පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, January 15, 2015

ලෝකයේ වැඩියෙන්ම වහින තැන හෙවත් චෙරාපුන්ජි - Cherrapunji, the wettest place on earth



පායන කාලෙට වැස්ස තරම්  වෙන කිසිම දෙයක් හොඳ  නැහැ. වැස්ස කාලෙක පායන එක තරම් කිසිම දෙයක් හොඳ නැහැ. පහුගිය කාලේ අපට පුදුම වැස්සක් වැස්සේ. දැන් පායනවා. වහින කොට වැස්සට පුදුම විදිහයට තමයි බනින්නේ. ඒ වුණත් ලෝකයේ හැමෝම  වැස්සට දොස් කියන්නේ නෑ. වැස්සට හරිම ආදරයක් දක්වන අයත් ඉන්නවා. ඔබට ඉන්දියාවට යන්න අවස්ථාවක් ලැබුණොත් මේ අයව හම්බවෙලා කතා බහ කරලා එන්න පුලුවන්. හැමෝටම එහෙම යන්න අමාරු නිසා අපි ඒ අය ගැන මෙන්න මෙහෙම කතා කරන්න හිතුවා. 




ඉන්දියාවේ නැගෙනහිර පැත්තට වෙන්න මෙඝාලයාකියලා ප්‍රාන්තයක් තියෙනවා. මේ ප්‍රාන්තයේ නැගෙනහිර ඛාසි හිල්ස් කියන දිස්ත්‍රික්කයේ චෙරාපුන්ජි කියලා පුංචි නගරයක් තියෙනවා. සොහොරා කියන ඓතිහාසික නමින් හඳුන්වන්නෙත් මේ නගරයම තමයි. මේ නගරය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලෝකයේ තියෙන තෙත් බවින් වැඩිම ස්ථානය ලෙසටයි. මේ මේ නගරයට ඇතුළු වෙන තැනත්, නගරයේ තවත් විශේෂ ස්ථාන කිහිපයකත් මේ බව සඳහන් කරලා තියෙනවා. ඇතැම් ස්ථානවල තියෙන්නේ ලෝකයේ වැඩියෙන්ම වැසි වසින ස්ථානය ලෙසටයි. 


ලෝකයේ එක් එක් ස්ථාන සම්බන්ධව කාලයක් තිස්සේ රැස්කරන ලද කාලගුණ දත්තවලට අනුව එක් කැලැන්ඩර් මාසයක් තුළ වැඩිම වර්ෂාපතනයක් සිදුව ඇති අවස්ථා බොහෝ ගණනක් වාර්තා වන්නේ මෙම ප්‍රදේශයෙන්. ලෝකයේ තෙත් බවින් වැඩිම ස්ථානය මෙය බව පැවසෙන්නේ ඒ නිසයි. සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලි මීටර් 11,000 ඉක්මවූ වර්ෂාපතනයක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වනවා. සාමාන්‍යයෙන් චෙරාපුන්ජිවලට අවුරුද්දේ හැම දවසකම කුමන මොහොතක හෝ වැස්ස ඇද හැළෙනවා. ඒ නිසා කොහේ ගියත් කුඩයක් නිතරම අතේ තියෙන්න ඕන. 
 

බෙංගාල බොක්කට ඉතා ආසන්නයෙන් පිහිටීම සහ වැසි වළාකුළුවලට කිසිදු බාධාවකින් තොරව මෙම ප්‍රදේශයට ළඟාවන්නට ඇති හැකියාව නිසා චෙරාපුන්ජිවලට අධික වර්ෂාපතනයක් ලැබෙන බව පැවසෙනවා. මෙම වැහි වළාකුළු බෙංගාල බොක්කේ සිට මෙම ප්‍රදේශය කරා පැමිණ ඛාසි කඳු හා ගැටෙනවා. ඒ නිසා ඒ වැසි සියල්ල ඇද හැළෙන්නේ මෙම ප්‍රදේශයටයි. මෙම ප්‍රදේශයේ ඇති නොගැඹුරු නිම්න ඔස්සේ අධික වේගයෙන් හමන සුළඟ නිසා මෙසේ පැමිණෙන වැහි වළාකුළු මුළු ප්‍රදේශය පුරාම ගමන් කරනවා. අවසන් ප්‍රතිඵලය තමයි මුළු ප්‍රදේශයම නිතරම වර්ෂාවෙන් යුක්ත වීම. 



චෙරාපුන්ජි කියන්නේ ලෝකයේ සංචාරක ආකර්ෂණය ඇති එක් ස්ථානයක්. ඒ මෙය ලොව වැඩිම වර්ෂාපතනය සහිත ස්ථානය නිසා විතරක් නෙවෙයි. මෙහි නරඹන්නට තවත් බොහෝ ස්ථාන ඇති නිසයි. අධික වර්ෂාපතනය ඇති නිසා විවිධ දිය ඇලි බොහෝ ගණනක් මෙහි දකින්නට ලබෙනවා. මේවා අතුරින් නෝකලිකායි ඇල්ල, සෙවන් සිස්ටර්ස් ඇල්ල, මවුස්මායි ඇල්ල, ඩේන්ත්ලේන් ඇල්ල ආදිය විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ වාගේම ක්‍රෙම් මවුම්ලු ලෙන, නොක්රෙක් ජාතික වනෝද්‍යානය වැනි බොහෝ වෙනත් ස්ථාන ද පවතිනවා. සංචාරකයන් අතර සෑහෙන ජනප්‍රිය ස්ථානයක් වුණත්, මෙහි විශාල වශයෙන් පහසුකම් අපේකෂා කළ නොහැකියි. කෙසේ නමුත් නවාතැන් පහසුකම් සොයාගැනීම එතරම් අපහසුවන්නේ නැහැ. චෙරාපුන්ජි හොලිඩේ රිසෝට් කියන්නේ මෙය කරා යන බොහෝ සංචාරකයක් අතර ජනප්‍රිය ස්ථානයක්. ඊට අමතරව කෝනිෆරස් රිසෝට්, පාලා රිසෝට්, සාරා රෙසිඩන්සි ඇතුළු තවත් ස්ථාන කිහිපයක්ම තිබෙනවා. 


චෙරාපුන්ජි කියන්නේ ඉන්දියාවේ නාගරික ප්‍රදේශවලින් බොහෝ දුරින් පිහිටි ස්ථානයක්. ඔබ යම්කිසි අවස්ථාවක මෙහි සංචාරය කරන්නට බලාපොරොත්තුවනවා නම ඒ විස්තර දැන සිටිමත් වැදගත්. චෙරාපුන්ජි කරා ඔබට ළඟාවන්නට අවශ්‍ය නම් ඒ සඳහා වඩාත්ම උචිත මාර්ගය ඇත්තේ චෙන්නායි හරහායි. එයට හේතුව අප රටේ සිය වඩාත් ඉක්මණින් ළඟවිය හැකි ඉන්දීය ගුවන් තොටුපල වන්නෙ චෙන්නායි නිසයි. චෙන්නායි සිට චෙරාපුන්ජි දක්වා දුර කිලෝමීටර් 2,800ක් පමණ වනවා. ඒ නිසා වාහනයකින් ගමන්කිරීම සඳහා දින 2කට ආසන්න කාලයක් ගතවෙනවා. නමුත් ගුවන් යානයකින් ගමන් කරනවා නම් පැය 12කින් පමණ යා හැකියි. දුම්රිය සේවයක් මේ පළාතට නොමැතිවීම මෙය කරා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු වී තිබෙනවා. 


ඔබට මෙය කරා යාමට හැකියාව නැතත් මේ පිළිබදව දැනසිටීම ඉතා වැදගත්. එයට හේතුව චෙරාපුන්ජි ලෝකයේ වැඩියෙන්ම වර්ෂාපතනය පතිත වන ප්‍රදේශය මෙය නිසයි. ඒ නිසා ඔබ යම් විදිහකින් චෙරපුන්ජි යනවා නම් කුඩයක් අරන් යන්න නම් අමතක කරන්න එපා. 






12 comments:

  1. ලියලා තියෙන විදියට චෙරාපුන්ජි පැත්තේ රවුමක් යන්න ආස හිතුණා. ඒත් දුර නොවැ ප්‍රශ්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. අපි හැමෝම ඇවිදින්න ආස කරන තැන් තියෙනවා. දුර, මුදල්, කාලය වගේ දේවල් ඒවාට හරස් වෙනවා.

      Delete
  2. ලංකාවේ නාගරික අපිට නම් ගිය මාස කිහිපය තව අවුරුදු කිහිපයකට අමතක වෙන්නෙ නැහැ. ඒ තරමට වැස්සා අවුරුදු 10කට විතර පස්සෙ. මම හිතන්නෙ මේ හේතුව වෙන්න අති මෙහෙම ලිපියක් ලියන්න. ඉතාමත්ම වටිනා තොරතුරක් නිරංජන්. ගොඩක් ස්තුතියි බෙදාගත්තාට...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. අපට එපා වෙනකල් වැටුණු වැස්ස තමයි මේහෙම එකක් ලියන්න හේතු වුණේ.

      Delete
  3. මේ චෙරාපුන්ජි ගැන සුනේත්‍රා රාජකරුණානායකගේ සුචිත්‍ර චාරිකා පොතෙත් කියෙව්වා. කොහොමත් ඉන්දියානුවන්ට වර්ෂාව ඉතා මංගල කාරණයක්. ඔවුන් වර්ෂා සමය පිළිගන්නේ 'වර්ෂා මංගල්' නමින් උත්සව ශ්‍රීයෙන් යුතුවයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඒ පොත ගැන දැනගෙන සිටියේ නැහැ. ඒක හොයාගෙන කියවන්න ඕන. ස්තූතියි ඒ ගැන කිව්වට.

      Delete
  4. චෙරා ගැන කලිං අහල තිබ්බ සෙවන් සිස්ටස් එක්ක ඒත් කොතනද කොහොමද කියල මතකත් නැ ඒ වගේම තමා ඒකෙ මෙච්චර විස්තර තිබ්බෙත් නැ...
    චෙන්නෙයි ඉදල 2800 දුරයි කියන්නෙ ලංකාව වගෙ දවස් දෙකක් ඇවද්ද වගේ
    හෆොයි ඉල ඇදෙයි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි. ඒත් යන්න පුලුවන් නම් හරි වටිනා තැනක්

      Delete
  5. වටිනා ලිපියක්.... අදයි මේ තැන ගැන අැහුවෙත්..... අගේ අැති විස්තර ටික.....

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
  6. ලස්සන ලිපියක්. අද තම බ්ලොගය දැක්කේ.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න