පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 11, 2014

පුවත්පත් මංගල දැන්වීමක් නිසා කනකර සමග ආත්මය ද අහිමි කරගන්නා තරුණියෝ -Abusing of Marriage Proposals



මිනිසුන් වන අපි සාමාන්‍යයෙන් හුදෙකලාව ජීවත්වීමට ප්‍රිය කරන්නන් නොවෙමු. ඥාති , මිතුරු සම්බන්ධතා අප පවත්වාගෙන යන්නේ එබැවිනි. එමෙන්ම සියලු දෙනාම පාහේ සිය ජීවිතයට සහකරුවකු හෝ සහකාරියක බලාපොරොත්තු වෙති. නමුත් එවැන්නන් සොයැගනීමේදී බොහෝ දෙනා වංචාවන්ට හසුවීම, අනුවණකම් කිරීම වර්තමානයේ දැකිය හැකි සුලභ දෙයකි. එයට වයස් භේදයක් නැත. මෙවැනි අනුවණකම් පුවත්පත්වලින් නිතර දෙවේලේ අසන්නට ලැබේ. එවැනි කතාවක් මෑතකදීම ඇසෙන්නේ දික්ඔය ප්‍රදේශයෙනි.

ඇය 37 හැවිරිදි දෙමළ කාන්තාවකි. හැටන් ප්‍රදේශයේ දෙමළ පාසලක ලිපිකාරිනියක වශයෙන් සේවය කළාය. විවාහ විය යුතු වයස ද ඉක්මවමින් සිටිය ද ඇයගේ ජීවිතයට සහකරුවකු සිටියේ නැත. සහකරුවකු නොසිටීම නිසා ඇතිවුණු ලතැවිල්ල ඇයව නිතර පීඩාවට පත්කළේය. සාමාන්‍යයෙන් වෙනත් තරුණියන් තරුණයන් සමඟ හිතවත්කම් ගොඩ නගාගෙන ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්ත ද ඇයට එවැනි අවස්ථාවක් හෝ නොලැබුණි. එවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙකු සිදුකරන්නා සේ ඇය ද පුවත්පතක මංගල යෝජනා දැන්වීමක් පළකරන්නට තීරණය කළාය.  සිය දුරකතන අංකය ද එහි සඳහන් කළාය. ඔහු ඇයට ඇමතුමක් ලබාදෙන්නේ මේ අතරතුරේදීය. ඇය ඔහු සමඟ බොහෝ තොරතුරු දුරකතනයෙන් කතාබහ කළාය. තමා බලාපොරොත්තුවන්නේද මේ ආකාරයේ පුද්ගලයකු යැයි ඇයට සිතෙන්නට විය. මෙසේ ආරම්භ වූ මිතුදම අවසානයේ ප්‍රේම සම්බන්ධයක් දක්වා ලියලා වැඩුණි. අවසානයේ ඔහු පැවසූයේ ඇයව විවාහකරගන්නට අවශ්‍ය බවය. ජීවිතයට සහකරුවකු නොමැතිව ගෙවුණු කාලය අවසන් යැයි ඇයට හැඟුණි. ඇය ඒ පිළිබඳව සිටියේ සතුටිනි. ඒ සතුටට එහා කිසිවක් ඇය දුටුවේ නැත. එවැන්නක් සිතන්නට හෝ ඇයට ඕනෑ කළේ නැත.



දිනක් ඔහු ඇයට මෙවැනි යෝජනාවක් කළේය.

අපි හැමදාම මෙහෙම ෆෝන් එකෙන් කතා කරනවා  විතරයි. දවසක් අපි මුණගැහිලා නිදහස් තැනකට ගිහින් දවසක එතැන ඉඳළා එමු. යනුවෙන් ඔහු පැවසූයේය. ඔවුනගේ සම්බන්ධයට මේ වන විට ගතව තිබුණේ දින දහයක් වැනි කාලයක් වුව ද ඔහුගේ මේ යෝජනාව ඉවත හෙළන්නට ඇගේ සිත ඉඩදුන්නේ නැත. කෙසේ හෝ සොයාගත් සහකරු තමා වෙතම රඳවාගැනීමට උත්සාහ කරනු විනා අන්කිසිවක් කරන්නට ඇයට අවශ්‍ය වූයේ නැත.

ඔයා එදාට එනකොට ලස්සනට එන්න ඕන හොඳද? ලස්සන ඇඳුමක් ඇඳළා මාල වළලු එහෙම දාගෙන එන්න. බලන්නත් ආසයිනේ එතකොට.ඇගේ අනාගත සහකරු එසේ පැවසූයේය.

පසුගිය මැයි 31 වැනිදා ඇය ඔහු හමුවන්නට ගියාය. ඇය මෙවැනි ගමනක් යන බැව් ඇගේ දෙමාපියන් හෝ දැන සිටියේ නැත. පළමු හමුවෙන්ම ඔහු පිළිබඳ ඇගේ සිතේ හැඟීම් තවත් මෝදුවන්නට විය. ඔවුහු හැටන් නගරයේ අවන්හළකට ගොස් සිසිල් බීම බොමින් පෙම්බස් දොඩන්නට පටන් ගත්හ.

මෙතන ඉන්න බෑ. අපි නිදහස් තැනකට යමුද?”

ඔහු ඇයගෙන් එසේ ඇසූ අතර ඇය එයට කැමති වූවාය. ඇයව ත්‍රී රෝද රථයකට නංවාගත් ඔහු කෙළින්ම ගියේ මෙම ප්‍රදේශයේ පිහිටි ගෝර්ති නම් වතු යායටය. එහි තිබූ එක් පාළු ස්ථානයක් ඔවුනගේ ආදර ලෝකයට කදිම තැනක් පිළියෙළ කොට දුන්නේය.

මෙතන හොඳයි. අපට සැනසිල්ලේ ඉන්න පුලුවන්. ඔහු පැවසූයේය. තමාව විවිාහ කරගන්නා බවට පොරොන්දු වී ඇති ඔහු පිළිබඳව ඇයට තුන්හිතකින් හෝ සැකයක් පහළ කරගන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැත.

මම බීම එකක් ගෙනාවා. යැයි පැවසූ ඔහු එය ඇයට පානය කරන්නට දුන්නේය. ඇය එය පානය කළාය. ඇයට මතක එපමණකි.

සෑහෙන වේලාවකට පසු ඇයට පියිවි සිහිය එළැඹිණි. තමාගේ අතපය ගැටගසා ඇති බව ඇඅයට අවබෝධ විය. ශරීරයේ යම් අපහසු තතවයක් ඇති බව ඇයට දැනුණි. ඔහු තමාට අතවරයක් කොට ඇති බව ඇයට අවබෝධ වූයේ එවිටය. ඇගේ කණ, කර, අත රන් අභරණ කිසිවක් නොමැති බැව් ඇය දුටුවාය. ඇයට දෙලොව රත්විය. ඇයට සියල්ල අහිමිව තිබිණි.

කෙසේ හෝ බැමි ළෙහා ගත් ඇය වතු යායෙන් පිටතට පැමිණෙන විට දුටු නිවෙසකට ගොස් සියල්ල පැවසූවාය. ඒ වන විට රාත්‍රී 11ට පමණ වන්නට ඇත. නිවැසියන් මේ බව නෝර්වුඩ් පොලිසියට දැනුම් දුන් අතර එතැනට පැමිණි පොලිස් නිලධාරීහු ඇයව දික්ඔය රෝහලට ඇතුළත් කළහ. මේ අපූරු සහකාරු හඳුනාගත් ආකාරය පොලීසිය ඇය පොලීසිය හමුවේ හෙළි කළේ ඒ අවස්ථාවේදීය.

පොලීසිය එම මොහොතේම අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කිරීමට පියවර ගත්තේය. මේ අනුව අදාළ අපරාධකරුට වැඩි දවසක් පොලීසියෙන් සැඟව සිටීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව පසුගිය ජුනි 4 වැනිදා ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

පොලීසිය විසින් සොයාගනු ලැබූ කරුණුවලට අනුව මෙය මොහුගේ පළමු කොල්ලකෑම නොවේ. මංගල යෝජනා දැන්වීම්වලට ප්‍රතිචාර දක්වා අදාළ කාන්තාවන් දූෂණය කොට ඔවුන්ගේ රන් ආභරණ කොල්ලකෑම ඔහු කාලයක සිට සිදුකරනු ලබන්නකි. නුවරඑළියේ පදිංචි 31 හැවිරිදි මෙම පුද්ගලයා දෙමළ ජාතිකයකු වන අතර දෙදරු පියකු ද වන්නේය. ඔහු මෙයට පෙර කළ මෙවැනි ස්ත්‍රී දූෂණ හා කොල්ලකෑම් සම්බන්ධයෙන් නුවරඑළිය අධිකරණයේ නඩු ගණනාවක් විභාගවෙමින් පවතින බව ද පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. ඔහුට මෙවැනි කාර්යය් සඳහා සහාය වීම සඳහා තවත් කිහිප දෙනෙකු සිටින බවද පොලීසියේ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවිය.

මෙය පුවත්පත්වල පළවන මංගල යෝජනා දැන්වීම් උපයෝගී කරගනිමින් සිදු කළ පළමු අපරාධය මෙය නොවේ. මෙවැනි සිදුවීම් අපට මාධ්‍ය ඔස්සේ නිතර අස්සනට ලැබේ. දැනට කලකට පෙර දැනගන්නට ලැබුණු එක් සිදුවීමකට අනුව මෙංගල යෝජනා පළකරන කාන්තාවන් මුළාකොට ඔවුන් සතු දෑ කොල්ල කා ඇත්තේ විවාහක යුවලකි. පුවත්පත්වල මෙවැනි දැන්වීම පළවූ විට ඔවුහු වටිනා දෑවැද්දක් සහිත ඒවා පමණක් තෝරා ගත්හ. ඒවාට පිළිතුරු ලියා සියලු කටයුතු සූදානම්කොට ඇත්තේ බිරිඳයි. මනාළයා ලෙස ඉදිරිපත් වී ඇත්තේ ඇගේම සැමියාය. වැඩිහිටියන් ලෙසට රඟපෑමේ යෙදෙන්නට ද ඔවුනට කිහිප දෙනෙකු සිට ඇත. ඔවුන් මෙම සිදුවීමේදී මෙන් අතරමගදී කොල්ල කෑවේ නැත. මෙහිදී විවාහ මංගල්‍ය උත්සවය ද පැවැත්වෙන අතර මධුසමය පවා ගතකරයි. මේ අතරේ කෙසේ හෝ මුළු දෑවැද්දම සැමියාගේ නමට හරවන්නට කටයුතු කෙරී ඇත. සියල්ල නිම වූ පසු මනාළයා ආගිය අතක් නැති අයකු බවට පත්වෙයි. මෙසේ අවස්ථා කිහිපයකදීම කාන්තාවන් මුළා කළ මොවුහු අවසානයේ නීතියේ ගහැනට කොටු විය.

මෙවැනි සිදුවීම්වලට බහුලව ලක්වන්නේ කාන්තාවන් වුව ද පිරිමි පක්ෂය ද මේවාට හසු වූ අවස්ථා නැතිවාම නොවේ. පිරිමින් පළකරන දැන්වීම්වලට එවැනි එක් අවස්ථාවකපිළිතුරු සපයා තිබුණේ කාන්තාවකි. මෙම මිත්‍රත්වය තරමක් කල්ගත වූ පසු අදාළ පුද්ගලයා හමුවන්නට ඇය දිනයක් නියම කරගනී. ඇය කලින් සැළසුම් කළ ස්ථානයක්ට ඔහුව ගෙන යන අතර එහිදී ඇගේ සහචර පිරිස මේ පිරිමි පුද්ගලයාව කොල්ල කයි. මෙවැනි සිදුවීම් ද නිතර අසන්නට ලැබේ.

මංගළ යෝජනාවක් සඳහා දැන්වීමක් පුවත්පතක පළ කරන්නට යමෙකුට හේතු කිහිපයක්ම තිබිය හැකිය. සිය දෙමාපියන්ගේ කැමැත්තට ඇනුව විවාහ වන්නට කැමති පිරිස් තම සහකරු හෝ සහකාරිය සොයාදීමේ වගකීම ඔවුනටම පවරයි. මඟුල් කපුවන්ගෙන් පිළිසරණක් නොමැති ව විට වැඩිහිටියන්ගේ අවධානය යොමුවන්නේ පුවත්පතක දැන්වීමක් පළකිරීමය. ඇතැම් අවස්ථාවලදී විවාහවන වයස ඉක්මවා ගිය දරුවන් ඇති දෙමාපියන් ද ඔවුන්ගේ කලදවස පිළිබඳ සිතා යහපත් සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීමට මෙවැනි දැන්වීම් පළකරති. කලවයස ඉක්මවමින් යනවිට දිය යුතු දෑවැද්ද ද ඉහළ දමනු පෙනෙන්නට ඇති කරුණකි. ඇතැම් පුවත්පත් ඔවුන් පළකළ දැන්වීම් නිසා යුගදිවියට පත් අයගේ ඡායාරූප පවා පළ කරන බැවින් බොහෝ දෙනෙකු තුළ මේ පිළිබඳ විශ්වාසයක ඇත. සැබැවින්ම තම අනාගත සහකරු හෝ සහකතාරිය සොයාගන්නට බොහෝ කාලයක පටන් පුවත්පත් දැන්වීම් මගින් මහඟු මෙහෙවරක් සිදුවිය. සමාජය මුදල් මත පමණක් රඳාපවතින්නට පටන්ගැනීමත් සමඟ විවිධ අය මුදල් ඉපැයීම සඳහා විවිධ ක්‍රම පසුපස ගියහ. පුවත්පත් මංගල යෝජනා මේ සඳහා ධන නිධානයක් කරගතහැකි බැව් එවැනි පුද්ගලයන්ට වැටහිණි. විශේෂයෙන් කලවයස ඉක්මවූ, ඉහළ දෑවැද්දක් දෙන්නේ යැයි සඳහන් කොට ඇති දැන්වීම් මෙවැනි පුද්ගලයන්ට කදිම ධනනිධානයන්ය.

මුල්සමයේ බොහෝ විට මෙවැනි දැන්වීම් සඳහා වැඩිහිටියන් මැදිහත් වුවද වර්තමානයේ සහකරුවකු හෝ සහකාරියක සොයන පුද්ගලයන්ම මේ සඳහා දැන්වීම පළකරනු බොහෝ විට දක්නට ලැබේ. එවිට එවැනි පුද්ගලයන්ව මුළාකිරීම පහසුය. මෙවැනි යෝජනාවලින් ලැබෙන ප්‍රතිචාරවලට තනිවම පිළිතුරු සපයන මොවුන් ඒ පිළිබඳ බොහෝ විට කිසිවකු දැනුවත් කරන්නේ ද නැත. නමුත් පහත සඳහන් ආකාරයේ දැන්වීම්වලට ප්‍රතිචාර දක්වන්නට මෙවැනි වංචා සහගත පිරිස් තරමක් පසුබට වෙති.

පවුලේ එකම දියණියට සිදුසු සහකරුවකු දෙමාපියෝ සොයති.

මෙවැනි දැන්වීම් සඳහා වැඩිහිටින් මැදිහත්වන බැවින් අදාළ කාන්තාව සමඟ සෘජු සම්බන්ධයක් ගොඩනගාගැනීම දුෂ්කරය. සියලු දේ සිදුවන්නේ වැඩිහිටියන් ඔස්සේය. එවැනි මංගල දැන්වීම් ආරක්ෂාකාරී යැයි පැවසෙන්නේ එබැවිනි. අනෙක තමාට සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීම පිණිස යමෙක් පෞද්ගලිකව හෝ මෙවැනි දැන්වීම් පළකරන්නේ නම් මතක තබාගත යුතු විශේෂම කරුණක් නම් මෙවැනි දැන්වීම්වලින් අයුතු ප්‍රයෝජනගැනීමට බලා සිටිනා පිරිස් ඕනෑ තරම් ඉන්නා බවය. එබැවින් තමා කරන සියලු දේ දෙමාපියන්, වැඩිහිටියන්, මිතුරන් දැනුවත් කිරීම වඩා ආරක්ෂාකාරීය. හමුවීමට හොඳම ස්ථානය අතරමග නොව නිවසය. පවතින යථාර්ථය තේරුම්ගත හැකි නම් ඔබ කිසිවකුට වංචාවකට හසු නොවී මෙම මංගල යෝජනා දැන්වීම්වලින් නියම පල නෙළාගත හැකිය.



Sunday, June 8, 2014

ලොව සුප්‍රකට පුද්ගලයන් සැනසිල්ල ළඟාකරගත් බෞද්ධ භාවනා ක්‍රමය - Buddhist Meditation and World Famous People

භාවනාව යනු බොහෝ ආගම්වල ඉගැන්වෙන්නකි. එසේ වුවද ඒ කිසිදු ආගමකින් මේ පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් කොට නොමැති බැව් පෙනේ. ආගමික ශාස්තෘවරුන් යම් යම් අවස්ථාවලදී භාවනාවෝගීය සිටි බැව් විවිධ ආගමික ග්‍රන්ථවල සඳහන වුව ද, එය සිදු කළේ කුමන ආකාරයෙන් ද, ඒ සඳහා පිළිපැදිය යුතු උපදෙස් මොනවාද වැනි දේ ඒ කිසිවක පැහැදිලව අඩංගු නොවේ. නමුත් බෞද්ධ දර්ශනයේ සඳහන් වන භාවනාව එසේ නොවේ. එහි භාවනාව යන්න නිශ්චිත අයුරින්, යම් ක්‍රමවත් පිළිවෙලකට විස්තරකොට තිබේ. විවිධ ආගම් ස්වකීය භාවනා ක්‍රම පවත්වාගෙන යන්නේ මුත්, ලෝකයේ බොහෝ දෙනෙක් නිවැරදි භාවනාව අනුගමනය කිරීම සඳහා බෞද්ධ දර්ශනයේ පිහිට පතාගෙන එන බැව් මෑත ඉතිහාසයේ පැහැදිලිව දක්නට තිබූ දෙයකි. මේ නිසාම බෞද්ධ භාවනා ක්‍රමය ලෝකයේ විවිධ රටවල ශීඝ්‍ර ලෙස පැතිර යන්නට විය. මේ ආකාරයට බෞද්ධ භාවනා ක්‍රමය බොහෝ දෙනෙක් අතර පැතිර යන්නට තවත් හේතුවක් වූයේ ආගමික පදනමකින් තොරව මෙය අනුගමනය කරන්නට හැකියාවක් තිබීම නිසාය. 

ලෝකයේ බොහෝ රටවල ථේරවාදී මෙන්ම මහායාන සම්ප්‍රදායන්ට අයත් භාවනා මධ්‍යස්ථාන දක්නට ලැබේ. ජීවිතයේ විවිධ දුක් කරදර, මානසික පීඩා ඇති බොහෝ දෙනෙක් බෞද්ධ භාවනාව තුළින් සැබෑ සහනයක් අත්කොටගෙන ඇති බව පැහැදිලව පෙනෙන්නට ඇති දෙයකි. භාවනාව නිවැරදිව වැඩීමේදී සිත සන්සුන් කරන්නට හේතුවන හෝමෝනයක් නිකුත්වන බව ද සොයාගෙන ඇත. 

ලෝකයේ සුප්‍රකට පුද්ගලයන් බොහෝ දෙනෙක් බෞද්ධ භාවනා ක්‍රමය තුළින් සැබෑ සහනයක් ළඟාකරගෙන ඇති බැව් විවිධ පුවත්වලින් අසන්නට ලැබේ. මෙය ද  බෞද්ධ භාවනා ක්‍රමය ලෝකයේ වේගයෙන් පැතිර යන්නටත්, මානසික සුවය පතා එම භාවනා ක්‍රමය අනුගමනය කරන්නටත් බොහෝ දෙනෙකු තුළ නැඹුරුවක් ඇති වන්නට තවත් එක් හේතුවක් වී තිබේ. 

මෑතකදී මියගිය ඇපල් පරිගණක සමාගමේ සිටි ප්‍රධාන නිලධාරියා වූ ස්ටීව් ජොබ්ස් බුදු දහම සහ බෞද්ධ භාවනා ක්‍රමය ඔස්සේ ජීවිතය පිළිබඳ අලුතින් සිතන්නට පටන් ගත බව ප්‍රවෘත්තියක් ලෙස ලෝකයේ පැතිර ගියේය. ඔහු ඒ පිළිබදව මෙසේ පවසා තිබිණි. 


ඔබ ටිකක් නතර වෙලා නිවිසැනසිල්ලේ බැලුවොත් පෙනේවි ඔබේ හිත කොයි තරම් නම් කලබලද කියලා. ඔබ ඒ සිත සන්සුන් කරගන්න උත්සාහ කළොත් ඒක කොයි තරම් නම් අමාරුද කියලා හිතෙයි. ඒත් ටික දවසක් උත්සාහ කරන කොට හිත සන්සුන් වෙන බව ඔබට දැනෙන්න පටන් ගනීවි. ලෝකයේ අපට නොඇසුණු,  නොදැනුණු බොහෝ සියුම් දේ ඇති බව ඔබට සිතේවි. දැන් ඔබට ඔබේ ජීවිතය වගේම ලෝකයත් වෙනදාටත් වඩා පැහැදිලිව දකින්න පුළුවන කියලා දැනේවි. මේක ඇත්තටම හිත හික්මවා ගැනීමක්. මෙය ඔබ විසින් අත්හදා බැලීමෙන් පමණයි අවබෝධ කරගත හැක්කේ.” 

මේ ප්‍රකාශය ඇත්තේ ස්ටීව් ජොබ්ස්ගේ ජීවිත කතාවේ ය. බෞද්ධ දර්ශනය හා භාවනා ක්‍රමය ඔස්සේ ජීවිතය අලුතින් ආරම්භ කළ ඔහු ඇපල් සමාගමේ නව නිර්මාණ රැසකටම දායක වූයේය. මේ සමඟ ලෝකයේ බොහෝ දෙනෙක් බෞද්ධ භාවනා ක්‍රමය පිළිබඳ පෙර නොවූ විරූ අයුරින් සිය අවධානය යොමු කරන්නට පටන් ගත්හ. 

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩකයා ලෙස තවමත් කිරුළු පැළැඳ සිටින්නේ ටයිගර් වුඩ්ස් ය. ඔහුද බෞද්ධ භාවනා ක්‍රමය ජීවිතයේ පුරුද්දක් බවට පත් කරගත් අයෙකි. බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් වුව ද ඔහු උපතේ සිටම බෞද්ධ ආභාෂයෙන් හැඳුණු වැඩුණු අයෙකි. නමුත් ඔහු ඒ පිළිබඳව දැඩිව සිතන්නට පටන්ගෙන ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝක පූජිත වීමෙන් ද අනතුරුවය. 



බෞද්ධ භාවනා ක්‍රමය තුළින් මට මගේ ආධ්‍යාත්මික ජීවිතය, පවුල් ජීවිතය වගේම, වෘත්තීයමය ජීවිතයත් නිවැරදිව හැඩ ගස්වාගන්නට පුලුවන් වුණා.” 

කුඩා වියේදීද සිය මව සමඟ බෞද්ධ විහාරස්ථානයට යාමේ පුරුද්දක් ඇතිව සිටි ටයිගර් වුඩ්ස් භාවනා ක්‍රමයට සිය සිත යොමු කරවීමේ ගෞරවය හිමිකරදෙන්නේ ද සිය මවටය. 

ලෝකයේ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වූ ඇමරිකානු නායකයන් අතර බිල් කිල්ටන් ද අයෙකි. ඔහු බොහෝ කටකතාවන්ද  මෙන්ම චෝදනාවන්ට ද ලක් වූ අයෙකි. ජීවිතයේ බොහෝ හැළහැප්පීම් මධ්‍යසේ සිටි ඔහු ද සිය ජීවිතය නව මාවතකට යොමුකරවාගන්නට පිහිට ලබාගත්තේ බෞද්ධ භාවනා ක්‍රමයයි. 


මම මටම ආවේණික මන්ත්‍රයක් මුමුණමින් තමයි භාවනා කරන්නේ. එයින් මට ඕනෑම දෙයකට මුහුණ දිය හැකි ආකාරයේ ශක්තියක් ලබාදෙනවා. බෞද්ධ භාවනා ක්‍රමය අනුගමනය කරන්නට පටන්ගත් පසු මම එළවලු හා පලතුරු ආහාරවලට වැඩි වශයෙන් යොමුවුණා. මාංශ ආහාරයට ගන්නේ ඉතා කලාතුරකින්.” 

මෙහි සඳහන් කළ පුද්ගලයන්ට අමතරව ලෝක පොප් රැජිනක් වන ටීනා ටර්නර්, හොලිවුඩ් නළුවන් වන ස්ටීවන් සීගල්, රිචර්ඩ් ගියර්, ලියොනාර්ඩ් කොහෙන් වැනි පුද්ගලයන් ද බෞද්ධ දර්ශනය හා භාවනා ක්‍රම අනුගමනය කිරීමෙන් සිය ජීවිත වෙනස් මගකට ගත්තෝ වෙති. බෞද්ධ භාවනා ක්‍රමය නිහඬ, එනමුත් ප්‍රබල ලෙස මිනිසුන් වැළැඳගන්නා බව පැවසෙන්නේ එබැවිනි. 

Friday, June 6, 2014

සමාධි පිළිම වහන්සේගේ වියෝවෙන් අනාරක්ෂිත වූ තොළුවිල - Toluvila Buddha Statue, a masterpiece of the ancient Sri Lankan sculpting art

සමාධි පිළිම වහන්සේ තොළුවිල පුද්බිමේ පිහිටි සමයේ ගත් ඡායාරූපයක් 

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහ මෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත. එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. අද එම සමාධි ප්‍රතිමාව කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස තැන්පත් කොට ඇත. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.  

ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා අධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක්ද වෙති.

ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ, අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අනුරාධපුර නගරයේ සිට කි.මී. 1/4ක් පමණ ගමන් කළ පසු ප්‍රධාන මාර්ගයට දකුණු පසින් මෙම ස්ථානය පිහිටා ඇත. මෙම ස්ථානය රාම කැ‍ලේ මාලිගය නමින් ද හඳුන්වනු ලැබේ. එහෙත් මෙය ක්‍රිස්තු වර්ෂ 05 වන සියවසට පමණ අයත් බෞද්ධ විහාර සංකීර්ණයක් බව පුරාවිද්‍යාත්මකව හඳුනාගෙන ඇත.

මෙම භූමි ප්‍රදේශය “රාම කැ‍ලේ” යනුවෙන් හැඳින්වීමට අතීතයේ මෙහි රාම කුමරු සතු මාලිගාවක් පැවැති බවට පැතිර ඇති ජනප්‍රවාද හා සබැඳුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිත් නැත. එනිසා ඒ සම්බන්ධ සැඟවුණු යටගියාව විමසනු පිණිස එම ජනශ්‍රැති මුල් කොට වෙනම මානව විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුය.

බැලු බැල්මට වර්තමානයේ හිස් බිම්කඩක් ලෙස දිස් වුවද අතීත ‍ප්‍රෞඪ උරුමය මොනවට කියාපාන මෙය මධ්‍ය අනුරාධපුර යුගයට අයත් දියුණු පබ්බත විහාර සංකීර්ණයකි. ඉතා වේගයෙන් දියුණු වන අනුරාධපුර නගරයේ මෙබඳු පුරාවිදු උරුමයන් හැකිලීමට ලක්ව තිබීම ජාතික ඛේදවාචකයකි. මේ වන විට මෙම රක්ෂිතය අක්කර 35කට පමණ සීමාවී ඇත. පූර්ණ වශයෙන් කැණීම් කටයුතු හෝ ගවේෂණ

කටයුතු සිදුකර නොමැති හෙයින් ස්ථානයේ පුරාවිද්‍යාත්මක තොරතුරු අනාවරණය වී ඇත්තේ සුළු වශයෙනි. ලිඛිත මූලාශ්‍රවලින් ද තොරතුරු සොයා ගැනීම අපහසු වී ඇත. මෙයට හේතුව මහාවංසය වැනි ග්‍රන්ථ ථෙරවාදී මහා විහාරික භික්ෂූන් අතින් රචනා වීමත් එම වාර්තා ප්‍රධාන විහාරස්ථාන වටා පමණක් නිර්මාණය වීමත් මෙම ස්ථාන ඇතුළුනුවරට පිටතින් හුදකලාව සංවර්ධනය වූ විහාරාරාම වීමත් විය හැක. මූලාශ්‍රගත තොරතුරු විරල වීමට තවත් හේතුවක් වශයෙන් විද්වතුන් දක්වා ඇත්තේ මෙම විහාර මහායානික විහාර නිසා මූලාශ්‍ර සම්පිණ්ඩණය හරි හැටි සිදුනොවීම විය හැක. කෙසේ වුවද මෙම ස්ථානය ගැන සාහිත්‍යමය මූලාශ්‍ර මගින් තොරතුරු සපයා ගැනීම උගහටය. නමුදු පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් එම අඩුව මනාව සපුරා ගත හැක.

මෙම පබ්බත විහාර ආරම්භය හා විකාශය පිළිබඳ  යම් යම් තොරතුරු සාහිත්‍ය මූලාශ්‍රවලින් අධ්‍යයනය කළ හැකිය. බුද්ධ කාලයේ භික්ෂු සංස්ථාව ආරම්භ වූ අවදියේ භික්ෂූන් වහන්සේලාට ස්ථීර වාසස්ථාන තිබූ බවට සාධක නැත. චුල්ලවග්ගපාලියට අනුව උන්වහන්සේලා ගස් මුල්වල, පිදුරු ගොඩවල්වල, ගුහා, සොහොන් ආදියේ රාත්‍රිය ගත කොට ඒ හේතුවෙන් විවිධ දුෂ්කරතා රැසකට මුහුණ පා ඇත. ඉන්පසුව බුදුන්වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට ආකාර සතරක ආරාම සකසා ගැනීමට අනුදැන වදාළහ. ඒ කාමභෝගීත්වය පිටු දකින විරාගික පරිසරයන් තුළ සරල ලෙස නිමැවුණු ඒවා වශයෙනි.

ඒ අනුව භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම සඳහා එබඳු විවිධ  ආරාම ඉදිකිරීම ආරම්භ විය. මහින්දාගමනයෙන් අනතුරුව ලාංකීය බුදු සසුන ආරම්භ වීමත් සමගම ලංකාව තුළ ද විහාර කර්මාන්තය ආරම්භ වූයේ මහා විහාරය ඉදිකොට මිහිඳු හිමියන්ට පූජා කිරීමත් සමගමය. එසේ වුවද වැඩි වශයෙන් මෙම යුගයේ භික්ෂූන් වහන්සේලා කටාරම් කෙටූ ගල්ලෙන් ආශ්‍රිතව වැඩ සිටි බවට පුරාවිද්‍යා සාධක එමට ය. අනතුරුව භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවත්ම අභයගිරිය, ජේතවනය වැනි විශාල විහාරාරාම නගරය තුළ පවා ඉදිවන්නට විය. මෙවැනි විශාල ආරාම ඇතුළු නුවර සංවර්ධනය වන විට වනවාසී ආරාම සංකීර්ණයන් නගරයෙන් පිටත සීමාව තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇත. මෙම තොළුවිල බඳු පබ්බත විහාරවල වර්ධනය හා විකාශනය ද අපට මේ අවදියේදී සිදුවූ බව හඳුනාගත හැකි ය.

මේ කරුණු සියල්ල අනුව පබ්බත විහාරය යනු මධ්‍ය අනුරාධපුර අවදියේ ඇතුළු නුවරට පිටතින් හුදකලාව එහෙත් ඉතාමත් සැලසුම් සහගතව සංවර්ධනය වූ මහායානික ආරාම සංකීර්ණ බවට හඳුනා ගැනීම නිවැරදිය. මේවා එක හා සමාන අතිශය දියුණු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සමුදායකින් යුතු බව මේ වන විට අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම ආරාම ‍පොළොන්නරු යුගය දක්වාම පවතින්නට ඇති බව විද්වතුන්ගේ මතයයි.

පබ්බත විහාරවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ විමසීමේදී එහි ක්‍රමික විකාශනයක් දැක ගත හැකිය.

එහිදී මුල්කාලීන ලක්ෂණ පෙන්නුම් කරන පන්කුලිය වැනි ආරාම ද දියුණු ලක්ෂණ පෙන්නුම් කරන තොළුවිල වැනි ආරාම ද නිදසුන් වේ.

මෙම ලිපියෙන් පැවසෙන තොළුවිල ආරාම සංකීර්ණයට ද මෙම වාස්තු විද්‍යා ලක්ෂණ ‍පොදුය. නමුදු මෙම පබ්බත විහාරයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ද හඳුනා ගත හැකි වීම මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක සුවිශේෂත්වය විදහා පාන්නකි.

තොළුවිල සමාධි පිළිම වහන්සේ වත්මනෙහි තැන්පත්කොට ඇත්තේ කොළඹ කෞතුකාගාරයේය

තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාරය ඉදිරිපස තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය. යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වාභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු  අලාභහානි කිසිවක් සිදු නොවූ සමාධි පිළිමයද මෙයම බවය.

තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයේ මෙම පිළිමය තිබූ පිළිමගේ හා මැද මළුව සම්බන්ධ වනුයේ සුවිශේෂී ලක්ෂණ සහිත දිගු පෙත් මගකිනි. මෙහි ද්වාර මණ්ඩප මෙන්ම චංකමණද දැකගත හැකිවේ. මැද මළුව තුළ පූජනීය ගොඩනැගිලි ඉදිකර ඇති අතර එම මළුවේ සතර දිශාවට ද්වාර මණ්ඩප ඉදිකර ඇත. ස්තූපය, බෝධිඝරය, පිළිමගෙය,  මැද මළුව තුළ සුවිශාල කුලුනු සහිත උ‍පෝසථාඝරය මහල් දෙකකින් යුක්ත ගොඩනැගිල්ලක් බවට හඳුනා ගත හැකිය. දැනට සංරක්ෂණය කර ඇති කුඩා ස්තූපය ගඩොල් වේදිකාවක් මත ඉදිකර ඇත. මෙම ප්‍රධාන ස්මාරකවලට අමතරව සෙසු ගොඩනැගිලි පනස්නවයක් පමණ මෙම තොළුවිල පුරාවිද්‍යා පරිශ්‍රය තුළ දැකගත හැකිය. පූර්ණ වශයෙන් කැණීමට ලක්නොවූ මෙම ගොඩනැගිලි අතර භික්ෂු කුටි වැඩි වශයෙන් තිබේ. සෙසු ගොඩනැගිලි ඉහත දැක්වූ විවිධාකාර ගොඩනැගිලිවලට යම් යම් ආකාරවලින් සම්බන්ධ වන ඒවා විය හැකිය. ප්‍රධාන දිය අගලට ජලය සපයා ගන්නට ඇත්තේ ආසන්නයේම පිහිටි නුවර වැවෙන් විය යුතුය. ආරාමයේ ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ‍පොකුණු දෙකක් ඉදිකර ඇත. ගොඩනැගිලි අතර ගමන් කිරීම සඳහා සකස් කර ඇති පෙත්මං ආරාම සංකීර්ණයේ අලංකාරයට හේතු වී ඇත. ප්‍රධාන පිවිසුම් ද්වාරය උතුරු දිශානුගතව පිහිටා ඇත. මේ අනුව නූතනය වන විට බැලූ බැල්මට විශේෂ වැදගත්කමක්  නොපෙනෙන තොළුවිල පබ්බත විහාර සංකීර්ණය වාස්තු විද්‍යාත්මක සහ භූමි සැකසුම් ලක්ෂණ අතින් ඉතාමත් දියුණු මට්ටමක පැවැති බව නිසැකය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය මත මෙහි පිළිම ගෙය, කුඩා ස්තූපය සහ පෙත්මග සංරක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇත. මෙම පබ්බත විහාරයේ තිබූ සමාධි ප්‍රතිමාව ඉවත් කිරීමෙන් පසුව පාළු හුදකලා ස්වරූපයක් ගත් මෙම මාහැඟි පුරාවිද්‍යා රක්ෂිතයට පසුගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ තවත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය. එනම් අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ මෙම පරිශ්‍රය සමීපයේම තිබූ එවකට ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක්ව පැවති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩා සංකීර්ණය රැකගැනීම සඳහා එම ප්‍රධාන මාර්ගය වෙනුවට මෙම පරිශ්‍රය හරහා විකල්ප මාර්ගයක් යෙදීමට රජයට සිදුවීමය. එහෙත් අද වන විට පැරණි මාර්ගය විවෘත කොට ඇතත් එමගින් භෞතික වශයෙන් මෙම පරිශ්‍රයට සිදුවූ හානිය සුළුපටු කොට තැකිය නොහැක.

එහෙත් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් හට නිරායාසයෙන්ම දැකගත හැකි මෙම වටිනා පුරාවිද්‍යා ස්ථානය මේ වන විට “පුරාවිද්‍යාත්මක පාරිසරික හරිත උද්‍යානයක්” වශයෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 2014 වසර සඳහා වෙන්කර අවසන්ය. එයට සමගාමීව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 94 වන සංවත්සරය නිමිත්තෙන් එහ සම්මේලනය මගින් අරඹන ලද පරිසර හිතකාමී ආරක්ෂක ආවරණද සහිත රුක් රෝපණ ව්‍යාපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එය මෙම පුරාවිද්‍යා රක්ෂිතයේම මතු ආරක්ෂාවට සේම පාරිසරික යහපැවැත්මටද බෙහෙවින් ඉවහල් වනු ඇත.

වර්තමානය වන විට අනවසර මාර්ග භාවිත කිරීම්, අනවසරයෙන් රථවාහන ගාල් කිරීම ආදී විවිධ ගැටලුකාරී තත්ත්වයන්වලට ගොදුරුව ඇති මෙම පුරාවිදු භූමිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමදව හිමි වන හා ප්‍රදේශයේ  ජෛවමය සහ පාරිසරික අගය වර්ධනය කෙරෙන ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම ඉතා වැදගත් මෙහෙවරකි. අද දින අභයගිරි සමාධි පිළිමය හේතුවෙන් එම ස්ථානයට යම් ශ්‍රේෂ්ඨත්වයක් යම් බුහුමනක් හිමිව තිබේද ඒ හා සමානවම ශ්‍රේෂ්ඨත්වයක් හා බුහුමනක් හිමිවිය යුතු වූ මෙම පුරාවිද්‍යා ස්ථානය අද බොහෝ දෙනෙකුගේ අවධානයෙන් බැහැරව තිබේ. ඒ අග්‍රගණ්‍ය සමාධි පිළිමය අස්ථානගත වීමත් සමගමය. අද දින ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන පුරාවස්තුවක් පමණක් බවට පත්ව ඇති මෙම අග්‍රගණ්‍ය සමාධි පිළිම වහන්සේ මෙම පින්බිමෙහි වැඩ සිටියා නම් මෙයද අනුරාධපුරයේ ප්‍රධාන පූජනීය ස්ථානයක් වනු ඒකාන්තය. එසේ වූවානම් අද දින පදිකයාගේ සිට ආසන්න පදිංචිකරුවා දක්වා වූ සියලු පාර්ශ්වයන්ගෙන් මෙම වටිනා පුරාවිද්‍යා රක්ෂිතයට සිදුවන නොයෙකුත් අයහපත් බලපෑම් සිදු නොවීමට ද ඉඩ තිබුණි.

- සම්පත් දායකත්වය
තිලක් සේනාසිංහ

තොරතුරු සැපයීම - පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප අංක 04 භාර පුරා විද්‍යා නිලධාරිනී නිරූපා ප්‍රියදර්ශනී මහත්මිය

Wednesday, June 4, 2014

අත්අකුරින් හෙළිවන ඔබේ ජීවිතය - What handwriting reveal about you


අත් අකුරු කියන්නේ කෙනෙකුගේ අනන්‍යතාවය පෙන්වන දේවල් අතුරින් එක් ප්‍රධාන දෙයක්. මේවා කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස්. කොහොම වුණත් අද කාලේ නම් පාසල් ජීවිතෙන් පස්සේ කෙනෙකුගේ අත් අකුරු දකින්න ලැබෙන්නේ හරි කලාතුරකින්. මොකද අත්අකුරුවල පාවිච්චිය තාක්ෂණයට යට වෙලා. ඉස්සර ලියුම් යැව්වත් දැන් ලියන්නේ එස්.එම්.එස්. එහෙමත් නැත්නම් ඊමේල්. හැම කෙනෙකුගේ අතේම ජංගම දුරකතනයක් තියෙනවා. ඉස්සර වගේ ලියුම් ලිය ලියා කරදර වෙන්න ඕන නැහැ. ඒ තරමට නොසළකා හරින තත්වයට අත් අකුරු පත් වුණත් අර කලින් කිව්ව ගුණය නිසා එක් එක් පුද්ගලයන්ගේ ගතිගුණ ගැන විශ්ලේෂණය කරන්න අත් අකුරු යොදා ගන්නවා. සමහරවිට ඔබ මෙය අසා තිබෙනවා වන්නටත් පුලුවන්. ඒත් කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙන්න නැතිව ඇති. අද අපි කතා කරන්න යන්නේ අත් අකුරුවලින් කෙනෙකුගේ ගතිගුණ ගැන අදහසක් ලබාගන්නේ කොහොමද කියන එක ගැනයි.

මුළින්ම හිස් කඩදාසියක් ගන්න. ඒකේ මේ තියෙන වාක්‍යය ලියන්න. පේළි අතර ඉඩ තියලා ඔබ සාමාන්‍යයයෙන් ලියන විදියට ලියන්න. හිතලා මතලා ලස්සන අකුරු ලියන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් ඔබට ලියවෙන්නේ ඔබේ සාමාන්‍ය අත් අකුරු නෙවෙයි.
මේ සඳහා අපි යොදාගන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් එන වාක්‍ය කිහිපයක්. මොකද මෙහි මූලාශ්‍රය අරගත්තේ ඉංග්‍රීසි බසින් නිසයි.

'Well!' thought Alice to herself, 'after such a fall as this, I shall think nothing of tumbling down stairs! How brave they'll all think me at home! Why, I wouldn't say anything about it, even if I fell off the top of the house!' (Which was very likely true.)
Alice's adventures in wonderland
Lewis Carroll


ලියලා ඉවරද? මේ තරම් ඉක්මණට? හරි දැන් අපි බලමු මොනවද ඔබේ අත් අකුරු ඔබ ගැන කියන්නේ කියලා.
1. අත් අකුරුවල විශාලත්වය කෙහොමද?
            මිලි මීටර් 7 කට වඩා විශාලයි
            මධ්‍යම ප්‍රමාණයෙන්, ඒ කියන්නේ මිලි මීටර් 4 - 6  අතර
            කුඩා ප්‍රමාණයෙන්, ඒ කියන්නේ මිලි මීටර් 2 - 3  අතර
            හොඳටම පුංචියි. කූඹි කකුල් වගේ. ඒ කියන්නේ මිලි මීටර් 2කට වඩා අඩුයි

2. අත් අකුරු ඇලවෙලා තියෙන් ආකාරය කොහොමද?
            වමට බරයි
            තදින්ම වමට බරයි
            කෙළින් ලියැවුණු අත් අකුරු
            දකුණට බරයි
            තදින්ම දකුණට බරයි
            කියවාගන්න බැරි තරම් ඇලයි

දැන් අපි බලමු ඔබේ අත්කුරුවලින් මොනවද හෙළිවෙන්නේ කියලා.

1. අත්අකුරුවල ප්‍රමාණය

විශාල අත් අකුරු

ඔබට එක්නෙකට වෙනස් පුද්ගලයන් සමඟ දැන හැඳුනුම්කම් තියෙනවා. ඒ වගේම ඔබට බොහෝ මිතුරන් සිටිනවා. ඔබ ඕනෑම දෙයක් විවෘතව කියන කෙනෙක්. අනෙක් අයත් එක්ක හොඳින් කතා බහ කරනවා. අනෙක් අයට උපදෙස් දෙන්න ඔබ කැමතියි. ඇතැම් අවස්ථාවලදී ඒ උපදෙස් ප්‍රායෝගික නොවෙන්නත් පුලුවන්. අනෙක් අයට අවනත නොවෙන ස්වභාවයක් තියෙනවා. පීඩනය, කලබලකාරී බව යටතේ ඔබට සාර්ථකව වැඩකටයුතු කරන්න බැහැ. ඒ වගේම ඔබ ඉළක්ක සපුරාගන්නත් දක්ෂයි.

විශාල අත්අකුරු ඇති ඔබේ ඇතැම් අකුරු නියම සවභාවයෙන්ම යුක්ත යැයි පෙනෙන්නේ නම් ( නියම ස්වභාවය කියා අදහස් කළේ මුද්‍රිත අකුරුවලට බොහෝ සමාන නම්) ඔබ අලුත් විදියට හිතන කෙනෙක්. ඒ වගේම ඔබ යම් යම් දේවල්වල වැඩි විස්තර සොයන්න උනන්දුවක් නැහැ. ඔබේ කැපිටල් අකුරුවල නියම ස්වභාවයක් ඇත්නම් එයින් කියවෙන්නේ අනෙක් අයට අණ දීමේ හැකියාව ඔබට පවතින බවයි. ඔබට හැමෝම ප්‍රිය කරනවා. ඔබට අනෙක් අයගේ ආකර්ෂණය තිබෙනවා.

මධ්‍යම ප්‍රමාණයේ අත්අකුරු

ඔබ ඕනෑම දෙයක් නිවැරදි, තාර්කික ආකාරයෙන් කරන කෙනෙක්

කුඩා ප්‍රමාණයේ අත් අකුරු

ඔබ සැම දෙයක් ගැනම දැඩි අවධානය යොමු කරන්න කැමති කෙනෙක්. සියුම් වැඩවලට කැමති ඔබ සෑම දෙයකම විස්තර තදින් සොයා බලනවා. ඔබ හොඳ නිරීක්ෂකයෙක්. ඔබ කඩයක් තේ බොනවා නම්, ඒ අතරේ එහි ඇතුළේ සිදුවන හැමදෙයක් ගැනම හොඳ අවධානයෙන් ඉන්න කෙනෙක්. හැම දෙයක්ම සැළසුම් කරන ඔබ හැම දෙයක්ම කාලයට පෙර අවසන් කරන්න උත්සාහ කරනවා. ප්‍රතිලාභයක් නෙැලැබෙන කිසිම දෙයක් කරන්න ඔබේ සිතේ ලොකු කැමැත්තක් නැහැ. හොඳ රස වින්දනයක් ඔබට තිබෙනවා. බුද්ධිමත් බවකින් යුක්ත ඔබ එවැනි අයව ඇසුරු කරන්නට කැමතියි. ඔබ ආත්මවාදියෙක් වෙන්න පුලුවන්. ඒ කියන්නේ ඔබේ හැඟීම් සඟවාගෙන ජීවත්වෙන කෙනෙක් වෙන්න පුලුවන්. බොහෝ රහස් දේවල් ඔබ ළඟ තිබිය හැකියි.

අත් අකුරු කුඩා ප්‍රමාණයේ එකිනෙකට බැඳුණු ඒවා නම් (වැල් අකුරු)

මෙයින් කියවෙන්නේ නිවැරදිතාවය හා සෑම දෙයකම සවිස්තරභාවට ඇති කැමැත්තයි. නියමිත වේලාවට වැඩකරන ඔබ සමාව දෙන්න අකැමති කෙනෙක්. ඒ වගේම ඊර්ෂ්‍යාසහගතබව ඔබ තුළ තිබෙනවා. ඔබ හුඟක් වෙලාවට ඔබේ අගය වැඩි කර පෙන්වන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ගණන් උස්සන්නකැමති කෙනෙක්. මේක බොහෝ විට කරන්නේ පවුලේ අයට සහ ළඟම ඉන්න හිතවතුන්ට. හුඟක් දේවල්වලින් ඔබ සතුටට පත්වෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට ඔබෙන් මොනවගේ ප්‍රතිචාරයක් ලැබේද කියලා අනෙක් අයට අනුමාන කරන්න බැරි අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ අනෙක් හැමෝටම සතුටුදායක අවස්තාවක් ඔබට නුරුස්සනා දෙයක් වෙන්න පුලුවන් වගේ දෙයක්. ඔබට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා නම් පමණක් හොඳ මුහුණක් පෙන්වනවා.

කූඹි ප්‍රමාණයේ අත් අකුරු

නීති, උපදෙස්, යම් යම් ක්‍රියා පටිපාටීන් ගැන තදින්ම උනන්දුවක් දක්වනවා. හැම දෙයක්ම නීතියට, අකුරට සිදුවෙන්න ඕනෑ කියලයි ඔබ සිතන්නේ. අනවශ්‍ය කුඩා දේ ගැන ඕනෑවට වඩා සොයනවා. ඔබේ මේ ගතිගුණ නිසා අනෙක් අය ඔබට ඒ තරම් කැමැත්කත් දක්වන්නේ නැති වෙන්න පුලුවන්.

වචනයක් ලියැවීගෙන යනකොට ඇතැම් අයගේ අත් අකුරු ටික ටික විශාල වෙන පෙනුමක් තියෙනවා. ඔබේ අත් අකුරු ඒ විදිහ නම් එයින් කියවෙන්නේ ඔබ දුන්න වචනයක් ඒ විදියටම ඉටු කරන බව හා විශ්වාසදායක බවයි. ඒ වගේම වචනය අවසන් වනවිට අකුරු ටිකෙන් ටික පුංචි වෙනවා නම් එයින් කියවෙන්නේ අවධානය, නුවණක්කාර බව හා කපටි කමයි.

දැන් අපි අත්අකුරුවල ඇල ස්වභාවය ගැන හොයා බලමු

ඔබේ අත්අකුරුවල ඇල ස්වභාවය මගින් කියැවෙන්නේ ඔබේ මානසික තත්වයයි. ඔබේ සිතෙහි භාවාත්මක බව අධික නම් ඇල ස්වභාවය ඉතා වැඩි වෙන්න පුලුවන්.

වමට බර නම්

ඔබේ අත්අකුරු මේ ආකාරයෙන් නම් ඔබ බොහෝ දේවල් සඟවාගෙන ඉන්න කෙනෙක්. පසුබටයි. කලාත්මක රසයක් නැහැ.

අත් අකුරු වම් පැත්තට බොහෝ බරවී ඇත්නම්

ඔබ හැඟීම් යටපත් කරගෙන ජීවත්වෙන්න උත්සාහ කරන නෙකේ. මේ නිසා ඇතැම් විට දිගුකාලයක් පුරා දොම්නස් ස්වභාවයෙන් පසුවන්නත් පුලුවන්. ඔබ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන කෙනෙක්.

අත් අකුරු සෘජු නම්

හැඟීම් ඔබට අවහ්‍ය පරිදි පාලනය කරගන්න දක්ෂ කෙනෙක්. ඒවා සමබරව පවත්වාගෙන යනවා. නායකත්වයක ලකුණු පෙන්නුම් කරනවා. හැම දෙයක් ගැනම සමබරව සිතන ඔබ කළ යුත්තේ කුමක්දැ කියන එක ගැන මනා අවබෝධයෙන් සිටිනවා. හදිසි අවස්ථාවලදී තීරණගැනීමට ඔබටට තරමක් අපහසුයි. ඔබ දැඩි ප්‍රකෝපකාරී මානසික තත්වයකින් සිටින අවස්ථාවක වුවත් ඔබ එම හැඟීම් පෙන්වන්නට උනන්දුවන්නේ නැහැ. ඔබ හැඟීම් නිදහස්ව හෙළිකරන කෙනෙක් නෙවෙයි. නමුත් ඔබ කරන වැඩකටයුතුවලින් ඔබේ ඇතැම් හැඟීම් හෙළිවන්නට පුලුවන්.

අත් අකුරු දකුණට බරයි නම්

ඔබ කලාත්මක රසවින්දනයකින් යුක්ත කෙනෙක්. ඔබට ඔබේ වගේම අනෙක් අයගේ හැඟීම් ද හොඳින් තේරුම්ගන්න පුලුවන්. අනෙක් අයට ඕන දෙයක් තේ්රුම් කරලා දෙන්නත් පුලුවන්. ඒ වගේම අවශ්‍ය නම් ඔබට හැඟීම් සිතේ තදකරගෙන ඉන්නත් පුලුවන්. ඔබ මිත්‍රශීලියි. කතා බහට බොහෝ කැමතියි.

දකුණු පැත්තට හොඳටම බරයි නම්

ඔබට ඔබේ හැඟීම් සඟවාගෙන ඉන්න අපහසුයි. ඔබට දැනෙන හැඟෙන දේ අනෙක් අයට පහසුවෙන්ම පෙනෙනවා. බොහෝ දේවල්වල වැරදි දකින ඔබ කුඩුකේඩුකම් හිතේ තියාගෙන ඉන්න කෙනෙක්. ඇතැම් අවස්ථාවලදී ඔබේ හැඟීම් අන්තවාදී ස්වභාවයක් ගන්න පුලුවන්. ඒ වාගේම කිසි තේරුමක් නැති දේවල් කරන්නත් ඉඩ තියෙනවා. ආදර සම්බන්ධතාවලදී ඔබ ඔබ මුදුනා වන්න උත්සාහ කරනවා. ආදර සම්බන්ධයක් නතර වුණොත් ඔබ අතහැරගිය සහකරුට හෝ සහකාරියට සදාකාලිකව වෛර කරන්නත් ඉඩ තියෙනවා.

කියවාගන්න බැරි තරම් ඇලයි නම්

මෙවැනි තත්වයක් ඇත්නම් මෙතැන ඇත්තේ මානසික ස්වභාවයේ අඩුපාඩුවක්.


ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලිනාට්‍යයේ සුද්දෝදන රජු වූ සමීර් ධර්මාධිකාරි - Sameer Dharmadhikari, the King Suddhodana of Sri Gauthama Sambuddha


ගෞතම සම්බුද්ධ කියන්නේ මේ දවස්වල ජනප්‍රියම ටෙලි නාට්‍ය අතුරින් එකක් කියන එක කවුරුත් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය ගැන කියැවුණත් බෞද්ධ අබෞද්ධ භේදයක් නැතිවම මේ ටෙලි නාට්‍යය නරඹන බව තමයි අපට අසන්න ලැබෙන්නේ.  අපි පසුගිය සති කිහිපයේ මෙහි ප්‍රධාන පෙළේ රංගන ශිල්පීන් කීප දෙනෙක් ගැනම කතා කළා. අදත් අපි කතා කරන්න යන්නේ ඒ වගේ කෙනෙක් ගැන තමයි. ඔහු නමින් සමීර් ධර්මාධිකාරි. ඔහු මේ නාට්‍යයෙන් අපි දකින්නේ සුද්ධෝදන මහරජතුමාගේ චරිතය තුළිනුයි. 


ජනප්‍රිය රූපවාහිනි සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පියකු ද වන සමීර් 1975 වසරේදී ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලැබුවා. මුළින්ම හයිඩ්‍රොලික් යන්ත්‍ර සැසුම් ශිල්පියකු ලෙස සේවය කළ ඔහු පසුව පූනේ හිඳී රංගනය හා වේදිකාව ගැන පාඨමාළාවක් හැදෑරුවා. මුම්බායි කරා පැමිණි ඔහු විවිධ ආයතන වෙනුවෙන් මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස වැඩකටයුතු කළා. මේ අතරතුරේදී තමයි ඔහුට රංගනය සදහා අවස්ථාවක් හිමු වුණේ. 

ඔහු වැඩි වශයෙන් ජනප්‍රිය පුංචි තිරයේ වුවත් 2007 වසරේ තිරගත වූ ඔහු ප්‍රධාන චරිත රංගනයෙන් දායක වුණු ‛නිරොප්’ කියන මරාති චිත්‍රපටය හොඳම මරාති සිනමා නිර්මාණය ලෙස ජාතික සිනමා සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර වුණා. 

ඔහු තමන්ගේ රංගන චාරිකාව ආරම්භ කළේ ද මරාති සිනමා නිර්මාණයකින්. සුළු චරිතයක් සඳහා දායක වුණු එය එතරම් ජනප්‍රියත්වයට පත් වූයේ නැහැ. ඔහු ‛ක්වික්සෑන්ඩ්’ කියන ඉංග්‍රීසි චිත්‍රපටයේද සුළු චරිතයකට දායක වුණා. ඔහු ගැන් වැඩි දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ ‛බුද්ධ’ එහෙමත් නැත්නම් අපි දන්න විදියට ‛ශ්‍රී ගෞතම සම්බුද්ධ’ නට්‍යයේ හා ‛මහාභාරත්’ කියන ඓතිහාසික නට්‍යවලට රංගනයෙන් දායකවීමෙන් පසුවයි. 

පවුලේ කට්ටිය

‛බුද්ධ’ නාට්‍යයට රංගනයෙන් දායකවීමන් ඔහුට ලැබුණු ජනප්‍රියතාවය කොයි තරම් ද කීවොත් ඔහු ඉදිරියේ පැමිණෙන්ට නියමිත ‛සිංහම් 2’ චිත්‍රපටය සඳහා ද තෝරා ගැනුණා. අනෙක ඔහු එහි පෙනී සිටින්නේ ද කැපී පෙනෙන චරිතයක් සඳහා බවයි දැනගන්නට ලැබෙන්නේ. සමීර් ද ඒ චරිතය ගැන තවමත් විශේෂ යමක් සඳහන් කොට නැහැ. 

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපන් ඔහු හින්දු ජාතිකයෙක් වුවත්, මව්බස වූයේ මරාති බසයි. ඔහු මරාති සිනමා නිර්මාණවල වැඩි වශයෙන්ම පෙනී සිටින්නට හේතුවත් එයයි. නමුත් ඔහුගේ හැකියාවන් නිසා හින්දි සිනමා හා ටෙලි නාට්‍ය නිර්මාණ සඳහා ආරාධන ලැබුණු අවස්ථාවේදී ඔහුට සෑහෙන ගැටලුවකට මහුණ දෙන්නට සිදු වුණා.  ඒ ඔහුගේ හින්දි භාෂා දැනුම බොහෝ පහළ මට්ටමක පැවතීම නිසයි. මේ නිසා ඔහු හින්දි භාෂාව පළිබඳ පාඩම් මාලාවක් ද හැදෑරූ බව ද දැනගන්නට ලැබෙනවා. 

මට ඒ චරිතවලට අදාළ දෙබස් මගේ භාෂාවෙන් ලියාගෙන කියවන්නත් තිබුණා. ඒත් මම හිතුවේ මොන චරිතයක් වුණත් සාර්ථකව කරන්න නම් තමන් කියන දෙබස් ගැන තමන්ට වැටහෙන්න ඕන කියන එකයි. ඒ නිසයි මම හින්දි භාෂාව ගැන මගේ තියෙන දැනුම තවත් වර්ධණය කරගන්නට ඕනෑ කියලා හිතුවේ.“ 

සමීර් තමාගේ හින්දි පාඩම් ගැන එසේ පවසනවා. 

සමීර් මේ වන විට සිනමා නිර්මාණ 19කටත්, ටෙලි නාට්‍ය 6කට දායක වී තිබෙනවා. ඒවා අතුරින් බහුතරයක් හින්දි බසින්ද අනෙක්වා මරාති බසින් ද නිෂ්පාදනය වී තිබෙනවා. 

සාමාන්‍යයෙන් රංගන ශිල්පීන් තමන්ගේ පෞද්ගලික ජීවිතය අවුල් කරගන්නට ඇති අවස්ථාව වැඩියි. නමුත් සමීර් ගැන කවුරුත් කතා කරන්නේ එහි අනෙක් පැත්ත. ඒ කියන්නේ ඔහු සාර්ථක විවාහ ජීවිතයක් ගතකරනවා කියන එක. ඔහුගේ බිරිඳ අපර්ණා ඉතා රූමත් කාන්තාවක් බව මාධ්‍යවලින් කිහිප අවස්ථාවකදීම පැවසුණා. ඔවුනගේ කැදැල්ලට අවුරුදු නවයක් පුංචි දියණියක් ද සිටිනවා. 

මෝදි රජයේ අධ්‍යපන ඇමතිනිය වූ මහගෙදර තුල්සි - Smriti Irani, from TV actress to India's HRD minister


ඉන්දීය මහ මැතිවරණය නිමාවට පත් වූ අතර භාරතීය ජනතා පක්ෂය පැහැදිලි ජයක් වාර්තා කළේය. ඉන්දියාවේ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදි පසුගිය 26 වැනිදා දිව්රුම් දුන්නේය. වසර 10කට පසු කොංග්‍රස් පක්ෂය දැඩි පසුබෑමක් පෙන්නුම් කරමින් පරාජයට පත්විය. මේ මහ මැතිවරණය තුළින් අපට අතුරු කතා බොහොමයක් ඇසෙන්නට පටන් ගෙන තිබේ. මේ එක් කතාවක කතා නායිකාව පිළිබඳ අපි මීට පෙර දිනයක කතා කළෙමු. ඒ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට එරෙහි උත්තර් ප්‍රදේශ්හි අමෙති ඡන්ද කොට්ඨාශය වෙනුවෙන් වූ සටන සඳහා ඉදිරිපත් වූ ‛ස්ම්‍රිති සුබින් ඉරානි’ පිළිබඳවය. ඉරානි යනු අප රටේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ ‛මහගෙදර’ ටෙලි නාට්‍යයේ ඔබ කවුරුත් දන්නා හඳුනන ‛තුල්සි’ ය.  මෙම සටනේදී රාහුල් ගාන්ධි වැඩි ඡන්ද 107,000කින් ජයග්‍රහණය කළ අතර ඉරානි ඡන්ද සටනින පරාජයට පත් වූවාය. නමුත් මෙයට පෙර මැතිවරණයේදී රාහුල් ගාන්ධි ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 370,000කිනි. භාරතීය ජනතා පක්ෂය ඉරානි මෙම ඡන්ද කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබුයේ සැබවින්ම ඇයගේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් නොවේ. ඇගේ ජනප්‍රියත්වය ඔස්සේ රාහුල් ගාන්ධිට ලැබෙන්නට නියමිත ඡන්දවලින් කොටසක් කඩාදැමීමය. එම උපායට අනුව භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කොට ඇත. පරාජය වුවද මෝදි රජයේ මානව සම්පත් ඇමතිනිය බවට ඇය පත්කරනු ලැබුයේ රාහුල් ගාන්ධිගේ ඡන්ද අඩුකිරීමට ඇය දැක්වූ දායකත්වයට ගෞරවයක් වශයෙන් විය හැකිය. 1976 මාර්තු 2 වැනිදා උපන් ඉරානි 44 දෙනෙකුගේ සමන්විත මෝදි ගේ කැබිනට් මණ්ඩලයේ සිටින ලාබාලතමයා ද වන්නීය. 

මොස්තර නිරූපන ශිල්පිනියක සහ නිළියක ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඉරානිගේ දේශපාලන ජීවිතය ඇය කෙමෙන් කෙමෙන් ගොඩනගාත්තක් විනා ඇය හිටිහැටියේ කඩාපහත්වීමක් නොවේ. ඉරානි භාරතීය ජනතා පක්ෂය සමඟ එකවන්නේ 2003 වසරේදීය. 2004 පැවති 14 වැනි ලෝක් සභා මැතිවරණයේදී ඇය කපිල් සිබාල්ට එරෙහිව අසාර්ථක ඡන්ද සටනක නිරත වූවාය. ඇය 2004 වසරේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යොවුන් පෙරමුණෙහි උප සභාපතිනිය බවට පත්වූවාය. ඉරානි භාරතීය ජනතා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විධායක සාමාජිකාවක ලෙස පස් වතාවක් යෝජනා වූ අතර එහි ජාතික ලේකම්වරිය ලෙස ද පත්වූවාය. 2004 වසරේ දී ඇය එවකට ගුජරාත් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති වූ, වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිම මාරාන්තික උපවාසයක් කරන බවට තර්ජනය කළාය. ඒ භාරතීය ජනතා පක්ෂයේ පරජයට හේතුව මෝදි යැයි චෝදනා කරමිනි. පසුව තමා කළේ වරදක් යැයි පිළිගත් බැවින් පක්ෂය ඇයට එරෙහිව විනය කටයුතු කිරීමෙන් වැළකී සිටියේය. ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ලබාදිය යුතු යැයි ඇය දේශපාලන වේදිකාවේ හඬක් නැගුවාය. 2011 වසරේදී ඇය ගුජ්රාත් ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයික ලෙස දිවුරුම් දුන්නාය. ඇය 2014 වසරේ උත්තර් ප්‍රදේශ්හි අමෙති ඡන්ද කොට්ඨාශයෙන් රාහුල් ගාන්ධිට එරෙහිව ඡන්ද සටනට ඉදිරිපත් කෙරෙන්නේ මෙසේ පැමිණි දේශපාලන ගමනෙහි ප්‍රතිපලයක් ලෙසිනි. 

මානව සම්පත් ඇමතිනිය ලෙස ඉන්දියාවේ අධ්‍යපන අමාත්‍යාංශය අයත්වන්නේ ද ඇයගේ විෂය පථයටය. විරුද්ධ පාක්ෂිකයකු වන අජේ මාකින් විවේචනයට ලක්කරන්නේ මෙයයි. ඔහු ඉරානිගේ අධ්‍යපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කරයි. 

මෝදිගේ කැබිනට් මණ්ඩලය තමයි ලොකුම විහිළුව. දැන් බලන්න අධ්‍යපනය ගැන හොයා බලන්න ඉන්න මානව සම්පත් ඇමතිනී ඉරානි දිහා. එයාට අඩු ගණනේ උපාධියක්වත් තියෙනවද?” 

මෙයට භාරතීය ජනතා පක්ෂයෙන් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත. 

“මේ වගේ කතා විපක්ෂයෙන් ඇසෙන එක් හරිම අවාසනාවක්. එයා කියන විදියට එහෙමනම් සිවිල් ගුවන් අමත්‍යාංශයේ ඇමති ගුවන් නියමුවෙක්ම වෙන්න ඕන.” 

කෙසේ වුවත් ඉරානි කාන්තාවක ලෙස සාර්ථක්වයකට පත්ව තිබේ. ඇගේ ජීවිතය යනු රංගනය හා මෝස්තර නිරූපනය පමණක් නොවන බැව් ඇය අවබෝධකොට ගෙන ඇති අතර ඇය අනෙක් කාන්තාවන්ට ලබාදෙන පණිවිඩය ද එයයි.