පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, August 13, 2014

දළදා වහන්සේ, දළදා පෙරහර සහ වැස්ස අතර සබැදියාවක් තිබේද? - Is there any connection between Tooth Relic and the Rain




මේ දිනවල අප රටේ මධ්‍ය, සබරගමුව, බස්නාහිර පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇදහැලෙන අතරේ උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව ආදී ප්‍රදේශ කිහිපයකට දරුණු නියඟයක් බලපා ඇති බව නොරහසකි. අතරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ සම්බන්ධ ඇසළ උත්සව සමයේදී මෙරටට වැසි ඇදහැලෙන බවට දැන් කලක සිට පොදු ජන විඥානයේ මුල්බැසගත් විශ්වාසයක් පවතී. මෙහි සුළමුල කුමක්ද? දැන අපි මඳක් විමසා බලමු.

හේමමාළා කුමරිය සහ දන්ත කුමරු  සිරිලකට දළදා වහන්සේ රැගෙන පැමිණි ආකාරයත්, දළදා වහන්සේ එසේ හොර රහසේ රැගෙන පැමිණියේ මන්ද යන්නත් පිළිබඳව අපි මෙයට පෙර අවස්ථාවක කතා කළෙමු. (මෙතැනින් එම විස්තරය කියවීමට හැකියමේ රාජකීයයන් යුවළ අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී නවාතැන් ගත්තේ ඉසුරුමුණියෙහි බව සඳහන් වේ. වර්තමානයේ මෙහි නම ඉසුරුමුණිය වුව එකල එය හඳුන්වනු ලැබූයේ මේඝගිරි විහාරය නමිනි. මේඝ යනු වැසි වළාකුළුය. වැසි වළාකුළු වැනි ගල් පර්වත සහිත විහාරය යන අරුතින් මෙම නම එයට තැබුවා වන්නට පුළුවන. කෙසේ හෝ මෙම රාජකීය යුවල දළදා වහන්සේ මේඝගිරි විහාරයේ වඩා හිඳුවා, රාත්‍රියේ එහි ළැගුම් ගත්හ. එදින එම ප්‍රදේශයට අකල් වර්ෂාවක් පතිත වූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. මෙම අකල් වර්ෂාව ඇද හැලී ඇත්තේ ද නියං සමයකදීය. මේ සිදුවීමත් සමගම වර්ෂාව සහ දළදා වහන්සේ අතර යම් සබඳතාවයක් පවතින්නේ යැයි අතීත රජදරුවන් සහ ජනතාව අතර විශ්වාසයක් ගොඩනැඟෙන්නට පටන් ගත්තේය.

ඉසුරුමුණි විහාරය


දළදා වහන්සේ සිරිලකට වැඩම කිරීමෙන් පසු, අභයගිරි විහාරයේ තැන්පත් කොට වාර්ෂිකව මහා පෙරහරක් පවත්වමින් පුද පූජා සිදුකිරීම ආරම්භ කෙරුණි. දළදා වහන්සේ වෙනුවෙන් පෙරහර පවත්වනු ලැබූ සියලු අවස්ථාවන්හිදීම වර්ෂාව පතිත වූ බවට ඓතිහාසික සාධක හමුවේ. දළදා පෙරහර සහ වර්ෂාව අතර විද්‍යාත්මක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට එකල සිටි රජදරුවන් හා ජනතාව තුළ අවශ්‍යතාවයක් නොතිබුණු බැවින් එදා සිට අද දක්වාම වර්ෂාව සහ දළදා වහන්සේ අතර ගුප්ත සම්බන්ධතාවයක් තිබේය යන්න විශ්වාස කරන්නට අපගේ මුතුන්මිත්තෝ පටන් ගත්හ. මෙම විශ්වාසය අතිශය තීව්‍ර කරන අවස්ථාවක් ඉතිහාසයෙන් උපුටා දැක්විය හැකිය. මෙම පුවත ප්‍රකට වී ඇත්තේ දළදා වතුරනමිනි.

කන්ද උඩරට රාජධානිය ඇතුළු සමස්ථ ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් යටතට පත්ව තිබූ සමයයි. උඩරට ගිවිසුමට අනුව දළදා වහන්සේට දැක්විය යුතු සියලු පුද පූජාවන් පවත්වමින්, එය ආරක්ෂා කරන බවට  ඉංග්‍රීසින් පොරොන්දු වුව ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නොතිබිණි. එබැවින් චාරිත්‍රානුකූලව වාර්ෂිකව පවත්වන දළදා පෙරහර හෝ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය හෝ සිදු වූයේ  නැත. බහුතරයක් දෙනාගේ ගෞරවාදරයට පත්වන යම් දෙයක්, එසේ ගෞරව ලැබීම වැළැක්වීම තුළ සොබා දහම කම්පා වන බවට විවිධ සාධක ඉතිහාසයෙන් හමු වේ. බුදුන් වහන්සේ, තමන් වහන්සේට අපහාස කරන කිසිවකුට වෛර නොකරන මුත්, මෙවැනි අවස්ථාවල ප්‍රතිචාර දක්වන්නේ බුදු දහම හෝ බුදුන් වහන්සේ නොව සොබා දහම යැයි පැවසේ. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සිත් කම්පා කරමින් ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම වහන්සේ විනාශ කොට වැඩි කලක් යන්නට මත්තෙන් ඇෆ්ගනිස්ථානයේ අන්තගාමී පාලකයන්ට බලයෙන් පහවන්නට සිදුවිය. ඔවුන් බලයෙන් පහවූයේ බාමියන් බුදු පිළිමය විනාශකිරීමේ අනිටු පළවිපාක නිසා නොවේ. නමුත් මේ සිදුවීම දෙක ආසන්න කාලවකවානුවක සිදුවූ බැවින් බෞද්ධයන් සිතන්නේ සහ සිතන්නට කැමතිවන්නේ ආකාරයටය. මේ නිසා මේවා අතර විද්‍යාත්මක සම්බන්ධතාවයන් නොතිබෙන බව සත්‍යයක් වන මුත්, එවැනි බොහෝ සිදුවීම් ඉතිහාසය පුරා සිදුව තිබේ. මේ ආකාරයෙන්ම  ඉංග්‍රීසින්ගේ නොපනත් ක්‍රියාව හේතුවෙන්  හෝ කාලගුණික විපර්යාසයක් හේතුවෙන් හෝ 1818 - 1827 සමය තුළ අප රට දැඩි නියඟයකට ගොදුරු වී තිබිණි. ගංගා ඇළ දොළ සිඳී, රට පුරා විවිධ වසංගත රෝග පැතිර යන්නට විය. ජනතාවගේ බව බෝග විනාශවන්නට විය.

උඩරට සිටි ගිහි පැවිදි සියලු දෙනාගේම අදහස වූයේ දළදා පෙරහරක් හෝ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුවහොත් මෙයින් යම්කිසි සහනයක් ලබාගන්නට අවකාශයක් ලැබෙනු ඇතිය යන්නය. මන්ද දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සහ වර්ෂාව අතර කුමක් හෝ සම්බන්ධතාවයක් ඇති බව  ඔවුන් අත්දැකීමෙන්ද දැන සිටි බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කන්ද උඩරට ප්‍රධානීහු එවක  ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් හමුවේ මේ කාරණය පැහැදිලි කළහ. නියඟය වෙනුවෙන් පාලකයන් හැටියට ඔවුනට කළ හැකි අන්කිසිවක් නොවූයෙන් ඔහු එයට කැමැත්ත පළ කළේය. මේ අනුව 1828 මැයි 29 වැනිදාට යෙදී තිබූ වෙසක් පුන් පොහෝ දිනයේ දළදා ප්‍රදර්ශනයක් පවත්වා, දළදා පෙරහරක් සංවිධානය කිරීමට ආණ්ඩුකාරවරයා අවසරය ලබාදුන්නේය. මෙම පුවත සකල බෞද්ධයාට අතිශය සතුට දනවන්නක් විය. මෙය  ඉංග්‍රීසි පාලනය යටතේ පවත්වන ලද පළමු දළදා ප්‍රදර්ශනය හා පෙරහර ලෙස ඉතිහාසයට එක්ව තිබේ. මෙම පෙරහර සියලු අංග සහිතව ඓතිහාසික සම්ප්‍රදායයන් සියල්ල ආරක්ෂා කරගනිමින් පවත්වන්නට උඩරට බෞද්ධයන් පියවර ගෙන තිබිණි.

දන්ත ධාතූන් වහන්සේ වැඩවමින් පෙරහර ආරම්භ කෙරිණි. එහිදී එක්වරම වර්ෂාව ඇද හැළෙන්නට පටන් ගත්තේය. පෙරහර අවසන් වුව වර්ෂාව ඇදවැටීම නවතින බවක් පෙනුනේ නැත. වෙනුවට සිදුවූයේ එය මහා ධාරානිපාත වර්ෂාවක් බවට පත්වීමය. මෙයින් මුළු මහනුවර නගරයම යටවිය. මහනුවර නගර මධ්‍යයේ පිහිටි වැව හෙවත්, ‛කිරි මුහුදවළාකුළු බැමි බිඳ පිටාර ගළන්නට පටන් ගත්තේය. මෙවන් ධාරානිපාත වර්ෂාවක් මින් පෙර මහනුවර ප්‍රදේශයට ඇදවැටී තිබුණේ නැත. දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වූ පෙරහර හේතුවෙන් මෙවැනි මහා වර්ෂාවක් ඇදවැටී එතෙක් පැවති දැඩි නියඟය නිමාවට පත්වූ බව සියලු දෙනා විශ්වාස කළ බැවින් මෙය දළදා වතුරනමින් හඳුන්වන්නට පටන් ගැනුණි.

මෙසේ කිසියම් දැහැමි සැදැහැවත් අරමුණක් වෙනුවෙන් ජනතාව එක්වරම සතුටට පත්වන විට එමගින් සොබා දහමට කිසියම් බලපෑමක් ඇතිවන බවට විශ්වාසයක් ඇත. එදා මහනුවර නගරය සිසාරා දළදා වතුර ගළන්නට වූයේ එවක බොදු ජනතාවගේ සිත් තුළ පැවති සතුට පිටාර ගැලීම සංකේතවත් කරමිනි. මෙය ඉංග්‍රීසින්ගේ වාර්තාවන්හි සඳහන්ව තිබීමෙන් බෞද්ධයන් විසින් දළදා වහන්සේගේ අනුහස් දැක්වීම පිණිස ගොතන ලද්දක් යැයි  පැවසිය නොහැකිය

මෙම සිදුවීමට වසර 503කට පෙර, එනම් ක්‍රි.ව. 1325 දී කුරුණෑගල යුගයේ රජකළ පරාක්‍රමබාහු නිරිඳුගේ නියමයෙන්, දෙව්රද දම් පසඟිනා නමැත්තු විසින් රචනා කරන ලද දළදා සිරිතනම් ඉපැරණි පොතෙහි සඳහන් වන එක් දෙයක් මෙහිදී නැවත වරක් තහවුරු විය. එහි තැනෙක මෙසේ සඳහන් වේ.

වැසි නොවස්නා කල මෙම ලෙසින් දළදා පූජා කරනු වසා’ 

යන්නය.

දළදා වහන්සේ වැඩ සිටිනා කුටියෙන් පිටතට ගෙන ප්‍රදර්ශන පවත්වන සෑම අවස්ථාවකදීමත්, දළදා පෙරහර අවසානයේ දිය කැපීමේදීත් සුළු වශයෙන් හෝ වර්ෂාව ඇද හැළේ. මෙසේ ඉතිහාසය පුරාම දක්නට ලැබුණු සුවිශේෂී දෙයක් විය

දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පෙරහරේ ආකෘතිය යම් යම් ආකාරවලින් වර්ෂාව සංකේතනය කරන බව පෙනෙන්නට තිබේ. එහි මුළින්ම ගමන් කරන්නේ කස කරුවන්ය. එය සමාන කෙරෙන්නේ වර්ෂාවට පෙර අපට ඇසෙන මේඝ ගර්ජනාවලටය. ඉන්පසු පෙරහරේ ගමන් කරන්නේ ගිනි කෙළි කරුවන්ය. ඉන් සංකේතනය වන්නේ වර්ෂාවට කලින් දක්නට ලැබෙන විජ්ජුලතා හෙවත් විදුලි කෙටීමයපෙරහරේ ගමන් කරන අලි ඇතුන් සමාන කොට ඇත්තේ වැසි වළාකුළුවලටය. දිය කැපීමත් සමග වර්ෂාව අපේක්ෂා කළ හැකිය. දළදා වහන්සේත්, දළදා පෙරහරත්, වර්ෂාවත් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇත්තේ මේ ආකාරයටය.

1947 වසරේ දළදා වතුර

මෙම ඓතිහාසික දළදා වතුර ඇදහැලීමෙන් වසර 119කට පසු, එනම් 1947 වසරේදී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමෙන් පසු, එයට නොදෙවෙනි තවත් වර්ෂාවක් ඇදහැලුණි. එවර කිරි මුහුද උතුරා පිටාර ගියේය. මුලින්ම සිදුවූ දළදා වතුර සිදුවීම සම්බන්ධව ඡායාරූප සාධක නැතත්, 1947 වසරේ සිදුවීම සම්බන්ධව ඡායාරූප සාධක තිබේ. මෙහි ඇත්තේ එම ඡායාරූපයයි.

විද්‍යාත්මක වශයෙන් අර්ථගැන්විය නොහැකි වුව මේවා අපගේ අතීතයේ සිට පැවැත එන සිරිත් විරිත්ය. මේ සියල්ල පසුපස ඇත්තේ විද්‍යාත්මක පැහැදිලි කිරීමවලට වඩා ජන විශ්වාසයන්ය. අතීතයේ පටන් ජාතියක් ලෙස එකමුතුවීමටත්, එම එකමුතුව රටේ යහපැවැත්ම උදෙසා දායක කරගන්නටත් හැකිවී ඇත්තේ එම විශ්වාසයන් තුළින් සියලු දෙනා එක් අරමුණක පිහිටා කටයුතු කළ බැවිනි. එබැවින් මේවාට විද්‍යාත්මක අර්ථකථනයන් දෙමින්  ජන සම්ප්‍රදායයන් බිඳදැමීමට කරන උත්සාහයන්වලින් සමස්ථයක් ලෙස කිසිදු සෙතක් වන්නේ නැත.

සම්බන්ධිත කියවීම්
අනුරාධපුර ඉසුරුමුනියේ මිනිසා සහ අශ්ව හිස





4 comments:

  1. Replies
    1. අදහසට බොහොමත් ස්තූතියි

      Delete
  2. Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න