පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 20, 2015

ඇමරිකාවේදී රියැලිටි තරගයකින් ජයක් ලැබූ ශ්‍රී ලාංකික කෙල්ල - නටාලියා - Natalie Anderson, Sri Lankan girl Wins 'Survivor

සර්වයිවර්’ (Survivor) කියන්නේ යම්කිසි උපද්‍රවයකට හෝ උපද්‍රව ගණනාවකට සාර්ථකව මුහුණදෙමින් සිය ජීවිතය නොනැසී ගළවාගන්නට සමත්වන තැනැත්තා හඳුන්වන්නට ඉංග්‍රීසි  බසින් යොදාගන්නා වචනයයි. සිංහලෙන් මෙයට අතිවියානමින් තනි වචනයක් තිබුණත් ඒක සර්වයිවර්තරම්වත් අසා නැතිව ඇති බවට සැකයක් නැහැ. කෙසේ වුවත් මේ සර්වයිවර්කියන නම ලෝකයේ අතිශය ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ නමින් රියැලිටි වැඩසටහනක් පවතින නිසයි. රියැලිටි වැඩසටහනක් කියන්නේ මොකක්ද කියන එක ගැන විස්තර කළ යුතු නැහැ කියා සිතෙන්නේ අපේ රටේ ද විවිධ නම්වලින් මෙවැනි වැඩසටහන් පවතින නිසයි. නමුත් සර්වයිවර්කියන්නේ යම් කෙනෙකුට සහභාගී වී පහසුවෙන් ජයගන්නට පුලුවන් විදියේ තරගයක නොවෙයි.  මෙයට සහභාගීවන්නන් ලෝකයේ මිනිස් වාසයෙන් තොර, දුෂ්කර පළාතකට ගෙනගොස්  දමනවා. ආහාර, ජලය, ගින්දර සහ නිවහනක් යන මූලික අවශ්‍යතා කිසිවක් ඔවුනට සපයන්නේ නැහැ. ඒවා ඔවුන් කුමනාකාරයෙන් හෝ සපුරාගත යුතුයි. මේ සියල්ල සපුරාගෙන විවිධ දුෂ්කරතා, බාධක මැඩ පවත්වාගෙන් ලකුණු ලබාගනිමින් තරගයේ ඉදිරියට ගමන් කළ යුතුයි. තුවාලයක් හෝ වෙනයම් ආපදාවක් සිදුවුවහොත් ඒ තැනැත්තාට තරගයෙන් ඉවත්වන්නට සිදුවනවා.  ජූරි සභාවක් ඉදිරියේ අවසන් ලකුණු ලබාදී ජයග්‍රාහකයා තෝරනවා. ජයග්‍රහණය කරන තැනැත්තා හට ඇමරිකානු ඩොලර් මිලියනයක් හිමිවෙනවා. 

මේ තරගය ගැන කෙටි හැඳින්වීමක් කළේ වෙන කිසිවක් නිසා නොවෙයි. 2014 වසරේ මෙහි කාන්තා අංශයේ ජයග්‍රාහිකාව ශ්‍රී ලංකාවට යම්කිසි සම්බන්ධයක් ඇති තැනැත්තියක් නිසයි. ඇය  නටාලි ඇන්ඩර්සන්. ඇය මේ තරගයකට සහභාගී වූණේ ඇගේ අනන්‍ය නිවුන් (identical twin) සොයුරිය වන නාදියා ඇන්ඩර්සන් සමගයි. ඔවුන් 1986 අප්‍රේල් 11 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක්වල ඉපදුනත් හැදී වැඩුනේ ශ්‍රී ලංකාවේ. දෙමළ සම්භවයක් තිබූ නිසා ත්‍රස්තවාදී ගැටලුව පැවති කාලයේ ඔවුන් නැවතත් ඇමරිකා එක්සත් ජනපදයට ගියා. ඇමරිකාවේදී නටාලි භෞත චිකිත්සාව පිළිබඳ අධ්‍යයනය කරන්නට යොමුවුණා. නාදියා බ්‍රිජ් ටු පීස්’ (Bridge2Peace) නම් වැඩසටහනේ සම්බන්ධීකාරිකාවක් විදිහට වැඩකටයුතු කළා. ඔවුන් ඇමරිකාවේ උපන්නත්, වැඩිකාලයක් එහිම ජීවත් වුවත්, ශ්‍රී ලංකාව ගැන දැඩි ඇල්මකින් පසුවන බව පෙනෙනවා. එසේ පවසන්නේ නටාලි සිය වම් අතේ ශ්‍රී සිතියම පච්චා කොටාගෙන සිටින නිසයි. 

නටාලි සහ නාදියා මුල් කාලයේ සිටම මෙවැනි දුෂ්කර රියැලිටි වැඩසටහන් ගැන උනන්දුවකින් පසු වූ බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන් එවැනි තරගකරුවන් සහ තරගලෝලීන් අතර නිවුන්නියෝ’ (The Twinnies) කියන අනවර්ථ නාමයෙන් ප්‍රසිද්ධ වුණේ ඒ නිසාම වන්නටත් පුලුවන්. ඔවුන් මුළින්ම 2012 වසරේදී ඇමේසින් රේස්කියන රියැලිටි වැඩසටහනටයි සහභාගී වුණේ. ඔවුන් මෙම තරගයේ අදියර දෙකකට සහභාගී වුණත් ජයග්‍රහණයක් ලබාගන්නට හැකිවුණේ නැහැ. නමුත් ඔවුන් මෙම රියැලිටි තරගය නිසා ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොවෙයි මෙවැනි ලෝකය වටාම සිටින මෙවැනි රියැලිටි තරගලෝලීන් අතර අතිශය ජනප්‍රිය තරු දෙකක් බවට පත් වුණා. ඉන්පසුවයි ඔවුන් සර්වයිවර්රියැලිටි තරගයට සහභාගීවන්නට තීරණය කළේ. 

මෙවර සර්වයිවර් තරගය පවත්වනු ලැබූයේ නිකරගුවාවේ අති දුෂ්කර පළාතකයි. එය එහි 28 වැනි අදියරේ තරගය වූ අතර  Survivor: San Juan Del Sur නමින් හඳුන්වනු ලැබුවා. දින 39ක් පුරා තරගකරුවන් 17 දෙනෙකු අතර  මෙම තරගය පැවැත්වුණු අතර ආරම්භයේදී නටාලි සහ නාදියා දෙදෙනාම තරගයට අවතීර්ණ වුණත්, නාදියාට මේ දුෂ්කර ව්‍යයාමය වැඩි කාලයක් දරාගන්නට හැකි වුණේ නැහැ. ඒ නිසා ඇයට තරගයේ මුල් අවස්ථාවේදීම ඉන් ඉවත්වන්නට සිදුවුණා. නමුත් නටාලී එසේ නොවෙයි. තරගය කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු යැයි ඇය තුළ අධිෂ්ඨානයක් පැවතුණා. අවසානයේ සියලු තරගකරුවන් සමඟ තියුණු තරගයක් දීමෙන් අනතුරුව, ජූරියේ අවසන් ලකුණු ද සාර්ථකව රැස්කරගත් ඇය 2014 සර්වයිවර් තරගයේ ජයග්‍රාහිකාව බවට පත් වුණා. ඇයට ඇමරිකානු ඩොලර් මිලියනයක අති දැවැන්ත ජයග්‍රහණය හිමි වුණා. 

සිය නිවුන් සොයුරියට තරගයේ මුල් දින කිහිපය තුලදීම ඉවත්වන්නට සිදුවීම ගැන ඇයට ඇත්තේ දුකක්. නැවතත් මෙම තරගයට සහභාගීවනවාදැයි එක් මාධ්‍යවේදියකු ඇගෙන් ඇසුවේ නැවතත් මෙම තරගයට සහභාගී වන්නේ දැයි ඇසූ විට ඇය පිළිතුරු දුන්නේ ඔව් කියායි.

4 comments:

  1. අහ්.. අන්න සුපිරි කෙල්ලො ලොවෙත් නෑ ආයෙ විස්සකට හරි නෙලයි මදි නොකියන්න...
    හිහි
    ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. මොනවද ඉතිං මේ කතා.

      Delete
  2. ලංකාවේ කියන්නේ...... මොකක්ද දන්නෑ ලංකාවේදී වුනේ...

    ReplyDelete
    Replies
    1. අදහස් කළේ මොකක්ද කියා නොතේරේ

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න