පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, August 1, 2014

හලාල් යනු කුමක්ද? - What is Halal?


මෙය දැනට වසරකට පමණ පෙර ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියකි. හලාල් ගැටලුව තවමත් පවතින බැවින් මෙම ලිපිය මෙහි පළකිරීම වැදගත් යැයි සිතිණි.

හලාල් ආහාර මෙන්ම හලාල් සහතිකය ද මේ තරමටම අප රටේ කතාබහට ලක්වූ කාලයක් නැති තරම්ය. අනත්රජාලය හරහා හුවමාරුවන දහස් ගණනක් විදුලි පණිවිඩ, ෆේස්බුක් හරහා කෙරෙන සංවාදවල සිට මහමග බෙදාහරිනු ලබන අත්පත්‍රිකාව දක්වා සියල්ලම හලාල් ආහාර පිළිබඳවත් හලාල් සහතිකය පිළිබඳවත් කතා කරනු දක්නට ලැබේ. එබැවින් මෙතෙක් කාලයක් මේ පිළිබඳ දැනුමක් නොමැතිව සිටි බොහෝ දෙනා දැන් මේ පිළිබඳ යම් ආකාරයක අවබෝධයක් ලබාගනිමින් සිටිති. නමුත් මේ ලබා ගන්නා අවබෝධය පිළිබඳ සෑහීමකට පත්විය හැකිද යන ගැටළුව අප ඉදිරියේ ඉතිරිවන බැවින් මේ පිළිබඳව කතාකිරීමෙහි වරදක් නැතැයි හැඟේ.

හලාල් සහතිකය පිළිබඳව කතා කරන්නට පෙර හලාල් යනු කුමක්දැයි කෙටියෙන් විමසා බැලීම සුදුසුය. හලාල්යනු මුස්ලිම් ජාතිකයන්ට පමණක් වෙන්වූ පරිභෝජන රටාවක් වේ. මෙය ප්‍රධාන වශයෙන්ම ආහාර පාන සඳහා අදාළ යැයි අපට පෙනෙන්ට තිබුණත් ඉස්ලාමීය නීතියට අනුව ඔවුන් පරිභෝජනය කරන්නා වූ සියලුම ද්‍රව්‍ය මෙන්ම කරනු ලබන සියලු ක්‍රියාවන් සඳහා ද මෙය අදාළ වේ. අරාබි වදනක් වූ හලාල් යන්නෙහි අරුත වන්නේ  අවසර ලත්හෝ අනුමතවැනි දෙයකි. ඉස්ලාමීය නීතියට අනුව යම් කිසි දෙයක්  භාවිත කිරීමට හෝ යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමට ඇති අවසරය හෝ අනුමත බව මෙයින් කියැවේ. බොහෝ විට මෙය යොදනු ලබන්නේ ඉස්ලාමීය නීතියට අනුව මුස්ලිම් ජාතිකයන්ට ආහාර සඳහා ගැනීමට අවසර දී ඇති ද්‍රව්‍ය පිලිබඳ දැනුවත් කිරීම සඳහාය. මෙහි විරුද්ධ අර්ථ වන්නේ හරාම්ය. එනම් අවසර දී නැති හෝ අනුමත නොකරන ලද යන අර්ථයයි.

අප කළින් සඳහන් කළා මෙන් බැලූ බැල්මට ආහාර සඳහා යොදා ගන්නා බව පමණක් පෙනේනට තිබුණත් මෙය මුස්ලිම් ජාතිකයන්ගේ සියලු කටයුතු සඳහා යොදා ගන්නා නීති පද්ධතියක් බව කිව යුතුය. ඔවුන්ගේ දෛනික ජීවිතයේ සියලු කටයුතු හලාල් හෝ හරාම් මත තීරණය වේ. එමෙන්ම මස් හෝ සත්ව ආහාර පමණක් නොව සකසන ලද ආහාර, ඖෂධ වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය ආදිය ද මෙම නීතියට යටත් වේ. මීට හේතුව වන්නේ මේ සියලු දෙයකම පාහේ සත්ව නිෂ්පාදන අඩංගු වීමයි. ඉස්ලාම් නීතියට අනුව මෙසේ යොදා ගන්නා සත්ව කොටස් හරාම් නම් ඒවා මුස්ලිම් ජාතිකයන්ට නුසුදුසු ආහාර වේ. එමෙන්ම මේ සියල්ලට පරිබාහිර භාණ්ඩ වෙනුවෙන්ද හලාල් සහතිකට නිකුක් කරනු දක්නට ලැබේ.

මුස්ලිම් ජාතිකයකු පෞද්ගලිකව පිළියෙල කරගන්නා යම්කිසි පාරිභෝජන ද්‍රව්‍යයක් මෙසේ හලාල් ක්‍රිියාවලියට අනුකූලව සකස්කරගත හැකි මුත් විවෘත වෙළෙඳපළෙන් ලබා ගන්නා ද්‍රව්‍ය එවැනි ක්‍රියාවලියකට බඳුන් කර නැත්නම් ඔවුන් සිය පරිභෝජන ද්‍රව්‍ය සොයාගැනීමේ ගැටළුවක් මතුවේ යැයි ඉස්ලාමීය ආගමික නායකයන් සිතන්නට පෙළඹුණු නිසා ලොව පුරා හලාල් සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ විය. මෙය බොහෝ කාලයක පටන් දක්නට ලැබුණ ද 21 වැනි සියවස එළැඹීමත් සමග හලාල් සහතිකය නිකුක් කිරීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බැව් පෙනෙන්නට තිබේ.

ලෝකයේ විවිධ රටවල මෙම සහතිකය නිකුත් කිරීම සඳහා විවිධ ඉස්ලාමීය සංවිධාන පිහිටුවා ඇති අතර මෑතක් වන තුරුම අප රටෙහි මෙය නිකුත් කරනු ලැබුයේ සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමානම් සංවිධානය විසිනි. මෑතක සිට මෙම සහතිකය නිකුත් කරනු ලබන්නේ 2007 අංක 7 දරණ සමාගම් පණත යටතේ ලියාපදිංචි කරන ලද ‘හලාල් පැවරුම් සභාව‘ (HALAL ACCREDITATION COUNCIL)  මගිනි.  ඔවුන් පවසන පරිදි හලාල් පරිභෝජන රටාව සමස්ථ සමාජයේම හිතසුව පිණිසම වන අතර මෙවැනි සහතිකයක් පිරිනැමීම සමාජයට කරනු ලබන සේවයක් ද වේ. ඔවුන් පවසන්නේ මේවා මිනිසුන්ගේ සෞඛයට හිතකර බවට සඳහා විද්‍යාත්මක තහවුරුකිරීම් ද පවතින බවය.

කලකට පෙර හලාල් සහතිකය නිකුත් කළ උලමා සංවිධානය පිළිබද දැන සිටීම ද වැදගත්ය. ‛සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමාසංවිධානය යනු කුමක්ද? මෙය 1924 දී ආරම්භ වූ ස්වාධීන, දේශපාලනික නොවන, රාජ්‍ය නොවන ජාතික ආගමික සංවිධානයක් බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කොට තිබේ. මුස්ලිම් ප්‍රජාවගේ ආගමික කටයුතු පිළිබඳ අධිකාරීබලය දරන්නේද ඔවුන්ය. ඉස්ලාමීය ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් මෙය 2000 අංක 51 දරණ පාර්ලිමේන්තු පණතකින් ද පිළිගනු ලැබූවකි. 

ෂාරියා නීතියට අදාළ වැඩකටයුතු කිරීක්ෂණය කිරීම, ඉස්ලාමීය උත්සව පිළිබඳ දැනුම්දීම හා චන්ද්‍ර මාස තීරණය කිරීම, ඉස්ලාමීය අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීම, ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීම, ඉස්ලාමීය බැංකු කටයුතු වර්ධණය කිරීම හා ප්‍රධාන වශයෙන්ම හලාල් සහතිකය නිකුත්කිරීම මෙහි වැඩකටයුතු වේ. මෙය ශාඛා සමිති ගණනාවකින් රටපුරා ක්‍රියාත්මක වේ.

හලාල් සහතිකය සහිත පරිභෝජන ද්‍රව්‍යවලට ලොව පුරා ඉල්ලුම වැඩි වෙමින් පවතින බවත් එබැවින් හලාල් සහතිකය ලබාගන්නා ශ්‍රී ලාංකික ව්‍යපාරිකයන්ට දේශීය මෙන් විදේශීය වෙළෙඳ පළේද දැඩි තරගකාරිත්වයකින් යුක්තව ව්‍යාපාරික කටයුතුවල යෙදිය හැකි බවත් හලාල් පැවරුම් සභාව පවසයි.

හලාල් සහතිකය නිකුත්කරනා ක්‍රියාවලියක් පවතින අතර ව්‍යාපාරිකයන් මෙයට අදාළ උපදෙස් පිළිපැදිය යුතුය. හලාල් සහතිකය ලබාගන්නට නම් හලාල් පැවරුම් සභාව විසින් නිකුත්කරනු ලබන උපදෙස්වලට යටත්ව සිය පරිභෝජන ද්‍රව්‍ය නිෂ්පාදනය කළයුතු අතර ඔවුන් එය නිසි පිරිදි සිදුවේ ද යන්න සියලුවිටම අධීක්ෂණය කරනු ලබයි. යම්කිසි ව්‍යාපාරික ආයතනයක් තම නිෂ්පාදන ක්‍රිියාවලිය හලාල් පැවරුම් සභාව දැන්විය යුතු අතර එය තමන්ගේ ප්‍රමිතියට ගැළපේනම් එය මගින් සහතිකය නිකුත්කරනු ලබයි. අදාළ ද්‍රව්‍ය හලාල් පටිපාටියට අනුව සිදුවේදැයි නිරීක්ෂණය කරනු සඳහා හලාල් පැවරුම් සභාව විසින් අදාළ ආයතනය වෙනුවෙන් නිලධාරියකු ද පත්කරනු ලබයි. මේ සඳහා බදු මුදලක් ද ව්‍යාපාරිකයන් විසින් ගෙවිය යුතුය. 

හලාල් සහතිකය සහිත ආහාරවලට එරෙහිව රටපුරා පවතින විරෝධයට ප්‍රධන හේතුවක්වන්නේ 9%ක් පමණක් වූ මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික අවශ්‍යතාවයක් වෙනුවෙන් 70% තරම් වූ මුස්ලිම් නොවන ජනතාවක් යම්කිසි භාණ්ඩයක් වෙනුවෙන් බද්දක් ගෙවිය යුත්තේ මන්ද යන්නය.  හලාල් සහතිකය වෙනුවෙන් විරෝධයක් මතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය ආදී රටවලට මෙම ප්‍රශ්නයම අසමින් මීට විරෝධය පානු දක්නට ලැබේ. දකුණු අප්‍රිකාවේ මුස්ලිම් ජාතිකයන් සිටින්නේ 2%ක් පමණක් වුවද ඉතිරි 98% ක්ම හලාල් සහතිකය වෙනුවෙන් යොදනු ලබන බද්දට උරදෙන්නට සිදුව තිබේ. 

කෙසේ මුත් මුස්ලිම් ජාතිකයන්ට හලාල් සහතිකය සහිත පාරිභෝගික ද්‍රව්‍යවල අවශ්‍යතාවය මෙතරම් තදින් දැනෙන බව පෙනෙන්ට තිබුණ ද කුරානයේ ඇතැම් පාඨවලට අනුව මෙය ආගමික වශයෙන් ද දැඩි ලෙස ඉල්ලා ඇති අවශ්‍යතාවයක් ද නොවේ. එනම් හලාල් සොයාගත නොහැකි ඕනෑම විටෙක හරාම් පරිභෝජනයට ගැනීමේ වරදක් ද නැත. එය දෙවියන්ගේ කැමැත්තට පිටින් යාමක් ද නොවේ.

2 comments:

  1. //මුස්ලිම් නොවන ජනතාවක් යම්කිසි භාණ්ඩයක් වෙනුවෙන් බද්දක් ගෙවිය යුත්තේ මන්ද යන්නය.//

    මෙහි සත්‍යතාවයක් නොමැත. බඩු මිල වැඩිවන බවට බෝබසේ පැවසුවේ අසත්‍යයකි.

    // හලාල් සහතිකය වෙනුවෙන් විරෝධයක් මතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය ආදී රටවලට මෙම ප්‍රශ්නයම අසමින් මීට විරෝධය පානු දක්නට ලැබේ. //

    එම රට වලද ධවල අධිපතිවාදී අන්තවාදීන් බොරු කියති. නමුත් ලංකාවේ මෙන් නොව, ඒ රටවල අන්තවාදීන් බහුතරයකගේ හාස්‍යට ලක්ව සිටිති. ඒ රටවල රජයන් එම අන්තවාදීන්ට අනුබල නොදෙති. නමුත් බෝබසේ කරන්නේ සුදු අන්තවාදෙන්ගේ වෙබ් සයිට් ගෙඩි පිටින් කොපි කර මෙහෙ පල කිරීමයි.

    ReplyDelete
  2. අනුන් කාපු ඉදුල් අපි කන්නේ මොකටද? ඒ ඉදුල් ඉස්ලාම් අයම කාපුදෙන්.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න