පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, February 18, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 8 කොටස - New Gadgets for New World Part 8

යතුරු පැදි කියන්නේ අද කාලේ බොහෝ දෙනෙකුට පහසුවෙන් මිලදී ගත හැකි පවුලේ වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් සතුව යතුරු පැදි පවතින නිසා එය වඩාත් ජනප්‍රිය වාහනයක් ලෙසත් සඳහන් කළ හැකියි. යතුරු පැදි පරිහරණය වඩාත් පහසු කරවන්නට උදව්වන විවිධ අලුත් ගැජට් වර්ග දැන් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් ඒවා ගැන දන්නේ නැහැ. ඒ නිසා අලුත් ගැජට් තුළින් අද අපි යතුරු පැදි සඳහා වූ අලුත් ගැජට් වර්ග ගැන ටිකක් කතා කරමු.

සුපිරි ගණයේ හෙල්මට් එකක්



ස්කලි ඒ ආර් -1’ (Skully AR-1 Helmet) සුපිරි ගණයේ හෙල්මට් එකක් කිව්වොත් එහි වරදක් නැහැ. මේ වසර මුළදී මෙය හඳුන්වා දෙන අවස්ථාවේදී මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළ පරිදි පෘථිවියේ දැනට නිපදවා ඇති වඩාත් සංකීර්ණතම පාරිභෝගික භාණ්ඩය මෙය විය හැකියි. මෙහි පිටුපසින් අංශක 180ක දර්ශන පථයක් හසුකරගත හැකි (වයිඩ් ඈන්ගල්) කැමරාවක් සවිකොට තිබෙනවා. ඔබට පිටුපසින් සිදුවන සියලු දෙයම මෙම කැමරාව මගින් හසුකරගන්නවා. එම දර්ශන සියල්ල හෙල්මටයේ වයිසරය, එ කියන්නේ ඉදිරිපස ඇති විදුරුවේ පහළ කොටස මත දිස්වෙනවා. ඒ වගේම යතුරු පැදියේ වේගය, රෝදය කරකැවෙන වේගය (RPM) ආදියත් පෙන්නුම් කරනවා. යතුරු පැදිකරුවාගේ හිසෙහි වැඩි ආරක්ෂාවක් සඳහා කාබන් කෙඳි ආවරණයක් ද ඇතුළත් කොට තිබෙනවා. දැනට මෙහි මිල ඇමරිකානු ඩොලර් 1,500 (රු. 214,500ක් පමණ) වෙනවා.




යතුරු පැදි සන්නිවේදන උපකරණයක්



ඔබත් මිතුරන් කිහිප දෙනෙකුත් යතුරු පැදිවලින් ගමන් බිමන් යද්දි අදහස් හුවමාරු කරගන්න ගියාම සෑහෙන ගැටලුවක්ට මුහුණ දෙන්න වෙනවා. යන ගමන් දුරකතන ඇමතුම් ගන්නත් අමාරුයි. නතර කරන්නම වෙනවා. නමුත් දැන් මේ ගැටලුවට අලුත් විසඳුමක් තිබෙනවා. ඒ තමයි සීනා එස්.එම්එච් - 10ඩී - 11බ්ලූටූත් ඉන්ටර්කොම් පද්ධතිය’ (Sena SMH-10D-11 Bluetooth Headset and Intercom Set). මේවා තමන්ගේ කණ්ඩායමේ සියලු දෙනාම අතර පවතිනවා නම් යතුරු පැදියේ ගමන් කරන ගමන් කිසිම අපහසුවක් නැතිව අදහස් හුවමාරු කරගන්න පුළුවන්. මෙය මීටර් 900ක් දක්වා දුරකට පණිවිඩ සම්ප්‍රේෂණය කරන නිසා ළගින් ගමන් කිරීම අවශ්‍ය වන්නේත් නැහැ. ඒ වගේම ඔබගේ දුරකතනයේ ඇති ගීතවලට මෙය ඔස්සේ සවන් දෙන්නට පුළුවන් වගේම දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්නටත් පුළුවන්. ඒවගේම මෙහි ඇති තවත් පහසුකමක් වන්නේ මාර්ගය පිළිබඳ විස්තර ඇතුළත් යෙදුමක් ඔබ ජංගම දුරකතනයේ ස්ථාපනය කොට ඇත්නම් එම ගමන් විස්තර ද මෙය ඔස්සේම අසන්නට හැකිවීමයි. ඇමසන් වෙබ් අඩවිය ඔස්සේ මෙය දැනට ඇමරිකානු ඩොලර් 252.50කට (රු.36,000) මිලට ගන්න පුළුවන්.




යතුරු පැදියේ යන ගමන් දුරකතනය චාර්ජ් කරගන්න




තමන්ගේ ජංගම දුරකතනයේ බැටරිය අඩුවෙලා කියලා හුඟක් දෙනෙක් දැනගන්නේ උදේ වැඩට යන්න ලෑස්ති වුණාම. ඉතින් ගෙදරින් පිටවෙන්න ටිකක්ට කලින් චාර්ජ්වෙන්න දැම්මත් එය මුළු දවසක් සඳහාම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ගැටලුවට විසඳුමක් හොයපු ඇතැම් යතුරු පැදි නිෂ්පාදනකරුවන් තම නිෂ්පාදනවල යූඑස්බී චාර්ජින් පෝර්ට් එකක් ස්ථාපනය කළා. එහෙම නැති යතුරු පැදිවලට නම් වෝල්ට් 12න් චාර්ජ් කරගන්න පුළුවන් කොටසක් සවිකරගතු යුතු වෙනවා. නමුත් මේ සියල්ලටම වඩා පහසු උපකරණයක් දැන් ඇවිත් තිබෙනවා. මෙය හඳුන්වන්නේ ෂූ ෆෝන් චාර්ජින් බෙල්ට්’ (Xoo Phone-Charging Belt) නමින්. මෙය සැබවින්ම ඔබේ ඉණට බඳින පටියක්. ඔබ දැනට භාවිත කරන පටිය වෙනුවට මෙය යොදාගන්න පුළුවන්. ඔබේ සාක්කුවේ දුරකතනය දමාගෙනම චාර්ජ් කරගන්නත් පුළුවන්. කුඩා ප්‍රමාණයේ සිට එක්ස් එල් (XL ) ප්‍රමාණය දක්වා මේවා මිලට ගන්නට තිබෙනවා. මෙම පටියේ මයික්‍රෝ යූඑස්බී පෝර්ට් එකක් තිබෙනවා. ඔබේ දුරකතනයේ චාර්ජ්කිරීම සඳහා ඇති කේබල් එක එතැනට සවි කළ හැකියි. මෙය දැනට ඇමරිකානු ඩොලර් 249කට (රු. 35,600කට) මිලට ගන්නට පුළුවන්.





යතුරු පැදියේ යන ගමන් දුරකතන ඇමතුම් ගැන දැනගන්න





ජංගම දුරකතනය සාක්කුවේ දමාගෙන ගියත්, එය කම්පනය වන ආකාරයට සකසා තිබුණත් ඇතැම් විට දුරකතන ඇමතුමක් එන බව දැනෙන්නේ නැහැ. දීර්ඝවෙලාවක ගමනක් නම් ඇමතුම දකින්නේ සෑහෙන වෙලාවකට පස්සේ. ඉන්පස්සේ දීර්ඝ වෙලාවක් දොස් අහන්න අවස්ථාව උදාකරගන්නත් පුළුවන්. කෙසේ නමුත් දුරකතනයට ඇමතුමක් එනවිට එය පෙන්වන්නට යම් උපකරණයක් ඇත්නම් එය බොහෝ ප්‍රයෝජනයි. මේ පවසන්නට සූදානම් වන උපරණයත් එවැන්නක්. ඉකිකි’ (iQiKi ) නමින් හඳුනාවා දී ඇති මෙය ඔබගේ යතුරු පැදියේ සවිකරගත හැකි මෙම උපකරණයේ ඇති එල්ඊඩී බල්බය දල්වා ඔබට ඇමතුමක් පැමිණෙන බව දන්වා සිටිනවා. ඒ වගේම දුරකතනයේ ඇති මෙයට සම්බන්ධ යෙදුම, එහෙමත් නැත්නම් ඇප් එක මගින් මෙම දැල්වෙන බල්බයේ ස්වභාවය වෙනස් කරන්නට පුළුවන්. ඔබට වඩාත් වැදගත් අංක එම ඇප් එකට ඇතුලත් කිරීම මගින්, එම අංකවලින් පැමිණෙන ඇමතුම් වෙනස් වර්ණයකින්, වෙනස් ස්වභාවයකින් පෙන්නුම් කළ හැකියි. දුරකතන ඇමතුම් වගේම කෙටි පණිවිඩ, සමාජ ජාල පණිවිඩ මෙමගින් දන්වා සිටිනවා. බල්බයේ දීප්තිය අධික නිසා දවල් කාලයේ වුවත් පැහැදිලිවම මෙම දැල්වීම් පෙනෙනවා. දැනට ඇමරිකානු ඩොලර් 35කට (රු. 5000) මිලට ගන්නට පුළුවන්.




යතුරු පැදියේ චේන් සීරුමාරු ගැජට් එක





යතුරු පැදියේ චේන් එක ටික දවසක් යනකොට ඇදිලා කේස් එකේ වදින්න පටන් ගන්නවා. එතකොට හැමෝම කරන්න වැඩපළකට ගිහින් ඒක සීරුමාරු කරගන්න එක. නමුත් මේ හැමතැනම මේක කරන්නේ අතේ හුරුවට. කිසිම තැනක නිශ්චිත මිම්මක් නැහැ. නිශ්චිත මිම්මක් සහිතව ක්‍රමානුකූලව චේන් එක් සීරුමාරු කරගත හැකි උපකරණයත් වෙළෙඳපළට එන්නේ මෙන්න මේ අඩුපාඩුව සපුරාලන්නයි. මෙම ගැජට් එක හඳුන්වන්නේ ටෘ ටෙන්ෂන්’ (Tru-Tension) නමින්. මෙම උපකරණයත් සමග පැරණි ක්‍රමයට ආයුබෝවන් කියන්න පුළුවන්. යතුරු පැදියට අවශ්‍ය සහ සුදුසු මට්ටමට චේන් එක ඇදී ඇති මට්ටම මෙයින් සකසන්නට පුළුවන්. එමගින් චේන් එකට සම්බන්ධ සියලු උපකරණවල කල්පැවත්ම වැඩි වෙනවා. මෙය ස්ටර්ලිං පවුම් 24.99ක් (රු. 5,430ක්) වෙනවා.



4 comments:

  1. අර බෙල්ට් එකෙන් බැට්ටිය පුල් චාජ් වෙන්නෙ නෑකියල මං තැං කීපයකම දැක්ක. ඒත්වැඩක් කරගන්න පුලුවං කියල තමා කියන්නෙ.
    වැදගත් පෝස්ට් එකක් වැදගත් ගැජට් ටිකක

    ගණං ටිකක් සැර නැත්තං හෙහ්

    ReplyDelete
    Replies
    1. සමහර විට වෛන්නත් ඇති. මේවා මේ කියන තරම් කාර්යක්ෂම නැති වෙන්නත් පුුළුවන්. හැබැයි මේවා පූර්වාදර්ශයක් කරගෙන තවත් අයට වඩාත් හොද දේවල් ඉදිරියේදී අඩු මිලකට හදන්න පුළුවන් වෙයි.

      Delete
    2. කියන්න අමතක වුනා ටෙම්පුවෙ මොකක් හරි වෙනස් කමක් කලාද
      මොබයිල් වර්ෂන් එක ටිකක් අවුල්
      ඊයෙ යමර කට්ටක් කෑවෙ කොමෙන්ටුව දාන්න

      Delete
    3. එහෙම වෙනස්කමක් කළේ නම් නැහැ. මම කෝකටත් චෙක් කරලා බලන්නම්. තැන්ක්යූ කිව්වට.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න