පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, January 14, 2015

ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්නද? - Does Facebook just for fun?



සාමාන්‍යයෙන්  වැඩිහිටි පරපුර සිය තරුණ දුවා දරුවන් සම්බන්ධව කටයුතු කරන්නේ අතිශය කල්පනාකාරී ආකාරයෙනි. එය ඇතැම්විට අප සංස්කෘතියත්  හා බැඳුණු දෙයක් විය හැක. නමුත් කාලයත් සමග සියලු දෙය වෙනස් වෙයි. වර්තමානයේ අප දකින්නේ මීට දශක කිහිපයකට පෙර අප දුටු තරුණ පරපුර නොවේ. එකල සිටියේ සාම්ප්‍රදායික තරුණ පරපුරකි. බොහෝ දෙනෙක් තම වැඩිහිටියන් සිතන පතන ආකාරය ඉක්මවා නොගිය තරම්ය. නමුත් වර්තමාන පරපුර එසේ නොවේ. ඔවුන් ලෝකය දකින්නේ තම වැඩිහිටියන් දුටු හෝ දකින ආකාරයට නොවේ. ඔවුනගෙන් බහුතරයක් සියලු දෙයම ඉතා සියුම්ව, විශ්ලේෂණාත්මකව දකින බැව් පැහැදිලිව පෙනෙන දෙයකි. වැඩිහිටියන්ගේ වගකීම වන්නේ ඔවුන්ගේ මෙම දැක්ම නිසි පරිදි අවබෝධ කොට ගැනීමය.

තරුණ පරපුර අන්තර්ජාලය, සමාජ වෙබ් ජාල සමග ඇති දැඩි සබඳතාවය පිළිබඳ වැඩිහිටියන් මෙන්ම දේශපාලඥයන් ද දොස් පවරනු පසුගිය කාලය පුරාම දකින්නට ලැබුණු දෙයකි. යම් යම් සමාජ වගකීම් පිළිබඳ මෙම වෙබ් අඩවි හරහා විවිධ මට්මෙන් කෙරෙන සංවාද දෙස වැඩිහිටි පරපුර බැලුවේ අවඥා සහගතවය. මෙම සමාජ ජාල වෙබ් අඩවි නතර කළයුතු බවට ද අදහස් ඉදිරිපත් විණි. නමුත් තව දුරටත් එවැනි මතයක සිටීම වලංගු නොවන බව මෙවර ජනාධිපතිවරණය මැනවින් සනාථ කළේය. මෙවර ජනපතිවරයා තෝරාගැනීම සඳහා තීරණාත්මක වූ ඡන්දදායකයන් අතර සිය කුළුඳුල් ඡන්දය පාවිච්චි කළ තරුණ තරුණියෝ බොහෝ ගණනක් වූහ. තමන්  ඡන්දය ලබාදිය යුත්තේ කුමන අපේක්ෂකයාට ද යන්න ඔවුන් අතර සංවාද ඇති කරගත්තේ බොහෝ වැඩිහිටියන්ගේ ගැරහුමට ලක්වූ සමාජ වෙබ් අඩවි ඔස්සේය. අවසානයේ සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වූ අදහස් ජනපතිවරණයට බලපෑ අයුරු පැහැදිලිවම දක්නට හැකිවිය. හිටපු ජනපතිවරයා පවා මෙම සමාජ වෙබ් අඩවි පිළිබඳව විවේචන සහිතව කතා කරනු දක්නට ලැබුණේ තරුණ පරපුරේ තීරණ ගැනීමේ සාධකයක් ලෙස මේවා සෑහෙන දායකත්වය දක්වන බව පෙනෙන්නට තිබූ නිසාවෙනි.

නමුත් තරුණ පරපුර අතර ඇති මෙම ආකල්ප අවඥාවෙන් ඉවත හෙළන ආකාරයේ මැතිවරණ දැන්වීමක් පසුගිය කාලය පුරාම දක්නට හැකිවිය. එයින් ඉස්මතු කරන්නට උත්සාහ ගත්තේ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි ඇත්තේ විනෝදාශ්වාදය උදෙසා මිස රටක අනාගතය තීරණය කිරීමට නොවන බවය. එහි එම අදහස ඉදිරිපත් කළේ ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්නවැනි වදනකිනි. නමුත් එය එසේ නොවන බව තහවුරු කිරීමට ඕනෑවටත් වඩා සාධක ලැබී තිබේ.

පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා මාධ්‍යවල ආන්දෝලනයයකට ලක් වූ සිදුවීමක් මෙහිදී සඳහන් කළ හැකිය. ඒ අරාබි වසන්තයයි’. මැදපෙරදිග රටවල පැවති පාලන තන්ත්‍ර බිඳ දමා නව පාලන තන්ත්‍ර ඇතිකරන්නට හේතු වූයේ මෙසේ පැන නැගුණු අරාබි වසන්තයයි. පාලන තන්ත්‍ර බිඳවැටී නව රජයයන් පත්වීමට මෙය ඉවහල් විය. මෙම අරාබි වසන්තය සඳහා මහඟු මෙහෙයක් ඉටු කළේ සමාජ ජාල වෙබ් අඩවි ය. ඒවා ඔස්සේ තරුණ හුවමාරු වූ අදහස් මෙම රටවල් දැවැන්ත අරගල සඳහා ඉමහත් දායකතක්වයක් සපයනු පෙනුණි. මෑතක් වන තුරුම අප රටේ සමාජ ජාල වෙබ් අඩවි මේ සඳහා දායකත්වයක් නොදැක්වුව ද මෙවර එය වෙනස් විය. සමාජ ජාල වෙබ් අඩවිවලින් දැක්වූ මතය අවසානයේ රටේ ජාතික මතය වන තරමට දුරදිග ගියේය. ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මිනිසුන් අතරට ගමන් නොකරන, රජයේ වංචා, දූෂණ  සිදුවීම් සීමා මායිම් නොමැතිව සමාජ වෙබ් ජාල තුළ දක්නට හැකිවිය. මේවා ඔස්සේ මෙසේ තොරතුරු හුවමාරු වීම සිය පාලන තන්ත්‍රවලට තර්ජනයක් බව පාලකයන්ම ඇතැම් අවස්ථාවල අදහස් දක්වනු පෙනුණි. මේ සියල්ල බලපෑවේ තරුණ ඡන්දවලටය. මෙවර නව ජනපතිවරයා බිහිකිරීම සඳහා මෙම තරුණ ඡන්ද දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය.

අතීතයට දෙස විපරම් කොට බැලුවහොත් අපට පැහැදිලිව පෙනෙන දෙයක් වන්නේ මැතිවරණයකදී තරුණ පරපුර බොහෝ විට හැසිරී ඇත්තේ සිය වැඩිහිටි හා ප්‍රභූ පරපුරේ මතය අනුව බවය. නමුත් වර්තමාන පරපුර එසේ නොවේ. ඔවුන් ස්වාධීනව කටයුතු කරනු දක්නට හැකිවිය. සිය වැඩිහිටියන් එක් දේශපාලන මතවාදයක් දරන විට තරුණයන් දැරුවේ ඊට ඉඳුරාම වෙනස් මතවාදයකි. ඔවුන්ට මෙසේ ස්වාධීන වන්නට මග හෙළිකළේ අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවිවලින් ඔවුන් ලබාගත් දැනුමය. අතීතයේ පැවති වැඩවසම් මානසිකත්වයෙන් මිදෙන්නට ඔවුන්ට ඉවහල් වූ සාධකය මෙයයි.  තරුණ පරපුර කිසිවකුගේ අතකොලුවක්වීමට කැමැති නැත. ඔවුහු ස්වාධීනව සමාජයේ ඉහළ තැනකට යාමට සිහින මවති. මෙය ගෝලීය වශයෙන් පොදු ප්‍රවණතාවයක් වන අතර ඔවුන්ට ඒ සදහා ඉඩහසර ඕනෑ තරම් විවරව තිබේ. මෙය දේශපාලකයන් විසින් උදාකළ දෙයක් නොවේ. එසේ සිතීම ද අප නැවත වැඩවසම් ක්‍රමය වෙත තල්ලුකරන මානසිකත්වයක් නිර්මාණය කරයි. වැඩිහිටියන් අවබෝධකොට ගත යුත්තේ මෙම ප්‍රවණතාවයයි. එය තේරුම් නොගතහොත් සිදුවන්නේ වැඩිහිටි පරපුරට වර්තමාන සමාජය තුළ ලැබිය යුතු පැවැත්ම හා ගෞරවය නොලැබී යාමය. මෙවර මැතිවරණ ප්‍රතිඵලය තුළින් අපට ලබාදෙන එක් පණිවිඩයක් වන්නේ මෙයයි. අන්තර්ජාලය හා බැඳුණු තරුණ පරපුරේ මෙම ප්‍රවණතාවයන්ට අකුල් හෙළන්නට වැඩිහිටියන් හෝ දේශපාලඥයින් සිතනවා නම් අවසානයේ පරාජයට පත්වන්නේ වැඩිහිටියන් සහ දේශපාලඥයන්ය.



6 comments:

  1. කතාව අැත්ත... දැන් තරුණ පරපුර තොරතුරු දැන ගන්නේ නිතර අප්ඩේට් වෙන අන්තර්ජාලයෙන්.. හංගන්න හැකි දේවල් පවා විවෘතව ඒන අන්තර්ජාලයෙන්.. ඉතින් ඔවුන් දැනුවත්... ඔවුන් ඒක්ක තොරතුරු සාකච්ඡා කරන්නේ බුද්ධිමත් සමාජයක්... ඉස්සර වගේ ගෙදර කට්ටිය නෙමෙයි.. ලිද ලග කට්ටිය නෙමෙයි.... දාම් අදින තේ කඩේ ලග කට්ටිය නෙමෙයි.... ඒ නිසා දැන් සමාජජාල වෙබ් අඩෙවි අපේ රට තුළ ද මහා චරිතයක් වෙලා.... අැත්තට ම ඒක හොද ප්‍රවණතාවයක්...........

    ReplyDelete
    Replies
    1. ලෝකය වෙනස් වෙනවා. සාම්ප්‍රදායික දේ වෙනුවට අලුත් දේවල් එනවා. මිනිස්සු අලුත් විදිහට හිතන්න පටන් ගන්නවා. ඒවාට අනුගත නොවුනොත් අවසානයේ වෙන්නේ ඩයිනොසෝරයන්ට සිදුවූ දෙයම තමයි.

      Delete
  2. කිසි දෙයක් සුළුකොට තකන්න හොදනෑ
    හිටපු ජනාධිපති තුමාටත් ඒකම තමා වුනේ... අව තක්සේරුව නිසා ෆේස්බුක් වෙතින් කරගන්නට තිබ්බ සියළු දේ මගහැර ගත්ත
    අඩුම තරමෙ සුළුම හෝදායකත්වයක් දුන්න නං මීට වඩා වෙනසක් වෙන්න තිබ්බ...
    කෝමත් සමාජ ජාල දැං දැඩි බලපෑම් කල හැකි තත්වයට පත් වෙනව

    ReplyDelete
  3. මම හිතන්නේ මෙවර ජනාධිපතිවරණයෙන් පස්සේ මිත්‍යා මත ඔස්සේ නොවෙයි, ප්‍රායෝගිකව යමක් ළගාකරගන්න පුලුවන් ක්‍රම ගැන හිතන්න බොහෝ දෙනෙක් පෙළඹේවි. විශේෂයෙන් දේශපාලඥයෝ. ඔවුන් සමාජ ජාල වෙබ් අඩවි තමන්ගේ මැතිවරණ ප්‍රචාරණය සදහා ඉදිරියේදී වඩත් සක්‍රිය යොදාගනීවි.

    ReplyDelete
  4. හොද ලිපියක් !
    ___________________________

    ලංකාවේ හොදම අධ්‍යාපනික හා තාක්ෂනික ෆෝරමය.ඔබත් දැන්ම එකතු වෙන්න ►►► http://ekathuwa.org

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න