පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, October 16, 2020

අනුලා බුලත්සිංහල සහ සුදු ඔසරිය



මම ගියේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට. ඒ ඉස්කෝලේට ආවේ ඇහැලියගොඩ කණිෂ්ට විද්‍යාලයේ ඉඳන් 6 පංතියට. ඒ 1984 අවුරුද්ද. අපිත් එක්ක 6 පංතියට ආපු යාළුවෙක් හිටියා ශාන්ත කියලා. ශාන්තට ටිකක් සිංදු කියන්න පුළුවන්. දවසක් ශාන්ත ‘සුදු ඔසරිය ඇඳලා’ කියලා සිංදුවක් කිව්වා. ඒ සිංදුවේ වචනවලට වඩා මගේ හිත ගියේ තනුවට. වචනවල තේරුම් හොයන්න තරම් ඕන කමක් ඒ දවස්වල තිබුණේ නෑ. එදා ඉඳන් මේ සිංදුවට මම ආසා කළා. ඒත් ඒ කාලේ අද වගේ කැමති සිංදුවක් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඞ් කරගෙන අසන්නට තරම් පහසුකමක් තිබුණේ නැහැ. මේ සිංදුව ඉඳහිටලා හරි ඇසුණේ ගුවන් විදුලියෙන් විතරයි. ශාන්තට සමහර විෂයයන්වල අමාරු කරුණු ආවාහම මගෙන් අහනවා. මම ඒවා කියලා දෙන්නේ ‘සුදු ඔසරිය’ සිංදුව කිව්වොත් තමයි. ඉතින් මේ විදියට ශාන්තගෙන් නිතරම මේ සිංදුව අහගත්තා. ඒත් මේක ගයන්නේ කවුද කියලා දැනගෙන හිටියේ නැහැ.


කාලය ගෙවිලා ගියා. මම දැන් ඇහැලියගොඩ නෙවෙයි ඉන්නෙත්. ශාන්ත ගැන තොරතුරක් දන්නෙත් නැහැ. කොහොම වුනත් අන්තර්ජාලය ඇවිත් කැමති සිංදු ඩවුන්ලෝඞ් කරගන්න පුළුවන් කාලයක් ආවාට පස්සේ මම මේ සිංදුව අන්තර්ජාලයෙන් අරගත්තා. එතකොට තමයි දැනගත්තේ මේ ගීතය ගයන්නේ අනුලා බුලත්සිංහල මහත්මිය බව. මම මේ ගිතය මගේ ජංගම දුරකතනයට දාගත්තා. නිතරම ඇහුවා. රස වින්දා. වචනවල තේරුමත් රස වින්දා.


අනුලා බුලත්සිංහල මහත්මිය මිය ගිහින් වග අද මාධ්‍යවල තිබුණා. 


ඇය ගැන විස්තර කියන්න අවශ්‍ය නැහැ. රටම දන්නවා. 


මම කැමතිම සිංදුවක් කියපු ඇය මෙලොව හැර ගිහින්.


මේ සටහන ඇයට උපහාරයක් පිණිසයි.


ඇයට නිවන් සුව ලැබේවා




සුදු ඔසරිය ඇඳලා - සුදු මුතු පොට බැඳලා...
සුදු මල් පියවිල්ලේ සුදට සුදු - කවදද මා යන්නේ...

රෑ හීනෙන් දකිනා ඔබේ රුව - හදවත ඇඳගනිමි...
උදෑසනින් බි‍ඳෙනා සිහින ලොව - තනිවම ඉකිබිඳිමි....

රන් මිණි අබරණ හෝ පටසළු -  නැත මට දායාදේ...
කඳුලක රස දැනෙනා හදක් ඇත - වෙන්වූ නමින් ඔබේ...

පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය - ගුණදාස කපුගේ


4 comments:

  1. Hondayi.Lipiya ithama keti unath hith ka wadina widihata liyala thiyenawa.Lassanayi.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා ඔෙබ් අදහස් දැක්වීමට

      Delete
  2. ඇය තම දියණියතක් සමග කියන ගිතයක් තියනවා මෙන්න මෙහෙම
    බුදුන් වඳින මේ දෑතින් වැඳලා කියන්නම් අමමේ
    අක්කා මෙන් ඔය හිත නෑ පාරන්නේ මං
    මට ඇහෙන්න හිත හැදෙන්න කියා මුසාබස් පොඩිදුව
    පව් පුරවා ගන් එපා මොටදෝ තහනම්...............
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය මම අහලා තිබුණා. ඉස්සර රූපවාහිනියේ හඳ රැඳි ගී කියලා වැඩසටහනකට අනුලා බුලත්සිංහල මහත්මිය සහ ඇගේ දියණිය මේ ගීතය ගායනා කළා. නමුත් ඇය ගායනා කළත්, ඒ ඇය බව නොදැන මම කැමැත්තතෙන් සිටි ගීතය තමයි මේ ‘සුදු ඔසරිය ඇඳලා’

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න