පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, August 24, 2014

විනාකිරි හිතන තරමටම නරකත් නැහැ - Vinegar is not so bad as we think



සිංහල අලුත් අවුරුද්දට අප නිවෙස්වල අච්චාරුවක් වැරදුනේ නැත. මැලේ අච්චාරුවට වඩා අපට සුපුරුදු සිංහල අච්චාරුවට අපි බොහෝ කැමැත්තක් දක්වන්නෙමු. මෙතරම් කැමැත්තක් පැවති අච්චාරුව එක් සිංහල අවුරුද්දකදී පිළියෙල කරන්නට ඕනෑකමක් දක්වනු පෙනුනේ නැත. එයට හේතු කුමක්දැයි සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ අච්චාරු තැනීමට ගන්නා විනාකිරිකෑමට හිතකර දෙයක් නොවන බැවින් අච්චාරු සාදන්නේ නැති බවය. තවදුරටත් සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ වර්තමානය වනවිට මෙම අහිතකර තත්වයනිසා බොහෝ නිවෙස්වල සිංහල අච්චාරුව සාදන්නේ නැති බවය. බොහෝ දෙනෙක් වඩාත් පහසුවෙන් මැලේ අච්චාරු සාදාගෙන අනුභව කරන්නට පුරුදුව සිටිති. විනාකිරු මෙතරම් අගුණ දෙයක්දැයි සොයා බලා අනෙක් අයටත් පවසන්නට සිතුනේ එවිටය.

සැබැවින්ම විනාකිරි යනු කුමක්ද? විනාකිරිවල ප්‍රධාන වශයෙනම අඩංගු වන්නේ ඇසිටික් අම්ලය (CH3COOH) හා ජලය යි. ඇසිටික් අම්ලය තනාගනු ලබන්නේ ඇසිට්ක් අම්ල බැක්ටීරියාව මගින් ඔෆෙතනෝල් (ofethanol) පස්සවා ගැනීමෙනි. මේ විද්‍යාත්මක ලෙස විස්තර කිරීමයි. අප දන්නා පරිදි අප රටේ විනාකිරි නිපදවාගනු පොල් රා පස්සවා ගැනීමෙනි. මීට අමතරව තල් විනාකිරි ද තිබේ. ඊටත් අමතරව අපේ රටේ එතරම් දකින්නට නැති වුවද විවිධ පළතුරුවලින් නිපදවාගනු ලබන විනාකිරි ද දක්නට ලැබේ.  ඇපල්, උක්, රටඉඳි මෙන්ම මීපැණිවලින් ද විනාකිරි තනනු ලබයි. විනාකිරි නිපදවාගැනීමේදී සිදුවනු පැස්සවීමේ ක්‍රියාවලිය දීර්ඝවන තරමට ඇසිටික් අම්ලයේ ඇති සැර බව අඩුවෙයි. කෙසේ නමුත් මෙසේ ස්වභාවිකව නිපදවාගනු ලබන විනාකිරි සැබවින්ම සෞඛ්‍යයට අහිතකරද?

විනාකිරි පිළිබඳ පොදු වෛද්‍ය මතය මෙසේ සඳහන් කළ හැකිය.

විනාකිරි සුළු ප්‍රමාණයෙන් පරිභෝජනයකිරීමේ ගැටලුවක් නැත. නමුත් විශාල පරිමාණයෙන් ගැනීම අහිතකරවිය හැකිය. විනාකිරි යනු ආම්ලීය ද්‍රාවණයකි. මෙයින් අපගේ සෞඛ්‍යයට වාසි ගෙන දෙන්නේ නැතැයි පවසන්නේ නම් එය අසත්‍යයකි. විනාකිරිවල ඇති ඇසිටික් අම්ලය මගින් සෞඛ්‍යමය වශයෙන් වාසි පවතී. විනාකිරි මගින් අපගේ අභ්‍යන්තර ආහාර මාර්ග පද්ධතිය පිරිසිදු කරයි. ඒ ශරීරය තුළ ඇති අහිතකර බැක්ටීරි වර්ග විනාශ කිරීමෙනි. නමුත් සිරුර සෞඛ්‍ය සම්පන්නව පැවතීමට නම් ඇතැම් බැක්ටීරියා වර්ග අවශ්‍ය වේ. අපට හිතකර බැක්ටීරියා වර්ග විනාශ කරන දමනා බැවින් අධික විනාකිරි පරිභෝජනය අහිතකර යැයි පැවසෙන්නේ එබැවිනි.

ජලය සමඟ හොඳින් කවළම් කරගත් විනාකිරි මේස හැඳි දෙකක් පමණ දිනකට පරිභෝජනය කිරීමේ වරදක් නැති බව වෛද්‍ය මතයයි. මෙය සෘජු ලෙස පානය කරනවාට වඩා ආහාරවලට එක්කරගැනීම වඩාත් සුදුසු වේ. මේ ආකාරයට හිතකර ප්‍රමාණයෙන් විනාකිරි පරිභෝජනය කරන්නේ නම් එයින් අපට ලැබිය හැකි ප්‍රයෝජනයන් ද බොහෝය. විශේෂයෙන් අපගේ ආහාර ජීර්ණය සඳහා විනාකිර්වලින් ලබාගත හැක්කේ මහඟු පිටිවහලකි.

කැල්සියම් අවශෝෂණය

අම්ල සහිත ආහාර වැඩිවශයෙන් ගැනීමෙන් ශරීරයේ කැල්සියම් අවශෝෂණය කරගැනීමේ හැකියාව ඉහළ යන බව වෛද්‍යවරු පවසති. එබැවින් අහිතකර නොවන මටටමින් දෛනිකව විනාකරි ආහාරවලට එක්කරගැනීමෙන් මේ මහඟු ප්‍රතිඵලය අතිවිඳිය හැකි වේ. මෙය වඩාත්ම ප්‍රයෝජනවත්වන්නේ කාන්තාවන්යට. කැලිසියම් ඌනතාවය බොහෝ විට මතුවන්නේ කන්තාවන් තුළිනි. අස්ථි තුනීවීම, ඔස්ටියෝපොරෝසිස වැනි රෝගවලින් වැළකීම සඳහා ආහාරයට විනාකිරි එක්කරගැනීම සුදුසු වේ. ඇතැම් කාන්තාවනට කිරිවල අඩංගු ලැක්ටෝස් ජීර්ණයකරගත නොහැකි රෝගයක් වැළඳේ. මේ නිසා ඔවුනට විවිධ ජීර්ණ රෝග ඇතිවන්නට පුලුවන. මෙම ජීර්ණ ගැටලුවල ප්‍රතිඵලය ලෙස සිරුරෙන් කැල්සියම් බැහැරවන්නට පුලුවන. විනාකිරි ආහාරයට එක්කරගැනීමේ වාසිය ලැබෙන්නේ එවිටය.

රුධිරයේ සීනි මට්ටම පාලනය

දියවැඩියාවේ දෙවැනි අවස්ථාවේ පසුවන රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නට විනාකිරිවලින් මහඟු පිටිවහලක් ලැබෙන බැව් මෑතකදී කළ පර්යේෂණයකින් හෙළිව තිබේ. මෙම අවස්ථාවේදී දියවැඩියාව පාලනය කරගත නොහැකි වුවහොත් අන්ධවීම, ලිංගික බෙලහීනතාවය, හැඟීම් දැනීම නොමැතිවීම වැනි තත්වයන්ට ගොදුරුවිය හැකිය. එමෙන්ම හෘද රෝග වැනි තත්වයන් ද ඇතිවිය හැකිය. දියවැඩියාවේ දෙවැනි තත්වයේ පසුවන රෝගීන්ගේ සිරුර ඉන්සියුලින් හෝමොනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇති කරයි. සිරුර මගින් සාමාන්‍යයෙන් ඉන්සියුලින් රුධිරනාලවලට නිකුත්කරනු ලබන්නේ ආහාරයක් සිරුරට ඇතුළුවූ විටය. ඉන්සියුලින්වල කාර්යභාරය වන්නේ සෛලවලට ආහාරවල ඇති කාබෝහයිඩ්‍රේට්වලින් ග්ලූකෝස් හෙවත් සීනී උරාගැනීමට උදව්කිරීමය. නමුත් සිරුර මගින් ඉන්සියුලින්වලට ප්‍රතිරෝධයක් දක්වනවිට  සෛලවලට සීනි උරාගැනීම සිදුනොවී රුධිරය තුළ සීනි තැන්පත්මක් සිදුවේ. මෙහිදී ශක්තිය නිපදවන්නට සෛලවලට සීනී උරාගැනීමට බාධාවක් ඇතිවේ. එබැවින් සීනි උරාගැනීම සඳහා සිරුර විසින් වැඩි වශයෙන් ඉන්සියුලින් නිකුත්කරන්නට පටන්ගනී. මෙහිදී සිදුවන්නේ රුධිරයේ වැඩි වශයෙන් සීනි තැන්පත්වීමය. කාලයත් සමඟ මෙසේ අධිකව සීනි තැන්පත්වීම නිසා ස්නායු පද්ධතියට හානි සිදුවේ. එබැවින් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම අතිශය වැදගත්ය. විනාකිරි පිහිටට පැමිණෙන්නේ එම අවස්ථාවේදීය. විනාකිරි ආහාරයට එක්කරගැනීම නිසා රුධිරයට සීනි උරාගැනීමේ වේගය බොහෝ සෙයින් අඩුවන බැව් සොයාගෙන තිබේ. එවිට රුධිරයේ සීනි තැන්පත්වීම අඩු වේ. එමෙන්ම සිරුරේ ඉන්සියුලින් සංවේදීතාවය වැඩිකරන්නට ද විනාකිරි හේතුවන බැව් සොයාගෙන තිබේ.

පිළිකා වැළඳීම හා වයස්ගතවීමට එරෙහිවන්නට ඇති වඩාත් හොඳම අවිය වන්නේ නැවුම් එළවලු හා පලතුරුය. මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරක මගින් සෛල හානීවීම අඩුකරයි. එළවලු හා පළතුරුවලට විනාකිරි තරමක් එක්කරගැනීමෙන් ඒවායේ ඇති මෙම ගුණය තවත් ඉහළ නංවන බැව් සොයාගෙන තිබේ.

මීට අමතරව විනාකිරි හිතකර ප්‍රමාණයෙන් ගැනීමෙන් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභයන් ද අත්වන බැව් සොයාගෙන ඇති අතර ඒවා තවමත් පර්යේෂණ මට්මේ පවතින බැවින් බොහෝ තොරතුරු හෙළිවනු ඇත්තේ නුදුරු අනාගතයේදීය.

කෘමී සතුන් දෂ්ඨකිරීම, අව්රශ්මියෙන් සම පිළිස්සීම, කැපීම් හා සීරීම් සඳහා ප්‍රතිකාරයක් ලෙසින් ද, ආහාරවල ඇති දුර්ගන්ධය නැතිකරන්නක් ලෙස ද, හිස පීරන පනා හා බුරුසු වැනි උපකරණ පිරිසුදු කරන්නක් ලෙස ද, මුඛ දු්ර්ගන්ධය නැතිකොට සුදුවන් දත් දෙපළක් ලබාගැනීමට ද, නිය ආලේපනවල දිදුලන බව වැඩිවේලාවක් රඳවා තබාගැනීමට ද විනාකිරි උපකාරීවන බැව් සොයාගෙන තිබේ.

මෙහි සඳහන් කෙරුණේ විනාකිරිවලින් ලැබිය හැකි ප්‍රයෝජනවලින් ස්වල්පයක් පමණි. එය ඔබගේ මුළුතැන්ගෙයින් පිටමං කළ යුතු දෙයක් නොව අනිවාර්යයෙනම් තිබිය යුතු දෙයක් බැව් දැන් ඔබට අවබෝධවන්නට ඇත. එබැවින් මෙවර සිංහල අවුරුද්දට හිතේ දෙගෙඩියාවකින් තොරව අච්චාරුවක් පිළියෙළකර ගැනීමට ද දැන් කිසි බාධාවක් නැත.

1 comment:

  1. අනේ මංද සමහර විට ඔයා ඔය කියන්නෙ නාගරික පැලැන්තිය ගැන වෙන්න ඇති...
    ඒත් අපේ ගමේ නං තාම හැමතැනම අච්චාරුව දානව...
    ඊටත් ඔය වගේ අව භාවිත අදවස් හැම එකක්ම අපේ මිනිස්සුන්ගෙ ඔළුවට අවශෝෂනය වෙන්නෙත් නෑ

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න