පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, September 27, 2014

ගර්භාෂය කුළියට දීම හෙවත් අන්වාදේශය - Surrogation - renting out one's womb



අනුන්ගේ දරුවන්ට වැඩීම සහා තමන්ගේ ගර්භාෂය කුළියට දීම හෙවත් අන්වාදේශය (Surrogation)  වර්තමානයේ බහුලව සිදුවන්නකි. මේ පිළිබ මෑත ඉතිහාසයේ වැඩිපුරම කතා බහට ලක්වූ පුවතක් වූයේ බොලිවුඩයේ සුපිරි නළුවකු වන ෂා රුක් ඛාන් ගේ බිරි වන ගෞරි තම තෙවැනි දරු උපත සිදු කළේ ඒ ආකාරයට වීම නිසාය. ඒ 2013 වසරේ මැයි මාසයේදීය. අන්වාදේශය විවිධ ආකාරයෙන් සිදු කෙරෙන අතර මෙහිදී සිදුවූයේ ෂාරුක් ගේ ශුක්‍රාණු හා ගෞරිගේ ඩිම්බ රසායනාගාරයක කෘත්‍රිමව සංසේචනය කොට ලබාගත් යුක්තානුව වෙනත් කාන්තාවකගේ ගර්භාෂයේ වර්ධනයවීම පිණිස තැන්පත් කිරීමය. 47 හැවිරිදි වියෙහි පසු වූ ගෞරි, තවත් දරුවකුට කැමැත්තෙන් පසුවුවද එවැනි වයසකදී දරුවකු පිළිසිඳ ගැනීමෙහි පවතින අවදානම පිළිබඳ සැලකිල්ලට ගෙන අන්වාදේශය ඔස්සේ දරුවකු ලබාගැනීමට පෙළඹුණු බැව් ඇය පවසා තිබිණි. 

අන්වාදේශය යනු අලුත් දෙයක් නොවේ. අන්වාදේශය යන්නෙහි අරුත වෙනත් කාන්තාවකගේ ගර්භයක ඉපදුණු දරුවකු ඇයගෙන් පරිබාහිර පුද්ගලයකු විසින් හදාවඩාගැනීම සඳහා ලබාගැනීමය. මේ අරුතින් ගත්කල අන්වාදේශය යන්නෙහි ඉතිහාසය බයිබලයේ උත්පත්ති කතාව තෙක්ම දිව යයි. අනෙක මෙම ක්‍රමය ඔස්සේ දරුවන් ලැබූ මුල්ම ඉන්දියානුවන් වන්නේ ද ෂාරුක් ඛාන් හා ගෞරි පමණක්ම නොවේ. 2011 දෙසැම්බර් මාසයේ ආමීර් ඛාන් හා ඔහුගේ බිරිඳ කිරාන් රාඕ සිය පුතු වූ අසද් රාඕ ඛාන් හිමිකරගත්තේ මේ ක්‍රමයෙනි. එමෙන්ම සල්මාන් ඛාන්ගේ සොහොයුරා වූ සොහේල් ඛාන්ද අනුගමනය කළේ මේ ක්‍රමයමය. ජාත්‍යන්තර තලයේ සුප්‍රකට චරිත වන එල්ටන් ජෝන් සහ සිය සමලිංගික සගයා වන ඩේවිඩ් ෆර්නිෂ්. රිකී මාර්ටින්, මයිකල් ජැක්සන්ගේ තෙවැනි පුතු වූ දෙවැනි ප්‍රින්ස් මයිකල්. පාපන්දු ක්‍රීඩකයකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි තවත් බොහෝ දෙනෙකු දරුවන් හිමිකරගෙන ඇත්තේ මෙම ක්‍රමය ඔස්සේය. ආමීර් ඛාන් සිය දරුවා පිළිබඳ මාධ්‍යයට හෙළිකරමින් පවසා තිබුණේ මෙම ක්‍රමය නිසරුභාවයෙන් පෙළෙන දෙමාපියන් සඳහා කදිම විසඳුමක් බවය. 

මෙම ක්‍රියාවලිය සරලව මෙසේ විස්තර කළ හැකිය. මෙහිදී සිදුවන්නේ වෙනත් යුවළක් වෙනුවෙන් යම්කිසි කාන්තාවක් සිය ගර්භාෂය තුළ දරුවකු වර්ධනය කර දීමයි. මේ සඳහා ඇය යම්කිසි මුදලක් අයකරන්නෙ නම් එය ගර්භාෂය කුලියට දීම වශයෙන් හැඳින්වීමේ වරදක් ද නැත. එය යම් පුද්ගලයකුගේ වාහනයක් වෙන අයෙකුට ගමන් බිමන් යාම සඳහා කුලියට දීමට වඩා වැඩි වෙනසක් නොමැත. අන්වාදේශය බොහෝ විට යොදාගනු ලබන්නේ නිසරු යුවළකට දරුවකු ලබාගැනීමේ ක්‍රමයක් වශයෙනි. මෙහිදී පුරුෂයා හෝ කාන්තාව හෝ දෙදෙනාම හෝ නිසරු විය හැකිය. දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය කරනා ඩිම්බය ප්‍රදානය කරන්නා වූ කාන්තාව හඳුන්වනු ලබන්නේ ප්‍රවේණි මව‘ genetic mother වැනි නමකිනි. මෙම ක්‍රියාවලිය සම්ප්‍රදායික අන්වාදේශය’ traditional surrogacy නම් වේ. මේ සඳහා ඩිම්බය ප්‍රදානය කළ කාන්තාව විවාහක යුවළගෙන් පරිබාහිර කාන්තාවක නම් එම ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ ගැබ්දැරීමේ අන්වාදේශය’ gestational surrogacy වැනි නමකිනි. දරුවා ලැබිමේ අපේක්ෂාවෙන් සිටිනා යුවළ සමාජමය දෙමාපියන්වශයෙන් හඳුන්වනු ලබයි. ගැබ දැරීම සඳහා අදාළ කාන්තාව විසින් මුදල් අයකරන්නේ නම් එය වාණිජමය අන්වාදේශයනමින් ද මුදල් අය නොකරන්නේ නම් එය පරහිතකාමී අන්වාදේශයවශයෙන් ද හඳුන්වනු ලබයි. 

මෙය මෙසේ සරලව විස්තර කළද මේ සඳහා වැයවන මුදල නම් සරල වන්නේ නැත. නිසරුභාවයෙන් පෙළෙන යුවළකගේ එකම පිහිට මෙය වුවද එම පිහිට ලබාගැනීමට නම් සෑහෙන තරම් ධනවත් විය යුතු බව පෙනෙන්ට තිබේ. මේ ආකාරයෙන් දරුවකු හිමිකරගැනීම සඳහා අවම වශයෙන් ඇමරිකන් ඩොලර් 50,000ක් (රුපියල් ලක්ෂ 66ක් පමණ) වත් තිබිය යුතු යැයි පැවසේ. මෙය ජාත්‍යන්තර මිල වුවද ඉන්දියාවේ ඇතැම් වබේ අඩවි සඳහන් කරන්නේ එහි මෙය ඩොලර් 25,000කින් (රුපියල් ලක්ෂ 33ක්) පමණ සිදුකරගත හැකි බවය. (මෙම මුදල් ප්‍රමාණයන් දිනෙන් දින ඉහළ යන බව සළකන්න. මෙය ලියන මොහොතට වඩා ඔබ මෙය කියවන මොහොතේ මෙම ප්‍රමාණයන් වෙනස්වන්නට පුලුවන)

මෙය මෙතරම් සුලභවෙමින් පවතින්නක් වුවද මෙහි ඇති සදාචාරාත්මක බව පිළිබඳ විවිධ අදහස් මතුවෙමින් පවතී. වෙනත් කාන්තාවකට උපන් දරුවකු ඇයගෙන් පරිබාහිර පුද්ගලයකුට දරුකමට හදාවඩා ගැනීමට ලබාදීම යන්න මෙහි සරල අරුත වුවද මානුෂීය වශයෙන් ගත්කළ එය දෙස අප වඩාත් ගැඹුරු ලෙස බැලිය යුතුවේ. වර්තමානයේ සිදුවන්නේ වෙනත් පුද්ගලයකුගේ අවශ්‍යතාවය මත යම්කිසි කාන්තාවක් සිය ගර්භාෂය කුලියට ලබාදීමය. මේ දරුවා තමාට නෙලැබෙන බවත්, තමාගේ නොවන බවත් එම කාන්තාව හොඳාකාරවම දනී. නමුත් ඇය සාමාන්‍ය මවක් සේ එම කලලය ‍පෝෂණය කරමින් දසමසක් එය දරා සිට මොලොවට බිහි කරයි. අප දන්නා තරමින් මව තුළ සිය කුසෙහි සිටිනා දරුවා පිළිබඳ ඇතිවන ස්නේහය කුස තුළ වැඩෙන දරුවාට දැනේ. දරුවා තුළ සිය මව පිළිබඳ සෙනෙහසක්, ආදරයක් ඇතිවන්නේ එහි බලපෑමෙනි. නමුත් කුලියට සිය ගර්භාෂය ලබාදෙන කාන්තාවක් තුළ සිය කුසෙහි වැඩෙන දරුවා පිළිබඳ එවැනි සෙනෙහසක් ඇති වේ යැයි කිව හැකිද ? ඇයට අවශ්‍යවන්නේ තමා භාරගත් රාජකාරිය ඉටුකර දීම විනා කුසතුළ වැඩෙනා දරුවා පිළිබඳ සෙනෙහසක් ඇතිකර ගැනීම නොවේ. ඇයගේ මෙම හැඟීම දරුවාගේ මානසික ක්‍රියාවලිය හා දරුවාගේ පෞරුෂය වර්ධනය වීම කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත.

සිය කලලය ගබ්සාවකින් විනාශ කරන්නට උත්සාහ කළ එහෙත් එය ව්‍යර්ථ වූ දෙමාපියන්ට උපන් දරුවන් තුළ මාපියන් කෙරෙහි සෙනෙහසක් නැති බැව් පර්යේෂණ මගින් ඔප්පු වී තිබේ. එසේ හෙයින් කුළියට ගත් ගර්භාෂයක වැඩෙනා දරුවන්ගේ මානසිකත්වයද සාමාන්‍ය දරුවකුගේ මානසිකත්වයට වඩා වෙනසක් තිබිය හැකිය.

එමෙන්ම මෙම ප්‍රවණතාවය කමෛන් වර්ධනය වුවහොත් සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන් ඇතිකිරීමේ ගොවිපළඇති විය හැකි බවට මේ පිළිබඳ පර්යේෂණ පවත්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ආචාර්ය ජෝන් ලැන්ටොස් අනතුරු හඟවයි. බොහෝ රටවල ආගමික කණ්ඩායම් ද මෙම ප්‍රවණතාවය පිළිබඳ සිය විරෝධය පළකොට තිබේ.
සමාජයීය වශයෙන්ද මෙය ඉදිරියේදී ගැටලුවක් වන්නට ඇති ඉඩකඩ බොහෝය. මුදල් වෙනුවෙන් සිය ගර්භාෂය කුලියට දීම තුළින් කාන්තාවන් තුළ සෘණාත්මක ආකල්ප වර්ධනය විය හැකිය. 

නිසරුභාවයෙන් පෙළෙන සිය ඥාතියකුට හෝ මිතුරකුට කරන උදව්වක් වශයෙන් මෙවැනි දෙයකට කාන්තාවක් යොමුවීම හා මුදලට සිය ගර්භාෂය කුළියට ලබාදීම අතර බොහෝ වෙනසක් තිබේ. අනෙක් අතට යම් පුද්ගලයකුට පිහිටක් වීමේ අපේක්ෂාවෙන් වුවත් මෙවැන්නකට කැමැත්ත පළ කිරීම අප වැනි සංස්කෘතියක් තුළ කෙසේ කළ හැකිද යන ගැටලුවද මතුවේ. මන්ද අප සමාජය කාන්තාවකගේ ගැබ්ගැනීම පිළිබඳ විවිධ දේ අනුමාන කරන්නට පුරුදුව ඇති බැවිනි. මෙය වාණිජකරණයට ලක් නොවිය යුතුය යන්න බහුතරයකගේ අදහස වී තිබේ. අනෙක ගැබ දරනා කාන්තාවට සිය කුසෙහි වැඩෙනා දරුවා පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සුරැකෙන අයුරින් නීති සකස්විය යුතු බවට ද අදහස් මතුවෙමින් තිබේ. වෙනත් අයකු වෙනුවෙන් සිය ගර්භාෂයේ දරුවකු වර්ධනය කරමින් සිටිය ද යම් අවස්ථාවක මෙම දරුවා තමා විසින්ම හදාවඩා ගන්නට එම කාන්තාව කැමැත්ත පළ කළහොත්, ඇයට එම අවස්ථාව ලැබෙන සේ නීතීරීති සකස් විය යුතු යැයි හඬක් මතුවෙමින් පවතී. නිසරු පුද්ගලයන්ගේ පිහිටට ඇති එකම මග මෙය වුවද මෙම ප්‍රවණතාවය වෙනස් පෞරුෂයකින් යුක්ත දරු පරපුරක් ඇති වන්නට හේතුවක් වන බව නම් නිසැකව සඳහන් කළ හැකිය. එය සමාජය ප්‍රගමණයට වඩා පරිහානියක් සිදුවන්නට ද ඉඩ ඇත.

4 comments:

  1. They have come up with a gaming platform like no other business has, and users love
    them for it. With the altering times and demands, mobile phones as well have evolved and one particular can use
    it as per the require and requirement.

    Check out my blog post - Monster High Makeover Dressup triche

    ReplyDelete
  2. වටින ලිපියක් දන්නැති දේවල් ඉගෙන ගත්තා ස්තූතී!!

    ReplyDelete
  3. මමනම් මේ ක්‍රියාවලියෙ වරදක් දකින්නෙ නැහැ. දුප්පත් අයට රැකියාවක් වගේම ධනවත් අයට දරුවෙක් ලබාගන්න තියෙන හොද ක්‍රමයක්.

    ReplyDelete
  4. I could not refrain from commenting. Perfectly written!

    Here is my website - Funny Cat Vine

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න