පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, February 13, 2016

මිස් කෝල් එකක් දීපන් මචං !


දිනක් මගේ දුරකතනයට මිස් කෝල්එකක් ආවේය. මිස් කෝල් දෙන්නේ කවුදැයි සොයා බලන්නට උපන් ගෙයිම කම්මැලිකමක් ඇති බැවින් දුරකතනය දෙස නොබලා මගේ වැඩක්පලක් කරගන්නට පටන් ගතිමි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් යළිත් එම අංකයෙන්ම මිස් කෝල් එකක් ආවේය. මේ ආකාරයෙන් කිහිප වරක්ම මිස් කෝල් පැමිණි බැවින් මේ කවුදැයි සොයා බලන්නට මම දුරකතන ඇමතුමක් ගතිමි. අනෙක් පැත්තේ දුරකතනයෙන් යමෙක් කතා කළේය.

ආ මචං මේ මම බං 

යැයි පවසමින් යමෙක් කතා කළ අතර ඔහු මගේ මිතුරකු විය.

හුඟ දවසකින් කතා කළෙත් නැති නිසා බං මං මේ විස්තර ටිකක් දැන ගන්නත් එක්ක මිස් කෝල් එකක් දුන්නේ. ඉතිං කොහොම ජීවිතේ?” 

කියමින් ඔහු දිගු සංවාදයකට මුළ පිරුවේය.

මිස් කෝල්එකක් දී මේ ආකාරයෙන් විස්තර කතා බහ කරන්නට හුරුපුරුදු වූ අය අද බොහෝ සිටිති. තමන්ගේ දුරකතන බිල ඉතිරි කරගන්නට බොහෝ දෙනෙක් මෙම ක්‍රමය අනුගමනය කරති. ස්ථාවර දුරකතන ඔස්සේ කතා බහ කිරීමේ පහුසුකම ඇති කාර්යාලයක වෙසෙන පුද්ගලයන් නම් සිය මිතුරන්ගෙන් ලබන්නේම මිස් කෝල් ය. මිස් කෝල් එකක් ලැබුණු සැනින් ඔහු කරන්නේ සිය ආයතනයේ ස්ථාවර දුරකතනය ඔස්සේ එකී අංකයට කතා කිරීමය. එවිට දෙදෙනාගේම දුරකතන බිල ඉතිරිවන අතර ආයතනයේ බිල ඉහළ යයි. එය ගෙවන්නේ රජය හෝ ආයතනයේ අයිතිකරු නිසා ඇමතුම ගන්නාට ගැටලුවක් නැත. ස්ථාවර දුරකතන පහසුකම් සහිත ආයතනවල සේවය කරන්නන් නිතරම පවසන්නේ,

මට මිස් කෝල් එකක් දීපන්. මම එහෙන් ගන්නම් කියාය.

නිවාඩු දිනයක තමන් සේවයට නොපැමිණෙන බව දන්වන්නට ද ඇතැම් අය මෙම මිස් කෝල් ක්‍රමය භාවිත කරති. මෙහිදී කරන්නේ දුරකතන ඔපරේටර්වරයාගේ හෝ වරියගේ ජංගම දුරකතනයට මිස් කෝල් එකක් දීමය. මෙය බොහෝ විට කලින් කතා බහ කරගෙන සිදු කරන දෙයකි. එවිට ඔපරේටර් ආදාළ අංකයට ආයතනයේ ස්ථාවර දුරකතනයෙන් අමතුමක් ගෙන එම ඇමතුම අදාළ අංශයට යොමු කරයි. මේවා ලාබදායී වැඩය.

සිය එකම විනෝදාංශය ලෙස අසමජ්ජාතිවැඩ කරන මිතුරන් කරන්නේ රාත්‍රි කාලයේදී මිස් කෝල් දීමය. තද නින්දේ පසුවන්නකු අවදි කරවන්නට මිස් කෝල් කිහිපයක් දී සිය ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත කොට නිදාගන්නට ඔවුහු පුරුදුව හිඳිති.  එවිට පසුවදාට ලුණු ඇඹුල් ඇතිව කතන්දර අසාගැනීමට අවස්ථාව අදාළ පුද්ගලයන්ට අවස්ථාව හිමි වුවත් එය වුන්ගේ විනෝදාංශය නිසා එසේ බැණීමෙන් පලක් වන්නේ නැත. ඔවුන්ගේ මේ අසමජ්ජාතිවිනෝදාංශය නතර වන්නේ ද නැත. රාත්‍රියේ මෙසේ මිස් කෝල් දුන් අවස්ථාවක අප හිතවතකු සිහිනෙන් සර්පයකු දකිමින් සිට ඇති අතර දුරකතනයේ කම්පනය වීම දැනී ඇත්තේ සර්පයා තමාගේ ඇඳ මත සිටින ආකාරයකිනි. ඔහු යටිගිරියෙන් කෑ ගසමින් අවදිවී ඇති අතර පවුලේ සියලු දෙනා ඉදිරියේ ඉමහත් ලජ්ජාවකට පත්ව ඇත. පසුදා ඔහුට මිස් කෝල් දුන් මිතුරාගේ දෙමාපියන් සිහි කරනු කාටත් අසන්නට අවස්ථාව උදා විය.

මිස් කෝල් පිළිබඳ මෙවැනි බොහෝ කරුණු හා අත්දැකීම් බොහෝ දෙනෙකුට තිබෙන්නට පුළුවන. අප පහසුවට මිස් කෝල්’ (Miss Call) කිව්වත් මෙහි නියම යෙදුම විය යුත්තේ මිස්ඩ් කෝල්’ (Missed Call) ය. එනම් මග හැරුණු ඇමතුම්යන්නය. නමුත් අප සුපුරුදු පරිදි භාවිතයේ පහසුව පිණිසත්, කවුරුත් භාවිත කරන නිසාත්  මේ ලිපියේ ඉදිරියටත් මිස් කෝල්යනුවෙන්ම යොදාගෙන කතා බහ කරමු.

මිස් කෝල්ක්‍රමය ඇතැම් මිතුරන් සන්නිවේදන උපක්‍රමයක් ලෙස ද භාවිත කරති. මෙය කලින් නියම කරගෙන සිටිය යුත්තකි. උදේ දුම්රිය පැමිණෙන වේලාවට මිස් කෝල් දෙකක් එකවර දුන්නේ නම් එයින් හැඟවෙන්නේ තමා එදින පමා වී පැමිණෙන බව වැනි පණිවිඩයක් එයින් හැඟවිය හැකිය. මේ ආකාරයෙන් කලින් නියම කරගත් පණිවිඩ මිස් කෝල් එකකින් ලබා දිය හැකිය.

ඇතැම් පුද්ගලයන්, බොහෝ විට තරුණයන් තමන්ට සිතෙන අංකයකට මිස් කෝල් දෙයි. පසුව අනෙක් පැත්තෙන් ඇමතුමක් ලබා ගත් විට එය පිරිමි හඬක් නම් වැරදීමක්යනුවෙන් පවසයි. ගැහැනු හඬක් නම් කුමක් හෝ ක්‍රමයකින් කතා බහට අල්ලාගන්නට උත්සාහ කරයි. අනෙක් පැත්තේ ප්‍රතිචාර මත ඇමතුම දිගු වීම හෝ කෙටි වීම සිදු විය හැකිය. අනෙක් පැත්තෙන් ප්‍රතිචාර යහපත් නම් මෙම මිස් කෝල් එකේ අවසන් ප්‍රතිඵලය මේ දෙදෙනා අතර යම් සම්බන්ධයක් වීමය. මෙහි ගැටලුව වන්නේ මේ ආකාරයෙන් මිස් කෝල් ඔස්සේ ගැහැනුන් හා හාද වීම එක්තරා ආකාරයක ජාවාරමක් බවට පත්ව ඇති බැවිනි. පුවත් පතක් ගෙන බැලුවහොත් මිස් කෝල් මගින් හාද වී තරුණියන්ව දූෂණය කළ අවස්ථා මෙන්ම ඔවුන්ගේ වටිනා දෑ පැහැර ගත් අවස්ථාවන් පිළිබඳ පුවත් ඕනෑ තරම් දැකිය හැකිය. මේ නිසා මිස් කෝල් එකකට අමතුමක් ගන්නා විට මේ බව මතක තබාගෙන පරිස්සමි විය යුතුය.

මේ සම්බන්ධ පුවත් (පුවත් 1, පුවත් 2, පුවත් 3)

ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට ඇති අවස්ථාවක යමෙක් ඇමතුමක් ගත හොත් එය දැන ගැනීමට මුල් කාලයේ පහසුකමක් නොතිබුණු අතර පසුව ජංගම දුරකතන සමාගම් මිස්ඩ් කෝල් ඇලර්ට්’ (Missed Call Alert ) පහසුකම ලබා දෙන ලදී. එවිට දුරකතනය ක්‍රියාත්මක කළ විට කෙටි පණිවිඩයක් මගින් එම අංකයට ලැබුණු මිස් කෝල්පිළිබඳ විස්තරයක් ලැබේ.

මිස් කෝල් ගැන ගීත මෙන්ම සිනමා පට ද නිර්මාණය වී තිබේ. එයින් One Missed Call සිනමා පටය නරඹන්නට අවස්ථාව ලද අතර එය හොල්මන් වර්ගයේ (Horror) එකකි.









මිස් කෝල් ලබාදීම නිසා අප බොහෝ දෙනා නොසිතන තාක්ෂණික ගැටලුවක් ද ඇති වේ. ඒ ජංගම දුරකතන ජාල පද්ධතියේ ඇතිවන තදබදයයි. සාමාන්‍යයෙන් එක් සංඥා කුලුණක් ඔස්සේ එක්වර හුවමාරු කළ හැකි නිශ්චිත ඇමතුම් සංඛ්‍යාවක් තිබේ. එක් කුලුණකින් හුවමාරු කළ හැකි උපරිම ගණන අපි පහසුවට දහයක් යැයි සිතමු (මෙයට වඩා බොහෝ ප්‍රමාණයක් හුවමාරු කළ හැකි බව සළකන්න). එවිට දස දෙනෙක් එක අවස්ථාවක මිස් කෝල් දෙන්නේ නම් එම කුලුණ හරහා ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාවට එය ළගා වෙයි. මේ අවස්ථාවේදී වෙනත් පුද්ගලයකු (11 වැනියා) සැබෑ ඇමතුමක් ලබාගන්නට උත්සාහ කරන්නේ නම් පෙර කී දස දෙනොගෙන් එක් අයකු සිය මිස් කෝල් දීම නතර කරන තුරු බලා සිටින්නට සිදු වේ. මෙය හඳුන්වන්නේ ජාල පද්ධතියේ සිදුවන තදබදය’ (Network Traffic) නමිනි. සැබෑ තත්වයේදී දුරකතන සංඥා කුලුණක් මිස් කෝල් නිසා සම්පූර්ණයෙන්ම අවහිර වන්නට ඇති ඉඩ ඉතා සීමිත වූවත් සැළකිය යුතු ප්‍රමාණයකින් තදබදයක් ඇති විය හැකිය.

දකුණු ආසියානු රටවල මේ ආකාරයට මිස් කෝල්ලබාදීමේ පුරුද්ද ඉතා ඉහළින් පවතින බැව් හෙළිවී තිබේ. අප රටෙන් සංඛ්‍යා ලේඛන සොයා ගත නොහැකි වුවත් බංග්ලාදේශයේ ජංගම දුරකතන ජාල පද්ධතියේ තදබදයෙන් 70%ක්ට වඩා හේතු වන්නේ මිස් කෝල්බව සොයාගෙන තිබේ. ඉන්දියාවේ ජංගම දුරකතන මෙහෙයුම්කරුවන්ගේ සංගමය’ (The Cellular Operators Association of India - COAI) මිස් කෝල් මගින් ආදායමක් ලබාගත හැකි ද යන්න පිළිබඳ සොයා බලමින් සිටින බව ද දැනගන්නට ලැබී තිබේ. ඉන්දියාවේ මිස් කෝල් නිසා ජංගම දුරකතන සමාගම්වලට ලැබිය හැකි ආදායමින් 30%ක් පමණ අහිමි වන බව ද  පැවසේ.

කෙසේ නමුත් ඇතැම් රටවල නම් මිස් කෝල්’  යනු සන්නිවේදන සංඥාවක් ලෙස භාවිත වේ. උදාහරණයක් ලෙස භූතානයේ කිරි ගොවීන් අතර පවතින සම්මතයකට අනුව යම් පාරිභෝගිකයෙකුගෙන් ලැබෙන මිස් කෝල්සංඛ්‍යාවෙන් අදහස් වන්නේ ඔහුට කෙතරම් කිරි ලීටර් සංඛ්‍යාවක් අවශ්‍ය ද යන්නය. ඉන්දියාවේ ඇතැම් ආයතනවලට ලබාදෙන ඇණවුම් සම්පූර්ණ නම් ඔවුන් පාරිභෝගිකයාට මිස් කෝල්එකක් ලබා දේ.

බංග්ලාදේශයේ ජංගම දුරකතන භාවිත කරන්නන් ෆේස්බුක් හරහා සංවිධානය වෙමින් අන්තර්ජාල ගාස්තු අඩු කරන ලෙස ජංගම දුරකතන සමාගම්වලට එරෙහිව උද්ඝෝෂණයක් කළේ මිස් කෝල්හරහාය. 2013 ජනවාරි 27 වැනිදා එකවර දුරකතන භාවිත කරන්නන් දෙලක්ෂ පනස් දහසක් පමණ දෙනෙක් මිස් කෝල් හුවමාරු කරගනිමින් ජාල පද්ධතියේ තදබදයක් ඇති කොට ජංගම දුරකතන සමාගම්වලට සිය විරෝධය පළ කළහ.


මේ අනුව මිස් කෝල්  දෙස අපට විවිධාකාරයෙන් බැලිය  හැකි අතර එහි විවිධ වාසි මෙන්ම අවාසි  ද ඇති බව පෙනේ. අන්‍යයන්ට කරදරයක් නොවන ලෙස මෙම පහසුකම පවත්වාගෙන යා හැකි නම් එයින් සියලු දෙනාටම ලද හැකි  ප්‍රයෝජනය අතිමහත්ය.

Wednesday, February 10, 2016

තේවලට ලුණු දැමීම හෙවත් නිදහස් උළෙලට දන්නෝ බුදුන්ගේ ගීතය ගැයීම


අප රටේ 68 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ රාත්‍රියේ පවත්වන ලද සංගීත ප්‍රසංගයේදී ක්‍රිෂානි විජේසිංහ නම් ගායිකාව විසින් ගායනා කරල ලද දන්නෝ බුදුන්ගේ ගීතය පිළිබඳ මේ වන දැැවැන්ත මට්ටමේ සමාජ කතිකතාවක් නිර්මාණය වී තිබේ. ඇය මේ සමඟම දරු නැළවිලි ගීයක් ද ගායනා කළ මුත් වැඩි වශයෙන් කතා බහට ලක්වන්නේ මුළින් සඳහන් කළ ගීතය පිළිබඳවය. මේ පිළිබඳ මේ සා අදහස් පළවන්නට හේතුව වී ඇත්තේ මෙකී ගායිකාව විසින් එය බටහිර ඔපෙරා ශෛලියකින් ගායනා කළ බැවිනි.

දන්නෝ බුදුන්ගේ ගීතයේ ඉතිහාසය




1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා සූරීන් විසින් නිර්මාණය කරන ලද සිරිසඟබෝනාට්‍යය සඳහා මුල්වරට ගැයුණු මෙම ගීතය පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයපොතෙහි මෙසේ දක්වා තිබේ.

“1903 දී ජෝන් ද සිල්වා රචනා කළ , සිරිසඟබෝ නාටකයෙහි දන්නෝ බුදුන්ගේ ගීය සඳහා විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා සම්පාදිත තනුව , බටහිර තනුවක් බවටද මතයක් පවතී . . . . . කෙසේ වෙතත් විශ්වනාත් ලවුජී සම්පාදනය කර ඇති සිය ගණනකට අධික ගී තනුවලට වඩා දන්නෝ බුදුන් ගේතනුව වෙනස් බවත්, එහි බටහිර නැඹුරුවක් ඇති බවත් විචාරකයෝ පවසති. ශ්‍රී ලංකාවේ බැප්ටිස්ට් දේවස්ථානවල ද දන්නෝ බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාවක් ඇත


දන්නෝ බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාව

මෙහි මුල් ගායනය ඩබ්ලිව්. ඒ. පෙරේරා, එබ්ලිව්.ඒ. අප්පුසිඤ්ඤෝ සහ ඩබ්ලිව්.ඩී.එස්. ජේමිස් යන අයගේ නම් සොයා ගත හැකිය.

සිරි සඟබෝනාට්‍යයට අනුව සංඝතිස්ස, සංඝබෝධි හා ගෝටාභය යන කුමාරවරු සිට අනුරාධපුරය නගරයට එන අවස්ථාවකදී ඔහු දකින දෑ මෙම ගීතයෙන් කියැවෙයි. බුදු දහමින් පෝෂිත වූ අනුරාධපුර නගරය (පුර වර්ණාව) ගැන එයින් කියැවේ. දැවැන්ත සමාජ කතිකාවක් ඇති වී තිබෙන්නේ මෙම් ගීත 68 වැනි නිදහස් සමරුව වෙනුවෙන් පැවැත්වූ සංගීත ප්‍රසංගයේදී ගායනා කිරීම පිළිබඳ නොව එය බටහිර ඔපෙරා ශෛලියකින් ගායනා කිරීමය. ඔපෙරා යනු දහසය වැනි සියවසේදී ඉතාලියේ බිහිවූ බටහිර සම්භාව්‍ය සංගීත ශෛලියකි.

නිදහස් උළෙලේ මෙම ගායනයට පෙර ඔපෙරා ශෛලියේ ගීත අසා තිබුණත් එය තවමත් අප රටේ සංගීත රසිකයාට ආගන්තුකය. අනෙක නිදහස් සමරුවක් පැවැත්වෙන අවස්ථාවකදී යම් කිසි රටක් ලෝකයට දිය යුත්තේ සිය සංස්කෘතියේ යම් වටිනාකමක් ඇති දේ තිබේ ද ඒවාය. අනෙක දන්නෝ බුදුන්ගේගීතය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කිරීමෙන් පසු, එය වඩාත් සම්භාවනාවට පත් ව ගෞරවනීය ගීතයක් බවට පත් විය.


අර්ථයෙන් ගත් කල බුදු බැති ගීතයක් නොවූව ද භාවිතයේදී එය එම තත්වයේ ලා සැළකීමට අප රටේ බොහෝ දෙනෙක් පුරුදුව සිටිති. එවන් ගීතයක් ක්‍රිෂානි විජේසිංහ විසින් ඔපෙරා ශෛලියකින් ගායනා කිරීම පිළිබඳ බොහෝ දෙනෙකු බරතල විවේචන එල්ල කරන්නට පටන් ගෙන තිබේ. ඇතැම් මාධ්‍ය, සමාජ ජාල වෙබ් අඩවි ආදිය ඇයට එරෙහිව මෙන්ම ඇයට පක්ෂපාත අදහස් දක්වන්නන්න ද දකින්නට හැකිය.

ක්‍රිෂානි විජේසිංහ යනු කවුද?



ක්‍රිෂානි විජේසිංහ යනු අප රටෙන් බිහිවූ විශිෂ්ටතම ඔපෙරා ගායිකාව ලෙස සැළකේ. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය ඔපෙරා සංගීතයේ විශිෂ්ටතම ස්ථානය වූ රෝයල් ඔපෙරා හවුස්හිදී මෙන්ම බ්‍රිතාන්‍ය මහ රැජින ඉදිරියේ තනිව ගායනයක් ඉදිරිපත් කරන්නට වරම් ලද ප්‍රථම ආසියානු කාන්තාව ලෙස ද සැළකේ. අප රටේ ජාතික ඔරු පැදීමේ ශූරතාවය ඇය තෙවරක් දිනාගෙන ඇත. එමෙන්ම ඇය එංගලන්තයේදී නීති උපාධියක් ද හදාරා තිබේ. මේ කෙටි විස්තරය කියැවීමෙන් පවා පෙනෙන්නේ ඇය අප රටට කීර්තියක් ලබාදුන් කාන්තාවක බවය. ඇයගේ සංගීත ඥානය හෝ ගායන හැකියාව පිළිබඳ ද කිසිවකුට ප්‍රශ්න කළ නොහැකිය. කෙසේ වෙතත් මැදිහත්  විචාරකයන් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ ඇගේ ගායන හැකියාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැතත් නිදහස් සමරු සංගීත ප්‍රසංගයේදී එවැනි ශෛලියකින් එම ගීතය ඉදිරිපත්කිරීම උචිත නොවන බවය.

අප රටෙහි බොහෝ කාලයක පටන්ම ඔපෙරා සංගීතය ආශ්‍රිතව යම් යම් නිර්මාණ බිහිව තිබුණ ද ඒවා එතරම් ඉස්මතුවී පැමිණියේ නැත මේ පිළිබඳ සිංහල ජන සමාජයේ කතා බහක් ඇතිවූයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් සිංහල බසින් ඔපෙරා නිර්මාණය කරන්නට පටන් ගැනීමත් සමඟය.  ඔපෙරා ගී ගැයෙන්නේ සංගීත භාණ්ඩ සමූහයකින් සමන්විත (Orchestra) සංගීත සංධ්වනියක් (Symphony) සමගිනි. මෙම සංධ්වනි සංකල්පය සිංහල ජන සමාජයේ කතා බහට වැඩි වශයෙන් ලක්වූයේ කේමදාසයන් නිසාය. ඔපෙරා, සංධ්වනි ආදිය සමඟ ඔහු සිය ගෝල බාලයන්ට ස්වර හැසිරවීමේදී අනුගමනය කළ යුතු, අපේ රටේ සාම්ප්‍රදායික උත්තර භාරතීය සංගීත ශිල්පීන් අනුගමනය නොකරන ක්‍රමවේදයක් පවා හඳුන්වා දෙන්නට පියවර ගත්තේය. මේවා තුළ බහුලව ඇත්තේ ඔපෙරා ගායන ශෛලිය සඳහා උපයෝගී කොට ගැනෙන ක්‍රමවේදයන් ය. එදා ඔපෙරා ශෛලිය මුල්වරට සිංහල සංගීත රසිකයාට හඳුන්වා දුන් සමයේ ද කේමදාසයන්ට ද බොහෝ ගල්මුල් එල්ල වූ බව අතීතය දෙස විපරම් කොට බලන්නකුට දැකිය හැකිය.

ක්‍රිෂානි විජේසිංහ ද ප්‍රේමසිරි කේමදාසයනගේ ශිෂ්‍යාවකව සිට එංගලන්තය කරා ගොස් ඔපෙරා ශෛලිය හැදැරූ බව  දැනගන්නට ද ලැබී තිබේ. කෙසේ වෙතත් ගැටලුව වී ඇත්තේ ඇයගේ ගායන ශෛලිය අපගේ ජන විඥානය හා පෑහීමක් කරගැනීමට ඇති නොහැකියාවය.

සංගීතවේදයට අනුව සංගීතය යනු විශ්ව භාෂාවක් බව සාමාන්‍ය මතයයි. පණ්ඩිත් අමරදේවයන් වරෙක පවසා සිටියේ සංගීතයේ ඇත්තේ භාෂාවකට වඩා විශ්ව වින්දනයක් බවයි. කෙසේ නමුත් මේ විශ්ව වින්දනය පවා විවිධ ජන සංස්කෘතීන් අනුව වෙනස් වෙයි. මුළින්ම ජන සංගීතයක් ලෙස උපදින ශෛලීන් විවිධ ගුණාංග එක්කරගනිමින් පසුකාලීනව සම්භාව්‍ය සංගීතයක් බවට පත් වෙයි. මේ පසුපස යම් රටක ආර්ථික, සමාජමය, ආගමික මෙන්ම දේශගුණික සාධක ද දක්නට තිබේ. විශේෂයෙන් බටහිර සීත රටවල ගායන ශෛලීන්වල උච්ච ස්වර වැඩි වශයෙන් දක්නට ලැබේ. නමුත් නිවර්ත දේශගුණයක් ඇති අප වැනි රටවල එවැනි ශෛලීන් එතරම් දක්නට නැත.

දන්නෝ බුදුන්ගේගීතය ඔපෙරා ශෛලියකින් ගායනාකිරීම පිළිබඳ ධනාත්මක අදහස් දක්වන්නන් බොහෝ දෙනෙකු පවසන්නේ මෙහි සංගීතය විශ්වනාත් ලව්ජි විසින් සිදුකොට තිබුණත් එය බටහිර තනුවක් බවය. එනම් මෙය 1880 වසරේදී වැග්නර් නම් ජර්මානු සම්භාව්‍ය සංගීතඥයා විසින් නිර්මාණය කරන ලද තනුවක් බව කියැවේ.  එය සත්‍ය බව පෙනෙන්නේ ලව්ජිගේ සෙසු සංගීත නිරමාණවලට වඩා මෙහි වෙනස් බවක් දක්නට ලැබීමත් 1903 වසරේ ජෝන් ද සිල්වා සූරීන් මෙම නාට්‍යය රචනාකිරීමට පෙර සිටම දේවස්ථානවල මෙම තනුව අනුව ගැයුණු ගීතිකාවන් භාවිතයේ තිබුණු බවට සාධක තිබීමත් නිසාය. 




අනෙක 1920 හෝ ඊට මඳක් පෙර සමයක හියුබට් රාජපක්ෂ නමැති ගායකයා විසින් දන්නෝ බුදුන්ගේ ගීතය බටහිර ශෛලියකින් ගායනා කොට තිබේ. මේ සියලු දේ සත්‍ය වුව ද වර්තමානය වන විට මෙම තනුව හොඳින්ම ශ්‍රී ලාංකීකරණය වී තිබේ. කතෝලික දේවස්ථානවල භාවිතයට ගැනෙන ගීතිකා (Hymns) මුල් සමයේ බටහිර ශෛලීන්වලින් පැවතිය ද ඔවුන් ද කෙමෙන් සිය ගීතිකා දේශීයකරණයට ලක්කරමින් පවතී. මේ වන විට දේශීය ශෛලීන්ගෙන් ගැයෙන ගීතිකා බටහිර ශෛලියට ගැයුණු ඇතැම් ගීතිකාවලට වඩා ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඇතැම් ගීතිකාවල බටහිර සුවඳ දකින්නට ලැබුණ ද ඒවා මේවන විට සහමුළින්ම දේශීයකරණට ලක්ව හමාරය. උදාහරණයක් ලෙස සයිලන්ට් නයිට්නමැති ගීතිකාව ලතා වල්පොල මහත්මිය විසින් ශාන්ත වූ රාත්‍රියේලෙසින් ගායනා කරන සිංහල ගීතිකාව සඳහන් කළ හැකිය. කෙසේ නමුත් මේවා නැවත බටහිර ශෛලියකින් ගායනා කළහොත්, එහි මුල බටහිර තනුවක් වුව ද අප රටේ රසිකයා එය පිළිගැනීමට යම් මැළි බවක් දක්වනු නිසැකය.

දන්නෝ බුදුන්ගේගීතය ඔපෙරා ශෛලියකින් ගැයීම පිළිබඳ සඳහන් කළ යුත්තේ ද එයමය. මෙහිදී ක්‍රිෂානි විජේසිංහගේ ගායනා හැකියාව හෝ ඔපෙරා ගායන ශෛලිය පිළිබඳව හෝ ගැටලුවක් නැත. අපට එය කෙටි උදාහරණයකින් මෙසේ සඳහන් කළ හැකිය.

අප සීනි මෙන්ම ලුණු ද ආහාරයට ගනිමු. සීනි තේවලට මිශ්‍ර කරන අතර ලුණු කිරි හොදි (වෙනත් ඕනෑම වෑංජනයක්) සමඟ මිශ්‍ර කරනෙමු. නමුත් අප කිරි හොද්දට සීනි හැඳි කිහිපයක් මිශ්‍ර කළහොත් වන්නේ කිරි හොද්ද නීරස වීමය. සීනි දැමිය යුත්තේ තේවලටය. එමෙන්ම ලුණු හැන්දක් තේ සමඟ මිශ්‍ර කළ හොත් සිදුවන්නේ තේ එක නීරස වීමය. එය දැමිය යුත්තේ කිරි හොද්දටය. මෙතැන ඇත්තේ අප සීනිත් ලුණුත් ආහාරයට ගත්ත ද එය ආහාරයට ගත යුත්තේ කුමන අවස්ථාවේ කුමන ඒවා සමඟ ද යන්න පිළිබඳව අවබෝධය තිබිය යුතු බවය. එබැවින් මෙහි ඇත්තේ සීනිවල හෝ ලුණුවල හොඳ හෝ නරක පිළිබඳ ගැටලුවක් නොව ඒවා තැනට සුදුසු පරිදි භාවිත කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ගැටලුවකි. මෙය පිළිබඳ දේශපාලන වශයෙන් අර්ථ දක්වන්නන් පවසන්නේ මෙය පිටුපස ඇත්තේ අප රට අධිරාජ්‍යවාදීනට නැඹුරු කරවීමේ කුමන්ත්‍රණයක් බවයි. සැබවින්ම මෙහි එවැන්නක් නැතත් මේ සියලු චෝදනා එල්ලවීමට හේතු වී ඇත්තේ උසස් වුවත්, සම්භාව්‍ය වුවත්, යමක් නුසුදුසු අවස්ථාවක, නොගැළපෙන පිරිසකට ඉදිරිපත්කිරීමේ පලවිපාකයය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ නිදහස් උළෙලේ අභිමානවත්බව පිළිබඳ විවිධ පුදගලයන්ට ප්‍රශ්න කරන්නට අවස්ථාව ලැබීමත්, අප රටට කීර්තියක් ගෙන දුන් දක්ෂ ඔපෙරා ගායිකාවක් සමාජය ඉදිරියේ නින්දාවට හා අපහාසසයට ලක්වීමත්ය.



Thursday, February 4, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 7 කොටස - New Gadgets for New World Part 7

කොහේ ගියත් දුරකතනය ආරෝපණය කරගන්න නම්



ගමන් බිමන් යද්දි, විශේෂයෙන් නොදන්නා පළාත්වලට විනෝද චාරිකා ආදිය යද්දි විදුලි බලය ගැන ගැටලු ඇතිවෙන්න පුළුවන්. නවාතැන් පහසුකම් තිබුණත් ඇතැම් විට විදුලි බලය නැති වෙන්න පුළුවන්. මේ ගැටලුවට විසඳුමක් විදිහයට සූර්ය බලයෙන් ජංගම දුරකතන ආරෝපණය කරන්න පුළුවන් උපාංගයක් වෙළෙඳ පළට ඇවිත් තිබෙනවා. මෙවැනි ඒවා බොහෝ තිබුණත් මෙහි විශේෂත්වය වන්නේ ඔබේ නවාතැනේ ජනෙල් වීදුරුවේ රික්තක බලයෙන් සවි කළ හැකි ආකාරයට සකස් කොට තිබීමයි. එවිට කවුළුවට පතිත වන හිරු එළිය වැඩිම ප්‍රමාණයක් මෙයට උරාගන්නට එයට පුළුවන්. මිලි ඇම්පියර් 1000 නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් මෙහි තිබෙනවා. මෙය හිරු එළියෙන් වගේම විදුලි බලයෙන් ද ආරෝපණය කරන්නටත් පුළුවන්. ඒ නිසා පවර්බෑන්ක් එකක් ලෙස භාවිත කරන්නටත් පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 49ක් (රු.7000) පමණ වෙනවා.


වැඩි බලයක් සහිත පවර්බෑන්ක් එකක්



පවර්බෑන්ක්කිව්වම දැන් කවුරුත් දන්නවා මේ මොනව ගැනද කියන්නේ කියලා. හදිසියේ ඔබේ ජංගම දුරකතනය නිවසේදී ආරෝපණය කරගන්නට නොහැකි වුණොත්, රාත්‍රියේ විදුලිබලය ඇණ හිටියොත්, විදුලි බලය නැති පළාතාකට රාත්‍රියක්, දෙකක් ගත කරන්න වුණොත් දුරකතනය ආරෝපණය කරගන්නට ගැටලු ඇතිවෙනවා. නමුත් හොඳ පවර්බෑන්ක් එකක් තිබේ නම් මේ කිසිවක් තවදුරටත් ගැටලු වන්නේ නැහැ. විවිධ වර්ගයේ පවර්බෑන්ක් වෙළෙඳ පළේ දකින්නට තිබුණත් ඒවායේ බලය වැඩිවෙන තරමට මිල ද ඉහළයි. නමුත් ඇන්කර් ඇස්ට්‍රෝ ඊ4’ (Anker Astro E4) කියන පවර්බෑන්ක් එක එයට වඩා වෙනස්. මෙහි මිලි ඇම්පියර් 13000ක බලයක් සහිත බැටරියක් තිබෙන අතර ස්මාර්ට් වර්යේ ජංගම දුරකතන 6ක් ආරෝපණය කරන්නට තරම් හැකියාවක් තිබෙනවා. ඒ වගේම ජංගම දුරකතන දෙකක් එකවර ආරෝපණය කරන්නටත් පුළුවන්. මෙවැනි හැකියාවක් සහ බලයක් ඇති පවර්බෑන්ක් එක්ක වෙළෙඳපළේ සෑහෙන මිලකින් යුක්ත වුණත් ඇන්කර් ඇස්ට්‍රෝ ඊ4’ ඇමසන් කියන අන්තර්ජාල පොලෙන් ඇමරිකානු ඩොලර් 45කටත්  (රු.6500) වඩා අඩුවෙන් මිලට ගන්න පුළුවන්. 



ලයිට් පත්තු වෙන ටීෂර්ට්


අද විවිධ වර්ගයේ ඇඳුම් ආයිත්තම් වෙළෙඳපළේ දකින්නට පුළුවන්. ඒවා අතරේ මේ පවසන්නට යන ටීෂර්ට එක විශේෂයි. විශේෂයි කියා සඳහන් කළේ මෙයින් ආලෝකය විහිදුවන්නට පුළුවන් නිසයි. එහි පපු කොටස් ඇති එල්ඊඩී පැනලයට  සංගීත උපාංගයක මෙන් හඬට අනුව උස්පහත් වෙමින් ආලෝකය නිකුත් කරන්නට පුළුවන්. එහි ඇති කුඩා මයික්‍රෆෝනයකින් හඬ උකහාගෙන ඒ අනුව මෙහි ආලෝකය නිකුත් කරනවා. සංගීත සංදර්ශන, සාද, විනෝදගමන්වලට ඉතා කදිම වර්ගයේ ටී ෂර්ට් එකක් විදිහට මෙය හඳුන්වා දෙන්නට පුළුවන්. ඇමරිකානු ඩොලර් 13ක් (රු. 1900ක් පමණ) ලෙස මිල සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් මේ ගැන විස්තර සඳහන් කර තිබූ වෙබ් අඩවියේ මෙය සෝදන ක්‍රමයක් ගැන නම් සඳහන් කර තිබුණේ නැහැ.


හෝදමින් නවමින් පාවිච්චි කළ හැකි යතුරු පුවරුවක්


පරිගණක යතුරු පුවරු භාවිත කිරීමේදී සමහර වෙලාවට ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකියි. කොතැනකට හෝ එය රැගෙන යන්නට අවශ්‍ය වූ විට ඒ සඳහා සම්පුර්ණම ඉඩක් වෙන් වෙනවා. ඒ වගේම හදිසියේ යම් දියරයක් එය මතට හැලුනොත් ඔක්කෝම ඉවරයි. මේ වගේ ගැටලු ගැන හිතපු කවුරු හරි මෙන්න මේ යතුරු පුවරු නිර්මාණය කරලා තියෙනවා. එහි විශේෂත්වය තමයි රබර්වලින් සාදා තිබීම. ඒ නිසා කොහේ හරි අරන් යනවා නම් රෝල්කරගෙන පුංචි ඉඩක් අස්සේ අරගෙන යන්න පුළුවන්. ඒ වගේම සෝදන්නත් පුළුවන්. ඒ කියන්නේ ජලයට හොඳින් ඔරොත්තු දෙනවා. මිල ගැන සඳහන් කළොත් සාමාන්‍ය හොඳ වර්ගයේ යතුරු පුවරුවක් සහ මෙය අතර මිලෙහි වැඩි වෙනසක් නැහැ. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 20ක් (රු. 2,900)කට මිලට ගන්න පුළුවන්.

පෙර ලිපිය






Tuesday, February 2, 2016

සිකා වෛරසය ගැන ඔබ දත යුතු දේ - Thing you should know about Zika Virus


මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිතර කතා බහට ලක්වන එක් සුවිශේෂී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ සිකා’ (Zika) වෛරසයයි. මෙය දිවා කාලයේ සක්‍රිය ඊඩිස්’ (Aedes) නම් මදුරු විශේෂයන් ඔස්සේ බෝවන්නේ යැයි සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ද ඊඩිස් වර්ගයේ මදුරුවන් බහුලව සිටින බැවින් අප රටට ද මෙම වෛරසයේ තර්ජනයක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. එසේ හෙයින් මෙම සිකා වෛරසය පිළිබඳව දැන සිටීම සෑම අතින්ම ප්‍රයෝජනවත්ය.

කවුරුත් දන්නා පරිදි සිකා වෛරසය බෝවන්නේ මදුරු දෂ්ටනය ඔස්සේය. උණ, සිරුරේ දද මතුවීම, හන්දි අමාරුව සහ ඇස් රතු පැහැ ගැන්වීම මෙහි පොදු රෝග ලක්ෂණ වේ. රෝග තත්වය එතරම් දරුණු තත්වයක් නොපෙන්වන අතර දින කිහිපයක සිට සතියක පමණ කාලයක් දක්වා පවතී. මෙය බරපතල තත්වයට පත්ව රෝහල් ගත කරන්නට සිදුවූ අවස්ථා වාර්තා නොවන තරම්ය.

මෙය මුල්වරට හඳුනාගනු ලැබූයේ 1947 වසරේදීය. ඒ කහ උණ පිළිබඳ පර්යේෂණ ආයතනයක විද්‍යාඥයින් පිරිසක් විසින් උගන්ඩාවේ වික්ටෝරියා විළ අසල වූ සිකා වනාන්තරයේ කූඩුවල දමා සිටි රීසස් වර්ගයේ වඳුරෙකුගෙනි. එය දෙවැනි වරට සොයා ගත්තේ 1948 වසරේදී එම ස්ථානයේදීම ඊඩිස් ඇෆ්‍රිකානුස්’ (Aedes africanus) නම් මදුරුවෙකුගෙනි. මෙය මදුරුවන් මගින් බෝවන වෛරසයක් ලෙස හඳුනාගනිමින් පර්යේෂකයන් විසින් 1952 වසරේදී එය සිකාලෙස නම් කරනු ලැබිණි. මෙය මුල්වරට මිනිසකුගේ සිරුරේ තිබී හඳුනා ගනු ලැබූයේ 1968 වසරේදී නයිජීරියාවෙනි. 1951 සිට 1981 අතර තුර කාලයේ මෙය මිනිසුන්ට බෝවී ඇති බව බවට පසු කාලයේදී බොහෝ අප්‍රිකානු රටවල්වලින් වාර්තා විය. එමෙන්ම ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය යන ආසියානු රටවලින් ද මෙම වෛරසය වාර්තා වී තිබේ.

බෝ විය හැකි ආකාර

1. මදුරු දෂ්ටන
මෙය මූලික වශයෙන්ම බෝවන්නේ මදුරු දෂ්ටනයෙන් බව අපි කතා කළෙමු. විශේෂයෙන් ඊඩිස්වර්ගයේ මදුරුවන්ගෙන් බෝවන අතර ඩෙංගු සහ චිකුන්ගුන්යා වෛරසය පතුරුවන්නේ ද මෙම වර්ගයේ මදුරුවන්මය. අප රටේ මෙම මදුරුවන් බහුල බැවින් මෙය පිළිබඳ වඩාත් සැළකිලිමත් වීම සිහිකටයුතුය.

වතුර භාජන, බාල්දි, සතුනට ජලය ලබාදෙන භාජන, මල් බඳුන් ආදියෙහි ඇති නිශ්චලව පවතින දියෙහි මෙම මදුරුවන් බිත්තර දමයි. ඔවුන් මිනිසුන් සිටින අවට ගැවසෙමින් දෂ්ට කරන්නට කැමැත්තක් දක්වන බව සොයාගෙන තිබේ. එමෙන්ම මොවුහු  දිවා කාලයේදී නිවෙස් තුළදී මෙන්ම නිවෙස්වලින් පිටතදී ද ඉතා සක්‍රියව මිනිසුන්ට දෂ්ට කරති. එමෙන්ම රාත්‍රී කාලයේදී ද මොවුන්ට දෂ්ට කිරීමට හැකියාව පවතින නිසා දිවා රාත්‍රී දෙකෙහිදීම මොවුන්ගෙන් ප්‍රවේශම්වීමට වග බලා ගත යුතුය.

මෙය වැළඳුනු පුද්ගලයකුට මදුරුවකු දෂ්ට කළ විට මදුරුවා ද එම වෛරසයෙන් ආසාදනය වන අතර එම මදුරුවාගෙන් තවත් පුද්ගලයකුට ද වෛරසය පැතිරී යයි.

2. මවගෙන් දරුවාට

කලාතුරකින් මවගෙන් දරුවාට මෙම වෛරසය බෝවූ අවස්ථාවන් ද අසන්නට ලැබේ. දරුවා බිහි කරන්නට ආසන්න අවස්ථාවකදී මවකට මෙම වෛරස් ආසාදනය ඇති වුවහොත්, අලුත ඉපදෙන දරුවාට ද මෙම වෛරසය බෝවීමට ඉඩ ඇති මුත් එය ඉතාමත් කලාතුරකින් සිදුවන්නකි. එමෙන්ම ගර්භනී අවධියේදී ආසාදිත මවගෙන් කළලයට මෙම වෛරසය පැතිරී යන්නට ද ඉඩ තිබේ. නමුත් මේ පිළිබඳව මෙතෙක් නිශ්චිත අදහසක් ඉදිරිපත් කොට නැත.  කෙසේ නමුත් වෛරස් ආසාදිත මවගේ කිරි ඔස්සේ දරුවාට මෙම වෛරසය පැතිරී යන බවට මෙතෙක් කරුණු හෙළිවී නැත. එබැවින් කිරි දෙන මවකට මෙම වෛරසය බෝවී ඇත් නම් දරුවාට කිරි දීම අඛණ්ඩව සිදුකරන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති.

3. ලිංගික සම්බන්ධතා මගින්

රුධිර පාරවිලයනය  සහ ලිංගික සම්බන්ධතා ඔස්සේ ද මෙම වෛරසය පැතිරුණු අවස්ථා වාර්තා වී තිබේ.

බරපතල තත්වයන්

ලඝු ශීර්ෂතාවය

සිකා වෛරසය සාමාන්‍යයෙන් බරපතල නොවූව ද ඇතැම් අවස්ථාවලදී සංකීර්ණ තත්වයන්ට පත් වේ. ලඝු ශීර්ෂතාවය’ (microcephaly) සහ මොලයට යම් යම් හානි සිදුවීම මෙහි සංකීර්ණ අවස්ථාවන් වේ. මෙහිදී ලඝු ශීර්ෂතාවයනුවෙන් සඳහන් කෙරෙන්නේ හිසෙහි වර්ධණය අඩපණ වීමය. වයසට සරිලන පරිදි හිසෙහි වර්ධණය සිදු නොවන අතර ඒ නිසා මොලයේ වර්ධනය ද අඩපණ වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවගේ බුද්ධි වර්ධනය අඩපණ වන්නට ඉඩ තිබේ. මෙම තත්වය සොයා ගනු ලැබූයේ 2015 (පසුගිය වසරේ) දෙසැම්බර් මාසයේදී වූ අතර සිකා වෛරස් ආසාදනය සහ ලඝු ශීර්ෂතාවය අතර සම්බන්ධතාවයක් පවතින බව තහවුරු විය. නමුත් ලඝු ශීර්ෂතා සිදුවීම් අතරින් කොපමණ සංඛ්‍යාවක් සිකා වෛරසය සමඟ සම්බන්ධ දැයි මෙතෙක් අනාවරණය වී නැත.

රෝගය වළකා ගැනීම

සිකා වෛරසය සඳහා තවමත් කිසිදු එන්නතක් සොයාගෙන නැත. කළ යුතු හොඳම දෙය නම් මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීම සඳහා හැකි සියලු පියවර ගැනීමය. ඔබ ප්‍රදේශයේ දිවා සහ රාත්‍රී කාලයේ මදුරුවන් බහුලව සිටින්නේ නම් මදුරුවන් පළවා හරින උපක්‍රම, ආලේපන ආදිය භාවිත කිරීම වඩාත් සුදුසු වේ. කෙසේ නමුත් අවුරුදු 2කට වඩා වයසින් අඩු දරුවන් සඳහා මදුරුවන් පළවා හරින ආලේපන භාවිත කිරීමෙන් වළකින්න. ඔවුන්ගේ සම්පූර්ණ සිරුර ආවරණය වන පරිදි ඇඳුම් අන්දවන්න. නිදාගැනීමේදී මදුරු දැල් භාවිත කරන්න.

රෝගය වැළඳුනු විට


ඩෙංගු රෝගයට මෙන් මෙයට ද විවේකය අවශ්‍ය වන අතර වෙනත් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් නැත. විජලනයෙන් වැළකීම සඳහා හැකිතාක් ජලය පාලය කළ යුතුය. උණ සහ වේදනාව සමනය කිරීම සඳහා වෛද්‍ය උපදෙස්වලට අනුව ඖෂධ ලබාගත යුතුය. ඇස්පිරින් වර්ග කිසිවක් භාවිතයට ගැනීමෙන් වළකින්න. ආසාදිත පුද්ගලයකු ඔස්සේ මදුරුවන්ගේ මාර්ගයෙන් වෛරසය පැතිරී යා හැකි බැවින් එය වැළැක්වීමට ද කටයුතු යෙදිය යුතුය.

Monday, February 1, 2016

විභව ගණිකාවන්ගේ පරෙස්සම් වන්න - Beware of Potential Protitutes


අගනගරයේ පිහිටි සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරයකි. එය ව්‍යාපාරික ලෝකයේ මෙතරම් ඉහළ තැනකට ගෙන එන්නට වෙහෙස මහන්සි වූ පුද්ගලයන් අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් තරුණ සාමාජිකයකු වන කණිෂ්ක’ (අනවර්ත නාමයකි) සුවිශේෂීය. ඔහුගේ සියුම් ව්‍යාපාරික ඥානය නොවන්නට සෙසු තරගකාරී ව්‍යාපාර පරයා මෙය මෙතරම් ඉහළකට නැගෙන්නට ඉඩක් නැත. මේ නිසා ව්‍යාපාරික ලෝකයේ සෙසු සමාගම් ඔහු ලවා සිය සමාගම්වල සේවකයන් දැනුවත්කිරීමේ වැඩසටහන් ආදිය ද ලබාගන්නට උනන්දු විය. ඔහුගෙන් එවැනි සේවයක් ලබාගන්නට එක්තරා සමාගමක නමක් සඳහන් කරමින් දිනක් රූමත් කාන්තාවක පැමිණියාය. කණිෂ්ක සුපුරුදු පරිදි ඇය සමඟ ඉතා සුහදශීලීව කතා බහ කළේය. ඔහු ලවා සිය සමාගමේ සේවකයන් සඳහා ධනාත්මක චින්තනය පිළිබඳ වැඩසටහන් කිහිපයක් පවත්වාගත යුතු බව පවසා ඔහුගේ පෞද්ගලික දුරකතන අංකය ආදී සෙසු විස්තර රැගෙන ඇය නික්ම ගියාය. දින කිහිපයකට පසු ඇයගේ ඔහුට ඇමතුමක් ලැබිණි. ඔහු එයට පිළතුරු දුන්න ද ඇය පෙරකී වැඩසටහන පිළිබඳ කිසිවක් කතා නොකළ අතර වෙනත් වැල්වටාරම් ආදිය කතා කළාය. සිය පවුල් ජීවිතයේ ඇති අර්බුද පිළිබඳව ද ඇය මෙහිදී පවසා සිටියාය. ඔහු ඒවා දෙස ධනාත්මකව බලා විසඳාගන්නා අයුරු පවසා සිටියේය. යළිත් දින කිහිපයකට පසු ද ඇය කතා කළාය. එහිදී ඇය පැවසූයේ සිය සැමියා අසනීප කිහිපයකටම ලක්ව සිටින බවත්, තමාව ලිංගිකව සතුටුකිරීමට හෝ ඔහුට හැකියාවක් නැති බවත්ය. කණිෂ්ක වැන්නකු තමාගේ සැමිය වූයේ නම් ඔහුට දෙවියකුට මෙන් සළකමින් ජීවත්වන බව ද ඇය පැවසූවාය. එමෙන්ම ඇය නොකියා ඉඟි කොට සිටියේ ඔහු හා වඩාත් සමීප ඇසුරකට කැමති බවය. කෙසේ හෝ ව්‍යාපාරික ලෝකයේ මේ සා දුරක් බොහෝ අභියෝගවලට මුහුණ දෙමින්, විවිධ පුද්ගලයන් ඇසුරු කරමින් පැමිණි ඔහුට මැයගේ මේ හැසිරීමෙහි යම් අමුත්තක් දැනුණි. ඒ නිසාම ඇයට ද සොරා ඔහු ඇය පිළිබඳ සොයා බැලුවේය. එවිට ඔහුට ඇය පිළිබඳ සියලු තොරතුරු සොයාගන්නට හැකියාව ලැබිණි. ඇය පැමිණ තිබුණේ කණිෂ්කගේ ව්‍යාපාරයේ සමීපතම තරගකාර සමාගමේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමටය. ඇය වූ කලී ඔහු වෙනුවෙන් අටවන ලද පැණි උගුලකි’ (Honey Trap හෙවත් පැණී උගුල් ගැන මෙතැනින් කියවන්න.) ඔහු හා සමීප සබඳතම් පවත්වන්නට ඇය එවා තිබුණ ද ඇය අනෙක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා සමීපව කටයුතු කරන මුත් වෙනත් සමාගමක සේවය කරන කාන්තාවක විය. ඇයට වෙනත් ස්ථිර රැකියාවක් ද තිබිණි. නමුත් ඇය සිය රැකියාවට අමතරව මූල්‍යමය අරමුණු උදෙසා ඇතැම් අවස්ථාවලදී මෙසේ ගණිකා වෘත්තියේ යෙදෙන්නට ඉදිරිපත් වන තැනැත්තියක විය. කණිෂ්ක වුව වඩාත් විපරම්ශීලී නොවූයේ නම් නිසැකවම ඇය ඔහු සමඟ යහන්ගත වන අතර ඉන් පසුව එය ඉදිරියට දමමින් ඔහුගේ ව්‍යාපාරික ගමන අඩපණ කිරීම ඇයගේ අරමුණ විය.

වෘත්තියෙන් ගණිකාවක නොවූව ද විවිධ අවස්ථාවලදී මූල්‍යමය හෝ වෙනත් හේතු මත පිරිමින් සමඟ යහන් ගතවන්නට ඉදිරිපත් වන මෙවැනි කාන්තාවන් සමාජ විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ විභව ගණිකාව’ (Potential Prostitute) වශයෙනි. අපේ රටේ මෙන්ම ලෝකයේ සියලු රටවල ද මෙවැනි කාන්තාවන් දැකිය හැකිය. එක් පුද්ගලයකෙු වරෙක පවසා සිටියේ ආදායම් බදු සඳහා මුල්ම වරට අවශ්‍ය ලියකියවිලි පිරවීමෙන් පසු මෙවැනි කාන්තාවන් හමුවන බවය. ආදායම් බදු ගෙවන්නා සැළකිය යුතු ධනයක් ඇත්තකු නිසා ඔවුන්ගෙන් මූල්‍යමය වාසි ගැනීමේ අදහස ඇතිව මෙවැනි හමුවීම් සැළසුම් කෙරේ. මේවා පිටුපස යම් යම් රහසිගත පුද්ගලයන් සිටින බැව් පැවසේ. 

මේ කිසිම කාන්තාවක කිසිඳු අවස්ථාවක වෘත්තීය ගණිකාවක ලෙස ක්‍රියාකරන්නේ නැත. මේ බොහෝ දෙනාට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් තිබේ. එය ඔවුන්ගේ මූලික රැකියාවය. ඔවුන්ට පවුල් ජීවිත පවා තිබෙන අතර දරු දැරියෝ ද  සිටිති. සමාජය දකින්නේ ඇය වඩාත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන බවය. සිය සැමියා සමඟ ආදරයෙන් වෙලී සිටිනු සෙසු සමාජය දකියි. එබැවින් ඇය සමාජයේ ඉතා වැදගත් කාන්තාවක් ලෙස පෙනේ. කෙසේ නමුත් ඇය තමාගේ හෝ වෙනත් පුද්ගලයකුගේ යම් අරමුණක් ඉටුකිරීම සඳහා මුදල් අයකොට ගණිකා වෘත්තියෙහි යෙදෙන්නීය. එය දන්නේ අය සහ තවත් ස්වල්ප දෙනෙකු පමණක් වන අතර ඇය සමාජය ඉදිරියේ පවත්වාගෙන යන ප්‍රතිරූපය එලෙසම රැකගනියි.

ඉහත සඳහන් කළ ආකාරයේ විභව ගණිකාවන් මෙන්ම වෙනත් ආකාරයේ විභව ගණිකාවන් ද දැකිය හැකිය. ඔවුන් ද වෘත්තියෙන් ගණිකාවන් නොවේ. නමුත් ඇය සේවය කරන ස්ථානයේ සියලු දෙනා ඇය නිල නොවන වශයෙන් හඳුන්වනු ලබන්නේ එවැනි අරුතකිනි.

අරකි ඔහොම හිටියට මෙන්න මෙහෙමයි හැටි. අපේ බොසා එක්කත් ගිහින් තියෙනවා.

මෙවැනි කාන්තාවෝ තමා සේවය කරන ආයතනයේ, තමා නිතර ගමන් කරන ප්‍රවාහන සේවයේදී හමුවන යම් යම්  පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වති. ඒ බොහෝ විට මූල්‍යමය හෝ වෙනත් වාසි අරමුණු කොටගෙනය. නමුත් සියලු දෙනා සමඟ ඇය එසේ හැසිරෙන්නේ ද නැත. ඇයට වාසියක් නොලැබෙතැයි සිතන පුද්ගලයන් සමඟ ඇය හැසිරෙන්නේ වඩාත් වැදගත් ආකාරයකිනි.

විභව ගණිකා තත්වයට පත්වන ඇතැම් කාන්තාවන් ස්ථිර වශයෙන්ම යම් ආයතනයක යම් ප්‍රධානියකුගේ අනියම් බිරිඳ ලෙස සිටිනු ද දක්නට ලැබේ. එවැනි කාන්තාවන් බොහෝ විට විවාහ වන්නේ ද නැත. ඇය සිය රැකියාවෙන් ගන්නා වැටුපට අමතරව සිය ප්‍රධානියාගෙන් ද මූල්‍යමය වාසි අත්කරගනී. යම් අවස්ථාවක ප්‍රධානියා එම සමාගමෙන් නික්ම ගියහොත්, එවැනි ඇසුරකට කැමති වෙනත් ප්‍රධානියකු ග්‍රහණය කරගැනීමට ඇය උත්සාහ කරයි. නමුත් ඇය ගණිකාවක ලෙස ලේබල්අලවා ගන්නේ නැත. ගණිකා වෘත්තියේ යෙදුනේ යැයි ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට හෝ හැකියාවක් නැත.

විභව ගණිකාවන් බවට යම්කිසි කාන්තාවක් පත්වීම පිටුපස මනෝ විද්‍යාක්මක කරුණු  බොහොමයක් තිබේ. මෙවැනි කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇත්තේ මිහිරි ළමා අවධියක් නොවේ. ඒ බොහොමයක් කඩතොලු වූ ළමා කාලයන් ය. ඇතැමුන් ළමා වියෙහිදීම ලිංගික අතවරවලට ලක්වූ අය ය. ඇතැමුන්ගේ පවුල් පසුබිම අමිහිරිය. අඬදබර කරගනිමින් ජීවත්වූ දෙමාපිය පසුබිමක හැදී වැඩුණු අය ය.  ඔවුන් මේවා මැඩගෙන ජීවිතයේ ඉදිරියට ගමන් කළ ද මනසේ ඇතිවූ පැල්ලම් කිසිදා මැකෙන්නේ නැත. ළමා වියෙහිදී ලද මානසික පීඩනය මනසින් දුරස් නොවේ. එබැවින් වයසින්ම වැඩුණු පසු යම් යම් අවස්ථාවලදී විවිධ අරමුණු වෙනුවෙන් ලිංගිකත්වය යොදාගැනීම පිළිබඳ ඔවුන් එතරම් බරපතල ලෙස සිතන්නේ නැත.

යොවුන් වියෙහිදී අමිහිරි ආදර අත්දැකීම ලබාගන්නා කාන්තාවන්ට ද පසුකාලීනව විභව ගණිකාවන් බවට පත්වීමේ මානසිකත්වය ඇතිවන බැව් සොයාගෙන තිබේ. ආදරය පිළිබඳ අමිහිරි අත්දැකිම් ලැබීමෙන් පසු ඔවුන් තුළ ආදරය, පවුල් ජීවිතය පිලිබඳව ගැඹුරු හැඟීම් ඇතිවන්නේ නැති බව පෙනෙයි. එවැනි බැඳීම් ගැන ඔවුන් තුළ ඇත්තේ අඩු තක්සේරුවකි. ලිංගිකත්වය පිළිබඳ පවා සිතන්නේ, “අයියෝ ඕක සුළු දෙයක්නේවැනි ආකාරයකිනි. එබැවින් ඔවුහු පහසුවෙන් පිරිමින් හා සම්බන්ධකම් ඇතිකොට ගෙන ලිංගික සම්බන්ධතා පවත්වති. අදාළ පිරිමියා ඇසුරු කරන කාල වකවානුවේදී ඇය ඔහුගෙන් බොහෝ මූල්‍යමය ආධර උපකාර ලබාගනියි. ඔහුට වඩා වෙනත් වාසිදායක පුද්ගලයකු පිළිබඳ දැනගන්නට පැබුණහොත් ඔහු සමග සම්බන්ධකමක් ඇතිකරගැනීමට ද දෙවරක් සිතන්නේ නැත.

මෙම තත්වයට පත්වන ඇතැම් කාන්තාවන්ට මූල්‍යමය අරමුණු නැත. ඔවුන් එය සිදුකරන්න් සිය සතුට වෙනුවෙනි. සතුට වෙනුවෙන් යම් යම් හානිකර දේවලට ඇබ්බැහි වන මෙම තත්වය මනෝ විද්‍යාවේදී අවෝන්මාදී පෞරුෂත්වය’ (Hypomanic personality) යනුවෙන් හඳුන්වනු ලබයි. ඔවුන්ට ජීවිතයේ බරක් පතලක් නැත. සාදාචාරය පිළිබඳ අදහසක් නැත. ඇත්තේ තම අරමුණු ඉටුකරගැනීම පමණි.


මේ අනුව විභව ගණිකායන තත්වය විවිධ හේතූන් නිසා ඇතිවන බැව් පෙනෙන්නට තිබේ. ගණිකාවක ලෙස සමාජ සම්මතයට ලක් වූ කාන්තාවක් හඳුනාගත හැකි වුව ද මෙවැන්නියන් ඇතැම් විටෙක හඳුනාගත නොහැකිය. අනෙක ඔවුන් මෙම සැඟවුණු ක්‍රියාවට මුවා වී ගණිකා වෘත්තිය ඉක්මවූ විවිධ අපචාර ක්‍රියාවන්හි ද නිරත විය හැකිය. මොවුන් සැඟවුණු චරිත බැවින් තම තම නැණ පමණින් ඔවුන් හඳුනාගෙන ජීවත්වීම නුවණට හුරු ය.