පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, April 9, 2015

දෙමළ අලුත් අවුරුද්ද - Tamil New Year


කුරුළු නදින් පරිසරය පිරෙන, ගස්වැල් මලින් ඵලින් බර වන ඒ භාග්‍යමත් මාසය නැවත උදා වී තිබේ. සියලු දෙනා තුළම පාහේ නැවුම් උද්‍යෝගයක් ඇති වී තිබේ. ඒ තව නොබෝ දිනකින් උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිසාය. සිංහලයන් වන අප අවුරුදු උළෙල පවත්වන ආකාරය පිළිබඳ බොහෝ කරුණු දැන සිටිය ද, දෙමළ ජනතාව මේ සඳහා සූදානම් වන ආකාරය, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ආදිය පිළිබඳ බොහෝ දෙනෙකුට එතරම් අවබෝධයක් නැත. අප දකින්නේ අලුත් අවුරුදු දිනයේ රූපවාහිනි සජීව විකාශන ඔස්සේ දෙමළ ජනතාව අලුත් අවුරුදු උළෙල පවත්වන ආකාරය පමණි. ඉන් ඔබ්බට අප ඒ පිළිබඳ සොයා බලන්නේ නැත. නමුත් අප දකින දෙයට වඩා, එය පසුපස අප නොදන්නා දෑ බොහොමයක් තිබේ. අප රට පුරා දෙමළ ජනතාව විසිරී පැතිරී සිටියත් අප්‍රේල් මාසයේ උදාවන අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරන්නට පෙළඹෙන්නේ බොහෝ විට දෙමළ බහුතරයක් වෙසෙන උතුරු පළාතේය. ඊට අමතරව කෙළඹ වැනි වැනි නාගරික දෙමළ ජනතාව ද මෙය සමරති. වතුකරයේ මෙය එතරම් උත්වශ්‍රීයකින් දැකිය නොහැකිය. 

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද හින්දු චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් පිළිබඳ සළකා බැලීමේදී පෙනී යන්නේ අප රටින් බැහැර සමස්ථ ලෝකය පුරා විසිරී සිටින දෙමළ ජනතාව මෙය සැමරීමේදී යම් යම් වෙනස්කම් ඇති බවය. අප රටේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ නැකැත් කමිටුව වුව ද තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින දෙමළ ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පවතී. ඔවුන් එය සමරන්නේ අප්‍රේල් 14 වැනිදාය. 

නිරායන ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අප්‍රේල් 14 වැනිදාය. ජාත්‍යන්තර දෙමළ දිනදර්ශනයේ හා තමිල්නාඩු දිනදර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක ආනතිය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය කරනු ලබයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීමය. මෙය අප්‍රේල් 12 - 14 දක්වා වූ දින තුන අතර පවතී.  සිංහල ජනතාව අලුත් අවුරුදු උත්සවයේ විවිධ අංග දින කිහිපයක් තිස්සේම පවත්වනු ලැබුව ද දෙමළ ජනතාව මෙය එක් දිනක් තුළ අවසන් කරති. 

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල් ය. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‛සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේදීය. මෙම මාසය දෙමළ බසින් ‛පුත්තන්ඩු’, ‛වරුද පයිරප්පු’  හෝ ‛චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ‛පුත්තන්ඩු වාස්තුකල්’හෝ ‛ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී එකිනෙකාට සුබ පතති. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපුර්, මිතිලා, ඔඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවලද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ. සිංහල ජනතාව අලුත් අවුරුද්ද සැමරීමේදී ජ්‍යෝතිෂ සිද්ධාන්ත අකුරටම පිළිපදිති. එබැවින් මෙය ‛නැකැත් කෙළිය’ නමින් ද හඳුන්වනු ලැබේ. දෙමළ ජනතාව අතර ද මෙහි වෙනසක් නැත. දෙමළ ජනතාව අතර අතීතයේ සිට පැවති සිරිතක් වන්නේ අලුත් අවුරුදු දිනයේදී පවුලේ වැඩිහිටියකු හෝ නැකැත්කරුවකු විසින් ඉදිරි මාස 12 සඳහා සිය පවුලට අයත් පලාපල කථනයක් සිදුකිරීමය. 

අලුත් අවුරුදු දිනයේ අලුයමින් අවදිවන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ  දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාම සිදුකරනු ලබයි. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප්‍රතිමාවන් වේ. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද පෙන්වනු ලබයි. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි. 

මේ දිනයේදී දෙමළ නිවෙස්වලට ඇතුළුවන දොරටුව අසළ කාන්තාවන් විසින් ‛කෝලම්’ හෝ ‛රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙම කෝලම් රටාවලට මැදින් ‛කුට්ටු විළක්කු’ නම් පහනක් තබනු ලබයි. ‛කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‛කන්නි’ යන්නෙහි අරුත් වන්නේ ‛සුබ දසුන’ වැන්නකි. ඔවුන් මේ අවස්ථාවේදී රන් ආභරණ, පලතුරු, එළවලු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්වා තැබේ. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේදී ඒ අසළින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමග මුසුකරගැනීම මගින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් ද දෙමළ ජනතාව අපේක්ෂා කරති. දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති. 

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‛කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදුකෙරෙන්නේ අවිවාහක තරුණ තරුණයින්, විශේෂයෙන් කුඩා දරුවන් සමග වන අතර එයින් බලාපොරොත්තුවන්නේ වාසනාවන්ත බවයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‛ආර්පුඩු’ නමින් හැඳින්වේ. සිංහල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‛පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ්‍ර ‛මරුති - නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදුකරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ. 

Wednesday, April 1, 2015

උඩුකය නිරුවත් ස්වාසිලන්ත ගැහැනු - Topless virgins of Swaiziland



අප්‍රිකා මහාද්වීපයට අයත් ස්වාසිලන්තය පිළිබඳ භූගෝල විද්‍යාව හැදෑරූ අයත්, ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන අයත් සහ ලෝකයේ විවිධ රටවල් පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ආදීන් හැරුණු කොට සෙසු බොහෝ දෙනෙක් නොදන්නා තරම්ය. පසුගිය රජය සමයේ එහි රාජ්‍ය නායකයා අප රටට පැමිණි බැවින් අප රටේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කතා කළත් මේ වන විට බොහෝ දෙනෙකුට එවැනි රටක් පිළිබඳ වැඩි මතකයක් නොතිබෙන්නට පුළුවන. කෙසේ නමුත් මෙම රටේ පිරිමින් මෙන්ම කාන්තාවන් ද උඩුකය නිරුවත්ව සිටින බැවින් ඇතැමුන්ට නම් තවමත් මේ රට අමතක නොවී තිබෙන්නට ද බැරි නැත.
ස්වාසිලන්තය යනු අප්‍රිකාවට අයත් රටකි. උතුරේ සිට දකුණට කි.මී. 200 ක් ද නැගෙනහිර සිට බටහිරට කි.මී. 81 ක්ද ඇති මෙය එතරම් විශාල රටක් ද නොවේ. 

ලෝකයේ ඒඩ්ස් රෝගීන් බහුලම රට ලෙස ද වාර්තාවන්නේ ස්වාසිලන්තයයි. එය කෙතරම්ද කිවහොත් වැඩිහිටියන්ගේන් 25.8%ක්ම ඒඩ්ස් රෝගයට ගොදුරු වී තිබේ. අනෙක අඩුම ආයු අපේක්ෂණය සිහිත රටවල් අතරින් සිව්වැනි තැනට වැටෙන්නේද ස්වාසිලන්තයයි. එය අවුරුදු 49කි. ලෝක සෞඛ්‍ය සංවධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව එහි මරණවලින් 64%කම සිදුවන්නේ ඒඩ්ස් රෝගය නිසාවෙනි. ගර්භනී කාන්තාවන්ගෙන් ද 38.8%ක්ම එච්.අයි.වී. ආසාදනයට ලක්වී ඇති බැව් හෙළිවී තිබේ. 

තෙවැනි මසවාති රජු

ස්වාසිලන්තයේ කාන්තාවන්ට එහි සංස්කෘතියේ සුවිශේෂි ස්ථානයක් ලැබී තිබේ. සාම්ප්‍රදායික ලෙස ගතහොත් මොවුන් සාමාන්‍යයෙන් සිටින්නේ උඩුකය නිරුවත්වය. එය ඔවුනගේ සුවිශේෂී ලක්ෂණයකි. අනෙක රජුගේ සුවිශේෂී සැලකිල්ලක්ද කාන්තාවන්ට ලැබී තිබේ. එහි වර්තමාන රාජ්‍ය නායකයා වන තෙවැනි මස්වාති රජුට  දැනටමත් බිසෝවරු 15ක් හා දරුවන් 25ක් සිටී. ස්වාසිලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන උණ බම්බු උත්සවයේදී එහි රජු තම බිසෝවරුන්ගේ කණඩායමට අලුතින් බිසවක් එක්කර ගැනීම සිදු කරයි. මෙය  අපූරු චාරිත්‍රයකි. මෙම උණබම්බු උත්සවය සඳහා උඩුකය නිරුවත් තරුණියෝ 50,000 කට අධික පිරිසක් සහභාගි වෙති. ඔවුනට මෙය සිට ජීවිත කාලය තුළදී ලැබෙන්නා වූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස සැළකේ. 37 හැවිරිදි මස්වාති රජ එක් අවස්ථාවක තම බිසව ලෙස තෝරාගත්තේ 16 හැවිරිදි තරුණියකි. ඇය සිවාසිලන්තයේ රූ රැජින බවට පත්වූ නොතන්ඩෝ ඩියුබ් ය. මේ පිළිබඳ බොහෝ දෙනා විවේචන එල්ල කළේ රජුගේ වැඩිමහල්ම දියණිය වන සිඛානියිසෝ ඩ්ලාමිනි ගේ වයස අවුරුදු 17ක් ව තිබියදී රජු සිය අලුත්ම බිසව ලෙස 16 හැවිරිදි තරුණියක් තෝරා ගත් බැවිනි. 


සිඛානියිසෝ ඩ්ලාමිනි

බිසවක් ලෙස අලුතින් තේරී පත්වන තරුණියට රජුගෙන් දහසින් බැඳි පියලි හිමිවේ. ඇය පූර්ණ බිසවක් බවට පත්වන්නේ ගැබ් ගැනීමෙන් අනතුරුවය. සිය අලුත් බිසෝවරු අට දෙනෙකු වෙනුවෙන් මාලිගා ගොඩගනගන්නට ඔහු එක් අවස්ථාවක ස්ටර්ලිං පවුම් මිලියන 8.5 ක් වැය කළේය. එමෙන්ම සිය බිසෝවරුන් වෙනුවෙන් අලුතින් බී.එම්.ඩබ්ලිව් කාර් මිලදී ගන්නට තවත් ස්ටර්ලිං පවුම් මිලියන 450 ක් වැය කළේය. 

මෙවැනි සුවිශේෂි වරප්‍රසාද නිසා එහි තරුණියෝ රජුගේ බිසව බවට පත්වන්නට තරග වදිති. එහෙත් ඇතැමෙක් පවසන්නේ රජුගේ බිසව වනවාට වඩා තමා කැමති සැමියකු තෝරාගෙන සතුටින් ජීවිතයක් ගතකිරීම වඩා යහපත් බවය. 

රජු කාන්තාවන් පිළිබඳව දක්වන මෙවැනි සැළකිල්ල හැරුණු විට ස්වාසිලන්තයේ සමස්ත කාන්තා ප්‍රජාව පිළිබඳ පිළිබඳ ඇත්තේ නම් එතරම් යහපත් තත්වයක් නොවේ. මෙහි බහුභාර්යා සේවනය අධිකව සිදුවන නිසා කාන්තාවන් බහුලව අපචාරයන්ට ලක්වේ. ආරක්ෂිත ලිංගික උපක්‍රම භාවිත නොකිරීම කාන්තාවන් අතර ඒඩ්ස් රෝගය බහුල ලෙස ව්‍යාප්තවීමට ප්‍රබල හේතුවක් වී තිබේ. එපමණක් ද නොව කාන්තාවන් බොහොමයක් පිරිමින්ගේ අඩන්තේට්ටම්වලට ලක්වීම ද නිතර අසනන්ට ලැබේ. එබැවින් උණ බම්බු නැටුමක දකින සුන්දර ස්වාසි කාන්තාවන්ට වඩා එහි සාමාන්‍ය කාන්තාවකගේ ජීවිතය දුක් කම්කටොල්වලින් පිරී ඇති බැව් කිව යුතුය. රජු ද තම බිසෝ තනතුර සඳහා තරුණියන් තෝරා ගන්නට ඔවුන් දෙස බලනවාට වඩා ගැඹුරු ලෙස ඔවුනගේ ජීවිත දකිනතුරු මේ තත්වය මෙසේම පවතිනු ඇත.



Saturday, March 28, 2015

සිකුරාදාට කැෂුවල් අඳින්නේ ඇයි? - Casual Wearing on Friday or Casual Friday




සතියේ දවස් හත ගැන සැළකිල්ලට ගත්තොත් පාසල් දරුවන්ගේ සිට රැකියාවල නිරත වන වැඩිහිටියන් දක්වා බොහෝ දෙනෙක් සඳුදා දිනය ගැන දක්වන්නේ පුදුමාකාර අකැමැත්තක්. මේ අකැමැත්ත සතියේ දවස් හත ගෙවීගෙන යද්දි ටික ටික අඩුවෙනවා. ඒ වගේම සිකුරාදා කියන්නේ මේ හැමෝම කැමතිම දවස. මොකද බොහෝ දෙනෙකුට දවස් දෙකක නිවාඩුවක් ලැබෙන නිසා. මේ නිසා සිකුරාදා දිනය බොහෝ දෙනෙක් සැහැල්ලුවෙන් ගත කරන්න පෙළඹිලා තියෙනවා. මේ සැහැල්ලුවට තල්ලුවක් දෙන්න බොහෝ පෞද්ගලික මෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනත් පියවර අරන් තියෙනවා. සතියේ මුල් දින හතර පිරිමින් නම් යුරෝපීය වගේ ඇඳුමින් සැරසුනත්, කාන්තාවන් සාරිය හෝ ඔසරිය ඇන්දත් ඉහත සඳහන් කළ ආකාරයේ ආයතනවල සියලු දෙනාට වඩාත් සැහැල්ලු ඇඳුම් අඳින්න අවසර දී තිබෙනවා. බොහෝ ආයතනවල ආයතනයේ නම සදහන් ටී ෂර්ට් මෙම දිනයේදී ඇඳීම සඳහා ලබා දී තිබෙනවා. ඒ නිසා කවුරු හරි සේවය කරන්නේ මොන ආයතනයකද කියලා පහසුවෙන්ම හොයාගන්න ඕන නම් සිකුරාදාට ටිකක් විපරමින් හිටියා නම් පහසුයි. මේ විදිහට සිකුරාදා දිනයේ සැහැල්ලු ඇඳුම් අඳින එකට කියන්නේ කැෂුවල් අඳිනවාකියායි. මේක අපේ රටේ පමණක් තිබෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ලොව පුරා සිකුරාදා දිනය හඳුන්වන්නේ කැෂුවල් ෆ්‍රයිඩේ’ (Casual Friday) නමින්. 

කැෂුවල් ෆ්‍රයිඩේයන්නට අපට ඍජු සිංහල තේරුමක් ගන්න බැරි වුණත් කාගෙත් සතුටු දවස එදා නිසා සංතෝෂ සිකුරාදාවගේ නමක් ඕන නම් දාගන්නත් පුළුවන්. මොකද කැෂුවල්කියන වචනයේ තේරුම් එකක්වත් මේ වැඩේට හරියන්නේ නැහැ කියලා පෙනෙන නිසයි එහෙම යෝජනාවක් ගෙනාවේ. මේ සංතෝෂ සිකුරාදා දිනයේ අතීතය 1950 දශකය තරම් ඈතකට දිව යනවා. ඇමරිකා එක්සත් ජනපදයේ කාර්යාලවල සේවය කරන සේවකයන් මානසිකව ධෛර්යමත් කිරීම සඳහා මෙය ආරම්භ කළ බව පැවසෙනවා.  නමුත් මෙය එතරම් ජනප්‍රිය වුණේ නැහැ. එයට හේතුව වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි දිනවල ඇඳිය යුතු ඇඳුම්වල මිල ඒ කාලයේ තරමක් ඉහළ තත්වයක පැවතීමයි. නමුත් 1970 දශකය පමණ වන විට තුන්වැනි ලෝකයේ ඇඟලුම් කම්හල්වල නිපදවන මිල අඩු ඇඳුම් අධික ලෙස ඇමරිකා එක්සත් ජනපදයට ලැබෙන්න පටන් ගත්තා. ඇමරිකානුවන් අතර මෙම මිල අඩු ඇඳුම් කෙමෙන් ජනප්‍රිය වන්නට පටන් ගත්තා. එයින් සිදුවුණේ කලක් ජනප්‍රිය නොවුණු සංතෝෂ සිකුරාදාව නැවත ටිකෙන් ටික ක්‍රියාත්මක වන්නට පටන්ගැනීමයි. අවසානයේ බොහෝ දෙනෙක් මෙය ක්‍රියාත්මක කළ යුතු දෙයක් යැයි අදහස් දක්වන්නට ද පටන් ගත්තා. ඇතැම් ආයතනවල කොට කලිසම් සහ සෙරෙප්පු පවා ඇඳ පැළැඳ පැමිණීමට අවසර දුන්නා. නමුත් පසුව මෙය වඩාත් ක්‍රමවත් වී රැකියාවේ ගෞරවයට හානි නොවන අන්දමින් ළිහිල්, පහසු ඇඳුම් අඳින්නට ක්‍රමයක් ගොඩනගාගන්නට ඔවුන් පියවර ගත්තා. 

මේ පුරුද්ද තමයි දැන් ලෝකයේ පැතිර ගොස් තිබෙන්නේ. අපේ රටේ බොහෝ පෞද්ගලික ආයතනවලටත් ඇතැම් රජයේ ආයතනවලටත් මෙය ව්‍යාප්තව තිබෙනවා. විශේෂයෙන් පෞද්ගලික හා ඇතැම් රාජ්‍ය බැංකු සේවකයන් මෙසේ සිකුරාදා දිනයේ සැහැල්ලු ඇඳුම් අඳිනවා. සැබැවින්ම එළැඹෙන නිවාඩු දින දෙක පිළිබඳ සිතමින් වඩාත් සැහැල්ලුවෙන් රාජකාරී කරන්නට මෙය උපකාරී වී තිබෙනවා. එළැඹෙන නිවාඩු දිනයන් පිළිබඳ සිතමින් රාජකාරිය අලස ලෙස සිදුකිරීමේ පුරුද්ද ද මේ නිසා අවම වී තිබෙන බවයි පැවසෙන්නේ. එයට හේතුව සේවකයන් තුළ සැහැල්ලු මානසිකත්වයක් ඇතිකිරීමට මෙය ඉවහල් වී ඇති නිසයි.

Friday, March 27, 2015

හිනා යයි කියල හිතෙන කතාවක් 2 - My Joke Stories


අපේ ගෙදර වතුර කරාමයක් කැඩිලා.  අලුතින් එකක් දාන්න ඕන වුණා. 

ඒකට මුළින්ම වතුර වහලා ඉන්න ඕන නේ. 

මම ගේට් වෑල්ව් එක වහන්න ගියා. 

මීට කලින් වතාවක ගේට් වෑල්ව් එක වහන්න ගිහින් ඒකේ එක අණ්ඩක් කැඩිලා තිබුණේ. 

මම ඉතිරි අණ්ඩට පයිප්ප කෑල්ලක් දාලා ගේට් වෑල්ව් එක වහන්න ගියා. 

හුටා පටස්! ඒ අණ්ඩත් කැඩුණා. 

දැන් මොකද කරන්නේ? 

වතුර වහන්න විදිහක් නෑ. 

යාළුවකුගේ ගෙදර ස්පැනර් (මේක කියැවෙන්නේ ඉස්පැනර් කියලා) එකක් තිබුණා. 

ඒකෙන් ගේට් වෑල්ව් එක වහලා වැඩේ කරගන්න පුළුවන් කියලා හිතුණ නිසා යාළුවට කෝල් කළා. 

එහා පැත්තෙන් කතා කළේ යාළුවගේ අම්මා. 

“වසන්ත ඉන්නවද අම්මේ?” 

පුතා නානවනේ” 

පස්සේ මම කවුද කියලා අඳුන්නලා දීලා මගේ අවශ්‍යතාවය කිව්වා. 

අම්මේ වසන්ත හන්දියේ පැත්තේ යනවා නම් ඉස්පැනර් එක අපේ ගෙදරට දීගෙන යන්න කියනවද” 

හා පුතේ මම කියන්නම්” 

යාළුවගේ අම්මා එහෙම කියලා ෆෝන් එක තිබ්බා. 

ඊට පැයකට විතර පස්සේ වසන්ත එනවා අපේ ගෙවල් පැත්තේ. 

මිනිහා වීල්බැරෝ එකක බැරල් එකක් පටවගෙන එනවා. 

මම බැලුවා මේ මොකද කියලා. 

මොකද බං මේ බැරල් එකක් අරන්? කොහේද යන්නේ?” 

කොහේ යන්නේද කියලා අහන්නේ? මෙහේ තමයි.” 

වසන්ත කිව්වා. 

මම බැලුවා මේ මොකක්ද කියලා. 

ඉතිං මට මොකටද බං බැරල් එකක්?” 

ඇයි බං අම්ම කිව්වේ උඹ හිස් බැරල් එක අරන් එන්න කිව්වා කියලා” 

හුටා පටස්! 

දැන් තමයි මට වැඩේ තේරුණේ. 

අයියෝ බං, මම අම්මට කිව්වේ ඉස්පැනර් එක අරන් එන්න කියලානේ. එහෙනම් අම්මට ඇහෙන්න ඇත්තේ හිස් බැරල් කියලා වෙන්න ඇති.” 

අන්තිමට වසන්තත් එකක් එකතු වෙලා උගේ හිස් බැරල් එක ආයේ ගෙදරට ගෙනෙහින් දලා මම ඉස්පැනර් එක ඉල්ලගෙන ඇවිත් මගේ වැඩේ කරගත්තා. 


Wednesday, March 25, 2015

ධනුෂ්කොඩි හෙවත් සිරිලකට ආසන්නනතම හොල්මන් නගරය - Dhanushkodi, the closest ghost town to Sri Lanka



පසුගිය මාර්තු 14 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අප රටේ තලේමන්නාරම් දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ගමන් බිමන් යාම පිළිබඳ කතා බහ යළි කරළියට පැමිණි බැව් පෙනෙන්නට තිබිණි. අතීතයේ අප රටේ තලේමන්නාරම් දුම්රිය ස්ථානයේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් තුඩුවේ කෙළවරෙහි ඇති ධනුෂ්කොඩි දක්වා ගමනාගමන සේවයක් පැවතියේය. අධ්‍යාපනික, ව්‍යාපාරික හා සංචාරක කටයුතුවල යෙදුණු අප රටේ ඇතැම් පුද්ගලයෝ අද ද මෙම ගමනාගමන සේවය පිළිබඳ කතා කරති. එම අතීතය නැවත ජීවය ලබනු ඇති බවට අදහස් පසුගිය දිනවල විවිධ මාධ්‍යවල දක්නට හැකිවිය. 

පැරණි මන්නාරම් ජැටිය

ශ්‍රී ලංකාවේ තලේමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා දුම්රිය ගමනාගමනය පැවති සමයේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල වී ඇත්තේ රුපියල් 75ක් වැනි මුදලකි. මෙහිදී අප රටෙහි දුම්රිය ගමන් කළේ තලේමන්නාරම් ජැටිය දක්වා පමණි. එතැන් පටන් ධනුෂ්කොඩි දක්වා ගමන් කළ යුතු වූයේ පාළම් පාරුවක් මගිනි. අතීතයේ ධනුෂ්කොඩිවල දුම්රිය ස්ථානයක් පැවති අතර ශ්‍රී ලංකාවේදී ලබාගත් දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන්ම මෙතැන් සිට ගමන් කළ හැකිව තිබිණි. වර්තමානයේ ධනුෂ්කොඩිවල ඇත්තේ ගරාවැටුණු දුම්රිය ස්ථානයක නටබුන් පමණි. එයට දැන් දුම්රියක් පැමිණෙන්නේ නැත. කෙසේ මුත් එකල මෙම දුම්රිය ධනුෂ්කොඩි සිට රමේෂ්වරම් හරහා පම්බාන් අර්ධද්වීපයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ප්‍රවිෂ්ඨ වන්නේ පම්බාන් පාළම ඔස්සේය. රාමේෂ්වරම් දක්වා වර්තමානයේ ද දුම්රිය සේවයක් පවතින බැවින් පම්බාන් පාළම අද ද දක්නට ලැබේ. 

පම්බාන් පාළම

පම්බාන් පාළම

පම්බාන් පාළම පිළිබඳව යමක් සඳහන් කළ යුතු වේ. 1914 දී ඉදිකරන ලද මෙම පාළමේ ඇති විශේෂත්වය වන්නේ මෙය මැදින් එසැවිය හැකි ලෙස සකස් කොට තිබීමය. මෙසේ එසැවිය හැකි ලෙස සකස්කොට ඇත්තේ මුහුදේ මෙම ප්‍රදේශයෙන් නෞකා ගමන් කරන බැවිනි. නෞකා ගමන් කරන අවස්ථාවේදී පාළම දෙපසින් ඔසවා එයට ඉඩ සළසන අතර දුම්රිය පැමිණෙන විට පමණක් යළි දෙපස එක්කොට එහි ධාවනය සඳහා ඉඩකඩ සළසයි. කෙසේ වෙතත් මෙතැන් ගමන් ගන්නා නෞකා දුර සිටම සිය නලා හඬක් නගමින් පැමිණෙන්නේ යම් හෙයකින් පාළම ඔසවා නොමැති නම් එය එසැවීම සඳහා ලබාදෙන පණිවිඩයක් ලෙසිනි.

දෙරට අතර භෞතික සම්බන්ධතාවය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්

අප රටේ තලේමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි යනු දෙරටේ දුරින් අඩුම ස්ථාන දෙක වේ. තවත් ආකාරයකින් පැවසුවහොත් ශ්‍රී ලංකාවටම ආසන්නයෙහිම පවතින ඉන්දියානු ගම්මානය වන්නේ ධනුෂ්කොඩි ය. එය කිලෝමීටර් 29 (සැතපුම් 18) කි. මෙය බෝට්ටුවකින් නම් අඩ පැයක තරම් දුරකි. දෙරට අතර විවිධ හොර ජාවාරම් ද මේ ස්ථාන දෙක ආශ්‍රිතව සිදුවන බැව් විවිධ අවස්ථාවලදී අසන්නට ලැබිණි. කෙසේ වෙතත් අතීතයේ පැවති ගමන් බිමන් යළි ජීවය ලබන්නට නම් බොහෝ දේ වෙනස් විය යුතුය. ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් වන්නේ ධනුෂ්කොඩි නගරයයි. ධනුෂ්කොඩි යනු වර්තමනයේ පාළු, හොල්මන් නගරයක් බවට පත් වූ ස්ථානයකි. එහි ඇත්තේ ගරා වැටුණු, අද්භූත පෙනුමැති පැරණි ගොඩනැගිලි හා ඉදිකිරීම් පමණි. මෙය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පම්බාන් අර්ධද්වීපයේ කෙළවරටම වන්නට පිහිටි නගරය වේ. 



පම්බාන් අර්ධද්වීපය යනු අප රටේ තලේමාන්නාරම වැනි දූපතකි. 1964 වසරේ සිදුවූ දරුණු සුළි සුළඟක් හේතුවෙන් නගරය සහමුළින්ම විනාශ විය. මෙම අවස්ථාවේදී පම්බන් දුම්රිය ස්ථානයේ සිට ආරම්භ වන ධනුෂ්කොඩි දුම්රිය මාර්ගය විනාශ වී ගිය අතර එම අවස්ථාවේදී පම්බාන් පාළම මතින් ගමන් කරමිනු තිබූ දුම්රිය ද සිය දෙනෙකු පමණ මහසයුරේ ගිල්වා මරණයට පත්කරමින් සයුර මත පතිත විය. එම සුළි සුළඟට හසුව මිය ගිය මුළු සංඛ්‍යාව 1,800ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. අද ධනුෂ්කොඩිවල ඉතිරිව ඇත්තේ අතීත ගොඩනැගිලිවල නටබුන් පමණි. මේ අතර ධනුෂ්කොඩි දුම්රිය ස්ථානය, පැරණි කතෝලික දේවස්ථානයක්, කුඩා කෝවිල් ආදිය දක්නට ලැබේ. කිසිදු පහසුකමක් නොමැති අතර එහි ධීවර පවුල් 300ක් පමණ ජීවත් වෙති. අවම පහසුකම් ඇති ඔවුහු ජලය ලබාගන්නේ වැලි සෑරීමෙන් මතු කරගන්නා වලවල්වලිනි. මේ ජලයේ ඇති විශේෂත්වය වන්නේ ආසන්නයේම මහ මුහුද පිහිටියත් ජලයෙහි මිහිරි රසකින් යුක්ත වීමය. 




ස්ථානීය වශයෙන් මෙහි අලංකාර භූමි දර්ශන ඇති මුත් ඉන්දීය රජය මෙම නගරයේ රාත්‍රිය ගතිකිරීම නිර්දේශ කරන්නේ නැත. ඇතැම් පිරිස් පවසන්නේ රාත්‍රියේදී යම් යම් අද්භූත හඬ පවා ඇසෙන බවකි. මෙවැනි කරුණුත්, පහසුකම් කිසිවක් නොතිබීම ආදියත් සළකා බලා දිවා කාලයේ මෙම ප්‍රදේශයේ සංචාරය කොට රාත්‍රිය ගත කිරීම සඳහා මෙහි සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් පිහිටි රාමේෂ්වරම් සුදුසු බැව් සංචාරක ආයතන උපදෙස් දී තිබේ. වර්තමානයේ මේ ආකාරයෙන් හොල්මන් අවතාරවලින් පිරුණු පාළු නගරයක් වුව ද ධනුෂ්කොඩි යනු අතීතයේ ජනාකීර්ණව පැවති දීර්ඝ ඉතිහාසයක් ඇති ඓතිහාසික නගරයකි. 

පාවෙන ගල්

ධනුෂ්කොඩි නගරයේ ඉතිහාසය රාම - සීතා වෘතාන්තය දක්වා අතීතයකට දිව යයි. හින්දු පූජනීය ග්‍රන්ථයක් වන රාමායනයට අනුව රාම දෙවියන් හනුමාන් ලවා ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලේමන්නාරම දක්වා මහ සයුර ඔස්සේ පාළමක් ඉදිකරවා තිබේ. එය ‛රාම් සේතු’ හෙවත් ‛රාම පාළම’ නම් වේ. එවැන්නක් ගොඩනංවන්නට හේතුව වූයේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව කරා හමුදා රැගෙන ඒමේ පහසුව තකා ය. මෙම පාළම ගොඩ නැංවූයේ පාවෙන ගල්වලින් බව පැරණි කතාවල සඳහන් වේ. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් අද ද රාමේෂ්වරම් හි පාවෙන ගල් දැක ගත හැකිය. මේවා ජලයට දැමූ විට ගිළී නොයයි. මෙවැනි ගල් රාමේෂ්වරම් මුහුදු තීරය හැර ලෝකයේ වෙනත් කිසිඳු ස්ථානයකින් හමු නොවේ. මේවායේ සංයුතිය ද අප දතික සාමාන්‍ය ගලකට වඩා වෙනසක් නැත. විද්‍යාඥයින් පවසන්නෙ  සාමාන්‍ය ගල් ලෙස පෙනුනත් මේවා නිර්මාණය වී ඇත්තේ කොරල් ආකාරයෙන් බවය. නමුත් කොරල් පාෂාණ පාවෙන්නේ නැති බැවින් එම මතය ප්‍රතික්ෂේප වි ඇත. ඇතැමුන් පැවසූයේ මේවා යමහල් පාෂාණ ලෙස වුවත් මේ අවට කිසිදු යමහලක් නැති බැවින් එය ද ප්‍රතික්ෂේප විය. කෙසේ නමුත් මේවා පාවිමට හේතුව තවමත් විද්‍යාත්මකව විස්තර කොට නැත. 

කොත්නඩරාමාස්වාමි කෝවිල

රාමේෂ්වරම් හි දක්නට ලැබෙන එකම ආගමික සිද්ධස්ථානය වන්නේ ‛කොත්නඩරාමාස්වාමි’ කෝවිලයි. ශ්‍රී ලංකාව පාලනය කළ රාවණ රජු රාම අතින් පරාජය වීමෙන් අනතුරුව රාම කුමරු විසින් අප රටෙහි පාලකයා ලෙස විභීෂණ පත්කරනු ලැබිණි. විභීෂණ යනු රාවණ රජුගේ සොහොයුරකු ලෙස සැළකෙන අතර රාවණා හා රාම අතර පැවති යුද්ධයේදී ඔහු සිය සොයුරු රාවණට විරුද්ධ වී රාම කුමරුට සහාය පළකරන්නට තීරණය කළේය. රාම කෙතරම් ප්‍රබලයකු වුව ද වසර දොලසක් තිස්සේ කළ යුද්ධය ජයගත හැකි වූයේ විභීෂණ විසින් රාවණ රජුගේ දුර්වලකම් රාම හමුවේ හෙළිදරව් කිරීමෙන් පසුවය. මෙවැනි අාධාරයක් කළ විභීෂණ ශ්‍රී ලංකාවේ නව රජු ලෙස කිරුළු පළඳවන්නට රාම කුමරු පෙළඹීම මේ අනුව පුදුමයකට කරුණක් නොවේ. මෙම කිරුළු පැළඳවීම ‛පත්තාභිෂේකම්’ නම් වූ අතර එය සිදුකරන ලද්දේ ද මෙම කෝවිලෙහි බව පැවසේ. එම සිදුවිම්වලට අදාළ සිතුවම් ද කෝවිලෙහි බිත්ති මත දක්ට ලැබේ.  විභීෂණ යනු රාමාගේ කෙතරම් සමීප හිතෛෂිවන්තයෙක් ද යත් රාමේෂ්වරම් හි පිහිටි ‛කොතන්ඩරාමාස්වාමි’ කෝවිලට ගොඩ වැදීමෙන් දැකගත හැකිය. එහි රාම, සීතා, ලක්ෂ්මණ, හනුමාන් හැරුණු විට විභීෂණ වෙනුවෙන් ද ප්‍රතිමාවක් ඉදිකොට තිබේ. මෙය වූ කලී 1964 දී සුළි සුළඟෙන් ගැළවුණු එකම ඓතිහාසික ගොඩනැගිල්ල මෙය වන අතර මුහුදෙන් වට වූ මෙය සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් පවට පත්ව තිබේ. රාම කුමරු ශ්‍රී ලංකාව කරා වූ ගමන ආරම්භ කළේ මෙම කෝවිල පවතින ස්ථානයේ සිට බැව් පැවසේ. 



විභීෂණ ශ්‍රී ලංකාවේ පාලනයට පත්වීමෙන් පසු ඔහු ‛රාම පාළම’ බිඳ දමන ලෙස රාමගෙන් ඉල්ලා සිටියේය. රාමා සිය දුන්නෙහි එක් කොණකින් පහර දී පාළම බිඳ දැමුවේය. මේ ආකාරයට මෙම නගරය ‛ධනුෂ්කොඩි’ නම් විය. එහි අරුත වන්නේ ‛දුන්නෙහි කෙළවර’ යන්නයි. එනම් ‛ධනුෂ්’ යනු ‛දුන්න’ වන අතර ‛කොඩි’ යනු ‛කෙළවර’ යි. කෙසේ මුත් දෙරට අතර භෞමික වශයෙන් සම්බන්ධයක් පැවති බැව් දැක්වෙන භූ ලක්ෂණ වර්තමානයේ පවා දැකිය හැකිය. මෙම කිලෝ මීටර් 18ක මුහුදු මාර්ගය හරහා පාළමක් සේ වැටුණු පර්වත වැනි භූමි ලක්ෂණ අදටත් දැකිය හැකිය. ඓතිහාසික කතා පුවතට අනුව මෙය රාම පාළමේ ශේෂයන් වන අතර භූ විද්‍යාත්මක විග්‍රහයට අනුය මෙය වසර දහස් ගණනකට පෙර දෙරට අතර පැවති භූමි සබඳතාවය පෙන්නුම් කරමින් ශේෂව ඇති ‛මුහුදු දඹ’ ය. මෙම දඹ ඇතැම් ස්ථානවලදී මුහුදින් මතුව පවතින අතර, ඇතැම් ස්ථානවල නොගැඹුරු මුහුදේ ගිලී ඇති ආකාරය පෙනේ. වර්තමානයේ අප රටෙහි දක්නට නෙැලැබෙන සිංහයන්, රයිනෝසිරස් වැනි සතුන්ගේ පොසිල හමුවන්නට හේතුව නම් අදින් වසර දහස් ගණනකට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති මෙම භෞමික සම්බන්ධතාවය නිසා සතුන් සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයයි. සතුන් සංක්‍රමණය වූයේ නම් මිනිසුන් ද මේ ආකාරයෙන් සංක්‍රමණය වන්නට ඇත. 

අප රටෙහි සංචාරකයන් දඹදිව හැරුණු විට ඉන්දියාවේ තවත් බොහෝ ස්ථාන වෙත සංචරණය කළ ද රාමේෂ්වරම් හා ධනුෂ්කොඩි ඔවුන් බොහොමයකගේ ගමනාන්තවල නැති බැව් පෙනෙන්නට තිබේ. ධනුෂ්කොඩි යනු පාළු, හොල්මන්  නගරයක් ලෙස ප්‍රකටව ඇතත් එය වර්තමානයේ සුප්‍රකට සංචාරක ස්ථානයකි. නගරය මිය ගිය ද එහි තවමත් ජීවත්වන මිනිස්සු සිටිති. ස්ථානීය ලක්ෂණ නිසා එය ඡායාරූප ශිල්පීන්ගේ ද ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව තිබේ. 

ධනුෂ්කොඩි කරා අප රටෙහි සිට ගමන් ගන්නේ නම් තෝරාගත යුත්තේ මදුරෙයි ගුවන් තොටුපළයි. ශ්‍රී ලංකාවේ සිට මදුරෙයි බලා ගමන් කිරීම සඳහා අඩුවියදම් ගාස්තු පිළිබඳ සොයා බලා එවැන්නක් තෝරාගත හැකිය. සාමාන්‍ය තොරතුරුවලට අනුව ඉන්දියාවට අයත් ‛ස්පයිස් ජෙට්’ නම් සංචාරක සමාගමේ ගාස්තු වෙනත් ඒවාට වඩා අඩු බැව් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය රු. 18,000ක් ද, මිහින් ලංකා සේවය රු. 10,900ක් පමණ අයකරද්දී ස්පයිස් ජෙට් හි ගාස්තුව වන්නේ 8,600 ක් වැනි මුදලකි. අප රටෙහි සිට මදුරෙයි දක්වා ගමන් කිරීමට පැයකට ආසන්න කාලයක් ගතවේ. 

රාමේෂ්වරම් සිට ධනුෂ්කොඩි දක්වා ගමන් කළ යුතු වන්නේ මෙවැනි ට්‍රක් රථ මගිනි


එහි සිට රාමේෂ්වරම් දක්වා කිලෝ මීටර් 169ක් පමණ පවතින අතර වාහන තදබදයක් නැති අවස්ථාවක නම් පැය තුනහමාරකින් පමණ රාමේෂ්වරම් දක්වා මහා මාර්ගයේ පොදු ප්‍රවාහන සේවයකින් ගමන් කළ හැකිය. එමෙන්ම මදුරෙයි සිට රාමේෂ්වරම් දක්වා දුම්රියෙන් ද ගමන් කළ හැකි අතර මදුරෙයි ප්‍රධාන දුම්රිය නැවතුම් ස්ථානයෙන් මේ පිළිබඳ තොරතුරු සහ දුම්රිය කාලසටහන් ලබාගත හැකිය. මේ සඳහා ද පැය තුනක පමණ කාලයක් ගත වේ. රාමේෂ්වරම් සිට ධනුෂ්කොඩි දක්වා පොදු ප්‍රවාහන සේවයක් නොමැති අතර ගමන් කළ යුත්තේ කුළී වාහනයකිනි. වඩදිය සමයේදී රමේෂවරම් සිට ධනුෂ්කොඩි දක්වා ගමන් ගන්නා මාර්ගය සුළු වශයෙන් ජලයෙන් යටවේ.  දුර සිට දකින්නකුට මෙහිදී පෙනෙන්නේ මුහුද මැදින් වාහනයක් ගමන් කරන ආකාරයකිනි. බාදිය සමයේදී මෙම මාර්ගය වැල්ලෙන් වැසී යයි. ධනුෂ්කොඩි දක්වා ගමන්කිරීමට අවශ්‍ය වාහන රාමේෂ්වරම් හිදී  සොයාගන්නට හැකි අතර තමිල්නාඩු නගරයේ පවතින බොහෝ සංචාරක ආයතනවලින් ධනුෂ්කොඩි කරා ගමන් කරන්නට අවශ්‍ය කරන මගපෙන්වීම් කරනු ලබයි. ඔක්තෝබර් සිට මාර්තු දක්වා ධනුෂ්කොඩි සංචාරයට හොඳම කාලය වේ.

 

Sunday, March 22, 2015

වැදගත් ජාත්‍යන්තර දින - Important International Days



ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් දින සිංහල බසින් සෙවීමේදී ඒ සඳහා ප්‍රමාණවත් විස්තර නොමැති නිසා මෙවැනි ලිපියක් සකස් කරන්නට මට සිතිණි. මෙහි සෑම දිනයකටම පාහේ එහි විස්තර සහිත සබැදියක් ද ඇතුළත් කොට තිබේ. එයින් එක් එක් දිනයන් ගැන ප්‍රමාණවත් විස්තරයක් ලබාගත හැකිය. මෙහි අඩංගු කළ යුතු එහෙත් මට හමු නොවූ දිනයන් කොතෙකුත් තිබිය හැකිය.  ඒවා සකස්කරගැනීමට ඔබගේ සහාය ද පතමි. එවිට මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වනු ඇති බව නොඅනුමානය.

ජනවාරි මාසය 

ජනවාරි 04 - ලෝක බ්‍රේල් දිනය
ජනවාරි 26 - ජාත්‍යන්තර රේගු දිනය
ජනවාරි 27 - සමූලඝාතනවලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනය -  (
යුදෙව් මහා සංහාරයේ වින්දිතයන් පිළිබඳ මතකය සැමරීම සඳහා වූ ජාත්‍යන්තරදිනය)
ජනවාරි 28 - දත්ත සුරක්ෂිතතා දිනය
ජනවාරි 30 හෝ එදිනට ආසන්න ඉරිදා දිනය - ලෝක ලාදුරු දිනය 
සෑම වසරකම ජනවාරි මාසයේ තුන්වැනි සතියේ ඉරිදා දිනය - ලෝක ආගමික දිනය

පෙබරවාරි මාසය
පෙබරවාරි 02 - ලෝක තෙත්බිම් දිනය
පෙබරවාරි 04 - ලෝක පිළිකා දිනය
පෙබරවාරි 06 - කාන්තාවන් සුන්නත්කිරීමට එරෙහි ජාත්‍යන්තර දිනය
පෙබරවාරි 13 - ලෝක ගුවන් විදුලි දිනය (යුනෙස්කෝ)
පෙබරවාරි 20 - ලෝක සමාජ සාධාරණත්ව දිනය
පෙබරවාරි 21 - ජාත්‍යන්තර මව් භාෂා දිනය (යුනෙස්කෝ) 

පෙබරවාරි 22 - ලෝක බාලදක්ෂ දිනය

මාර්තු මාසය
මාර්තු 01 -  ලෝක සමානාත්මතා දිනය
මාර්තු 3 - ලෝක වන සත්ව දිනය 

මාර්තු 08 - ජාත්‍යන්තර කාන්තා දිනය 
මාර්තු මාසයේ දෙවැනි ඉරිදා - පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය
මාර්තු 15 - ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය 

මාර්තු 16 - ලෝක නිද්‍රා දිනය
මාර්තු 20 - ලෝක ගේ කුරුළු දිනය
මාර්තු 20 - ලෝක ප්‍රීතිමත් දිනය
මාර්තු 21 - ජාතීන් අතර අසමානතාවය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
මාර්තු 21 - ලෝක කාව්‍ය දිනය
මාර්තු 21 - ලෝක ඩවුන් සහලක්ෂණ දිනය
මාර්තු 21 - වනාන්තර සහ ශාක පිළිබඳ ජාත්‍යන්තර දිනය
මාර්තු 22 - ලෝක ජල දිනය
මාර්තු 23 - ලෝක කාලගුණ විද්‍යා දිනය
මාර්තු 24 - ලෝක ක්ෂය රෝග දිනය
මාර්තු 24 - දළ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව සත්‍යය සහ විපත්වලට ගොදුරුවූවන්ගේ ගරුත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය
මාර්තු 25 - වහල්භාවයට හා අන්තර්මහාද්වීපික වහළ වෙළෙඳාමට  ගොදුරුවූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය
මාර්තු 25 - රඳවාගත් සහ අතුරුදහන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා දිනය 

මාර්තු 27 - ලෝක රංග කලා දිනය

අප්‍රේල් මාසය
අප්‍රේල් 2 - ස්ව්ච්ඡතාවය(Autism) පිළිබඳ දැනුවත්වීමේ ලෝක දිනය

අප්‍රේල් 2 - ලෝක ළමා පොත් දිනය
අප්‍රේල් 4 - බෝම්බ (බිම් බෝම්බ) පිළිබඳ දැනුවත්වීම සහ බිම් බෝම්බ ඉවත්කිරීම සඳහා සහායවීම් පිළිබඳ ජාත්‍යන්තර දිනය
අප්‍රේ්ල් 6 - සංවර්ධනය සහ සාමය සඳහා ක්‍රීඩාව යොදාගැනීම සම්බන්ධව ජාත්‍යන්තර දිනය
අප්‍රේල් 7 - ලෝක සෞඛ්‍ය දිනය 

අප්‍රේල් 8 - ජාත්‍යන්තර අහිගුණ්ඨික දිනය
(ජාත්‍යන්තර අහිගුණ්ඨික දිනය ගැන වැදගත් තොරතුරු සහිත ලිපියක් බාගත කරගන්න මෙතැන ක්ලික් කරන්න)
අප්‍රේල් 12 - මානව අභ්‍යවකාශ ගමන් පිළිබඳ ජාත්‍යන්තර දිනය 

අප්‍රේල් 12 - වීදි දරුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
අප්‍රේල් 22 - ජාත්‍යන්තර මිහිකත් මාතා දිනය
අප්‍රේල් 23 - ලෝක ග්‍රන්ථ සහ ග්‍රන්ථ හිමිකම් දිනය
අප්‍රේල් 23 - ලෝක ඉංග්‍රීසි භාෂා දිනය
අප්‍රේල් 25 - ලෝක මැලේරියා දිනය
ප්‍රේල් 26 - ලෝක බුද්ධිමය දේපළ දිනය
අප්‍රේල් 27 - ලෝක කපුටු දිනය (කාක සහ දෝණකාක අගැයීමේ දිනය)
අප්‍රේල් 28 - සේවයේදී සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යය සම්බන්ධ ලෝක දිනය 

අප්‍රේල් 29 - ලෝක නර්තන දිනය
අප්‍රේල් 30 - ලෝක ජෑස් සංගීත දිනය

මැයි මාසය
මැයි 01 - ලෝක කම්කරු දිනය
මැයි 03 - ලෝක ප්‍රවෘත්ති නිදහස් දිනය 

මැයි 05 - ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය
මැයි 08 - ලෝක රතු කුරුස දිනය
මැයි 08 - ලෝක තැලිසීමියා දිනය
මැයි 10 -11 - ලෝක සංක්‍රමණ පක්ෂි දිනය
මැයි 12 - ජාත්‍යන්තර හෙද දිනය
මැයි 15 - ජාත්‍යන්තර පවුල් දිනය 

මැයි දෙවැනි ඉරිදා - මව්වරුන්ගේ ජාත්‍යන්තර දිනය
මැයි 17 - ලෝක සන්නිවේදන සහ තොරතුරු සමාජ දිනය
මැයි 18 - ජාත්‍යන්තර කෞතුකාගාර දිනය
මැයි 21 - සංවාදය සහ සංවර්ධනය සඳහා සංස්කෘතික විවිධත්වය යොදාගැනීම පිළිබඳ ලෝක දිනය (ලෝක සංස්කෘතික දිනය)
මැයි 22 - ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය
මැයි 29 - ප්‍රසව භගන්දරාව අවසන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
මැයි 29 - එක්සත් ජාතීන්ගේ සාම සාධකයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
මැයි 31 - ලෝක දුම්කොල විරෝධී දිනය



ජුනි මාසය
ජූනි 01 - ලෝක දෙමාපිය දිනය

ජුනි 04 - ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන් සම්බන්ධ ජාත්‍යන්තර දිනය
ජූනි 05 - ලෝක පරිසර දිනය
ජුනි 08 - ලෝක සාගර දිනය
ජුනි 12 - ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය
ජුනි 13 - ඇලිතාවය පිළිබඳ (
Albinism ) ලෝක දිනය
ජුනි 14 - රුධිර දන්දීම පිළිබඳ ලෝක දිනය
ජුනි 15 - වැඩිහිටි අපයෝජනය පිළිබඳ ලෝක දිනය
ජුනි 17 - කාන්තාරකරණයට සහ නියඟයට එරෙහිව සටන්වැදීමේ ලෝක දිනය
ජුනි 20 -  ලෝක සරණාගත දිනය
ජූනි 21 - ලෝක සංගීත දිනය
ජූනි 21 - පියවරුන්ගේ දිනය
ජුනි 21 - ලෝක යෝග දිනය
ජුනි 23 - එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය
ජුනි 23 - ජාත්‍යන්තර වැන්දඹු දිනය 

ජුනි 23 - ලෝක ඔලිම්පික් දිනය
ජුනි 26 - මත්ද්‍රව්‍ය අපයෝජනය සහ නීති විරෝධී ප්‍රවාහනයයට එරෙහි ජාත්‍යන්තර දිනය
ජුනි 26 - වද හිංසනයට ගොදුරුවූවන්ට සහාය වීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය

ජූලි මාසය
ජූලි මස මුල් සෙනසුරාදා - ජාත්‍යන්තර සමුපකාර දිනය
ජූලි 02 - ලෝක හඳුනානොගත් පියාසර වස්තූන් දිනය
ජූලි 11 - ලෝක ජනගහන දිනය
ජූලි 15 - ලෝක යොවුන් හැකියා දිනය
ජූලි 16 - ලෝක සර්ප දිනය
ජූලි 18 - ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය
ජූලි 28 - ලෝක හෙපටයිටිස් දිනය
ජූලි 30 - ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය
ජූලි 30 - නීති විරෝධී මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය

අගෝස්තු මාසය
අගෝස්තු මාසයේ පළමු ඉරිදා - ජාත්‍යන්තර මිතුරු දිනය
අගෝස්තු 09 - ලෝක ආදීවාසීන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
අගෝස්තු 12 - ජාත්‍යන්තර (තරුණ) යොවුන් දිනය
අගෝස්තු 19 - ලෝක මානවවාදී දිනය
අගෝස්තු 19 - ලෝක ඡායාරූපකරණ දිනය
අගෝස්තු 21 - ලෝක විලාසිතා දිනය
අගෝස්තු 23 - වහල් වෙළෙදාම සහ එය අහෝසිකිරීම අනුස්මරණය කිරීමේ  ජාත්‍යන්තර දිනය
අගෝස්තු 29 - න්‍යෂ්ටික අත්හදාබැලීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය
අගෝස්තු  30 - බලයෙන් අතුරුදහන්කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

සැප්තැම්බර් මාසය 

සැප්තැම්බර් 2 - ලෝක පොල් දිනය
සැප්තැම්බර් 5 - ජාත්‍යන්තර අසරණය සරණ දිනය
සැප්තැම්බර් 8 - ලෝක සාක්ෂරතා දිනය
සැප්තැම්බර් 15 - ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය
සැප්තැම්බර් 16 - ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය
සැප්තැම්බර් 21 - ජාත්‍යන්තර සාම දිනය
සැප්තැම්බර් 26 - න්‍යෂ්ටික අවි සහමුළින්ම තුරන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
සැප්තැම්බර් 27 - ලෝක සංචාරක දිනය
සැප්තැම්බර් 28 - ලෝක ජලභීතිකා දිනය


ඔක්තෝබර් මාසය
ඔක්තෝබර් 01 - ලෝක ළමා දිනය 

ලෝකයේ විවිධ රටවල මේ වෙනුවෙන් විවිධ දිනයන් වෙන්කොට ගෙන තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෙය සැමරෙන්නේ ඔක්තෝබර් 01 වැනිදා වන අතර ඇතැම් රටවල නොවැම්බර් 20, ජුනි 01 වැනි දිනයන් ද මේ වෙනුවෙන් යෙදේ.
ඔක්තෝබර් 01 - ලෝක වැඩිහිටි දිනය
ඔක්තෝබර් 02 - ජාත්‍යන්තර අවිහිංසා දිනය
ඔක්තෝබර් 04 - ලෝක සත්ත්ව දිනය
ඔක්තෝබර් 05 - ලෝක ගුරු දිනය
ඔක්තෝබර් පළමු සඳුදා - ලෝක ජනාවාශ දිනය
ඔක්තෝබර් 08 - ලෝක දෘෂ්ටි දිනය
ඔක්තෝබර් 09 - ලෝක තැපැල් දිනය
ඔක්තෝබර් 11 - දැරියන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
ඔක්තෝබර් 13 - විපත් අවමකිරීමේ ජාත්‍යන්තර දිනය
ඔක්තෝබර්15 - ග්‍රාමීය කාන්තාවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
ඔක්තෝබර් 16 - ලෝක ආහාර දිනය
ඔක්තෝබර් 17 - දරිද්‍රතාවය තුරන්කිරීම පිළිබඳ ලෝක දිනය
ඔක්තෝබර් 20 - ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය
ඔක්තෝබර් 24 - එක්සත් ජාතීන්ගේ දිනය
ඔක්තෝබර් 24 - ලෝක සංවර්ධන තොරතුරු දිනය
ඔක්තෝබර් 27 - ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය පිළිබඳ ලෝක දිනය
ඔක්තෝබර් 31 - ලෝක නගර දිනය

නොවැම්බර් මාසය
නොවැම්බර් 02 - පුවත්පත්කලාවේදීන්ට එරෙහි අපරාධ සඳහා දඬුවම් ලබානොදීම අවසන්කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 06 - යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 - සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය
නොවැම්බර් 14 - ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මාසයේ තුන්වැනි ඉරිදා - මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය 

ලෝක දාර්ශනික දිනය - නොවැම්බර් 15
නොවැම්බර් 19 - ලෝක වැසිකිලි දිනය
නොවැම්බර්  මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය - ලෝක දර්ශනවාදී දිනය

නොවැම්බර්  20 - විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 - ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 - ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 - කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර්  29 - පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

දෙසැම්බර් මාසය
දෙසැම්බර් 01 - ලෝක ඒඩ්ස් දිනය
දෙසැම්බර් 02 - වහල්භාවය තුරන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
දෙසැම්බර් 03 - ආබාධිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
දෙසැම්බර් 05 - ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක ස්වේච්ඡා දිනය
දෙසැම්බර් 05 - ලෝක පාංශු දිනය
දෙසැම්බර් 07 - ලෝක සිවිල් ගුවන් ගමන් දිනය
දෙසැම්බර් 09 - ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය
දෙසැම්බර් 10 - මානව හිමිකම් දිනය
දෙසැම්බර් 11 - ජාත්‍යන්තර කඳුකර දිනය
දෙසැම්බර් 18 - ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය
දෙසැම්බර් 20 - ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය



අවසන් වරට යාවත්කාලීන කළේ - 2023-07-27
Last Updated day - 27-07-2023

Thursday, March 19, 2015

ගීතයක කෝඩ්ස් පහසුවෙන් සොයාගන්නට මෘදුකාංගයක් - Riffstation, the chords finding software



ගිටාර් වාදනය කරන්න පුරුදු වෙන කෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තමන් කැමති ගීතයක කෝඩ්ස් මොනවද කියලා සොයා ගන්න එක. ගීතයක තනුව හරියටම තමන්ගේ කනෙන් ග්‍රහණය කරගන්න හැකියාවක් ඇති, මූලික ගිටාර් කෝඩ්ස් ගැන දැනුමක් තියෙන කෙනෙකුට නම් මේවා සොයාගන්න ලොකු උත්සාහයක් දරන්න ඕන වෙන්නේ නැහැ. නමුත් පුරුදු වෙන කාලේදි නම් බොහෝ දෙනෙක් කරන්නේ වෙන කෙනෙක් සකස් කළ කෝඩ්ස් බලාගෙන ගිටාර් වාදනය කරන එක. විවිධ කෝඩ්ස්වල නාදය කණට හුරු කරගන්නට පුළුවන් වන්නේ එවිටයි. ඒ සඳහා පොත් පත් ඕනෑ තරම් සොයා ගන්නත් පුළුවන්. නමුත් අන්තර්ජාලයේ තිබිලා අපූරු මෘදුකාංගයක් මට මේ ළඟදි හමු වුණා. එය හැඳින්වෙනනේ  Riffstation නමින්. http://www.riffstation.com  වෙතින් එහි අත්හදා බැලීමේ සංස්කරණයක් බාගත කරගත හැකියි. ඒවගේම මෙතැන ක්ලික් කිරීමෙන් එහි සම්පූර්ණ ක්‍රියාකාරී සංස්කරණයක් බාගත කරගන්නත් පුළුවන්.


මෙහි ක්‍රියාකාරීත්වය ඉතා සරලයි. ඔබ කළ යුත්තේ මෙම මෘදුකාංගය තුළින් ඔබ කැමති ගීතයක් විවෘත කරගැනීමයි. එසේ විවෘත වී තත්පර ගණනාවක් ඇතුළත ගීතය මත එයට අදාළ කෝඩ්ස් සටහන් වෙනවා. එහි ඇති Chord Viewer මත ක්ලික් කිරීමෙන් ගිටාරයේ තත් පුවරුව මත අදාළ කෝඩ් එක පිහිටා ඇති ආකාරය ද දිස්වෙනවා. මේ අවස්ථාවේදී ගීතය ප්‍රතිවාදනය කිරීමෙන් අදාළ කෝඩ්ස් ගීතයට අනුව වෙනස් වන ආකාරය ද දකින්නට පුළුවන්. මෙය ඔබටත් අත්හදා බැලිය හැකි මෘදුකාංගයක්.

පහත වීඩියෝ එකෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්