පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, November 27, 2015

කාලගුණික සිදුවීම නිසා ඇති වන පියාඹන පීරිසි - UFO caused by Natural Phenominas


ආගමික ස්ථාන වන්දනාකිරීම සඳහා දෙවි දේවතාවුන් පැමිණෙන්නේය යන්න බොහෝ කාලයක සිට අපගේ ජන විඥානයේ පවතින්නක් බව සැබෑවකි. නමුත් මෑත කාලයේ සිට ඔවුන්ට වඩා වෙනස් වර්ගයක් ජීවීන් කොටසක් ද වෙහෙර විහාර වන්දනා කරන්නට පැමිණෙන බවට විවිධ පුවත් අසන්නට ලැබේ. ඒ පිටසක්වල ජීවීන්ය. මෙයට පෙර ද අප රටේ ස්ථාන කිහිපයකම පිටසක්වල ජීවීන් දර්ශනය වූ බවට විවිධ පුවත් වාර්තා වී තිබුණ ද, වන්දනාමාන කිරීම සඳහා ආගමික සිද්ධස්ථානයකට පැමිණි පුවතක් මුල්වරට වාර්තා වන්නේ පොලොන්නරුවේ රන්කොත් වෙහෙරෙනි. මොවුන් පැමිණ ඇත්තේ යානා විශේෂයකින් බවත් වාර්තා පළ විණි. සෝමාවති චෛත්‍යය අසල ඇති කුටියක ද අද්භූත ආකාරයේ ඡායාරූප රැසක් ප්‍රදර්ශනය කෙරෙන අතර ඒවායේ සඳහන් වන්නේ එම ඡායාරූපවල ඇත්තේ එම චෛත්‍යය වන්දනාමාන කිරීමට පැමිණෙන විවිධ දෙවිවරුන් බවය. කෙසේ නමුත් ඔවුන් පිටසක්වල ජීවීන් යැයි ඒවායේ සඳහන් කෙරෙන්නේ නැත.  රන්කොත් වෙහෙර වඳින්නට පිටසක්ල ජීවීන් පැමිණි පුවත් බොහෝ මාධ්‍යවලින්  වාර්තා කෙරිණි. අපගේ ලෝකයට බැහැරින් පැමිණෙන්නන් සියලු දෙනාම පිටසක්වල ජීවීන්ය යන වචනාර්ථයෙන් පමණක් සලකා බැලූවිට දෙවිදේවතාවුන් ද පිටසක්වල ජීවීන් විය යුතුය. සෝමාවතියේ මෙන් මෙයට දෙවිදේවතාවුන් යනුවෙන් විස්තර නොකෙරන්නට හේතුව ඇතැම් විට රන්කොත් වෙහෙරට මොවුන් පැමිණෙන්නේ යානාවලින් වන නිසා විය හැකිය. දෙවිදේවතාවුන් යානාවලින් පැමිණෙන කතා අප ඇසා නැත. එසේ හෙයින් ඔවුන් පිටසක්වල ජීවීන්යනුවෙන්ම හැඳින්වීමේ වරදක් නැත.


පිටසක්වල ජීවීන් පිළිබඳ කතා මෑත ඉතිහාසයේදී මුළින්ම කරලියට පැමිණෙන්නේ පියාඹන පීරිසි’ (Flying Saucers) දර්ශනය වීමේ සිදුවීම් සමගිනි. පියාඹන පීරිසි පිළිබඳ වාර්තා මධ්‍යතන යුගයේ සිටම ලැබෙන මුත් මෑත ඉතිහාසයේ එය කරළියට ගෙන එන්නට හේතුවන්නේ 1947 වර්ෂයේ සිදුවූ එක්තරා සිදුවීමකි. 1947 ජුනි 24 වැනිදා ඇමරිකානු ගුවන් නියමුවකු හා ව්‍යාපාරිකයකු වූ කෙනත් ආර්නෝල්ඩ් සිය ගුවන් යානය පදවාගෙන යද්දී ගුවනේදී දුටුවේ යැයි පැවසූ පීරිසියක හැඩය ඇති යානාවේ කතාව නිසා ලොව පුරාම පියාඹන පීරිසි පිළිබඳ විවිධ අදහස් ඇතිවන්නට පටන් ගත්තේය. ඔහු පැවසූයේ එම පීරිසියේ හැඩැති යානය වේගයෙන් කරකැවෙමින් තම ගුවන් යානය ඉදිරියෙන් ගමන් කළ බවය. එය පීරිසියක්, කවයක්, බිම්බයක්, පිඟානක් වැනි හැඩයක් ගත් බව ඔහු පවසා තිබිණි. කෙසේ නමුත් පියාඹන පීරිසියන්න වඩාත් ජනප්‍රිය පදය බවට පත්විය.  එමෙන්ම 1947 වර්ෂයේදීම ඇමරිකා එක්සත් ජනපදයේ රොස්වෙල් ප්‍රදේශය ආශ්‍රිතව කඩා වැටුණේ යැයි පැවසෙන කාලගුණ බැලූනයේ කතාව ද ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. එය කාලගුණ බැලුමක් නොව පියාඹන පීරිසියක් බවට කොතෙකුත් කතා පැතිර ගියේය. එහිදී හමුවූයේ යැයි පැවසුණු පිටසක්වල ජීවීන් දෙදෙනාගේ සිරුරුවල වීඩියෝ දර්ශන ද අන්තර්ජාලයේ තිබේ. කෙසේ වෙතත් ඇමරිකානු රජය මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් එය කාලගුණ බැලූනයක් බව උදක්ම ප්‍රකාශ කොට සිටියේය. 1952 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව මේවාට පොදු නමක් ලබාදෙන්නට පියවර ගත්තේය. ඒ හඳුනානොගත් පියාසර වස්තූන්’ (UFO - Unidentified Flying Objects) යනුවෙනි. එවිට පීරිසියක් පමණක් නොව හඳුනාගත නොහැකි, ඕනෑම හැඩයකින් යුක්ත වස්තු මේ ගණයට වැටිය හැකිය. කෙසේ නමුත් පීරිසි හැඩයට ඇති තැන අහිමිවූයේ නැත.

රේනියර් කන්ද - වොෂිංටන් ඇමරිකා එක්සත් ජනපදය
මේවා කාවාකර වළාකුළු නිසා ඇතිවේ

පියාඹන පීරිසි දුටුයේ යැයි පැවසෙන සිදුවීම් ලෝකයේ බොහෝ ස්ථානවලින් නොගිනිය හැකි තරම් වාර්තා හමුවේ. අනුරාධපුරයේදී ද එවැන්නක් ඡායාෑප ගත වී තිබුණු අතර, එය රාවණාගේ දඬුමොණරයයනුවෙන් ද විස්තර කෙරුණු අවස්ථා විය. පසුව එය කැමරාව ඉදිරියෙන් කුරුල්ලකු පියාඹා යද්දී ඇතිවූ ඡායාවක් යැයි ද ඇතැම් තැනක සඳහන් විය. පියාඹන පීරිසි පිළිබඳ කතාකිරීමේදී මෙවැනි දෘෂ්ඨි මායාවන් පිළිබඳවද සඳහන් කළ හැකිය. මෙයින් වඩාත් ප්‍රකට දෘෂ්ඨි මායාවන් වන්නේ කාලගුණික ප්‍රපංච’ (Meteorological Phenomina) හෝ ස්වභාවික ප්‍රපංච’ (Natural Phenomina) ය. සුළඟ හේතුවෙන් පියාඹන පීරිසි යැයි හැඟෙන අන්දමේ හැඩයන්ට ලක්වූ වළාකුළු විවිධ  අවස්ථාවලදී දැකිය හැකිය. මේවා හදිසියේ දර්ශනය වූ විට පියාඹන පීරිසි පිළිබඳව ඇති පූර්ව විඥානය ද හේතුවෙන් පෙනෙන්නේ අන් කිසිවක් ලෙස නොව පියිඹන පීරිසියක් ලෙසින්මය. මේ ඇතැම් වළාකුළු වේගයෙන්, කරකැවෙමින් ගමන් කරන අවස්ථාවන් ද දක්නට ලැබේ. එවිට පියාඹන පීරිසි පිළිබඳ අසා ඇති සෑම විස්තරයකටම එම දර්ශනයන් සමාන බැවින් ඉන් ඔබ්බට යමක් සිතන්නට පෙළෙඹෙනවුන් අවමය. එක්වර පියාඹන පීරිසි යැයි පවසා පසුව තමා වළාකුළකට රැවටුණු බව පැවසෙන සිදුවීම් ද බොහෝ තැන්වලින් වාර්තා වී තිබේ.

කෙසේ නමුත් පියාඹන පීරිසි සඳහා හඳුනානොගත් පියාසර යානායන පදය ආදේශ කීරිමත් සමඟ පියාඹන පීරිසි සඳහා වූ ස්ථානය තරමක් පහළ වැටුණු බැව් පෙනෙන්නට තිබේ. අනෙක ඡායාරූපකරණ තාක්ෂණය දියුණුවීමත්, බොහෝ දෙනා අතර කැමරා ආදිය භාවිතය සුලභවීමත් නිසා අතීතයේ ඇසින් පමණක් දැක, කතාවේදී තවත් විස්තර එකතු වී සමාජ ගත වූ කාලගුණික ප්‍රපංච නිසාවෙන් ඇතිවුණු, පියාඹන පීරිසි හැඩයේ වළාකුළු පිළිබඳ තොරතුරු මේ වන විට පැහැදිලි ලෙසම අනාවරණය වී තිබේ.

ඩිජිටල් කැමරාවන්ගෙන් ඡායාරූප ගැනීමේදී වායුගෝලයේ ඇති ජල වාෂ්ප දිලිසිීම නිසා ඡායාරූපම මත ඇතිවන සුදු පැහැ රවුම් ලප  දෙවියන් ලෙස අර්ථදැක්වීම තවමත් සිදුවේ. සෝමාවතී චෛත්‍යය වැඳ පුදා ගැනීම සඳහා විවිධ දෙවිවරුන් පැමිණෙන්නේ යැයි සඳහන් කරමින් ප්‍රදර්ශනය කෙරෙන ඡායාරූපවලද ඇත්තේ විවිධ කාලගුණ හා ස්වභාවික ප්‍රපංචයන්ගෙන් ප්‍රතිපලය නිසා ඇතිවන දර්ශන මිස දෙවිදේවතාවුන් වන්නට ඉඩක් නැත. අප අවට ජල වාෂ්ප වැඩි අවස්ථාවක ඩිජිටල් කැමරාවේ ක්ෂණික ආලෝකය යොදා ඡායාරූප ගන්නා ඕනෑම අවස්ථාවක මෙවැනි දර්ශන ලබාගත හැකිය. එමෙන්ම අතිරේකව අධි බලැති ආලෝකයන් යොදවා ඇති ස්ථානවල, එම ආලෝක ධාරා වායුගෝලයේ විපර්යාසයන් සමග මුසුවීමෙන් ද අද්භූත දර්ශන මැවිය හැකිය. රන්කොත් වෙහෙරේ සිදුවීමේදී ද එය සත්‍යයක්දැයි විමසා බැලීමට අදාල සිදුවීම දුටුවේ යැයි පැවසෙන පුද්ගලයා සමග රන්කොත් වෙහෙර භූමියට ගිය මාධ්‍යවේදීන්ට ද පැය ගණනාවක් ගෙවී ගිය ද කිසිවකු දැකගන්නට ලැබී නැත.


බුදු දහම යථාර්තවාදී දහමක් විනා ආශ්චර්යයන් මත පිහිටා මිනිසුන් ආකර්ෂණය කරවාගැනීමේ දහමක් නොවේ. ආශ්චර්යමත් සිදුවීම් හුවා දක්වමින් මිනිසුන්ගේ ආකර්ෂණය ලබාගන්නට උත්සාහ කරන කිසිදු තැනක යථාර්ථයක් නැත. එබැවින් මේ දෙවිදේවතාවුන් ආගමික ස්ථාන කරා පැමිණෙන්නේ යැයි පැවසෙන කතා සියල්ල ප්‍රබන්ධ හෝ ක්ෂණිකව ඇතිවූ දෘෂ්ඨි මායාවන් මිස අන් කිසිවක් නොවේ.

6 comments:

  1. අනුන් විසින් රැවටීම හා තමන්ම තමන් රවටා ගැනීම මනුෂ්‍යන්ගේ මානසික අවශ්‍යතාවයක්ද කොහෙද.

    ලෝකෙ කොහෙත් ( ඇමරිකාවෙනම් ව්‍යාපාරයක් ගාණට ) අද්භූත දේ ගැන විස්වාසකරන්න ඕනෙ lunatic fringe ඉන්නව. හැබැයි ලංකාව හරි අමුතුයි එන්න එන්න උගත් අය අතර මිත්යාවිශ්වාස වැඩියි. ඒක mainstream වෙලා දැන්. අපි පොඩි කාලෙට වඩා වැඩියි දැන්. ඒක ගැන කවුරුවත් හදාරල තියනවද දන්නෙ නෑ. මේ යන විදිහට ගියොත් පිටරටෙන් එන්නවෙයි හදාරන්න ලංකාවෙ ඔක්කොම බූත විස්වාසිකයො වේගෙන යන්නෙ

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවලින් තමයි මේ සෙල්ලම වැඩිපුරම කරන්නේ. තමන්ගේ නාලිකාවට ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගන්නට ඔවුන් නොකරන දෙයක් නැහැ. මෙවැනි අද්භූත, ගුප්ත දේවල් මේ සදහා හොද මතෘකා. පියාඹන පීරිසි, පිටසක්වල ජීවීන් වැනි මාතෘකා ඔස්සේ ඔවුන්ට සිය ගුවන් කාලය හොද ගාණකට අළෙවි කරගන්න පුළුවන්. ඒ සමගම කවුරුන් හෝ උගත්, බුද්ධිමත් යැයි සමාජ සම්මත පුද්ගලයෙක් මේවාට උඩගෙඩි දෙන අදහසක් ඉදිරිපත් කළ පමණින් සියලු දෙනාම පාහේ විචාරයකින් තොරවම මේවා පිළිගන්නවා. අවසානයේ බොරු, ගුප්ත දේවල් සමාජ සම්මත වෙනවා.

      Delete
  2. සෝමාවතිය වගේ තැන් වල ඔය ගහපු ෆොටෝ දැක්කම සහ ඒවා fb හරහා ෂෙයාර් වන හැටි දැක්කාම අපි අතර ඉන්නේ බහුතරය ගේ දැනුම ගැන කලකිරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපේ රටේ සිදුවන්නේ මිනිස්සු එන්න එන්නම බුද්ධිමත් වීම නොවෙයි. එන්න එන්න බුද්ධි හීන වීම සහ ගුප්ත විශ්වාසයන් පසුපස යාම. විචාර බුද්ධියෙන් තොර වීම. සමහරවිට මේ දේශපාලන ප්‍රවාහයත් එයට වගකියන්න ඕන කියලා හිතෙනවා.

      Delete
  3. විශ්වයෙ අප හැර වෙනත් ජීවයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. සමාන්තර විශ්වයක් තිබෙන්නත් පුලුවන්.ඒත් පිටසක්වල හැම එකක්ම තම තමන්ගෙ ඇදහිලි එක්ක ගලපන්න යන මෝඩ උත්සාහයකුත් තියනවා.
    ඩිජිටල් කැමරාවෙන් දෙවිවරු එක්ක ගත්ත සෙල්ෆි දකින කොට නම් පුදුම දුකක් ඇතිවෙන්නෙ.
    සෝමාවතියෙ ඒවත් එහෙම තමා.
    ඇත්තටම මේ ගැන බ්ලොග් වල සංවාද ඇතිවෙන්න ඕන.

    පිටසක්වල ජීවීන් මෙහි එන්නෙ ගඩොල් කර්මාන්තය දැන මෙලෝවාසීන් දැනුවත් කිරීමට සහ සෝමාවතිය වදින්න කියල හිතන පිරිසක් පෘථිවියෙ ඉන්න එක ගැන පෘථිවිවාසියෙක් හැටියට මටත් ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. විශ්වයේ අප හැරුනාම තවත් ජීවීන් ඉන්න බව හා අනිවාර්යෙන්ම සිටිය යුතු බව මමත් පිළිගන්නවා. නමුත් ඒ තාර්කික සත්‍යය තමන්ගේ හිතලු සහ අවිද්‍යාත්මක විශ්වාසයන් සමග ගළපාගන්නට යාමේදී බොහෝ දෙනෙක් නිකරුනේ මෝඩයන් බවට පත් වෙනවා. බුදු දහම කෙතරම් බුද්ධිගෝචර දර්ශනයක් වුණත් මෑත කාලයේ බිහි වූ බොහෝ භික්ෂූන් වහන්සේලා සිය දායකයන් බුද්ධිය කරා ගෙන යනවාට වඩා සිදු කළේ ගුප්ත, මිත්‍යා සහ වැරදි වන්දනා ක්‍රමවලට යොමු කිරීමයි. කැමරාවෙන් දෙවිවිරු දැකීම මෙහි එක් ප්‍රතිඵලයක්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න