පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 2, 2014

පිරිමි වෙස්ගත් සුරූපිනියක ගැන කියැවෙන කොරියානු ටෙලි නාට්‍යය - අසලියා මල - Asalaiya Mala, New Korean Tele Drama



කොරියාවේ එක් කාලයක ගැහැණුන්ට අධ්‍යාපනය හදාරන්නත් රැකියා කරන්නත්  තහනම් කරලා තිබුණා. ඒත් කිම්  යූන් - හී ට මේ තහනමේ හිරවෙලා ඉන්න හිතුනේ නැහැ. එහෙම ඉන්න පුලුවන් වුණෙත් නැහැ. මොකද ඇගේ පවුලේ ආර්ථික ප්‍රශ්න බොහොමයි. ඇයට ඕන කළේ කොහොම හරි ඉගෙන ගෙන රැකියාවක් කරන්න. ඒ හින්දා ඇය පිරිමියෙකු වගේ වෙස් වළාගන්න තීරණය කරනවා. ඇගේ සහෝදරයා, කිම් යූන් - ෂික් මේ වැඩේට උදව් කරනවා. ඇය නොයෙක් විදියේ රැකියාවන් කරන්න පටන් ගන්නවා. මුලින්ම පොත් සාප්පුවක රැකියාවක් ඇයට ලැබෙනවා. මේ අතරේ ඇයට කොරියාවේ ඒ කාලයේ තිබුණු හොඳම අධ්‍යපන ආයතනය වුණු සුන්ග්ක්‍යුන්ක්වාන්වල රැකියාවක් කරන්න ලැබෙනවා. කලින් රැකියාවට වඩා මෙයින් ආදායමක් ලැබුණත් ඇයට කරන්න වුණේ නීති විරෝධී වැඩක්. ඒත් ඇයට මේක වැඩි කාලයක් කරන්න ලැබෙන්නේ නැහැ. මේ ආයතනයේ නිලධාරියකු වුණු ලී සුන් - ජූන්ට කිම් ගේ මේ නීති විරෝධි ක්‍රියාව හසුවෙනවා. ඒත් මේ නිලධාරියා යහපත් කෙනෙක්. ඔහුට ඉක්මණටම අවබෝධවෙනවා කිම් කියන්නේ හොඳ දක්ෂ කෙනෙක් කියලා. හැබැයි එයා දන්නේ නැහැ මේ ඉන්නේ තරුණියක් කියලා. ඇයට සරසවියට ඇතුළුවන්නට අවශ්‍ය සියලු පහසුකම් ඔහු ලබාදෙනවා. ඇය සරසවියට ඇතුළුවෙනවා. ඇයට පිරිමින් සමඟ නවාතැන් කුටිවලත් ඉන්න සිද්ධවෙනවා. ඒත් තමා තරුණියක් බව සඟවාගන්න ඇය කළ හැකි හැම දෙයක්ම කරනවා. මේ අතරේ ඇයගේ හදවතේ ලී සුන් - ජූන් ගැන ආදරයක් ඇතිවෙන්න පටන්ගන්නවා.

පාර්ක් මින් යංග් 

නම් ගම්වල පොඩි පොඩි වෙනස්කම් තිබුණත් ඔබ නිතර රූපවාහිනි නරඹන කෙනෙක් නම් මේ විස්තරය කියවගෙන යනකොට මොකක් ගැනද මේ කියන්නේ කියලා ඔබට අවබෝධ වේවි. ඒ තමයි මේ දවස්වල සිංහල දෙබස් සහිතව විකාශනයවන ජනප්‍රියතම කොරියානු ටෙලි නාට්‍යය. ඒ දුක දැදුරු කරන සෙනෙහසේ සඳවතියයන තේමාවත් සමඟ ඔබ හමුවේ දිගහැරෙන අසලියා මලටෙලි නාට්‍යයි. මෑත කාලයේ අපේ රටේ ජනප්‍රියතම කොරියානු ටෙලිනාට්‍ය විකාශනය කිරීම සම්බන්ධයෙන් නමක් දිනා සිටියේ ජාතික රූපවාහිනිය වුවත්, අසලියා මලවිකාශනය කරන්නේ ස්වාධීන රූපවාහිනියයි.

පාර්ක් යූ චුන් 

Sungkyunkwan Scandal නමින් ඉංග්‍රීසි බසින් කියැවෙන මෙම නාට්‍යය කොරියානු බසින් හැන්ගුල්නමින් හඳුන්වනු ලබනවා.  මෙය 2007 වසරේ කොරියාවේ වාර්තා තබමින් අළෙවි වුණු ජුන්ග් ඉයුන් - ග්වොල් ගේ The Lives of Sungkyunkwan Confucian Scholars නම් නවකතාව ඇසුරින් කිම් වොන් - සියුක් ගේ අධ්‍යක්ෂණයෙන් හා කිම් ටේ - හීගේ පිටපත් රචනයෙන් මෙය නිර්මාණය කොට තිබෙනවා. 2010 අගෝස්තු 30 වැනිදා සිට 2010 නොවැම්බර් 2 වැනිදා දක්වා වූ කාලය තුළ කොටස් 20කින් යුක්තව මෙය කොරියාවේ මුළින්ම විකාශනය කෙරුණා.
මෙහි ප්‍රධාන චරිත වන කිම්  යූන් - හී (අනවර්ථ නම ඩේ - මුල්) ලෙස පාර්ක් මින් - යංග්  ද, ලී සුන් - ජූන් ලෙස (අනවර්ථ නම් - ජා - රැන්ග් සහ වැනැග් සෝ බෑන්ග්) පාර්ක් යූචුන්  ද, මූන් ජෝ - ෂින් ලෙස යූ  ආහ් -ඉන් ද, ගු යොන්ග් - හා ලෙස සෝන්ග් ජූන්ග් - කි රංගනයේ යෙදෙනවා.

යූ ආහ් - ඉන් 

ස්වාධීන රූපවාහිනි සේවය හඬකැවීමේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව මේ වසරේ, එනම් 2014 ජනවාරි 25 වැනිදා මෙහි විකාශන කටයුතු පටන්ගත්තා. සෑම සතියකම සෙනසුරාදා හා ඉරිදා හවස 6 ට මෙය විකාශනය කෙරෙනවා. පැයක ධාවන කාලයක් සහිතව කොටස් 32කින් සමන්විත වන සේ මෙය අපේ රටේ විකාශනය කරන්නට කටයුතු යොදා ඇති බැව් අසලියා මල ටෙලිනාට්‍යයේ හඬකැවීම ඇතුළු සියලු කටයුතු භාර ප්‍රාන් වාකිෂ්ට මහතා පවසනවා. ලාල් සරත් කුමාර, ගීතානන්ද අබේසුන්දර, ප්‍රසන්න ෆොන්සේකා වැනි ප්‍රවීන ශිල්පීන් මෙහි හඬකැවම සඳහා දායක වන අතර ප්‍රධාන චරිත බොහොමයක් සඳහා නවක ශිල්පීන් යොදාගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන්කොට සිටියා.

සෝන්ග් ජුන්ග් කි

කොරියාව හා ශ්‍රී ලංකාව හැරුණු විට මෙම ටෙලි නාට්‍යය මේවන විට ජපානය, පිලිපීනය, මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවලත් ඉතා සාර්ථක ලෙස විකාශනය කොට තිබෙනවා. කොරියාවේ තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ මෙම ටෙලිනාට්‍යයේ පසුබිම් සංගීත නාද සහිත සීඩී තැටි, මෙය විකාශනය වීමෙන් ගත වූ මුල් සති දෙක තුළ පමණක් 110,000ක් පමණ අළෙවි වී තිබෙනවා. විකාශන අයිතිය ලැබෙන්නට පෙර සිටම ජපාන රූපවාහිනි ප්‍රේක්ෂකයන්ගෙන් මෙම ටෙලි නාට්‍යයට තිබී ඇත්තේ දැඩි ඉල්ලුමක්. මේ පිළිබඳ අවබෝධයෙන් සිටි නිසාවෙන් මෙහි නිෂ්පාදකයින් මෙය ජපානයට ලබාදීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 2.4ක මුදලක් (රුපියල් මිලියන 314ක් පමණ) අයකර තිබෙනවා.


මෙම නාට්‍ය සිනමා පටයක් ලෙස සංස්කරණය කොට 2011 මැයි 6 වැනිදා සිට 19 වැනිදා දක්වා ජපානයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරුණා. එහි මෙම නාට්‍යය කෙතරම් ජනප්‍රියද යන්න මෙයින් පැහැදිලි වෙනවා. මෙම නාට්‍යයේ ප්‍රථම සංවත්සරය යෙදුණු දිනයේ කොරියාවේ මෙය පැය දෙකක කාලයකට සංස්කරණය කොට රූපවාහිනි චිත්‍රපටයක් ලෙස විකාශනය කෙරුණා.



2010 වසරේ සිට 2012 වස සඳහා මෙම ටෙලි නාට්‍යය විවිධ සම්මාන රැසක් දිනාගැනීමට ද සමත්වී තිබෙනවා. 

1 comment:

  1. Apith me gana wisthara hoyamin thamai hitiye. Thanx.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න