පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, February 22, 2015

අනුන්ට රජකම දෙන්න තම අත පය කප්පවා ගත් සුභාදේව - Subhadeva who sacrificed own limbs to make a king



වර්තමානයේ අපේ රට ගත්තොත් දේශපාලනයට එන්නේ රටට සේවයක් කරන්නය කියලා කවුරු හරි කියනවා නම් ඒක කටින් විතරක නෙවෙයි වෙන වෙන තැන්වලිනුත් හිනායන්න පුලුවන් කතාවක්. හැම දේශපාලුවෙක්ම ඇවිත් රටට වඩා සේවයක් කරගන්නේ තමන්ටයි. ඒ නිසා තමන්ට බාධාවක් වෙන කෙනාගේ බෙල්ල කපලා හරි ඉස්සරහට එන්නයි දේශපාලුවෝ උත්සාහ කරන්නේ. ඒ කොහොම වුණත් වෙන කෙනෙකුට රජකම දෙන්න තමන්ගේ අත කපා ගත්ත අය ගැන කතා අපේ රටේ අතීතයෙන් හොයාගන්න පුලුවන්. ඒ ගැන තමයි මේ කියන්න යන්නේ. 

මේ කතාව ඇසෙන්නේ ක්‍රි.ව. 3 වැනි සියවසෙන්. 

ක්‍රි.ව. 209 දී රජ වූ වෝහාරික තිස්ස රජතුමා දයාවත්, යුක්තිගරුක භාවයත් නිසා ජනතාවගේ දැඩි ආදරයකට පාත්‍රව සිටියා. නමුත් ඔහුගේ මළනුවන් වූ අභයනාග කුමාරයා රජ බිසව සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්තුවා. මේ පළහිලව්ව රජතුමාට ආරංචි වුණු බව දැනගත්ත හැටියෙම අභයනාග කුමාරයා පැත්ත පළාතෙවත් ඉන්නේ නැතිව පැනලා ගියා. රුහුණේ තිබුණු ‛හල්ලතිත්ථ’ කියන නැව් තොටට පැමිණි ඔහු වෝහාරික තිස්ස රජු ගැන ජනතාවගේ සිතේ කළකිරීමක් ඇතිකරවන්නට උපායක් යෙදුවා. ඒ සඳහා ඔහුට අභයනාගගේ මවගේ සහෝදරයෙක්, ඒ කියන්නේ මාමා කෙනෙක් වූ ‛සුභාදේව’ ගේ උපකාරයත් ලැබුණා. 

අභයනාග කියනනේ වෝහාරික තිස්ස රජුගේ මළනුවන් බව නැව් තොටේ සිටි සියලු දෙනා දැන සිටියා. එහිදී අභයනාග හා සුභාදේව අමනාපයෙන් සිටින බවට එහි සිටින අයට පෙනෙන සේ හැසිරුණා. අභයනාග නිතරම තම මාමාට බැණ වදිනු එහි සිටින අය දුටුවා. දිනක් අධික ලෙස කෝප පෙනුමක් ආරූඪ කරගත් අභයනාග තම මාමාගේ අත්පා කපා දමන්න නියෝග කළා. මෙය ඔවුන්ගේ සැළැස්මේ කොටසක්. 

අත්පා කපා දැමූ පසු සුභාදේව කෙලින්ම ගියේ වෝහාරික තිස්ස රජු හමුවීමටයි. එහිදී තමා සමග ඇති අමනාපයක් නිසා අභයනාග විසින් තම අත්පා කපා දැමූ බව ඔහු රජු හමුවේ පවසා සිටියා. මේ ආකාරයට ඔහු රජ වාසලේ රැඳී සිටිමින් රජුගේ විශ්වාසය දිනාගත්තා. ඔහුට රජ මාලිගාවේ විශේෂ වගකීම් පවරන්නට ද රජතුමා පියවර ගත්තා. රට වැසියන්ට දයාව කරුණාව පෙන්වීම නිසා ඔවුන් පාලනය කළ නොහැකි බවත්, රටවැසියන් පාලනය කිරීම සඳහා තමා තුළ හොඳ සැළැස්මක් ඇති බවත් ඔහු පැවසුවා. ඒ අනුව සුභාදේවගේ සැලැස්ම ක්‍රියාත්මක වුණා. අවසානයේ සිදුවුණේ රජුටත් නොදැනී රටවැසියා තළාපෙලා දමන පාලනයක් බිහිවීමයි. මෙයින් සිදුවුණේ මෙතෙක් කල රජු ගැන පැහැදීමෙන් සිටි ජනතාව තුළ රජු කෙරෙහි කළකිරීමක් ඇතිවීමයි. 

මේ වෙනකොට අභයනාග සිටියේ ඉන්දියාවේ. වෝහාරික තිස්ස රජුගේ වැඩකටයුතු මොනවාදැයි සොයා බලන්නට ඔහු ලංකාවට චරපුරුෂයෙක්
(අභයනාගගේ බුද්ධි අංශ නිලධාරියෙක්) එව්වා.

රටවැසියන් රජු ගැන කළකිරීමෙන් සිටින බව දැනගත් ඔහු රජකම ලබැගැනීමට මෙය සුදුසු කාලය බව තේරුම් ගත්තා. දකුණු ඉන්දියාවෙන් සේනාවක් ද සංවිධානය කරගත් අභයනාග අනුරාධපුරය බලා පිටත් වුණා. රජුගැන කලකිරීමෙන් සිටි රටවැසියෝ රජු වෙනුවෙන් සටන්කිරීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ සියලු විපත් ගෙනා බිසව ද රැගෙන අසු පිට නැගුණු රජු කඳුකරයට පළායන්නට පටන් ගත්තා. ඔහු පසුපස ලුහුබැඳ ගිය අභයනාග රජු මරා අනුරාධපුරයට පැමිණ රජ වුණා. ඔහු සිය බිසව බවට පත්කරගත්තේ වෝහාරික තිස්ස රජුගේ බිසවයි. අභයනාග වසර 22ක්ම රජකම් කළා. සුභාදේවටත් සළකන්න ඇති. නමුත් ඔහු ගැන විස්තරයක් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. 

ඉතිං මේවාට තමයි රාජකීය කුමන්ත්‍රණ කියන්නේ. ඒ කාලෙත් වුණා. අදත් වෙනවා. හෙටත් වෙයි.

2 comments:

  1. සුභා දේව නිකං අපේ මෛත්‍රී වගේ
    හිහි

    ReplyDelete
    Replies
    1. අනේ මංදා මේවට ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න