පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, August 26, 2014

කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ සෞඛ්‍යය පිරිහෙමින් පවතී - Unhealthy Youngs and Teens



දැනට වසර 50 කට පෙර මිනිසුන් වශයෙන් අප අත්විඳි සෞඛ්‍ය සම්පන්න බව වර්තමානය වන විට සැළකිය යුතු තරමින් පහල බැස ඇති බැව් නිකමට වටපිට දෙස නෙත යොමු කිරීමෙන් මොනවට පැහැදිලි වේ. තාක්ෂණය කෙතරම් දියුණු වී තිබුණද, මිනිසාගේ සෞඛ්‍යය නම් දිනෙන් දින පිරිහෙන බැව් පෙනේ. අපගේ දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් අප අද පසුකරමින් පවතින වයසේදී එකල අත්විඳි තරම් සෞඛ්‍ය තත්වයක් අද අපි අත්විඳින්නේ නැති බැව් පර්යේෂණවලින් ද හෙළිවී තිබේ. අද වැඩිහිටි වියෙහි පසුවන බොහෝ දෙනෙකු මෙයට පෙර පරම්පරාවට අයත් වූවන්ට වඩා අධික රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන්, අධික තරබාරුබවින් පෙළෙන බැව් සොයාගෙන තිබේ. එනම් වර්තමාන පරම්පරාවේ සෞඛ්‍යය ඊට පෙර පරම්පරාවට වඩා බෙහෙවින් පහත අඩියක පවතී. මෙම පර්යේෂණය සිදුකොට ඇත්තේ හෘද රෝග වැළැක්වීම පිළිබඳ යුරෝපීය ජර්නලය මගිනි. 


අවුරුදු 20, 30, 40 හා 50 වියෙහි පසුවූවන් අළලා රුධිර පීඩනය හා බර සම්බන්ධව වසර 25කට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගිය පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ තරුණ පරම්පරාවේ පරිවෘත්තීය සෞඛ්‍යය ඉතා පහත් මට්ටමකට වැටී ඇති බවය. 


මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ අවුරුදු 30 ගණන්වල පසුවන පිරිමින්, එයට පෙර පරම්පරාවේ මෙම වයස් කාණ්ඩවලම පසුවූ පිරිමින්ට වඩා අධික ලෙස තරබාරුවීමේ අවධානම 20% කින් පමණ ඉහළ බවය. අවුරුදු 20 ගණන්වල පසුවන කාන්තාවන් දැනට අවුරුදු 10කට පෙර මෙම වයස්වලම පසුවූ කාන්තාවන්ට වඩා තරබාරුවීමේ අවධානම දෙගුණයක් බව ද මෙයින් හෙළිවී තිබේ. 


ගැහැණු හා පිරිමි භේදයකින් තොරවම තරුණ පරම්පරාවන් අතර රුධිර පීඩනය ඉහළ මට්ටමකට නැග තිබේ. එමෙන්ම තරුණ වියෙහි පසුවන්නන් දියවැඩියාවට ගොදුරුවීමේ අවධානම එයට පෙර පරම්පරාවට වඩා ඉහළය. 


මහජන සෞඛ්‍යය සහ පරිසරය පිළිබඳ ඕලන්ද ජාතික ආයතනයේ ප්‍රධානී සහ ගත් කතුවරයකු ද වන ගර්බන් හල්සේග් පවසන්නේ තරුණ පරම්පරාව පරිවෘත්තීය සෞඛ්‍යය පිරිහීම අතින් අතින් වසර 15ක් පමණ ඉදිරියෙන් සිටිනා බවය.  අලුත්ම පරම්පරාවන්ට අයත් පිරිසේ සෞඛ්‍ය තත්වය මෙයටත් වඩා පිරිහුණු මට්ටමක පවතින බැව් ඔහු පවසයි. 


උදාහරණයක් ලෙස තරබාරුබව පිළිබඳ කතා කරන්නේ නම් වර්තමාන පරම්පරාවේ අවුරුදු 40 ගණන්වල පසුවන්නන්ගේ මෙම අවදානම මෙයට පෙර පරම්පරාවට අයත්වූවන්ගේ අවුරුදු 55 ගණන්වල පසුවන්නන්ගේ අවදානමට සමාන බව ඔහු වැඩිදුරටත් පවසයි. 


මෙයින් පැහැදිලි වන්නේ තරුණ පරම්පරාව පැරණි පරම්පරාවට වඩා සෞඛ්‍යය පිරිහීම අතින් වසර 15ක් ඉදිරියෙන් සිටිනා බවය. 


මෙම තොරතුරුවලින් පැවසෙන තවත් දෙයක් වන්නේ තරුණ පරම්පරාව සිය සිරුරේ බර තත්වය සෞඛ්‍ය සම්පන්න මට්ටමකින් පවත්වාගෙන යායුතු බවත්, ශාරීරික ක්‍රියාකාරිත්වය දැනට වඩා වැඩිදියුණු කරගතයුතු බවත්, සමබල ආහාර පාන ගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවත්ය.  මෙම පර්යේෂණයෙන් හෙළිවී ඇති තවත් විශේෂ කරුණක් වන්නේ ඉහළ ආදායම් ලබන රටවල තරුණයින් අතර දුම්පානය අඩුවී ඇති නිසා ඔවුන් පෙනහළු පිළිකා වැනි රෝගවලට ලක්වීමේ අවදානම තුරන්ව ගියත්, ඒ වෙනුවට තරබාරුබව හා දියවැඩියාව කෙමෙන් වැඩිවෙමින් පවතින බවය. තරුණ පරම්පරාව සිය වර්තමාන අවදානම් තත්වය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් ඔවුන්ගේ ආයු අපේක්ෂණය සැළකිය යුතු මට්ටමකින් ඉහළ තත්වයකට පත්කළ හැකි බවත් මෙම පර්යේෂණය සිදුකළ අය පවසති. නමුත් තරුණ පරම්පරාව මෙය තේරුම් ගන්නේද යන්න පිළිබඳ සහතිකයක් විය නොහැකි බව පර්යේෂක කණ්ඩායම වැඩිදුරටත් පවසයි.

2 comments:

  1. අඩේ මං පට්ට කෙට්ටුයි නෙව...
    ඔය කියන විදියට මට තියෙන්නෙ අයහපත් ආහාර පුරුදු...
    මොකද මටත් මහත් වෙන්න ඕන වුනේ...
    කොහෙද කොච්චර ට්‍රයි කලත් මහත් වෙන්නෙම නෑනෙ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. දැන් කෙට්ටුවට ඉන්න අය මහත් වෙන්නේ නෑ කියලා කාලා කාලා ටික කාලයක් යද්දි අර කෙට්ටුවට පොලියත් එක්ක මහත් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නම් පරිස්සම් වුණොත් හොදයි කියලයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න