැනුන්ට යම් යම් රෝගාබාධ වැළදෙන්නට පටන් ගන්නේ පිරිමින්ට වඩා ප්‍රමාදවී ය. අනෙක කාන්තවෙන්ගේ සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසා ඔවුන්ගේ ඔසප් නවතින තුරුම රුධිර නාලිකාවලට අතිරේක ආරක්ෂාවක් ලැබෙයි. එය හෘද රෝග ඇතිකිරීම ප්‍රමාද කරයි. පිරිමින්ට එවැනි වාසියක් නොමැත. 

පිරිමින්ගේ වැඩි වශයෙන් ඇති ටෙස්ටස්රෝන් හෝමෝනය  පිරිමින්ට අවාසිදායකය. මේ හෝර්මෝනය නිසා පිරිමින් බහුල වශයෙන් හෘද රෝග සහ පුර්ස්ථිත පිළිකාවලට බඳුන් වෙයි.

පිරිමි ගැහැනුන්ට වඩා අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ වැඩි බව සොයා ගෙන තිබේ. මෙයින් අදහස් වනුයේ  සිදුවිය හැකි යම් යම් අනතුරුදායක තත්වයන් පිළිබඳ කාන්තාවන්ගේ ‛ඉව’ පිරිමින්ට වඩා වැඩි බවය. එයට හේතුව මිනිස් මොලයේ ඇති ‛ලලාට කණ්ඩිය’ නම් කොටස පිරිමින්ගේ වර්ධණය වන්නේ ගැහැනුනට වඩා මන්දගාමීව වීමය. අපට යම් යම් අනතුරු තත්වයන් පිළිබඳ ඉවක් ලැබෙන්නේ මෙම කණ්ඩියෙන් බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. 

පිරිමින්ට වඩා ගැහැනුන්ගේ සමාජ ආශ්‍රය වැඩි වීම ද වුන්ගේ ආයු කාලය වැඩි කරන්නට හේතුවී ඇති බව තවත් පර්යේෂණයක් මගින් හෙළිවී තිබේ. ගැහැනුන් සිය ගැටලු නිතරම සිය හිත මිතුරන් සමඟ කතා කොට සිතේ ඇති බරින් නිදහස් වන නමුත් පිරිමින් බොහෝ දෙනෙකු කරන්නේ සෑම දුක් කම්කටොලුවක්ම පපුවේ හිරකරගෙන සිටීමය. නමුත් මෙය අදාළ වන්නේ බොහෝ විට අවිවාහක පිරිමින්ටය. විවාහක පිරිමි සිය බොහෝ ගැටලු බිරිඳ සමඟ කතා බහ කරන බැවින් එකම වයසේ සිටින විවාහක පිරිමි ඒ වයසේ අවිවාහක පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වන ද සොයා ගෙන තිබේ. 

ගැහැනුන් පිරිමින්ට වඩා සිය සෞඛ්‍ය පිළිබඳ සැළකිලිමත්වීම ද මෙම ආයු කාලය වෙනස්වීමට බලපාන තවත් සාධකයක් වී තිබේ.  ගැහැනු සුළු අසනීපයක් පෙන්නුම් කළ ද වෛද්‍යවරයෙකු සොයා යන අතරේ පිරිමි පවසන්නේ “මට ඇති ලෙඩක් නැහැ’ යන්නය. එයට හේතුව වෛද්‍යවරයකු හමුවට යාමට තරම් සිය ශරීරය දුර්වල වී ඇතැයි යන්න පිළිගැනීමට බොහෝ පිරිමි අකැමැති බැවිනි. 

විවිධ පර්යේෂකයන් තවත් මෙවැනි පර්යේෂණ රැසක්ම සිදු කොට තිබේ. ඒ සියල්ලෙන්ම පෙන්නුම් කරනුයේ ඔවුන් සළකා බැලූ විවිධ කාරණාවලට අනුව පිරිමින්ගේ ආයු අපේක්ෂාව ගැහැනුනට වඩා අඩු බවය. කෙසේ වෙතත් දැනට වසර ගණනාවකට පෙර ගැහැනු හා පිරිමි අතර පැවති ආයු අපේක්ෂා අවුරුදු ගණන අතර ඇති පරතරය සෑහෙන දුරට අඩුවෙමින් පවතින බව ද පැවසිය යුතුය. ඒ බොහෝ විට අතීතයට වඩා වර්තමානයේදී ගැහැනු මෙන්ම පිරිමි ද සිය සෞඛ්‍ය පිළිබඳ සැළිකිලිමත් වන්නට පටන් ගෙන ඇති නිසා විය හැකිය. නමුත් පිරිමින්ට වඩා ගැහැනු වැඩි කාලයක් ජීවත් වීම නම් මිනිස් සංහතිය පවතින තුරුම පවතිනු ඇත.

6 comments:

  1. නියම ලිපියක්. මටත් ගොඩ කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක් ඕක.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. මටත් ඒක ප්‍රශ්නයක් වුණු නිසාම තමයි විස්තර හොයන්න ඕන කියලා හිතුවේ.

      Delete
  2. තමුන් ආදරේ කරන කෙනාට ආයුෂ අඩුයි කියලා දැනගත්තම,කාන්තා ආයුෂ වැඩි වීම ගැන කිසිම සතුටක් දැනෙන්නේ නැහැනෙ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතිං ලෝක ධර්මතාවයට විරුද්ධව යන්නත් බැහැ නේ.

      Delete
  3. සිංහල ඉලක්කම් ගැන ලිපියක් ලියන්න පුළුවන්ද. මේ වනවිට සිංහල ඉලක්කම් යුනිකෝඩ් වලට දමලා, නමුත් ඒවා ඇති අකුරු මෝස්තරයක්වත්, යතුරුපුවරු ආදාන ක්‍රමයක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. විස්තර ටිකක් හොයාගෙන ලියන්නම්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න