පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, December 26, 2016

ටැලිගිරැං හුටපට කතා


මේ වෙන්නප්පුවට කිට්ටුව බොරලැස්ස පැත්තේ පැරණි කතාවක්.

මේ පැත්තේ මනුස්සයෙක් හිටියා පේදුරු කියලා. මේ මනුස්සයා කරපු රස්සාවල්වලින් එකක් තමයි පොල් ලෙලි එකතු කරපු එක. මේ පැත්තේ පොල් ලෙලිවලට කිව්වේ ‘පොල් මට්ටා කියලයි. ඒ නිසාම මේ මනුස්සයාව අඳුනගෙන හිටියේ ‘මට්ට පේදුරුකියලයි.

මට්ට එකතු කරන රස්සාවෙන් වාසියක් නැති නිසා ටිකක් ඈත කැලෑ පළාතක ලී ඉරුම් වාඩියක උයන්න යන්න මිනිහා තීරණය කළා. දැන් ඉතිං මට්ට පේදුරු ඉරුම් වාඩියක උයන අප්පු විදිහට ඔන්න වැඩ කරන්න පටන් ගත්තා.

මාසයක් දෙකක් වැඩ කරලා දවස් කීපයකට ගමට එන එක මට්ට පේදුරුගේ පුරුද්දක්. මෙහෙම ආපු එක වතාවක මිනිහගේ නමට විදුලි පණිවිඩයක් ආවා. හැබැයි මේක මිනිහ අතට දෙන්න විදුලි පණිවිඩය අරන් ආපු තැපැල් පියුං මහත්තයාට සෑහෙන වදයක් විඳින්න සිද්ධ වුණා. ඒකට හේතුව වුනේ මේකයි.

විදුලි පණිවිඩය ලියපු තැපැල් කන්තෝරුවේ තැපැල් මහත්තයා මට්ට පේදුරු කියන නම ඉංග්‍රීසියෙන් ලියපු නිසයි. ඉතිං විදුලි පණිවිඩයේ තිබුණේ මෙන්න මෙහෙම අපභ්‍රංශ නමක්.

Husk Peter
Boralessa
Lunuwila

Husk කියන්නේ ඉංග්‍රීසියෙන් පොල් ලෙල්ලට, එහෙමත් නැත්නම් මට්ටයට කියන නම. Peter කියන්නේ පේදුරු කියන එකේ ඉංග්‍රීසි නම. ඉතින් කවුද මේ Husk Peter කියන සුද්දා කියලා ගමේ හැමෝගෙන්ම ඇහුවා. ඒත් හොයා ගන්න පුළුවන් වුනේ නෑ. අවසානයේදී ගමේ හිටි දැන උගත් කෙනෙක් යන්තම් හොයා ගත්තා මේ Husk Peter කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි මට්ට පේදුරු තමයි කියලා.

අන්තිමේදී මට්ට පේදුරුට විදුලි පණිවිඩය ලැබුණා කියමුකෝ. මේකේ විදුලි පණිවිඩයත් තිබුනේ ඉංග්‍රීසියෙන්. මොකක්ද පණිවිඩේ?

Bring pair of Sows

Sow කියන්නේ ඊරි නේ. අර කලින් දැන උගත් කෙනාම මේකත් විසඳලා දුන්නා. ඉතිං මට්ට පේදුරු කල්පනා කළා ඊරියෝ දෙන්නෙක් ඉරුම් වැඩියට මොකටද කියලා. මොනව වුනත් කියපු දේ අරන් යන්නත් ඕනිනේ. ඒ කාලේ කෝච්චියේ සත්තු අරන් යන්න පුළුවන් නිසා පුත්තලමට යන කෝච්චියේ පොඩි පහේ ඊරියෝ දෙන්නෙක් දාගෙන මට්ට පේදුරු ඉරුම් වාඩියට උන්ව අරන් ගියා.

ඉරුම් වාඩියේ බාස්ට ඊරියෝ දැකලා ඌරු ජුවල් ගියාලු. මිනිහා තැපැල් කන්තෝරුවට කියලා තියෙන්නේ

‘කියත් ජෝඩුවක් ගේන්න

කියලයි. මේක එහේ තැපැල් කන්තෝරුවෙන් කියලා තියෙන්නේ
Bring pair of saws කියලයි. කොහොම වුනත් මේක බොරලැස්සට එනකොට Saws කියන එක Sows වෙලා. ඔන්න ඔහොම තමයි මට්ට පේදුරු Husk Peter වුනෙත් කියත් ජෝඩුව ඊරියෝ ජෝඩුවක් වුනෙත්.

මේ වගේම විදුලි පණිවිඩ හුටපටයක් තවත් පළාතක වෙලා තියෙනවා.

එක මනුස්සයෙක් විවාහ වුණු අලුත් ඈත පළාතකට ගුරු පත්වීමක් ලැබුනාලු. ඉතිං අලුත බැඳපු මනමාලි ගෙදර දාලා ඉස්කෝල මහත්තයා ඈත පළාතේ ඉස්කෝලෙට ගියා. මනමාලිගේ තනියට හිටියේ ඉස්කෝල මහත්තයාගේ තාත්තා විතරයි.

ඉස්කෝල මහත්තයාගේ තාත්තා ටිකක් වයස වුනත් පොඩි මනමාල ගතියකුත් තිබුණලු. දවසක් ඉස්කෝල මහත්තයාගේ තාත්තා අලුත් මනමාලි ළඟින් දවස් දෙක තුනක් වාඩි වුනාලු. එනපොට හරියන්නේ නෑ කියලා දැනුණු මනමාලි මේක ඉස්කෝල මහත්තයාට දැනුම් දෙන්න හිතුවලු. මාමණ්ඩිගේ මනමාලකම ගැනත් කියන්න ඕන නිසා පොඩි කොල කෑල්ලක පණිවිඩයක් ලියලා ගෙවල් ළඟ ඉන්න පොඩි දරුවකුට දීලා කිව්වලු ‘මෙන්න මේක තැපැල් කන්තෝරුවේ මහත්තයාට දීලා කියන්න ටෙලිග්‍රෑම් එකක් ගහන්න කියලා

පණිවිඩය මේකයි.

‘තාත්තා වලා. වහාම එන්න

තාත්තාගේ මනමාල කම කෙටියෙන් කියන්න තමයි ‘තාත්තා වලා කියලා ලියලා තියෙන්නේ. ඒත් තැපැල් මහත්තයා හිතලා තියෙන්නේ මේක වැරදීමකින් ලියපු එකක්ය, හරි ගස්සලා ලියන්න ඕන කියලා මෙන්න මෙහෙම ලිව්වලු.

‘තාත්තා මළා. වහාම එන්න.

මම හිතන්නේ කතා‍වේ ඉතිරි ටික කියන්න ඕන වෙන්නේ නෑ.




8 comments:

  1. අපූරු කතා දෙක නිරංජන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ තැන්ක්යූ

      Delete
  2. Boralesse dan thiyenne sub post office ekakda? Mathaka e wage........lady kenek inna.....

    ReplyDelete
    Replies
    1. උප තැපැල් කාර්යාලයක් තමයි තියෙන්නේ. නමුත් ඒතෙක් දැන් ලියුම් තෝරලා බෙදීමත් කරනවා. කොහොම වුනත් මේ සිද්ධිය වෙන කාලේ නම් තියෙන්න ඇත්තේ ලුනුවිල තැපැල් කාර්යාලය විතරක් වෙන්න ඇති.

      Delete
  3. මට කැළෑ උණ- mata kele una - පරිවර්තනය} මට කෙළවුණා.

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් SMS කරද්දිත් මේකම වෙනවා.

      Delete
  4. ජෝඩු දෙකක් නෙවෙයි නේද නිවැරදි යෙදුම? ජෝඩු දෙකක් කිව්වොත් ප්‍රමාණයෙන් හතරක්. pair කියන්නේ ජෝඩුව, කුට්ටම, යන තේරුම නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. මටත් පස්සෙයි ඒක ඔළුවට ආවේ. මමත් මේ කතාව අහපු විදියටම ලිව්වා මාසක් ඒක ඒ තරම් හිතුවේ නෑ. ඔන්න මම ඒක හැදුවා. තැන්ක්යූ ඒක පෙන්නුවාට.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න