පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, February 4, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 7 කොටස - New Gadgets for New World Part 7

කොහේ ගියත් දුරකතනය ආරෝපණය කරගන්න නම්



ගමන් බිමන් යද්දි, විශේෂයෙන් නොදන්නා පළාත්වලට විනෝද චාරිකා ආදිය යද්දි විදුලි බලය ගැන ගැටලු ඇතිවෙන්න පුළුවන්. නවාතැන් පහසුකම් තිබුණත් ඇතැම් විට විදුලි බලය නැති වෙන්න පුළුවන්. මේ ගැටලුවට විසඳුමක් විදිහයට සූර්ය බලයෙන් ජංගම දුරකතන ආරෝපණය කරන්න පුළුවන් උපාංගයක් වෙළෙඳ පළට ඇවිත් තිබෙනවා. මෙවැනි ඒවා බොහෝ තිබුණත් මෙහි විශේෂත්වය වන්නේ ඔබේ නවාතැනේ ජනෙල් වීදුරුවේ රික්තක බලයෙන් සවි කළ හැකි ආකාරයට සකස් කොට තිබීමයි. එවිට කවුළුවට පතිත වන හිරු එළිය වැඩිම ප්‍රමාණයක් මෙයට උරාගන්නට එයට පුළුවන්. මිලි ඇම්පියර් 1000 නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් මෙහි තිබෙනවා. මෙය හිරු එළියෙන් වගේම විදුලි බලයෙන් ද ආරෝපණය කරන්නටත් පුළුවන්. ඒ නිසා ‛පවර්බෑන්ක් එකක් ලෙස භාවිත කරන්නටත් පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 49ක් (රු.7000) පමණ වෙනවා.


වැඩි බලයක් සහිත පවර්බෑන්ක් එකක්



‛පවර්බෑන්ක්’ කිව්වම දැන් කවුරුත් දන්නවා මේ මොනව ගැනද කියන්නේ කියලා. හදිසියේ ඔබේ ජංගම දුරකතනය නිවසේදී ආරෝපණය කරගන්නට නොහැකි වුණොත්, රාත්‍රියේ විදුලිබලය ඇණ හිටියොත්, විදුලි බලය නැති පළාතාකට රාත්‍රියක්, දෙකක් ගත කරන්න වුණොත් දුරකතනය ආරෝපණය කරගන්නට ගැටලු ඇතිවෙනවා. නමුත් හොඳ පවර්බෑන්ක් එකක් තිබේ නම් මේ කිසිවක් තවදුරටත් ගැටලු වන්නේ නැහැ. විවිධ වර්ගයේ පවර්බෑන්ක් වෙළෙඳ පළේ දකින්නට තිබුණත් ඒවායේ බලය වැඩිවෙන තරමට මිල ද ඉහළයි. නමුත් ‛ඇන්කර් ඇස්ට්‍රෝ ඊ4’ (Anker Astro E4) කියන පවර්බෑන්ක් එක එයට වඩා වෙනස්. මෙහි මිලි ඇම්පියර් 13000ක බලයක් සහිත බැටරියක් තිබෙන අතර ස්මාර්ට් වර්යේ ජංගම දුරකතන 6ක් ආරෝපණය කරන්නට තරම් හැකියාවක් තිබෙනවා. ඒ වගේම ජංගම දුරකතන දෙකක් එකවර ආරෝපණය කරන්නටත් පුළුවන්. මෙවැනි හැකියාවක් සහ බලයක් ඇති පවර්බෑන්ක් එක්ක වෙළෙඳපළේ සෑහෙන මිලකින් යුක්ත වුණත් ‛ඇන්කර් ඇස්ට්‍රෝ ඊ4’ ඇමසන් කියන අන්තර්ජාල පොලෙන් ඇමරිකානු ඩොලර් 45කටත්  (රු.6500) වඩා අඩුවෙන් මිලට ගන්න පුළුවන්. 



ලයිට් පත්තු වෙන ටීෂර්ට්


අද විවිධ වර්ගයේ ඇඳුම් ආයිත්තම් වෙළෙඳපළේ දකින්නට පුළුවන්. ඒවා අතරේ මේ පවසන්නට යන ටීෂර්ට එක විශේෂයි. විශේෂයි කියා සඳහන් කළේ මෙයින් ආලෝකය විහිදුවන්නට පුළුවන් නිසයි. එහි පපු කොටස් ඇති එල්ඊඩී පැනලයට  සංගීත උපාංගයක මෙන් හඬට අනුව උස්පහත් වෙමින් ආලෝකය නිකුත් කරන්නට පුළුවන්. එහි ඇති කුඩා මයික්‍රෆෝනයකින් හඬ උකහාගෙන ඒ අනුව මෙහි ආලෝකය නිකුත් කරනවා. සංගීත සංදර්ශන, සාද, විනෝදගමන්වලට ඉතා කදිම වර්ගයේ ටී ෂර්ට් එකක් විදිහට මෙය හඳුන්වා දෙන්නට පුළුවන්. ඇමරිකානු ඩොලර් 13ක් (රු. 1900ක් පමණ) ලෙස මිල සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් මේ ගැන විස්තර සඳහන් කර තිබූ වෙබ් අඩවියේ මෙය සෝදන ක්‍රමයක් ගැන නම් සඳහන් කර තිබුණේ නැහැ.


හෝදමින් නවමින් පාවිච්චි කළ හැකි යතුරු පුවරුවක්


පරිගණක යතුරු පුවරු භාවිත කිරීමේදී සමහර වෙලාවට ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකියි. කොතැනකට හෝ එය රැගෙන යන්නට අවශ්‍ය වූ විට ඒ සඳහා සම්පුර්ණම ඉඩක් වෙන් වෙනවා. ඒ වගේම හදිසියේ යම් දියරයක් එය මතට හැලුනොත් ඔක්කෝම ඉවරයි. මේ වගේ ගැටලු ගැන හිතපු කවුරු හරි මෙන්න මේ යතුරු පුවරු නිර්මාණය කරලා තියෙනවා. එහි විශේෂත්වය තමයි රබර්වලින් සාදා තිබීම. ඒ නිසා කොහේ හරි අරන් යනවා නම් රෝල්කරගෙන පුංචි ඉඩක් අස්සේ අරගෙන යන්න පුළුවන්. ඒ වගේම සෝදන්නත් පුළුවන්. ඒ කියන්නේ ජලයට හොඳින් ඔරොත්තු දෙනවා. මිල ගැන සඳහන් කළොත් සාමාන්‍ය හොඳ වර්ගයේ යතුරු පුවරුවක් සහ මෙය අතර මිලෙහි වැඩි වෙනසක් නැහැ. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 20ක් (රු. 2,900)කට මිලට ගන්න පුළුවන්.

පෙර ලිපිය






Tuesday, February 2, 2016

සිකා වෛරසය ගැන ඔබ දත යුතු දේ - Thing you should know about Zika Virus


මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිතර කතා බහට ලක්වන එක් සුවිශේෂී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ‛සිකා’ (Zika) වෛරසයයි. මෙය දිවා කාලයේ සක්‍රිය ‛ඊඩිස්’ (Aedes) නම් මදුරු විශේෂයන් ඔස්සේ බෝවන්නේ යැයි සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ද ඊඩිස් වර්ගයේ මදුරුවන් බහුලව සිටින බැවින් අප රටට ද මෙම වෛරසයේ තර්ජනයක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. එසේ හෙයින් මෙම සිකා වෛරසය පිළිබඳව දැන සිටීම සෑම අතින්ම ප්‍රයෝජනවත්ය.

කවුරුත් දන්නා පරිදි සිකා වෛරසය බෝවන්නේ මදුරු දෂ්ටනය ඔස්සේය. උණ, සිරුරේ දද මතුවීම, හන්දි අමාරුව සහ ඇස් රතු පැහැ ගැන්වීම මෙහි පොදු රෝග ලක්ෂණ වේ. රෝග තත්වය එතරම් දරුණු තත්වයක් නොපෙන්වන අතර දින කිහිපයක සිට සතියක පමණ කාලයක් දක්වා පවතී. මෙය බරපතල තත්වයට පත්ව රෝහල් ගත කරන්නට සිදුවූ අවස්ථා වාර්තා නොවන තරම්ය.

මෙය මුල්වරට හඳුනාගනු ලැබූයේ 1947 වසරේදීය. ඒ කහ උණ පිළිබඳ පර්යේෂණ ආයතනයක විද්‍යාඥයින් පිරිසක් විසින් උගන්ඩාවේ වික්ටෝරියා විළ අසල වූ සිකා වනාන්තරයේ කූඩුවල දමා සිටි රීසස් වර්ගයේ වඳුරෙකුගෙනි. එය දෙවැනි වරට සොයා ගත්තේ 1948 වසරේදී එම ස්ථානයේදීම ‛ඊඩිස් ඇෆ්‍රිකානුස්’ (Aedes africanus) නම් මදුරුවෙකුගෙනි. මෙය මදුරුවන් මගින් බෝවන වෛරසයක් ලෙස හඳුනාගනිමින් පර්යේෂකයන් විසින් 1952 වසරේදී එය ‛සිකා’ ලෙස නම් කරනු ලැබිණි. මෙය මුල්වරට මිනිසකුගේ සිරුරේ තිබී හඳුනා ගනු ලැබූයේ 1968 වසරේදී නයිජීරියාවෙනි. 1951 සිට 1981 අතර තුර කාලයේ මෙය මිනිසුන්ට බෝවී ඇති බව බවට පසු කාලයේදී බොහෝ අප්‍රිකානු රටවල්වලින් වාර්තා විය. එමෙන්ම ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය යන ආසියානු රටවලින් ද මෙම වෛරසය වාර්තා වී තිබේ.

බෝ විය හැකි ආකාර

1. මදුරු දෂ්ටන
මෙය මූලික වශයෙන්ම බෝවන්නේ මදුරු දෂ්ටනයෙන් බව අපි කතා කළෙමු. විශේෂයෙන් ‛ඊඩිස්’ වර්ගයේ මදුරුවන්ගෙන් බෝවන අතර ඩෙංගු සහ චිකුන්ගුන්යා වෛරසය පතුරුවන්නේ ද මෙම වර්ගයේ මදුරුවන්මය. අප රටේ මෙම මදුරුවන් බහුල බැවින් මෙය පිළිබඳ වඩාත් සැළකිලිමත් වීම සිහිකටයුතුය.

වතුර භාජන, බාල්දි, සතුනට ජලය ලබාදෙන භාජන, මල් බඳුන් ආදියෙහි ඇති නිශ්චලව පවතින දියෙහි මෙම මදුරුවන් බිත්තර දමයි. ඔවුන් මිනිසුන් සිටින අවට ගැවසෙමින් දෂ්ට කරන්නට කැමැත්තක් දක්වන බව සොයාගෙන තිබේ. එමෙන්ම මොවුහු  දිවා කාලයේදී නිවෙස් තුළදී මෙන්ම නිවෙස්වලින් පිටතදී ද ඉතා සක්‍රියව මිනිසුන්ට දෂ්ට කරති. එමෙන්ම රාත්‍රී කාලයේදී ද මොවුන්ට දෂ්ට කිරීමට හැකියාව පවතින නිසා දිවා රාත්‍රී දෙකෙහිදීම මොවුන්ගෙන් ප්‍රවේශම්වීමට වග බලා ගත යුතුය.

මෙය වැළඳුනු පුද්ගලයකුට මදුරුවකු දෂ්ට කළ විට මදුරුවා ද එම වෛරසයෙන් ආසාදනය වන අතර එම මදුරුවාගෙන් තවත් පුද්ගලයකුට ද වෛරසය පැතිරී යයි.

2. මවගෙන් දරුවාට

කලාතුරකින් මවගෙන් දරුවාට මෙම වෛරසය බෝවූ අවස්ථාවන් ද අසන්නට ලැබේ. දරුවා බිහි කරන්නට ආසන්න අවස්ථාවකදී මවකට මෙම වෛරස් ආසාදනය ඇති වුවහොත්, අලුත ඉපදෙන දරුවාට ද මෙම වෛරසය බෝවීමට ඉඩ ඇති මුත් එය ඉතාමත් කලාතුරකින් සිදුවන්නකි. එමෙන්ම ගර්භනී අවධියේදී ආසාදිත මවගෙන් කළලයට මෙම වෛරසය පැතිරී යන්නට ද ඉඩ තිබේ. නමුත් මේ පිළිබඳව මෙතෙක් නිශ්චිත අදහසක් ඉදිරිපත් කොට නැත.  කෙසේ නමුත් වෛරස් ආසාදිත මවගේ කිරි ඔස්සේ දරුවාට මෙම වෛරසය පැතිරී යන බවට මෙතෙක් කරුණු හෙළිවී නැත. එබැවින් කිරි දෙන මවකට මෙම වෛරසය බෝවී ඇත් නම් දරුවාට කිරි දීම අඛණ්ඩව සිදුකරන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති.

3. ලිංගික සම්බන්ධතා මගින්

රුධිර පාරවිලයනය  සහ ලිංගික සම්බන්ධතා ඔස්සේ ද මෙම වෛරසය පැතිරුණු අවස්ථා වාර්තා වී තිබේ.

බරපතල තත්වයන්

ලඝු ශීර්ෂතාවය

සිකා වෛරසය සාමාන්‍යයෙන් බරපතල නොවූව ද ඇතැම් අවස්ථාවලදී සංකීර්ණ තත්වයන්ට පත් වේ. ‛ලඝු ශීර්ෂතාවය’ (microcephaly) සහ මොලයට යම් යම් හානි සිදුවීම මෙහි සංකීර්ණ අවස්ථාවන් වේ. මෙහිදී ‛ලඝු ශීර්ෂතාව’ යනුවෙන් සඳහන් කෙරෙන්නේ හිසෙහි වර්ධණය අඩපණ වීමය. වයසට සරිලන පරිදි හිසෙහි වර්ධණය සිදු නොවන අතර ඒ නිසා මොලයේ වර්ධනය ද අඩපණ වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවගේ බුද්ධි වර්ධනය අඩපණ වන්නට ඉඩ තිබේ. මෙම තත්වය සොයා ගනු ලැබූයේ 2015 (පසුගිය වසරේ) දෙසැම්බර් මාසයේදී වූ අතර සිකා වෛරස් ආසාදනය සහ ලඝු ශීර්ෂතාවය අතර සම්බන්ධතාවයක් පවතින බව තහවුරු විය. නමුත් ලඝු ශීර්ෂතා සිදුවීම් අතරින් කොපමණ සංඛ්‍යාවක් සිකා වෛරසය සමඟ සම්බන්ධ දැයි මෙතෙක් අනාවරණය වී නැත.

රෝගය වළකා ගැනීම

සිකා වෛරසය සඳහා තවමත් කිසිදු එන්නතක් සොයාගෙන නැත. කළ යුතු හොඳම දෙය නම් මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීම සඳහා හැකි සියලු පියවර ගැනීමය. ඔබ ප්‍රදේශයේ දිවා සහ රාත්‍රී කාලයේ මදුරුවන් බහුලව සිටින්නේ නම් මදුරුවන් පළවා හරින උපක්‍රම, ආලේපන ආදිය භාවිත කිරීම වඩාත් සුදුසු වේ. කෙසේ නමුත් අවුරුදු 2කට වඩා වයසින් අඩු දරුවන් සඳහා මදුරුවන් පළවා හරින ආලේපන භාවිත කිරීමෙන් වළකින්න. ඔවුන්ගේ සම්පූර්ණ සිරුර ආවරණය වන පරිදි ඇඳුම් අන්දවන්න. නිදාගැනීමේදී මදුරු දැල් භාවිත කරන්න.

රෝගය වැළඳුනු විට


ඩෙංගු රෝගයට මෙන් මෙයට ද විවේකය අවශ්‍ය වන අතර වෙනත් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් නැත. විජලනයෙන් වැළකීම සඳහා හැකිතාක් ජලය පාලය කළ යුතුය. උණ සහ වේදනාව සමනය කිරීම සඳහා වෛද්‍ය උපදෙස්වලට අනුව ඖෂධ ලබාගත යුතුය. ඇස්පිරින් වර්ග කිසිවක් භාවිතයට ගැනීමෙන් වළකින්න. ආසාදිත පුද්ගලයකු ඔස්සේ මදුරුවන්ගේ මාර්ගයෙන් වෛරසය පැතිරී යා හැකි බැවින් එය වැළැක්වීමට ද කටයුතු යෙදිය යුතුය.

Monday, February 1, 2016

විභව ගණිකාවන්ගේ පරෙස්සම් වන්න - Beware of Potential Protitutes


අගනගරයේ පිහිටි සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරයකි. එය ව්‍යාපාරික ලෝකයේ මෙතරම් ඉහළ තැනකට ගෙන එන්නට වෙහෙස මහන්සි වූ පුද්ගලයන් අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් තරුණ සාමාජිකයකු වන ‛කණිෂ්ක’ (අනවර්ත නාමයකි) සුවිශේෂීය. ඔහුගේ සියුම් ව්‍යාපාරික ඥානය නොවන්නට සෙසු තරගකාරී ව්‍යාපාර පරයා මෙය මෙතරම් ඉහළකට නැගෙන්නට ඉඩක් නැත. මේ නිසා ව්‍යාපාරික ලෝකයේ සෙසු සමාගම් ඔහු ලවා සිය සමාගම්වල සේවකයන් දැනුවත්කිරීමේ වැඩසටහන් ආදිය ද ලබාගන්නට උනන්දු විය. ඔහුගෙන් එවැනි සේවයක් ලබාගන්නට එක්තරා සමාගමක නමක් සඳහන් කරමින් දිනක් රූමත් කාන්තාවක පැමිණියාය. කණිෂ්ක සුපුරුදු පරිදි ඇය සමඟ ඉතා සුහදශීලීව කතා බහ කළේය. ඔහු ලවා සිය සමාගමේ සේවකයන් සඳහා ධනාත්මක චින්තනය පිළිබඳ වැඩසටහන් කිහිපයක් පවත්වාගත යුතු බව පවසා ඔහුගේ පෞද්ගලික දුරකතන අංකය ආදී සෙසු විස්තර රැගෙන ඇය නික්ම ගියාය. දින කිහිපයකට පසු ඇයගේ ඔහුට ඇමතුමක් ලැබිණි. ඔහු එයට පිළතුරු දුන්න ද ඇය පෙරකී වැඩසටහන පිළිබඳ කිසිවක් කතා නොකළ අතර වෙනත් වැල්වටාරම් ආදිය කතා කළාය. සිය පවුල් ජීවිතයේ ඇති අර්බුද පිළිබඳව ද ඇය මෙහිදී පවසා සිටියාය. ඔහු ඒවා දෙස ධනාත්මකව බලා විසඳාගන්නා අයුරු පවසා සිටියේය. යළිත් දින කිහිපයකට පසු ද ඇය කතා කළාය. එහිදී ඇය පැවසූයේ සිය සැමියා අසනීප කිහිපයකටම ලක්ව සිටින බවත්, තමාව ලිංගිකව සතුටුකිරීමට හෝ ඔහුට හැකියාවක් නැති බවත්ය. කණිෂ්ක වැන්නකු තමාගේ සැමිය වූයේ නම් ඔහුට දෙවියකුට මෙන් සළකමින් ජීවත්වන බව ද ඇය පැවසූවාය. එමෙන්ම ඇය නොකියා ඉඟි කොට සිටියේ ඔහු හා වඩාත් සමීප ඇසුරකට කැමති බවය. කෙසේ හෝ ව්‍යාපාරික ලෝකයේ මේ සා දුරක් බොහෝ අභියෝගවලට මුහුණ දෙමින්, විවිධ පුද්ගලයන් ඇසුරු කරමින් පැමිණි ඔහුට මැයගේ මේ හැසිරීමෙහි යම් අමුත්තක් දැනුණි. ඒ නිසාම ඇයට ද සොරා ඔහු ඇය පිළිබඳ සොයා බැලුවේය. එවිට ඔහුට ඇය පිළිබඳ සියලු තොරතුරු සොයාගන්නට හැකියාව ලැබිණි. ඇය පැමිණ තිබුණේ කණිෂ්කගේ ව්‍යාපාරයේ සමීපතම තරගකාර සමාගමේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමටය. ඇය වූ කලී ඔහු වෙනුවෙන් අටවන ලද ‛පැණි උගුලකි’ (Honey Trap හෙවත් පැණී උගුල් ගැන මෙතැනින් කියවන්න.) ඔහු හා සමීප සබඳතම් පවත්වන්නට ඇය එවා තිබුණ ද ඇය අනෙක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා සමීපව කටයුතු කරන මුත් වෙනත් සමාගමක සේවය කරන කාන්තාවක විය. ඇයට වෙනත් ස්ථිර රැකියාවක් ද තිබිණි. නමුත් ඇය සිය රැකියාවට අමතරව මූල්‍යමය අරමුණු උදෙසා ඇතැම් අවස්ථාවලදී මෙසේ ගණිකා වෘත්තියේ යෙදෙන්නට ඉදිරිපත් වන තැනැත්තියක විය. කණිෂ්ක වුව වඩාත් විපරම්ශීලී නොවූයේ නම් නිසැකවම ඇය ඔහු සමඟ යහන්ගත වන අතර ඉන් පසුව එය ඉදිරියට දමමින් ඔහුගේ ව්‍යාපාරික ගමන අඩපණ කිරීම ඇයගේ අරමුණ විය.

වෘත්තියෙන් ගණිකාවක නොවූව ද විවිධ අවස්ථාවලදී මූල්‍යමය හෝ වෙනත් හේතු මත පිරිමින් සමඟ යහන් ගතවන්නට ඉදිරිපත් වන මෙවැනි කාන්තාවන් සමාජ විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ ‛විභව ගණිකාව’ (Potential Prostitute) වශයෙනි. අපේ රටේ මෙන්ම ලෝකයේ සියලු රටවල ද මෙවැනි කාන්තාවන් දැකිය හැකිය. එක් පුද්ගලයකෙු වරෙක පවසා සිටියේ ආදායම් බදු සඳහා මුල්ම වරට අවශ්‍ය ලියකියවිලි පිරවීමෙන් පසු මෙවැනි කාන්තාවන් හමුවන බවය. ආදායම් බදු ගෙවන්නා සැළකිය යුතු ධනයක් ඇත්තකු නිසා ඔවුන්ගෙන් මූල්‍යමය වාසි ගැනීමේ අදහස ඇතිව මෙවැනි හමුවීම් සැළසුම් කෙරේ. මේවා පිටුපස යම් යම් රහසිගත පුද්ගලයන් සිටින බැව් පැවසේ. 

මේ කිසිම කාන්තාවක කිසිඳු අවස්ථාවක වෘත්තීය ගණිකාවක ලෙස ක්‍රියාකරන්නේ නැත. මේ බොහෝ දෙනාට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් තිබේ. එය ඔවුන්ගේ මූලික රැකියාවය. ඔවුන්ට පවුල් ජීවිත පවා තිබෙන අතර දරු දැරියෝ ද  සිටිති. සමාජය දකින්නේ ඇය වඩාත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන බවය. සිය සැමියා සමඟ ආදරයෙන් වෙලී සිටිනු සෙසු සමාජය දකියි. එබැවින් ඇය සමාජයේ ඉතා වැදගත් කාන්තාවක් ලෙස පෙනේ. කෙසේ නමුත් ඇය තමාගේ හෝ වෙනත් පුද්ගලයකුගේ යම් අරමුණක් ඉටුකිරීම සඳහා මුදල් අයකොට ගණිකා වෘත්තියෙහි යෙදෙන්නීය. එය දන්නේ අය සහ තවත් ස්වල්ප දෙනෙකු පමණක් වන අතර ඇය සමාජය ඉදිරියේ පවත්වාගෙන යන ප්‍රතිරූපය එලෙසම රැකගනියි.

ඉහත සඳහන් කළ ආකාරයේ විභව ගණිකාවන් මෙන්ම වෙනත් ආකාරයේ විභව ගණිකාවන් ද දැකිය හැකිය. ඔවුන් ද වෘත්තියෙන් ගණිකාවන් නොවේ. නමුත් ඇය සේවය කරන ස්ථානයේ සියලු දෙනා ඇය නිල නොවන වශයෙන් හඳුන්වනු ලබන්නේ එවැනි අරුතකිනි.

“අරකි ඔහොම හිටියට මෙන්න මෙහෙමයි හැටි. අපේ බොසා එක්කත් ගිහින් තියෙනවා.”

මෙවැනි කාන්තාවෝ තමා සේවය කරන ආයතනයේ, තමා නිතර ගමන් කරන ප්‍රවාහන සේවයේදී හමුවන යම් යම්  පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වති. ඒ බොහෝ විට මූල්‍යමය හෝ වෙනත් වාසි අරමුණු කොටගෙනය. නමුත් සියලු දෙනා සමඟ ඇය එසේ හැසිරෙන්නේ ද නැත. ඇයට වාසියක් නොලැබෙතැයි සිතන පුද්ගලයන් සමඟ ඇය හැසිරෙන්නේ වඩාත් වැදගත් ආකාරයකිනි.

විභව ගණිකා තත්වයට පත්වන ඇතැම් කාන්තාවන් ස්ථිර වශයෙන්ම යම් ආයතනයක යම් ප්‍රධානියකුගේ අනියම් බිරිඳ ලෙස සිටිනු ද දක්නට ලැබේ. එවැනි කාන්තාවන් බොහෝ විට විවාහ වන්නේ ද නැත. ඇය සිය රැකියාවෙන් ගන්නා වැටුපට අමතරව සිය ප්‍රධානියාගෙන් ද මූල්‍යමය වාසි අත්කරගනී. යම් අවස්ථාවක ප්‍රධානියා එම සමාගමෙන් නික්ම ගියහොත්, එවැනි ඇසුරකට කැමති වෙනත් ප්‍රධානියකු ග්‍රහණය කරගැනීමට ඇය උත්සාහ කරයි. නමුත් ඇය ගණිකාවක ලෙස ‛ලේබල්’ අලවා ගන්නේ නැත. ගණිකා වෘත්තියේ යෙදුනේ යැයි ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට හෝ හැකියාවක් නැත.

විභව ගණිකාවන් බවට යම්කිසි කාන්තාවක් පත්වීම පිටුපස මනෝ විද්‍යාක්මක කරුණු  බොහොමයක් තිබේ. මෙවැනි කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇත්තේ මිහිරි ළමා අවධියක් නොවේ. ඒ බොහොමයක් කඩතොලු වූ ළමා කාලයන් ය. ඇතැමුන් ළමා වියෙහිදීම ලිංගික අතවරවලට ලක්වූ අය ය. ඇතැමුන්ගේ පවුල් පසුබිම අමිහිරිය. අඬදබර කරගනිමින් ජීවත්වූ දෙමාපිය පසුබිමක හැදී වැඩුණු අය ය.  ඔවුන් මේවා මැඩගෙන ජීවිතයේ ඉදිරියට ගමන් කළ ද මනසේ ඇතිවූ පැල්ලම් කිසිදා මැකෙන්නේ නැත. ළමා වියෙහිදී ලද මානසික පීඩනය මනසින් දුරස් නොවේ. එබැවින් වයසින්ම වැඩුණු පසු යම් යම් අවස්ථාවලදී විවිධ අරමුණු වෙනුවෙන් ලිංගිකත්වය යොදාගැනීම පිළිබඳ ඔවුන් එතරම් බරපතල ලෙස සිතන්නේ නැත.

යොවුන් වියෙහිදී අමිහිරි ආදර අත්දැකීම ලබාගන්නා කාන්තාවන්ට ද පසුකාලීනව විභව ගණිකාවන් බවට පත්වීමේ මානසිකත්වය ඇතිවන බැව් සොයාගෙන තිබේ. ආදරය පිළිබඳ අමිහිරි අත්දැකිම් ලැබීමෙන් පසු ඔවුන් තුළ ආදරය, පවුල් ජීවිතය පිලිබඳව ගැඹුරු හැඟීම් ඇතිවන්නේ නැති බව පෙනෙයි. එවැනි බැඳීම් ගැන ඔවුන් තුළ ඇත්තේ අඩු තක්සේරුවකි. ලිංගිකත්වය පිළිබඳ පවා සිතන්නේ, “අයියෝ ඕක සුළු දෙයක්නේ” වැනි ආකාරයකිනි. එබැවින් ඔවුහු පහසුවෙන් පිරිමින් හා සම්බන්ධකම් ඇතිකොට ගෙන ලිංගික සම්බන්ධතා පවත්වති. අදාළ පිරිමියා ඇසුරු කරන කාල වකවානුවේදී ඇය ඔහුගෙන් බොහෝ මූල්‍යමය ආධර උපකාර ලබාගනියි. ඔහුට වඩා වෙනත් වාසිදායක පුද්ගලයකු පිළිබඳ දැනගන්නට පැබුණහොත් ඔහු සමග සම්බන්ධකමක් ඇතිකරගැනීමට ද දෙවරක් සිතන්නේ නැත.

මෙම තත්වයට පත්වන ඇතැම් කාන්තාවන්ට මූල්‍යමය අරමුණු නැත. ඔවුන් එය සිදුකරන්න් සිය සතුට වෙනුවෙනි. සතුට වෙනුවෙන් යම් යම් හානිකර දේවලට ඇබ්බැහි වන මෙම තත්වය මනෝ විද්‍යාවේදී ‛අවෝන්මාදී පෞරුෂත්වය’ (Hypomanic personality) යනුවෙන් හඳුන්වනු ලබයි. ඔවුන්ට ජීවිතයේ බරක් පතලක් නැත. සාදාචාරය පිළිබඳ අදහසක් නැත. ඇත්තේ තම අරමුණු ඉටුකරගැනීම පමණි.


මේ අනුව ‛විභව ගණිකා’ යන තත්වය විවිධ හේතූන් නිසා ඇතිවන බැව් පෙනෙන්නට තිබේ. ගණිකාවක ලෙස සමාජ සම්මතයට ලක් වූ කාන්තාවක් හඳුනාගත හැකි වුව ද මෙවැන්නියන් ඇතැම් විටෙක හඳුනාගත නොහැකිය. අනෙක ඔවුන් මෙම සැඟවුණු ක්‍රියාවට මුවා වී ගණිකා වෘත්තිය ඉක්මවූ විවිධ අපචාර ක්‍රියාවන්හි ද නිරත විය හැකිය. මොවුන් සැඟවුණු චරිත බැවින් තම තම නැණ පමණින් ඔවුන් හඳුනාගෙන ජීවත්වීම නුවණට හුරු ය.

Wednesday, January 27, 2016

ජීවිතයේ මුල්ම විප්‍රයෝග අත්දැකීම - Separation Anxiety Disorder - SAD


ඔබ මුළින්ම පාසල් ගිය දිනය මතකද? ජීවිතයේ මුල්ම වරට අම්මාගෙන් තාත්තාගෙන් වෙන්ව තනිව ඉන්නට පංති කාමරයට යන්නට සැරසුණු ඒ අවස්ථාව මතකයට නගා ගන්න. ඔබේ පුතා හෝ දියණිය මුළින්ම පාසල් හෝ ළදරු පාසල් ගිය දිනය මතක් කරගන්න. ඒ සියලු අවස්ථාවකදීම ඔබත්, ඔබේ දරුවාත් ජීවිතයේ මුල්ම වරට වෙන්ව යන අවස්ථාවේදී දෑස් කඳුළින් පිරී යන්නට ඇති. ඇතැම් විට මහ හඬින් හඬන්නට ඇති. සාමාන්‍යයෙන් මුල්ම වරට වෙන්ව යාමකදී දරුවකු තුළ එවැනි හැඟීමක් ඇතිවීම ස්වභාවික දෙයක්. දරුවකුගේ වර්ධන අවධිය තුළ එවැනි හැසිරීමක් දකින්නට ලැබීම ගැන කලබලයට පත්විය යුතු නැහැ. දරුවා ජීවිතයේ ලබාගන්නා අත්දැකීම් සමඟින් නොබෝ දිනකින්ම මෙම තත්වයට හුරු වී ගැටලුව නිරාකරණය වෙනවා. නමුත් මේ තත්වය කාලය සමඟ යම් ආකාරයකින් අවසන් වන්නේ නැත්නම් එතැන ඇත්තේ ගැටලුවක්. වෙන්වීම දරාගන්නට නොහැකි මානසිකත්වයක් දරුවා තුළ දිගින් දිගටම පවතින්නේ නම් ඔහු/ඇය බොහෝ විට ‛විප්‍රයෝග කාංසා ආබාධය’ (Separation Anxiety Disorder - SAD) නමැති තත්වයෙන් පීඩා විඳිනවා වන්නට පුළුවන්. එවැනි තත්වයක් පවතින්නේ යැයි ඔබට සැක නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. එසේ වුවත් ඒ සඳහා ඔබට පෞද්ගලිකව කළ හැකි බොහෝ දේවල් ද තිබෙනවා.

දෙමාපියන්ගෙන් මුල්ම වරට වෙන්ව යාමේදී දරුවා තුළ ඇතිවන කාංසා තත්වය ස්වභාවික දෙයක් මෙන්ම දරුවාගේ වර්ධනීය අවධියේදී දකින්නට ලැබෙන සාමාන්‍ය දෙයක් වුවත්, එය ආබාධයක් බවට පත්වීම වර්ධනීය අවධියේ ලක්ෂණයක් ලෙස සැළකිය නොහැකියි. එය බොහෝ විට බරපතල මානසික තත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ‛සෞඛ්‍ය සම්පන්න විප්‍රයෝග කාංසාව’ සහ ‛විප්‍රයෝග කාංසා ආබාධය’ යන තත්වයන් දෙකෙහිදීම දකින්නට ලැබෙන ලක්ෂණ බොහෝ දුරට සමානයි. මේ නිසා බොහෝ දෙමාපියන් සිතන්නේ කාලයත් සමග සියලු දෙය විසඳෙනු ඇති බවයි. කෙසේ නමුත් මෙය හරිහැටි හඳුනා නොගතහොත් සිදුවන්නේ දරුවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඇති අවස්ථාව පමා වීමයි.

‛සෞඛ්‍ය සම්පන්න විප්‍රයෝග කාංසා’ තත්වය සහ ‛විප්‍රයෝග කාංසා ආබාධය’ අතර ඇති ප්‍රධාන වෙනස් කම් කිහිපයක් දෙස අපි අවධානය යොමු කරමු.

මෙයින් ප්‍රධානතම මානසික තත්වයක් වන්නේ දරුවා තුළ ඇති අධික බිය තත්වයයි. මෙම බිය තත්වය නිසා ඔහු සාමාන්‍ය ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින්නට උත්සාහ ගන්නවා. දෙමාපියන්ගේ වෙන්ව යාමට සිදුවෙතැයි ඔවුන් තුළ අනියත බියක් පවතිනවා. ඒ නිසා ඔවුන් මිතුරන් සමග ක්‍රීඩා කරන්නට, පාසල් යන්නට සිදුවන විට කුමක් හෝ රෝගී තත්වයක් ගැන පැමිණිලි කරන්නට පුරුදුව සිටිනවා.  මෙය ආරම්භ වන්නේ සාමාන්‍ය මට්ටමින් වුවත්, එය මුල් අවස්ථාවේදීම එය හඳුනානොගතහොත් සිදුවන්නේ දරුවා තුළ ඇති මානසික ආබාධය කාලයක් සමඟ බරපතල තත්වයට පත්වීමයි.

දරුව තුළ යම් අනාරක්ෂිත හැඟීමක් පහළවීම නිසාත් විප්‍රයෝග කාංසා ආබාධ තත්වයක් ඇතිවිය හැකියි. දරුවාගේ ලෝකයේ සමබරතාවය බිඳෙන යමක් සිදුවීම මෙම අනාරක්ෂිත හැඟීමට හේතුවක් වන්නට පුළුවන්. දරුවාගේ සාමාන්‍යය දින චර්යාවට තර්ජනයක් වන දෙයක් සිදුවීම ද මේ අතරට වැටිය හැකියි.  දරුවාගේ මෙම තත්වය ඔබ වඩා හොඳින් අවබෝධ කරගත යුතුයි. පහත සඳහන් කාරණා දෙස අවධානය යොමු කරන්න.

∎            වටපිටාව වෙනස්වීම - නව නිවසක්, පාසලක් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළුකිරීම වැනි දරුවාගේ සාමාන්‍ය වටපිටාවේ සිදුවන වෙනස්කම්.

∎            ආතතිය -  පාසල වෙනස්වීම, සුරතල් සතුන් ඇතුළුව ආදරය කළ පුද්ගලයන් අහිමිවීම

∎            දරුවා අධික ලෙස ආරක්ෂා කිරීම - තම දරුවාට අනතුරක් සිදුවේ යැයි කියා ඇතැම් විට ඔබ දරුවාව අධික ලෙස ආරක්ෂා කරන්නට පෙළැඹී සිටිනවා විය හැකියි. එය සැබවින්ම දෙමාපියන් තුළ ඇතිවන කාංසා තත්වයක්. දෙමාපියන්ගේ එම මානසික තත්වය දරුවා කෙරෙහි අනිසි ලෙස බලපෑම් කළ හැකියි.

අප මුළින් සඳහන් කළා සේ දරුවා තුළ විප්‍රයෝග කාංසා ආබාධමය තත්වයක් ඇතිවී තිබෙන්නේ යැයි සැක පහළ කරන්නේ නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා. කෙසේ නමුත් දෙමාපියන් හැටියට ඔබට ද කළ හැකි යම් යම් දේ තිබෙනවා. මුළින්ම දරුවාට නිවසේ වටපිටාව වඩාත් සුරක්ෂිත යැයි හැඟෙන තත්වයක් නිර්මාණය කළ යුතුයි. එවිට දරුවා තුළ ආරක්ෂාකාරී බව නිතැතින්ම ඇතිවෙනවා. ඒ වගේම දරුවා දැනට සිටින පාසල වෙනස් කිරීම ද මෙම තත්වය වෙනස්කිරීමට හේතු විය හැකියි. නමුත් දරුවාගේ මෙම කාංසා ආබාධමය තත්වය ඇතිවන්නට පාසල ද හේතුවක් යැයි නිගමනය කළ හැකි කරුණු ඉස්මතු වන්නේ නම් පමණක් මෙය කළ යුතුයි. ඔබගේ උත්සාහ තුළින් දරුවාගේ මානසික තත්වය සහමුළිනම් වෙනස් නොවන්නට හැකි මුත් කලින් පැවති තත්වය සමහන් කරන්නටත් වෛද්‍ය ප්‍රතිකාරවල ප්‍රතිපල වඩාත් ඉක්මණින් ලැබීමටත් මෙය හේතු විය හැකියි.

වෙන්වීමේදී දරුවා තුළ ඇතිවන මානසික ව්‍යාකූලත්වය සමනය කිරීමට පහත සඳහන් පියවර ඔබට අනුගමනය කළ හැකියි. එවිට ඇතැම් විට එය ආබාධයක් දක්වා වර්ධනය වීමට ඇති ඉඩකඩ අවම කරගන්නටත් පුළුවන්.

∎            වෙන්ව යාම හුරුකරවන්න -  දරුවා මුළින්ම ඔබගේ ළඟම ඥාතියකු හෝ හිතවතකු අසල කෙටි කාල පරාසයක් තුළ තනි කරන්න. ඔබට ඉතා සමීප අසල්වැසි නිවසක් මේ සඳහා බොහෝ සුදුසුයි.

∎            නිදාගැනීමෙන් හෝ ආහාරගැනීමෙන් අනතුරුව සුළු සුළු වෙන්කිරීම සිදුකරන්න. දරුවන්ට කුසගිනි දැනෙන විට හෝ නිදිමත ඇතිවූ විට ඔවුන් තුළ විප්‍රයෝග මානසික තත්වයක් ඇතිවිය හැකියි. එම නිසා කලින් සඳහන් කළ පරිදි කෙටි වෙන්වීමක් සිදු කළ යුත්තේ කෙටි නින්දකින් හෝ කුසගිනි නිවීමෙන් පසුවයි.

∎            සමුදීමට හුරුකරවන්න. සමුදීමට නිතර හුරුකරවීම තුළින් එය දරුවාට සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. එය ඔබට ගැළපෙන පරිදි පුරුදු කළ හැකියි. ඇතැම් දෙමාපියන් ‛බායි’ යනුවෙන් පවසනවා. ඇතැමුන් සිය ආගමට අනුව ‛බුදු සරණයි’ හෝ ‛දෙවි පිහිටයි’, ‛ජේසු පිහිටයි’ වැනි ආකාරවලින් පවසන්නට පුරුදුව සිටිනවා. විශේෂයෙන් දරුවා කාමරයේ සිටින විට ජනෙලය ළඟට ගොස් අත වනා මෙවැන්නක් පැවසීමට පුරුදුවීම වඩාත් සුදුසුයි.

∎            සියලු විට දරුවාට හිතකර වටපිටාවක් නිර්මාණය කරන්න. අලුත් වටපිටාවකට මාරු වූයේ නම් එය දරුවාට සාමාන්‍ය තත්වයක් බවට පත්කරන්න. දරුවා වෙනත් අයකු අසල කෙටි වේලාවකට හෝ තබන්නේ නම්, ඔබේ නිවසේ දරුවාට හුරුපුරුදු සෙල්ලම් බඩු කිහිපයක් ඔහු සමග තබායන්න. එවිට දරුවාට සමීපතම පරිසරය තුළ ඇති ඇති හුරුපුරුදු බව වෙනස් වන්නේ නැහැ.

∎            දරුවා ඔබගේ දෙමාපියන් සමඟ, දරුවන් බලාගන්නා සමඟ හෝ දිවාසුරැකුම් මධ්‍යස්ථනයේ තබා යන්නේ නම් ඔබ එතැනින් පිටත්වන බවත්  නැවත පැමිණෙන බවත් කෙටියෙන් ඍජුව පවසන්න.

කෙසේ නමුත් දරුවා තුළ ඇති මෙම විප්‍රයෝග කාංසා තත්වය ආබාධයක් දක්වා වර්ධනය වී ඇත්නම් ඔබට මෙම ප්‍රතිකර්මවලින් පමණක්ම සෑහීමකට පත්වන්නට හැකියාවක් නැහැ. ඔබ ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුයි. නොපමාව අවශ්‍ය පියවර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න දරුවකු ලෙස සමාජයට තුළ වැඩෙන්නට ඔහුට ඇති ඉඩකඩ තහවුරු කළ හැකියි.

Friday, January 22, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 6 කොටස - New Gadgets for New World Part 6

ඕන ඇණයක් ගළවන්න අඬුවක්




ගෙදරදි ඇණ, මුරිච්චි ගළවන්න ගියාම ඒවායේ ප්‍රමාණයට ගැළපෙන ඉස්කුරුප්පු නියන්, අඬු, යතුරු වගේ දේවල් හොයාගන්න ඕන. සමහර වෙලාවට මේ මොනවත්ම හරියන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒ වගේම කවුරු හරි කාර්මිකයෙක් වගේ කෙනෙකුට නම් මේවා තවත් තැනකට අරන් යන්න ගියාම ආයුධ පෙට්ටියක්ම අරන් යන්න වෙනවා. මේ බොහෝ කරදරවලට විසඳුමක් විදිහට දැන් අලුත්ම උපාංගයක් වෙළෙඳපලට ඇවිත් තියෙනවා. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ අමුතුම තාක්ෂණයකටයි. විවිධ ඇණ, මුරිච්චිවලට ගැළපෙන විදිහට මෙහි වෙන වෙනම සිදුරු නැහැ. මෙහි ඇත්තේ ඉතා තද පීඩනයක් යටතේ අසුරන ලද වානේ කම්බි මිටියක්. ඔබට ගළවන්න අවශ්‍ය කරන ඇණය, මුරිච්චියේ හිසට මෙය තද කළ පමණින් එහි හැඩයට මේ වානේ කම්බි සීරු මාරු වෙනවා. ඉන් පසුව එය පහසුවෙන්ම ගළවන්නට පුළුවන්. විදුලි බලයක් අවශ්‍ය නැහැ. සාක්කුවේ දමාගෙන යන්න තරම් හුරුබුහුටි විදිහට නිමවා තිබෙනවා. ඒ වගේම ඇණ සවි කරණ යන්ත්‍රවලට ද මෙය පහසුවෙන් සවිකරන්න පුළුවන්. දැනට මිල ඇමරිකානු ඩොලර් 9.89ක් (රු.1418ක්) පමණ වෙනවා



ඉලෙක්ට්‍රොනික් කැටයක්



මැටිවලින් හදපු කැට බොහෝ නිවෙස්වල තියෙනවා. මේවායෙන් පුංචි දරුවන්ට පුංචි කාලේ සිටම ඉතිරිකිරීම ගැන අවබෝධයක් ලැබෙනවා. දැන් නව තාක්ෂණයත් සමඟ අලුත්ම විදිහේ කැටයක් වෙළෙඳ පළට ඇවිත් තිබෙනවා. මේක ඉලෙක්ට්‍රොනික් කැටයක්.  හැඩය හුරතල් ඌරකු වගෙයි. මේ කැටයට පුළුවන් තමන් තුළ තිබෙන කාසි ප්‍රමාණය සහ ඒවායේ වටිනාකම ගණනය කරන්න. ඒ වගේම ඔබේ ස්මාර්ට් දුරකතනය හරහා ඔබ සමඟ කතා කරන්නටත් මේ කැටයට පුළුවන්. ඔබ එයට කැටයක් දමන සෑම අවස්ථාවකදීම එයින් මිහිරි හඬක් නැගෙන අතර ආලෝකයක් ද විහිදෙනවා. මේ වන තුරු එයට දමන ලද කාසි ප්‍රමාණය ඔබේ ස්මාර්ට් දුරකතනය ඔස්සේ බලාගන්න පුළුවන්. ඒ වගේම කවුරු හරි මේ කැටය හොරෙන් කඩන්න හැදුවොත්, කැටය එකපාරටම අනතුරු හඟවන හඬක් නිකුත් කරනවා. මෙහි දැනට මිල ඇමරිකානු ඩොලර් 70ක් (රු.10,000) වෙනවා.

සිංදු අහන ගමන් නාමු






සිංදු අහන ගමන් නාන එකවත් නාන ගමන් සිංදු අහන එකවත් ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. ගෙදර සිංදු අහන්න තියෙන මොනව හෝ උපාංගයක් නාන කාමරය ළඟින් තියලා මේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් මේ කියන්න යන්නේ එයට වඩා වෙනස් ක්‍රමයක් ගැනයි. මෙහිදී සිදුවන්නේ වතුර මලෙන්, ඒ කියන්නේ ‛ෂවර්’ එකෙන්ම සිංදු අහන්නට පුළුවන් වීමයි. ඔබේ ස්මාර්ට් දුරකතනයේ බ්ලූටූත් ක්‍රියාත්මක කරලා ගීත වාදනය කරන්නයි තියෙන්නේ. මේ වතුර මල බ්ලූටූත් තාක්ෂයෙන් යුක්ත නිසා ජංගම දුරකතනයේ ගීත වතුර මලේ ඇති ස්පීකරයෙන් ඇසෙන්නට පටන් ගන්නවා. මේ වතුර මලේ නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් තිබෙනවා. අය ආරෝපණය කළාට පසු පැය 10ක් ගීත අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දිය නාමින් ඉන්න අතරේ දුරකතන ඇමතුමක් ආවොත් වතුර මල හරහාම දුරකතනයෙන් කතා කරන්නත් පුළුවන්. දැනට මිල වෙන්නේ ඇමරිකානු ඩොලර් 99 (රු. 14,200) යි.


පෙර ලිපිය