පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 19, 2015

අයියා මොනවද මේ කුඩු?


මරදාන පොලීසිය ඉදිරිපිට  පදික වෙළෙන්දෙක් සිටී. ඔහු විකුණන්නේ රෙදිවල පැල්ලම් යැවිය හැකි කුඩු වර්ගයකි. බසයෙන් බැසගත් මගියෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේය. 

මගියා - “මේ අයියා, මොනවද මේ කුඩු?” 

වෙළෙන්දා - “මේ කුඩුවලින් ඕනම පැල්ලමක් යවන්න පුළුවන්” 

මගියා - “අයියා, මගේ දත්වල පැල්ලම් තියෙනවා. ඒවත් යවන්න පුළුවන්ද?” 

වෙළෙන්දා මොහොතක් මගියා දෙස බලා සිටියේය. 

වෙළෙන්දා - “දත්වල පැල්ලම්? දත්වල පැල්ලම් යවන්න ගාගනිං මේක උඹේ පුකේ” 

මගියා එයින් කලබල වූ බවක් පෙනුණේ නැත. 

මගියා - “අයියා එතකොට දත්වල පැල්ලම් යනවද?” 

වෙළෙන්දා - “එහෙමත් ගියේ නැත්නම් ඒක ගා ගනිං උඹේ ප??” 

(ප?? යනුවෙන් ඔහු පැවසූයේ පාර්ලිමේන්තුවේ වාසුදේව මහතා විසින් පවසන ලද වචනයයි) 


Tuesday, November 17, 2015

අපායට ගියත් බුලත් විටක් නැතිව නම් බෑ මචං!


අපේ යාළුවෙක් ඉන්නවා. මිනිහා විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. එහෙම වුණත් අර මොකක්ද එකට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. ඒ වගේ මිනිහත් පොඩි කාලේ ඉඳන්ම බුලත් විට කන්න පුරුදුවෙලා හිටිය නිසා දැන් ඒක අතෑරගන්න බැහැ. ඒකට උනන්දුවකුත් නැහැ. අපායේ ගියත් බුලත් විටක් අරන් යන්න ඕන කියල තමයි නිතර කියන්නේ. කොහේ ගියත් බුලත් විටක් වරදින්නේ නැහැ.

කථිකාචාර්ය කෙනෙක් නිසා මිනිහට පිටරටවල ඇවිදින්න එහෙමත් අවස්ථාව එනවා. ළඟදි දවසක කැනඩාව පැත්තේ රවුමක් ගැහුවා. හැබැයි කැනඩාවේ යද්දි බුලත් විටක් අරන්න යන්න අපේ යාළුවට අමතක වුණා. හැබැයි දුම්කොල කෑලි ටිකක් නම් දාගෙන ගිහින් තිබුණා. මොනව වුණත් බුලත් නැති නිසා යාළුවා ඔක්සිජන් නැති වුණා වගේ තමයි දඟලන්නේ. අන්තිමේදී ඉන්දියන්කාරයෙක් අල්ලගෙන යන්තම් බුලත් විටක් හොයා ගත්තා. හැබැයි මේ බුලත් විටේ ඕන කරන අඩුම කුඩුම සමහර දේවල් නැහැ. අනෙක එහේ තියෙන්නේ මෙහේ කන විදිහයට හදපු බුලත් විට නෙවෙයි. ඒවා නිකං සාර බුලත් විට වගේ. විශේෂයෙන් හුණු නම් ඇත්තෙම නැහැ. හුණු නැතිව බුලක් විටක් කාලා වැඩක් ඇතැයි? වැඩේ කියන්නේ හුණුවලට ඉංග්‍රීසියෙන් කියන නම කවුරුවත් දන්නෙත් නැහැ. හින්දියෙන් කියන නම දන්නෙත් නැහැ. දැන් අහස පොලොව ගැටලනවා වගේ කල්පනා කරන අතරේ අපේ යාළුවට නියම අදහසක් ආවා. මිනිහා ඉන්දියන් කාරයාගෙන් මෙහෙම ඇහුවා,

යාළුවා - Do have any calcium carbonate?

ඉන්දියන් කාරයා - Calcium carbonate? For what?

යාළුවා - To eat with this

එහෙම කියලා මිනිහා බුලත් විට පෙන්නුවා. ඔන්න ඉන්දියන්කාරයට වැඩේ තේරිලා හුණු ටිකක් දුන්නා. මේ දෙබස තව ටිකක් වැඩිපුර ගිහින් තිබුණා. මෙතන කෙටියෙන් ලිව්වේ. කැල්සියම් කාබනේට් කියන එක තේරුම්කරලා දෙන්න අපේ යාළුවට සෑහෙන්න මහන්සි වෙන්න වෙලා තියෙනවා.

හුණු බුලත් විටට දාන එක තහනම් හරි මොකක් හරි පළහිලව්වක් කැනඩාවේ තියෙනවලු. ඒකලු.

කොහොම වුණත් දැන් අනෙක් අයත් අපේ යාළුවා මුණගැහුණු ගමන් අහන්නේ,

කැල්සියම් කාබනේට් එහෙම නැද්ද මචං?” කියලයි.

මේ යාළුවාම තවත් දවසක ඕමාන්වලට ගියා. එහේ යද්දි නම් බුලත විටක් අරන් යන්න හදලත් එහේ ඒවා තහනම් ද කියලා දන්නේ නැති නිසාත්, මොනව හරි පොඩි දෙයක් වුණත් මැදපෙරදිග රටවල බෙල්ල, අතපය කපයි කියන බය නිසාත් අරන් ගිහින් නැහැ. ඒත් බුලත් විටක් කන්න නැතිව දැන් ඉන්නම බැරි තත්වයක් ඇවිල්ලා තමයි තිබුණේ. කොහොම හරි එහේ බැහැලා, ගිය වැඩේ ඉවර වෙලා තවත් යාළුවෙක් එක්ක පාරේ ඇවිදින ගමන් අයිනක දැක්කලු බුලත් කෙළ පාරක්!

යකෝ! මේ තියෙන්නේ බුලත් කෙළ පාරක් නේ. ෂුවර් එකටම ලංකාවේ එකෙක් මේ හරියේ ඇති කියලා අමන්දානන්දයට පත්වෙලා පුළුපුළුවන් විදිහට හෙව්වලු. ඒත් හම්බවුණේ නැහැලු.



Wednesday, November 11, 2015

සුජීගේ ෆෝන් කතාව හා බල්ලාට ගිය මනුස්සකම


පෞද්ගලික ජීවිත සමාජ ගතකිරීම තරම් නිහිීන ක්‍රියාවක් තවත් නැත. යමෙක් එවැන්නක් සමාජ ගතකිරීමෙන් බලාපොරොත්තු වන්නේ එක්කෝ පලිගැනීමකි. එක්කෝ ‛කුණු රසයකි’. ඒවා කෙතරම් කුණු රසයකින් යුක්ත වුව ද, එය කුණු රසයකින් යුක්ත බව දැනදැනම සමාජයේ සියලු තරාතිරම්වල පුද්ගලයන් අවිචාර ලෙස ඒ රසය විඳීමට කැමැත්තක් දක්වති. අවසානයේ එයින් අපහාසයට, අවමානයට ලක්වන්නේ එකී පෞද්ගලික ජීවිතයට හිමිකම් කියන තැනැත්තාය. මෙයට ලක්වන්නා අවසානයේ කුමන දුෂ්කරතාවයකට පත්වන්නේදැයි එය සමාජ ගත කරන්නා තුට්ටුවකට හෝ මායිම් කරන්නේ නැත. අතීතයේදී ද එවැනි සමාජ ගතකිරීම් අසන්නට ලැබුණු අතර තාක්ෂණයෙන් පිරිණු වර්තමානයේ  එය අතීතයේ මෙන් කීප ගුණයකින් සිදුවෙයි. දැනට සමාජ ගතවී ඇති, සියලු දෙනා අතර අතිශය ‛ජනාදරයට’ ලක්ව ඇති කුණු රස සිදුවීම, 

‛සුජී ඔය ෆෝන් එක දීපං ළමයෙකුට’ 

වශයෙන් හඳුන්වා දිය හැකිය. බහ තෝරන දරුවාගේ සිට අද හෙට ජීවිතයෙන් සමුගැනීමේ අපේක්ෂාවෙන් සිටින මහල්ලා දක්වා සියලුදෙනා මේ ‛කුණු රසය’ විඳ ඇති බව නොකිව මනාය. 

මේ සිදුවීමට පාදක වන්නේ මැදපෙරදිග යැයි හැඟෙන රටක සිට සිය පවුලේ සාමාජිකයන් හට යම් පිණිවිඩයක් ලබාදීමට උත්සාහ දරන කාන්තාවකගේ වීඩියෝ කොටසකි. අතීතයේ මෙවැනි දෙයක් සිදුවූයේ නම් එය සමාජ ගතවන්නේ අදාළ රටේ සිටින කිහිප දෙනෙකු අතර පමණක් වන අතර එය ද වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වන්නේ නැත. මන්ද එකල අපට ඕනෑ හැටියට, ඕනෑම අවස්ථාවක යම් දෙයක් වීඩියෝ ගතකිරීමේ හෝ හඬ පටිගතකිරීමේ හැකියාවක් නොමැති වූ නිසාය. නමුත් තාක්ෂණය දැන් ඒ පහසුකම් සියල්ල අපගේ දෝතට ලබාදී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එකී කාන්තාවගේ කතා බහ වීඩියෝ ගත කෙරිණි. කෙසේ නමුත් මෙය සාමාන්‍ය කතා බහක් නොවේ. 

අප රටේ ප්‍රධාන ආදායම් මාර්ග අතුරින් එකක් වන්නේ මැදපෙරදිග රටවල සේවය කරන කාන්තා ශ්‍රමිකයන්ය. එදා මෙදා තුර අප රටට ඔවුන් සැළකිය යුතු ආදායමක් උපයා දුන්න ද ඒ සියල්ල පසුපස මහා ඛේදවාචක ගොන්නක් ද පවතින බැව් රහසක් නොවේ. යමෙක් විදෙස් රටකට රැකියාවකට යාමට හේතු කිහිපයක් තිබිය හැක. එයින් එකක් වන්නේ මෙරට දී උපයාගත නොහැකි වැටුපක් එම රටවලින් උපයා ගත හැකි නිසාය. විශේෂයෙන් අධ්‍යාපනය ලද හෝ නොලද, දරිද්‍රතාවයෙන් මිරිකුණු, පීඩිත පංතියේ මිනිස්සු විදෙස් රටකට ගොස් ශ්‍රමය විකුණා, පැහැදිලි ලෙස පැවසුවහොත්, විදේශිකයන්ට ‛කඹුරා’ උපයාගන්නා මුදලින් සිය දරුපවුල් සැපවත් කිරීමේ සිහින දකිති. මේ අතුරින් මැදපෙරදිග සේවයේ යෙදී සිටින කාන්තාවන් වැටී ඇත්තේ අන්ත අසරණ අඩියකය. දිනපතා අප දකින, අසන පුවත්වලින් එය මනාව පැහැදිලි වේ. ඔවුන් උපයාගන්නා මුදලට වඩා දුක් කන්දරාවක් මැදපෙරදිග රටවලදී විඳින්නට සිදු වේ. ඇතැමුන් අප රටට පැමිණෙන්නේ නොරටකට යන්නට පෙර සිටි තත්වයටත් වඩා පහත තත්වයකින්. ඇතැමුන් පැමිණෙන්නේ ප්‍රාණය නිරුද්ධ දේහයක් ලෙසිනි. ඇතැමෙක් විවිධ තුවාල සහිතව පැමිණෙති. ඇතැමුන්ගේ සිරුර පුරා ඇණ හෝ ඉදිකටුය. මැදිපෙරදිග ඇත්තේ වහල් සේවයකැයි පැවසෙන්නේ එබැවිනි. අතීතයේ සිටම තත්වය එබඳුය. එය වහල් සේවයක් වුව ද, එහි ජීවිතය කටුක වන බව දැන දැනම වුව ද කාන්තාවන් එසේ නොරටක යන්නේ ආර්ථි ගැටලු ජයගත හැකි අන් ක්‍රමයක් මෙරටදී සොයා ගත නොහැකි නිසාය. ‛සුජී’ අර්බුදයට ලක්වූ කාන්තාවගේ ඉරණම  ද මෙයට වඩා වෙනසක් නැත. 

වීඩියෝවේ අප දකින අන්දමට ඇය නිවසට කතා කරයි. එහිදී දුරකථනයට පිලිතුරු දෙන්නේ ඇගේ සැමියා යැයි සිතිය හැකි ‛සුජී’ නමැති පුද්ගලයෙකි. ඔහු මේ අවස්ථාවේදී ඇය පවසන දෙය තේරුම් නොගන්නා බැව් පෙනේ. එසේත් නොමැති නම් තේරුම් ගැනීමට තරම් මානසික තත්වයක නොසිටිනි බැව් හැඟේ. මැදිපෙරදිග දුක් විඳිමින්, හාම්පුතුන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වෙමින් ගෙවන ජීවිතය අතරතුර කුමක් හෝ අවශ්‍යතාවයකට තම පවුලේ ඥාතීන්ට කතා කරන අවස්ථාවක දුරකතනයේ අනෙක් පස සිටින තැනැත්තා සිහි කල්පනාවකින් පිලිතුරු නොදෙන්නේ නම්, යමෙක් කෝපයට පත්වීමේ අරුමයක් නැත. ඇයත් සිය පවුලත් අතර දුර සැතපුම් දහස් ගණනකි. සම්බන්ධ වන්නට ඇති එකම ක්‍රමය දුරකතන මාර්ග පමණි. තමා පවසන දෑ තේරුම් නොගන්නා නිසා කෝප ගැන්වෙන ඇයගේ මුවට නොසරුප් වදන් නැගෙන්නේ නිරායාසයෙනි. දුරකතනය ළමයකුට දෙන්නැයි ඇය පවසන්නේ කෙසේ හෝ මේ පණිවිඩය ලබාදීමට අවශ්‍ය නිසාය. කෙසේ මුත් ඇයට එය කරගන්නට හැකියාවක් නොලැබෙන බැව් පෙනේ. නොසරුප් වදන් මුමුණමින් ඇය එතැනින් නික්ම යන්නේ එබැවිනි. 

දුරකතනය ළමයෙකුට දෙන්න යැයි පැවසීමෙන් පැහැදිලි වන අනෙක් කරුණ නම් ඇය මවක බවය. ඇය මැදපෙරදිග දුක් විඳින්නට පැමිණ ඇත්තේ සිය සැමියා සහ දරුවන්ට සැපවත් ජීවිතයක් ලබාදීමේ අරමුණනි. ඈ කෑගසන්නේ වේදනාවෙනි. ඒ තමා කාත් කවුරුත් නොමැති රටක තනිවී සිටින විට සිය සැමියා සිහිකල්පනාවෙන් නොසිටින නිසාය. සිය දරුවන් අසරණ වී, ආරක්ෂාවක් නොමැතිව සිටිතැයි කල්පනා වන නිසාය. අවසානයේ ඇය මවක් හා බිරිඳක් වන නිසාය. එවන් අවස්ථාවක සිංහල බස තේරෙන හෝ නොතේරෙන හෝ වටපිටාවක නොසරුප් වදන් මුවට නොනැගුනේ නම් එය පුදුමයකි. 

විසිදෙකෝටි පනස් තුන්ලක්ෂ හාරසිය අසූඅටක් වන අප රටේ සමස්ත ජනගහනයෙන් බෞද්ධයින්ගේ ප්‍රතිශතය 70.2%කි. ලොව පහළ වූ ආගමික ශාස්තෘවරුන් අතුරින් සිය ශාස්තෘත්වය මාතෘත්වයට සමාන කොට දක්වා ඇති එකම ආගමික ශාස්තෘවරයා බුදුන් වහන්සේය. එසේ හෙයින් බුදු දහමේ දෙමාපියන්ට ගෞරවකිරීම පිළිබඳ විශේෂයෙන් සඳහන් කොට ඇත. මෙම කාන්තාව සැතපුම් දහස් ගණනක් දුර තනිව දුක් විඳින්නේ හුදෙක් තමාගේ සුඛ විහරණය වෙනුවෙන් නොවේ. මවක් ලෙස ඇයට තම දරුවන්ට තමාට හැකි පමණින් සැපවත් ජීවිතයක් ළඟාකරදීමේ අපේක්ෂාවෙනි. ඇයගේ දුක් අඳෝනාව මේ සා අවඥාවකට ලක්වන්නේ මෙතරම් බහුතර බෞද්ධයන් වෙසෙන රටකය. මෙය මෙතෙක් කල් ‛ලයික්’ කිරීමෙන් හා ‛ෂෙයාර්’ කිරීමෙන් ඇය අවඥාවට ලක් කළ බෞද්ධ ඔබ ඔබගේ හෘද සාක්ෂියට තට්ටු කොට එය තුළ එකී දහම තිබේදැයි නැවත සොයා බැලිය යුතුය. 

කෙසේ නමුත් මෙය වීඩියෝ ගත කළ පුද්ගලයා මෙයින් විඳින්නේ ‛කුණු රසයකි’. අනුන්ගේ ජීවිත තුළට එබිකම් කිරීමෙන් ඒ ‛කුණු රසය’ විඳිනවාට අමතරව එය වීඩියෝ ගතකිරීම ද සිදුකරයි. ඉන්පසු කුණු රසයේ දෙවැනි අදියර ක්‍රියාත්මක කරමින් එය සිය මිතුරන් හා බෙදාහදාගන්නට ද ඇති අතර තුන්වැනි අදියරේදී ඔහු එය ෆේස්බුක් සමාජ ජාලයට මුදාහරියි. 

ෆේස්බුක් සමාජ ජාලගතව ඇති බහුතරයක අවශ්‍යතාවය වන්නේ උදෑසන එයට පිවිසෙද්දී තමා ‛ලයික් කිරීමට’ ඇති දේවල් සොයා බලා ඒවා සිය මිතුරන් සමඟ ‛ෂෙයාර් කරගැනීමය’. ඒ හැරුණු විට මෙහි බොහෝ දෙනෙක් සමාජ වටිනාකම්, ආචාර ධර්ම ආදිය පිළිබඳ සැළකිල්ලක් දක්වන්නේ නැත. අද ෆේස්බුක් සමාජ ජාලගතව සිටින්නන් ඇතැමෙකුගේ මානසිකත්වය කෙතරම් පහත් අඩියක වැටී ඇතිදැයි කිවහොත් ඔවුහු සිය දෙමාපියන්ගේ මෘත දේහය පසුබිම් කරගනිමින් ‛සෙල්ෆි’ ඡායාරූප ගෙන එහි ප්‍රදර්ශනය කරති. ඇතැමෙක් සිය දෙමාපියන්ගේ අවමඟුල අතර තුර ‛ස්ටේටස් අප්ඩේට්’ කරති. සමාජය වැටී ඇති තත්වය මෙයය. මේ නිසා ‛සුජී’ ගේ කතාවට පාදක වූ කාන්තාවගේ ජීවිතය පසුපස ඇති දුක් අඳෝනාව මෙය වීඩියෝ කළ, එය සමාජ ජාල ගත කළ, එයට ‛ලයික්’ කොට ‛ෂෙයාර් කළ’ කිසිවකුට හෝ ඇසෙන්නේ නැත. 

තාක්ෂණයට හසුව සිටින්නන් මෙවැනි සමාජ අර්බුදවලින් ‛ෆන්ගැනීම’ එතෙකින් නවතන්නේ නැත. එබැවින් ඔවුහු එය තවත් විවිධ පැතිවලට නවමින්, කරකවමින් එයින් අලුත් ‛කුණු රසයක්’ විඳගැනීමට උත්හාස දරති. ‛සුජී’ ගේ කතාවට ද එම ඉරණම අත්විය. එහිදී මුළින්ම සිදුවන්නේ අදාළ කාන්තාවගේ අඳෝනාව එක්කරගනිමින් ‛රිමික්ස්’ ගීතයක් නිර්මාණය කිරීමය. එය නිර්මාණශීලිත්වය අතින් සළකා බැලුවහොත් විශිෂ්ඨය. නමුත් මනුස්සකම අතින් සළකා බැලුවහොත් බලු වටින්නේ නැත. එම නිර්මාණ ශිල්පියා ද කුණු රසයේම කොටසකට අයත්වනවා මිස වෙනත් තැනක තබන්නට තරම් සුදුස්සෙකු වන්නේ නැත. එකී කාන්තාවගේ දුක්ගැනවිල්ලේ ‛රිමික්ස්’ සංස්කරණය බහුතරයකගේ ජංගම දුරකතනවල අඩංගු වී තිබේ. ඒ කිසිවකට හෝ ඇයගේ අඳෝනාව ඇසෙන්නේ නැත. ඉදිරියේදී යමෙක් සිය ඥාතියකුගේ අවමඟුලේදී හඬන හඬ ද මෙසේ ගීත ලෙස ‛රිමික්ස්’ නොකළහොත් එහි කිසිඳු අරුමයක් නැත. 



ගැහැනියකගේ දුක අවඥාවට කල්කරමින් පැවැත්වූ ඊනියා ප්‍රවෘත්ති හමුවේ අවස්ථා කිහිපයක්. එහි වීඩියෝ පටය පහළින් නරඹන්න.

සුජීගේ කතාවේ ඊළඟ අවස්ථාව වන්නේ මෙය ‛නපුංශකකරණයට’ ලක්වීමයි. එය සිදුවන්නේ ‛සුජී’ යනුවෙන් පෙනී සිටින නපුංශකයකු විසින් ව්‍යාජ මාධ්‍ය හමුවක් පවත්වන ආකාරයට වීඩියෝවක් යූටියුබ් අඩවියට එක්කිරීමයි. එහිදී අදාළ නපුංශක කණ්ඩායම ව්‍යාජ සුජී කෙනෙකු නිර්මාණය කරයි. එහිදී ‛සුජී’ එදා සිදුවූ සිදුවීමේ ඇත්ත නැත්ත පැහැදිලි කරයි. තමා කිසි දිනක මත්පැන් පාවිච්චි නොකරන බවත්, තමා සේවය කරන්නේ ගල්වැඩපළක  බවත්, එහි අධික ශබ්දය නිසා ඇය පැවසූ දෙය තමාට නොඇසුණු බවත් මේ නපුංශක තෙමේ පවසයි. මෛ් පවසන පුද්ගලයා ගල්වැඩපළක වැඩකරනවා තබා ගල්වැඩක් දැක ඇතිද යන්නත් සැක සිතේ. එයින් නොනවතින ඔහු පවසන්නේ සමාජ ජාල හරහා මෙයට ‛ලයික්’ කළ හා ‛ෂෙයාර්’ කළ අය සොයා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. මේ සඳහා ඔහුට සහාය වන්නේ එක්තරා නීති ආධාර සංගමයක නීතිඥයකු ලෙසින් පෙනී සිටින තවත් නපුංශකයෙකි. එම නපුංශක රංගනයේ අවසානයේ සුජී ලෙස පෙනී සිටින නපුංශකයා පවසන්නේ ඇය පැවසූ ලෙසම තමා සිය දුරකතනය ළමයෙකුට ලබාදීමට පියවර ගන්නා බවයි. මේ අවස්ථාවේදී එතැනට පැමිණෙන කුඩා දරුවකුට ස්ථාවර වර්ගයේ දුරකතනයක් ලබා දෙන අතර සියලු දෙනා අවඥා සහගව සිනහසෙමින් මේ නපුංශක රංගනය අවසන් කරයි. 

යමක් නිවැරදිව කරන්නට නොමැති අයෙක් සිටී නම් අද බොහෝ දෙනෙක් එයට ද මෙම ‛සුජී’ ගේ සිදුවීම සම්බන්ධ කරගනිති. පසුගිය කාලයේ සඳසේයා දැරියගේ මරණ පරීක්ෂණය හරිහැටි සිදුකිරීමට නොහැකි වූ කොටදෙනියාව පොලීසියේ නිලාධාරීන්ට සමාජ ජාල මගින් පහර ගැසුවේ, “ඕ.අයි.සී. මහත්තයෝ ඔය පට්ටම දීපං ළමයෙකුට” කියාය. පසුගිය දිනෙක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් මඩ විසුරුවාගෙන යනු දුටු කොල්ලන් පිරිසක් කෑ ගැසුවේ, “අඩෝ, ඔය ඩ්‍රැයිවර්කම දීපං ළමයෙකුට” කියාය. මෙය සාමාන්‍ය සමාජයෙන් ඔබ්බට ගොස් අවසානයේ පාර්ලිමේන්තුවට ද බෝවී තිබේ. පසුගිය දිනෙක පාර්ලිමේන්තු කතාවක් අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පොලීසිය භාර ඇමති වන තිලක් මාරපනට පවසන්නේ “මතක තියාගන්න ඇමතිතුමා, ඔය ඇමතිකම දෙන්න ළමයෙකුට” යැයි කියාය. සුජීගේ සිදුවීම අවසානයේ පාර්ලිමේන්තු ගතවී දේශපාලනීකරණයට ලක් වන්නේ ඒ ආකාරයෙනි. කෙසේ නමුත් ජවිපෙ නායකයා අතින් හෝ මෙහි සමාජමය වරද ඉස්මතු කෙරෙන බවක් පෙනෙන්නේ නැත. එබැවින් අප රටේ උත්තරීතර ආයතනයෙන් ද  එය අවඥා සහගත, අවභාවිතකිරීමකට ලක්වී යයි. 

අද සමාජය පත්ව ඇත්තේ මෙබඳු ශෝචනීය ඉරණමකයට. බල්ලන් මරා සල්ලි හම්බකිරීම, අම්මා තාත්තා විකුණා හෝ සල්ලි හම්බකිරීම වැනි ශෝචනීය සමාජ ආකල්පවලින් අනතුරුව දැන් උදාවී ඇත්තේ තවත් මිනිසකුගේ දුක අවඥාවට ලක්කරමින් එයින් ‛ෆන් ගන්නා’ සමාජයක් බිහිවීමය.  අප සියලු දෙනා මතක ලබාගත යුතු එක් කරුණක් තිබේ. එනම් ගඟේ ජලයට කුණු දැමිය හැකි නමුත්, ඔබගේ නිවසට පැමිණෙන්නේ ද ඒ ගඟේ ජලයම බවය. එයින් කියන්නට උත්සාහ ගන්නේ ඔබ විසින් අවඥවට ලක්කරන සමාජ සාර ධර්ම යම් දිනෙක පෙරළා ඔබවම ගිළගන්නා බවය. අවසානයේ කිවහැකි එක කරුණක් තිබේ. එය පවසන්නේ මෙම කාන්තාවගේ පෞද්ගලික ජීවිතයට එබී බලා, එය වීඩියෝ ගතකොට සමාජ ජාලයට මුදාහළ, එයට ‛ලයික්’කරමින්, එය ‛ෂෙයාර්’ කළ සියලු දෙනාටමය. ඒ, 

“උඹලාගේ මනුස්සකම දමාපන් බල්ලෙකුට” කියාය. 







Wednesday, November 4, 2015

සඳසේයා ඝාතනය, ගෘහ සේවිකා වැටුප් සහ දරුපැටවුන්ගේ ආරක්ෂාව


ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ වැටුප ගතවු මාසයක පමණ කාලයක සිට ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට තිබේ. මෙයට පෙර රුපියල් 15,000ක් පමණ මට්ටමක පැවති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ වැටුප මේ වන විට ආහාර, වෛද්‍ය පහසුකම් සහ නවාතැන් ද ඇතුළුව රුපියල් 20,000ක පමණ අවමයක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙනී යයි. දේශීය වශයෙන් ගෘහ සේවිකාවන්ගේ සේවය සළසනු ලබන ආයතන (Man Power) මගින් ද මේ බව තහවුරු කොට තිබේ. මෙම හදිසි ඉහළ යාමට හේතු විමසීමේදී පැහැදිලිවම පෙනෙන්නට ඇති එක් කාරණයක් තිබේ. ඒ කොටදෙනියාවේ මෑතකදී සිදුවූ සඳසේයා දැරියගේ ඝාතන සිදුවීමයි. මෙම සිදුවීම පිළිබඳ සියළු පුවත් ජනමාධ්‍ය ඔස්සේ රට හමුවේ තැබීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙමාපියන් සිය දරු දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳ පෙරටත් වඩා උනන්දුවක් ඇති කරගැනීම නිසා  දේශීය ගෘහ සේවිකාවන්ගේ සේවය ලබාගැනීමට බොහෝ දෙනෙක් පියවර ගෙන ඇත. මේ හදිසි ඉල්ලුම නිසා අලුත් ගෘහ සේවිකාවන් රුපියල් 20,000ක අවම වැටුපක් ඉල්ලා සිටින අතර පැරණි සේවිකාවන් ද සිය හාම්පුතුන්ගේන් වැඩි වැටුප් ඉල්ලා සිටින බැව් දැනගන්නට ලැබී තිබේ. වැඩි වැටුප් ලබාදෙන්නට අකැමැත්තක් දක්වන ඇතැම් හාම්පුතුන්ගේ නිවෙස්වල දැනට සේවය කරමින් සිටින ගෘහ සේවිකාවන් වැඩි වැටුප් හිමි වන වෙනත් ස්ථාන කරා සංක්‍රමණය වෙමින් සිටින බව ද පෙනෙන්නට තිබේ.

සඳසේයා දැරියගේ ඝාතන සිදුවීම පිළිබඳ අවධානය යොමුකිරීමේදී පෙනී යන කාරණය වන්නේ ඇය සිය වැඩිහිටියන් සමඟ නිවසේ සිටිය ද ඇය පිළිබඳ වෙන් වශයෙන් (Individual) කිසිවකුගේ අවධානය යොමු කිරීමක් සිදුව නැති බවය. මෙය කුඩා දරුවන් සිටින බොහෝ දෙමාපියන්ගේ අවධානයට යොමු වී ඇති කාරණයක් බවට පත්ව ඇත. එමෙන්ම මෙම ඝාතන සිදුවීමෙන් අනතුරුව මෙතෙක් රැකියාවන්හි නිරතව සිටි ඇතැමුන්, විශේෂයෙන් වෙනත් ආදායම් මාර්ග සහිත ඇතැම් කාන්තාවෝ එයින් ඉවත්ව, නිවසේ රැඳෙමින් සිය දරු දැරියන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට තීරණය කොට ඇත. විශේෂයෙන් කුඩා පෞද්ගලික සමාගම්වල සේවය කරන කාන්තාවන් දෙවරක් නොසිතාම සිය රැකියව අතහැර නිවසේ සිටිමින් සිය දරුදැරියන් පිළිබඳ අවධානයෙන් සිටීමට තීරණව කොට ඇති බව පෙනේ.

දරුවන් පාසල් යැවීමේදී සහ උපකාරක පංතිවලට යැවීමේදී බාහිර පුද්ගලයන්ට වගකීම් පවරනවා වෙනුවට ඒ වගකීම තමා වෙතම තබාගැනීමට බොහෝ මව්වරු සහ පියවරු තීරණය කොට ඇත. එමෙන්ම තම නිවස සහ එය ආශ්‍රිත පරිසරයේ ආරක්ෂාව ඉහළ නැංවීමට ද බොහෝ දෙමාපියන් අවධානය යොමුකොට ඇත. මෙයින් අදහස් වන්නේ ගේට්ටු නොමැති නම් ඒවා සවිකිරීම, නිවසේ දොර සහ ජනෙල් අගුල්වල තත්වය සොයා බලා අවශ්‍ය වෙනස්කම් කිරීම ආදියය.

තම නිවස හෝ දරු දැරියන් කෙරෙහි අනවශ්‍ය පරිදි සැළකිල්ලක් දක්වන පුද්ගලයන් පිළිබඳ පෙර නොකළ අන්දමේ අවධානයක් යොමුකිරීමට ද දෙමාපියන් පියවර ගෙන ඇත.

සඳසේයා ඝාතනයත් සමග ළමා හිංසනය සහ අපචාර පිළිබඳ සිදුවීම පොලිස් පැමිණිලි අංශයේ සටහන් වීම පෙරට වඩා ඉහළ ගොස් ඇති බව පැහැදිලිවම පෙනෙන්නට ඇති තවත් කාරණයකි. මේ නිසා මෙවැනි පිරිස් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගැනිමට පොලිස් ළමා හා කාන්තා අංශයට හැකියාව ලැබී තිබේ.

එමෙන්ම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති අවධානය තවත් වැඩිකරන ලෙසත්, මෙවැනි අපචාර හා දූෂකයන්ට දැඩි දඬුවම් ලබාදෙන්නැයි  රජයේ වගකිවයුතු අංශවලින් ඉල්ලමින් පසුගිය කාලයේ විවිධ මහජන උද්ඝෝෂණයන් ද සිදුව ඇත. තවමත් එවැනි වීදි බැසීම් දක්නට ඇත. මෙම ඇතැම් උද්ඝෝෂණ ජනතා සංවිධාන මගින් සංවිධානය කරන ලද ඒවා වන අතර ඇතැම් ඒවා විවිධ පෞද්ගලික ආයතන සිය ප්‍රචාරණ වඩසටහන්වල කොටසක් ලෙස පෞද්ගලික ප්‍රතිලාබ අපේක්ෂාවෙන් කරන ලද ඒවා වේ.

මේ සියල්ලෙන් පෙනී යන්නේ සඳසේයා දැරියගේ ඝාතන සිදුවීම සමාජ පෙරළියකට හා සමාජ ප්‍රපංචයකට හේතු වී ඇති බවය. මෙයට පෙර ද ළමා අපචාර හා දූෂණ බොහෝ ප්‍රමාණයක් සිදුවුව ද මෙම සිදුවීම තරම් සමාජයේ වෙනසක් ඇතිකරන්නට ඒවා හේතු නොවූ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එමෙන්ම සඳසේයා දැරියගේ ඝාතන සිදුවීම පිළිබඳ තොරතුරු සමාජගත වු ආකාරය හා මාධ්‍ය මගින් එය ආවරණය කළ ආකාරය ද මෙයට තවත් පිටුවහළක් වන්නට ඇති බව සමාජ විද්‍යායෝ පවසති.


ඕනෑම අවාසානාවන්ත සිදුවීමකින් රටකට යහපතක් සිදුවන අවස්ථාවන් අප රටේ ඉතිහාසය මුළුල්ලේම දක්නට ලැබෙන්නකි. වළගම්බා රජුගේ සමයේ ඇති වූ බැමිනිටියාසායයනු ලක් ඉතිහාසයේ සිදුවූ බිහිසුණතම සාගතය බැව් ඉතිහාසය සාක්ෂි දරයි. මෙහිදී සංඝයා වහන්සේලා ද බොහෝ දෙනෙක් අපවත් වූහ. මේ නිසාම ත්‍රිපිටකට කඩපාඩමින් පමණක් ඉදිරියට රැගෙන යාමේ අවදැනමක් පැවති බැවින් එය ග්‍රන්ථාරූඪකිරිමට තීරණය කෙරණි. ඇතැම් විට මෙම නියං සාය නොආවා නම් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪවීමක් සිදු නොවන්නට ද ඉඩ තිබිණි. මේ නිසා සඳසේයා ඝාතන සිදුවීමත් සමඟ දරු දැරියන්ගේ ආරක්ෂාව පිලිබඳ ඇතිවූ සමාජ පෙරළිය වඩාත් ක්‍රමවත් හා සංවිධිත තත්වයට පත්කර ගැනීම සියලුම අංශයන්ගේ වගකීම හා යුතුකම බවට පත්ව තිබේ. නොඑසේනම් මෙම සමාජ පෙරළිය ද කිසිදු ප්‍රයෝජනයක් නොගෙනම සමාජයෙන් වියැකී යා හැකිය.

Thursday, October 22, 2015

වෙනම රාජ්‍යයක සිහිනය දැක සතර රියනක් පමණක් හිමිකරගත් තමිලිනී


බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩයාමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව වූ ‛තමලිනී’ හෙවත් ‛සුබ්‍රමනියම් සිවාගමි’ පසුගිය ඔක්තෝබර් 18 වැනිදා උදෑසන මිය ගියාය. ඒ අගන්‍යාශයේ ඇති වූ පිළිකා තත්වයක් නිසාවෙනි. ඇගේ දේහය කිලිනොච්චියේ පරන්තන් හි පිහිටි සිය නිවස කරා රැගෙන ගිය අතර වෙනම රාජ්‍යයක සිහිනය දකින දෙමළ සන්ධානය ඇතුලු උතුරේ දේශපාලන නායකයෝ ද දෙමළ ජනතාව රැසක් ද ඇයට ගෞරව දක්වන්නට පැමිණ සිටියහ. පිළිකා රෝගී තත්වය උත්සන්න වීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ඇය මහරගම පිළිකා රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී විකිරණ ප්‍රතිකාර ද ලබාදෙනු ලැබිණි. ඒකීය ශ්‍රී ලංකාව දෙකඩ කොට උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවන්නට ඇයගේ නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ගෙන ගිය සටනට කාන්තා දායකත්වය ලබාදුන් ඇගේ බලාපොරොත්තුව වන්නට ඇත්තේ සිය ජීවිත කාලය තුල දිනක් හෝ ඔවුන්ගේ රාජ්‍යයක ජීවත්වන්නට වාසනාවක් ලැබේ යැයි කියා විය හැකිය. ඇයට ජාතිවාදයේ විෂ පෙවූ ඇගේ ජ්‍යෙෂ්ඨ නායකයන් නිසා ඇගේ සිත තුළ දකුණේ සිංහල ජනතාව පිළිබඳ වෛරී සිතක් පහළව තිබුණාට කිසිඳු සැකයක් නැත. කෙසේ නමුත් මහා රාජ්‍යයක සිහිනු දුටු ඇයට අවසානයේ හිමි වූයේ සතර රියනක් පමණි. මිය ගියේ නායිකාවක ලෙස නොව පිළිකා රෝගියකු ලෙසය. අවසන් සුසුම් හෙළන්නට වූයේ ඔවුන් මැවූ සිහින රාජ්‍යයයේ නොව ඒකීය ශ්‍රී ලංකාවක් තුළ මහරගම පිළිකා රෝහලේය. දෛවය සරදම් කරන්නේ තරාතිරම් බලානොවේ යැයි පැවසනේනේ මේ නිසාය. කෙසේ වෙතත් ත්‍රස්තවාදී ක්‍රියාකාරිත්වය පැවති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන් අතර ඇගේ නම නිතරම පාහේ කියැවිණි. උතුරේ දෙමලුන් අතර සේම දකුණේ සිංහලයන් අතර ද ඇය සුප්‍රකට චරිතයක් විය. ඒ සාමාන්‍ය දැරියක ලෙසින් ඉපිද මිනිසුන් දහස් ගණනක් මරු තුරුළට යැවූ ත්‍රස්තවාදී නායිකාවක බවට පත් ඇගේ ජීවන ගමන් මග පිළිබඳ කෙටියෙන් කතා කරන්නට අප සිතුවේ එබැවිනි. 

1972 අප්‍රේල් 22 වැනි දින ඇය උපත ලැබුවාය. ඇයට සහෝදරයකු සහ සහෝදරයින් දෙදෙනකු විය. ඒ සමය දෙමළ ත්‍රස්තවාදය පැතිරී ගිය වටපිටාවක නොවේ. නමුත් උතුරේ ජාතිවාදී මතවාද අළු යට ගිනි පුපුරු මෙන් තිබිණි. සිංහල ජනතාව කෙරෙහි ඇගේ සිත තුළ වෛරී සිතක් ඇති කරවන්නට දෙමළ නායකයන් අවස්ථාවක් කරගත්තේ 1983 වසරේ කලු ජූලියයි. ඒ වන විට ඇය 11 වැනි වියෙහි පසු වූවාය. ඇය ඒ වන විට පරන්තන් හින්දු පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියාය. ඒ සමය වන විටත් පාසලේ අධ්‍යාපනික කටයුතුවලදී මෙන්ම විෂය බාහිර කටයුතුවලදී ද සියලු දෙයට ඉදිරිපත් වී නායකත්වය ගනිමින් කටයුතු කරනු දක්නට හැකිවිය. 

කලු ජූලියෙන් පසු උතුරේ සිංහලයන්ට එරෙහි ජාතිවාදී වෛරී සිතිවිලි පතුරුවා හරින්නට දෙමළ ජාතිවාදී නායකයෝ කටයුතු කළහ. එම කටයුතුවලට සහභාගී වන්නට තමිලිනීට ද අවස්ථාව ලැබිණි. ඇය ඔවුන්ගේ දේශනවලට නිරතුරු සහභාගී වූවාය. සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසු ඇය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නට තීරණය කළාය. නමුත් ඒ වන විටත් ඇගේ සිතට කාවද්දන ලද සිංහලයාට එරෙහි හැඟීම් නිසා අධ්‍යාපනයට වඩා අවශ්‍යව තිබුණේ සිය දේශපාලන නායකයන් ඔවුන් ඉදිරියේ මවා පෙන්වන ලද වෙනම රාජ්‍ය සිහිනය සැබෑ කරගන්නටය. ඒ නිසාම ඇය 1991 මැයි 27 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ එක්වන්නට තීරණය කළාය. සිංහලයන් කෙරෙහි වෛරී සිතින් යුක්ත ඇය වැනිම දෙමළ ජාතික තරුණ තරුණියක් රැසක්ම මේ කාලයේ එල්.ටී.ටී.ඊ. හෙවත් කොටි සංවිධානයට එක් වූහ. ඉන්පසු වෙලුපිල්ලේ ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදී නායකයා සහ ඔහුගේ සහායකයෝ සිංහලයන්ට එරෙහි ම්ලෙච්ඡ යුද්ධය තමිලිනීට සහ ඇය වැනිම දෙමළ තරුණ තරුණියන්ට පුහුණු කරවන්නට පටන් ගත්තේය. ඇය කුඩා සමයේ දුටු අනාගතය පිළිබඳ සුබ සිහින වෛරය සහ සිහින රාජ්‍යයක් ඉදිරියේ විනාශ කර දැමුවාය. 

කොටි සංවිධානය තුළ ඇයට ඉදිරියට යන්නට අවස්ථාවක් සළසා ගත්තේ පුනරීන් හමුදා කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරයත් සමගිනි. මෙම ප්‍රහාරය සඳහා තමිලිනී ඇතුළු කොටි කාන්තාවන් රැසක් ද සහභාගී වූහ. 1993 නොවැම්බර් 11 වැනිදා කලු කොටි හෙවත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පෙරටු කරගනිමින් තමිලිීනී ඇතුළු කොටි කාන්තාවෝ පුනරීන් කඳවුර විනාශ කර දැමූහ. කොටි සංවිධානයේ අවධානය ඇය වෙත නතුකරගන්නට ඇය මෙහිදී පෙන්වූ නායකත්වය ඉවහල් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇය කොටි සංවිධානයේ කාන්තා අංශයේ නායකත්වයට පත්වීමෙනි. ඇයට කොටි සංවිධානය විසින් කර්නල් තනතුරක් පිරිනමනු ලැබිණි. ඇය ඒ සමයේ කාන්තාවන් වෙනුවෙන් පුවත්පතක් ද ප්‍රකාශයට පත් කළාය. පසුකාලයේ සිදු කළ කොටි සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා රැසක් සඳහාම ඇය සිය නොමසුරු දායකත්වය ලබාදුන්නාය. ඇය කොටි සංවිධානය තුළ කිසිවකු සමඟ හෝ කිසිදු ආකාරයක හෝ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත් වූ බවට තොරතුරු ලැබෙන්නේ නැත. 

සිය ත්‍රස්තවාදි ක්‍රියා ඔස්සේ සිංහලුන්ට නිතර මර බිය දැන්වූව ද යම්කිසි දිනක තමාට ද එම මර බිය දැනෙනු ඇතැයි ඇය කිසිදා නොසිතන්නට ඇත. නමුත් ඇගේ සිහින රාජ්‍යය තුළ සැනසිල්ලේ ජීවත්වන්නට දෛවය ඇයට ඉඩ දුන්නේ නැත. ඇය ජීවත් වූ කොටි සංවිධානයේ මළගම ළංවෙමින් පවතින බව ඇය කිසිදාක සිතන්නට නැතිව ඇත. මාවිල්ආරු සොරොව්වේ ජල ප්‍රශ්නයත් සමග ඇවිලුණු යුද ගිනිදැල් කොටි සංවිධානය දවා පුළුස්සා විනාශ කරනු ඇතැයි ඇය හෝ ඇගේ නායකයන් සිතන්නට නැත. කෙසේ වෙතත් පෙර අවස්ථාවලට වඩා සංවිධානත්මකව පිරිස් බලය සහිතව හමුදාවන් සිය ප්‍රහාර දැඩි කරද්දී අනුනට දුන් මර බිය ඇයට ද දැනේනනට විය. 

කොටි නායකයන් එකා පිට එකා මිය යද්දී සිය ජීවිතය බේරාගැනීම යහපත් යැයි නන්දිකඩාල් කලපුව අසල බිම් කඩෙහි සිරවී සිටියදී ඇයට සිතෙන්නට ඇත. ඉතිරිව සිටි කොටි නායකයන්ගේ ද අණ නොතකා සාමාන්‍ය ජනතාව සමඟ හමුදාවට යටත්වීමේ අරමුණින් පැමිණෙන්නට ඇය සිත එකඟ කරගත්තේ මේ නිසා විය හැකිය. සිය නායකයන් ඇය ඉදිරියේ මවා පෙන්වූ රාජ්‍යය සිහිනයක් බැව් ඇය ඒ වන විටත් තේරුම් ගෙන සිටින්නට ඇත. එතෙක් කල් ඇය ජීවත් කරවූ වෛරයේ ගිනි මැදින් සාමාන්‍ය මිනිසකුට දැනෙන කුසගින්න ඇය වෙළාගිනිමින් පැවතිණි. සාමාන්‍ය ජනතාව සමග සැඟවී පැමිණි ඇය වව්නියාව අවතැන් කඳවුරේ සිටියදී 2009 මැයි 27 වැනිදා හමුදා ඇස ඇයව හඳුනාගත්තේය. හමුදා බුද්ධි අංශ ඇය පිළිබඳ බොහෝ කරුණු දැන සිටි බැවින් නොදන්නා තවත් බොහෝ කරුනු දැනගනු වස් ඇය බොහෝ ප්‍රශ්නකිරීම්වලට ලක්කරනු ලැබිණි. 

වව්නියාව අවතැන් කඳවුරේ වසරක පමණ කාලයක් පුනරුත්ථාපනය වූ ඇය යළි සාමාන්‍ය ජීවිතයට යොමුවන්නට තීරණය කරන ලද්දේ අතීතයේ සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවලට යළි කිසිදා යොමු වන්නේ නැතැයි ආරක්ෂක හමුදාවන් ඉදිරියේ කළ සපථවීමෙකින් ද අනතුරුවය. පරන්තන් හි සිය නිවසට ඇය කැඳවා යනු පිණිස ඇගේ සොයුරියක් ද ඇය පුනරුත්ථාපන කඳවුරෙන් නික්ම යද්දී පැමිණ සිටියාය. කොටි සංවිධානයේ සිටි සමයේ වැරෙන් යටපත් කොටගෙන සිටි ආදර සිතිවිලි නැවත ඉස්මතු වීම නිසාදෝ ඇය නුදුරේම විවාහ වී සාමාන්‍ය ජීවිතයක් ගත කරන බව ද එදින පවසා සිටියාය. ඒ 2013 ජූනි 27 වැනිදාය. 

ඇය පැවසූ සේම විවාහ දිවියට ද සැපත් වූවාය. නමුත් ඇගේ සාමාන්‍ය ජීවිතයට දෛවය වැඩි දිනක් ඉඩදුන්නේ නැත. ඒ ඇගේ අගන්‍යාශය පුරා පැතිරුණු පිළිකා රෝගය නිසාය. එසමයේ ඇයට සත්කාර කරන ලද්දේ කොටි සංවිධානය සමඟ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන්නට එපා යැයි අවවාද කළ ඇගේ මව විසිනි. කෙසේ වෙතත් වෙනම රාජ්‍ය සිහිනය සේම සිය රෝගී තත්වය ද ජයගන්නට ඇය අසමත් වූවාය. ලොවේ සියලු දෙනා මුහුණ දෙන පොදු ධර්මතාවයට මුහුණ දෙමින් ඇය ද රියන් සතරකට හිමිකම් ලැබුවාය. බොහෝ සිහින පසුපස යමින් විනාශකාරී ක්‍රියාවන් සිදුකරන සියලු දෙනාට අවසානයේ අත්වන්නේ මේ ඉරණම බව වටහා ගන්නට කදිම ආදර්ශයක් අවසානයේ ඇය අප හමුවේ තබා ඇත. 

Monday, October 5, 2015

‘වෙට් වයිප්ස්‘/වෙට් ටිෂූ ගැන ඔබ දන්නවාද? - Important Facts about Wet Wipes/Wet Tissue


කොහේ හරි විශේෂ, වැදගත් තැනකට යන කොට වැදගත් විදිහට ඉන්න ඕන. ඒ නිසා එවැනි තැනකට යන්න කලින් මුහුණ ටිකක් හෝදලා නැවුම් බවක් ඇති කරගන්න අපි පුරුදු වෙලා ඉන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ එහෙම මුහුණ සෝදගන්න තැනක් නැති වුණාමයි. එහෙම වුණාම ඉතිං හති මුණින් දාඩිය පෙරාගෙන තමයි වැද්ගත් වැඩේට යන්න වෙන්නේ. දාඩිය පිරුණු මුහුණ ලේන්සුවකින් පිසදා ගත්තත් එයින් මුහුණට නැවුම් ස්වභාවයක් ඇතිවන්නේ නැහැ. මේ කරදරයට විසඳුමක් විදිහට තමයි වෙට් ටිෂූ’ ( Wet Tissue) එහෙමත් නැත්නම් වෙට් වයිප්ස්’ (Wet wipes)වෙළෙඳ පළට ඇවිත් තිබෙන්නේ. මේවා වෙළෙඳ පළට ඇවිත් සෑහෙන කාලයක් වුණත් ඇතැම් අය තවමත් මේ ගැන දන්නේ නැහැ. ඒවා ගැන වැදගත් කරුණු ටිකක් කතා කරන්න හිතුවෙ ඒ නිසයි.

සාමාන්‍යයෙන් මංගල උත්සවයකට සහභාගී වෙන්න ගිහින් ආහාර ගැනීමෙන් පසු අත් හා මුඛය අවට පිරිසිදු කිරීම සඳහා කඩදාසිවලින් සාදන ලද ටිෂූ ඔබට නුපුරුදු දෙයක් වෙන්න බැහැ. අපි ඒවාට පේපර් ටිෂූඑහෙමත් නැත්නම් පෙපර් සර්වියට්’ (Paper Serviette) කියල කියනවා. නමුත් ජලය නැති වෙලාවක මෙයින් ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ. මේ ගැටලුවට විදුසුමක් විදිහට තමයි මේ පේපර් සර්වියට් නිෂ්පාදනය කරන සමාගම් තෙතමනය සහිත ටිෂූ වර්ගයව නිෂ්පාදනය කළේ. මේවා තෙතමනයෙන් යුක්ත නිසයි වෙට් ටිෂූහෝ වෙට් වයිප්නමින්  හඳුන්වනු ලබනවා. මෙම ටිෂූ ජලයේ හෝ අයිසොප්‍රොපිල්නම් මද්‍යසාරයේ පොඟවනු ලබනවා. මේ ඇසුරුම් මුද්‍රා තබා ඇති නිසා’, ඇසුරුම විවෘත කරන කරන තුරු මෙහි තෙතමනය ආරක්ෂා වී තිබෙනවා. මෙම මද්‍යසාරය  ඇති නිසා එයින් මුහුණ පිසදැමීමේදී මුහුණේ රුඳී ඇති විවිධ අපද්‍රව්‍ය ඉවත්වී මනා පිරිසිදුකමක් ලබාදෙන බවයි පැවසෙන්නේ. ඒ වගේම විවිධ සුවඳ මුසු කළ වෙට් ටිෂූ වර්ග ද වෙළෙඳපළෙන් ලබාගන්නට හැකියි.

විවිධ කාර්යයන් සඳහා සකස් කරන ලද වෙට් ටිෂූ ගණනාවක්ම තිබෙනවා. දරුවන්ගේ සංවේදී, මොළකැටි සම පිරිසිදු කිරීම සඳහා ඇති ටිෂූ ද පොඟවා ඇත්තේ මද්‍යසාර වර්ගයකින්. ඒ වගේම ඒවා අළෙවියට ඇත්තේ ප්ලාස්ටික් බඳුන්වලයි. ගමන් බිමන් යන අවස්ථාවක බිළිඳා පිරිසිදු කිරිමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් මෙවැනි ටිෂූවලින් ලැබෙන්නේ මහඟු පිටිවහළක්. මෙම බොහෝ ටිෂූ වර්ග එක් වරක් භාවිත කිරීමෙන් පසු ඉවත දැමිය යුතු වුවත්, සෝදා කිහිප වරක් භාවිත කළ හැකි ටිෂූ වර්ග ද දැන් ලබාගන්නට පුළුවන්. ඒවා සෝදා පිරිසිදු ජලයෙන් පොඟවා ඒ වෙනුවෙන් ඇති ඇසුරුම් බඳුනේ තබාගැනීමෙන් අතරමගදකදී පහසුවෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්.

ඒ වගේම කර්මාන්ත ශාලාවල භාවිතයට, කුඩා තුවාළ, සීරීම්, පිළිස්සුම්, කෘමි දෂ්ටනයන් සිදුවූ අවස්ථාවක පිස දැමීම සඳහා විෂ නාශක සහිතව පැමිණෙන ටිෂූ, සුරතල් සතුන් පිරිසිදුකිරීම සඳහා ටිෂූ වර්ග සකසා තිබෙනවා. බොහෝ රටවල වර්තමානයේ ටොයිලට් පේපර්වෙනුවට මෙම වෙට් ටිෂ භාවිතය ආරම්භ කොට තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා.

මුහුණ පිසදා ගැනීම සඳහා සකස් කළ මෙම වෙට් ටිෂූ වර්ග අපේ රටේ සුපිරි වෙලෙඳ සල්වල ඕනෑ තරම් අළෙවියට තබා තිබෙනවා. කෙසේ නමුත් වෛද්‍යවරුන් මෙම ටිෂූ භාවිත කිරීමේ අප නොදකින් පැත්තක් ගැන ද කරුණු සඳහන් කරනවා. මේවා භාවිත කිරීමේදී එම කරුණු ද සිහි තබාගැනීම වැදගත්.

මෙම ටිෂූ වර්ගවල විෂ බීජ නැසීමේ ගුණය ද තිබිය යුතු නිසා මද්‍යසාර වර්ගවල පොඟවන බව අපි කතා කළා. මේ ඇතැම් මද්‍යසාර ඇතැම් අයගේ සමට ආසාත්මිකතාවයන් ඇති කළ හැකි බව වාර්තා වී තිබෙනවා. අද වෙළෙඳ පළේ දක්නට ලැබෙන මෙම වෙට් ටිෂූ වර්ගවලට මද්‍යසාරවලට අමතරව යම් යම් රසායනික ද්‍රව්‍යයන් ද ඇතුළත් කරන බව පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව බොහෝ ඒවායේ යම් කිසි සුවඳක් ඇතුළත් කොට තිබීමයි.

නිෂ්පාදනයෙන් පසු මාස 18ක පමණ කාලයක් දක්වා පැවතිය හැකි ආකාරයෙනුයි මේවා සකස් කරන්නේ. එම කාලය ඇතුළත මෙය නොවෙනස්ව තබාගැනීම සඳහා මද්‍යසාර, ප්‍රති බැක්ටීරියා ද්‍රව්‍ය සහ කල්පවත්වා ගැනීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය මේවායේ ඇතූලත් වෙනවා. ඒ වගේම මේවා අසුරා ඇත්තේ කුඩා පැකටටු වශයෙන්. මේවා එම පැකැට්ටු තුල අසුරා ඇත්තේ මෙවැනි ටිෂූ කිහිපයක් එකක් මත එකක් සිටින සේ, එකිනෙක ගෑවෙන ආකාරයෙන්. මෙසේ එකිනෙක ස්පර්ශ වීමේදී ඒවා මත බැක්ටීරියා වර්ධණය විය හැකි බව පැවසෙනවා.

බොහෝ දෙනෙක් මේවා භාවිතයට ගන්නේ මුහුණ දැමීමටයි. මෙසේ පිස දැමීමේදී ඇස් ප්‍රදේශය විශේෂයෙන් පිස දැමෙනවා. ඇස් අවට ප්‍රදේශයේ සම ඉතා සියුම්. මෙම වෙට් ටිෂූවල ඇති මද්‍යසාර නිසා මෙම ප්‍රදේශයේ කැසීම් ඇතිවිය හැකිවා සේම එම සියුම් සම නිතර මද්‍යසාරවලින් පිසදැමීමෙන් ඒවා රළු වී වයස්ගත වන්නටත් පෙර වයස්ගත් පෙනුමක් ඇතිවීමටත් ඉඩ තිබෙනවා.

දරුවන් වෙනුවෙන් වෙට් ටිෂූ මිලදී ගැනීමේදී ජලයෙන් පමණක් පොඟවන ලද ඒවා තෝරා ගන්නවා නම් වඩා සුදුසුයි. එයට හේතුව කුඩා දරුවන්ගේ සම ඉතා මොළකැටි වීමයි. මද්‍යසාරවලින් එවැනි සමක ස්වභාවය වෙනස් විය හැකියි.


වෙට් ටිෂූ භාවිතය අත්හළ යුතු බව මෙයින් කියැවෙන්නේ නැහැ. නමුත් හදිසි අවස්ථාවකදී පමණක් මේවා භාවිත කිරීමටත්, ඒ සමගම මුහුණේ සම රැකදෙන වෙනත් ප්‍රතිකර්ම සිදුකිරීම පුරුද්දක් කරගැනීමත් ඉතා සුදුසු බව පැවසිය යුතුයි. එවිට ඔබට වෙට් ටිෂූ බියක් නැතිව භාවිත කරමින් සමේ මුහුණේ සම ආරක්ෂා කරගැනීමත් සිදු කළ හැකියි.

Thursday, October 1, 2015

පොත් ප්‍රදර්ශනවල ආනන්දයෙන් ප්‍රඥාව ලැබේද?


‛කියවීම මිනිසා සම්පූර්ණ කරයි’, ‛ආනන්දයෙන් ප්‍රඥාව ලැබේ’ වැනි කියමන් අපි කොතෙකුත් අසා ඇති මුත් මේවා ඇත්තටම ඇත්තදැයි ඇතැම් විටක සිතේ. තැනින් තැන අසන්නට ලැබෙන බොහෝ දේවල් නිසා මෙසේ සිතන්නට පෙළඹේ. එසේ සිතන්නට පෙළඹුණු මෑතකදීම දක්නට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් වූයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. 

මට මෙසේ සිතෙන්නේ ඇයි? 

පොත් ප්‍රදර්ශනයේදී අපට විවිධ පොත් කියවන්නට ලැබේ. පොත් ප්‍රදර්ශනයට පැමිණෙන්නේ සැබැවින්ම පොත් පෙම්බරයන් නම්, කියවන්නට පෙම් බඳිනවුන් නම්, කියවීමට ඇබ්බැහි වූවන් නම් මේ පැමිණෙන්නන් මනා විචාර බුද්ධියකින් හෙබි, අයහපතෙන් යහපත තෝරාගත හැකි බුද්ධිමත් පිරිසක් විය යුතුය. නමුත් අවාසානාවට ඇත්ත කතාව එය නොවේ. 

පොත් ප්‍රදර්ශනය නරඹන්නට පැමිණෙන සියලු දෙනා පොත් පෙම්බරයන් නොවේ. පොත් පෙම්බරයන් හැරුණු විට කාලය මරමින් සිය පෙම්වතිය හෝ පෙම්වතා සමඟ ඇවිදිනන්නට කැමති පෙම්බරයෝ ද මෙයට පැමිණෙති. අධ්‍යාපන තරගය සඳහා සිය දරුවන් සූදානම් කරවනු වස් වැඩපොත්, පසුගිය හා ආදර්ශ විභාග ප්‍රශ්න පත්තර වැනි දෑ සොයා ගැනීමට කැප වූ දෙමාපියෝද මෙයට පැමිණෙති. තමන් පොත් කියවන බව ලෝකයාට ප්‍රදර්ශනය කරමින් පොත් පත් ගත්ත ද ජීවිතයට එහි අකුරක් හෝ නොකියවන අය ද පැමිණෙති. ගැට කපන්නන් සහ සෙනඟ අතරේ තෙරපෙමින් කායික වින්දනයක්  ලබන්නවුන් ද මේ අතර දක්නට ලැබේ. 

මේ හේතුව නිසා මෙහි පැමිණෙන සියලු දෙනා කියවීමෙන් සම්පූර්ණ වන්නවුන් නොවන අතර ආනන්දයෙන් ප්‍රඥාව ලබන්නෝ ද නොවෙති. ඔවුන් බහුතරය ප්‍රඥාවන්තයෝ නම්, සම්පූර්ණ මිනිසුන් නම්, වැරදි දෙය මග හැර නිවැරදි දෙය ද, අයහපත් අතහැර යහපත් දෙය ද තෝරාගනු ඇත. නමුත් එසේ වූයේ හෝ අනාගතයේදී වන්නේ හෝ නැත. මොවුන් බහුතරය ප්‍රඥාවන්තයන් නම් කැලණි ගඟට විෂ එක් කළ බීම සමාගමේ බීම තරගයට අළෙවි වන්නට ඉඩක් නැත. මිනිත්තු 20ක් ගත වුව ද ආමාශය තුළ නොදිරවන නූඩ්ල්ස් පෝලිම්වල සිට තරගයට ගිළ දමන්නේ නැත. ප්‍රදර්ශන පරිශ්‍රයේ තැන තැන කුණු දමන්නේ නැත. රාත්‍රි කාලයේදී අහුමුළුවල සිට සුරාපානය කරන්නේ නැත. 

සුරාපාන නටබුන්

පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන්නෝ ද ප්‍රඥාවන්තයන් නොවෙති. ඔවුන් ප්‍රඥාවන්තයන් නම් තම පොත් මිලට ගන්නට පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය පිළිබඳ මෙයට වඩා සැළකිලිමත් වනු ඇත. ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාර ගැනීම සඳහා නිසි විධි විධාන යොදනු ඇත. 

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වූ කලී පොත් ප්‍රකාශකයන් සිය පොත් අළෙවි කරගන්නට එක්ව කළ සාමූහික ප්‍රයත්නයක් මිස අන් කිසිවක් නොවේ. එය ආනන්දනීය ලෙස විඳ ප්‍රඥාව ළගාකොට ගැනීම අපගේ වගකීම වන්නේය. 


විජය පුවත්පතේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ළමා කතා කරු පියල් උදය සමරවීර මහතා සිය ළමා පාඨකයන්ගේ වින්දනය උදෙසා ඔවුන් වෙනුවෙන් මිලදී ගන්නා පොත්වල චිත්‍ර ඇඳීමක් මෙවර පොත් ප්‍රදර්ශනයේදී දක්නට හැකි විය. මේ එහි අවස්ථා කිහිපයකි.