පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, December 21, 2014

නැන්දණිය හා විවාහ වුණු සිරිලක රජු - වසභ - King Vasabha who married his Aunt

රාධා - ක්‍රිෂ්ණා


සුභ - යස කතාව ගැන අහපු නැති කෙනෙක් නැතිව ඇති. අර දොරටුපාළ සෙල්ලම කරන්න ගිහින් යසලාලක තිස්ස රජතුමාට රජකම නැතිවුණු කතාවත්, දොරටුපාලයෙක් වුණු සුභ රජ වුණු කතාවත් ගැනයි මම මේ කියන්නේ. මෙහෙම රජකම ලබාගත්තු සුභ රජතුමාටත් දෙයියනේ කියල රජකම කරගෙන ඉන්න වුණේ නැහැ. ක්‍රි.ව. 66 දී ඔහුව පරදවා වසභ රජු ලංකාවේ රජකම ගත්තා. මේ වසභ රජතුමා ගැනත් නොකියාම බැරි හරි අපූරු කතාවක් තියෙනවා. 

යම්කිසි දවසක ‛වසභ’ නම් තැනැත්තෙක් තමාව මරා දමා රජකම ලබාගන්නා බවට අද කාලේ වගේම ඒ කාලයේ හිටපු දෛවඥයෙක් අනාගත වාක්‍යයක් කිව්වා. මේක අහපු වෙලාවේ ඉඳන්ම සුභ රජතුමාට හරියට කන්න පුළුවන් වුණෙත් නැහැ. නින්ද ගියෙත් නැහැ. ‛වසභ’ කියලා නම තියෙන හැම කෙනෙක්ම හොය හොයා මරාදමන්න පටන් ගත්තා. 

සුභ රජුගේ සෙන්පතියාගේ බෑණාගේ නම වුණෙත් ‛වසභ’. තමන්ගේ බෑණා වුණත් රජ අණට පිටුපාන්න බැරි නිසා මේ සෙන්පතියා වසභව රජමාලිගාවට කැටිව යන්න තීරණය කළා. වසභ තමාට සිදුවන්නට යන ඉරණම ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් සෙන්පතියාගේ බිරිඳ, ‛පොත්ථා’ මේ බව දැන සිටියා. තමන්ගේ බෑණාට සිදුවන්නට යන ඉරණම ගැන ඇයට ඇතිවුණේ කම්පාවක්. වසභව මරණයෙන් ගළවාගන්නට ඇය උපක්‍රමයක් යොදුවා. සිය සැමියාගේ බුලත් විට මල්ල ඇය එදා පිළියෙලකොට දුන්නේ ද්‍රව්‍ය කිහිපයක් අඩුවෙන්. 

උදේම සෙන්පතියා සහ වසභ රජ මාලිගාවට යන්න පිටත් වුණා. අතරමගදි සෙන්පතියා බුලත් විට කන්නට සූදානම් වුණා. බුලත්විට ද්‍රව්‍ය කිහිපයක් අඩු බව ඔහු දැනගත්තේ එවිටයි. එතරම් දුරක් ගමන් කොට නොතිබුණු නිසා බුලත් විටට අවශ්‍ය ඉතිරි ද්‍රව්‍ය ඉක්මණින්ම නිවසට ගොස් රැගෙන එන්නැයි පවසා සෙන්පතියා වසභව යළි නිවසට පිටත් කළා. 

සෙන්පතියාගේ බිරිඳ වන පොත්ථා හෙවත් වසභගේ නැන්දණිය ඔහුගේ මේ පැමිණීම අපෙක්ෂාවෙනුයි සිටියේ. ඇය වසභට සියලු තොරතුරු ඒ අවස්ථාවේදී පවසා සිටියා. වහාම දුර පළාතකට පළාගොස් ජීවිතය බේරාගන්නා ලෙස පවසා ඔහු අතට කහවණු දහසක් ද දුන්නා. 

පළාගිය වසභ මහා විහාරවාසී භික්ෂූණ් වහන්සේලාගේ සහාය ද ලබාගෙන බලවත් වී කැරැල්ලක් ගැසුවා. මෙහිදී ඇතිවුණු ගැටුමෙන් සුභ රජු වගේම රජුගේ සෙන්පතියා හෙවත් වසභගේ මාමණ්ඩිය ද මිය ගියා. අවසානයේ දෛවඥයා පැවසූ පරිදි වසභ රජකමට පැමිණියා.

තමාගේ පණ බේරාගැනීමට උදව් කළ සිය මාමණ්ඩියගේ බිරිඳ වූ පොත්ථා කණවැන්දුම් වුණා. මේ පිළිබඳ සංවේගයක් පහළ කරගත් වසභ රජු ඇයව විවාහ කරගන්නට තීරණය කළා. 

සිය නැන්දණිය විවාහ කරගත් රජකු පිළිබඳ අප රටේ ඉතිහාසයෙන් හමුවන එකම උදාහරණය මෙය බව සැළකෙනවා. මේ අවස්ථාවේදී මෙය සමාන හින්දු දේව කතාවක් ද නොකියාම බැහැ. ඒ තමයි රාධා - ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තය. ඒ කතාව අනුව ක්‍රිෂ්ණාගේ පෙම්වතිය වන රාධා නෑකමට ඔහුගේ නැන්දණිය බව බව තමයි දේව පුරාණයෙන් සොයාගන්නට ලැබෙන තොරතුරුවලට අනුව දැනගන්නට ලැබෙන්නේ.

Friday, December 19, 2014

ඌවේ කුඩා මොහොට්ටාල සහ බහිරවයා - Uwe Kuda Mohottala and the Elf



කවියකු විදිහට නමක් දිනාගෙන සිටි ඌවේ කුඩා මොහොට්ටාලගේ මරණය ගැන ඇත්තේ දුක්මුසු කතාවක්. ඌවේ කුඩා මොහොට්ටාල ක්‍රි.ව. 1634 - 1638 සමයේ රචනා වුණු ‛රාජසිංහ විරුදාවලි’ නම් කාව්‍යයයේ කතුවරයා විදිහට සැළකෙනවා. 

‛පොතක් කීර කර ගිරිසිර                    වරුණා
සකත් ආර සර කර උර                        බරණා
මෙසත් සාර කර හිම්මෙර                   දෙරණා
රකිත් වීර වර රජසිහ                          නරණා’ 

(පරණ පොතක අපැහැදිලි අකුරින් තිබුණු මේ කවියේ පද ඇතැම් විට වැරදිවන්නටත් පුලුවන්. නමුත් මේ කතාවට අදාළ නිසා එය මෙහි සඳහන් කළා) 

යනුවෙන් විරුදාවලි කවි ලියූ කිවියා ඌවේ කුඩා මොහොට්ටාලයි. 

ඌවේ කුඩා මොහොට්ටාල දවසක් දෙවැනි රාජසිංහ රජුගේ වාසලේ සේවයට යමින් හිටියා. රජවාසලේ දොරටුව අසල අඹ ගසක් සිටි කොලුවෙක් ඔහුට අවමං කරන්න පටන් ගත්තා. මේ කොලුවකුගේ වේශයෙන් සිටියේ වෙන කවුරුවත් නොවෙයි. බහිරවයා කියා පැවසෙනවා. නමුත් මොහොට්ටාල මේ බව දැනගෙන හිටියේ නැහැ. ඌවේ කුඩා මොහොට්ටාල මේ කොලුගැටයාගේ පා යටින් යාමට නම් කිසිම කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහු ගසින් බසින ලෙස කොලුවාට අණ කළා. නමුත් කොලුවා මේ අණ තඹදොයිතුවකටවත් මායිම් කළේ නැහැ. කොලුවා ඒ ගසින් බසිනු වෙනුවට අවඥවෙන් සිනාවෙන්නට පටන්ගත්තා. තම අණ නොතකන මේ කොලුවා නිසැකවම අමනුෂ්‍යයකු විය යුතු බව කුඩා මොහොට්ටාල තේරුම් ගත්තා. ඔහු දෙවරක් නොසිතා බහිරව බන්ධනය මතුරන්නට පටන්ගත්තා. සිරුර ගිනිගත්තා මෙන් වේදනාවෙන් කෑගසමින් කොලුවේශයෙන් සිටි බහිරවයා මේ දුක්ගැනවිල්ල කියන්නට උත්පලවර්ණ, සුමන, කාර්තිකෙය සහ විභීෂණ යන සතරවරම් දෙවිවරුන් සොයාගෙන ගියා. නමුත් ඒ දෙවිවරු ඒ මොහොතේ කුඩා මොහොට්ටාලගේ බහිරව බන්ධනයට අදාළ නියෝගයේ කටයුතු කරමින් සිටි නිසා ඔවුනට කිසිම උදව්වක් කරන්නට පුලුවන් වුණේ නැහැ. 

විභීෂණ දෙවියන් පැවසුවේ මේ විපතෙන් ගැළවෙන්නට නම් රාජසිංහ රජු බැහැ දැක දුක්ගැනවිල්ල කියන ලෙසයි. බහිරවයා වහා රාජසිංහ රජු හමුවී මේ දුක්ගැනවිල්ල කියා සිටියා පමණක් නොවෙයි එයින් ගළවාගන්නේ නම් නිධානයක් ද දෙන බවට පොරොන්දු වුණා. 

රාජසිංහ රජු කුඩා මොහොට්ටාල කැඳවා මේ බහිරව බන්ධනය මුදාහරින ලෙස නියෝග කළා. 

මොහොට්ටාල රජුගේ අණට අවනතව බහිරව බන්ධනය මුදාහැරියා. නමුත් බහිරවයාගේ සිතේ මොහොට්ටාල ගැන ඇති වෛරය එයින් ඉවර වුණේ නැහැ. කුඩා මොහොට්ටාල සවස රජවාසලෙන් නික්ම යද්දී බහිරවයා ගලකින් ගසා ඔහුව මරා දැමුවා. මොහොට්ටාලගෙන් පළිනොගන්නා ලෙස බහිරවයාව පොරොන්දු කරගැනීමට නොහැකි වීම ගැන රාජසිංහ රජු සිය මරණය දක්වාම දුක්වුණු බව ඉතිහාස කතාවල දැක්වෙනවා. 

( මේ කතාවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් අතීත ඉතිහාස කතා සාහිත්‍යය බ්ලොග් අවකාශයට එක්කිරීමට තීරණය කළා)

Tuesday, December 16, 2014

කවුද බොලේ මේ ගුජුන්පියෝ? - Who is this Gu Jun-Pyo?



‛බෝයිස් ඕවර් ෆ්ලවර්ස්’ මෑතක් වන තුරුම දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශනය වුණු ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. මෙහි ප්‍රධානම චරිතය තමයි වන ‛ගු ජුන්-ප්යෝ (Gu Jun Pyo), එහෙමත් නැත්නම් කවුරුත් දන්න ‛ගුජුන්පියෝ’. මේ ටෙලිනාට්‍යයේ පාසලේ සිටින දඩබ්බරයන්ගේ කල්ලියේ නායකයා තමයි ගුජුන්පියෝ කියන්නේ. මේ චරිතය නිරූපණය කරන්නේ ‛ලී මින්-හෝ’ කියන රංගන ශිල්පියායි. 1987 ජූනි 22 වැනිදා උපන් ඔහු සුප්‍රකට දකුණු කොරියානු නළුවෙක්, ගායකයෙක් වගේම මෝස්තර නිරූපණ ශිල්පියෙක්. ඔහුට වැඩිමහලු සොයුරියක් සිටිනවා. කොරියාවේ කොන්කුක් සරසවියෙන් ඔහු සිනමාව සහ කලාව පිළිබඳ පාඨමාළාවක් ද හදාරා තිබෙනවා. ඔහු වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් වුණේ ඔබ මේ නරඹන ‛බෝයිස් ඕවර් ෆ්ල්වර්ස්’, ‛සිටි හන්ටර්’ සහ ‛එයාර්ස්’ කියන ටෙලි නාට්‍යවලින්. ‛ගැන්ග්නම් බ්ලූ’ නමින් ඔහු රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණයක් ඉදිරියේදී පැමිණෙන්නටත් නියමිතයි. 

ලී මින් ට කුඩා කාලයේ ඕනෑ වුණේ පාපන්දු ක්‍රිඩකයකු වෙන්නයි. ඔහු පුංචි කාලයේ ඉඳන්ම ඒ සඳහා පුහුණුවීමේ පංතියකටත් බැඳුණා. නමුත් පස්වැනි පංතියේ ඉන්න කොට සිදුවුණු තුවාලයක් නිසා ඔහුට පාපන්දු සිහිනය අතහරින්න සිදු වුණා. නමුත් ඔහු තවමත් පාපන්දු ක්‍රිඩාව සමග බැඳුණු ආදරය අමතක කොට නැහැ. 

ඔහු තරමක් ඉහළ පංතිවලට එන කාලයේ තමයි මෝස්තර නිරූපණයට සහ රංගනයට යොමු වුණේ. ඔහු මුළින්ම විවිධ නාට්‍යවල කුඩා චරිත නිරූපණය කළත් නිල වශයෙන් ප්‍රධාන චරිතයක් සඳහා දායක වුණේ ‛සීක්‍රට් කැම්පස්’ කියන ටෙලිනාට්‍යය සඳහායි. 

මේ විදිහට නළුවෙක් විදිහට නමක් ගොඩනගාගෙන එන අතරේ, 2006 වසරේදී ඔහු හදිසි අනතුරකට මුහුණ දුන්නා. එයින් බරපලතල විදිහට තුවාල ලබපු ඔහුට මාස ගණනාවක්ම එක් තැන්වෙලා ඉන්න සිදු වුණා. සුවවීමෙන් පසු ඔහු ‛මැකරල් රන්’ කියන නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. කෙසේ වෙතත් ලී මින්-හෝ කියන නම කොරියාව පුරා මෙන්ම ලෝකයේ තවත් බොහෝ රටවල්වල සිටින ටෙලිනාට්‍ය ප්‍රෙක්ෂකයන් කරා රැගෙන යන්න අවස්ථාවක් හිමි වුණේ 2009 වසරේදී රංගනයෙන් දායක වුණු ‛බෝයිස් ඕවර් ෆ්ලවර්ස්’ නිසයි. මේක ප්‍රසිද්ධ ජපන් ටෙලි නාට්‍යයක් පාදක කරගෙන නිර්මාණය කළ ටෙලි නාට්‍යයක්. එයින් පසුව ඔහු ලෝකයේ බොහෝ රටවල ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වුණා. ඒ එක්කම ඔහුට බොහෝ ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ සඳහා ඇරයුම් ලැබෙන්නත් පටන් ගත්තා. 

ඔහු ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියත් මුල්ම ඇල්බමය නිකුත් කළේ 2013 වසරේ. 2013 වසරේ අප්‍රේල් මාසයේදී ෂැංහයිවල ඇති මැඩම් ටුසාඩ්ස් ඉටි පිළිරූ කෞතුකාගාරයේ ඔහුගේ ඉටිරුවක් ද නිරාවරණය වීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 

මස් වර්ග සහිත ආහාරවලට ලී මින් වැඩිපුර කැමති බව ඔහු කිහිප අවස්ථාවදීම සඳහන් කොට තිබුණා. ඔහුගේ කැමති ආහාරය මොකක්ද කියලා අහපු හැම වෙලාවකම උත්තර දෙන්නේ “මස්වලින් හදපු ඕන දෙයක්’ කියලයි. 

ලී මින් හෝ මෑතකදී ප්‍රතික්ෂේප කරන්න සෑහෙන උත්සාහයක යෙදුණු කටකතාවක් තිබුණා. ඒ තමයි කොරියාවේ ජනප්‍රිය නිළියක වන පාර්ක් ෂින් හයි සමඟ තමාගේ ආදර සම්බන්ධතාවයක් තියෙන බව. ඔහු එක් අවස්ථාවක ප්‍රසිද්ධ මාධ්‍යය හමුවේත් මේ බව  පවසා තිබුණා. නමුත් අපූරුම වැඩේ කියන්නේ පාර්ක් ෂින් මේ කටකතාව ගැන ඉතා කැමැත්තෙන් සිටින බව පැවසීමයි. ඔවුන් දෙදෙනා ‛ද එයාර්ස්’ කියන නාට්‍යයේ ප්‍රධාන නළු නිළියන් විදිහට කටයුතු කළා. කොහොම වුණත් මේ කටකතාව හැම තැනම ඉතා තදබල විදිහට පැතිරී යනවා. 

“මේ කටකතාව ගැන මට නම් හරිම සතුටුයි.” පාර්ක් ෂින් එහෙම කියනවා. එසේ පවසන්නේ ඇයට තවම පෙම්වතකු නැති නිසා බවයි බොහෝ දෙනෙකුගේ අදහස.  ‛ද එයාර්ස්’ නාට්‍යයේ ප්‍රේක්ෂකයන් පවා ඔවුන් දෙදෙනා හැබෑ ජීවිතයේ ද පෙම්වතුන් බවට පත්වන්නේ නම් ඉතා සතුටුවන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. නමුත් ඔවුන් තවමත් ඇත්තටම පෙම්වතුන් වෙලා නැහැ. 

නමුත් ‛සිටි හන්ටර්’ නාට්‍යයේ ලී මින් - හෝ සමග රඟපෑ පාර්ක් මින් යංග් සමග පෙම් සබඳතාවයක් තිබුණු බව නම් පිළිගත්තා. නමුත් ප්‍රේක්ෂකයන් ඔහු ඇයත් සමඟ ප්‍රේමයෙන් බැඳෙනවාට වඩා කැමති පාර්ක් ෂින් සමඟ ආදරයෙන් බැඳෙනවා නම්. 

මාධ්‍යවේදියෙකු ලී මින්ගෙන් ප්‍රශ්න අහන වෙලාවක ඔහුට ආදර්ශ පාඨයක් එහෙම තියෙනවාද කියලා ඇහුවා. ඔහු එයට මෙන්න මෙහෙම උත්තර දුන්නා. 

“ඔව්, මට ආදර්ශ පාඨයක් තියෙනවා. යමක් අතහරිනවා නම් ඔහුට ජයග්‍රහණය ලබාගන්න බැහැ. නමුත් ජයග්‍රහණය එතරම් වැදගත් වන්නේ නැහැ. වැදගත්වන්නේ සටන් කළ හැකි ජීව ගුණයයි.  ඔබ පරාජය වුවත්, යමක් අතනොහැරීමේ ගුණයයි ඔබ ළඟ තිබිය යුත්තේ” 

Sunday, December 14, 2014

ඉලෙක්ට්‍රොනික් කරුමය - Electronic Bad Luck




‛ඉලෙක්ට්‍රොනික් කරුමය’ කියන්නේ මම හිතන විදිහට අලුත් වචනයක්. ඒත් මට නම් ඒක පරණ වචනයක්. මොකද මේක මම හදාගත්තු එකක් නිසා. ‛ඉලෙක්ට්‍රොනික් කරුමය’ කියලා මම හඳුන්වන්නේ වැඩි වශයෙන්ම ඉලෙක්ට්‍රොනික් බඩු භාණ්ඩ නිසා විඳින්නට වෙන කරදරවලටයි. අනෙක් අයට කොහෙම වුණත්, මට මේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිසා නම් පුදුම අපලයක් තමයි තියෙන්නේ. 

මෙන්න මෙහෙම මේ ගැන කතා කරන්න පටන් ගනිමු. මම කොයි තරම් හොඳ තැනකින් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයක් ගත්තත් ඒකේ ලෙඩක් හෝ වෙන මොනවා හෝ අඩුපාඩුවක් ඇතිවෙනවමයි. ඒක හදන්න ගියාම අන්තිමට මම ඒ වෙනුවෙන් භාණ්ඩයේ වටිනකාමට සෑහෙන්න වැඩියෙන් වියදම් කරලා තියෙනවා. 

මම මේ ළඟදි ගෙදර තියාගන්න ගණන් අඩු ජංගම දුරකතනයක් ගත්තා. අරන් පහුවදාම ඒකේ ඩිස්ප්ලේ එකේ ප්‍රශ්නයක් ඇවිත් හදන්න දුන්නා. වෙලාවට වගකීම් කාලයක් තිබුණු නිසා ඒකට වියදම් වුණේ නැහැ. 

එතකොට මගේ මේ කොම්පියුටරේ. ඒක මම ගත්තේ 2011 අවුරුද්දේ පීසී පාර්ට්නර් එකෙන්. අරන් වැඩ දවසක් ගියේ නැහැ ලෙඩක් ආවා. ඒක හදාගෙන ඇවිත් දවසයි තිබුණේ ආයේ ලෙඩේ ආවා. ආයේ අරන් ගියා. අන්තිමේ මදර්බෝඩ්, හාර්ඩ් ඩිස්ක්, රැම් ඔක්කොම මාරු කරලා මාසයක් දෙකක් විතර එතැන තියලා තමයි හදාගෙන ආවේ. ඒකටත් වගකීම් කාලයක් කියලා එකක් තිබුණ නිසා සල්ලි වියදම් වුණේ නැහැ. ඒත් මටත් කලින් කොම්පියුටර් ගත්ත යාලුවන්ගේ ඒවට හෙනයක්වත් නැහැ. මටම තමයි වෙන්නේ. 

මෙහෙම ඉන්න අතරේ වයිරස් ගාඩ් එකෙන් බූට් ස්කෑන් එකක් කරන්න කියලා මැසේජ් එකක් ආවා. ඒක කරන්න ගිහින් ස්මාර්ට්  කියන ලෙඩේ ඇවිත් හාර්ඩ් ඩිස්ක් එක සවුත්තු වුණා. අලුත් හාර්ඩ් එකක් ගන්න ගිහින් අන්තිමට අතේ තිබුණු පිච්චියත් හිඳිළා ගියා. 


දැන් මා ළග තියෙන් ෆෝන් එක පාවිච්චි කරන්න වුණේ ටික දවසයි, ඩිස්ප්ලේ එක ඕෆ් වෙන්නේ නැති ලෙඩක් ආවා. අනතර්ජාලය පීරලා බලලා ඒ තිබුණු ප්‍රතිකර්ම හැම එකක්ම කළා හරි ගියේ නැහැ. අන්තිමට පිටකොටුවේ Tech G.S.M.  කියන ෆෝන් කඩේට ගියා. එතැනින් කිව්වා, 

“ආහ්, මේක මදර්පොඩ් එකේ ෂෝට් එකක්. රුපියල් 500ක් දෙන්න හදලා දෙන්නම්’  

කියලා. සංතෝෂේ වැඩිකමට මම හා කිව්වා. අන්තිමට ඒක හදනවා වෙනුවට වුණේ සිම් එක් සහ මෙමරි චිප් එක් තියෙන කොටස වැඩකරන්නේ නැතිව ගිය එක. ෆෝන් කඩෙන් ඒක නිකං හදලා දෙන්නම කියලා පොරොන්දු වුණත්, මට ඒ කඩේ ෆෝන් දැනුම ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. පාඩුවත් මම විඳගෙන මම ම හදාගන්නම් කියලා අරන් ආවා. මේක සැම්සුන් එනිකෝල් නිසා ඒ යුනිට් පිටකොටුවේ කඩවල ගන්නත් නැහැ. අන්තිමේදී කොරියන් එනිකෝල් ගෙන්වන මහරගම ස්මාර්ට් ෆෝන් ෂොප් එකෙන් අලුත් යුනිට් එකක් දාගෙන යන්තම් මේක ගොඩ දාගත්තා. අර ඩිස්ප්ලේ එක් ඕෆ් වෙන්නේ නැති ලෙඩේ හිටි ගමන් එනවා. මම දැන් ඒකට මගේම ක්‍රමයක් හොයාගෙන තියෙන නිසා දැන් ඒ ගැන හිතන්න ඕන වෙන්නේ නැහැ. 




මා ළඟ සෝනි එරික්සන් කේ 810 ෆෝන් එකක් තිබුණා. ඒක අරන් ටික දවසක් යන්න කලින් කී පෑඩ් වැඩ කරන්නේ නැතිව ගියා. පිටකොටුවේ ෆෝන් හදන තැනකට ගියාම කිව්වේ ‛මයිලර් පෑඩ්’ එක ගිහින් ඒක දාන්න 2500ක් ඕන කියලා. කී පෑඩ් නැතිව මොනවත් කරන්න බැරි නිසා මම ඒක හදාගත්තා. 


මයිලර් පෑඩ් කියන්ෙන් ෙම් යුනිට් එකට.


ටික දවසක් යනකොට කැමරා බට්න් එක වැඩකරන්නේ නැතිව ගියා. ඒක හදන්න ජේජේ මොබයිල් එකට ගියා. “කැමරා බට්න් එක වැඩකරන්නේ නැහැ. 1500ක් දෙන්න” කියලා කිව්වා. මම ඒක හදාගෙන ආවා. ටික දවසකින් ආයේ කැමරා බට්න් එක් වැඩ කරන්නේ නැතිව ගියා. මම ඒ වතාවේ අන්තර්ජාලයෙන් මේ මයිලර් පෑඩ්, කැමරා බට්න් ගැන හෙව්වාම තමයි දැක්කේ මේ ඔක්කෝම එක් යුනිට් එකක් විදිහට තියෙන්නේ කියලා. මම කලම්බෝ ටෙලිකොම් එකෙන් මයිලර් පෑඩ් එකක ගාණ ඇහුවා. කීයද දන්නවද රුපියල් 320. මම ෆෝන් ගළවන ටූල් සෙට් එකකුත් අරන් ගෙදර ගෙනත් ෆෝන් එක ගළවලා මයිලර් පෑඩ් එක දැම්මා. මෙන්න ගිනිකසයා වගේ හැම එකක්ම වැඩ. ඉතිං දැක්කනේ මේක දාන්න එක තැනකින් මගෙන් 2500ක් ගත්තා. තව තැනකින් 1500ක් ගත්තා. තව එකක් මේ වරග්මේ ෆෝන් එකක් මම ගත්තු කාලෙම යාළුවෙක් ගත්තා. ඒක අදටත් හොඳට වැඩ. මගේ ඒ ෆෝන් එක දැන් දරහැවක් වගේ. ගළවලාම කෑලි එල්ලෙනවා. 




මේ විදිහට ඉලෙක්ට්‍රොනික් කරුම නම් මට තව කියන්න ඕනෑ තරම් තියෙනවා. මම හිතන්නේ මේ ටික ඇති. තව එකක්. මම මේ හැමෝටම දැනගන්න කියන්නේ. පිටකොටුවේ ෆෝන් හදන සමහරු ලෙඩේ හරියටම අඳුනගෙන නොවෙයි ෆෝන් එකක් හදන්න භාරගන්නේ. මගේ එනිකෝල් එකේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙන්නේ නැති එක පෙන්නන්න ජේ ජේ මොබයිල් එකට ගිය වෙලාවේ කිව්වේ ඩිස්ප්ලේ එක අලුතින් දාන්න වෙනවා ඒකට රුපියල් 8000ක් දෙන්න කියලා.  එන්කෝල් එකකට ඒ තරම් වියදම් කරන එක වැඩක් නැති නිසා ඕන නම් මේ ෆෝන් එක එතැනට අරගෙන මට 3000ක් දෙන්නම් කිව්වා. ඒ කෑලි ගළවගන්න.  ඉතිං ඒ වගේ අපහාස විඳපු ෆෝන් එක තමයි තවමත් මා ළඟ මට වද දි දී ඉන්නේ. 

ඉතිං මෙන්න මේක තමයි මගේ ඉලෙක්ට්‍රොනික් අපලයේ කතාව.

Friday, December 12, 2014

ගූගල් පරිවර්තකය සිංහලෙන් වැඩ අරඹයි - Google Sinhala Translation Begins


මේක මම දැක්කේ නම් අද. වෙන කවුරුවත් දාලා තියෙනවා දැක්කෙත් නෑ. ඒ තමයි අපි කාලයක් තිස්සේ පුල පුලා බලා සිටි ගූගල් පරිවර්තකයට සිංහල භාෂාව එකතු කරලා තිබීම. දැන් සෑහෙන කාලයක ඉඳන් කියල තිබුණා සිංහල දානවා කියලා. ඒත් දැම්මේ නැහැ. ඔන්න අද මම දැක්කා දාලා තියෙනවා. ආරම්භය නිසා තවම ඒ තරම් සාර්ථකව සිංහලයට පරිවර්තනය නොවුණත්, කිසිම දෙයක් නැතිව ඉන්නවාට වඩා මේ තරමට හරි තියෙන එක ලොකු දෙයක් කියලා තියන්න පුලුවන්.

මේ පරිවර්තනවල අඩුපාඩ තියෙනවා. උදාහරණයක් විදිහට

I like to eat hoppers

කියන වාක්‍යය සිංහලයට පරිවර්තනය කළාම එන්න ඕන මෙන්න මේ වගේ.

මම ආප්ප කන්න කැමැත්තෙමි/කැමතියි.

නමුත් ගූගල්වලින් පරිවර්තනය කරන්නේ මෙන්න මේ විදිහට

මම ආප්ප කන්න කැමති

මම කීපයක් පරිවර්තනය කළා.

1. ඉංග්‍රිසි වාක්‍යය - I usually travel by train.
නිවැරදි විදිහ - මම සාමාන්‍යයෙන් ගමන් කරන්නේ දුම්රියෙනි
ගූගල් - මම සාමාන්‍යයෙන් දුම්රියෙන් ගමන

2. ඉංග්‍රිසි වාක්‍යය - How old are you?
නිවැරදි විදිහ - ඔබේ/ඔයාගේ වයස කීයද?
ගූගල් - ඔයාගේ වයස කීයද?

3. ඉංග්‍රිසි වාක්‍යය - He drive too fast.
නිවැරදි විදිහ - ඔහු පදවන වේගය වැඩිය.
ගූගල් - ඔහු වේගයෙන් රිය පැදවීම

මගේ නම හනුමන් කියලා පරිවර්තනය කළේ ඇයිද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ


කොහොම වුණත් සිංහල භාෂාව මේ විදිහට එකතුවීම අපි ලබපු ජයග්‍රහනයක්. මෙය ඉදිරියේදී තව තවත් දියුණු වී පරිවර්තනය වඩාත් සුමට වේවි. භාෂාව නිසා තිබුණු ගැටලු බොහොමයක් නිරාකරණය වේවි.
මේ වෙනුවෙන් කැප වූ සියලු දෙනාම අපි මෙසේ සුබ පතමු

පරිවර්තනය කරන්න ඕන අය මෙතැනින් ඇතුළු වෙන්න








Thursday, December 11, 2014

පරණ ජංගම දුරකතන එකතුවක් - Old Mobile Phone Collection

මම සැරින් සැරේට පාවිච්චි කළ ජංගම දුරකතන කීපයක ඡායාරූප ටිකක් කාලෙකට කලින් මම අරන් තියා ගත්තා. ඒ ටික මට අද හම්බ වුණා. මෙයින් එකක් නම් ඡායාරූප ගන්න දවසවල වැඩ කළත් දැන් නම් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේවා හද්ද පරංගි කාලේ ජංගම දුරකතන. පේනවනේ බැලූ බැල්මටම. පරණ ඒවා මතක් වෙන්නත් එක්ක මේ විදිහට බ්ලොග් එකට දාන්න හිතුණා. 

Alcatel BF4 - විස්තර

Ericsson GA628 - විස්තර

Ericsson T18d - මේක සිම් දාන්න බැරි එකක් - විස්තර

Ericsson T39m - විස්තර

Motorola T720 - මේ Original Housing එක නෙවෙයි - විස්තර

Siemens C45 - විස්තර

Siemens  C35  - විස්තර
 මේකේ මොඩල් අංකය මැකිලා නිසා අමතක වෙලා තිබුණේ. මෙන්න මේ හිතවතා තමයි ඒක හොයලා දුන්නේ. ඔහුට ස්තූතියි. 

Wednesday, December 10, 2014

ජීවිත ආශය සහ මරණ ආශය - Eros and Thanatos



සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තම පර්යේෂණ අතරතුර විවිධාකාර ප්‍රේරණයන් (drives ) පිළිබඳ න්‍යයායන් ඉදිරිපත් කොට තිබේ. ඔහු මුල් කාලයේ ‛ජීවිත ආශය’ (life instincts) යනුවෙන් අදහසක් ඉදිරිපත් කළේය. මිනිස් චර්යාවන් බොහොමයක් සඳහා මෙම ප්‍රේරණයන් වගකිව යුතු බව ඔහු විශ්වාස කළේය. අවසානයේ මේ ජීවිත ආශයන් මගින් පමණක් සියලු මිනිස් චර්යාවන් විස්තර කළ නොහැකි බව ඔහු අවබෝධ කොට ගත්තේය. සියලු ආශයන් ‛ජීවිත ආශය’ (life instincts) සහ ‛මරණ ආශය (death instincts) යනු ප්‍රධාන කොටස් දෙකට ඇතුළත්වන බව ඔහු ඔහු නිගමනය කළේය. 

ජීවිත ආශය (Life Instincts  හෙවත් Eros )
 
මෙය ඇතැම් තැනක ‛ලිංගික ආශය’ sexual instincts) ලෙසින් ද සඳහන් කොට ඇති අතර මෙයින් කියැවෙන්නේ මූලික ප්‍රවර්තනය (survival ) හෙවත් නොනැසී සිටීමේ උත්සාහය, ‛සුඛය’ (pleasure ) හෙවත් සතුට හෝ ප්‍රිතිය සහ ප්‍රජනනය හෙවත් වර්ගයා බෝ කිරීම පිළිබඳ යම් පුද්ගලයකු තුළ සහජ බුද්ධියක් හෙවත් ඉවක් ඇති බවයි. මෙම ආශයන් යම් පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යාමට සහ වර්ගයාගේ අඛණ්ඩතාවයට ඉතා වැදගත් වේ. මේවා ‛ලිංගික ආශයන්’ යැයි සඳහන් වුව ද මේවා තුළ පිපාසය, කුසගින්න සහ වේදනාව වැළැක්වීම පිළිබද ප්‍රේරණයන් ද අඩංගු වේ. ජීවිත ආශය මගින් නිර්මාණය වන ශක්තිය ‛ලිබිඩෝ’ (libido ) යනුවෙන් හඳුන්වනු ලබයි. 

ජීවිත ආශය සමග පොදුවේ සම්බන්ධ චර්යාවන් අතර ආදරය, සහයෝගීතාවය සහ වෙනත් ‛සමාජ නම්‍ර’ (Prosocial) ක්‍රියාවන් අඩංගු වේ. 

මරණ ආශය (Death Intincts  හෙවත් Thanatos ) 

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිය Beyond the Pleasure Principle (1920)   නම් කෘතියෙන් විස්තර කරනු ලැබුයේ “ජීවිතයේ සියලුම අරමුණ වන්නේ මරණය” බවය. මිනිසුන් අප්‍රසන්න අත්දැකීමකට (යුද්ධය වැනි) මුහුණ දුන් පසු ඔවුන් බොහෝ විට එම අත්දැකීම නැවත ක්‍රියාවට නංවන බව ෆ්‍රොයිඩ් නිරීක්ෂණය කළේය. ඔහු නිගමනය කළේ මෙවැනි අත්දැකීමකින් පසුව මිනිසුන් තුළ මරණය කෙරෙහි අවිඥානික අභිරුචියක් ඇතිවන මුත්, එම ඉච්ඡාව හෙවත් කැමැත්ත ජීවිත ආශය මගින් විශාල වශයෙන් පහත හෙළන බව ය. 

ෆ්‍රොයිඩ්ගේ දෘෂ්ටියට අනුව ස්වයං-සංහාරක චර්යාව යනු මරණ ආශය මගින් නිර්මාණය වන ශක්ති භාව ප්‍රකාශනයක් බව ය. මෙම ශක්තිය අන්‍යයන් කෙරෙහි මුදා හළ විට එය ආක්‍රමණයක් හෝ ප්‍රචණ්ඩත්වයක් ලෙස ප්‍රකාශනයට පත් වෙයි.