පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, October 7, 2014

අම්මෝ වයසට ගිහින් කියලා කියන්නවත් බෑ - Some Facts about Ageing


වියපත් වීම, එසේත් නැත්නම් වයසට යාම කියන්නේ පිළිගන්නට අකැමති වුණත්,  පිළිගන්නට සිදුවන දෙයක්. මෙලොව එළිය දකින කවුරුන් වුවත්, කාලයත් සමග වියපත් වනවා. එය වළක්වන්නට සමතෙක් නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් වියපත්වන විට එය බාහිරට පෙනෙනවා. හිසකෙස් පැසීම, සම දුර්වර්ණවීම, රැළි වැටීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ බාහිරට පෙනෙන්නට ඇති දේවල්. ඒ වගේම දැනට කලකට පෙර කළ කී දෑ පහසුවෙන් සිදුකරන්නට නොහැකි යැයි යැයි කිසිවකුට සිතෙනවා නම්, එතැන ඇත්තේත් වියපත්වීමක ලක්ෂණයක්. 

අපේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ සෛලවලින්. කුඩා සමයේ පටන් අපේ තරුණවිය දක්වාම මේවා අඛණ්ඩව වර්ධණය වෙනවා. නමුත් තරුණ විය ඉක්මවද්දී මේවා වර්ධණයවීම නතර වෙනවා. මේ ආකාරයට සෛල ස්වාධීනව වර්ධණය නතර වීම වියපත්වීම විදිහට විද්‍යාත්මකව හඳුන්වන්න පුළුවන්. මෙයට අමතරව වියපත් වීම ගැන තව බොහෝ නිර්වචන තිබෙනවා. 

අපේ ශරීරයේ හෝමෝන වෑහෙන මට්ටම අඩුවී යාම ද වියපත්වීම නිසා සිදුවන්නක්. උදාහරණයක් ලෙස කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නතරවීම ගැන සඳහන් කරන්නට පුලුවන්. මෙය සිදුවන්නේ කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් කියන හෝමෝනය වෑස්සීම නතරවීම නිසයි. මේ හෝමෝනය ශරීරයේ නොමැතිවීම ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි ආබාධ ඇතිවන්නටත් හේතුවක්. 

අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රම කමයෙන් අඩපණවීම ද වයස්ගත්වීමට හේතුවක්. අප වියපත්වනවිට ප්‍රතිශක්තිකරණ පද්ධතියත් අඩාලවන්නට පටන් ගන්නවා. එවිට පිළිකා වැනි ජීවිතයට තර්ජනයක් වන ලෙඩ රෝගවලට එරෙහිව සටන් කරන්නට ශරීරයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

මෙයට අමතරව වියපත්වීමට තවත් බොහෝ හේතු තිබෙනවා. වියපත් වනවිට බාහිරව විවධ ලක්ෂණ දිස්වෙනවා. “දැන් වයසට ගිහිල්ලා” කියා බොහෝ දෙනෙකු පවසන්නේ මෙවැනි ලක්ෂණ දකින නිසයි. වියපත්බව බාහිරට පෙනෙන ප්‍රධානම ලක්ණෂය තමයි සම. සම කියන්නේ අපේ ශරීරයේ විශාලතම අවයවය කියා ඔබ අසා ඇති. 

වියපත්වීමත් එක්ක සම බොහෝ වෙනස්කම්වලට ලක්වෙනවා. දුර්වර්ණවීම, රැළිවැටීම, වියළිබව, ලප කැලැල් ඇතිවීම මේවා අතරින් විශේෂයෙන් සඳහන් කළ හැකියි. ඒ වගේස සම තුනීවීම, එහි ඇති මේද තට්ටුව වියැකීයාම, සුමුදුබව තුරන්වීම ආදිය දක්නට ලැබෙනවා. උපතේ සිට වියපත්වීම දක්වාම අප සිරුරෙහි යම් ජල මට්ටමක් නියතම පවතිනවා. එය සම කෙරෙහිද බලපානවා. ජලය අවශ්‍ය තරමට පවතින විට සම වියපත් වන්නේ සෙමින්. නමුත් අපගේ ශරීරය කෙමෙන් වියැකෙන විට සමෙහි ජල මට්ටම ද අඩුවෙනවා. එය සම දුර්වල වන්නට බෙහෙවින් බලපෑම් කරනවා. 

සුර්යාලෝකය සම මත නිතර පතිතවීම සම වියපත්වීමට ප්‍රධාන හේතුවක්. අධික සුර්යලෝකයෙන් හැකි හැමවිටම ඈත්ව සිටීම සම වියපත්වීම අවම කරගන්නට ගත හැකි එක් ක්‍රියාමාර්ගයක්. දුම්බීම නිසාද සම ඉක්මණින් වියපත් විය හැකියි. දුම්පානය අධිකවත්ම සමේ රැළිවැටීමත් අධික වනවා. 

වියපත්පත්වීම පිළිබඳ පොදු කරුණු මෙසේ වුවත්, විවිධ පුද්ගලයන්ගේ ජානවල බලපෑම ද මෙය කෙරෙහි බලපාන බව පැහැදිලවම පෙනෙන්නට ඇති කරුණක්. ඇතැම් පුද්ගලයන්ගේ සැබෑ වයසට වඩා පෙනුම වියපත්වන අවස්ථා ඕනෑ තරම් දකින්නට පුලුවන්. ඒ වගේම ඇතැම් පුද්ගලයන්ගේ සැබෑ වයස ඉහළ මට්ටමක පැවැතියත්, ඔවුන්ගේ බහිර පෙනුමෙන් එතරම් වයස්ගත බවක් කියන්න බැහැ. 

“අම්මෝ අවුරුදු හතලිස් පහක් කියලා කියන්නවත් බැහැ. ඕන නම් අවුරුදු තිස් පහක් ඇති කියලයි මට හිතුනේ” 

ඇතැම් පුද්ගලයන් දුටුවිට මෙවැනි දේ පැවසෙන්නේ මේ නිසයි. 

කෙසේ වුවත් තම ශරීර සෙඛ්‍යය පිළිබඳ සැළකිලිමත්වන්වා නම්, නිතර ව්‍යයාම කිරීම, යහමින් ජලය හා පලතුරු පරිභෝජනයට ගැනීම ද වියපත්වීම, විශේෂයෙන් සමෙහි වියපත්වීම අවම කරගන්නට පුවන්. 

6 comments:

  1. වටිනා ලිපියක්....... ට්‍රයි එකක් දෙන්න ඕනේ වයසට නොයා ඉන්න

    ReplyDelete
  2. සැබෑ වයසට වඩා ලාබාල පෙනුමක් තියන එක කරදරයක් වගෙ දැනෙන වෙලාවල් නැතුවමත් නෙවෙයි. :)

    හොඳ විස්තරයක් !

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්නත් පුලුවන්

      Delete
  3. වයසට වඩා තරුණ පෙනුම තියෙන අය ගොඩක් වතුර බොන කතාව ඇත්තම ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අපේ පෙනුමට සම කරන බලපෑම ඉතා ඉහළයි. ඉතිං සම නිරෝගීව තියෙන කෙනෙකුගේ පෙනුම ප්‍රසන්නයි. සම නිරෝගීව තබාගන්න ජලය යහමින් පානය කරන්න වෙනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න