පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, September 9, 2015

ඔබට ආතරයිටිස් ඇත්නම් මේ ව්‍යායාම කරන්න - Exercises for Arthritis Patients


‛ආතරයිටිස්’ කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කතා බහ කරන රෝගී තත්වයක්. වයස්ගත අය පමණක් නොව තරුණ විය ඉක්මවා යන අයත් මේ තත්වයට මුහුණ දෙනවා. කාටිලේජ සහ හන්දිවල ඇති පටක ස්ථර ගෙවී යාම නිසා සන්ධි චලනය කිරීමට ඇති අපහසුතාවය ආතරයිටිස් නමින් හැඳින්වෙනවා. අපහසුතාවයට අමතරව වේදනාවක් ද ඇතිවෙනවා. පරිගණකයෙන් යමක් ටයිප් කරන විට වාගේම කුඩා භාජනයක් ඔසවද්දී පවා මේ වේදනාව ඇති විය හැකියි. දෑත්වල ශක්තිමත් බව අඩු වී යනවා සේ දැනෙන්නට පුළුවන්. එය එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාම සඳහා බාධාවක්. ආතරයිටිස් සඳහා ඇති වෛද්‍ය උපකාරවලට අමතරව, මේ වේදනාවන් හැකි තාක් අවම කරගෙන, හන්දිවල චලනයන් පහසුවෙන් සිදුකරගැනීමට උපකාර වන ව්‍යයාම පවතිනවා. ඔබත් ආතරයිටිස් තත්වයට ගොදුරු වී ඇත්නම් මේ ව්‍යායාම ඔබට සුදුසුයි. 

1. අත මිට මෙලවීම 



අත තද ස්වභාවයෙන් යුක්ත යැයි දැනෙන  ඕනෑම තැනකදී ඔබට මෙය කළ හැකියි. අත මිට මෙලවෙන සේ ඔබේ ඇඟිලි සෙමින් හකුළන්න. මහපටඟිල්ල පිටතට සිටින සේ නවාගන්න. අත මිට මෙළවූවාට, අත මිරිකී යන සේ තද කිරීමෙන් වළකින්න. දැන් ඇඟිලි සම්පූර්ණයෙන්ම ඍජුවන සේ සෙමින් දිගහරින්න. මෙය එක් අතකට 10 වතාවක් බැගින් අත් දෙකටම කරන්න. 

2. ඇඟිලි නැවීම 


කලින් ඉරියව්වෙන්ම මෙම ව්‍යයාමය ද ආරම්භ කරන්න. ඔබේ මහපටඟිල්ල අල්ල දෙසට සෙමින් නවන්න. තත්පර කිහිපයක් එසේ තබාගන්න. දැන්  කෙළින් කරන්න. ඉන්පසු දබරඟිල්ල සෙමින් නවන්න. දැන් තත්පර කිහිපයක් එසේ තබාගන්න. දැන් කෙළින් කරන්න. මේ ආකාරයට අත් දෙකේම සෑම ඇඟිල්ලක් සඳහාම මෙම ව්‍යයාමය කරන්න. 

3. මහපටඟිල්ල නැවීම 



මුළින්ම එක අතක් ගන්න. එහි මහපටඟිල්ල අල්ල දෙසට නවන්න. එය සුළැඟිල්ලේ පහළ කොටසේ ස්පර්ශ කරන්න. ඔබේ ආතරයිටිස් ස්වභාවය දැඩි නම් ඇතැම් විට සුළැඟිල්ලේ පහළ කොටස ස්පර්ශ කළ නොහැකි වන්නටත් ඉඩ තිබෙනවා. නමුත් ඔබට හැකි තාක් මහපටඟිල්ල දිගු කරන්න. සුළැඟිල්ලේ පහළ කොටසේ මහපටඟිල්ලේ කෙළවර තබා තත්පර කිහිපයක් ඉන්න. දැන් මහපටඟිල්ල යළිත් කෙළින් කරන්න. මේ එක් අතට 10 වතාව බැගින් අත් දෙකටම සිදුකරන්න. 

4. ඉංග්‍රීසි ‛ඕ’ අකුර සැදීම 



එක් අතක් ගෙන ඉහළ අතට හරවාගන්න. දැන් ඇඟිලි සියල්ල එකිනෙක ළංකොට ඉංග්‍රීසි ‛ඕ’ අකුර සෑදෙන සේ ඇඟිලි නවන්න. මේ ආකාරයට තත්පර කිහිපයක් තබාගන්න. දැන් ඇඟිලි දිගහරින්න. මෙය අත් දෙකටම දිනකට කිහිප වතාවක් කරන්න. ඔබගේ අත් වේදනාවට හෝ දැඩි බවට පත්වී ඇතැයි සිතෙන ඕනෑම අවස්ථාවක මෙය කළ හැකියි. 

5. මතුපිටක් මත තබා දෑත් නැවීම 



ඔබේ අතේ සුළැඟිල්ල පහළට සිටින සේ ද මහපටඟිල්ල ඉහළට එසැවී සිටින සේ ද තබාගන්න. මහපටඟිල්ල ඒ ඉරියව්වෙන්ම තබා අතේ අනෙක් ඇඟිලි අල්ල දෙසට නවන්න. දැන් ඔබගේ අල්ල ප්‍රදේශය ඉංග්‍රීසි ‛එල්’ අකුරක හැඩයට පැවතිය යුතුයි. වම් අතින් මෙය ආරම්භ කළා නම් එය පැහැදිලිව පෙනේවි. මේ ආකාරයට තත්පර කිහිපයක් අල්ලාගෙන ඉන්න. දැන් ඇඟිලි කෙළින් කරන්න. එක් අතකට දස වතාව බැගින් අත් දෙකටම මෙම ව්‍යායාමය කරන්න. 

6. ඇඟිලි එසැවීම



එක් අතක් මේසයක් මත සමතලව තබාගන්න.  දැන් ඇඟලි එකින් එක වරකට එක බැගින් සෙමින් මේසයෙන් ඉහළට ඔසවන්න. එක් ඇඟිල්ලක් තත්පර කිහිපයක් තබාගන්න. ඉන්පසු පහත් කරන්න. මේ ආකාරයට සෑම ඇඟිල්ලක් සඳහාම මෙය සිදුකරන්න. එක් අතකට ව්‍යයාම ලබාදුන් පසු අනෙක් අතට ද මෙය සිදුකරන්න. 

7. මැණික් කටුව දිගහැරීම 



ඔබේ මැණික් කටුව අමතක කරන්න එපා. එය ද ආතරයිටිස් නිසා ආබාධයට ලක්විය හැකි තවත් විශේෂ ස්ථානයක්. මුළින්ම අල්ල පහළට හරවාගන්න. ඔබ හරවාගත්තේ වම් අත නම්, දකුණු අතින් සෙමින් තද කොට මැණික් කටුවෙන් තවත් නවන්න උත්සාහ ගන්න. වේදනාවකින් තොරව උපරිම ලෙස අත නැමෙන විට නතර කරන්න. ඒ ඉරියව්වෙන් තත්පර කිහිපයක් ඉන්න. එක් අතකට 10 වතාව බැගින් අත් දෙකටම මෙය සිදු කරන්න. 

මේ ව්‍යයාම විශේෂයෙන් ආතරයිටිස් යම් තත්වයකින් හෝ තිබෙන අයට සහනයක් ලබාදීමට උපකාරී වේවි. 



12 comments:

  1. හොඳ දැනුවත් කිරීමක් නිරංජන්.ස්තුතියි.!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  2. ගොඩක් ප්‍රයෝජනවත් කරුණු ටිකක්. ස්තූතියි නිරංජන් ! http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මෙයින් දැනුමක් ලබාගත්තා නම් එය මාගේ සතුටයි.

      Delete
  3. වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. අදහසක් දැක්වීම ගැන ඔබට තුති

      Delete
  4. අනගි වැඩක් තවත් මෙවැනි දේ ඉදිරිපත් කිරීම් කාලෝචිතය

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  5. අපේ අම්මා අවුරුදු අටේ ඉඳලා ආතරයිටිස් වලින් දුක් විඳිනවා. ඒක හදවතටත් බලපෑම් කරලා තියෙන්නෙ. හතුරෙකුටවත් මේ වගේ ලෙඩ නම් හැදෙන්න එපා කියලයි ඉල්ලන්න ඕනෙ. මේ කරුණු ටික ඒ වගේ කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. මගේ මවත් ආතරයිටිස් රෝගයෙන් පීඩා වින්දා. ඔබේ මවට මම නිරෝගී සුවය පතනවා!

      Delete
  6. Me lipiya Mama desarayak baluwa.... Honda lipiyak

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න