පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 13, 2015

ජින්සෙන්ග් කියන්නේ මේවා තමයි - What is ginseng? What is ginseng used for?



ලොව වඩාත් ජනප්‍රියතම ඖෂධ පැළෑටිය කුමක්දැයි යමෙකු ඇසුවහොත් එසේ ලැබෙන පිළිතුරුවලින් එකක් වනු ඇත්තේ ජින්සෙන්ග්’ (Ginseng) ය. එය එතරමටම ලොව පුරා ප්‍රචලිතය. ජින්සෙන්ග් යනු එකිනෙකට වෙනස් විශේෂ 11 කින් සමන්විත බහුවාර්ෂික පැළැටියකි. මාංශමය මුල් (අල) සහිත මෙය Panax  ගණයටත් Araliaceae කුලයටත් අයත් වේ. මෙහි මුල් හෙවත් අල ගෑරුප්පුවක අඬු ආකාරයෙන් පිහිටා තිබේ. ඒවා බොහෝ විට මිනිසුන්ගේ කකුල්වලට සමාන ස්වභාවයක් ඇත. කඳ තරමක් උස්ව වැඩෙන මෙහි ඕවාලාකාර පත්‍ර පිහිටා තිබේ. අපගේ සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වාගෙන යන්නට ජින්සෙන්ග් මහත් සේ උපකාරීවන බැව් සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. 


ජින්සෙන්ග් වැඩි වශයෙන් දැකිය හැක්කේ උතුරු අර්ධගෝලයට අයත් සීත දේශගුණයක් ඇති රටවලය. උතුරු ඇමරිකාව, කොරියාව, ඊසානදිග චීනය, භූතානය සහ නැගෙනහිර සයිබීරියාව වැනි ප්‍රදේශවල මෙය බහුලව දක්නට ලැබේ. වියට්නාමයෙන් ද ජින්සෙන්ග් වර්ගයක් හමුවී ඇති අතර වඩාත්ම දකුණට වන්නට එම පැළෑටිය හමුවූ එකම අවස්ථාව මෙය වේ. 




Ginseng යන ඉංගිරිසි වදන බිඳී ඇත්තේ රෙන්සෙන්’ (rénshēn ) නම් චීන පදයෙනි. මෙහි Rén  යන්නෙහි අරුත පුද්ගලයාවන අතර shēn යන්නෙහි අරුත අලයවැන්නක් වේ. ගෑරුප්පු හැඩයේ අල මිනිසුන්ගේ දෙපාවලට සමානකමක් දැකිවීම මෙවැනි නමක් ඇතිවන්නට හේතුවී තිබේ. 


චීනයේ මන්චූරියා කඳු ආශ්‍රිතව මෙම පැළැටිය බහුලව වර්ධණය වේ. එම ප්‍රදේශයේ මෙය යොදාගනු ලබන්නේ වාජීකරණ ඖෂධයක් ලෙසිනි. ජින්සෙන්ග් ඖෂධයේ ප්‍රයෝජන ක්‍රි.ව. 220 - 589 අතර පැවැති ලියාන්ග් රාජවංශය සමයේ ලේඛණගත කෙරී ඇත. චීන අධිරාජයන් මෙය ඖෂධයක් ලෙස පමණක් නොව සබන් හා ක්‍රීම් වශයෙන් ද ප්‍රයෝජන ගෙන ඇති බව සඳහන්ය. 




මෙහි අලය සම්පූර්ණයෙන්ම හෝ පෙති වශයෙන් හෝ වියළාගැනීමෙන් පසු ඖෂධ වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෙහි කොල ද ඇතැම්විට අල සමග භාවිතයට ගනු ලබයි. ශක්තිජනක පානවලට ද ජින්සෙන්ග් යම් මාත්‍රාවකින් අඩංගු කරයි. රූපලාවන්‍ය ද්‍රව්‍ය නිපදවීමේදී ද ජින්සෙන් යොදාගනු ලැබුව ද එහි ප්‍රතිඵළයක් නොමැති බැව් පෙනෙන්නට තිබේ.

වසර දහස් ගණනක් තිස්සේ ජින්සෙන්ග් ඖෂධයක් ලෙස භාවිත වුව ද මෙහි ඇතැයි පැවසෙන ගුණය පිළිබඳව තවමත් නියමාකාරයෙන් පර්යේෂණයක් කෙරී නැත. එමෙන්ම කරගෙන යනු ලබන පර්යේෂණ ද තවමත් නිමාවට පත්ව නැත. එක් අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ සයිබීරියානු ජින්සෙන්ග් අල දෛනිකව පරිභෝජනයට ගැනීමෙන් සුදු රුධිරානු වර්ධණය වේගවත්වන බවය. යම් ශරීරයක් වෛරස් ආසාදනයකට ලක්ව ඇතිවිට ජින්සෙන්ග් ඖෂධයක් ලෙස ගැනීමෙන් මෙම ආක්‍රමණික වෛරස් විනාශව යන බැව් සොයාගෙන තිබේ. 




ජින්සෙන්ග් ලෝකයේ බොහෝ දෙනෙකු අතර ජනප්‍රියව ඇත්තේ වාජීකරණ ශක්තිය හෙවත් ලිංගික ශක්තිය ඇතිකරනා ඖෂධයක් ලෙසය. සියවස් ගණනාවක් තිස්සේ මෙහි ඇති ලිංගික ශක්තිය ඇතිකිරීමේ බලය, තරුණභාවය ඇතිකිරීමේ බලය පිළිබඳ බොහෝ දෙනෙකු දැන සිටියහ. ගැහැනු පිරිමි භේදයකින් තොරවම ලිංගික ශක්තිය ඉහළ දමන්නට මෙයට අපූරු හැකියාවක් ඇතැයි විශ්වාස කෙරේ. මේ හේතුව නිසාම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ජින්සෙන්ග්වලින් නිපදවන ලද ඖෂධ වර්ග සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ජින්සෙන්ග්වල සැබැවින්ම ලිංගික ශක්තිය වර්ධණයකිරීමේ ගුණයක් පවතීද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ විවිධ පර්යේෂණ සිදුවී තිබේ. සතුන් සම්බන්ධව කළ පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ ආසියානු කලාපයේ වැවෙන ජින්සෙන්ග්වලින් පිරිමි සතුන්ගේ ලිංගික අප්‍රාණිකත්වය සඳහා  සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බවය. නමුත් එය මිනිසුන් සඳහා ද මේ ආකාරයෙන්ම ක්‍රියාකරයි ද යන්න පිළිබඳ පැහැදිලි සාධක සොයාගන්නට නැත. සතුන්ගේ ලිංගිකකත්වයට වඩා මිනිසුන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වය සංකීර්ණබවින් වැඩිය. එබැවින් ජින්සෙන්ග් මගින් සතුන් කෙරෙහි ඇතිකරන බලපෑම මිනිසුන් කෙරෙහි ඇති කරන්නේදැයි යන්න පිළිබඳ ඇත්තේ සැකයකි. කොරියාවේ දී පුරුෂයින් අළලා මේ සම්බන්ධව අධ්‍යයනයක් 7ක් සිදුකෙරී ඇති අතර කොරියාවේ ඇති රතු ජින්සෙන්ග් මගින් ඇතැම් පුරුෂයින්ගේ ලිංගික අප්‍රාණිකත්වය තුරන් කිරීම සඳහා යම් පමණකට දායකත්වයක් දැක්වූ බව පෙන්නුම් කෙරිණි. නමුත් එපමණකින්ම මේ පිළිබඳව අවසන් තීන්දුවක් ලබාදීමට හැකියාවක් නැත. 




ඉන්සියුලින් මගින් ප්‍රතිකාර ගන්නා දියවැඩියා රෝගීන්හට එවැනිම ප්‍රතිඵලයක් ඇමරිකානු ජින්සෙන්ග්වලින් ලැබෙන බැව් හෙළිවී තිබේ. ආතතිය හා ශීඝ්‍ර හෘද ස්පන්ධනය ඇති රෝගීන්ට ජින්සෙන්ග්වලින් යහපත් ප්‍රතිඵල අත්වන බැව් සොයාගෙන තිබේ. ජින්සෙන්ග්වල රුධිරයේ උකුබව අඩුකරනා රසායනයක් අඩංගු බැව් සොයාගෙන ඇති හෙයින් මෙය වෛද්‍ය උපදේශයකින් තොරව ගැනීම ද සුදුසු නැත. 


සිරුරේ බර අඩුකරගැනීම සඳහා ද ජින්සෙන්ග්වලින් උපකාර ලැබිය හැකිය. ජින්සෙන්ග් ගෙඩිවලින් ලබාගන්නා සාරය තරබාරුබවට හා බර පාලනය කිරීමට මහඟු උපකාරයක්වන බැව් සොයාගෙන තිබේ. එමෙන්ම අධික ලෙස ආහාර ගැනීම පාලනය කිරීමේ ගුණයක් ද මෙය සතුය. 


ශරීර ශක්තිය වර්ධණය කරන්නට ද ජින්සෙන්ග්වල ඇත්තේ අපූරු හැකියාවක් යැයි පැවසේ. ක්‍රීඩකයන්ට ඔක්සිජන් වඩාත් ඵලදායක ලෙස යොදාගනිමින් ශක්ති මට්ටම ඉහළ නංවාගන්නට මෙයින් පිටිවහළක් ලැබේ. ක්‍රිඩාකිරීමෙන් පසු ඇතිවන ශාරීරික වෙහෙස වඩාත් ඉක්මණින් අඩුකරගැනීමට ජින්සෙන්ග් උපකාරී වෙතැයි පැවසේ. ජින්සෙන්ග් පානය කිරීමෙක් මොලයේ සෛල උත්තේජනය වී චිත්ත ඒකාග්‍රතාවය හා සිතීමේ හැකියාව ද වර්ධණය වන බැව් සොයාගෙන තිබේ. 


මාසික ඔසප්වීමේ විවිධ ගැටලු සමනය කරගන්නට ඇමරිකානු ජින්සෙන්ග් පානය යෝග්‍ය බැව් පැවසේ. මාසික ඔසප්වීම ආශ්‍රිතව ඇතිවන උදරයේ වේදනාව සමනය කිරීමට මෙම පානය ඉවහල්වන බව ප්‍රචලිත මතයකි.














8 comments:

  1. ඉතිං ඕ වගේ වටිනාකමක් ඇති දෙයක් වාණිජමය වශයෙන් වගා කරන්ට පුලුවන් නේද
    ඒ වගේ වැඩ පිලිවෙලක් නැද්ද

    ReplyDelete
    Replies
    1. අපේ වගේ දේශගුණයක් තියෙන රටවල ජින්සෙන්ග් වවන්න බැහැ මම දන්නා තරමින්.

      Delete
  2. අැත්තට ම මේ ගැන අහලා තිබුණට අද තමයි විස්තර දැනගත්තේ... ස්තූතියි බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට බොහෝ තුති.

      Delete
  3. කිව්වත් වගේ හොඳ ලිපියක්. ජින්ග්සෙන්ග් ගැන නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම.

      Delete
  4. ඔය බෙහෙත් ගැන නම් දැන්වීම් දැකලා තිබුනට දැන් නේ විස්තර දැනගත්තේ

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ජින්සෙන්ග් ඇඩ් එකකුත් යන්නේ

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න