පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 30, 2014

ශ්‍රී ලංකාවේ වකුගඩු ජාවාරමක් හෙළිකරමින් මිය ගිය ඉන්දියාවේ දිනේෂ් - Dinesh, An Indian who died revealing a kidney business in Sri Lanka

දිනේෂ් මාරු
ලෝකයේ සියලු දෙයම තීරණය වන්නේ මුදල් මතය. අතීතයේදී විවිධ පුද්ගලයින් ගෞරවයට පාත්‍ර වූයේ ඔවුන්ගේ පරම්පරාගත කුලවත්භාවය, උසස්බව වැනි දේ මත වුව ද වර්තමානයේ එසේ නොවේ. ඔවුනට අවශ්‍ය අන් කිසිවක් නොව මුදල්ය. ඔවුනට ගෞරවය, තරාතිරම, බලය ආදිය ළඟා කර දෙන්නේ මුදල්ය. මේ නිසා  ඔවුහු මුදල් සෙවීම පිණිස ඕනෑම දෙයක් කරති.  බල්ලන් මරා හෝ සල්ලි සෙවීමපිළිබඳ මිනිසුන් සිතන්නේ එබැවිනි. නමුත් අප අවට ඇති විවිධ කූට ව්‍යාපාරයන්ට පින් සිදුවන්නට බල්ලනට මැරෙන්නට සිදු නොවේ. ශරීර කොටස් මුදලට අළෙවි කිරීම මේ අතුරින් එක් ප්‍රධාන, එහෙත් නීති විරෝධී ව්‍යාපරයකි. ඇස්, ඉස්, මස්, ලේ ආදිය තවෙකෙකුගේ හිතසුව පිණිස දන්දුන්නේ බෝසත් ගතිගුණ ඇත්තන්ය. ඒ සියලු සත්වයන්ගේ හිතසුව පිණිස බුද්ධත්වය අවබෝධ කරගන්නටය. නමුත් මුදල් පසුපස හඹා යන මිනිසාට බුද්ධත්වය හෝ වෙනත් කිසියම් අධ්‍යාත්මික සැනසීමක් අවශ්‍ය නැත. දිනේෂ කුමාර් මාරු නම් ඉන්දීය තරුණයාට ශ්‍රී ලංකාවේදී මිය යන්නට සිදුවන්නේ මේ පවිටු සමාජ ධර්මතාවය නිසාය.

අනුරාග් ෂර්මා

දිනේෂ් 26 හැවිරිදිය. ඔහු ඉන්දියාවේ හයිද්‍රාබාද් හි සුපිරි වෙළෙඳ සැළක කලමනාකරුවකු ලෙස සේවය කළේය. මේ අතරතුරේ සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහුට අලුත් මිතුරන් කිහිපදෙනෙකු හඳුනාගන්නට ලැබෙන්නේය. එයින් එක් පුද්ගලයකු වන්නේ ප්‍රසාන්ත් ය. දිනේෂ් හා මිතුරුවීමෙන් කිහිප දිනකට පසුව ඔහු මුදල් උපයන මාර්ගයක් පිළිබඳ දිනේෂ් හා කතා කරන්නට පටන්ගත්තේය. මීට අමතරව තවත් ෆේස්බුක් මිතුරන් 6 දෙනෙකුවත් වකුගඩු විකිණීම පිළිබඳ දිනේෂ් සමඟ කතාබහ කොට තිබිණි. මේ කතා බහ වැඩි වශයෙන් සිදුවූයේ ෆේස්බුක් ගිණුම ඔස්සේ නොව ඊමේල් හරහාය. ඔහු දිනක් පැවසූයේ වකුගඩුවක් විකිණීමෙන් සෑහෙන මුදලක් සොයාගන්නට හැකි බවය. ඉන්දියානු රුපියල් ලක්ෂ 4 - 15 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 8 - 32) අතර මුදලක් වකුගඩුවක් වෙනුවෙන් ලබාගත හැකි බව දිනේෂ්ට දැනුම් දෙනු ලැබිණි. එමෙන්ම වකගඩු ව්‍යාපාරයෙන් අනතුරුව කොළඹින් රැකියාවක් සොයා දෙන බවට ද දිනේෂ්ට පවසා තිබිණි. එකවර එතරම් මුදලක් සොයාගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳ ඔහු සිටියේ සතුටිනි. සියලු කටයුතු ඉතා වේගයෙන් සිදුවිය. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගමන් බලපත්‍ර හා වීසා සකස් කිරීම සිදුකෙරිණි. මේ කටයුතු සඳහා මැදිහත් වී ඇත්තේ වෙන්කතේෂ් නමැති පුද්ගලයාය. දිනේෂ් සමඟ මෙසේ වකුගඩු විකිණීම සඳහා කිරාන් කුමාර්, අරාම් සර්ගාර් යන දෙදෙනා ද   සූදානම්ව සිටියහ. ඔවුනට ඉන්දීය රුපියල් ලක්ෂ පහ බැගින් ගෙවන්නට වෙන්කතේෂ් පොරොන්දු වී තිබිණි.

සැකකරුවන්

දිනේෂ් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මුළින්ම ගොස් තිබුණේ ගුන්ටූර් කරාය. කිරාන් කුමාර් සහ අරාම් සර්ගාර් ඔහුට මුණගැසී ඇත්තේ එහිදීය.  ඔවුන් තිදෙනා එතැනින් චෙන්නයි කරා ගොස්  පසුගිය 22 වැනිදා (ඇතැම් වාර්තාවලට අනුව මාර්තු 23) ශ්‍රී ලංකාවට පැමිණියහ. දිනේෂ් ශ්‍රී ලංකාවට පැමිණි බැව් නිවැසියන් දැනගන්නේ තමා සිටින්නේ කොළඹ යැයි පවසමින් සිය සොයුරු ගනේෂ්ට දුරකතන ඇමතුමක ලබාදීමෙන් අනතුරුවය. ඔහු ගනේෂ්ට පවසන්නේ සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරය සම්බන්ධ කාර්යයකට තමා කොළම පැමිණි බවය. ඒ පසුගිය මාර්තු 26 වැනිදාය. නමුත් ඒ පිළිබඳ නිවැසියන් කිසිවකු හෝ සැක පහළ කළේ නැත. වකුගඩුව සැත්කමකින් ඉවත්කිරීමට පෙර දිනේෂ් ඇතුලු තිදෙනාට අත්තිකාරම් මුදලක් අදාළ ජාවාරම්කරුවන් විසින් ලබාදී තිබිණි. මාර්තු 28 වැනිදා දිනේෂ් සිය මිතුරන් දෙදෙනා සමඟ මුහුදු වෙරළට ගිය අතර බීර පානය කරමින් අධික ලෙස දුම්වැටි ද උරන්නට පටන්ගෙන ඇත. මුහුදේ බොහෝ වේලාවක් නාන්නට ද ඔහු අමතක කළේ නැත.  පසුදා ඔවුහු වකුගඩු ඉවත්කිරීමේ සැත්කම වෙනුවෙන් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ රෝහලකට ගියහ. රෝහලට ගොස් මොහොතකින් දිනේෂ්ගෙන් අසනීප ස්වභාවයක් දිස්වන්නට විය. ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර ඔහු එහි ගෙන එන අතරේ මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසූහ. ඒ මාර්තු 30 වැනිදාය. ශ්‍රී ලංකා පොලීසිය දිනේෂ්ගේ දුරකතනය ඔස්සේ ඔහුගේ සොයුරු ගනේෂ් අමතමින් පවසා සිටියේ දිනේෂ් මියගොස් ඇතිබවත්, ඔහුගේ සිරුර ජාතික රෝහලේ ඇති බවත්ය.
ගනේෂ් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අමතා අවශ්‍ය මළසිරුර ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ගත්තේය. මරණ පරීක්ෂණයෙන් පැවසුනේ දිනේෂ්ගේ මරණයට හේතුවී ඇත්තේ හෘදායාබාධයක් බවය. නමුත් තවමත් 26 හැවිරිදි වියෙහි පසුවන සිය සොයුරා මෙවැනි රෝගයකින් මිය යා නොහැකි බැවින් මෙය සැකකටයුතු මරණයක් බව ඔහු ඉන්දීය පොලීසිටය දැන්වූයේය. මේ අතරතුර දිනේෂ්ගේ ෆේස්බුක් ගිණුම හා ඔහුගේ ඊමේල් ගිණුම විවෘත කරන්නට ද ගනේෂ් කටුයතු කළේය. මෙම ගිණුම්වල මුරපද  කිසිවකු නොදැන සිටිමුත් වෙනත් තාක්ෂණික උපාය මාර්ගයකින් එම ගිණුම් විවෘතකරගන්නට හැකියාව ලැබිණි. සියල්ල හෙළිවන්නට පටන් ගැනුණේ් ඉන් අනතුරුවය. වකුගඩු අළෙවි කිරීමේ කටයුත්ත සම්බන්ධ හුවමාරු වූ ඊමේල් 50කට අධික සංඛ්‍යාවක් මෙහිදී හමුවිය. සිය සොයුරාගේ මරණයට හේතුවී ඇත්තේ නිසැකවම මෙම වකුගඩු ජාවාරම බව ඔහු සැක කළ අතර එය පොලීසියට ද දැන්වූයේය. වෙඩි නූල පත්තුවන්නට වූයේ ඒ සමඟය.

හයිද්‍රාබාද් පොලිස් කොමසාරිස් අනුරාග් ෂර්මා මේ පිළිබඳ විමර්ශන සිය භාරයට ගෙන ක්‍රිියාත්මක කරන්නට පටන්ගත් අතර මේ පිළිබඳව සොයා බලන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවට එවනු ලැබිණි. ඉන්දියාවේ මේ පිළිබඳව සොයා බලන විමර්ශන කණ්ඩායම මෙම වකුගඩු ජාවාරම සම්බන්ධව එන්. වෙන්කතේෂම්, ඩී. ෂන්මුඛා පවන් ශ්‍රීනිවාස්, රෙඩ්ඩි නාගර් සහ ගෝවින්ද් සූර්යනාරායන හෙවත් සුරේෂ් යන අය අත්අඩංගුවට ගනු ලැබිණි.

මෙම අවස්ථාවේදී මාධ්‍ය හමුවක් කැඳවූ අනුරාග් ෂර්මා පවසා සිටියේ මෙම පිරිස පසුගිය මාස කිහිපයේදී  ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකුට වකුගඩු 21ක් පමණ මුදලට විකුණා ඇති බවය. වකුගඩු ඉවත්කිරීමේ සැත්කම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් 3ක සිදුකෙරන බවත් ඔහු පවසා සිටියේය. මෙහිදී හෙළිකෙරුණු කරුණුවලට අනුව මෙසේ වකුගඩු අළෙවිකිරීමෙන් ජාවාරම්කරුවකුට ඉන්දියානු රුපියල් 50,000 - 150,000 (ශ්‍රී ලංකා රුපියල් 107,065 - 321,196) ක් පමණ හිමිවේ. මෙම ජාවාරම්කරුවන් වකුගඩු ප්‍රදානය කරන්නනට කැමති පුද්ගලයන් සොයාගනු ලබන්නේ www.ineedakidneynow.org සහ www.experienceproject.com වෙබ් අඩවිවලිනි. ඊට අමතරව ෆේස්බුක් සහ වෙනත් සමාජ වෙබ් අඩවි ජාල ඔස්සේ ද වකුගඩු ප්‍රදානය කරන්නන් සොයාගනු ලබයි. යමෙක් සිය වකුගඩුව ප්‍රදානය කිරීමට කැමැත්තක් දැක්වූ විගස මෙම ජාවාරම්කරුවෝ මේ බව ශ්‍රී ලංකාවෛ් ඔවුනගේ මිතුරු වෛද්‍යවරුන්ට දන්වා සිටිති. වෛද්‍යවරයාගේ අනුමැතිය ලද විගස අදාළ පුද්ගලයන් ඉන්දියාවේදී මූලික පරීක්ෂණවලට යොමුකෙරෙන අතර සියලු දේ පිළිබඳ සෑහීමකට පත්වන්නට හැකි නම් කොළඹට පැමිණීම සහ ආපසු යාම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගනු ලබයි.

ශරීර අවයව ප්‍රදානය කිරීම සඳහා මෙසේ රටකින් රටකට ගමන් කිරීම ඉන්ද්‍රිය බද්ධ සංචරණය’ (Transplant Tourism) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහිදී අවයවයක් අවශ්‍ය රෝගියා සේම අදාළ අවයවය ප්‍රදානය කිරීමට කැමති රෝගියා ද සැත්කම කරන රටට ගමන්කරයි. ඉන්ද්‍රිය බද්ධ සංචරණයසඳහා ලෝකයේ සුප්‍රකටම රට බවට පත්ව ඇත්තේ චීනය වන අතර එහි ටියැන්ජින් රෝහල මේ සඳහා විශේෂත්වයක් උසුලයි. අප නොදැන සිටියත් ජත්‍යන්තර තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාව ද යනු මිනිස් අවයව ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. නමුත් අප රටේ පොලීසිය හෝ වෙනත් වගකිවයුතු ආයතන මෙය පිළිගන්නේ නැති බැව් පෙනේ. දිනේෂ් මාරුගේ සිදුවීම සම්බන්ධව සළකාබැලීමේදී මෙයට අප රටේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ සම්බන්ධතාවය හොඳින්ම පෙනෙන්නට තිබේ. වරදක් පෙනෙන්නට තිබියදී එය පිළිබඳ විභාග කිරීමට විශේෂ පැමිණිල්ලක් අවශ්‍ය නැතත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසන්නේ මේ පිළිබඳ පැමිණිලි කිසිවක් නැති බැවින් විමර්ශණය කිරීම අවශ්‍ය නැති බවය. එමෙන්ම අප රට ඉන්ද්‍රිය බද්ධ සංචරණයකේන්ද්‍රස්ථානයක යැයි එල්ලවන චෝදනාවන් ද වගකිව යුත්තන් බැහැරකරනු විනා එම චෝදනා සත්‍යදැයි සොයා බලන්නට කටයුතු කරන බව් නොපෙනේ. මේවා පිළිබඳ අද අදම නිසි පියවර නොගතහොත් මේ ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ශරීර අවයව සඳහා මිනිසුන් මරා දැමෙන දිනය ද වැඩි ඈතක නොවනු ඇත.








1 comment:

  1. කෝකටත් ඔය ඉස්පිරිතාල වලින් එලියට එනකොට කට්ටියම වකුගඩුව තියනවද නැද්ද කියල බලාගත්තොත් හොදයි.
    මිට වඩා ලොකු දෙයක් උනාට පස්සේ තමයි ලංකාවේ පොලිසිය පියවර ගන්නේ

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න