පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, May 23, 2014

යමෙකුගේ රැකියාව ගැන සියයට සියයක් අනාවැකි කිවහැකි ශාස්ත්‍රයක් - Occupational stigma or occupational marks



සාස්තරේ සාස්තරේකියලා කෑගහගෙන අහිගුණ්ඨික ගැහැනු එනකොට ඉස්සර නම් අපේ ගම්වල මිනිස්සු අත පෙන්වලා සාස්.රයක් අහන අවස්ථා තිබුණා. මේ ගැහැනු කිව්ව දේවල් ඇත්ත් වුණත් බොරු වුණත් ඒක හරිම විනෝදජනක අවස්ථාවක් වුණා. අහිගුණ්ඨික ගැහැනු මේ විදියට සාස්තර කියන්නේ කිසිම  පදනමකින් නොවුණත්, අත බලා සාස්තර කීමේ සම්මත ක්‍රමයක් ලෝකයේ තියෙනවා. එය හඳුන්වන්නේ සාමුද්‍රික සාස්ත්‍රයකියලයි. අපේ අතේ වැටුණු රේඛා විශ්ලේෂණය කිරීමෙන් තමයි මේ විදිහට සාස්තර කියන්නේ. නමුත් මේ සාස්ත්‍ර කීමේ ද විද්‍යාත්මක බවක් පෙනෙන්නට නැහැ. කෙසේ නමුත් අත බලා හරියටම සාස්ත්‍ර කියන්න පුලුවන් ක්‍රමයක් ගැන පොඩි ඉඟියක් මේ ළඟදි හදිසියේම දැනගන්න ලැබුණා. යම්කිසි පුද්ගලයකුගේ ජීවිතය ගැන සර්ව සම්පූර්ණ විසිතරයක් සමහර විට මේ ක්‍රමයෙන් කියැවෙන්නනේ නැති වෙන්න පුලුවන්. මේ ක්‍රමය ගැන අවබෝධයක් තියෙන බුද්ධිමත් කෙනෙකුට මෙයින් සෑහෙන ප්‍රයෝජනයක් ගන්නත් පුලුවන් වෙයි. හැබැයි මේක ගැන සඳහන් කරලා තියෙන්නේ  තියෙන්නේ නම් සාස්ත්‍ර කියන්න නෙවෙයි. අපට මේ ගැන කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වේබ් අඩවියේ රැකියාවේ සෞඛ්‍ය සම්පන්නභාවය සහ ආරක්ෂාව කියන එක යටතේ තමයි මේ ගැන සඳහන් කරලා තිබුණේ. විවිධ රැකියාවන්ගේ නිරතවන විට අපේ අත්ලේ ඇතිවන නොයෙක් ආකාරයේ ලප කැළල් හෝ රැකියාව නිසා ඇතිවන තුවාළ කැළල් (Occupational stigma or occupational marks ) ගැන තමයි මෙයින් කියැවෙන්නේ.  මෙවැනි ලප කැළල් යාන්ත්‍රික, රසායනික හෝ දිගු කාරෑයක් තිස්සේ තාපයට නතුවෙමින් පැවතීම නිසා මෙවැනි ලප කැළල් අතිවන්නට පුලුවන්. මේවායේ ඇති විශේෂත්වය තමයි යම්කිසි පුද්ගලයෙක් කරන රැකියාවට අනුව සේ ළප කැළැල් ද වෙනස් වීමයි. මෙසේ ලප කැලැල් ඇතිවන්නේ සිය අත මගින් කරන විවිධ ක්‍රියාවන් නිසා එහි උඩුසම නිතර සීරි යාම, බිඳී යාම වැනි දේ නිසයි. කොහොම වුණත් පුරුද්දක් විදියට යම් යම් ක්‍රියාවන් කිරීමේදී මෙසේ සම බිඳී නොයන සේ සිරුර විසින් යම් ප්‍රතික්‍රියාවක් සිදු කරනවා. බර වැඩ කරන අයගේ අතේ කරගැට ඇවිත් ටික දවසකින් ඒවා තද ස්වභාවයකට පත්වෙන්නේ ඒ නිසයි. ඒ විදියට තද ස්වභාවයකට පත් වුණාම නැවතත් සම මතුපිට බිඳී යාමකට ලක්වෙන්නේ නැහැ.

දැන් අපි ආයෙත් මාතෘකාවට එමු. අපි කතා කළේ අත බලා, හරියටම සාස්තර කියන ක්‍රමයක් ගැනයි. විවිධ රැකියාවල නිරත වෙලා ඉන්න පුද්ගලයන්ගේ අත්ලේ සිදුවන මේ වෙනස්කම් ගැන පර්යේෂණයක් පවත්වනු ලැබුවා. එහිදී පැහැදිලි වුණේ එක සමාන රැකියාවල නිරත වන අයගේ අතේ මතුවන මෙවැනි ලප කැළල් එක හා සමාන බවයි. අපි බර වැඩ කරන අය ගැන විතරක්ම නෙවෙයි වඩා සංවේදී රැකියා කරන අය ගැන හොයලා බලමු. අපි වයලීන් වාදන ශිල්පියෙක් ගැන හිතමු. ඔහු තත් අල්ලන්නේ ඇඟිලිවලින්. කාලයක් තිස්සේ මෙසේ තත් අල්ලන කොට ඇඟිලි තුඩු කෙළවර ඝනවීමකට ලක්වෙනවා. ඒ වගේ කෙනෙකුගේ ඇඟිලි තුඩු කෙළවර ස්පර්ශ කොට බැලුවොත් මේ බව සොයා ගන්නට පුලුවන්.

ඔබ නොදන්නා පුද්ගලයකුගේ ඇඟිලි තුඩු අග මේ වගේ ඝනවී ඇති බවක් දැනුනොත් ඔබට නිකමට වගේ අහන්න පුලුවන් ඔහු වාදන ශිලිප්යෙකු කියලා. අත බලා හරියටම සාස්ත්‍ර කියනවා කිව්වේ ඒකටයි.

දැන් මේ පිටුවේ තියෙන රූප සටහන දිහා බලන්න. එහි අත්වර්ග 10ක් තියෙනවා. ඒවායේ නොයෙක් විදියේ ලප කැලැල් තියෙනවා. මේ එකිනෙකට වෙනස් රැකියා කරන 10 දෙනෙකුගේ අත්. අපි බලමු ඒවා මොනවාද කියලා. a අකුරින් පෙනවන අත දිහා බලන්න. අතේ උඩ තියෙන්නේ පොඩි තුවාලයක් වගේ කැළලක් මේ වගේ කැළැලක් ඇතිවෙන්නේ ක්‍රෝමියම් හෝ එහි සංයෝග සමඟ නිතර වැඩ කරන අයගේ අත්වලයි. b අකුරින් පෙන්වන්නේ කම්මල්කරුවකුගේ අතක්. c අකුරින් පෙන්වන්නේ ලී මෝලක වැඩ කරන කම්කරුවකුගේ අතක්. d අකුරින් පෙන්වන් අත අයිති ගල්වලින් වැඩ කරන කෙනෙකුට. ඒ කියන්නේ ගල්වලන් කැටයම් කරන, ගල්වලින් තාප්ප බඳින වගේ වැඩ කරන කෙනෙකුටයි. මේසන් බාසුන්නැහැ කෙනෙකුට අයිති අතක් තමයි e අකුරෙන් පෙන්වන්නේ. මාර්බල්වලින් විවිධ වැඩකටයුතු කරන කෙනෙකුට තමයි  f අකුරෙන් පෙන්වන අත අයිති. රසායනාගාරවල වැඩ කටයුතු කරන අයගේ අත් නිතරම විවිධ රසායන ද්‍රව්‍යවල ස්පර්ශ වෙනවා. එහෙම වුණාම අනෙක් අයට වඩා වෙනස් විදියේ ලප කැළැල් ඇති වෙන්න පුලුවන්. g අකුරෙන් පෙන්වන්නේ එහෙම කෙනෙකුගේ අත්ලක් තමයි. h අකුරින් පෙන්වන්නේ ඉටිවලින් වැඩකරන කෙනෙකුගේ අතක්. මුද්‍රණ කටයුතු කියන්නේ මේ සියල්ලටම වඩා වෙනස් ක්ෂේත්‍රයක්. මුද්‍රණ යන්ත්‍ර ආශ්‍රිතව වැඩකරන කොටත් අත්වල විවිධාකාරයේ ලපකැළැල් ඇතිවෙන්න පුලුවන්. i අකුරෙන් පෙන්වන්නේ එහෙම කෙනෙකුගේ අතක්. මුළින් සඳහන් කළ ආකාරයේ වයලීන් වාදකයකුගේ අත්ලක් ඔබට j අකුරින් පෙන්වන පින්තූරයෙන් බලාගන්න පුලුවන්.  

අතක් තියෙන මේ වගේ ලක්ෂණ හොඳින් හොයා බැලුවොත් ඕන කෙනෙකුට හරියටම අත බලා සාස්තර කියන්න පුලුවන් කියලා මේ ලිපිය පටන්ගන්න කොටම සඳහන් කළා ඔබට මතක ඇති. මේ වගේ ලක්ෂණ ගැන අධ්‍යයනය කළොත් යම්කිසි පුද්ගලයෙක් කරන රැකියාව පහසුවෙන්ම සොයාගන්න පුලුවන්. ඒ ඒ රැකියාවල නිරත වෙලා ඉන්න අයගේ පොදු ගැටලු, ජීවන චර්යා පිළිබඳ උනන්දු වුණොත් ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිත ගැන තව තොරතුරු පවසන්න පුලුවන්. යම්කිසි කෙනෙක් අත බලා සාස්තර කියන සාම්පදායික ක්‍රමය, ඒ කියන්නේ සාමුද්‍රික සාස්ත්‍රයගැන යම් අවබෝධයකින් සිටිනවා නම් මේ වගේ භෞතිකව පෙනෙන්නට තිබෙන ලක්ෂණ උපයෝගී කරගෙන වරදින්නේ නැති සාස්තරයක් කියන්න පුලුවන්.





ලෝකයේ කාන්තාවන් අතර ජනප්‍රියම විනෝදාංශ - Most Favourite Women Hobbies Around the World


කොයි තරම් වැඩ තියෙන කෙනෙක් වුණත් කොයි මොහොතක හරි විවේකයක් ලැබෙන වෙලාවක් තියෙනවා. මේ විවේකය ගත කරන්න නොයෙක් අය නොයෙක් දේවල් කරනවා. මේ කරන දේවල්වලට අපි සාමාන්‍යයෙන් විනෝදාංශකියල කියනවා. හැබැයි ලැබෙන හැම විවේකයකටම නිදාගන්න කෙනෙක් ඉන්නවා නම් එයා කියයි තමන්ගේ විනෝදාංශය නිදාගැනීම කියලා. ඒක විනෝදාංශයක් වුණත් එයින් අපේ ජීවිතයට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවතම තෝරාගත් යුත්තේ ධනාත්මක විනෝදාංශ. මේ වගේ ධනාත්මක විනෝදාංශ ඉස්සර ඉඳන්ම කාන්තාවන් කරගෙන ආවා. නමුත් අතීතයේ තිබුණු ඇතැම් විනෝදාංශ අද කාලයට ගැළපෙන්නේ නැති වෙන්න පුලුවන්. සමහර විට ඔබට යම් විවේකයක් ලැබුණාම එය ප්‍රයෝජනවත්ව ගතකරන්න විශේෂ දෙයක් නොකරනවා වෙන්නත් පුලුවන්. සමහර විට ඔබ විනෝදාංශයක් සොයමින් ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්. ඉතිං අද කාලයට ගැළපෙන, ලෝකයේ කාන්තාවන් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය, ඒ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකු පහසුවෙන් කරන්න පුලුවන් විනෝදාංශ මොනවද කියලා හොයලා බලන්න අපි හිතුවා.

විනෝදාංශයක් තුළින් අපේ අභ්‍යන්තරය බාහිර පුද්ගලයන්ට පෙන්වන්නට අවස්ථාවක් ලැබෙන බව මනෝ විද්‍යාඥයින් පවසනවා. ඒ කියන්නේ අප කරන විනෝදාංශවලින් අපි මොනවගේ අයද කියලා අනෙක් අය තේරුම්ගන්නවා. ඒ වගේම නිරෝගීමත් මනසක් පවත්වාගෙන යන්නත් මෙය උදව් වෙනවා. ඇතැම් අයට විනෝදාංශවලින් ආදායම් මාර්ග පවා සකස්කරගැනීමට හැකියාව ලබාගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. උදාහරණයක් විදියට විනෝදයට මල් සිටුවන්න කවුරු හරි පටන්ගත්තොත්, ටික කාලයකින් ඇයට පුලුවන් තමන් සිටවූ මල් අළෙවි කරන්න. තමන්ට ගැළපෙන, නිවැරදි විනෝදාංශයක් තෝරාගැනීමෙන් යම්කිසි පුද්ගලයකුගේ නිර්මාණාත්මක බව වර්ධණය කරගන්නටත් පුලුවන්. කෙහොම වුණත් ලෝකයේ කාන්තාවන් අතර බොහෝ ජනප්‍රිය විනෝදාංශ මෙන්න මේවා කියලා තමයි හොයාගන්න ලැබුණේ.

1. ආභරණ නිර්මාණය
මේක ලෝකයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. අපේ රටෙත් බොහෝ දෙනෙක් කරනවා. බොහෝ විට ආභරණ නිර්මාණය කරන්නේ මිල අඩු ද්‍රව්‍ය යොදාගෙන. ඒ වගේම නිවසට ගෙනෙන විවිධ බඩු  භාණ්ඩවල ඉවත් කරන කොටස් ද මේ සඳහා ප්‍රයෝජනයට ගන්න පුලුවන්. පබලු ඇට, ලේස්, රිබන්, පාට පාට නූල්, බූල්, පහසුවෙන් නැමිය හැකි කුඩා විදුලි කම්බි වැනි දේ මේවා සඳහා බොහෝ දෙනෙක් ප්‍රයෝජනයට ගන්නවා. මාල, අතේ පළඳින බ්‍රේස්ලට්, වළලුකරේ පළඳින් ඇන්ක්ලට්, කොණ්ඩ කටු වැනි දෑ මෛ ආභරණ අතර කැපී පෙනෙනවා. මෙවැනි විනෝදාංශ සඳහා අන්තර්ජාලය හරහා නොමිලේම මග පෙන්වීම් කරන වෙබ් අඩවි දුසිම් ගණනින් සොයාගන්නට පුලුවන්. අනෙක මෙවැනි විනෝදාංශයක් සාර්ථක කරගැනීම තුළින් තමන්ගේ ආදායම් මාර්ගය වර්ධණය කරගන්නටත් පුලුවන්.

2. බ්ලොග් ලිවීම

මේක නම් පරිගණක හා අන්තර්ජාල තාක්ෂණය ගැන යම් අවබෝධයක් ඇති අය අතර ජනප්‍රිය දෙයක්. නමුත් මේක සෑහෙන ජනප්‍රිය නිසයි මෙතනට එක්කරගත්තේ. ඉස්සර නම් අපේ අදහස් අන්තර්ජාලය හරහා අනෙක් අයට දන්වන්න වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් අපට යම් වියදමක් ද කරන්න වෙනවා. නමුත් බ්ලොග් තාක්ෂණය නිසා අපට නොමිලේම මේ පහසුකම ලැබෙනවා.  අපගේ අදහස් උපරිම නිදහසකිය් යුක්තව අනෙක් අය සමඟ බෙදා හදාගන්න බ්ලොග් තරම් වෙන කිසිම දෙයක් ලෝකයේ නැති තරම්. මේ සම්බන්ධව උපදෙස් දෙන වෙබ් අඩවිත් බොහෝයි. දැන් යුන්කේත තාක්ෂණයෙන් සිංහල බසින්ම බ්ලොග් ලියන්න පුලුවන්. සිංහල බසින් බ්ලොග් පවත්වාගෙන යන කාන්තාවන් ඕනෑ තරම් සිටිනවා. ඔබගේ නිර්මාණශීලි අදහස් නිදහසේ ලෝකයත් සමග බෙදාගන්නට, ඔබේ දැනුම ලෝකය හා බෙදාගන්නට හැකි විනෝදාංශයක් ඇත්නම් මෙය හැර වෙන කිසිවක් නැහැ.

3. චිත්‍ර ඇඳීම

චිත්‍ර ඇඳීම සියලු දෙනොටම එක වගේ හැකියාවක් තිබෙන දෙයක් නෙවෙයි. නමුත් මෙය අතීතයේ පටන් බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය විනෝදාංශයක්. අනෙක චිත්‍ර ඇඳීම කියන්නේ මිනිස් රූප හෝ විවිධ දර්ශන ඇඳීම පමණක්ම නොවෙයි. තමන්ගේ හිතේ තියෙන දෙයක් තමන් කැමති විදියට අඳින්න පුලුවන්. එක් චිත්‍රපටයක තිබුණේ එක් කාන්තාවක් තමන්ගේ හිතට තද කෝපයක්, ලොකු සතුටක් ඇති වුණාම ඒ හැඟීම විඳගන්න චිත්‍රයක් අඳින එක. ඒ චිත්‍රයේ අපට තේරුම්ගන්න පුලුවන් විදියේ හැඩතල නැහැ. නමුත් නූතන චිත්‍ර කලාවේ (Modern Arts) හැඩතල තියෙනවා. යම් කෙනෙකුට යම් ප්‍රමාණයකට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබෙනවා නම් මෙවැනි විනෝදාංශයක් තුළින් සෑහෙන වින්දනයක් ලබාගන්න පුලුවන්.

4. ඡායාරූප ශිල්පය

මේකත් ලෝකයේ අතිශය ජනප්‍රිය විනෝදාශයක්. මේ සදහා අධික මිල ගණන් වැයවන කැමරා උපකරණ අවශ්‍ය යැයි ඔබට සිතෙන්නට පුලුවන්. නමුත් ලක්ෂ ගණන් වටිනා කැමරා උපකරණ තිබුණත් ඡායාරූප ශ්ලපය කියන්නේ එය නෙවෙයි. තමන්ට ලෝකය නිර්මාණශීලිව දකින්න පුලුවන් නම්, ඒ දකින විදිහ ඡායාරූපයකට කොටුකරගන්නට තියෙන හැකියාවයි. මේ සඳහා අද බොහෝ දෙනෙක අතේ තියෙන හොඳ නමක් තියෙන, උසස් කැමරාවක් සහිත ජංගම දුරකතනයක් වුණත් සෑහෙනවා. මිල අධික කැමරාවලින් කළ හැකි දේ මේවායෙන් කළ නොහැකි වුණත් ඔබටත් යම් නිර්මාණශිලී දේ මෙයින් කරන්න පුලුවන්. එහෙම කරන අය ඕනෑ තරම් අපේ රටෙත් ලෝකයේත් සිටිනවා. ලෝකයේ සිටින වර්තමාන  පරපුරේ ඇතැම් ඡායරූප ශිල්පීන් තමන්ගේ ගමන පටන් අරන් තියෙන්නේ ජංගම දුරකතන කැමරාවලින්. ඒ විතරක් නෙවෙයි ජංගම දුරකතන ඡායාරූප තරග පවා පැවැත්වෙනවා. ඉතිං මේකත් හොඳ විනෝදාංශයක් කියලා ඔබට දැන් සිතේවි.

5. ලිවීම

විවේක කාලයේදී ලේඛන කටයුතුවල නිරතවීම කියන්නේ ඉතාම වැදගත් විනෝදාංශයක්. අපේ රටේ සිටින ඇතැම් සුප්‍රකට ලේඛිකාවන් පවා මුළින්ම ලේඛන කටයුතුවල නිරතවී තිබුණේ විවේකය ගතකරගැනීමේ ක්‍රමයක් විදිහටයි. නමුත් එය වර්ධණය වන්නට පටන්ගැනීමත් එක්ක ලේඛනය ඔවුනගේ වෘත්තීය බවටම පත් වුණා. ඇතැම් අය පුවත්පත්වලට ලිපි, කවි ලියනවා. ඇතැම් අය නවකතා ලියනවා. තවත් අය තමන්ගේ දැනුම, ලේඛන කටුයුතු ඔස්සේ අනෙක් අය සමඟ බෙදාගන්නවා. මෙහි කලින් සඳහන් කළ බ්ලොග් ලිවීමත් මෙම ලේඛන හැකියාව සමඟ සම්බන්ධ කරගැනීමෙන් තවත් අපූරු දිශාවකට ඔබගේ විවේක කාලය යොමුකරවාගන්න පුලුවන්.

6. එකතුකිරීම

එකතු කිරීම කියා අදහස් කළේ විවිධ විසිතුරු දෑ රැස්කිරීමයි. ඇතැම් අය ගඟක්, දොළක් වැනි තැනකට ගිය විට එහි ඇති විවිධ විසිතුරු හැඩයේ ගල්වර්ග අරගෙන එනවා. ඔවුන් ඒවා එකතු කරනවා. තවත් අය බෝනික්කන්, පැන්ඩාවන්, කුරුළු පිහාටු, ගස්වල විසිතුරු හැඩයේ කොළ ආදිය එකතු කරනවා. ඇතැම්විට මෙවැනි දෙයකින් විශේෂ ප්‍රයෝජනයක් නැතැයි සිතෙන්නට පුලුවන්. නමුත් අපි විනෝදාංශයක මූලික අරමුණ අමතක නොකළ යුතුයි. ඒ තමයි මානසික විවේකය. අපට එය ළඟාකරන්නට හැකි යම් විනෝදාංශයක් කරනවා නම් එය ඉතාමත් වැදගත් දෙයක්.
7. ඉවුම් පිහුම් සහ මැහුම්

මේවා නම් කාන්තාවන් අතර සාමාන්‍යයෙන් ජනප්‍රිය විනෝදාංශ. ඔවුන්ට මේවා තමන්ගේ සාමාන්‍ය ජීවිතයේදී කරන්න වෙන දේවල්. නමුත් සාමාන්‍ය ජීවිතයේදී කරන දේ තුළින් වුණත් ඇතැම් අය නිර්මාණශිලී දේ කරන බව පෙනෙනවා. අලුත් විදිහේ කෑම බීම, අලුත් විදිහේ ඇඳුම් පැළඳම් වැනි දේ කරන කාන්තාවන් ගැන අපට අසන්නට ලැබෙනවා. ඔවුන් අලුත් දේවල් සඳහා යොමුවන්නේ තමන් ඒ කරන දෙය තුළින්ම මානසික සහනයක් ලබන නිසයි. ඒ නිසා ලෝකයේ ජනප්‍රිය විනෝදාංශ අතර මෙය ද එකතුවී තිබෙනවා.


මෙහි සඳහන් කළේ වෙබ් අඩවි ගණනාවක් පීරා සොයාබැලීමෙන් පසුව අපේ රටටත් සම්බන්ධ කරගත හැකිලෝකයේ බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය විනෝදාංශ කිහිපයක් පමණයි. නමුත් මීට අමතරව තව බොහෝ විනෝදාංශ පවතිනවා. ඔබට ඒවා සොයාගන්නට පුලුවන්. කිසිවකුට හිරිහැරයක් නොවන, ඔබේ මානසික සුවය වර්ධණය කරවන කුමන හෝ විනෝදාංශයක් තොරාගැනීම සෑම අතින්ම වැදගත් දෙයක්.

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍යයේ ප්‍රජාපතිය - ගුන්ගුන් උප්‍රාරි - Gun Gun Uprari, Prajapathi of Buddha Tele Drama


සිදුහත් කුමාරායා ඉපදිලා දින සතකින් ඔහුගේ මව, ඒ කියන්නේ මහාමායාදේවිය මිය යනවා. ඒ ඇගේ ආයු කාලය එතැනින අවසන්වන නිසයි. බිළිඳු සිදුහත් කුමාරයාට මවක් නැති අඩුපාඩුව සපුරන්නට සුද්දෝදන රජතුමා දෙවැනි විවාහයක් කරගන්නවා. ඒ තමයි ප්‍රජාපතී ගෝතමී කුමරිය. සිදුහත් කුමාරයාට ජීවිතය ගැන හැම මගපෙන්වීමක්ම කරමින් දෙවැනි මවක් විදිහට ළඟින් ඉන්නේ ප්‍රජාපතී ගෝතමියයි. මේ වෙසක් සමය නිසා අපි හැමෝටම මේ සම්බන්ධව විවිධ  කතා නිතර ඇසෙනවා. ඒ වගේම අපට ප්‍රජාපතී ගෝතමිය මේ දවස්වල දකින්නත් ලැබෙනවා. ඒ ‛ශ්‍රී ගෞතම සම්බුද්ධ’ ටෙලි නාට්‍යයයෙන්. මේ නාට්‍යයයේ ප්‍රජාපතී ගෝතමියගේ චරිතය නිරූපණය කරන්නේ ‛ගුන්ගුන් උප්‍රාරි’ කියන නිළියයි. අපි හිතුවා අද ඇය ගැන කතා කළොත් හොඳයි කියලා. 

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලට අයත් ලක්නව් නගරයේ උපන් ඇය සාමාන්‍ය පවුලක තරුණියක්. ඇගේ පියා පාසල ගුරුවරයෙක්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. දෙන්නාම පාසලක දේශකවරියන් විදියට වැඩකටයුතු කරනවා. ගුන්ගුන් රංගනය තමනගේ වෘත්තීය ලෙස තෝරා ගත්තත් ඇය අධ්‍යාපනය ලබා උපාධයක් පවා හිමිකරගෙන සිටින්නේ ජන සන්නිවේදනය සඳහායි. 
2008 වසරේදී රංගන සඳහා එක් වූ ගුන්ගුන් ඉන්දියාවේ විකාශනය වූ මාලා ටෙලිනාටක කිහිපයකමකට දායක වෙලා තියෙනවා. ‛බන්ධාන් සාත් ජනෝමොන් කා’, ‛රාක්ත් සම්බන්ධ්’, ‛හාර් ජීත්’, ‛බුද්ධා’ (ශ්‍රී ගෞතම සම්බුද්ධ), සහ ‛ජෝ බිවි සේ කාරේ ප්‍යාර්’ මේ අතර වෙනවා. 
ගුන්ගුන් රංගනයට එක් වූ ආකාරය ගැන එක් අවස්ථාවකදී පුවත්පත් වාර්තාකරුවකු ඇගෙන් අසා තිබුණා. 


“මම මගේ ජනසන්නිවේදන උපාධය අවසන් කරලා මුම්බායි ආවා. ඒ හින්දි ප්‍රවෘත්ති නාලිකාවක සේවය කරන්නට. ඒ අතරේ මම මගේ ජීව දත්ත විස්තරයක් ටෙලි නාට්‍ය හා සිනමා නිෂ්පාදන සමාගමක වෙත යවා තිබුණා. ඒ අතරේ තමයි මට ‛බන්ධාන් සාත් ජනෝමොන් කා’ සඳහා සම්බන්ධවන්න අවස්ථාවක් ලැබුණේ. මම හිතන්නේ එක් මගේ වාසනාවක් කියලයි.” 

ඒ මොහොතවන විටත් රංගනය ගැන ඔබේ යම්කිසි අදහසක් තිබුණාද කියා පුවත්පත් වාර්තාකරු ඇසුවා. 

“රංගනයට සම්බන්ධ වෙන්න ඕන කියන අදහසක් මගේ සිතේ නිතරම තිබුණා. ඒත් රංගනය කියන්නේ අවදානමක් අරන් කරන්න ඔන වෘත්තියක්. ඒ නිසා මම ඒක මගේ අනාගත රැකියා ලැයිස්තුවේ මුල් තැනක ලබා තිබුණේ නැහැ. ඒත් මම දැන් ඒ අවදානම අතට අරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඉදිරියට යාම පමණයි.” 

චරිතයක් සඳහා විශේෂයෙන් සූදානම් වනවාද කියා මේ පුවත්පත් වාර්තාකරු ගුන්ගුන්ගෙන් ඇසුවා. ඔහු මේ ප්‍රශ්නය යොමු කළේ ‛බුද්ධා’, ඒ කියන්නේ ‛ශ්‍රී ගෞතම සම්බුද්ධ’ ටෙලිනාට්‍යයේ ප්‍රජාපතීගෝතමියගේ චරිතය සම්බන්ධවයි. 

“මට මුළින්ම නම් මේ චරිතය භාරගන්න ලොකු චකිතයක් තිබුණා. මොකද ඓතිහාසික චරිතයක් කරන්න මට ලැබුණු මුල්ම අවස්ථාව තමයි මේ. මේක ලොකු වගකීමක් සහිත චරිතයක්. හැඟීම් දැඩිව උද්දීපනය කළ යුතුව තිබුණා. ඊටත් අමතරව සෑහෙන ඇඳුම් ටිකක් අඳින්නත් තිබුණා. රජකාලේ ඇඳුම් නේ.” 

“මම මේ චරිතය නිරූපණය කරන කාලේම මට හාත්පසින්ම වෙනස් චරිතයක් වෙනත් ටෙලිනාට්‍යයක් සඳහා කරන්න වුණා. ඒක විකට චරිතයක්. ප්‍රජාපතීගෝතමියගේ වගේ බැරෑරුම් චරිතයක් කරන අතරේ මම වගේ ආධුනික නිළියකට විකට චරිතයක් කරන්න ලැබුණු එක ලොකු අභියෝගයක්. මොකද මේ චරිත දෙකෙන් පෙන්වන්න තියෙන හැඟීම් එකකට එකක් විරුද්ධයි. චරිත දෙකෙන් එකකටවත් වැඩි කාලයක් සමවැදී ඉන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දෙබස් කියන විට පෙන්වන්න ඕන හැඟීම් පවා මේ චරිත දෙකේ පරස්පරයි. ඒ නිසා මම ලොකු අවදානමක්, බයක් අරගෙන තමයි මෙයට මුහුණ දුන්නේ. ඒත් මම ආධුනික නිළියක් හැටියට මේ අභියෝගයට මුහුණ දුන්නා. මම හිතන්නේ ඒක මම ජයග්‍රහණය කරන්න ඇති. මගේ ප්‍රෙක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් මට ඒක පැහැදිලි වෙනවා.” 

ඉදිරියේදී තවත් අභියෝගාත්මක චරිතවලට සම්බන්ධවන්නට කැමති බවත් ඇය පවසනවා. ඇය තවම යොවුන් රංගන ශිලිපිනයක් වුවත් බොහෝ විට ඇයට ලැබෙන්නේ සුවිශේෂී චරිත. එක් ටෙලි නාට්‍යයක ඇයට නිරූපනය කරන්නට ලැබුණේ මවකගේ චරිතයක්. 

කෙළිලොල් චරිතවලින් මිදුණු එවැනි සුවිශේෂී චරිත සඳහා වැඩි වශයෙන් දායක වන නිසා බොහෝ දෙනෙක් ඇය දෙස බලන්නේ වැඩිහිටියකු දෙස බලන ආකාරයටයි. ඇය ඒ ගැන තරමක් කණගාටුවෙන් කතා කළත් එවැනි චරිත ලැබීම ගැන ඇය තුළ ඇත්තේ සතුටක්. කොහොම වුණත් ඇය මේ විදියට අදහස් ප්‍රකාශ කළා. 

“මම වෙනස් චරිත කරන බව ඇත්ත. ඒත් මම තවම තරුණියක්. ඒ හැඟීම තමයි මට තියෙන්නේ. මම නර්තනයට, නොයෙක් තැන්වල ඇවිදින්න යන්න, සාප්පු සවාරි යන්න හරි ආසයි. ඒවා තමයි මගේ විනෝදාංශ. විවේකයක් ලැබුණු වෙලාවට මගේ යාලුවොත් එක්ක තරුණියක් විදියට මම බොහෝ විනෝද වෙනවා. මගේ චරිතවලින් මගේ හැබෑ ජීවිතේ දිහා බලන්න එපා.” 

නපුරු සිහින නිතර පෙනෙන්නේ ඇයි? - All About Nightmares


බය හිතෙන සිහින හෝ නපුරු සිහින ඔබ ද බොහෝ විට දැක තිබෙන්නට පුලුවන. මනෝ විද්‍යාවේ දී මෙය හඳුන්වනු ලබන්නේ දුස්ස්වප්න’ (nightmare) නමිනි. සිතේ ඇති බිය, ත්‍රාසය, කාංසාව, දැඩි වේදනාව වැනි කරුණු නිසා නපුරු සිහින දැකිය හැකි බව මනෝ විද්‍යාඥයෝ පවසති. එමෙන්ම ඇතැම් ලෙඩරෝග සඳහා ලබාගන්නා ඖෂධ ද නපුරු සිහින දැකීමට හේතුවන වන බව පැවසේ. නිතර නපුරු සිහින දකින්නේ නම් එය ප්‍රතිකාර ගත යුත්තකි. අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ අප දකින සාමාන්‍ය සිහින (dreams) බොහොමයක් නින්දෙන් අවදිවන විට අමතකව ගිය ද නපුරු සිහින සියල්ලම පාහේ මතකයේ රැඳෙන බවය.

හෙළිවී ඇති කරුණුවලට අනුව අවුරුදු පහට අඩු දරුවන් නපුරු සිහින දකින්නේ බොහෝ අඩුවෙනි. නමුත් ගැටවර වියට එළැඹෙද්දී නපුරු සිහින දැකීම සාමාන්‍ය දෙයක් බවට පත්වේ. ගැටවරවියෙහි පසුවන්නන්ගෙන් 25%ක් මෙම තත්වයට පත්වෙන බැව් පැවසේ. පසුව අවුරුදු 25 සිට 55 දක්වා කාලය දක්වා ඇත්තේ නපුරු සිහින දැකීම කෙමෙන් පහළ යාමේ තත්වයකි.

සෑම පුද්ගලයකු නිනිදට වැටුණු පසු සීඝ්‍ර අක්ෂි චලනය’ (rapid eye movement  - REM) යන අවස්ථාව පසුකරන කරන බව මනෝවිද්‍යාවේ සඳහන් වේ. අප නපුරු සිහින දකින්නේ මේ අවස්ථාවේදීය. මෙහිදී නිදා සිටින තැනැත්තාගේ ඇසි වේගයෙන් චලනය වනු දැකියි හැකි දෙයකි. මෙහි සඳහන් කළ විවිධ මානසික තත්වයන් නිසා මෙන්ම සෑබෑ හේතුවක් නිසා ද නපුරු සිහින දැකිය හැකි බව මනෝවිද්‍යාඥයෝ පවසති. උදාහරණයක් ලෙස යමෙකුගේ දෑස් ඉදිරිපට මනුෂ්‍ය ඝාතනයක් දුටුවේ නම් එය නපුරු සිහිනයක් ලෙස අදාළ පුද්ගලයාට නිකර පෙනෙන්නට පුලුවන.

අප දකින විවිධ නපුරු සිහින මනොවිද්‍යාඥයින් විසින් ප්‍රධාන කොටස් 10කට බෙදා දක්වා ඇත. අප බහුලව දකින නපුරු සිහින මෙම වර්ග 10 ට ඇතුළත් වේ.

1. ස්වභාවික විපත්

දරුණු ගංවතුරකට, සුනාමි තත්වයකට, කුණාටුවක හසුව සිටින අයුරු ඇතැම් විට ඔබ සිහිනෙන් දැක ඇති. නිවාස මතට ගස් කඩා වැටී තිබෙනු දැක ඇති. යම්කිසි පුද්ගලයකුගේ සිතේ ඇති කාංසා තත්වයක් නිසා මෙවැනි සිහින දැකිය හැකි බැව් කියැවේ. යමෙකුගේ දෛනික ජීවිතයේ ඇතිවන විවිධ හැළහැප්පීම්, ආතතිමය තත්වයන් මෙයට හේතුවන්නට හැකිය. එමෙන්ම ඉදිරියේ පවත්වන්නට නියමිත විභාගයක්, වෛද්‍ය හමුවක්, පවත්වන්නට ඇති කතාවක්, පුද්ගල සම්බන්ධතා ගැටලු ආදිය මෙවැනි මානසික තත්වයක් පසුපස තිබෙන්නට පුලුවන.

2. මළවුන් දැකීම

මියගිය පුද්ගලයකු ඔබ අසළට පැමිණීම හෝ ඔබ සමඟ කතාකරනු මෙවැනි සිහිනවල බහුලය. ඇතැම් විට එසේ පැමිණෙන පුද්ගලයා මෑතකදී මිය ගිය ඥාතියකු හෝ හිතවතකු විය හැකිය. ඇතැම්විට ඥාතියකු හෝ හිතවතකු නොවන මිය ගිය පුද්ගලයන් ද සිහිනෙන් දැකිය හැකිය. ඔබ මෑතකදී මිය ගිය ඔබගේ අත්තම්මා දුටුවේ නම් එයින් කියැවෙන්නේ ඇය මිය යාමෙන් ජීවිතයට ඇති වූ අඩුව පිරිමසාගන්නට මානසිකව කරනා අරගලයයි. එමෙන්ම යම් පුද්ගලයකු තුළ ඇති රෝගී තත්වයන් ද මෙයට හේතුවන්නට පුලුවන. ජීවිතයට හානි විය හැකි රෝගයකින් පීඩා විඳින පුද්ගලයන්ද මෙවැනි සිහින දකින්නට පුලුවන.

3. වැදගත් අවස්ථා මගහැරීම

විවාහය වැනි ජීවිතයේ වෙනත් වැදගත් අවස්ථාවන් මගහැරෙනු සිහිනෙන් දැකීම ද සුලභ සිදුවීමකි. අධික ලෙස මානසික පීඩාවන්ගේ යුක්තව සිටින පුද්ගලයන් අතර මෙවැනි සිහින බහුලය. යමක් අසාර්ථක වීම පිළිබඳ බියක් හෝ යමක් බලාපොරොත්තුවන මට්ටමකට සිදුකරගත නොහැකි වනු ඇතැයි යන සිතිවිල්ල නිසා ද මෙවැනි සිහින දැකිය හැකිය.

4. නිරුවතින් සිටිනු දැකීම

ප්‍රසිද්ධ ස්ථානයක නිරුවතින් සිටිනු දැකීම ද තවත් එක් අවස්ථාවකි. මෙය හිතවතුන්ට පැවසූ විට එය කවටකමකට හේතුවක් විය හැකි මුත්, මෙවැනි සිහින පිටුපස අප නොසිතන තරමේ විශාල හේතු තිබෙන්නට පුලුවන. යම් පුද්ගලයකු සිය ප්‍රතිරූපයට හානි සිදුවේ යැයි යම් බියකින් පසුවන විට මෙවැනි සිහින දකින්නට පුලුවන. එමෙන්ම සෙසු පුද්ගලයන් තමන් කෙසේ විනිශ්චය කරන්නේදැයි යම් පුද්ගලයකුගේ නිතර බියක් පවතී නම්, එවිට ද මෙවැනි සිහින දැකිය හැකිය.

බ්‍රිතාන්‍ය කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳවන කේට් ද ප්‍රසිද්ධියේ නිරුවතින් සිටින සිහින දකින බව පවසා ඇත. ඇය මේ තත්වයට පත්ව ඇත්තේ 2006 වසරේ සිටය. ඇය පවස්නේ මෙවැනි එක් සිහිනයක බ්‍රිතාන්‍ය මහ රැජින සහ පිලිප් කුමරු ද තමා දෙස බලා සිටින අයුරු දුටු බවය. මේ පිළිබඳ විශ්ලේෂකයන් පවසන්නේ ඇය රජ පවුල සමඟ එක්වීමෙන් පසු අත්විඳින්නට වන නව වගකීම් සම්භාරය පිළිබඳ නිතර සිතීම මෙයට හේතුව වන්නට ඇති බවය. සිය හැකියාවන් පිළිබඳ ඇති අඩු විශ්වාසය මෙවැනි සිහින දකින්නට හේතුව බව විශ්ලේෂකයෝ පවසති.


5. දත්

යම් පුද්ගලයකුගේ සිතේ අනාරක්ෂිත හැඟීමක් පවතින විට දත් සම්බන්ධ සිහින දකින බැව් මනෝවිද්‍යාවේ කියැවෙයි. බොහෝ විට දකින්නේ දත් සියල්ල ගැලවී වැටී ඇති අවස්ථාවකි. ප්‍රසිද්ධියේ නිරුවත් වන සිහිනය සේම මෙහිද ප්‍රධාන හේතුවන්නේ අන් පුද්ගලයන් විසින් තමාව කෙසේ විනිශ්චය කෙරේ ද යන බියයි.

හොලිවුඩ් නිළියක වන හේල් බෙරී දත් සම්බන්ධ නිතර නපුරු සිහින දැක ඇති බැව් වාර්තා වේ. තමා කතා කරන සෑම වාරයක් පාසාම දත් ගැළවෙනු තමා නිත දැක ඇති බව ඇය පවසයි. මේ පිළිබඳ සිහින විශ්ලේෂකයෝ පවසන්නේ ඇයට ආකර්ෂණීය කාන්තාවක් වීමට අවශ්‍ය වුවත් ඇයට ඒ පිළිබඳව විශ්වාසය නොමැතිවීම මෙවැනි සිහින දකින්නට හේතුවන බවය.


6. තුවාල හා හදිසි අනතුරු

සිය පෞද්ලික ජීවිතයේ  ඇති දුබලතාවයන් මෙවැනි සිහින දකින්නට හේතු වේ. අස්ථි බිඳීයාම හෝ තුවාල සිදුවනු සිහිනෙන් නිතර දකින්නේ නම් එයින් පැවසෙන්නේ ඔබගේ ඇති යම්කිසි දුබලතාවයක් පිළිබඳ මොලය ඔබට අනතුරු හඟවන බවය. ඔබගේ දුබලතාවයක් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමෙන් මෙවැනි සිහින දැකීම වළක්වා ගත හැකිය.

7. සහකරු අතහැර යාම

සිය සහකරු/සහකාරිය හෝ ජීවිතයේ වෙනත් අතිශය වැදගත් පුද්ගලයකු තමාගෙන් ඈත්වනු සිහිනෙන් දැකිය හැකිය. මෙයට හේතුව වන්නේ සිය සහකරු තමාව කුමන මොහොතක හෝ හැර යාවී දැයි සිතෙහි නිතර ඇතිවන කාංසා හැඟීමයි. එමෙන්ම සිය සබඳතාවය පිළිබඳ අනාරක්ෂිත බවක් ඇත්නම් එවිට මෙවැනි සිහින පෙනේ.

8. සිරවී සිටිනු සිහිනෙන් දැකීම

මෙය ද බහුලව දක්නට ලැබෙන නපුරු සිහිනයකි. ප්‍රමාණයෙන් කුඩා ස්ථානවලට, වසා ඇති ස්ථානවලට බියක් දක්වන, එවැනි ස්ථානයක් සිටීමෙන් තමා සිරවේ යැයි නිතර බියකින් පසුවන පුද්ගලයන්ට මෙවැනි සිහින දැකිය හැකිය. යම් කිසි පුද්ලගයකු දැනට සිරවී සිටින ගැටලුකාරී තත්වය විසඳාගත නොහැකිව පීඩා විඳින විට මෙවැනි සිහින දැකිය හැකිය. මූල්‍ය ගැටලු, රැකියාව අහිමිවීම පිළිබඳ ගැටලු, අසාර්ථක සම්බන්ධතා ආදිය මෙයට හේතුවන්නට පුලුවන. යම්කිසි බියක් හේතුවෙන් තමාගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි වේ යැයි ඇති කාංසාව ද මෙයට බලපායි.

9 .ඇදවැටීම

ඇදවැටීමක් සිහිනෙන් දැකීම තුළින් පෙන්නුම් කරන්නේ තමාට තමාව පාලනය කරගැනීමට නොහැකියාව හේතුවෙන් සිය පෞද්ගලික ජීවිතයේ ඇතිවූ කාංසා ස්වභාවයයි. මෙවැනි තත්වයන් මුදල්, සබඳතා, රැකියාව හෝ යම් ආකාරයක අපයෝජන තත්වයක් නිසා ඇතිවිය හැකිය. ඇදවැටීමක් සිහිනෙන් දැකීම සඳහා  යම්කිසි පුද්ගලයකුට සිය ජීවිතයේ යම් කිසි තත්වයක් පාලනය කරගැනීමට නොහැකි යැයි ඇතිවන හැඟීම හේතු වේ. මෙවැනි සිහින බොහෝ විට දකින්නේ ධනයෙන් බලයෙන් ඉහළ තැන්වල සිටිනා පුද්ගලයන්ය. නමුත් ඔවුන්ට සිය ජීවිතයේ යම් යම් පාර්ශ්වයන් පාලනය කරගැනීමට නොහැකි තත්වයකින් පසුවෙයි.

10 .ලුහුබැඳීම හෝ පහරදීමකට ලක්වීම

බොහෝ දෙනෙක් අත්දකින පොදු නපුරු සිහිනයක් වන්නේ මෙම ස්වභාවයේ ඒවාය. බොහෝ විට මෙහිදී දකින්නේ මිනිසුන්, සතුන් හෝ අද්භූත සත්වයින් විසින් ලුහුබැඳීමක් හෝ පහරදීමකි. ඔබගේ ජීවිතයේ යම්කිසි ගැටලුවකට මුහුණදීමට සිතේ ඇති බිය හේතුවෙන් මෙවැනි සිහින දැකිය හැකිය. නපුරු සේවක ප්‍රධනියෙක්, නපුරු ගුරුවරයෙක්, නපුරු දෙමාපියන් හෝ අසාර්ථක ආදර සම්බන්ධතා වැනි හේතු මෙය පසුපස තිබිය හැකිය. තමා පසුපස ලුහුබැඳ එන්නේ ඔබ මුහුණදීමට බියෙන් පසුවන ගැටලුවයි. ඔබ එයින් ඉවතට දිවයන්නේ එයට මුහුණදෙන්නට අකමැති හෝ බිය නිසාය. මෙවැනි සිහින ඔබ දකින්නේ නම් ඔබේ සැබෑ ජීවිතයේ ඇති ගැටලු පිළිබඳ සොයාබලා ඒවාට නිසි විසඳුමක් ලබාදීම තුළින් මේ තත්වයෙන් අත් මිදිය හැකිය.

ජනප්‍රිය ඇමරිකානු ගායිකාවන වන මැඩෝනා මෙවැනි සිහින නිතර දකින බැව් කියැවෙයි. ඇය පවසන්නේ පිහියක් අතින් ගත් අඟුටුමට්ටකු තමා පසුපස පන්නාගෙන එන බැව් නිතර දකින බවය. මැඩෝනා තමාගේ අකමැති යම්කිසි ස්වභාවයක් හෝ ගතිගුණයක් මගහැරීමට මානසිකව ගන්නා උත්සාහය මෙවැනි සිහින දක්නිනට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති.



මීට අමතරව වෙනත් ස්වභාවයේ නපුරු සිහින ද දැකිය හැකි අතර මෙහි සඳහන් කරන ලද්දේ මනෝවිද්‍යාවට අනුව වර්ග කළ පොදු ස්වභාවයන් 10 කි. ඔබ නිතර නපුරු සිහින දකින්නේ නම් ඒවා තනිව විසඳාගැනීමට උත්සාහ කරනවාට වඩා ඔබේ හිතවතකු සමඟ කතා කොට මනෝවෛද්‍යවරයකු හමුවට යාම වඩාත් සුදුසුය. මන්ද නිතර නපුරු සිහිනවලට ලක්වන පුද්ගලයකු නිසි ප්‍රතිකාර නොගන්නේ නම් එය වෙනත් මානසික ගැටලුවලට හේතුවක් විය හැකි නිසාය.

Thursday, May 22, 2014

අපේ සමහරුන් සැප සොයා යන රටවලත් යාචකයෝ - සමහරුන් ගෙදර යන්නේ බෙන්ස් කාර්වලින්ලු


යාචකයන් යනු ශ්‍රී ලාංකීය අපට කිසිසේත්ම නුහුරු නුපුරුදු පිරිසක් නොවේ. ඔවුහු ද අනාදිමත් කාලයක සිට අප සමාජයේ සිටිති. අප රට වෙසෙන මෙම යාචකයන් පරම්පරා ගණනක සහ විවිධ ආර්ථික හේතූන් මත එම තත්ත්වයට පත්වන්නවුන් වශයෙන් කොටස් දෙකකි. අප වැනි තුන්වන ලෝකයේ රටවල් කවරක් සලකා බැලුවද තත්ත්වය මෙසේමය. නමුත් ඇතැම් විට අපට සතුටු වන්නට පුළුවන් අවස්ථා ද තිබේ. ඒ ඉන්දියාවේ තරම් අපේ රටේ යාචකයන් නැතැයි කියාය.

මේ අතර අපේ රටේ ආර්ථික තත්ත්වය සමග ජීවත්වන්නට ‍පොරබදන බොහෝ දෙනෙක් වැඩි මුදලක් උපයා ගැනීම සඳහා ලෝකයේ දියුණු යැයි සම්මත රටවලට යති. මේ රටවල් අතර මැදපෙරදිග, ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු මෙකී නොකී බොහොමයක් තිබේ. මෙම රටවල් ආර්ථික වශයෙන් ඉතා සමෘද්ධිමත්ය. අපේ රටේ උපයනවාට වඩා දෙතුන් ගුණයක මුදලක් එම රටවල රැකියා කිරීමෙන් උපයාගත හැකිය. අනෙක ඒ බොහෝ රටවල අපට වඩා රැකියා සොයා ගැනීමට ඇති අවස්ථාවන් ද ඉහළය. කේතුමතී පුරවර වැනි මෙවැනි රටවල ප්‍රධාන නගර සෑම සැප සම්පතකින්ම ආඪ්‍ය වී ඇතැයි සිතීමේ වරදක් නැත. නමුත් මෙවැනි ධනවත් ආර්ථිකයන් තුළ පවා යාචකයන්ගේ අඩුවක් නොමැති බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඉතිහාසය දෙසට හැරී බලන විට පවා පෙනෙන්නේ අද අප ලෝකයේ ධනවත් රටවල් යැයි පවසන බොහෝ ඒවායෙහි යාචකයන් දිගු කාලයක් තිස්සේ ජීවත් වන බවය. ලෝකයේ ධනවත් රටවල ඇති සෞභාග්‍යමත් නගර තුළ යාචකයන් සිටීම පිළිබඳ එක් අතකින් පුදුමයක් යැයි ද සිතේ.

යාචකයන් පිළිබඳ කළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ ලෝකයේ වඩාත් ලාභදායකම රැකියාව සිඟාකෑම බවය. ලන්ඩනයේ මැන්චෙස්ටර් හි උමං දුම්රිය මාර්ගයක් තුළ දිවි ගෙවන එක් යාචකයකු සිය යාචක රැකියාව අවසාන වී නිවෙස බලා යන්නේ මර්සිඩීස් බෙන්ස් රථයකින් බැව් සොයා ගැනුණි. ලන්ඩනයේ ධනවතුන් පමණක් සිටින විම්බෙල්ඩන් හි ඔහුට නිවසක් තිබේ. සතියකට ඔහු පවුම් 10,000ක් පමණ උපයන බැව් පැවසෙයි. මෙය මහා බ්‍රිතාන්‍යයේ හැටියට වුවත් ඉහළ ආදායම් මට්ටමකි. 

ලෝකයේ සමාජ සුබසාධනය ඉතා ඉහළ මට්ටමක් පවතින, විරැකියා අනුපාතය ඉතා පහළ මට්ටමක් පවතින ඕස්ට්‍රේලියාවේ ද යාචකයෝ සිටිති. සිඟමනට නොවැටී ජීවත් වීමට යැයි පවසමින් අපේ රටේ බොහෝ දෙනකු නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට වෙර දරනුයේද මේ රටටය. සිඩ්නි නුවර සිටින එක් යාචකයකු වසරකට ඕස්ට්‍රේලියානු ඩොලර් 50,000ක් (රුපියල් ලක්ෂ 60කට අධික මුදලකි) පමණ උපයන බැව් සොයාගෙන තිබේ.

කෙසේ මුත් ලෝකයේ දියුණු රටවල් සමාජ සුබසාධන වැඩසටහන් මගින් යාචකයන් අවම කරන්නට විවිධ පියවර ගනිමින් සිටියි. යාචකයන් වෙනුවෙන් සුබසාධන මධ්‍යස්ථාන පිහිටුවා ඔවුන් ඒවායේ රඳවා තබා ගන්නට කටයුතු යොදා තිබේ. ප්‍රධාන නගරවල යාචකයන් සිටීම සිය රටේ ප්‍රතිරූපයට හානියක් යැයි ඔවුහු සිතති. ඇතැම් නගරවල යාචකයන් වෙනුවෙන් ඇති අරමුදල් සඳහා මුදල් තැන්පත් කිරීම සඳහා මහ මග කැට ද සවි කොට තිබේ. ඒවා kindness meter ලෙස හඳුන්වනු ලබයි. සිංහලෙන් පැවැසුවහොත් කරුණාවන්ත මානකයවැනි නමක් දිය හැකිය.

කරුණාවන්ත මානකය

එමෙන්ම බොහෝ ප්‍රසිද්ධ නගරවල යාචකයන් සිටිය ද සිඟමන් ඉල්ලීම විවිධ නීති රීති මගින් පාලනය කිරීමට කටයුතු යොදා තිබේ. කැනඩාවේ ඇතැම් නගරවල විනෝදයට සිඟමන් යදින්නන් ද දක්නට ලැබේ. ඔවුන් සිඟමන් ඉල්ලන්නේ බිර වීදුරුවක් පානය කරන්නටය. පසුගිය දශක කිහිපය තුළ මෙය විලාසිතාවක් ලෙස පැතිර තිබිණි. 1999 වර්ෂයේදී මෙවැනි ක්‍රියාවන් පනතක් මගින් තහනම් කරනු ලැබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වැසියනට උපදෙස් ලබාදී ඇත්තේ යාචකයන් හට සිඟමන් ලබා නොදෙන ලෙසය. එමෙන්ම ආක්‍රමණශීලී යාචකයන් වෙනුවෙන් ‍පොලීසිය සිය නීති දැඩිකොට තිබේ.

එක්සත් රාජධානියේ සිඟමන් යැදීම නීති විරෝධීය. නමුත් එම නීතිය දැඩිව ක්‍රියාත්්මක වන බවක් නොපෙනේ. එසේ දැඩිව නීතිය ක්‍රියාත්මක වූයේ නම් මර්සිඩීස් බෙන්ස් රථවල ගමන් කළ හැකි යාචකයන් බිහිවන්නේ නැත. සිඟමන් යැද හසු වුවහොත් සිර දඬුවම් ආදිය ලබානොදෙන තරම්ය. කෙසේ වුවද මහජනතාව නිතර ගැවසෙන ස්ථානවල පමණක් මෙම නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට  ‍පොලීසිය කටයුතු කරයි. ෆින්ලන්තයේද සිඟමන් යැදීම නීති විරෝධීය.රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයන්ට ප්‍රංශයේ සිඟමන් යැදීමේ යම් නිදහසක් තිබෙන අතර නිරෝගී පෙනුමක් ඇති, වැඩ කළ හැකි කිසිවකුටත් සිඟමන් යැදීම තහනම්ය.

ජපානයේ යාචකයන් බොහෝ අඩුය. පෘතුගාලයේ යාචකයන් බොහෝ විට දක්නට ලැබෙන්නේ කතෝලික දේවස්ථාන අසලය. එමෙන්ම විදුලි සංඥා ආලෝක පුවරු ඇති ස්ථාන, ලිස්බන් නගරයෙන් මඳක් එපිට ස්ථානවල යාචකයන් දක්නට ලැබේ. එහි සිඟමන් යැදීම නීති විරෝධී නැත. නමුත් යාචකයන් වෙනුවෙන් බොහෝ සුබසාධක ආයතන පිහිටුවා තිබේ. එමෙන්ම යාචකයන්හට යම්කිසි දීමනාවක් ද ලබාදෙයි.

ලක්සම්බර්ග් යනු යුරෝපයේ ඇති දියුණු මෙන්ම ජනාකීර්ණ නගරවලින් එකකි. නමුත් එහි සිඟමන් යැදීම තහනම් නැත. සාමූහිකව, සංවිධානාත්මක ලෙස සිඟමන් යැදීම පමණක් නීති විරෝධීය.


කෙසේ වුවද තුන්වන ලෝකයේ රටවල යාචකයන් අතර සිදුවන ගැටුම් වැනි හැළහැප්පීම් ලෝකයේ දියුණු නගරවල යාචකයන්ගෙන් වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. ඉන්දියාවේ උදාහරණයක් ලෙස එකම ස්ථානයක සිඟමන් යදින්නට දෙදෙනකු පැමිණිය හොත් මරාගන්නට තරම් දරුණු අයුරින් ගැටුම් ඇති කර ගනී.


ලෝකයේ රටවල් කෙතරම් දියුණු වුවද ඒ දියුණුවේ වාසි සියලු දෙනා අතර සමසේ බෙදී නොයන බැව් ලොව වටා මෙසේ යාචකයන් සිටීමෙන් මොනවට පැහැදිලි වේ. ඔවුන්ගේ වෙනස වන්නේ ඇතැම්විට අපේ රටේ යාචකයන්ට වඩා ඔවුන් උසස් ජීවන මට්ටමකට හිමිකම්පාන නිසා විය හැකිය. නමුත් ඔවුන්  ද යාචකයන්මය.

Sunday, May 18, 2014

ඉන්දීය මැතිවරණය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? Impact of Indian General Election on Sri Lanka


දශකයකට අධික කාලයක් ඉන්දියාවේ පාලනය ගෙනගිය කොංග්‍රස් පක්ෂයද, භාරතීය ජනතා හා ආම් ආද්මි යන පක්ෂ තුනද ප්‍රධාන වශයෙන්ම මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් විණි. අවසානයේ නරේන්ද්‍ර මෝදි අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ භාරතීය ජනතා පක්ෂය සිය සන්ධාන පක්ෂ සමග එක්ව ආසන  336ක් දිනා ගනිමින් මේ ඡන්ද සටනේ පෙරමුණට පැමිණියේ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුක්ත කොංග්‍රස් පක්ෂය පරාජයට පත් කරවමිනි. මෙය එතෙක් මතෛක්  කොංග්‍රසය ලැබූ දරුණුතම පරාජය ලෙස සැලකෙයි. මිලියන 550කට වඩා ඡන්දය පාවිච්චි කොට ඇති බව මේ වනවිට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව පැවැසේ. රාහුල් ගාන්ධි හට කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට නොහැකි වෙතැයි යන සැකය නිසා මතෛක් කල් දේශපාලන කරළියේ තිරය පසුපස භූමිකාවේ සිටි ඔහුගේ සොයුරිය ප්‍රියංකා ගාන්ධි ද පෙරමුණට පැමිණියාය. ඉන්දිරා ගාන්ධි සිහිපත් කරන පෙනුමකින් යුක්තව දේශපාලන  කරළියට පැමිණි ඇයගේ ගමන ලත් තැනම ලොප් විය. පසුගිය වසර 10 පුරා ජනතාව වෙනුවෙන් කිසිදු සේවයක් කරන්නට නොහැකි වීම කොංග්‍රස් පක්ෂයේ පරාජයට හේතුව බව දේශපාලන විචාරකයෝ පවසති.

නරේන්ද්‍ර මෝදි සිය දේශපාලන ව්‍යාපාරය අතරතුර ජයලලිතා ඇතුළු දකුණු ඉන්දියානු දේශපාලනඥයින් සමග කුළුපගව කටයුතු කළ බැව් ප්‍රකට කරුණකි. දකුණු ඉන්දියානු දේශපාලනඥයින් යනු අප රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කිසිවකුටත් වඩා උනන්දුවන පිරිසකි. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං හට සිය ඡන්දය පාවිච්චි කිරීම  සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදු වූයේද දකුණු ඉන්දියානු දේශපාලනඥයින්ගේ බලපෑමට යටත්වය. ඔවුන් සියලුවිට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පිළිබඳ සේම එල්.ටී.ටී.ඊ. සංවිධානයට ද වාසි සහගත හැසිරීමක් පෙන්නුම් කළේය. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ  පියා වූ රාජිව් ගාන්ධිගේ ඝාතනයේ සැකකාර එල්ටී ටී ඊ සාමාජිකයන් මරණ දඬුවමට නියමිතව තිබියදී කිසිදු වගවිභාගයකින් තොරව නිදහස් කරන්නට ක්‍රියා කළේද දකුණු ඉන්දියානු දේශපාලනයයි. නරේන්ද්‍ර මෝදි සන්ධානගතව සිටින්නේ එවන් පිරිසක් සමගය. එබැවින් ඔහු ඉදිරියේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට පෙර නොවූ විරූ ආකාරයේ හිතවාදී බවකින් ක්‍රියා නොකරන්නේ යැයි සිතිය නොහැකි බව දේශපාලන විචාරකයන්ගෙන් ඇතමෙක් පවසති. තමිල්නාඩු ප්‍රදේශයේ පැවැති දේශපාලන රැලිවලදී ඔහු කළ ඇතැම් ප්‍රකාශ මේ සඳහා නිදසුන් ලෙස ඔවුහු දක්වති. එම මතවලින් කිහිපයක් මෙසේය. 

1. ඉන්දියාවේ වැඩකටයුතුවලට ඇඟිළි ගසන පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වැනි කුඩා රටවල් සමඟ සෘජුව ප්‍රශ්න විසඳාගත යුතුය. 

2. තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ නාවික හමුදාවෙන් සිදුවන හිරිහැරවලට එරෙහිවන්නට ඉන්දීය මාධ්‍යම රජයට ධෛර්යයක් නැත. තමා බලයට පත් වූ විගස තමිල්නාඩු ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කෙරේ.

සිය පියාගේ මරණයට එල්.ටී.ටී.ඊ.ය සෘජුවම සම්බන්ධ බැවින් යම් හෙයකින් රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුක්ත කොංග්‍රසය බලයට පැමිණියේනම් ඉදිරියේදී මානව හිමිකම් ආදිය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් එල්ල වූ බලපෑමෙහි යම් වෙනසක් සිදු වන්නට තිබුණු බවද මෝදිගේ නායකත්වය යටතේ තත්ත්වය හාත්පසින්ම වෙනස්වන්නට ඉඩ තිබෙන බැව්ද මේ විචාරකයෝ වැඩිදුරටත් පවසා තිබිණි.

කෙසේ වුවද තත්ත්වය එය නොවන බව දැන් පෙනෙයි. ඡන්දයෙන් පසු ට්විටර් පණිවුඩයන් මගින් මෝදි කියා සිටියේ අනාගතයේදී ශ්‍රී ලංකාව සමග සබඳතා දැඩි කර ගන්නා බවය. නරේන්ද්‍ර මෝදි යනු හින්දු ජාතිවාදියකු ලෙස හංවඩු ගැසුණු අයෙකි. ඉන්දියාව යනු මිලියන 180ක මුස්ලිම් ජනගහණයක් ඇති රටකි. එය පාකිස්තානයේ සමස්ත ජනගහණයට සමානය. 2002 වසරේදී මෝදී, ගුජ්රාත් ප්‍රාන්තයේ මහ ඇමැති බවට පත් වූ අවස්ථාවේදී එහි පැන නැගුනු මුස්ලිම් කැරැල්‍ලේදී මුස්ලිමුන් දහසකටත් වඩා මියගියේය. මෝදි මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දෝෂ දර්ශනයටද නතු විය. ඔහු හඳුන්වනු ලැබුයේ ගුජරාතයේ ඝාතකයායන නමිනි. නමුත්  අගමැතිවරයා ලෙසින් ඔහු මුස්ලිමුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවනු ඇතැයි ඇතැමෙක් පැවැසුවද මුස්ලිමුන් මොහුගේ ජයග්‍රහණය පිළිබඳව පළ කරන්නේ ත්‍රාසය මුසු හැඟීමකි. ඔහු වටා සිටින හින්දු ජාතිවාදීන් පවසන්නේ මුස්ලිමුන් ඉන්දියාවට තර්ජනයක් බවය. ඉන්දියාවේ දැඩි මුස්ලිම් නායකයින් මෝදිව සමාන කරන්නේ හිට්ලර්ටය. කෙසේ වුවද මෙම තත්ත්වය වෙනස් බව පෙනෙයි. පසුගියදා මෝදිගේ වබේ අඩවිය විවෘත කරන ලද්දේ  ප්‍රකට තිර රචකයකු හා ‍ලේඛකයකු වූ සලීම් ඛාන් විසිනි. (ඔහු සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ පියාය)

මෝදිගේ මුස්ලිම් විරෝධය අනාගතයේදීද මෙසේම පැවැතුණහොත් පාකිස්තානය හා මුස්ලිම් ලෝකයේ අනෙකුත් රටවල් සමග ශ්‍රී ලංකාවේ ඇති සංහිඳියාව කෙරෙහි ඔහු කෙසේ ක්‍රියා කරනු ඇතිදැයි ගැටලුවක් පැන නැගේ.  ඔහු නිසැකවම තමිල්නාඩු දේශපාලනඥයින්ගේ අදහස්වලට අනුව ක්‍රියා නොකරතැයිද සිතිය නොහැකිය. මේනිසා ශ්‍රී ලංකාව සෑහෙන අසීරුතාවයකට පත්වන්නට ඉඩ තිබේ. එය එසේ වුවත්  වඩා දුරදිග බලන දේශපාලන විචාරකයින් පවසන්නේ ඉන්දියාවේ සමීපතම අසල්වැසියා වන ශ්‍රී ලංකාව සමග ඔහු වෛරී රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ගොඩනගා ගන්නට තරම් අනුවණ තත්ත්වයට පත් නොවනු ඇත කියාය. යම් හෙයකින් ඔහු මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන්නට තීරණය කළහොත් එයම අවියක් වී ඔහුගේ අවසානයට එය හේතු විය හැකිබැව් දේශපාලන විචාරකයෝ පවසති. 2005 වසරේදී වීසා ගැටලුවක් හේතුවෙන් ඔහුට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල්වන්නටද අවසර නොලැබිණි.

ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා ශ්‍රී ලංකාවට එරෙහිව යම් යම් ක්‍රියා මාර්ග ගනු ලැබුවද රාජපක්ෂ රජයට එරෙහිව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ කිසිදු තීරණයක් ගෙන නොමැත. නමුත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස  මෝදි පත්නොකර ගන්නැයි ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටීම සඳහා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙක් දැනට වසරකට පමණ පෙර යෝජනාවක්ද ඉදිරිපත්  කොට තිබිණි. අනෙක නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැතිවරයා බවට පත්වීමෙන් පසු ඔහුට ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනීම පසෙක ලා බටහිර රටවලින් ඔහුට එරෙහිව පැමිණෙන විවිධ තර්ජනවලට  එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට වැඩ කාලයක් ගත කිරීමට සිදුවනු ඇත. ඔහුගේ නායකත්වය යටතේ බටහිර රටවල් ඉන්දියාව කෙරෙහි වැඩි මැදිහත්වීමක් සිදු කරනු ඇත.

ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක ප්‍රාන්තයක්වන  තමිල්නාඩුවේ මහ ඇමැතිනී ජෙයලලිතා  මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ 2014  මහමැතිවරණය වෙනුවෙන් තමන් රජය සමග සන්ධාන ගත නොවී තනිවම පැමිණෙන බවය. මේ අනුව ඉන්දීය මධ්‍යම රජයට සිය බලය පවත්වාගෙන යාම සඳහා තමිල්නාඩුවේ සහය දැඩිව අවශ්‍ය වනු ඇත. තත්ත්වය එසේ වුවහොත් පෙර පැවැති තත්ත්වයට වඩා තමිල්නාඩුව ඉන්දීය මධ්‍යම රජය සමග එක්ව ශ්‍රී ලංකාවේ වැඩකටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි සිතිය නොහැකි බව ඇතැම් විචාරකයෝ පවසති. මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දක්වන්නෙකු වූ වයිකෝ මෙවර මැතිවරණයේදී පරාජය වූ බවද සඳහන් කළ යුතුය. ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත  සඳහන් කොට තිබුණේ ඔහුගේ පරාජය ශ්‍රී ලංකාව හා ඊළම සම්බන්ධව ප්‍රබල පසුබෑමක් බවය. ඉන්දීය පාර්ලිමේන්තුව තුළ හඬක් නැගීමට මෙම පරාජය නිසා  නොහැකි වන බැව් ඔවුහු වැඩිදුරටත් පවසති.


කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදි අතීතයේ කළ අනුවණ කම් ඉන්දීය අගමැතිවරයා ලෙස සිදු නොකරතැයි උපකල්පනය කළහොත්  තත්ත්වය අප සිතන තරම් බැරෑරුම් නොවනු ඇත. ශ්රීය ලංකාව සම්බන්ධව ඔහුගේ ආකල්පයන් තීරණය වන්නේ ශ්රීඅ ලංකාවේ රාජ්යො නායකයා ඉන්දියාවේ නව නායකත්වය සමග ඇතිකොට වර්ධනය කරගනු ලබන රාජ්ය  තාන්ත්රිරක සබඳතාවය මතය. මෙහිදී ශ්රීව ලංකාවේ රාජ්ය  නායකයා වඩාත් උපායශීලී විය යුතුය. මෝදිගේ ස්වාධීන ආකල්පවලට අකුල් හෙළන්නට සමස්ත ප්‍රාන්තයක් බලා සිටින බැවිනි. දෙමළ ඩයස්පෝරාවෙන්ද ඔහුට ගැළවීමක් නොවනු ඇත. ශ්රී‍ ලංකාව මුස්ලිම් රටවල් හා නව ඉන්දීය නායකත්වය සමග ඇති සබඳතාවය සමබරව පවත්වාගෙන යන්නට දරන උත්සාහය මත අනාගතයේ සියලු දේ තීරණය වනු ඇත.