පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, December 12, 2015

අලුත් ලෝකයට අලුත් ගැජට් 1 කොටස - New Gadgets for New World Part 1

අපේ ජීවිත වඩාත් සුවපහසු කරගන්නට අලුත් අලුත් උපකරණ පුදුමාකාර වේගයකින් නිර්මාණය වෙනවා. නිෂ්පාදනය වෙනවා. කෙටිකාලීනව මේවායින් ජීවිතය සැපවත් වුණත් දිගු කාලීනව නම් සෞඛ්‍යය සම්බන්ධව විවිධ ගැටලු මතුවෙන්නටත් පුළුවන්. විශේෂයෙන් ව්‍යයාම ආදි නොමැතිවීම, මෙම උපකරණවල ඉලෙක්ට්‍රෝනික ක්‍රියාකාරීත්වයන් ආදිය අපගේ සෞඛ්‍යයට බලපෑ හැකියි. කෙසේ නමුත් අන්තර්ජාලයේදී විටින් විට හමුවන, මගේ හිත ගිය එවැනි උපකරණ කොටස් වශයෙන් බ්ලොගයට දමන්නට හිතුණා. ඒ හිතීමේ පළමු අවස්ථාව තමයි මේ. 
අලුත්ම දුරස්ථ පාලකය




වර්තමානයේ නිවසේ ඇති බොහෝ උපාංග පාලනය වන්නේ දුරස්ථ පාලකයකින්. ඒවා අපගේ සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත් අපව ව්‍යායාමවලින් වළකාලන නිසා භාවිතය හැකි තරම් අඩු කරන්න යැයි සඳහන් කළත්, මෙවැනි උපාංග නිෂ්පාදනය වීම නවතින්නේ නැහැ. කෙසේ නමුත් මේ කියන්න යන්නේ අලුත්ම ආකාරයේ දුරස්ථ පාලකයක් ගැනයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබගේ ඇපල් ජංගම දුරකතනයට සවි කොට ක්‍රියාත්මක කළ හැකි වීමයි. ඒ වගේම මෙය ඕනෑම උපාංගයක් පාලනය කිරීම සඳහා යොදාගත හැකි යුනිවර්සල්වර්ගයේ දුරස්ථ පාලකයක්. මෙම උපාංගය වෙනුවෙන් නිර්මාණය කළ ඇපල් දුරකතන ඇප්එකක් ඇති අතර මෙය ජංගම දුරකතනයේ ඩොක්කොටස හෙවත් ආරෝපණය, දත්ත කේබලය ආදිය සවිකරන ස්ථානයට සවිකළ විට මෙම ඇප්එක ක්‍රියාත්මක වෙනවා. මේ උපාංගයේ සාමාන්‍ය දුරස්ථ පාලකයක මෙන් අධෝරක්තකිරණ විහිදුවන බල්බයක් තිබෙනවා. අප සාමාන්‍යයෙන් වෙළෙඳ පලෙන් යුනිවර්සල් වර්ගයේ දුරස්ථ පාලකයක් මිලට ගත්තොත් එක් එක් උපාංගයේ හැටියට විවිධ අංක යොදා එය අදාළ උපකරණයට ගැළපෙන පරිදි සකස් කරගත යුතු වෙනවා. නමුත් මෙහිදී දුරකතනයේ ඇති ඇප් එක මගින් ඔබ පාලනය කරන්නට බලාපොරොත්තුවන උපාංගය හඳුනාගෙන එයට අවශ්‍ය කරන හැඩගැසීම සිදුකරගන්නවා. දැනට මෙය ඇමසන් අන්තර්ජාල පොලෙන් ඇමරිකානු ඩොලර් 41කට (රු. 5900) මිලට ගන්නට පුළුවන්.  



අලුත්ම යූඑස්බී චාර්ජර් එකක් 



වර්තමානයේ අප පරිහරණය කරන බොහෝ උපාංගවලට බලය ලබාදෙන්නට, ආරෝපණය කරන්නට භාවිත කරන එකම උපාංගය තමයි යූඑස්බී’ (USB - Universal Serial Bus) කියන්නේ. සෑම පරිගණකයකම යූඑස්බී භාවිත කළ හැකි කෙවෙනි හෙවත් පෝර්ට්කිහිපයක්ම තියෙනවා. ඒත් ඔබගේ ජංගම දුරකතනය, ටැබ්ලට් එක, පවර්බෑන්ක් එක, එම්පීත්‍රී ප්ලේයර් එක ආදිය වෙනත් විදුලි උපාංග මෙන් බිත්තියේ ඇති ප්ලග් එකට සම්බන්ධ කරලා ආරෝපණය කරගන්නට හැකියාව තිබුණා නම් හොඳයි කියා සිතුණ අවස්ථා ඇති. ලෝකයේ තවත් අයට එහෙම හිතෙන්න ඇති නිසා මෙන්න මේ වගේ අලුත්ම අපාංගයක් දැන් වෙළෙඳපළට ඇවිත් තිබෙනවා. එය නමින් ෆාස්ට්මැක් යූ සොකට්‛. ඔබේ නිවසේ ප්ලග් පොයින්ට සවිකරගන්න ආකාරයටම විදුලි බලය ලබාදීලා මෙය බිත්තියේ සවිකරගන්න එක විතරයි තියෙන්නේ. එහි සාමාන්‍ය ප්ලග් කෙවෙනි වගේම යූඑස්බී දෙකක් භාවිත කළ හැකි ආකාරයේ කෙවෙනි දෙකක් ද තියෙනවා. ඒ වගේම ඔබේ උපාංගය ආරෝපණය වුණාට පසු ස්වයංක්‍රියවම විදුලිබලය ඇණ හිටුවන්නට පහසුකම් ද මේ ප්ලග් පොයින්ට් උපාංගයේ තිබෙනවා. දැනට මෙය ඇමරිකානු ඩොලර් 25කට (රු. 3500කට පමණ) මිලට ගන්න පුළුවන්. 



ඕන ඇණයක් ගළවන්න අඬුවක් 


ගෙදරදි ඇණ, මුරිච්චි ගළවන්න ගියාම ඒවායේ ප්‍රමාණයට ගැළපෙන ඉස්කුරුප්පු නියන්, අඬු, යතුරු වගේ දේවල් හොයාගන්න ඕන. සමහර වෙලාවට මේ මොනවත්ම හරියන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒ වගේම කවුරු හරි කාර්මිකයෙක් වගේ කෙනෙකුට නම් මේවා තවත් තැනකට අරන් යන්න ගියාම ආයුධ පෙට්ටියක්ම අරන් යන්න වෙනවා. මේ බොහෝ කරදරවලට විසඳුමක් විදිහට දැන් අලුත්ම උපාංගයක් වෙළෙඳපලට ඇවිත් තියෙනවා. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ අමුතුම තාක්ෂණයකටයි. විවිධ ඇණ, මුරිච්චිවලට ගැළපෙන විදිහට මෙහි වෙන වෙනම සිදුරු නැහැ. මෙහි ඇත්තේ ඉතා තද පීඩනයක් යටතේ අසුරන ලද වානේ කම්බි මිටියක්. ඔබට ගළවන්න අවශ්‍ය කරන ඇණය, මුරිච්චියේ හිසට මෙය තද කළ පමණින් එහි හැඩයට මේ වානේ කම්බි සීරු මාරු වෙනවා. ඉන් පසුව එය පහසුවෙන්ම ගළවන්නට පුළුවන්. විදුලි බලයක් අවශ්‍ය නැහැ. සාක්කුවේ දමාගෙන යන්න තරම් හුරුබුහුටි විදිහට නිමවා තිබෙනවා. ඒ වගේම ඇණ සවි කරණ යන්ත්‍රවලට ද මෙය පහසුවෙන් සවිකරන්න පුළුවන්. දැනට මිල ඇමරිකානු ඩොලර් 9.89ක් (රු.1418ක්) පමණ වෙනවා  






කාර් එකේදීම ලැප්ටොප් චාර්ජ් කරගනිමු 



ජංගම දුරකතනයක් ආරෝපණය කරගන්නට පුළුවන් වුණත්, ඔබගේ මෝටර් රථය තුළ ලැප්ටොප් එකක් ආරෝපණය කරගන්නට ඇති හැකියව අඩුයි. ඇතැම් විට අලුත්ම මෝටර් රථවල තියෙනවා වෙන්න පුළුවන්. මෙ අඩුපාඩුව සපුරාලගන්නට පවර් කප්නමින් අලුත් ගැජට් එකක් නිෂ්පාදනය කොට තිබෙනවා. මෙය කෝප්පයක් හැඩයෙන් යුක්ත නිසාත්, මෝටර් රථයේ කෝප්පයක් තබන්නට සකස්කොට ඇති ඉඩකඩට සරිලන අයුරින් යුක්ත නිසාත් මෙයට මේ නම යෙදී තිබෙනවා. මෙය මෝටර් රථයේ දුම්වැටි ලයිටරය සවිකරන ස්ථානයට සම්බන්ධ කළ විට පවර් කප් එක ඔස්සේ නිවසේදී මෙන් වෝල්ට් 230ක් හෝ 110ක් (නොයෙක් රටවල භාවිතවන විදුලි වෝල්ටීයතාවය අනුව මෙය වෙනස් වෙනවා) ලබාගන්නට පුළුවන්. මේ ඔස්සේ සාමන්‍ය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ බොහොමයක් ප්‍රයෝජනයට ගනන්න පුළුවන්. දැනට මිල ඇමරිකානු ඩොලර් 89 (රු. 12,740ක් පමණ) වෙනවා.  


නැතිවුණු යතුරු හොයාගන්න හෝන් 



යතුරු කියන්නේ අපට ඕන වෙලාවටම පෙනෙන්නේ නැති භාණ්ඩ වර්ගයක් කිව්වවොත් ඒකේ වරදක් නැහැ. විශේෂයෙන් වාහනයක යතුරක් එහෙම නැතිවුණොත් ඒ ගැන කියන්න වචන නැහැ. මෙන්න මේ ගැටලුවට විසදුමක් විදිහට තමයි හෝන්කියන ගැජට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක් ඇපල් අයිෆෝන්වලට විතරයි දැනට මිලදී ගන්න තියෙන්නේ. දැනට ඇමරිකන් ඩොලර් 49ක් (රු. 7,000)ක් පමණ වන මේ ගැජට් එක ඔබේ යතුරේ කීටැග් එක විදිහට එල්ලා පුංචි සැකසීම ටිකක් කරන්න ඕන ඔබේ දුරකතනයේ. බ්ලූටූත්වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. යතුර සොයාගන්න අවශ්‍ය වූ විට ඔබේ අයිෆෝනයේ මේ ගැජට්ටුවට අදාළ ඇප්ලිකේෂන් එකේ ෆයින්ඩ්’ (Find) කියන තැන ටච් කරන්නයි තියෙන්නේ. එවිට මේ ගැජට්ටුවෙන් ආලෝකයක් විහිදෙනවා වගේම හඬකුත් නැගෙනවා.  


සුවඳ හමන බල්බ් එකක් 





නිවස සුවඳවත්ව තබාගන්න කවුරුත් කැමතියි. මේ සඳහා විවිධ අය විවිධ දේ කරනවා. එයාර්ෆ්‍රෙෂ්නර්, සුවඳ දුම්, හඳුන්කූරු වගේ දේවල් මේ අතරින් සුවිශේෂයි. නමුත් නව තාක්ෂණයත් එක්ක දැන් නිවස සුවඳවත් කරන්න වඩාත් පහසු ක්‍රම හඳුන්වා දී තිබෙනවා. මේ සුවඳ හමන බල්බය කියන්නේ ඒ වගේ එකක්. ඇවොක්ස් කියන සමාගම මගින් නිෂ්පාදනය කොට ඇති මෙය එල්.ඊ.ඩී. බල්බයකින් යුක්තයි. මෙහි විශේෂත්වය වන්නේ මේ සමඟ ඇති කාට්‍රිජයට සුවඳ හමන තෙල් වර්ගයක් දැමීමට හැකියාව තිබීමයි. මේ සඳහා විශේෂයෙන් නිපදවූ තෙල් වර්ග පවතිනවා. ඒ වගේම මේ බල්බය අප කැමති වර්ණයකින් දල්වන්නටත් පුළුවන්. මෙයට හේතුව මෙම බල්බයට මිලියන 16කටත් වඩා වැඩි වර්ණ පෙන්වීමේ හැකියාව තිබෙන නිසයි. ඒ වගේම අප කැමති වේගයකින් මේ සුවඳ හමන තෙල් දවාලන්නට පුළුවන්. මෙයට බ්ලූටූත් සම්බන්ධතාවය ඇති නිසා ඔබගේ ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය මගින් සුවඳ හැමීමේ වේගය හා බල්බයේ වර්ණය පාලනය කරන්නටත් පුළුවන්. 







විනිවිද පෙනෙන රූපවාහිනිය 




රූපවාහිනිය කියන්නේ අපේ ජීවිතවලට ඉතාමත් සමීප ඉලෙක්ට්‍රොනික් උපකරණයක්. ඒ වගේම රූපවාහිනිය සොයා ගත් දිනයේ සිටම විවිධ අත්හදා බැලීම් කරමින් නව උපාංග එයට එක් කරන්නටත් විවිධ පර්යේෂකයන් උනන්දු වුණා. මුල් කාලේ විශාල ඉඩකඩක් වගේම සැළකිය යුතු තරම් විදුලියක් වැය වූ රූපවාහිනිය අද වන විට කුඩා ඉඩක, අඩු විදුලියකින් ක්‍රියාත්මක කරන්නට හැකි ආකාරයට සකස්කොට තිබෙනවා. නමුත් නිෂ්පාදකයන් එයින් ද නතර වන්නේ නැහැ. ඔවුන්ගේ නවතම නිෂ්පාදනයක් තමයි විනිවිද පෙනෙන රූපවාහිනියමෙය සැළසුම් කරන ලද්දේ ජර්මානු රූපවාහිනි යන්ත්‍ර නිෂ්පාදන සමාගමක් වු ලිවේවෙනුවෙන් මයිකල් ෆ්‍රීබි විසින්. මෙය එල්.සී.ඩී. සහ TOLED තාක්ෂණය උපයෝගී කරගනිමින් විනිවිද පෙනෙන ආකාරයෙන් නිර්මාණය කොට තිබෙනවා. TOLED යනු transparent organic light-emitting device යන්නයි. එහි සිංහල තේරුම පාරදෘශ්‍ය කාබනික ආලෝක විමෝචන උපක්‍රමයයන්නයි. සරලව පැවසුවහොත් අප අද දකින් එල්.ඊ.ඩී. රූපවාහිනි විනිවිද පෙනෙන සේ සකස් කරන ලද්දක්. මෙය යම් තැනක තැබූ විට එතැන රූපවාහිනියක් හෝ වෙන යම් දෙයක් තිබේ දැයි බැලූ බැලුමට පෙනෙන්නේ නැහැ. හොඳින් බැලූ විට පෙනෙන්නේ ද වීදුරු තහඩුවක් වැනි දෙයක් පමණයි. වීදුරු තහඩුවක් හරහා එයට පසුපස ඇති දෙය දිස්වෙනවා සේ මෙයින් ද පිටුපස ඇති සියලු දේ දිස් වෙනවා. ක්‍රියාත්මක කළ විට එය රූපවාහිනියක් සේ ක්‍රියාත්මක වනවා.  



අලුත් විදිහේ රාත්‍රී විදුලි පහනක් 




නිදා ගන්නා විට ඇතැම් අය රාත්‍රි විදුලි පහනක් දල්වාගෙන නිදාගන්නට පුරුදුව සිටියත් ඇතැම් අය එයට කැමති නැහැ. නමුත් හදිසියේ කුමක් හෝ හේතුවකට රාත්‍රියේ අවදි වී නිවසේ වෙනත් තැනකට යන්නට අවශ්‍ය වුණොත්, අතේ විදුලි පන්දමකුත් නැත්නම්, විදුලි පහනක් සහිත ජංගමද දුරකතනයක් ද නැත්නම් ටිකක් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන් කුඩා දරුවකුට නාන කාමරයට යන්න සිදුවුණොත් මේ තත්වය වැඩිපුර බලපානව. මොකද ඔවුන් ළඟ විදුලි පහනක්වත්, ජංගම දුරකතනයක්වත් නැහැ. මේ ගැටලුවට විසඳුමක් ලෙස අලුත් විදියේ රාත්‍රී විදුලි පහනක් නිෂ්පාදනය කරන්නට සොලිඩැඩ් ක්ලාවෙල් සහ මාර්කෝස් මාඩියා යන දෙදෙනා සමත් වී තිබෙනවා. මෙය නිදා සිටින ඇඳ අසල සිට විදුලි ස්වීචය දක්වා පටියක් ලෙස සවි කරගත හැකියි. ඔබ ඇඳෙන් නැගිටීමෙන් පසු මේ පටියට අත තැබූ පමණින් එය දැල්වෙනවා. ඔබ එය ස්පර්ශ කරන ස්ථානය අවට ආලෝකය දැල්වෙන සේ සකස් කොට තිබෙනවා. මෙය හඳුන්වා ඇත්තේ සෙන්සෝ ලයිට්නමින්.





8 comments:

  1. බොහොම ස්තුතියි. අද දවසෙ මම කියවපු ලිපිවලින් හිතට දැනුන අපූරුම ලිපිය. මමත් අලුත් ගැජට් වලට හරිම ආස කෙනෙක්.
    තාක්ශනයෙ දියුණුවත් එක්ක අද අපට හිතාගන්න බැරි අනාගතයකට අපි යයි කියල හිතනවා. ඒ වාගෙම අලුත් ගැජට් එන වේගයත් වැඩියි.
    ඒත් ඒව සමීප කරගන්න නම් ටිකක් කුලෑටි ගතියකුත් පේනව. විශේෂයෙන් රාජ්‍ය අංශයෙ .

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතියි. ඔබත් අලුත් ගැජට්වලට කැමැති කෙනෙක් බව දැනගන්නට ලැබීමත් සතුටක්. ඇත්තටම අපි කැමති වුණත් අකමැති වුණත් අලුත් ගැජට් එනවා. නමුත් අපේ බොහෝ දෙනෙක් ඒවා දන්නේ නෑ. දැනගත්තත් ඒවායෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්නේ නැහැ. අපේ බොහෝ දෙනෙක් කැමති රාමුවක සිරවෙලා ඉන්න. එයින් එයා ලෝකයක් ඇතැයි සිතන්නේ නැහැ.

      Delete
  2. ඊලඟ ලිපිය එන තුරු බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. ඊළග ලිපියත් ඉක්මණින්ම ලියන්න බලාපොරොත්තු වෙනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න