පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 18, 2015

කොටකෙතන ඝාතන රැල්ළ සහ පොලීසියේ අලියාට ඇස තැබීමේ භූමිකාව


අප රටේ මිනිස් ඝාතන සිදුවීම් අතර ඉමහත් ආන්දෝලනයකට ලක් වූ කොටකෙතන මිනිස් ඝාතන සිදුවීම සමාප්තියකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබෙන්නේ අවසානයේ මෙයට අදාළ යැයි බොහෝ සාධක තුළින් තහවුරු වී ඇති පුද්ගලයා පසුගිය දිනෙක අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසාය. කොටකෙතන ඕපාතවත්තේ පදිංචිව සිටි නාදන් පාපු නමැති කාන්තාවගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ කොටකෙතන අතුරුගොඩ පදිංචි ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නමැති සැකකාර තිදරු පියා සම්බන්ධව සිදුකළ පරීක්ෂණවලින් ඔහු මෙයට පෙර කරන ලද ඝාතන කිහිපයකට සම්බන්ධ බව අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.


කොටකෙතන ප්‍රදේශයේ මුළින්ම කාන්තාවක් ඝාතනය වන්නේ 2008 වසරේ ජූලි 31 වැනිදාය. ඒ ඕපාතවත්තේ පදිංචි සෙල්ලයියා මරියා නමැති 56 හැවිරිදි කාන්තාවය. ඉන් පසු මෑතකදීම සිදුවූ නාදන් පාපු නමැති කාන්තාවගේ මරණය දක්වා ඝාතන සිදුවීම් 9ක් වාර්තා වේ. මෙසේ ඝාතනයට ලක් වූ සියලු දෙනා කාන්තාවන් වීම මෙහි ඇති සුවිශේෂී ස්වභාවයයි. මෙම ඝාතන සිදුවීම් දාම මිනිමැරුමක් (Serial Killing/Chain Killing) ලෙස සිදුවන බවට බොහෝ අදහස් නැගුණ ද පොලීසිය ඒ පිළිබඳ එතරම් සැළකිල්ලකට ලක්කළ බවක් පෙනෙන්නට නැත. අප රටේ මෙයට පෙර ද මෙවැනි දාම මිනීමරුම් අසන්නට ලැබිණි. ඉන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ සිදුවීමක් වන්නේ සංචාරක වෙළෙන්දකු ලෙස නිවෙස්වලට ගොඩවැදුණු එක් පුද්ගලයකු විසින් එම නිවෙසවල තනිව සිටි කාන්තාවන් ඝාතනය කිරීමය. මෙම සිදුවීමෙන් අනතුරුව සංචාරක වෙළෙඳුන් නිවෙස්වලට වද්දාගැනීම ද බොහෝ දුරට ඇණහිටි බව දක්නට හැකි විය.


මෙවැනි සිදුවීම් පිළිබඳ අපරාධ මනෝ විද්‍යාත්මකව හෝ අපරාධ විද්‍යාත්මක අධ්‍යයනයන් කොට ඒවා සම්බන්ධ දේශීය න්‍යායන් සහ ඒවා හඳුනාගැනීම සඳහා දේශීය ක්‍රමවේද ගොඩනගන්නට අප රටේ මෙම ක්ෂේත්‍රයේ සිටින විශේෂඥයන් උත්සාහ දරා නොමැති බව පෙනේ. අප රටේ අපරාධ මනෝ විද්‍යාව හෝ අපරාධ විධිය ගැඹුරින් හදරන ලද විශේෂඥයන් සිටින මුත් ඔඔවුන් සියලු දෙනා සතුව ඇත්තේ ඇමරිකාවේ හෝ යුරෝපයේ රටවල මිනිසුන් මෙවැනි මිනිස් ඝාතන සිදුකිරීම පිළිබඳව සොයා ගත් දැනුමය. ඔවුන් අප රටේ මෙම විෂයයන් ඉගෙනුම ලබන සිසුනට ලබාදනේනේ ද එම දැනුමය. එම දැනුම අප රටේ අපරාධ නිවැරදිව අනාවරණය කරගැනීමට ප්‍රමාණවත් ලෙස යොදාගැනීමට නොහැකි වන්නේ මෙම න්‍යායන් ගොඩ නගා ඇති රටවල සහ අපේ රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් හාත්පසින්ම වෙනස්වීම නිසාය.


අප යළි කොටකෙතන සිදුවීම දෙසට අවධානය යොමු කළ හොත් එය දාම මිනීමරුමක් ලෙස මේ වන විට හොඳින්ම පැහැදිලි වී තිබේ. නාදන් පාපු නමැත්තියගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගෙන් ලැබුණු සාධක හා කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ ඝාතනවලදී හමුවූ සාධක සැසඳීමේදී ඝාතන සිදුවීම් 6කට මෙම පුද්ගලයා සම්බන්ධ බව පැහැදිලිවම තහවුරු වී තිබේ. එබැවින් මෙය දාම මිනිස් ඝාතනයක් බව පොලීසිය දැන් පවසයි.


දාම මිනිස් ඝාතන යන්න අර්ථදක්වා  ඇති ආකාරය සරලව මෙසේය.


දාම මිනිස් ඝාතනයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඝාතන තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක් පුද්ගයකු විසින් සිදුකරනු ලැබීමය. මේ සඳහා අසාමාන්‍ය මනෝභාවයන් හේතු විය හැකිය. මෙවැනි මිනිස් ඝාතකයන් සාමාන්‍යයෙන් එක් ඝාතනයක් සිදුකිරීමෙන් අනතුරුව පෙර සිදුවීම පිළිබඳ සමාජයේ ඇතිවු කතා බහ අඩුවන තුරු පැහැදිලි නිහඬතාවයක් පෙන්නුම් කරයි. මෙය සන්සුන්වීමේ කාලපරිච්ඡේදයයනුවෙන් හඳුන්වනු ලබයි. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී ඝාතන දෙකක් හෝ එයට වැඩි සංඛ්‍යාවක් එක් පුද්ගලයක විසින් සිදුකරනු ලැබීම ද දාම ඝාතන ලෙස නිර්වචනය වූ අවස්ථා තිබේ. මෙවැනි ඝාතන බොහෝ විට සිදුකරනු ලබන්නේ සාමුහිකව නොව තනි පුද්ගලයකු විසිනි. නමුත් සාමූහිකව දාම ඝාතන සිදුකෙරුණු අවස්ථා නොමැති බව එයින් පැවසෙන්නේ නැත. මෙවැනි ඝාතන සිදුකිරීම සඳහා යම් පුද්ගලයකුට අරමුණු බොහෝ තිබිය හැකිය. කෝපය, සතුට, ආර්ථික ප්‍රතිලාභ හා් සමාජ අවධානය ලබාගැනීම වැනි කරුණු මෙයට මුල් විය හැකිය. එමෙන්ම මෙම දාම ඝාතනවල දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගොදුරුවන්නන් තුළ පවත්නා සමානත්වයයි. එනම් මෙහිදී ඝාතනය වන්නේ එකම වයස් කාණ්ඩයකය, එකම ලිංගිකත්වයකට, එකම ජනවර්ගයකට, එකම වෘත්තියකට සම්බන්ධ අය ආදී වශයෙනි.


කොටකෙතන සිදුවීමේදී පැහැදිලිවම දැකිය හැකි ස්වභාවය වන්නේ මැදිවයස ඉක්මවූ වැඩිහිටි කාන්තාවන් ඝාතනය වීමය. මෙය වෙනස් වන්නේ එක් අවස්ථාවක මවක සහ ඇගේ දියණිය ඝාතනය වීමේ සිදුවීමේදී පමණි. දාම මිනිස් ඝාතන පිළිබඳ නිර්චවනය මෙයට සමාන ආකාරයෙන් අපරාධ මනෝ විද්‍යාවේ සහ අපරාධ විද්‍යාවේ සඳහන් කොට තිබුණ ද අපේ පොලිස් දෙපාර්තමේන්තුව එය එසේ යැයි හඳුනාගත් බවක් පෙනේනට තිබුණේ නැත. ඝාතන සිදුවීමක් පිළිබඳ කෙරෙන පොලිස් පරීක්ෂණවලදී මළ සිරුරේ සහ ස්ථානීය සාධක රැස්කරනු ලබයි. එහිදී ඝාතකයා එක්වර හඳුනාගත නොහැකි වුවත් මෙවැනි ඝාතන කිහිපයක් සිදුවන විට ඝාතකයාගේ ස්වභාවය හඳුනාගැනීමට බලධාරීන්ට හැකියාව ලැබේ. ඔවුන් අපරාධකරුව ලුහුබැඳයන්නේ එම හෝඩුවාවන් ඔස්සේය. මේ සඳහා වර්තමානයේ නම් නවීන තාක්ෂණයේ පිහිට ද ඉවහල් කරගත හැකිය.


කොටකෙතන ඝාතන සිදුවීම ඝාතන රැල්ලක්ලෙස මාධ්‍ය විසින් පවා හඳුන්වා තිබුණි. කෙසේ වෙතත්  ඝාතකයාගේ ඩීඑන්ඒ වාර්තා ලැබෙන තුරු පොලිස් දෙපාර්තමේන්තුව සිදුකොට තිබුණේ අවුරුදු උත්සවයක අලියාට ඇස තබන්නකුගේ භූමිකාව පමණක් බැව් පැහැදිලිය. අලියාට ඇස තැබීමේදී අහම්බෙන් වාසනාවට නිවැරදි මාර්ගයේ ගමන් කළ හොත් අලියාගේ ඇස හෝ ඇසට ආසන්නයෙන් හුණුකූරෙන් සළකුණු කළ හැකිය. කෙසේ නමුත් අවාසනාවකට ගමන් කරන මාර්ගය වැරදී ගියහොත් සිදුවන්නේ අලියාගේ පශ්චාත් භාගයේ හුණුකූරෙන් සළකුණු කිරීමටය. පොලිස් දෙපාර්තමේන්තුව අලියාගේ පශ්චාත් භාගයේ හුණු කූරෙන් සළකුණු කළ අවස්ථාවක් ද මෑකතදී සිදුවිය. ඒ කොටදෙනියාව පොලීසිය මඟින් සඳසේයා දැරියගේ ඝාතන සිදුවීමේදීය. කොටදෙනියාව පොලීසිය මෙහිදී ජනතාව අතර අප්‍රසාදයට පමණක් නොව අවඥාවට ද ලක් විය. සමාජජාල වෙබ් අඩවිවල කොටදෙනියාව පොලීසිය අවඥාවට ලක්කොට තිබූ අයුරු එහි පොලිස් නිලධාරීන් දුටුවේ නම් ඔවුන් සේවයෙන් අස්වී යනු නිසැකය. (ඒවා දකින්නට නැති බව සිතේ. හේතුව එවැනි හේතුවක් නිසා පොලිස් නිලධාරියකු සේවය හැර ගිය බවට පුවත් අසන්නට නොලැබුණු බැවිනි.)


මේ ආකාරයට පොලීසිය අන්ධයන් මෙන් කටයුතු කිරීමේ අනිටුපල විඳින්නට සිදුවන්නේ අහිංසකයන්ටය. මෙහිදී කිසිදු පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිව අත්අඩංගුවට පත්වන පුද්ගලයන් පොලිසීයේ වදහිංසාවලට ලක්වන අතර සමාජය ඉදිරියේදී ගැරහුම් ද ලබයි. මෙම නිවැරදිකරුවන්ට අහිමිවන ආත්ම ගෞරවය නැවත උපයාගන්නට ඔවුනට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එහිදී ඔවුන්ගේ ජීවිත සහමුළින්ම විනාශවී යා හැකිය. ඇතැමුන් සමාජයට මුහුණ දී ගත නොහැකිව සියදිවි පවා නසා ගත හැකිය. කොටදෙනියාවේ පාසල් දරුවා අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු ෆේස්බුක් සමාජජාලය ඔස්සේ සඳසේයා දැරිය පිළිබඳ යම් විස්තරයක් පළකොට තිබීමත්, ඔහුගේ පරිගණකයේ අසැබි වීඩියෝ දර්ශන තිබීමත් යන කරුණු නිසාය. ඇතැම් හින්දි සිනමාපටවල පොලීසියේ අඥානබව පෙන්වා හාස්‍ය දර්ශනයක් නිර්මාණයකිරීම සඳහා මෙවැනි සිදුවීම් ඇතුළත්කොට තිබෙනු දැකිය හැකිය. කොටකෙතන ඝාතන රැල්ලේ එක් සිදුවීමක් වන පුතකු විසින් මවක මරාදැමීමේ සිදුවීම ද මේ වන විට නාදන් පාපු කාන්තාවගේ ඝාතකයා වෙතට බැරවෙමින් පවතින බැව් දැනගන්නට ලැබී තිබේ. අදාළ ඝාතනයට අත්අඩංගුවට පත් පුත්‍රයා වරද පිළිගෙන ඇත්තේ පොලීසිය විසින් සිදුකරන ලද බලපෑම්වලින් නිදහස්වීමට යැයි පැවසේ. කෙසේ නමුත් එය එසේම යැයි තවමත් තහවුරු නැත. මේවායෙන් පැහැදිලි වන්නේ පොලීසියේ ඇති අදක්ෂභාවය මිස අන් කිසිවක් නොවේ.


පොලිසිය මෙවැනි ඉරණමකට ඇදවැටී ඇත්තේ ඔවුන්ගේ බුද්ධි අංශයේ ඇති අකාර්යක්ෂමතාවය හේතුවෙනි. කාලයත් සමඟ වැළලී ගිය ඇතැම් අපරාධ සිදුවීම ශ්‍රී ලංකා පොලීසියේ දක්ෂ නිලධාරීන්ගේ කැපවීම මත අනාවරණය කරගත් සිදුවීම් කලකට පෙර අසන්නට ලැබුණත් වර්තමානයේ අසන්නට ලැබෙන්නේ දක්ෂකම් නොව ඇණගැනීම්ය. මෙම අදක්ෂභාවයන් වසා ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයන් විසින් මාධ්‍ය ඔස්සේ පවසන ඇතැම් කරුණුවලින් ඒවා තව තවත් තහවුරු වන බව ද පෙනේ. යතුරුපැදිකරුවකුගේ පපු ප්‍රදේශයට කළ වෙඩි තැබීමක් පිළිබඳ එක් අවස්ථාවක මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ යතුරුපැදිකරුවා පොලිසි නිලධාරීන් යටකොට පළායාමේදී පිටුපසින් සිට කරන ලද වෙඩිතැබීමක් ලෙසය. පිටුපසින් තැබූ වෙඩි පහර පපුවට වැදුනේ කෙසේදැයි මාධ්‍යකරුවන් විසින් අසද්දී මාධ්‍ය ප්‍රකාශක අන්දුන්කුන්දුන් විය.


සැබවින්ම පොලිසීයට මෙවැනි ඉරණමක් අත්වන්නට හේතුව ඔවුන් අප රටට ගැළපෙන ආකාරයට අපරාධ මනෝ විද්‍යාව සහ අපරාධ විද්‍යාව හැඩගස්වා නොගැනීමය. කලකට පෙර සිටි ඇතැම් පොලිස් පරීක්ෂකවරුන් තමාගේ ක්‍රමවේද ඔස්සේ අපරාධකරුවන් ලුහුබැඳගොස් අල්ලා ගත්ත ද පසුකාලයේ බටහිර රටවලින් අපරාධ විද්‍යාව පිළිබඳ හදාරා පැමිණි ඇතැම් උගතුන් එම රටවලට ගැළපෙන අච්චුවඅප රටට ඒ අයුරින්ම ආදේශ කරන්නට යාමෙන් පොලිසියට මම තත්වය අත්වී තිබෙන බැව් පෙනේ. තවත් කරුණක් ලෙස පොලීසිය දේශපාලනයට යටවීමය.


පොලීසිය පිළිබඳ මෑතකදී අසන්නට ලැබුණු තවත් අපවාදයක් වූයේ එහි සිටින්නේ අටවත් සමත් නැති පිරිසක්බවය. උපාධිධාරීන් විසින් සිදුකරනු ලබන උද්ඝෝෂණවලට පොලිසි නිලධාරීන් පැමිණ බැටන් පොලු පහර එල්ල කරද්දී උපාධාධාරීන් විසින් කරන ලද ප්‍රකාශ මෙයට හේතුවන්නට විය හැකිය. සැබවින්ම මෙම අට සමත් නොමැතිකරුණ අදාළවන්නේ කොස්තාපල්වරුන්ට පමණක් වුව ද එය පොලිස්පති දක්වාම ආදේශ වූ බව නම් පසුගිය සමයේ දකින්නට ලැබිණි. කෙසේ නමුත් අපරාධ කාර්යක්ෂම ලෙස අනාවරණය කරගැනීමේ නොහැකියාවට හේතුව අට සමත්  නොවීමේ කරුණක් නිසා නොවේ. අපරාධ විද්‍යාව පිළිබඳ අප රටට ගැළපෙන ක්‍රමවේදයක් සොයා නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූවකි. අප අසල්වැසි ඉන්දියවේ පොලීසිය  පිළිබඳව ද ප්‍රසාදයකින් කතා බහ කළ නොහැකි වුව ද ඔවුන් තමාට ගැළපෙන පරිදි අපරාධ විද්‍යාව පිළිබඳ බටහිර දැනුම හැඩගස්වාගෙන තිබේ. අප රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් බටහිරයන්ට වඩා සමීප වන්නේ ඉන්දියානුවන්ටය. එය පැහැදිලි කිරීමට විශේෂ කරුණු ගෙනහැර දැක්විය යුතු නොවේ. එබැවින් ඔවුන්ගේ මොඩලයක්ගෙන එය අපට ගැළපෙන ආකාරයට තවත් හැඩගස්වා ගන්නට උත්සාහ කරන්නේ නම් අනාගතයේ අපරාධ සිදුවීම් වඩාත් පහසුවෙන් විසඳාගත හැකිවනු ඇත. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ අහිංසකයන් නිරපරාදේ අපරාදකරුවන් ලෙස හංවඩු ගැසී ඔවුන්ගේ ජීවිත විනාශවී යාමත් පොලිසීය හින්දි සිනමාපටවල මෙන් සමාජය ඉදිරියේ විහිළු සපයන්නන් බවට පත්වීමත් පමණකි.




Saturday, December 12, 2015

අලුත් ලෝකයට අලුත් ගැජට් 1 කොටස - New Gadgets for New World Part 1

අපේ ජීවිත වඩාත් සුවපහසු කරගන්නට අලුත් අලුත් උපකරණ පුදුමාකාර වේගයකින් නිර්මාණය වෙනවා. නිෂ්පාදනය වෙනවා. කෙටිකාලීනව මේවායින් ජීවිතය සැපවත් වුණත් දිගු කාලීනව නම් සෞඛ්‍යය සම්බන්ධව විවිධ ගැටලු මතුවෙන්නටත් පුළුවන්. විශේෂයෙන් ව්‍යයාම ආදි නොමැතිවීම, මෙම උපකරණවල ඉලෙක්ට්‍රෝනික ක්‍රියාකාරීත්වයන් ආදිය අපගේ සෞඛ්‍යයට බලපෑ හැකියි. කෙසේ නමුත් අන්තර්ජාලයේදී විටින් විට හමුවන, මගේ හිත ගිය එවැනි උපකරණ කොටස් වශයෙන් බ්ලොගයට දමන්නට හිතුණා. ඒ හිතීමේ පළමු අවස්ථාව තමයි මේ. 
අලුත්ම දුරස්ථ පාලකය




වර්තමානයේ නිවසේ ඇති බොහෝ උපාංග පාලනය වන්නේ දුරස්ථ පාලකයකින්. ඒවා අපගේ සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත් අපව ව්‍යායාමවලින් වළකාලන නිසා භාවිතය හැකි තරම් අඩු කරන්න යැයි සඳහන් කළත්, මෙවැනි උපාංග නිෂ්පාදනය වීම නවතින්නේ නැහැ. කෙසේ නමුත් මේ කියන්න යන්නේ අලුත්ම ආකාරයේ දුරස්ථ පාලකයක් ගැනයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබගේ ඇපල් ජංගම දුරකතනයට සවි කොට ක්‍රියාත්මක කළ හැකි වීමයි. ඒ වගේම මෙය ඕනෑම උපාංගයක් පාලනය කිරීම සඳහා යොදාගත හැකි යුනිවර්සල්වර්ගයේ දුරස්ථ පාලකයක්. මෙම උපාංගය වෙනුවෙන් නිර්මාණය කළ ඇපල් දුරකතන ඇප්එකක් ඇති අතර මෙය ජංගම දුරකතනයේ ඩොක්කොටස හෙවත් ආරෝපණය, දත්ත කේබලය ආදිය සවිකරන ස්ථානයට සවිකළ විට මෙම ඇප්එක ක්‍රියාත්මක වෙනවා. මේ උපාංගයේ සාමාන්‍ය දුරස්ථ පාලකයක මෙන් අධෝරක්තකිරණ විහිදුවන බල්බයක් තිබෙනවා. අප සාමාන්‍යයෙන් වෙළෙඳ පලෙන් යුනිවර්සල් වර්ගයේ දුරස්ථ පාලකයක් මිලට ගත්තොත් එක් එක් උපාංගයේ හැටියට විවිධ අංක යොදා එය අදාළ උපකරණයට ගැළපෙන පරිදි සකස් කරගත යුතු වෙනවා. නමුත් මෙහිදී දුරකතනයේ ඇති ඇප් එක මගින් ඔබ පාලනය කරන්නට බලාපොරොත්තුවන උපාංගය හඳුනාගෙන එයට අවශ්‍ය කරන හැඩගැසීම සිදුකරගන්නවා. දැනට මෙය ඇමසන් අන්තර්ජාල පොලෙන් ඇමරිකානු ඩොලර් 41කට (රු. 5900) මිලට ගන්නට පුළුවන්.  



අලුත්ම යූඑස්බී චාර්ජර් එකක් 



වර්තමානයේ අප පරිහරණය කරන බොහෝ උපාංගවලට බලය ලබාදෙන්නට, ආරෝපණය කරන්නට භාවිත කරන එකම උපාංගය තමයි යූඑස්බී’ (USB - Universal Serial Bus) කියන්නේ. සෑම පරිගණකයකම යූඑස්බී භාවිත කළ හැකි කෙවෙනි හෙවත් පෝර්ට්කිහිපයක්ම තියෙනවා. ඒත් ඔබගේ ජංගම දුරකතනය, ටැබ්ලට් එක, පවර්බෑන්ක් එක, එම්පීත්‍රී ප්ලේයර් එක ආදිය වෙනත් විදුලි උපාංග මෙන් බිත්තියේ ඇති ප්ලග් එකට සම්බන්ධ කරලා ආරෝපණය කරගන්නට හැකියාව තිබුණා නම් හොඳයි කියා සිතුණ අවස්ථා ඇති. ලෝකයේ තවත් අයට එහෙම හිතෙන්න ඇති නිසා මෙන්න මේ වගේ අලුත්ම අපාංගයක් දැන් වෙළෙඳපළට ඇවිත් තිබෙනවා. එය නමින් ෆාස්ට්මැක් යූ සොකට්‛. ඔබේ නිවසේ ප්ලග් පොයින්ට සවිකරගන්න ආකාරයටම විදුලි බලය ලබාදීලා මෙය බිත්තියේ සවිකරගන්න එක විතරයි තියෙන්නේ. එහි සාමාන්‍ය ප්ලග් කෙවෙනි වගේම යූඑස්බී දෙකක් භාවිත කළ හැකි ආකාරයේ කෙවෙනි දෙකක් ද තියෙනවා. ඒ වගේම ඔබේ උපාංගය ආරෝපණය වුණාට පසු ස්වයංක්‍රියවම විදුලිබලය ඇණ හිටුවන්නට පහසුකම් ද මේ ප්ලග් පොයින්ට් උපාංගයේ තිබෙනවා. දැනට මෙය ඇමරිකානු ඩොලර් 25කට (රු. 3500කට පමණ) මිලට ගන්න පුළුවන්. 



ඕන ඇණයක් ගළවන්න අඬුවක් 


ගෙදරදි ඇණ, මුරිච්චි ගළවන්න ගියාම ඒවායේ ප්‍රමාණයට ගැළපෙන ඉස්කුරුප්පු නියන්, අඬු, යතුරු වගේ දේවල් හොයාගන්න ඕන. සමහර වෙලාවට මේ මොනවත්ම හරියන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒ වගේම කවුරු හරි කාර්මිකයෙක් වගේ කෙනෙකුට නම් මේවා තවත් තැනකට අරන් යන්න ගියාම ආයුධ පෙට්ටියක්ම අරන් යන්න වෙනවා. මේ බොහෝ කරදරවලට විසඳුමක් විදිහට දැන් අලුත්ම උපාංගයක් වෙළෙඳපලට ඇවිත් තියෙනවා. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ අමුතුම තාක්ෂණයකටයි. විවිධ ඇණ, මුරිච්චිවලට ගැළපෙන විදිහට මෙහි වෙන වෙනම සිදුරු නැහැ. මෙහි ඇත්තේ ඉතා තද පීඩනයක් යටතේ අසුරන ලද වානේ කම්බි මිටියක්. ඔබට ගළවන්න අවශ්‍ය කරන ඇණය, මුරිච්චියේ හිසට මෙය තද කළ පමණින් එහි හැඩයට මේ වානේ කම්බි සීරු මාරු වෙනවා. ඉන් පසුව එය පහසුවෙන්ම ගළවන්නට පුළුවන්. විදුලි බලයක් අවශ්‍ය නැහැ. සාක්කුවේ දමාගෙන යන්න තරම් හුරුබුහුටි විදිහට නිමවා තිබෙනවා. ඒ වගේම ඇණ සවි කරණ යන්ත්‍රවලට ද මෙය පහසුවෙන් සවිකරන්න පුළුවන්. දැනට මිල ඇමරිකානු ඩොලර් 9.89ක් (රු.1418ක්) පමණ වෙනවා  






කාර් එකේදීම ලැප්ටොප් චාර්ජ් කරගනිමු 



ජංගම දුරකතනයක් ආරෝපණය කරගන්නට පුළුවන් වුණත්, ඔබගේ මෝටර් රථය තුළ ලැප්ටොප් එකක් ආරෝපණය කරගන්නට ඇති හැකියව අඩුයි. ඇතැම් විට අලුත්ම මෝටර් රථවල තියෙනවා වෙන්න පුළුවන්. මෙ අඩුපාඩුව සපුරාලගන්නට පවර් කප්නමින් අලුත් ගැජට් එකක් නිෂ්පාදනය කොට තිබෙනවා. මෙය කෝප්පයක් හැඩයෙන් යුක්ත නිසාත්, මෝටර් රථයේ කෝප්පයක් තබන්නට සකස්කොට ඇති ඉඩකඩට සරිලන අයුරින් යුක්ත නිසාත් මෙයට මේ නම යෙදී තිබෙනවා. මෙය මෝටර් රථයේ දුම්වැටි ලයිටරය සවිකරන ස්ථානයට සම්බන්ධ කළ විට පවර් කප් එක ඔස්සේ නිවසේදී මෙන් වෝල්ට් 230ක් හෝ 110ක් (නොයෙක් රටවල භාවිතවන විදුලි වෝල්ටීයතාවය අනුව මෙය වෙනස් වෙනවා) ලබාගන්නට පුළුවන්. මේ ඔස්සේ සාමන්‍ය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ බොහොමයක් ප්‍රයෝජනයට ගනන්න පුළුවන්. දැනට මිල ඇමරිකානු ඩොලර් 89 (රු. 12,740ක් පමණ) වෙනවා.  


නැතිවුණු යතුරු හොයාගන්න හෝන් 



යතුරු කියන්නේ අපට ඕන වෙලාවටම පෙනෙන්නේ නැති භාණ්ඩ වර්ගයක් කිව්වවොත් ඒකේ වරදක් නැහැ. විශේෂයෙන් වාහනයක යතුරක් එහෙම නැතිවුණොත් ඒ ගැන කියන්න වචන නැහැ. මෙන්න මේ ගැටලුවට විසදුමක් විදිහට තමයි හෝන්කියන ගැජට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක් ඇපල් අයිෆෝන්වලට විතරයි දැනට මිලදී ගන්න තියෙන්නේ. දැනට ඇමරිකන් ඩොලර් 49ක් (රු. 7,000)ක් පමණ වන මේ ගැජට් එක ඔබේ යතුරේ කීටැග් එක විදිහට එල්ලා පුංචි සැකසීම ටිකක් කරන්න ඕන ඔබේ දුරකතනයේ. බ්ලූටූත්වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. යතුර සොයාගන්න අවශ්‍ය වූ විට ඔබේ අයිෆෝනයේ මේ ගැජට්ටුවට අදාළ ඇප්ලිකේෂන් එකේ ෆයින්ඩ්’ (Find) කියන තැන ටච් කරන්නයි තියෙන්නේ. එවිට මේ ගැජට්ටුවෙන් ආලෝකයක් විහිදෙනවා වගේම හඬකුත් නැගෙනවා.  


සුවඳ හමන බල්බ් එකක් 





නිවස සුවඳවත්ව තබාගන්න කවුරුත් කැමතියි. මේ සඳහා විවිධ අය විවිධ දේ කරනවා. එයාර්ෆ්‍රෙෂ්නර්, සුවඳ දුම්, හඳුන්කූරු වගේ දේවල් මේ අතරින් සුවිශේෂයි. නමුත් නව තාක්ෂණයත් එක්ක දැන් නිවස සුවඳවත් කරන්න වඩාත් පහසු ක්‍රම හඳුන්වා දී තිබෙනවා. මේ සුවඳ හමන බල්බය කියන්නේ ඒ වගේ එකක්. ඇවොක්ස් කියන සමාගම මගින් නිෂ්පාදනය කොට ඇති මෙය එල්.ඊ.ඩී. බල්බයකින් යුක්තයි. මෙහි විශේෂත්වය වන්නේ මේ සමඟ ඇති කාට්‍රිජයට සුවඳ හමන තෙල් වර්ගයක් දැමීමට හැකියාව තිබීමයි. මේ සඳහා විශේෂයෙන් නිපදවූ තෙල් වර්ග පවතිනවා. ඒ වගේම මේ බල්බය අප කැමති වර්ණයකින් දල්වන්නටත් පුළුවන්. මෙයට හේතුව මෙම බල්බයට මිලියන 16කටත් වඩා වැඩි වර්ණ පෙන්වීමේ හැකියාව තිබෙන නිසයි. ඒ වගේම අප කැමති වේගයකින් මේ සුවඳ හමන තෙල් දවාලන්නට පුළුවන්. මෙයට බ්ලූටූත් සම්බන්ධතාවය ඇති නිසා ඔබගේ ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය මගින් සුවඳ හැමීමේ වේගය හා බල්බයේ වර්ණය පාලනය කරන්නටත් පුළුවන්. 







විනිවිද පෙනෙන රූපවාහිනිය 




රූපවාහිනිය කියන්නේ අපේ ජීවිතවලට ඉතාමත් සමීප ඉලෙක්ට්‍රොනික් උපකරණයක්. ඒ වගේම රූපවාහිනිය සොයා ගත් දිනයේ සිටම විවිධ අත්හදා බැලීම් කරමින් නව උපාංග එයට එක් කරන්නටත් විවිධ පර්යේෂකයන් උනන්දු වුණා. මුල් කාලේ විශාල ඉඩකඩක් වගේම සැළකිය යුතු තරම් විදුලියක් වැය වූ රූපවාහිනිය අද වන විට කුඩා ඉඩක, අඩු විදුලියකින් ක්‍රියාත්මක කරන්නට හැකි ආකාරයට සකස්කොට තිබෙනවා. නමුත් නිෂ්පාදකයන් එයින් ද නතර වන්නේ නැහැ. ඔවුන්ගේ නවතම නිෂ්පාදනයක් තමයි විනිවිද පෙනෙන රූපවාහිනියමෙය සැළසුම් කරන ලද්දේ ජර්මානු රූපවාහිනි යන්ත්‍ර නිෂ්පාදන සමාගමක් වු ලිවේවෙනුවෙන් මයිකල් ෆ්‍රීබි විසින්. මෙය එල්.සී.ඩී. සහ TOLED තාක්ෂණය උපයෝගී කරගනිමින් විනිවිද පෙනෙන ආකාරයෙන් නිර්මාණය කොට තිබෙනවා. TOLED යනු transparent organic light-emitting device යන්නයි. එහි සිංහල තේරුම පාරදෘශ්‍ය කාබනික ආලෝක විමෝචන උපක්‍රමයයන්නයි. සරලව පැවසුවහොත් අප අද දකින් එල්.ඊ.ඩී. රූපවාහිනි විනිවිද පෙනෙන සේ සකස් කරන ලද්දක්. මෙය යම් තැනක තැබූ විට එතැන රූපවාහිනියක් හෝ වෙන යම් දෙයක් තිබේ දැයි බැලූ බැලුමට පෙනෙන්නේ නැහැ. හොඳින් බැලූ විට පෙනෙන්නේ ද වීදුරු තහඩුවක් වැනි දෙයක් පමණයි. වීදුරු තහඩුවක් හරහා එයට පසුපස ඇති දෙය දිස්වෙනවා සේ මෙයින් ද පිටුපස ඇති සියලු දේ දිස් වෙනවා. ක්‍රියාත්මක කළ විට එය රූපවාහිනියක් සේ ක්‍රියාත්මක වනවා.  



අලුත් විදිහේ රාත්‍රී විදුලි පහනක් 




නිදා ගන්නා විට ඇතැම් අය රාත්‍රි විදුලි පහනක් දල්වාගෙන නිදාගන්නට පුරුදුව සිටියත් ඇතැම් අය එයට කැමති නැහැ. නමුත් හදිසියේ කුමක් හෝ හේතුවකට රාත්‍රියේ අවදි වී නිවසේ වෙනත් තැනකට යන්නට අවශ්‍ය වුණොත්, අතේ විදුලි පන්දමකුත් නැත්නම්, විදුලි පහනක් සහිත ජංගමද දුරකතනයක් ද නැත්නම් ටිකක් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන් කුඩා දරුවකුට නාන කාමරයට යන්න සිදුවුණොත් මේ තත්වය වැඩිපුර බලපානව. මොකද ඔවුන් ළඟ විදුලි පහනක්වත්, ජංගම දුරකතනයක්වත් නැහැ. මේ ගැටලුවට විසඳුමක් ලෙස අලුත් විදියේ රාත්‍රී විදුලි පහනක් නිෂ්පාදනය කරන්නට සොලිඩැඩ් ක්ලාවෙල් සහ මාර්කෝස් මාඩියා යන දෙදෙනා සමත් වී තිබෙනවා. මෙය නිදා සිටින ඇඳ අසල සිට විදුලි ස්වීචය දක්වා පටියක් ලෙස සවි කරගත හැකියි. ඔබ ඇඳෙන් නැගිටීමෙන් පසු මේ පටියට අත තැබූ පමණින් එය දැල්වෙනවා. ඔබ එය ස්පර්ශ කරන ස්ථානය අවට ආලෝකය දැල්වෙන සේ සකස් කොට තිබෙනවා. මෙය හඳුන්වා ඇත්තේ සෙන්සෝ ලයිට්නමින්.





Friday, December 11, 2015

ගල්ගසා මරාදැමීම හා දෙබිඩි සුද්දන්ගේ ඊනියා මානව හිමිකම්


අනාචාරයේ හැසිරුණු වරදට ශ්‍රී ලාංකික කාන්තාවකට ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවමක් සහ ඇය සමග එම ක්‍රියාව සිදු කළ අනෙක් ශ්‍රී ලාංකික පුරුෂයාට කස පහර 100ක දඬුවමක් ලබාදීමේ පුවතත් මේ වන විට නොදන්නා අයකු නොමැති තරම්ය. මෙම කාන්තාව මරණ දඬුවමින් නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට සවුදි රජය සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර අවසානයේ දෙසැම්බර් මස 3 වැනිදා ඇය වෙනුවෙන් වන්දියක් ගෙවීමේ අවස්ථාවක් ඇති ද යන්න පිළිබඳවත් සාකච්ඡා කළ බව වාර්තා වේ. ඇයව ගල්ගසා මරාදැමීමට එරෙහි වන්නැයි බලකරමින් අන්තර්ජාලය හරහා පෙත්සමක් ද සංසරණය වෙමින් පවතී. ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම් නිසා ඇගේ මරණ දඬුවම ලබාදෙන දිනය තවමත් නිශ්චිතව තීරණයක් නොමැතිව කල් දමා ඇති නමුත් කුමන අවස්ථාවක එය ක්‍රියාත්මක කරනු ඇතිදැයි කිව නොහැකිය. ඒ අතර ඇයගේ දඬුවම පිළිබඳ නැවත සළකා බැලීම සඳහා අභියාචනයක් ඉදිරිපත්කිරීමට දැන් සවුදි අධිකරණය අවස්ථාවක් සළසා තිබේ. ඒ සඳහා වැය කළ යුතු නීතිඥ ගාස්තුව පමණක් සවුදි රියාල් 10,000ක් (රු. 380,000ක් පමණ) වැය වන අතර එය ඇතුළු මේ සඳහා වැයවන සියලු වියදම් ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට මේවන විට තීරණය කොට තිබේ. ජාත්‍යන්තර පුවත් වාර්තා කරන පරිදි ශ්‍රී ලංකා රජය තවමත් මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සැළකිය යුතු තරමේ මැදිහත්වීමක් සිදු නොකර ඇති බැව් කියැවේ. කෙසේ නමුත් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුව හෝ  මෙම දඬුවම ළිහිල් කරගත හැකි වේද යන්න තවමත් උගහටය. සවුදි රජය හෝ අධිකරණ හෝ කිසිවකු මෙතෙක් ඒ පිළිබඳව පැහැදිලි අදහසක් මාධ්‍යයට අනාවරණය කොට නැත. 

මෙම ශ්‍රී ලාංකික කාන්තාවගේ අනන්‍යතාවය හෙළිවී නැති අතර ඇය 2014 වසරේ සිට රියාද්හි සේවය කරන විවාහක කාන්තාවකි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. මෙම වරදේ ඇගේ හවුල්කරු වන අනෙක් ශ්‍රී ලාංකිකයා අවිවාහකයෙකි. ඔවුන් අනාචාරයේ හැසිරීමේ වරදට නීතියේ රැහැනට හසුවූයේ පසුගිය අගෝස්තු මාසයේදීය. 

එකම වරද සිදු කළ ද දෙදෙනාට හිමිව ඇති දඬුවමේ ස්වභාවය අතිශයින් වෙනස්ය. 

සිය සැමියා රැවටීමේ වරදට මෙම කාන්තාව මරණයට පත්වන තුරු ගල්ගසා මරා දමන ලෙසත් ඇගේ පෙම්වතාට කස පහර සියයක් පමණක් ලබාදෙන ලෙසත් ෂාරියා අධිකරණයක් මගින් නියම කොට ඇත. එයට හේතුව කාන්තාව විවාහක වීමත්, අනෙක් වරදකරු අවිවාහක තැනැත්තකු වීමත්ය. 

සවුදි අරාබියේ සේවයට ගිය කාන්තාවක ලෙස ඇයට එහි මූලික නීති රීති පිළිබඳව දැනුවත් බවත් තිබෙන්නට ඇති බවත්, එසේ තිබියදී ඇය මෙවැනි වරදකට යොමු වූයේ නම් එරට නීතියට අනුව ඇයට දඬුවම් හිමිවිය යුතු බවට ඇතැමෙක් පවසති. කෙසේ නමුත් මැදපෙරදිග රටවලදී අරාබි ජාතිකයන් අතින් අතවර වන, මරණයට පත්වන  ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් එරට පවතින මෙම ෂාරියා නීතිය යුක්තිය ඉටු නොකරන්නේ මන්දැයි තවත් පිරිසක් ප්‍රශ්න කරති. ෂාරියා නීතියට අනුව ස්වාමියාට සිය වහලුන්ව ලිංගික සේවයේ යොදවා ගත හැකි බව ඇතැමෙක් පවසති. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සිය වහළියන් ලෙස සළකා ඔවුන්ව සිය ලිංගික වුවමනාවන් සඳහා යොදා ගත්ත ද එය ෂාරියා නීතියට පටහැනි නැති බව මේ අනුව පෙනෙන්නට තිබේ. වර්තමානයේ ලෝකයේ පවතින ශිෂ්ට සම්පන්න සමාජය තුළ සිය සේවකයන් වහලුන් සේ සැළකීමට තරම් මෙම නීති පද්ධතිය අමානුෂික හා පහත් බව මෙයින් පැහැදිලිය. කෙසේ නමුත් එරට පවතින් කුමන නීිතියක් වුව ද අපට එය විවේචනය කිරීමේ අයිතියක් ද නැත. වෙනත් රටක නීති පද්ධතියකට අපට කිසිසේත් බලපෑම් කළ නොහැකිය. විවාහක කාන්තාවක් අනාචාරයේ හැසිරීමේ වරදට මෙවැනි දඬුවමක් අත්වන බව මෙම කාන්තාව බොහෝ විට නොදැන සිටියා වන්නට ඉඩක් ද නැත. 

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෙසු රටවල පවත්නා නීතියට අනුව අනාචාරයේ හැසිරීම යනු පොලීසියෙන්  අත්අඩංගුවට ගත හැකි ආකාරයේ හෝ නඩුපැවරිය හැකි හෝ වරදක් නොවේ. සාදාචාරත්මකව එය වරදක් වුවද, නීතිය ඔස්සේ එයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත. මෙසේ අනාචාරයේ හැසිරුණු පුද්ගලයන් විවාහක නම් ඔවුනට එරෙහිව දික්කසාද නඩුවක් ගොනුකිරීමට  මෙම ක්‍රියාව නිසා අගතියට පත් පාර්ශ්වයන්ට මෙය නිමිත්තක් කරගත හැකිය. ඒ හැර මෙයට දඬුවමක් නීති පොතෙහි නැත. කෙසේ වෙතත් එය අපේ රටේ නීතියය. එය ෂාරියා නීතිය සමග සැසඳිය නොහැකිය. 

ෂාරියා හෙවත් ඉස්ලාමික නීතිය අනුගමනය කරන තෙල් නිෂ්පාදනය කරන රටක් වන සවුදි අරාබියේ පවතින මෙවැනි විවිධාකාරයේ අමානුෂික මරණ දඬුවම් පිළිබඳව ලෝකයේ බොහෝ මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව තිබේ. ශ්‍රී ලාංකික කාන්තාවට ලැබී ඇති දඬුවමේදී සිදුවන්නේ ඇය ඉණ හෝ පපුව දක්වා පොලොවේ වළලා අවට සිටින්නවුන් විසින් ඇයගේ හිසට ගල්වලින් ගසා මරණයට පත්කිරීමය. එහි ඇති භයංකරත්වය සහ වේදනාකාරී ස්වභාවය පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මෙම නීතිය ක්‍රියාත්මක වන සියලු මුස්ලිම් රටවල් මෙම දඬුවම ක්‍රියාත්මක වේ. 

2013 වසරේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වූ රිසානා නමැත්තිය, සිය ස්වාමියාගේ බිළිඳු දරුවා මරණයට පත්කිරීමේ වරදට හිස ගසාදැමීමේ මරණ දඬුවමට ලක් වූවාය. එවර ද ශ්‍රී ලංකා රජය මෙයට එරෙහිව බොහෝ ක්‍රියාමාර්ග ගත්ත ද සවුදි රජය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මරණ දඬුවම ක්‍රියාත්මක කළේය. ශ්‍රී ලංකාවේ සිය දහස් ගණන පිරිමින් සහ ගැහැනු රියැදුරන් හා ගෘහ සේවිකාවන් ලෙස මැදපරෙදිග රටවලට යන්නේ ෂාරියා නීතියේ මෙම මූලික කරුණු පිළිබඳව අවබෝධයෙන් නොවේ යැයි කිව නොහැකිය. මහ බැංකු වාර්තාවට අනුව 2014 වසර වන විට 279,952 දෙනෙක් මැදපෙරදිග රටවල සේවය සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ගේ ශ්‍රී ලංකා රජය වාර්ෂිකව ලබන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7ක ද ඉක්මවයි. එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 9%ක පමණ ප්‍රමාණයකි. මැදපෙරදිග වහල් සේවයේ යෙදෙමින් අප රටට එවන් මුදලක් උපයා දෙන පිරිස මෙවැනි කරදරවලට පැටලීම හැකිතාක් වැළැක්වීම සඳහා ඔවුන්ව මනා සේ දැනුවත් කරන වැඩසටහන් රජය මැදිහත්වීමෙන් ඉදිරියේදී තවත් වැඩි කළ යුතුය. 

දැනට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන එක් රටක් වන්නේ සවුදි අරාබියය. ඔවුනට මෙහි සාමාජිකත්වය ලබා නොදෙන්නැයි ලොව පුරා විවිධ උද්ඝෝෂණ පැන නැගුණ ද ඒවා තඹයකට හෝ මායිම් නොකොට එයට සාමාජිකත්වය ලබාදෙන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණය කළේය. මෙම තීරණය පිටුපස මහා බ්‍රිතාන්‍යය සිටින බවට විකිලීක්ස් වෙබ් අඩවිය විසින් අනාවරණය කොට තිබේ. වරදකරුවන්ගේ මානව හිමිකමක් හෝ තඹයකට සළකා නොබලන රටකට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාදෙන්නට මහා බ්‍රිතාන්‍යය කුමන්ත්‍රණය කරද්දී ශ්‍රී ලංකාව වැනි දුළිඳු රටවල මානව හිමිකම් පිළිබඳ මහා ඉහළින් කතා කරන්නට මොවුන් ඉදිරිපත්වීම ‛සුද්දන්ද’ ලජ්ජා විය යුතුය. 

දිළිඳු රටවලින් මැදපෙරදිග සේවයට පැමිණෙන බොහෝ සේවකයන් අතින් යම් වරදක් සිදුවූ විට ඔවුන් වෙනුවෙන් අරාබි බස දන්නා පරිවර්තකයන් යොදවන්නට එරට නීතිය කිසිවිටෙක ක්‍රියාකරන්නේ නැති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වාර්තා කරයි. බොහෝ විදේශිකයන් අරාබි බස යහමින් නොදන්නා බැවින් සිය නිර්දෝෂීභාවය අධිකරණයකදී පැහැදිලි කරදීමට මේ අනුව බොහෝ දෙනෙකු අපහොසත් වෙති. මේ නිසා බොහෝ දෙනෙකුට නිර්දෝෂ වන්නට ඇති අවස්ථාව ගිළිහී යයි. 

ලෝකයේ අතිශය අමානුෂික දඬුවම් ක්‍රම පළිපදින්නේ මෙම ෂාරියා නීතිය ක්‍රියාත්මකවන රටවල පමණි. අනෙක  ෂාරියා නීතිය ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් බහුතරයක් සිටින රටවල් 49ක් අතුරින් 6ක පමණි. ඉස්ලාම් ආගම සමඟ මෙම ෂාරියා නීති පද්ධතිය බැඳී තිබුණත් එහි දඬුවම්වල පවතින අශිෂ්ට සහ අමානුෂික බව මෙම සෙසු මුස්ලිම් රටවල් 43ම අවබෝධකොටගෙන සිටිනවා විය හැකිය. සිය නීති පද්ධති තුළට මෙවැනි අමානුෂික දඬුවම් ක්‍රම ඇතුළත්කොට තිබීමෙන් පැහැදිලි වන්නේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙක් වුව ද තවමත් ගෝත්‍රීකරණයෙන් මිදෙන්නට අවශ්‍යතාවයක් නොමැති බවය. 




Wednesday, December 9, 2015

සියදිවි නසා ගන්නා ලෙමින්ග් මීයෝ - Lemings, the Suiciding Rats




ස්කැන්ඩිනේවියාවේ වෙසෙන මූෂික වර්ගයට අයත් ලෙමින්ග් නම් සතුන් ගැන අතීතයේ සිටම වාර්තා වෙන්නේ අරුම පුදුම කතාවක්. කිලෝමීටර් සිය ගණනක් දුර සිට රංචු වශයෙන් පැමිණෙන මොවුහු ස්කැන්ඩිනේවියාවේ ගංගා ඉවුරු කර පැමිණෙන බවත් එහි මද වේලාවක් ගත කරන ඔවුහු මෙතෙක් සොයාගෙන නොමැති කුමක් හෝ හේතුවක් නිසා ගඟට පැන සිය දිවි නසා ගන්නා බවත් මිනිසුන් අතර ප්‍රවාදයක් පැතිරී තිබෙනවා. මෙම ප්‍රවාදයත් ඒ පිළිබඳ මිනිසුන් දක්වන ප්‍රතිචාරත් අතර සම්බන්ධය කොයි තරම්ද කියනවා නම් මෙය අළලා චිත්‍රපට, පොත්පත් සහ වීඩියෝ ක්‍රිඩාවන් ද බෙහොමයක් නිර්මාණය වී තිබෙනවා.



ලෙමින්ග් යනුවෙන් හැඳින්වෙන්නේ නොර්වේ හා ස්වීඩනයේ ආර්ක්ටික් තුන්ද්‍රා තෘණබිම්වල වෙසෙන මූෂික වර්ගයට අයිති කුඩා ශාක භක්ෂක සතුන් වර්ගයක්. මූෂිකයන්ගේම පෙනුම ඇති මොවුන් සතුව දිගු ලෝම හා කෙටි වලිගයක් දක්නට ගැබෙනවා. මොවුන්ගේ ගහණය ඉතා සීඝ්‍රව වර්ධනය වන මුත් වසර හතරකට වරක් එම ජනගහණය ඉතා සීඝ්‍රයෙන් පහළ බසිනවා.  මොවුන්ගේ බෝවීම ඉතා  සිදුවන්නේ ඉතා සීඝ්‍රයෙන්. එය කෙතරම් ද යත්  සත්ව විශේෂඥයින් මේ පිළිබඳ සඳහන් කරන්නේ පුපුරා යන තරම් අධික ගහණයක් ලෙසටයි. නමුත් එම වැඩිවන වසර හතරකට වරක් මොවුන් වදවී ගොස් ඇතැයි සිතෙන තරමටම ගහණයෙන් අඩුවී යනවා.



කැනේඩියානු ජීව විද්‍යාඥයකු වන ඩෙනිස් චිටි මෙම සතුන්ගේ අභිරහස සොයා ගන්නට දශක හයක් පුරා පර්යේෂණ පැවැත්වුවා. නමුත් මෙම කාලය ඇතුළත ලෙමින්ග් සතුන් ගංගාවලට පැන සියදිවි නසා ගන්නා බවට කිසිදු සාධකයක් සොයා ගන්නට හැකිවූයේ නැහැ. ඔහු සිය පර්යේෂණය අවසානයේ ඉදිරිපත් කළේ මෙවැනි නිගමනයක්. ඔහු පවසන්නේ සතුරන් වැඩිවීම, ආහාර සැපයීම අඩුවීම, සත්වගහණයේ ඉහළ පහළ යාම් ආදිය සිදුවනවා මිස සැබැවින්ම මේ සතුන් සියදිවි නසා ගන්නේ නැති බවයි. ඔහු පවසන පරිදි ජනගහණය ඉතා ඉහළ මට්ටමකට පත්වන විට හා ආහාර හිඟ තත්වට පත්වන විට ලෙමින්ග් මූෂිකයන් මෙම ප්‍රදේශයෙන් සංක්‍රමණය වන්නට පටන් ගන්නා පවයි. මෙම මූෂිකයන්ගේ ගමන අවසන් වන්නේ ගංඉවුරක් හමුවූ විටයි. මෙසේ ගංඉවුරට එක්රොක් වන ලෙමින්ග් මූෂිකයන් ජලයට පැන අනෙක් ඉවුරට පිහිනා යනවා. එසේ පිහිනා යන්නට යන්නට ඉදිරිපත් නොවන මූෂිකයන් ආහාර හිඟ කම නිසාම මිය යනවා.




ලෙමින්ග් සතුන්ගේ මෙම අපූරු කතන්දරය මිනිසුන් අතර අතිශය ජනප්‍රිය වන්නට තවත් හේතුවක් වූයේ 1958 දී වයිට් විල්ඩර්නස්” (White Wilderness) නමින් වෝල්ට් ඩිස්නි සමාගමෙන් ඉදිරිපත් කරන ලද චිත්‍රපටයයි.  මොවුන් සියදිවි නසා ගන්නා ආකාරය පෙන්වීම සඳහා ආනයනය කරන ලද ලෙමින්ග් සතුන් කිහිප දෙනෙකුව හිමෙන් ආවරණය කරන ලද මේසයක් හරහා දුවන්නට සලස්වා ගංගාවකට වැටෙන ආකාරයෙන් රූපගතකරනු ලැබුවා. මම සතුන්ගේ ඇති තවත් අපූරු ලක්ෂණයක් වන්නේ මොවුන් නිදා නොගැනීමයි. ඔවුන් පැය 24 පුරාම එකසේ ක්‍රියාකාරීයි.










Tuesday, December 1, 2015

චීන රටේ දෙපා නොමැති ‘බාස්කට් බෝල්‘ කෙල්ල - Basket Ball Girl in China


මේ ඉන්නේ කියාන් හොන්ග්යෑන්ග්. චීනයේ ජීවත්වන 18 හැවිරිදි තරුණියක්. ඇයත් ඔබ වගේම සාමාන්‍ය කෙනෙක් වගේ පෙනේවි. ඒත් ඇයගේ ජීවිතයේ අප බොහෝ දෙනෙක් නොදන්නා දුක්බර කතාවක් තියෙනවා. 

2000 වසරේදී සිදුවුණු දරුණු හදිසි අනතුරක් නිසා ඇයට ඇගේ පාද දෙකම අහිමි වුණා. එතකොට ඇයට යන්තම් අවුරුදු හතරක් විතරයි. ගිනිකොණ දිග චීනයේ ලුලියෑන්ග් කියන දුප්පත් ගමේ තමයි ඇය අම්මයි තාත්තයි එක්ක ජීවත් වුණේ. ආබාධිත වුණු ඇය වෙනුවෙන් වැඩි යමක් කරන්න මේ දුප්පත් අම්මටයි තාත්තටයි වත්කමක් තිබුණේ නැහැ. 



ඇයට ඇවිද ගන්න දෙපා තිබුණේ නැහැ. ඒත් ඇය ඒ ගැන මැසිවිලි නඟන්නටවත්, අඬන්න දොඩන්නවත් හිතුවේ නැහැ. තමන්ගේ ආබාධය ජයගන්න ඇය හිතට දිරිය ගත්තා. පැසිපන්දුවක් මැදින් දෙකට කපාගෙන තමන්ගේ සිරුරේ යටින් සවි කරගෙන ඇය ‛ඇවිදින්න’ පුරුදු වුණා. ඒත් ඇවිදින්න වුණේ දෑත්වලින්. ඒ නිසාම ඇය දෑත්වලට ලීවලින් හදාපු ‛සෙරෙප්පු’ දාගත්තා. ඇය පැසිපන්දු (බාස්කට් බෝල්) ක්‍රීඩා නොකළත් ගමේ අය ඇයව ‛බාස්ක්ට්බෝල් කෙල්ල’ කියන නමින් හඳුන්වන්න පටන් ගත්තා. නමුත් ඇය එය අවමානයකට හෝ ලජ්ජාවට කාරණයක් විදිහට කල්පනා කළේ නැහැ. 

ඇය පාසල් ගියා. ඇගේ තනියට ඩෙස්කුව යට අර පැසිපන්දුව හිටියා. මේ විදිහට ඇය පැසිපන්දු සෑහෙන ගණනක පිහිටෙන් ඇවිද්දා. 




චීන පත්තර, රූපවාහිනි සහ රේඩියෝ කියන විවිධ මාධ්‍ය වැඩි දවසක් යන්න කලින් මේ හිත හයිය කෙල්ලගේ ජීවිතේ දැක්කා. දැකලා නොදැක්කා සේ හිටියේ නැහැ. ඔවුන් ඇගේ මේ ‛බාස්කට්බෝල් ජීවිතය’ ගැන තමන්ගේ මාධ්‍යවලින් හඬක් නැඟුවා. එහි ප්‍රතිඵලයක් විදිහයට ඇයට 2007 වසරේදී චීන පුනරුත්ථාපන පර්යේෂණ ආයතනයෙන් කැඳවීමක් ලැබුණා. මේ ආයතනය චීනයේ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් වසර විස්සකටත් වඩා වැඩි කාලයක් තිස්සේ සේවය සලසනවා. ඇය එම ආයතනට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට කෘත්‍රිම පාද යුවලක් හම්බු වුණා. මුළින්ම ඇගේ සිරුරේ ප්‍රමාණයට සරිලන පාද යුවලක් ඇයට හිමි වුණත් වයසින් සහ සිරුරින් වැඩෙත්ම ඇයට වඩා ලොකු පාද යුවලක් ලැබුණා. 




ඇයට මේ පාද යුවල ලැබුණේ එක්වරම නෙවෙයි. ඒ වෙනුවෙන් ඇයට සෑහෙන කාලයක් මේ පර්යේෂණ ආයතනයේ රැඳෙන්නට සිදුවුණා. ඒ නිසාම ඇයට තමන්ගේ යහළු යෙහෙළියන් සමඟ පාසල් යන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඇය පාසල් අධ්‍යාපනය ගැන මැවූ සිහින අතහැරලා වෙනත් මාර්ගයක් තෝරාගන්නට තීරණය කළා. 

ඇය ආබාධිතයන් සඳහාම වෙන්වූ ප්‍රාදේශීය පිහිණුම් සමාජයක් හා එක් වුණා. චීනයේ එසේ බිහිවුණු පිහිණුම් සමාජවලින් මුල්වැන්න තමයි ඒ. 




මුළින්ම ඇයට ජලය එක්ක සෑහෙන අරගලයක් කරන්න වුණේ. හිතුව තරම් පහසුවෙන් ජලය ඇයට හීලෑ වුණේ නැහැ. 

පිහිනන එක ඉගෙන ගන්න අනෙක් අයට වැඩි කාලයක් මට වැය කරන්න සිද්ද වුණා. මට ජලය මත පාවෙන්න කිසිම ආධාරකයක් තිබුණේ නැහැ. මම කී වතාවක් නම් ගිළෙන්න ඇත්ද? වතුර පෙවෙන්න ඇත්ද?” 

ඇය වරෙක චීන මාධ්‍යයකට එසේ පවසා තිබුණා. 

නමුත් ඇය දිනකට පැය හතර බැගින් පුහුණු වුණා. ඇයගේ එකම සිහිනය වන්නේ ආබාධිතයන් වෙනුවෙන් පවත්වනු ලබන පැරාලිම්පික් තරගයට සහභාගී වී තම රට වෙනුවෙන් පදක්කමක් දිනාගෙන පැමිණීමයි. 

2013 වසරේදී ඇයට වඩාත් විශාල ප්‍රමාණයේ කෘත්‍රිම පාද යුවලක් හිමි වුණා. ඒ වන විට ඇය දහඅට හැවිරිදි තරුණියක්. 



කියාන් හොන්ග්යෑන්ග්, එසේත් නැත්නම් ‛බාස්කට්බෝල් කෙල්ල’ කියන්නේ දැන් චීනයේ සුප්‍රකට චරිතයක්. ඇයට කෘත්‍රිම දෙපා ලැබීමත්, ඒවා ඇයට හොඳින් ගැළපීමත් චීනයේ ජාතික ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ඇගේ කතාව සමාජ ජාල වෙබ් අඩවි හරහා වේගයෙන් පැතිරී ගියා. ලෝකයේ බොහෝ දෙනා ඇගේ කතාව ඇහුවා. බැලුවා. ඒ හැමෝගෙම නෙතට කඳුළක් ඉනුවා. 

ඇයගේ සාර්ථකත්වය චීනයේ ආබාධිතයන්ට වාසනාව රැගෙන ආවා. 




කලකට පෙර අපේ රටේ ආබාධිතයන් දිහා මිනිස්සු බැලුවේ අවමානයෙන් වගේ. ඔවුන් සිතුවේ මොවුන් යාචකයන් කියලයි. නමුත් දැන් මේ වගේ ආබාධිතයන් දිහා බලන ආකල්ප වෙනස් වෙලා. ආබාධිතයක් තමන්ගේ ජීවිතය ජයගන්න කොයි තරම් අරගලයක් කරනවද කියලා බොහෝ දෙනෙකුට වැටහිලා. මේක හොඳ ආරම්භයක්.” 

බීබීසී ප්‍රවෘත්තිය සේවය සඳහා මේ අදහස පළ කළේ අගේ පුහුණුකරු ලී කේ-කියෑන්ග්. 



අහිමි දේ ගැන බොහේ සෙයින් දුක්වෙමින් ජීවිතය ගැන කලකිරී සිය දිවි නසාගන්නන්නට ඇය මහත් ආදර්ශයක්. ඇයගේ ආදර්ශය අපගේ ජීවිතවලට එක්කරගනිමින් ඇයගේ ඔලිම්පික් සිහිනය ද සැබෑ වේවා කියා පතමු.