පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 13, 2014

බොරු අල්ලන මැෂිමේ කතාව - Story of Lie Detecting Machine/Polygraph



මේ ලෝකේ හිටිය ලොකුම බොරු කාරයා චේතිය රජ්ජුරුවෝ කියලා තමයි කියැවෙන්නේ. මුවින් මහනෙල් මල් සුවඳ විහිදුනත් බොරු කියපු නිසා මුවින් දුගද හැමුව බවත්, අවුරුදු විසි දහසක් ආයුෂ ලබාගෙන ඉපදුනත්, බොරු කියාපු නිසා ඒ ආයුෂ අඩුවුණ බව පොත පතේ සඳහන් වෙනවා. හැබැයි අද දේශපාලඥයන් චේතිය රජ්ජුරුවන්ටත් වැඩිය බොරු කියන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම කිසිම බොරුවක් නොකියපු පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ බෝසතාණන් වහන්සේ කියලත් සඳහන් වෙනවා. ඒ නිසාම ප්‍රඥාවන්ත බුදුවරයෙක් වන්නට උන්වහන්සේට හැකිවුණා. මේ ලෝකයේ උපන්, බොරු නොකියපු කෙනෙක් හොයනවට වඩා කලුනික හොයන එක ලේසියි. විවිධ අපරාධ කළ අය, විවිධ වැරදිවලට නීතිය හමුවට ඉදිරිපත් කරන අය තමන් නිවැරදියි කියා පෙන්වන්න බොරු ගොත ගොතා කියනවා. සමහරුන්ගේ බොරු කොයිතරම් ද කිව්වොත්, අන්තිමට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හොයාගන්නත් බැහැ. ඉස්කෝලේ යන කාලේ හදිසියේ ඉස්කෝලේ එන්න බැරිවුණත් වැඩි දෙනක් කියන්නේ බොරු. හුඟ දෙනෙක්ගේ ආච්චිලා, සීයලා කීප වතාවක්ම මේ බොරු හින්දා මිය ගිහින් තියෙනවා. බොරුවට නෙවෙයි ඇත්තටම කිව්වොත් බොරුව කියන්නේ අපේ ජීවිතවල අංගයක් වෙලා.

ජෝන් ලාර්සන් 

බොරුව මේ තරම් රජවෙන්න පටන් ගත්තු නිසා බොරු කාරයෝ අල්ලගන්න ක්‍රමයක් හදන්න ඕන කියලා කාට හරි හිතෙන්න ඇති. ඒ හිතුණ කෙනො තමයි ජෝන් ඔගස්ටස් ලාර්සන්. ඔහු 1921 දී බොරු අල්ලග්න්න යන්ත්‍රයක් හැදුවා. ඒ වෙනකොට ඔහු කැලිෆෝර්නියා සරසවියේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඒ වගේම කැලිෆෝර්නියා ප්‍රාන්තයේ බර්ක්ලි පොලිස් ස්ථානයේ නිලධාරියෙක්. ඔහු යන්ත්‍රයක් නිර්මාණය කළා. එය හඳුන්වනු ලැබුවේ polygraph නමින්. නමුත් එය වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ බොරු අල්ලන යන්ත්‍රය’ (Lie Detector) නමින්. මෙයින් බොරු අල්ලන්න හැකියාවක් තිබෙන බව කීවත්, බොහෝ දෙනෙකුගේ තර්කය වුණේ මෙහි විද්‍යාත්මක පදනමක් නැති නිසා එය එතරම් සාර්ථක උපකරණයක් නොවන බවයි. කෙසේ වුවත් 2003 ගිනස් වාර්තා පොතේ නම් ලෝකයේ හොඳම සොයාගැනීම් අතරට මෙය ද ඇතුළත් කොට තිබුණා. බොහෝ රටවල අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම යන්ත්‍රය යොදාගන්නා අවස්ථා තිබෙනවා. ඒ වගේම ඇතැම් ආයතන විසින් සේවකයන් සම්මුඛ පරීක්ෂාවන්ට ලක්කිරීමේදී ද මෙම යන්ත්‍රය ඔස්සේ ප්‍රශ්න කෙරෙනා බව අසන්නට ලැබෙනවා. කෙසේ නමුත් යම්කිසි පුද්ගලයෙත් පවසන්නේ බොරුවක් ද යන ප්‍රතිඵලය මෙයින් ඍජුවම ලැබෙන්නේ නැහැ. එය බොරුවක්දැයි තීරණය කරන්නේ මෙම යන්ත්‍රයෙන් ලැබෙන ප්‍රතිඵල විශ්ලේෂණය කරන තැනැත්තා විසිනුයි. ඒ නිසා මෙහි ප්‍රථිපල සෑමවිටම සාර්ථක නොවෙන්නත් ඉඩ තියෙනවා.

 
බොරු අල්ලන යන්ත්‍රයක් 

බොරු අල්ලන යන්ත්‍රය ක්‍රියාත්මකවන්නේ කෙසේද?

යම්කිසි පුද්ගලයෙකු බොරු අල්ලන යන්ත්‍රයක් ඔස්සේ පරීක්ෂාවට ලක්කිරීමේදී ඔහුගේ සිරුරට සංවේදක 4 - 6 ක් දක්වා සංඛ්‍යාවක් සම්බන්ධ කරනවා. මේ සංවේදක ඔස්සේ පැමිණෙන සංඥා කඩදාසියක් මත සටහන් වනු දකින්නට පුලුවන්. මෙහිදී කාරණා කිහිපයක් සළකා බැලෙනවා

1. ස්වසන වේගය
2. ස්පන්ධන වේගය
3. රුධිර පීඩනය
4. දහදිය දැමීමේ වේගය

මීට අමතරව ඇතැම් බොරු අල්ලන යන්ත්‍රවලින් පුද්ගලයාගේ පාද චලනය වන රටාව ද පරීක්ෂාවට බඳුන් කෙරෙනවා.

බොරු අල්ලන යන්ත්‍රයකින් ප්‍රශ්න කෙරෙන ආකාරය 


කිසියම් පුද්ගලයකු බොරුවක් කීමේදී කලබලවීම සාමාන්‍ය දෙයක්. එසේ කලබල නොවන්නේ බොරුකිීම ප්‍රගුණ කළ චේතිය රජතුමාගේ පරම්පරාවේඅය පමණයි. මෙම කලබලවීමේ තත්වය නිසා අදාළ පුද්ගලයාගේ ස්වසනය, හෘද සප්නධනය, රුධිර පීඩනය හා දහදිය දැමීමේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. අදාළ පුද්ගලයාගේ සිරුරට සවිකොට ඇති සංවේදක ඔස්සේ යන්ත්‍රයට ලැබෙන එම සංඥා කඩදාසියක් මත සටහන් වෙනවා. මෙය විශ්ලේෂණය කිරීමෙන් යම්කිසි පුද්ලයෙකු පවසන්නේ බොරුවක් ද, සැබෑවක් ද යන්න විශ්ලෙෂණය කොට ප්‍රතිපල නිකුත් කළ හැකියි.

සාමාන්‍යයෙන් බොරු අල්ලන යන්ත්‍රයක් රුපියල්වලින් නම් ලක්ෂ දෙකහමාරක් පමණ වෙනවා. ඒ් නිසා මේ ලිපිය දකින (බොරු කියන්න ආස) නෝන හාමිනේලා සහ මහත්වරු තමන්ගේ නිවසටත් බොරු අල්ලන යන්ත්‍රයක් මිලට ගන්න එක් නැහැ, ‛හම්මේ අති යන්තම්කියලා හිත හදාගන්න පුලුවන්. ඒත් පොඩ්ඩක් ඉන්න. අද තාක්ෂණය එන්න දියුණු වෙනවා. ඒ නිසා ඉස්සර ලොකුවට, අධික මිල ගණන් දීලා ගත්තු දේවල් දැන් නිවසේ පරිහරණයට ගත හැකි තරමට මිලෙන් අඩුවී තිබෙනවා. (අයියෝ!) ඒ ආරංචිය ලැබෙන කොට නම් දාඩිය දාන්න පුලුවන්. දැන් ඔබේ පරිගණකයට ස්ථාපනය කළ හැකි බොරු අල්ලන මෘදුකාංග තිබෙනවා. LXSOFTWARE 11.4 BUNDLE කියන්නේ එවැනි මෘදුකාංගයක්. ඒ විතරක් නෙවෙයි පරිගණකයේ යූ.එස්.බී. පෝර්ට් එක ඔස්සේ ක්‍රියාත්මක වන බොරු අල්ලන යන්ත්‍රත් තිබෙනවා. සුප්‍රකට ඇමසන් ඩොට් කොම්’ (http://www.amazon.com) වෙබ් අඩවියෙන් එවැන්නක් රුපියල්වලින් නම් 13,080 ක් වගේ මිලකට ගන්න පුලුවන්. ඕනෑම රටකට නොමිලයේ ප්‍රවාහනය කරන බවත් දක්වා තිබෙනවා.

යූ.එස්.බී. පෝර්ට් එක ඔස්සේ ක්‍රියාත්මක වන බොරු අල්ලන යන්ත්‍රයක්


තත්වය මෙසේ වුවත්, මේ යන්ත්‍රවලට  බොරු කරන ආකාරය ද අන්තර්ජාලයෙන් ඕනෑ තරම් සොයාගන්න පුලුවන්. හොඳින් පුහුණු කළ අයෙකුට මෙම යන්ත්‍රයට හසුනොවන සේ ඕනෑ තරම් බොරුකීමේ හැකියාව තිබෙනවා. බොරු අල්ලන යන්ත්‍රය මගින් සළකා බැලෙන සාධකවලට මුහුණේ දීමේ හැකියාව මත ඕනෑම අයෙකුට මෙම යන්ත්‍රය පරාජය කළ හැකි බව පැවසනෙවා. කෙසේ වුවත්, අපරාධකරුවන් බොරු කියන්නේදැයි අල්ලාගන්නට මෙම යන්ත්‍රය දිගින් දිගටම යොදාගැනීමෙන් පෙනෙන්නේ බහුතරයකට මෙම සාධකවලට එරෙහිවන්නට තරම් ශක්තියක් නොමැති බවයි. 

4 comments:

  1. ඒ තරම්ම ප්‍රායෝගික නැති වෙන්නත් පුළුවන්.
    උදාහරණයක් ගත්තොත් සම්මුඛ සාකාච්චාවට සහභාගි වෙන අයකුට ඔය මැෂින් එක හයි කරල ප්‍රශ්න ඇහුවොත් සමහර විට ඒ මනුස්සයගෙ සබකෝලයත් එක්ක ස්පන්දන වේගය, දහඩිය දැමීම etc. වැඩි වෙන්න පුළුවන්..

    කොහොමහරි ඔයවගේ ලොකුවැයින් එකක් හදල පාර්ලිමේන්තුව ඇතුලෙ තිබ්බනං මරු.. :D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මේක විද්‍යාත්මක නැහැ කියා තමයි බොහෝ දෙනෙක් කියන්නේ.ඒත් කෙ භාවිතා වෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ කට්ටිය නම් මේ මැෂිමට අහුවෙන එකක් නැහැ කියල තමයි මට හිතෙන්නේ. මොකද එ්ගොල්ලෝ තරම් බොරු කියන්න දක්ෂ කට්ටියක් මේ තුන්ලොකේම නැහැ නේ. මැෂිම කැඩෙන්න වුණත් පුලුවන් මේගොල්ලන්ගේ බොරු අහලා.

      Delete
  2. හපොයි ලංකාවෙ නං ඕම එකක් නැතිව ඇති...
    ඇයි අප්ප සැකකාරයට කලිං පොලිස් කාරයයි නීතිඤයයි නෙව බොරු කියන්න පටං ගන්නෙ
    හික්ස්

    ReplyDelete
    Replies
    1. උන්ව තමයි මුළින්ම මේ මැෂිමට දාන්න ඕන. වැඩේ කියන්නේ උනුත් දන්නවා මේකෙන් ගැළවෙන විදිහ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න