පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, June 19, 2016

කාලයක් ගතවන සිදුවීමක් වේගයෙන් පෙන්වන Time-lapse photography තාක්ෂණය



මලක් පිපීම, පැළයක් දළු ලා වැඩීම, හිරු, සදු, තරු නැගෙනහිරින් පායා බටහිරින් බැස යාම වැනි සිදුවීම්වල ආරම්භය සහ අවසානය අපට පියවි ඇසින් එක් එල්ලේ බලා සිටීම ප්‍රායෝගික දෙයක් නෙවෙයි. එයට හේතුව එවැනි සිදුවීම් සඳහා පැය ගණනාවක් ගතවීමයි. නමුත් එම කාලය තත්පර කිහිපයකට කෙටි කරන්නට හැකි නම් ඒවා සිදුවන ආකාරය ගැන, ඒවා සිදුවන අතරතුරේ ඇතිවන අපූර්ව දෑ අපට පහසුවෙන් බලාගන්නට පුළුවන්. සිදුවන්නට කල් ගත වන යමක් ඉතා කෙටි කාලයකට කැටි කරගන්නා තාක්ෂණය, එසේත් නැත්නම් ඡායාරූපකරණය කාල පතන ඡායාරූපකරණය’ (Time-lapse photography) හෝ කාල පතන වීඩියෝකරණය’ (Time-lapse videography) නමින් හඳුන්වනවා. මේ සිංහල පද දෙක කොයි තරම් නිවැරදිද කියලා මා දන්නේ නැත්තේ ඒවා මා විසින් සාදා ගත් ඒවා නිසයි. මෙහිදී සිදුවන්නේ යම් සිදුවීමක් ඉතා අඩු රූප රාමු සීඝ්‍රතාවයකින් යුතුව චලන රූ කැමරාවකට හසුකරගැනීමයි. තවත් ආකාරයකින් කියනවා නම් මෙහිදී සිදුකරන්නේ එක දිගට රූප රාමු හසු නොකර, රූප රාමු අඩු කරමින් ම් සිදුවීමක් කැමරාවට හසුකරගැනීමයි. සාමාන්‍ය චලන රූපයකට තත්පරයට රූප රාමු 30ක් පමණ තිබුණත්, මෙම තාක්ෂණ ක්‍රමයේදී බොහෝ විට කෙරෙන්නේ තත්පරයකට එක් රූප රාමුවක් පමණක් කැමරාවේ සටහන් කරගැනීමයි. එවිට යමක් සිදුවීමට යන කාලය අපට තිස් ගුණයකින් කෙටි කොට පෙන්වනවා. කෙසේ නමුත් යමක් සිදුවන්නට බොහෝ කාලයක් ගත වනවා නම් මේ රූප රාමු වේගය තවත් පහළ දමන්නට පුළුවන්. යම් ගොඩනැගිල්ලක් ඉදිවන ආකාරය මේ ආකාරයට රූප ගතකරන්නේ නම්, එවිට දිනකට රූප රාමු කිහිපය බැගින් පමණක් කැමරාවට හසු කරගන්නට පුළුවන්. 


මේ තාක්ෂණය මුළින්ම භාවිත කොට තිබෙන්නේ වර්ෂ 1897 දී නිර්මාණය කෙරුණු ජෝර්ජ් මෙලියස්ගේ Carrefour De L'Opera  නම් චිත්‍රපටය සඳහායි. පසුව 1910 දී The Birth of a Flower නමින් චිත්‍රපයක් නිර්මාණය කළ එෆ්. පර්සි ස්මිත් ද මේ තාක්ෂණය භාවිත කළා. මේ සඳහාම සුවිශේෂී වූ කැමරාවක් නිර්මාණය කරමින් මල් පිපීමේ ක්‍රියාවලියක් මුළින්ම රූප ගත කරන ලද්දේ ආතර් සී. පිල්ස්බරි විසින්. පසුව අද වන විට මෙය සාමාන්‍ය ඡායාරූපකරණයක් තරමටම පහසුවන ආකාරයට තාක්ෂණය වර්ධණය වී තිබෙනවා. 


  
Carrefour De L'Opera (1897)


 
The Birth of a Flower (1910)


දැන් සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකට ඇප් එකක් බාගත කරගැනීමෙන් මෙවැනි අත්දැකීමක් ඕනෑම කෙනෙකුට පෞද්ගලිකව ලබා ගන්නට පුළුවන්. මේ සඳහා ගූගල් ප්ලේස්ටෝර්වල බොහෝ ඇප් පවතින අතර මා භාවිත කළේ Time Lapse Video Recorder නම් ඇප් එකයි. 



 

මේ හෙන්දිරික්කා මල පිපෙන්නට ආසන්න අවස්ථාවේ රූ ගත කිරීම සකස් කළ නමුත් දුරකතනයේ බැටරිය බැස යාම නිසා මල සම්පූර්ණයෙන්ම පිපෙන තුරු රූගතකරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මෙය එතරම් සාර්ථක රූගතකිරීමක් නෙවයි. නමුත් මා අත්දුටු දෙය අනෙක් අය සමග බෙදා හදාගන්නට තවත් කාලයක් ඉවසන්නට බැරිම වූ නිසා මෙවැනි පෝස්ට් එකක් දමන්නට සිතුණා. ඇත්තටම මෙය ඉතා අපූරු අත්දැකීමක්. ඔබත් එය විඳ බලන්න.

4 comments:

  1. ගෙදරදි වීඩියෝ කරද්දී මම හිතුවෙ නෑ හෙන්දිරික්කා මලක් පිපෙන එක මේ තරම් ලස්සනයි කියලා මහත්තයො..

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක තමයි. වීඩියෝ කරලා බලද්දි තමයි ඒක කොයි තරම් ලස්සනද කියලා හිතෙන්නේ.

      Delete
  2. මේකෙදි කැමරාව මල ඉදිරියේ ස්ථාපනය කර(සවිකරලා) තියන්ඩ ඕනෙද?

    ReplyDelete
    Replies
    1. ඔව් නොසෙල්වෙන ආකාරයෙන් සවි කර තබන්න ඕන. සාමාන්‍යයෙන් මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ රාමු වේගය (Frame Rate) දීලා තියෙන්නේ තත්පරයට රූප රාමු 1 ක් වශයෙන්. නමුත් තත්පර 5කට එකක් විදිහට දුන්නොත් මල්ක් පිපෙන ආකාරය මෙයට වඩා වේගවත්ව බලන්න පුළුවන් වෙයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න