පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, April 17, 2014

බ්‍රිතාන්‍ය රාජකීය බිළිඳුගේ මුල්ම එතෙර සංචාරය - First Overseas Tour of British Royal Baby



රජවරු, රාජ කුමාරවරු කියන්නේ නිතරම මිනිසුන්ගේ කතා බහට ලක්වන විදියේ පිරිසක්. සාමාන්‍ය අයෙකුට එක දිගට කිවිසුම් පහක් ගියොත් ඒක කාටවත් පෙනෙන්නේ නැති වුණාට රජෙකුට, රාජ කුමාරයකුට එක් කිවිසුමක්  යනවා කියන්නේ පත්තරේ දාන්න තරම් අමුතු දෙයක්. ඒ හින්දා තමයි අපි මේ කතාව කියන්න යන්නෙත්. මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ ප්‍රිය බිරිඳ වන කේට් ගේ කුළුඳුල් දරුවා වන මාස අටක් වයසැති කේම්බ්‍රිජ් හි ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී කුමරුගේ මුල්ම නිල විදේශ සංචාරය මේ දිනවල සිදුවෙනවා. ඒ නවසීලන්කයට සහ ඕස්ට්‍රේලියාවටයි. ඔවුන් දින 19ක් මේ රටවල් දෙකේ ගතකරන්නට නියමිතයි. මේ රටවල් දෙකම තවමත් පවතින්නේ බ්‍රිතාන්‍ය කිරුළ යටතේ නිසා එම රටවලට මම රාජකීයයන්ගේ පැමිණීම සැළකෙන්නේ සුවිශේෂී දෙයක් හැටියටයි. හේතුව විලියම් කුමරු වගේම ඔහුගේ පුතු ජෝර්ජ් කුමරුත් ඔටුන්න හිමි දාමයේ ඉහළම පුරුක්වල සිටින නිසයි. ඒ වගේම පසුගිය වසරේ ජූලි 22 වැනිදා රාජකීය කුමරුගේ ඉපදීමෙන් පසුව ප්‍රසිද්ධියේ මහජනතාව අතරට යන ප්‍රථම වතාවත් මෙයයි.

බීබීසී ආයතනය විසින් පළකොට තිබූ ආන්දෝලනාත්මක ඡායාරූපය

බිළිඳු කුමරු, විලියම් කුමරුත්, කේට් කුමරියත් පසුගිය 7 වැනිදා නවසීලන්තයේ වෙලිංටන් නුවරට පැමිණියා. කේට් කුමරියගේ ඇඳුම ගැන මාධ්‍ය විශේෂයෙන් කතා කළ බව පෙනෙන්නට තිබුණා. ඇය රතුපැහැ කබායකින් සැරසී සිටියා. විශේෂයෙන් ඈ සිය ඇඳුමේ පැළැඳ සිටි රිදී කටුව වැඩිදෙනෙකුගේ අවධානය යොමුවුණා. හේතුව එය බ්‍රිතාන්‍ය මහ රැජිනට අයිත් එකක් වීමයි. රැජිනගේ පෞද්ගලික ආභරණ එකතුවේ බොහෝ දේ කේට් කුමරියට දෙන්නට මහ රැජින වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. කේට් කුමරිය ගුවන් යානයෙන් බසින විට පැවති අධික සුළඟ නිසා ඇගේ ඇඳුම බොහෝ ඉහළට එසැවුණු ඡායාරූපයක් බීබීසී ආයතනය සිය නිල ෆේස්බුක් පිටුවේ පළකොට තිබුණා. බීබීසී වැනි ආයතනයක් එවැනි ඡායාරූපයක් ප්‍රසිද්ධ මාධ්‍යයක මෙසේ පළකිරීම පහත් ක්‍රියාවක් බවත්, මිනිසුන්ගේ ගෞරව පිළිබඳ මෙයට වඩා සිතිය යුතුබවත් බොහෝ දෙනෙකුගේ අදහස වුණා.

1983 වසරේ චාර්ල්ස් කුමරු සහ ඩයනා කුමරිය විලියම් කුමරු සමඟ කළ නවසීලන්ත සංචාරය


මේ රාජකීය සංචාරය අතීත සිදුවීමක් මතක් කරදෙන බව බොහෝ මාධ්‍යවලින් පවසා තිබුණා. චාර්ල්ස් කුමරු සහ ඩයනා කුමරිය  බිළිඳු විලියම් කුමරු සමඟ 1983 දී මේ ආකාරයෙන්ම නවසීලන්තයේ සංචරයකට පැමිණ තිබුණා. මේ රටවල් වැසියන්ගේ තමන්ගේ අනාගත රජ දැකගන්නට සහජයෙන්ම කැමැත්තකින් පසුවෙනවා. ඒ නිසා විලියම් කුමරු දැකගන්නටත් බොහෝ පිරිසක් පෙළගැසී සිටිනු ඇතැයි මාධ්‍යවලින් කලින්ම පවසා තිබුණා. ඒත් පසුව පැවසුනේ ඔවුනට ලැබුණේ ඇල්මැරුණ පිළිගැනීමක් බවයි. නවසීලන්තයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා බොහෝ පිරිස් බිළිඳු කුමරා පිළිගැනීමේ උත්සවයට පැමිණ තිබුණේ නැහැ.


2011 වසරේ මේ රාජකීය යුවල කැනඩාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔවුනට උදේ රාත්‍රිය දක්වා විවිධ උත්සවවලට සහභාගීවන්නට කලින්ම සැලසුම්කොට තිබුණත් මේ නවසීලන්ත හා ඕස්ට්‍රේලියා සංචාරයේ එවැනි විශේෂ උත්සව දකින්නට නැහැ. විශේෂයෙන් දිවාකාලයෙන් පසුව ඔවුන් කිසිදු උත්සවයකට සහභාගී නොවන්නට තීරණය කොට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. බිළිඳු කුමරුගේ දෙමාපියන් පවසන්නේ ඔවුනට සිය පුත්කුමරා සමඟ වැඩිකාලයක් ගතකරන්නට ඕනෑ බවයි.   කෙසේ නමුත් බිළිඳු රාකීය කුමරු සිය දෙමාපියන් සමඟ ප්‍රසිද්ධියේ බලන්නට හැකි ස්ථාන පිළිබඳව මේවන විටත් නවසීලන්ත රජය සැලසුම් සකස්කොට මහජනතාව ද දැනුවත් කොට හමාරයි. ඒ වෙනුවෙන් විශේෂ මහාමාර්ග සැලසුම් පවා සකස්කොට තිබෙනවා.

රාජකීය පවුල නවසීලන්තයට සැපැත්වීමත් සමඟ ඔවුනට ආණ්ඩුකාර මැඳුරේදී සාම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. ඔවුන් සිය ගමන් බිමන් ආරම්භ කරන්නට පෙර එක් දිනක් විවේකීව ගතකරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඔවුන් සිය ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කරන්නට බලාපොරොත්තුවන්නේ අප්‍රේල් 16 වැනිදායි.


නවසීලන්තයේ වගේම ඕස්ට්‍රේලියාවෙත් බ්‍රිතාන්‍ය රජපවුල තමන්ගේ රටේ ප්‍රධානීන් ලෙස කටයුතු කරනවාට අකැමැති පිරිස් දිනෙන් දින වැඩිවෙමින් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ. මෑතකදී ඕස්ට්‍රේලියාවේ මේ ගැන ජනමත විචාරණයකුත් පැවැත්වුණා. එහිදී බහුතරය පවසා සිටියේ ඔවුන් තවමත් තමන්ගේ රාජ්‍යයේ ප්‍රධානියා හැටියට එලිසබෙත් මහරැජින පිළිගන්නට කැමති බවයි. නමුත් නුදුරු අනාගතයේදී මෙම තත්වය වෙනස්වන්නට ඉඩ ඇති බව පෙනෙනවා. නවසීලන්ත වැසියන්ගෙන් 41%කුත්, ඕස්ට්‍රේලියානුවන්ගේ 30%කුත් රජපවුල ප්‍රතික්ෂේප කරන බව ජනමත විචාරණවලින් හෙළිවී තිබෙනවා. ඒ නිසාම බිළිඳු ජෝර්ජ් කුමරුගේ සංචාරය ඇතුළත නවසීලනත්යේ වගේම ඕස්ටේලියාවෙත් උද්ඝෝෂණ ඇතිවන්නට ඇති ඉඩකඩ ගැන දැනටමත් අනතුරු හඟවා තිබෙනවා. විශේෂයෙන් මේ සංචාර ඇතුළත දී නවසීලන්තයේ ආදීවාසීන් වන මඔරිවරුන්ගේ රජු විලියම් කුමරු හමුවීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. එයට හේතුව තමන්ගේ ගැටලු ගැන කතාකරන්නට ඔහුට ලබාදී ඇති මිනිත්තු 90 ක කාලය ප්‍රමාණවත් නැතැයි පැවසීමයි.

මෙය බිළිඳු කුමරුගේ මුල්ම නිල සංචාරය සේම රජපවුලේ කීර්තිය නංවාගැනීමේ උපක්‍රමයක් ලෙසත් ඇතැමුන් හඳුන්වා තිබෙනවා. රජපවුල සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් යැපෙන, රටට බරක් හැටියට පවසන් බ්‍රිතාන්‍ය වැසියන් බොහෝ දෙනෙක් සිටිනවා. නවසීලන්තයේ මේ පිරිස් මෙයට වඩා වැඩිවනවා මිස අඩුවන්නට ඉඩක් නැහැ. එවැන් රැල්ළක් පැවතීමේ රජපවුලේ කීර්තිමත් අතීතයට කැළලක් සේම අනාගතයට තර්ජනයක්. මේ සියල්ල සමනය කරගැනීමේ සංචාරයක් හැටියටත් බොහෝ දෙනෙක් මෙය හඳුන්වන්නේ ඒ නිසයි.

1 comment:

  1. සුද්දන්ට කඩේ යන්න එපා බං . . .

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න